Sunday, 30 October 2016

මරණයේ නිම්නය



ඔවුන් පැමිණෙමින් සිටි කාන්තාර මාර්ගය දැඩි රශ්මියෙන් යුතු එකක් විය. මැදියමටත් ආසන්න වෙමින් තිබුන අතර ගමනේ වෙහෙස අවු රශ්මිය සමග වැඩි වෙමින් තිබිණ. කිසිවෙකුත් නොසිටි පාළු කාන්තාරය අතරින් ඔවූහු ඉදිරියට ඇදෙමින් සිටියෝය. වෙහෙස, ඔවුන්ගේ මන බොහෝ දුරට අඩාල කර තිබුනත් විවේකීව රැදෙන්නට තරම් තැනක් නොවූ නිසාම ඔවුන් කාන්තාරය මැදින් ඉදිරියට ඇදෙන්නට විය.

හෝරාවක දෙකක පමණ ගමනකට පසු කාන්තරයේ වැලි කඳු අතරින් ඉහලට නැගෙන දුමාරයක් ඔවුනට දැක ගන්නට හැකි විය. එය ඔවුනගේ හිත තුල ඇති වූ සිතුවිල්ලක් නොවන බව තහවුරු කර ගත් ඔවූහු  ඒ දෙසට පිය මැන්නෝය. ටික වේලාවකින් ඔවුන් දෑස් ඉදිරියේ පාළු පෙනුමක් ගත් ගම්මානයක් දිස් විය. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුණුවිසුණු කරමින් ගම්මානය අතරින් ඉහළට නැඟුන දුමාරය ගම්මානය තුල ඇති වූ අවාසනාවන්ත ඉරණම ගැන අනාවැකි කියන්නට විය.

‘ අපි යන එක හොද තීරණයක් වෙන එකක් නෑ.’  ඔවුන් අතරින් එකෙකු පැවසීය.

  කෝකටත් ගිහින් බලමු. සමහරවිට කවුරුහරි හිටියොත්.’

අවසානයේ ඔවුන් ගම්මානයට ඇතුළු විය. වැලි කුණාටුවකින් හැම දෙයක්ම විනාශ වී ගියාක් මෙන් ගම්මානය පුරාවටම වූයේ අනතුරක සේයාවකි. නිවෙස් කීපයකම කැඩී තිබු දොරවල් අතරින් ඒවාය ඇතුළු වුවත් කිසිවකු හෝ හිදින බවක සළකුණක්  හෝ නොවීය.

‘ සෆ්‍රාස්, මෙහේ බලන්න.’

ඈත දුමාරය නැගෙන දෙස සිටි එකකුගේ කෑ ගැහිල්ලට අනිත් හැමෝම ඒ දෙසට දුව ගියෝය. තැනින් තැන තවමත් දැවෙමින් තිබුන මිනිස් සිරුරු වල දුමාරය ඔවුනට මහත් පීඩාකාරි එකක් විය. ඔවුන් ඒ දෙස බලාගෙන හිටියේ මහත් පිළිකුළෙනි. එක් තැනක රටාවකට වැටි තිබුන සිරුරු දැවී හමාර වී තිබුනේ කිසියම් පූජාවකට දුන් බිල්ලක් ලෙසිනි.

‘ අපි යමු.’

කිහිප දෙනෙක් එතැනින් ඉවත්ව පලා යන්නට විය. ඒ, මේ දර්ශණය බලාහිදීම තව දුරත් අපහසු එක් වු බැවිනි. පාළු මූසළ ගම්මානය දුමාරය මගින් සම්පූර්ණයෙන්ම වසා ගන්නා ලදි.

 ‘ ඔවුන්ගේ ආත්මයන් සැනසේවා.’ එකෙකු එතනින් ඈත්ව යන්නට කලින් මිමිණුවේය.

***

අල්දීනි සුපුරුදු විදිහටම විශ්ව විද්‍යාලයේ තම මනෝ විද්‍යා දේශණයට සූදානම් වෙමින් සිටියේය. සති කීපයකට පෙර අත්විදි දේ ඔහුගේ හිතේ තවමත් හොදින් රැදී තිබුණේය. කොතරම් බිහිසුණු එකක් වුවත් ඒ අත්දැකීම තුලින් හිතට දැනුන දේ ගැන ඔහු සතුටු වෙම්න් සිටියේය. ඒත් සෙත් අත්විදි අවාසනාවන්තර ඉරණම ගැන ඔහුගේ හිතේ තිබුනේ මහත් කැළබීමකි.

යක්ශ මන්තරයක බිල්ලක් වන්නට ගිය සෙත්, කැපුම් තුවාල මෙන්ම බිදීගිය උරහිසේ ප්‍රතිකාර වෙනුවෙන් තවමත් රෝහල් ගතව සිටී. හැකි හැම විටකම සෙත් බැලීමට රෝහලට ගිය ඔහු, සෙත් කෙමෙන් සුව අතට පත්වනු දැක සතුටු වූවේය. ඒත් සිත තුල තැම්පත් වුන බියක් ඔහු තුල නිතරම රැදි තිබුනි.

