Wednesday, 23 August 2017

Carnival of love



මේ ඒ සැනකෙළියයි. මම හැමදාම ආදරේ කරන, හැමදාම බලාපොරොත්තු පොදි බැඳන් හීන දැක්ක ඒ සැනකෙළිය. විවිධ වර්ණ රටා අතර ආදරණීය සංගීතයක මිහිරක් ජීවිතේ හරියට අළුත් කරනවා වගේ. ජීවිතේ අළුත් අරමුණකින් පුරවනවා වගේ. මම සැනකෙළියට ආසයි, ආදරෙයි. හරියටම මීට අවුරුදු විස්සකට විතර කලින් ඒ සුන්දරත්වය වින්ද පොඩි එකෙක් වගේ. අදත් ඒ සැනකෙළියම, ඒ සොදුරු හැඟීමම හිතට අළුත් පැතුම් පුරවමින් ඉන්නවා.

මම, මිනිස්සු ගැවසෙන කෑකෝ ගහන තදබදය අතරේ පුංචි ඉඩක් හොයමින් ඇවිද්දා. ඔවුන්ට නොදැනෙන්න, ඔවුන්ට නොහැගෙන්න තරමේ සිරුවක මම ඇවිදන් ආවා. සමහර විඩාපත් ඇස් වලින් වගේම රුදුරු ඇස් අතරින් හෙමිහිට ඇවිදන් ඇවිත් මම නතර වුනා. මට හුරුපුරුදු මට පහසු තැන වෙනකෙකු අත්පත් කරන් ඉවරයි. කාලය හැම දේකටම වඩා වටින්නේ අන්න ඒ නිසා වෙන්න ඇති කියලා මම හිතා ගත්තා.

වෙනස්, හුරු පුරුදු නැති ඉඩක මම මගේ දේවල් ටික පිළිවෙලක් කලා. රස්නය ඝෝෂාව හිතේ තෙහෙට්ටුව ටිකින් ටික වැඩි කරනවා වුනත් අද දවස වෙනුවෙන් බලාගෙන ඉන්න එක්කෙනෙක් හරි ඇති කියන හැඟීමක් මගේ හිතට ආවා. වර්ණ හිස් කඩදාසි පිළිවෙලක් කරන් මම සිතුවමකට අරමුණක් හොයන්න වුනා. කලින් නිමා කරපු සිතුවම් එක පැත්තක පිළිවෙලකට තිබ්බෙ ආකර්ශණයක් එන්න.

මේලා, පෙම් මේලා
විඳින්න විහින් ලංවෙලා
පීරා, සිත පීරා
හොයන්න හැඟුම් සිත් පුරා..

කැන්දාලා සිත සුව ආයේ
පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ...

කාලය බොහොම හෙමින් ගලාගෙන ගියා. ටිකෙන් ටික දැඩිව දැනුන රස්නය එක්ක හැම දෙයක්ම අත ඇරලා යන්න හිතෙන තරම් හැඟීමක හිත තනි වෙලා තිබුනා. වෙනදා අහම්බෙන් දැක්ක බොහෝමයක් දේවල් අද ඕන කමින් වත් නෙතු නොගැටෙන තරම් මගෙන් ඈත් වෙලා දුවමින් තිබුනා. ඒකාකාරී නැති සිතුවිළි බොහෝමයක් පින්සල් තුඩඟට එක දිගටම බාධා කලා.

පින්සල පැත්තකට කරපු මම ඒ ලඟ තිබුන පොඩි ලී බංකුවක වාඩි වෙලා මම කලින් නිමා කරපු සිතුවම් දිහා බලාගෙන හිටියා. ඒක හරියට භාවනාවක් වගේ. මම හිතුවා මගේ හිත ඒකාග්‍ර වෙයි කියලා. කාලයට ඉඩ දීලා මම බලාගෙන හිටියා. අවට කිසිම දෙයක් සිද්ද නොවෙන තරමට හිත නතර වෙලා හිටිය මම හදිසියේම වගේ ඒකාග්‍රතාව බිදන් නැගිට්ටෙ බලාපොරොත්තු නොවුන විදිහේ බධාවකින්.

ඇය, මගේ සිතුවම් දිහා නතර වෙලා බලාගෙන හිටියා. මද සුළඟත් එක්ක හෙමිට නැළවෙන ඇගේ කෙස් ඇය නතර කර ගන්න හදන ඇඟිළි තුඩු අතරින් මිදිලා දඟ කරා. සල්වාරියට ඇය බොහොම හැඩට පෙනුනා. ඒකත් කහ පාට. වර්ණ මිශ්‍ර වුන ඇගේ අත්බෑගය බොහොම සැහැල්ලුවට ඇගේ කරේ රැදිලා තිබුනා.

