Monday, 31 July 2017

විරාමයෙන් පසුව

මම ඇය දිහා බලාගෙන හිටියා. සිහින් සුළං රැල්ලක් ඇගේ කෙස් අතරේ දඟකරමින් තිබුණා. ඇය හිටියේ ගැන තැකීමකින් නෙමෙයි. ඇස්, කල්පනාව තිබුණේ වෙන දිහාවකට. ඇගේ මානය, ඇගේ කල්පනාව බිද දාන තරමටම කෙහෙ රැළි දෑස් අතරම දැවටුණත් ඇය ගැන හැටි උනන්දු වුණේ නෑ. කවදාවත්ම නැති තරම් ගැඹුරු හැඟීමක ඇය බොහොම තදින් බැඳිලා හිටියා. මම, ඇයට පියවර කීපයක් මෙහායින් ඉදන් මේ හැම දෙයක් දිහාම ඕනකමින් බලාගෙන හිටියා.
 
කාලය ඔහේ ඉගිල්ලෙමින් තිබුණා. හරියට සුළඟත් එක්ක දඟකරන කෙහෙරැළි වගේ නවත්තන්න බැරි විදිහට කාලය අතරේ අපි දෙන්නා ඔහේ හිරවෙලා හිටියා. මම මේ නිහැඬියාව බිඳින්න දෙතුන් වතාවක්ම උත්සාහ කළත් මං තුළම හිර වුණ වචන අපි අතරේ නිහැඬියාව තව තවත් දිඟු කරන්න වුණා. මම බලාපොරොත්තු වුණා ඇයවත් නිහැඬියාව බිඳියි කියලා. ඒත්, මගේ හිතේ අපි ගැන ඇති වුණ තවත් එක හැඟීමක් විතරක්මයි.
 
මද්‍යහන ගෙවෙන සැන්දෑව එළඹගෙන එන හෝරාවක අපි කවුරුත් යන නොයෙන තැනක තනි වෙලා හිටියා. මෙතන අපිට ආගන්තුක එක් නොවුන නිසාම එතන නුහුරු නුපුරුදු හුදෙකලාවක් අපේ හිත් වලට වද දෙන්න වුණේ නෑ. ඊටත් වඩා අපි අපි ගැන තිබුණ නොසංසුන් කමක් අපේ හිත් නොහිතන තරමින් පාරවන්න වුණා. මගේ හිත තිබුණේ ඉවසුම් රහිත බවකින්. ඒත් ආඩම්බර කමක් එක්ක එකතු වෙලා ආව නිහැඬියාවක් මගේ හිත තදින්ම අල්ලගෙන නතර කරන් හිටියා.
 
ඇය හිටියේ සංසුන්ව. බොහෝම නිසොල්මන්ව. ඇහි පියක් ගැටෙනවද කියන එක සැක හැරලා දැන ගන්න හිතෙන තරමකම නිසොල්මනක. මම පියවර කීපයක් ඇවිද්දා. අපි අතර තිබුණ දුරස නැති කර ගන්නවාට වැඩිය අපි තාමත් මෙතන ජීවත් වෙනවයි කියන එක ඇයට වගේම මටත් තේරුම් කරලා දෙන්න. අපි අතර තිබුණ දුරස අඩු නොකරම මම ඇය බලාගෙන හිටිය මානය පේන කිට්ටුවට ඇවිත් නතර වුණා.

අපි දැන් මොකද කරන්නේ?’

අපි හිටිය තැනට පහළින් නගරය බොහොම ලස්සනට පෙනුණා. අත් වැටට බර දීලා සුන්දරත්වය විදපු ළමා කාලයේ ඉදන් කීප දෙනෙක් එක්කම පෙම්බස් දොඩපු තාරුණ්‍යයට වෙනකම් මතකය හිත ඇතුළේ හොල්මන් කරා. ඇය අන්තිමයා. මතකය, ජීවිතය රවට්ටන මතකය. මම මටම කියා ගත්තා.

සංසුන් කම බිඳිමින් ඇගේ ඇස් මගේ දිහාවට යොමු වෙලා තිබුණා. මම දන්නේ නෑ කොයි තරම් වෙලාවක ඉදන්ද කියලවත්. ටිකකට කලින් තිබුණ ඇගේ සංසුන් කම නිසොල්මන මට ආරුඬ වෙලා වගේ මම නිහඬවම නගරය දිහා බලාගෙන හිටියා. ඇය දිගු හුස්මක් පහළට දාන හඬ මට ඇහුණා. නිහැඬියාව බිදින්න ඕනයි කියන ඉඟියක් දිගු හුස්ම අතරේ හැංගිලා තිබුණා.