තම කාර්‍යාල කාමරයෙන් එදින දේශණයට අවශ්‍ය නිබන්දන අතට ගත් ඔහු දේශණ ශාලාවට පිටත් වීමේ අදිටනින් කාමරයේ දොර ලගට ආවිට දුටු දසුනින් තිගැස්සියේ ගියේය. ඔහුගේ  දෑස් විමතියට පත් විනි. ඒ සෙත්ය. අනපේක්ෂිත මොහොතක සෙත් ඔහුගේ කාර්‍යාලය අසළ හිදිම අල්දීනිගේ හිතේ තිගැස්ම වැඩි කරන්නට විය.

‘ සෙත්, බලාපොරොත්තු නොවුන වෙලාවක. ඔබට කොහොමද දැන්?’

සෙත්ව කාමරයට කැදවාගෙන ගිය ඔහු නිබන්දන යලි මේසය මතම තබා සෙත් හා කතාබස් කරන්නට විය. ඔහුගේ මුහුණේ වූ තුවාල කැළැල් වියලී ගොස්ය. දින දෙකකට පෙර රෝහලේදි දුටු සෙත්ට වඩා සුවයක් ලද බවක් ඔහුගේ දෑස් වලින් පෙනෙන්නට තිබින.

‘ හොදයි සර්. වැඩි අමාරුවක් නැති නිසා රෝහලෙන් මාව එවුවා. මම කෙලින්ම ආවේ මෙහෙට. සර්ට මේ වෙලාවේ කරදරයක් නැතුව ඇති කියලා මම හිතනවා.’

‘ නෑ සෙත්. කොහොමත් දේශණයට තව වෙලා තියෙනවා. මම පුරුද්දට වගේ එළියට යන්න හැදුවේ.’

ඔවුන් අතර විනාඩියක පමණ අනපේක්ෂිත නිහැඬියාවක් මතුවිය. ඒ කතා කරන්න දෙයක් නොතිබුනාට වඩා කතාව කොතනකින් පටන් ගම්දැයි යැන දෙගිඬියාව නිසාවෙනි.

‘ සර්, මම දෙයක් අහන්නද?’ අවසානයේ සෙත් නිහැඬියාව බිඳ දැමීය.

‘ කියන්න සෙත්.’

‘ එදා ඒ ගැහැණිය ඇත්තටම කලේ ලුසිෆර්ව කැදවන එකනම්, ඒක සාර්ථක වුනාද?’

සෙත්ගේ ප්‍රශ්ණයට පිළිතුරක් දීමට අල්දීනි තරමක් වෙලාව ගත්තේය. ඒ, ඔහුගේ සිත තුලද ගෙවුන සති කීපය පුරාම ඒ ප්‍රශ්ණයම තිබු බැවිනි. තමන්ටද හරි හැටි පිළිතුරක් සොයාගැනීමට අපහසු වූ ඒ දේම සෙත් ගෙන් යලි අසනට ලැබීම ඔහුගේ සිතුවිළි තව දුරටත් ඒ තුලටම ඇද රදවා ගන්නට විය.

‘ සෙත්, මටත් ඒකට හරි හැරි උත්තරයක් දෙන්න තේරෙන්නේ නෑ. මම හිතන්නේ අපි සාර්ථක වුනා. එහෙම නොවුනනම් එතන ඊට වඩා දෙයක් වෙන්න තිබුනා. ඒත් මට ඒක හරියටම විශ්වාසෙන් කියන්න බෑ.’

‘ ඊට පස්සේ එහෙන් මොනවහරි දෙයක් අහන්න ලැබුනද?’

‘ නැහැ සෙත්. මම පල්ලියේ පියතුමාට ඒ ගැන කියලා තිබුනේ. මොනවා හරි දෙයක් අහන්න දකින්න ලැබුනොත් මට  ඇමතුමක් දෙන්න කියලා. ඒත් මේ වෙනකන් එහෙම කිසිම ඇමතුමක් ආවේ නෑ.’

‘ එක අතකින් ඒකත් හොදයි.’ සෙත් මිමිණුවේය.

‘ සෙත් මම දැන් දේශණයට යනවා. ඔබ ටිකක් විවේක ගන්න. කැමතිනම් මෙතනම ඉන්න. අපි දේශණයෙන් පස්සෙ මුණ ගැහෙමු.’

සෙත් කාමරය තුල රැදෙද්දී අල්දීනි ඔහුට නියමිත මනෝ විද්‍යා දේශණය වෙනුවෙන් කාමරයෙන් පිටත් වී ගියේය. සෙත්ගේ මුහුණේ තිබුන කැළබිළි සහගත බව අල්දීනිට හොදින්ම තේරුම් ගියත් ඔහුට ඒ වෙනුවෙන් කල හැක්කක් නොවීය. ඒ සෙත් මෙන්ම ඔහුද මේ ප්‍රශ්ණයේදී අතරමං වී ඇති බැවිනි.

***

හෝරා තුනකට පසු අල්දීනි නැවතත් තමන්ගේ කාර්‍යාල කාමරය දෙසට ඇවිදන් එමින් සිටියේය. කිසියම් කෙනෙකු සමග සෙත් කාමරයෙන් පිටත කතාකරමින් සිටිනු ඈත තියාම ඔහු දුටුවේය.  ඒ ගැන වැඩි උනන්දුවක් නොකල ඔහු කොරිඩෝරය දිගේ ඇවිදන් ආවේය.

‘ සර්..’  අල්දීනි ඈත තියාම එනු දුටු සෙත් ඔවුන්ගේ කතාව නවතා ඔහු වෙතට ඇවිදන් ආවේය.