ඇය සිතුවම් කිහිපයක් දිහා බලාගෙන හිඳිද්දි අනිත් හැමෝම වගේ එතනින් ඈත් වෙලා යන්න ගියා. ඝෝෂාකාරී සංගීතය අතරේ මිහිරකුත්, ගත දවාලපු රස්නය අතරේ සිසිළසකිනුත් හිත එක මොහොතකින් පිරිලා ගියේ හැම දෙයක්ම වෙනස් වෙලා අළුත් වුනා වගේ. ඇය සැනකෙළියේ තනියම ඇවිදන් ගියා. ඇයට නොදැනෙන්න ඇගේ පිටුපසින් මමත්.

විසිතුරු දේවල් අතරේ ඇගේ හිත නතර වෙද්දී මගේ හිත නතර වුනේ ඇගේ හැම ඉරියවුවක් දිහාටම.  ඒ ගමන, ඒ ලාලිත්‍ය අතරේ හිත හොරෙන්ම නතර වෙලා වගේ දැනුනා. මම ඇයත් එක්ක සැනකෙළිය අතරේ බොහෝ දුරක් ඇවිදන් ඇවිත්. ඇය මට පියවර කීපයක් ඉස්සරහින් ඇගේ ජීවිතෙ සුන්දරත්වය අත්විදිමින් හිටියා. මම ඒ සුන්දරත්වය රහසින් වින්දා.

ඇගේ දෑස් මගේ දෑස් එක්ක එකතු වුනේ හුඟ වෙලාවකට පස්සෙයි. ආගන්තුක හිනාවත් එක්ක ඒ මුහුණේ තිබුන අවිහින්සක කමට මම හිත යටින් හුඟක් ආදරේ කරන්න වුනා. කතා කරන ඇස් වලට එබිලා බලාගෙන ඉන්න මට ඕන වුනා. ඒත් බොහෝම කෙටි නිමේෂයක අපි නතර වෙලා හිටියා. ඇය මගේ ඒකාග්‍රතාව සුනුවිසුණු කරලා ජීවිතේට නැවුම් බලාපොරොත්තුවක් අරන් ආවා වගේ හැඟීමක් මගේ හිතට එකතු කරා.

වීනා නුඹ වීනා
වයන්න පැතුම් දල්වලා
සීමා නැත සීමා
දැනෙන්න සහන් සිත් මවා.

කැන්දාලා සිත සුව ආයේ
පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ..

සීමා නොදැනන තරම් අනන්තයක මගේ  හිත නතර වෙලා කියලා මට දැනුනා. සුන්දර සන්ද්‍යාවත් එක්ක මම ඇගේ සිතුවම සිත්තම් කරන්න පටන් ගත්තා. ඒ සුන්දරත්වයේ අංශු මාත්‍රයක් වත් මඟ අරින්න මට ඕන වුනේ නෑ. හැම ඉරියව්වකම හැම හැඟීමකම තිබුන ඒ මිහිරියාවට පින්සල් තුඩින් පණ දෙන්න මම උත්සාහ කරා.

හෝරා කීපයකට පස්සේ ඇය ආයෙම මගේ ඉස්සරහා ජීවමාන වුනා වගේ මට දැනුනා. මම හැම කෝණයකින්ම ඇගේ සිතුවම දිහා බලාගෙන හිටියා. හැම කෝණකින්ම ඇය මාත් එක්ක සිනාසුන ඒ ආගන්තුක හිනාව වගේම ඒ අවිහින්සක මුහුණ මට පෙනුනා. මම ඒ ඇස් වලටම එබිලා බලාගෙන හිටියා. කාලය ගැන තැකිමක් නැතුව මම හැඟීම් වලට ඉඩ දීලා ඒ ඇස් දිහාම බලාගෙන හිටියා.



මේලා, පෙම් මේලා
විඳින්න විහින් ලංවෙලා
පීරා, සිත පීරා
හොයන්න හැඟුම් සිත් පුරා..

කැන්දාලා සිත සුව ආයේ
පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ...

වීනා නුඹ වීනා
වයන්න පැතුම් දල්වලා
සීමා නැත සීමා
දැනෙන්න සහන් සිත් මවා.

කැන්දාලා සිත සුව ආයේ
පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ..


ගායනය : කසුන් කල්හාර.
සංගීතය : අනුක් දිල්ශාන්.
පද රචනය : අචල සොලොමන්ස්.  


5 comments:

  1. මං අහල නෑනේ බං මේක.. හැක්

    ReplyDelete
  2. අපුරුවට ලියලා

    ReplyDelete
  3. මේ සින්දුවේ මොකද්ද අමුතු වෙනසක් තියනව,

    අැත්තම කියනවනං මේක අැහුවට පස්සෙ මටත් අාදරේ කරන්න ඔ්න උනා
    එ්ත් එතකොට පරක්කු වැඩියි,

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්