ඔයාම කියන්න.’

මම තීරණය ඇයටම භාර කරලා අත් වැටට බර දීලා නගරය දිහා බලාගෙන හිටියා. පොඩි එවුන් වගේ එකිනෙකාට වගකීම් පවර ගන්න බොළඳ කමකින් අපි හෝරාවකට වැඩිය ඔහේ ගෙවලා දලා තිබුණා. තව ඉස්සරහටත් එහෙම වේවිද නැද්ද කියන එකත් අපේ බොළඳම තීරණයක් වේවි.

ඇය මගේ ළඟට හෙමින් ඇවිදන් ඇවිත් මං දිහාම කෙළින් බලාගෙන හිටගත්තා. ගමනේ බැල්මේ තිබුණ තියුණු බව එක්ක මට තව දුරත් ඇයව මඟහැරලා බලාගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මමත් ඇගේ ඇස් දිහා කෙළින් බලාගෙන හිටියා. අපි අපිට තේරුම් ගන්න බැරි, එහෙම නැත්නම් තේරුම් ගන්න කැමැත්තක් නැති ලොකු කතාන්දරයක් අපේ ඇස් වල ලියවිලා තිබුණා.

මට කියන්න බෑ මට සමාව දෙන්න කියලා. ඒත්, කාලය මේ හැම දෙයක්ම වෙනස් කළා.’

ඇය පහුගිය අවුරුද්දක විතර කාලය සාධාරණිකරණය කරන්න වුණා. තර්ක වල හරි වැරැද්දට වඩා මම හිතුවේ කාලයේ අපිට අහිමි වුණ දේ ගැන විතරයි. ඔවු, ආදරය. මෙතන මේ සුන්දරත්වය විදින අතරෙම අවුරුදු ගාණකට කලින් කතාබහ කල විඳගත්ත ආදරය. ඇය වචන අමුණන දෙතොල් නිමාවක් නැතුවම සිපගත්ත ආදරය. පාරිශුද්ධ බවේ සොදුරු හැඟීම ගතට කාවැදගත්ත ආදරය.

ජීවිතේ ලස්සන වගේම අවලස්සන තැන් තියෙනවා. අපේ ජිවිතේ අවලස්සන වුණේ අපි අතින්මයි.’

මෙච්චර වෙලාවක් තමන්ගැනම කතා කරපු ඇය අන්තිමට වචන අතරට 'අපි' කියන වචනය එකතු කළා. පසුතැවෙන, පැකිළෙන හැඟීමක් නැති බව පෙන්නන තරම් තියුණු බැල්මක් ඇගේ ඇස් වල තිබුණා. පියවරක් පසු බසින තරම් තියුණු කමක් හැඟීමේ තිබුණා.

අපි.’

මම හෙමින් මිමිනුවා. ඇය ඒක නෑහුණ ගානට මගේ දිහා බලාගෙන හිටියා. විවාහය, කාලය, වගකීම් ජීවිතය කොයිතරම් වෙනස් කරනවද කියන එක ගැන හරි හැටි දැනීමක් නැති ආදර පොරොණ්ඩුවක් කඬවුන ඉස්කෝලේ යන කෙල්ලෙක් ළග තියෙන බැල්මකින් ඇය මගේ දිහා බලාගෙන හිටියා. මම ඇස් වලින් ඈත් වෙලා අත් වැටට බර වුණා.

සමහර විට මේ හොදම කාලය වෙන්න ඇති. නැත්නම් නරකම කාලය වෙන්න ඇති.’

මඟහැරීම්, රැවටීම්, දුරස්වීම් වලින් පස්සේ ජීවිතේ වෙනස් වුණ හැටි ගැන මම කල්පනා කළා. වෙන්වීම පහසුම උත්තරේ වුණත් හොදම කාලය, නරක කාලය අතරේ වෙනස ගැන මම තනියම හිතුවා. ඇය හිටියේ ගැන හිතන්න තරමේ පුළුවන් කමක නෙමෙයි කියන එක මම හොදටම දැනන් හිටියා. ඇස්, හැඟීම් කලින් තිබුණ තියුණු කමට වැඩිය බොලද වුණ හැඟීම් ගොඩකින් පිරිලා තිබුණා.