‘ ඇයි සෙත්?’

‘ සර් මම හිතන්නේ අපිට විසදන්න තව දෙයක් තියෙනවා වගේ.’

‘ මොකක්. ඒ කියන්නේ කර්ගා වල තවත් දෙයක් සිද්ද වෙලාද?’

‘ එහෙමම දෙයක් නෙමෙයි සර්. ඒත් මම හිතන්නේ ඔබ ඔහු කියන දේ අහලා හිටියොත් හොදයි වගේ. ඔබේ අකමැත්තක් නැත්නම්.’

‘ කොහෙත්තම නෑ සෙත්. අපි කාමරයට යමු.’

අල්දීනි කාමරයට ඇතුළු වත්ම අමුත්තා සමග කාමරයට ආ සෙත් අල්දීනිගේ කාර්‍යාල මේසයේ ඉදිරිපස අසුන් දෙකේ වාඩි විය. අමුත්තා ඔහුගේ කතාව පටන් ගන්නා තුරු අල්දීනි බලාගෙන සිටියේය.

‘ මහාචාර්‍ය තුමනි, මම ආවේ බාරිස් වල ඉදන්. මම හිතනවා ඔබ ඒ අවට ගැන අහලා ඇති කියලා. මම කයිරෝ වල ඉදන් බාරිස් වලට යද්දී අතර මගදි අපි ගමන් කරපු බස් එක අනතුරකට මුහුණ දුන්නා. ඔබ දන්නවනේ දුර පැති වලට මෙහේ බස් ගමන් ගැන. තව එකක් වෙනුවෙන් බලාගෙන ඉදිම තේරුමක් නැති දෙයක් නිසා අපි හැමෝම පයින් යන්න තීරණය කලා. මේ අවු රශ්මියත් එක්ක කාන්තාරයේ ඇවිදින එක ඒ හැටි පහසු දෙයක් නෙමෙයි. ඒත් අපිට ඒක කරන්න සිද්ද වුනා. බාරිස් වලට ලඟා වෙන්න කලින් අපිට එක් කුඩා ගම්මානයක් මුණ ගැහුනා. අපි එතන ටික වෙලාවක් විවේක ගන්න තීරණය කලේ එක දිගට ගමන අපි කාත් අපහසුවක් නිසා. ඒත් අපිට දකින්න වුනේ අපි කොහෙත්තම බලාපොරොත්තු වුන විදිහේ දෙයක් නෙමෙයි. අපි ගම්මානයට ඇතුළු වෙන්න කලින්ම ඈත ඉදන්ම ලොකු දුමාරයක් දැක්කා. ඒත් ඒක ඒ හැටි අපි හිතුවේ නෑ. ඒත් මුළු ගමම තිබුනේ පාළු වෙලා ගිහින්. අපි ගෙවල් වලට ඇතුළු වෙලා බැළුවත් කිසිම කෙනෙක්ව දැක්කේ නෑ. ඒත්..’

ඔහු කතාව මතකට නවත්වා කෙටි විරාමයක් අර ගත්තේ කියන්න යන දේ එතරම්ම හොද දෙයක් නොවූ නිසාවෙනි. ඔහු හොදින් හුස්මක් අරන් එය පිට කර හිත සැහැල්ලු කර ගත්තේය.

‘ ගම්මානයේ ගෙවල් කිපයකට එහායින් තිබුන හිස් ඉඩක අපි දැක්කේ ගින්නෙන් පිලිස්සී ගිය මිනිස් සිරුරු. සමහරක් ඒවයේ ඒ වෙද්දිත් යන්තම් ගිණි පුළිගු තිබුනා. සමහර ඒවා අළුවෙලාම ගිහින් තිබුනා.’

‘ මොකක්?’ අල්දීනි විමසුවේ විමතියෙනි.

‘ ඔවු. මේක ටිකක් විශ්වාස කරන්න අමාරු විදිහේ දෙයක්. ඒත් මම මේ කියන්නේ ඇත්ත.  පිලිස්සිලා අලු වෙලා ගිහින් තිබුන සිරුරු තිබුනේ බිම හරි මැදක එක රටාවකට. මට හොදටම විශ්වාසයි ඒක මොකක් හරි යාගයක කොටසක්. බිල්ලක්, එහෙමත් නැන්නම් බාරයක් ඔප්පු කිරීමක්.’

‘ එතකොට අනිත් ඒවා?’

‘ ඒවා තිබුනේ තැන තැන විසිරිලා.’

‘ ඊට පස්සේ?’ අල්දීනි මෙන්ම සෙත්ද ඔහුගේ කතාවෙන් විමතියට පත්වී තිබුනි. ඔවුන් ඔහුගේ කතාවට ඇහුම්කම් දෙමින් සිටියේ ඒ තරම් උනන්දුවෙනි.

‘ කවුරුවත් එතන රැදෙන්න කැමති වුනේ නෑ. ඔවුන් හැමෝම වගේ ඒ ගම්මානයෙන් ඈතට දුවන් යන්න පටන් ගත්තා. මටත් අවසානයේ වෙන තීරණයක් තිබුනේ නෑ.’

‘ ඔබට හොදටම විශ්වාසද ඒ ගම්මානයේ කවුරුවත්ම ජීවතුන් අතර හිටියේ නෑ කියාලා?’ අල්දීනි පෙරලා ඔහුගෙන් ප්‍රශ්ණ කලේය.

‘ ඒක තමයි වැදගත්ම. මම ආපහු හැරිලා එන්න හදද්දී මට ඇහුනා සිහින් කෙඳිරිල්ලක්. මම හිතුවේ ඒක මගේ හිතේ ඇතිවුන දෙයක් විතරයි කියලා. ඒ හන්දා මම එන්න සූදානම් වුනා. ඒත් මට ඒ කෙඳිරිල්ල තව කිප වතාවක්ම ඇහුනා. ඉතින් මම ඒ හඬ ඇහුන දිහාට ඇවිදන් ගියා. ගිණ්නෙන් පිලිස්සුන නිසා කඩා වැටුන අට්ටාලයක් යට ඉදන් මට හමුවුනේ අවුරුදු 10ක විතර පොඩි ළමයෙක්. ඇගේ තැනින් තැන පිළිස්සුම් තුවාල තිබුනට ඔහුගේ ජීවිතයට ලොකු අනතුරක් නෑ කියන එක පේන්න තිබුනා. ඒත් අනිත් හැමෝම හිටිය මානසික තත්වය එක්ක ඒ ළමයට උනත් උදවුවක් කරන්න ඔවුන් සූදානම් වුනේ නෑ.’

‘ ඉතින් ඔබ මොකද කලේ?’

‘ මට ඔහුව දාලා එන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඉතින් මම ඔහුව බාරිස් වලට එක්කන් ආවා.’

‘ ඒක හොදයි. ඉතින් ඔහුගෙන් අහලා දැන ගත්තද මොකද්ද උනේ කියන එක?’

‘ මාත් බලාපොරොත්තු උනේ නම් ඒකම තමයි. ඒත් කණගාටුයි මේ වෙනකන් ඔහු වචනයක් වත් කතා කලේ නැහැ.’

‘ ඒක නම් ගැටළුවක්.’

අල්දීනි වාඩි වී හිදි පුටුවෙන් නැගිට කාමරයේ ඇවිදින්නට විය. ඔවුන් අතර ටික වෙලාවක් ඇති වූයේ මද නිහැඬියාවකි.

‘ ඉතින්, ඔබ ඇයි මාව හමුවෙන්න ආවේ? මං ගැන දන්නේ කොහොමද?’

‘ මම පහුගිය දවසක කර්ගා වලට අවා. එහෙදි මට අහන්න ලැබුනා සතිකීපයකට කලින් එහේ සිදුවුන අසමාන්‍ය සිදුවීම් ගැන. ඒ එක්කම ඔබේ නම. ඉතින් මට හිතුනා ඔබව හමුවෙලා මේ ගැන කතා කරන්න.’

‘ මෙහෙමයි මහත්මයා..’ අල්දීනි කියන්නට ආ දේ මදකට නතර කර ගත්තේය. ‘ සමාවෙන්න මෙච්චර වෙලා කතා කලත් මට ඔබේ නම අහගන්න බැරි උනා.’ අල්දීනි පැවසුවේ කතාවට තිබු උනන්දුව නිසාම ඔහුට අතපසු වූ දේ නිවැරදි කර ගැනීමේ අරමුණිනි.

‘ මම සෆ්‍රාස්.’

‘ මේකයි සෆ්‍රාස්, ඔය වගේ දේවල් ගැන පරීක්ෂණ කරන එක මගේ රැකියාව වත් විනෝදාංශය වත් නෙමෙයි. කර්ගා වලට ගියෙත් මේ සෙත් ගේ ඕනකමට. එයාගේ ගමේ ප්‍රශ්ණයක් නිසා.’

‘ ඒක වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් ලොකු කරදරයකින් ඒ ගම නිදහස් උනා කියලා හැමෝම වගේ කියනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් මේ ගැනත් පොඩ්ඩක් බලන්න ඒක අපේ හිත් වල තියෙන ප්‍රශ්ණයට ලොකු සැහැල්ලුවක් වේවි.’

‘ හරි, මම පුළුවන් උත්සාහයක් අරන් බලන්නම්. ඒත් මට සහතික වෙන්න බැහැ.’

‘ කමක් නැහැ. අපි ඔබව බලාපොරොත්තු වෙනවා.’

ඔහු අල්දීනිගේ කාමරයෙන් පිටව ගියේ ඔවුන්ගේ හිත් වල කුතුහලයක් මතු කරමින්ය. අල්දීනි සෙත් දිහා බැලූ අතර ඔහු සිටියේ  නිහඬවමය. ඔවුන් අතර මද වෙලාවක නිහැඬියාවක් රැදුනේ දෙදෙනාම මේ ගැන සිතමින් සිටි නිසාවෙන්ය.

‘ සෙත්, මොකද හිතන්නේ?’ අවසානයේ අල්දීනි ඇසීය.

‘ අපි ගිහින් බලමු සර්.’

‘ අපි? සෙත්ට පිස්සුද? කලින් වතාවේ වුන දෙයින් යන්තම් සනීප වෙලා අදයි ආවේ. එහෙම එකේ ආයෙම ඒ වගේ භයානක දේකට සෙත්ව එක්කන් යන්න මම සූදානම් නෑ.’