මම පල්ලෙහායින් පේන නගරය දිහා බැලුවා. මෙතනට උස අඩි කීයක්ද කියන එක මගේ මතකයේ නැහැ. ඒත් හැම දෙයක්ම සදහටම උදුරුගන්න පුළුවන් කමක් එතන තිබුණා. මම අත්වැටෙන් ඈත් වෙලා ඇය ළගට ආවා. හැඟීම් විරහිත ඇස් වලට මම තව එකම එක පාරක් එබිලා කල්පනා කළා. අවුරුදු හතක අතීතයේ බොහෝම සුන්දර හැඟීම් තාමත් මතකයේ තැනක ඉතුරු වෙලා තියෙනවා කියලා මම වගේම ඇයත් හොදින්ම දැනන් හිටියා.

සමහර විට මේ අතර මැද කාලයක් වෙන්න ඇති.’

මම පියගැට පෙළ දිගේ පහළට ඇවිදන් ආවා. මගේ ගමන වේගවත් නැහැ. ආපහු හැරිලා බලන්න තරමේ බොලද සිතුව්ලි වලින් මගේ හිත පිරිලා තිබුණේ නෑ. ඒත් අවසානයට කලින් ඇය ආපහු ඇවිත් මගේ අතින් අල්ල ගන්නවා කියන හැඟීම විතරක් මගේ හිතේ තිබුණා...




නිමි...

13 comments:

  1. සැහෙන්න කාලෙකින් පස්සේ ;-)

    ලස්සනයි කතාව .. දිගටම ලියන්න , දිගටම එන්න

    අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න

    ReplyDelete
  2. කොහෙද අප්පා ගිහින් හිටියේ මෙච්චර කල්

    ReplyDelete
  3. Heee... welcome back loku ayiyee... dhan itin digatama liyamu ��

    ReplyDelete
  4. දිනේශ්. සතුටුයි කාලෙකට පස්සෙ හරි බ්ලොග් පැත්තේ ආව එකට.
    ලියමනනම් වෙනදා වගේම රසයි.

    ජයවේවා!!!

    ReplyDelete
  5. දිගු විරාමයක තියන දිගු නිහැඬියාවකට පස්සේ ඇහෙන හීන් මිමිණුමත් රසයක්

    ReplyDelete
  6. කාලෙකින් උනත් වෙනදා වගේම රසවත් ...

    ReplyDelete
  7. සම්ප්‍රාප්තියට තුති.. දිගටම ලියන්න...

    ReplyDelete
  8. සම්ප්‍රාප්තියට තුති.. දිගටම ලියන්න...

    ReplyDelete
  9. කොහෙද වස්තුවේ ගිහින් හිටියේ. කොහොමත් ඉතින් උඹේ රටාව කියන්නේ මගේ රටාවටත් වඩා මම කැමති රටාවක් නිසා උඹ ලියනවට මම බොහොම කැමතියි. අපි හිනාවුණේ,ඇඬුවේ,තරහගත්තේ,සංවේදීවුණේ මේ අකුරුවලින් බං. ඉතින් එහෙව් අකුරු ගොළුකරන එක කටහඬ ගොළුකරනවටත් වඩා අමාරුයි බං. උඹේ හෘද සංවේදී ලියවිල්ලෙන් මම මාවම කියවනවා හැමදාම. උඹට ජය.

    ReplyDelete
  10. හම්මෝ ඒක හොඳ විරාමේ. සෑහෙන කාලෙකට පස්සේ දකින්න ලැබුන එක සතුටුයි. ආයේ එහෙම අතුරුදහන් වෙන්ඩ එපා

    ReplyDelete
  11. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ ලස්සනයි වර්ණ

    ReplyDelete
  12. කාලයක් නෑ, පුද්ගල නාම, ස්ථාන නාම නෑ.. ගෑනුද.පිරිමිද කියලත් නෑ... ඒත් කිසිම අඩුපාඩුවක් හිස්තැන්කුත් නෑ... පට්ටයි මචං.. හැමෝට්ම මෙහෙම ලියන්න බෑ.. මේක උඹේ සලකුණ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්