‘ සර්, මට ඒ හැටි අමාරුවක් නෑ. අනික සර් කොච්චර අකමැති උනත් මම එනවා. ගිය වතාවේ මගේ ජිවිතය බේරුවට මම සර්ට ණය ගැතියි.’

ටික වෙලාවක් පැවතුන වාද විවාද වලින් අවසන අල්දීනි සෙත් සමගින් බාරිස් වෙත යාමට එකග වූයේ සෙත් ගේ දැඩි පෙරැත්ත නිසාවෙනි. පසුදින උදෑසනම පැමිනෙන පොරොන්දුවෙන් සෙත් නික්ම ගිය පසු කාමරයේ තනි වූ අල්දීනි සෆ්‍රාස් පැවසූ දේවල් ගැන තනිවම කල්පනා කරන්නට විය. සවස දේශණයක් නොතිබුන නිසාම ඔහු සවස් කාලය අන්තර්ජාල තුලින් බාරිස් නගරය ගැන තව දුරටත් දැනුවත් වූවා මෙන්ම සමුහ බිලි පූජාවල් ගැනද තරමක් දුරට අධ්‍යනය කලේය. ඒ හැම දෙයකින්ම ඔහුගේ හිත තවත් කුතුහළයෙන් පිරි ගිය නිසාම ඒ හැම දෙයක්ම අමතක කල ඔහු පසුදින සිය දෑසින්ම ඒ ගැන දැක ගන්නවා යන හැඟීමෙන් තම කාමරයෙන් නික්මී ගියේය.

***

උදෑසන මනෝ විද්‍යා දේශණය තම සහායකයකුට පැවරූ අල්දීනි සෙත් සමගින් බාරිස් වෙත යන බසයක නැගිනි. ඒ කයිරෝ සිට බාරිස් දක්වා බොහෝ දුරක් තිබුන නිසාම ඒ දුර තම වාහනය පදවමින් වෙහෙස වීමේ කැමැත්තක් අල්දීනි තුල නොවූ නිසාවෙනි. ඔවුන් අතර කතාබහක් ඇති වුයේ අඩුවෙනි. එයත් බාරිස් වල මාතෘකාවෙන් පිටත වූ කෙටි කතාබහ කීපයක් විය.

‘ මම හිතන්නේ නෑ අර කිවුව සිරුරු දැන් එකක් වත් එතන තියෙයි කියලා.’ තවදුරත් ඉවසා ගන්නට නොහැකි වූ කුතුහලය සෙත් මුවින් පිට කරන්නට විය.

‘ ඒක ඇත්ත. සෆ්‍රාස් කියපු විදිහට ඔහු එහේ ගියෙත් සතියකට කලින්. මේ වෙද්දී පොලිසියෙන් ඒ දේවල් ඉවත් කරලා ඇති.’

‘ එහෙම උනොත් අපි මොකද කරන්නේ?’

‘ සෙත්, මම හිතන්නේ නෑ එහෙම කලා වුනත් ඒ තියෙන හැම සළකුණක්ම ඔවුන් මකලා දාවි කියලා. අපි සෆ්‍රාස් කියපු දේවල් වලට ඇහුම් කන් දුන්නා. සමහරවිට අපිට දැන් ඊට වඩා දේවල් දැන ගන්න පුළුවන් කමක් තියේවි.’

ද්‍යහනට කිට්ටු වෙද්දී ඔවුන් කර්ගා නගරය පසු කළේය. කලින් වතාවේ වූ අමිහිරි අත්දැකීම් එකින් එක ඔවුන්ගේ හිත් වලට ආ නිසාම දෙදෙනාම නිහඬව හිදීමට වග බලා ගත්තේය. තවත් හෝරාවක් පමණ ගත වන්නට මත්තෙන් ඔවුන් බාරිස් වලදී කතාකර ගත් පරිදි සෆ්‍රාස් මුණ ගැසින.

‘ අපිට මෙතන ඉදන් ටික දුරක් යන්න වෙනවා ඒ ගම්මානයට.’

සෆ්‍රාස් ඔවුන්ට පැහැදිළි කරන්නට විය. එය තවත් අඩහෝරාවකටත් වඩා අඩු ගමනක් විය. ගම්මානය වෙත ලගා වෙද්දී ඒ අවට වූ පාළු මූසළ බව ඈතටම හොදින් දිසි විය. සෆ්‍රාස් පැවසුවාක් මෙන් ඈතකට දිස් වන දුමාරයක් නොමැති වීම ඔවුන්ගේ හිත් වලට තරමක අස්වැසිල්ලක් විය.

‘ මට කියන්න බැරි වුනා. ගම්මානයට පොලිස් ආරක්ෂාව දීලා තියෙන්නේ. අර සිරුරු හැම එකක්ම වගේ ඉවත් කරලා. ඔබලාට ඒවා පරීක්ෂා කරන්න ඕනම නම් රෝහලට යන්න වෙනවා. මම හිතන්නේ නෑ අවසරයක් ගන්න ඒ තරම් අමාරු වෙයි කියලා.’

සිරුරු ඉවත් කල යැයි කීවත් ගම්මානයට සමීප වත්ම ඔවුනගේ නාස් පුඩු අතරට පිළිකුල් සහගත දුඟඳක් හමාගෙන ආවේය. ගම්මානයට ඇතුළු වත්ම එය ක්‍රමයෙන් වැඩි විය. හැම තැනකම සුන්බුන්ව ගිය දේවල් වලින් අපිළිවෙල වී තිබින. ඔවුන් කෙලින්ම ඇවිදන් ගියේ සිරුරු පිලිස්සි වැටි තිබුන තැනටයි.

‘ ඔවුන් හැම දෙයක්ම අයින් කරලා.’

සෆ්‍රාස්ට කියවිනි. ඒත් දැවි ගිය සිරුරු වැටි තිබු තැන් වල සළකුණු තවමත් එලෙසම ඉතිරි වී තිබින. අල්දීනි ඒ දෙසට වඩාත් අවදානයක් යොමු කලේය.

එය ගම්මානයේ විවෘත වූ භුමි ප්‍රදේශයේ මධය ලක්ෂය විය. ඒ වටා කිසිවකුත් ගිණ්නක් දැල්වූ බවට පෙනෙන්නට කිසිවක් නොතිබුන් නමුත් ගිණ්නක් හැම දෙයක්ම විනාශ කර ගිය බව හැඟවෙන්නට ප්‍රමාණවත් තරම් සාක්ෂි විය. එතැන එක්රැස් වූ ගනන දොළහක් පමණ විය හැකි බව බිම ඉතිරි වී තිබු සළකුණු වලින් පෙනෙන්නට විය. අප්‍රසන්න කිසිවක් නොමැති වුවද විටින් විට හමා ආ සුළගේ තිබුනේ පිළිකුල් සහගත බවකි.

‘ අර ළමයා හම්බුනේ කොතන ඉදලද?’

අල්දීනි සෆ්‍රාස්ගෙන් විමසීය. ඔහු ඊට තරමක් ඈතින් වූ තැනක් ඔවුනට පෙන්වීය. මිනිසුන් විසින් ගිණ්නක් ඇවිළු බවට සාක්ෂියක් හෝ නොමැති තැනක ඒ තරම් දුරකට ගිණ්නක් ඇවිලි ගියේ කෙසේද යන්න ඔවුන් කිසිවකුත් සිතා ගන්නට නොහැකි විය.

‘ ඒ ළමයගේ තත්වේ කොහොමද?’

‘ තාමත් එහෙමමයි. කිසි වෙනසක් නැහැ.’

‘ අපි ගිහින් බලමු.’

අවසානයේ අල්දීනි පැවසීය. කිසියම් අස්වාභාවික දෙයක හැඟීමක් ඔහුගේ හිතට දැනුනත් එය හරි හැටි අවභෝද කර ගැනීමට කිසිම සාක්ෂියක් ඔහුට හමු නොවිය. යලිත් බාරිස් වෙත් පැමිණි ඔවුන් රෝහල වෙත ගියේ ළමයා දැක ගැනීමේ අරමුණිනි. අන් අයගෙන් වෙන් වුන තරමක් කුඩා කාමරයක වූ ඇදක ඔහු වැතිර සිටියේය. අල්දීනි, සෙත් හා සෆ්‍රාස් සමග ඔහු නිදා හිදි ඇද සමීපයට පැමිණියේය.

ඔහුගේ මුහුණේ තැන් කිපයක මෙන්ම සිරුරේ බොහෝ තැන් වල පිළිස්සුම් තුවාල විය. ඒවාට ප්‍රත්කාර කර ඇති බවක් පෙනෙනට තිබුනත් ඇතැම් ඒවායෙන් යන්තමින් රුධිරය ගලමින් තිබි. අපහසුවකින් තොරවම හුස්ම ගත්තද ඔහු සිටින්නේ නින්දකද නිද්‍රාවකද යන්න තේරුම් ගැනීම අපහසු විය.

අල්දීනි තරමක් කුඩා ළමයා දෙසට නැඹුරු විය. කිසිවකුත් කාමරයේ සිටින වගක් නොදැන ඔහු පෙර මෙන්ම හුස්ම ගනිමින් හා පිට කරමින් සිටියේය. අල්දීනි ඔහුගේ මුහුණ දෙසට තවත් ලං විය. ඒ ඔහුගේ හුස්ම පවා දැනෙන තරම් සමීපයටය. මොහොතින් දෑස් විවර කල ඔහු විලාප නගන්නට විය. කන් රිදුම් දෙන අසා සිටිය නොහැකි විලාපයක් වූ එයින් මිදීමට ඔවුන් දෙසවන් වසා ගන්නට උත්සාහ කළේය.



මතු සම්බණ්ධයි...

Wednesday, 26 October 2016

චිත්ත සලිත

මම හුඟක් වේගෙන් දුවගෙන ආවා. තරමක් හති වැටිලා තිබුණා වුණත් නවතින්න නොහිතෙන තරම් වේගයකින් මම දුවගෙන ආවා. වගේමයි ඔවුනුත්. මගේ පසුපසින්ම ලුහු බැඳන් ආවේ මාව මඟ ඇර ගන්න ඔවුන්ට වුවමනාවක් නොතිබුණ නිසාම වෙන්න ඇති. මම තවත් වේගයෙන් දිවුවා.


මොහොතකදි මම නතර වුණා. මහන්සියට. අතු ඉති පොඩි වෙන සද්දයත් එක්කම ඔවුන් මගේ ළගට ඇවිත් නතර වුණා. බොහොම ඕනකමකින් උනන්දුවකින් මගේ දිහා බලාගෙන හිටියා. මමත් උන් දිහා බැලුවා. මේ නොසංසිදෙන ලුහු බැඳිමේ අවසානයක් තියේද කියලා හිතාගෙන. ඒත් දෑස් වල තිබුණේ වෙනමම කතාවක්.

මම ආයෙම දිවුවා. හති දමමින්. දැන් මගේ වේගය හුඟක් අඩුයි. මහන්සියට. ඒත් නවතින්න බැරි නිසාම මම දුවගෙන ගියා. ඉබාගාතයේ. පියවරක දෙකක පිටුපසින් ඔවුනුත් හැම එකෙක්ම මාව ලුහු බැදන් ආවා. මම මගේ වේගය අඩු කරන හැම වෙලාවකම උන් මගේ කකුල් දෙකේ එතෙන්න මාන බලමින් හිටියා.

සර්පයෝ.... මගේ හිතේ උන් ගැන තියෙන්නේ අකමැත්තක්. භයකට එහා ගිය පිළිකුලක්. උන් එක එක වර්ණ වලින් එක එක ජාති වලින් මගේ පස්සෙන් ඇදිලා එන්න වුණා. මේ ලුහු බැඳිම කොතනින් කොහොම මොන හේතුවක් නිසා පටන් ගත්තද කියලා මම දන්නේ නෑ. ඒත් උන් නිතරම මාව ලුහු බැන්ඳා. මට මතක නෑ. මොකද මට මතක මේ හැම දෙයක්ම පටන් ගත්තේ මගේ දිවීමත් එක්ක කියලා විතරයි.

එහෙම නැත්නම් මේ තැනින් තැනදි මට මුණ ගැහෙන උන්. මෙච්චර දුරක් උන්ට මගේ පස්සෙන් එන්න බෑ. උන් එකිනෙකා මගේ පස්සෙන් එන ගමන් සංනිවේදනය කරනවා ඇති. මගේ දුවන් යන පාරේ ඉස්සරහා ඉන්න උන්ට. නැත්නම් උන් කොහොමද මෙච්චර ඉක්මනට මම නවතිද්දිම මගේ ළගට ඇවිත් නතර වෙන්නේ??

මම තවමත් දුවනවා. නවතින්න තියෙන නොහැකියාව නිසාම මම තවමත් දුවනවා. මම වේගය අඩු කරන හැම වෙලාවකම බිම වැටිලා තියෙන කොළ අතරින්, තණ පිඩලි මතින් උන් මගේ ළගට ඇවිත් නවතිනවා. උන්ගේ තියෙන අරුමෝසම් පාට අතරෙම මම අකමැතිම පිළිකුලක් එකතු වෙලා තිබුණා. ඉතින් මම ආයෙමත් දුවනවා.

කැලෑවක් අතරින් වැටිලා තිබුණ මාවතෙන් මිදිලා මම එළිමහනකට ආවා. හිතට දැනුණේ තරමක සැහැල්ලුවක්. , මට දැන් වටපිටාව කලින්ට වඩා හොදින් පේන හන්දා. ඒත් මගේ දිවීවේ අඩුවක් උණේ නෑ. තැනිතලා බිම දිගේ මම තව ටිකක් දුර දුවගෙන ගියා. මම නතර වුණා. පිටිපස්ස නොබලම මම එහෙමම හුස්මක් දෙකක් තරම් වෙලාවක් නැවතිලා බලාගෙන හිටියා.

හැමදෙයක්ම නිස්කලංකයි. කොළරොඩු එහා මෙහා වෙන හඬක්වත් නොඇසෙන තරම්. මම දිගු හුස්මක් එක්ක ආයෙම හැරිලා බැලුවා. උන් කැලෑව මානයෙන් ටික දුරකින් නැවතිලා. උන් මහා ගොඩක්. එකා පිට එකා දැවටි දැවටි මගේ දිහා බලාගෙන හිටියා. සමහර උන් තමන්ගේ ශක්තිය පෙන්නන්න අනෙකා එක්ක පොරබදිමින් හිටියා.

මට තවදුරටත් එතන රැදෙන්න ඕනකමක් තිබුණේ නෑ. මම තැනිතලා බිම දිගේ ඇවිදන් ආවා. ටික දුරක්. ටිකක් ඈතට වෙන්න ගෙවල් තියෙනවා දැක්ක නිසාම මගේ හිතට දැනුණ සැහැල්ලුවෙන් මම ටිකක් ඉක්මනට ඇවිදන් ආවා. , ආයෙම උන් මගේ පස්සෙන් ඒවි කියලා හිතට දැනුණ නිසා.

ගෙවල් එකක් දෙකක් මම පහුකරන් ගියා. හැම එකකම තිබුණේ පාළු වෙලා ගිය බවක්. ඒත් මම ඒක තරම්ම ගාණකට ගත්තේ නෑ. මධ්‍යහන පහුවෙමින් තිබුණ හන්දා පාළුව තරම්ම අමුතු දෙයක් නෙමෙයි කියලා මට හිතුණා. ඒත් වැඩි වෙලාවකට නෙමෙයි.

මම හිටියේ ගෙයක් පහු කරමින්. යමක් බොහොම තදින් බිඳෙන හඬක් මට ඇහුණේ මට අහම්බෙන් වගේ. අහම්බයකුත් නෙමෙයි. ඕනම දෙයක් බොහොම හොදට ඇහෙන තරමේ ඉඩකඩක් තිබුණ නිහැඬියාවේ මට හඬ හොදටම ඇහුණා. මම නතර වුණා.

මම හඬ ඇහුණ දිහාට ගියා. ආයෙම හැම දෙයක්ම තිබුණේ බොහොම ලොකු නිහැඬියාවක. ඒත් මම කලින් හඬ දිගේ ගෙදරක දොරකඩට ලං වුණා. සුරතලුන්ට ගෙදරින් එළියටයි ඇතුළටයි යන්න දොරේ හදලා තියෙන කවුළුව ළග කළු පාටට දිඟට යමක් තිබුණා. මම අඩි තිබ්බේ බොහොම හෙමීට. වෙද්දිත් මගේ හිත ඕනවාටත් වඩා ගැහෙමින් තිබුණේ. මම තව ටිකක් ලං වුණා.

මගේ හිත තවත් වේගෙන් ගැහෙන්න වුණා. මොකද්ද කියන එක අඳුන ගන්න මට අමාරු වුණේ නෑ. මම අඩියක් පිටිපස්සට තිබ්බා. ආපහු හැරුණා. සිහි නැතිව ඇදෙගෙන වැටෙන තරමේ බයකින් වෙලිලා මගේ හිත එක පාරම නතර වුණා. උගේ ඔළුව තිබුණේ මගේ පිටිපස්සේ. ඒක මටත් වැඩිය විශාලයි.

කිසි හැල හොල්මනක් නැතුව ඒක මං ඉන්න තැනට අඩි කීපයක් එහායින් බිම වැටිලා හරි වැතිරිලා හරි තිබුණා. මම උගේ ඔළුව ළඟින් පටන් අරන් උගේ ඇග දිහා බැලුවා. ගේ අනික් පැත්තෙන් පේන්නේ නැතුව ගිය ඒකේ අවසානය තමයි කවුලූවෙන් මෙහා මම කලින් දැක්කේ කියලා තේරුම් ගන්න මට අමාරු වුණේ නෑ.

බයෙන් මිරිකිලා ගිය හැඟීම හන්දම ආයෙම දුවනවද නැද්ද කියලවත් හිතාගන්න බැරුව මම ගල් ගැහිලා බලාගෙන හිටියා. මම බැලුවේ උගේ ඇස් දිහා. ඒවා තිබුණේ පියවිලා. ඒක මට එක මොහොතක සැනසුමක් වුණා. ඒත් මම එද්දී මේක නොදැක්කේ කොහොමද කියලා මම කල්පනා කළා.

මම ආයෙම දිහා බැලූවා. පියවුණ ඇස් ඇරුණෙ බොහොම ඉක්මනට. මගේ ඉස්සරහින් කෙළින් වුණේ මහා යෝධයෙක් වගේ. උගේ ඇඟට යට වෙලා හිටිය මිනිහෙක්ව ගිල දැම්මේ හරිම ලේසියෙන්. ඒක ඌට දැනුනෙවත් නැති පාටයි. ඊට පස්සේ හැරුණේ මගේ දිහාට
 
උඹ..’

ඔවු. කතාකරන සර්පයෙක්.. නයෙක්.. පිඹුරෙක්. මොකෙක් හරි. මගේ ඉස්සරහට වෙලා බලාගෙන හිටියා. කහ පාටට හුරු ඇස් වල දරුණු පෙනුමක් තිබුණා. ඊළග මොහොතේ මම ආයෙම දුවමින් හිටියා. කලින් වතාවේ වගේ නෙමෙයි මේ පාර දුවලා බේරෙන්න තරම් පුළුවන් කමක් මට නෑ කියලා මට තේරුණා. ඒත් මම දිවුවා.

කොච්චර දුර ආවද මම දන්නේ නෑ. ඈතින් මම දැක්කා මිනිස්සු දෙතුන් දෙනෙක්. ඔවුන් දුවගෙන ආවේ මම එන දිහාවටමයි. ඒක මට මහ සතුටක්. අඩුම ගානේ මම දැන් තනි නැහැ. ඒත් එක්කම අපි ඌට තරම්ම දෙයක් නෙමෙයි කියලා මට තේරුණා. මම ඔවුන්වත් නවත්වන ගමන් ඉස්සරහට දුවන් ගියා.

මගේ ඉස්සරහට ආව මිනිස්සු මාවත් පහු කරන් දුවද්දී මම නැවතිලා ආයෙම හැරිලා බැලුවා. , අර සර්පයා.. නාඟයා.. පිඹුරා.. මොකා හරි, හිටියේ බිම වැටිලා. හරියට මැරිලා වගේ. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා මම දන්නවා.
 
මැරිලා නෑ..... මැරිලා නෑ...’

මම ඔවුන්ව නවත්තන්න කෑ ගැහුවා.

එච්චරයි........ 





ප.ලි- දැන් මේ මල විකාරේ මොකද්ද කියලා ප්‍රශ්ණ කරන්න කලින් ඒ ගැන කියන්නම්. මේක මම නිතරම බොහෝ වතාවක් දැක්ක හීනයක්. තේරුමක්වත් නොදන්නවා උනාට දැන් සෑහෙන කාලෙක ඉදන් මම මේක දකිනවා. මම සර්පයන්ට අකමැති වෙන්න ලොකුම හේතුවත් මේක තමයි.