Thursday, 31 March 2016

ඇගේ විවාහය

ඇය තම දියණියගේ කමරය අසල රැදී සිටියාය. චකිතයෙන් යුතුවූ කල්පනාවක් ඇගේ ගමන මොහොතකට නතර කර තිබිණි. කලබලයෙන්ම නොවුවත් මේ අත දුවන කිපදෙනා නිසා ඇයගේ කාමර යකාර්ය බහුල වී තිබුණි. දෙස බොහෝ වේලාවක් බලාහිදිමින් කල්පනාවේ උන් ඇය අවසානයේ තීරණයකට එලැබිණි
 
ඇයට තීරණයක් ගැනීමට අවැසි වූ ආත්ම ශක්තිය ඇය කෙරෙන් ගලාගෙන ආවේ බොහෝ සෙමිනි. දිගු සුසුම් කීපයකට පසුව ඇය පියවර කීපයක් දියණියගේ කාමරය දෙසට තැබුවාය. කාමරයෙන් පිටතට ගැහැනුන්ට ඇගේ මේ ගමන එතරම් අරුමක් නොවුණත් ඇය වෙනසක් නොපෙනෙන්නට වග බලා ගත්තාය.
 
මංගල ඇඳුමින් සැරසුණද දියණියගේ මුහුණෙහි වූ මලානික බව කණ්ණාඩියෙන් දැක තේරුම් ගන්නට ඇය අපොහොසත් නොවුවාය. හිස් වූ බැල්මකින් ඇය දෙස තව මොහොතක් දෙකක් බලාගෙන සිටියාය. දියණියව සරසමින් සිටි මහලු ගැහැනිය දෙස කීප වතාවක්ම වුවමනාවෙන් බැලුවත් ඇයට පිටව යන මෙන් විධාන කරන්නවත් ශක්තියක් සතු නොවීය.
 
ඇයට තව වේලාවක් කාලය ගෙවා දැමිය යුතු විය. ත්‍යාවශයම නොවූවත් ඇගේ වේලයේ මල් මොස්තරය පිරික්සමින් එහි අඩුපාඩු සකසමින් ඇය කාලය ගෙවා දැමුවේ ආයාසයෙනි. ඇගේ හිත මතකයෙන් ගිලී යන්නට එතරම්ම කාලයක් අවස්ය නොවිණ.
 
                                                                           ***

මංගල්‍යට දින තිණ්දු වෙලා කියන ආරංචිය ලැබුණ වෙලේ ඉදන් හිතේ තිබුණේ කොහෙත්තම නවත්ත ගන්න බැරි තරමේ තිගැස්මක්. මට ඕන වුණේ ඒකෙන් පැනලා යන්න. නිදහසේ ඉන්න. ඒත්, නිදහසට ඕන කරන අත්තටු කපලා දාලා තිබුණේ උපදින්නත් කලින් කියන එක තේරුම් ගත්ත පුංචි කාලෙම ඉදන් මම හීනේ දකින එක ගැන ආශාව අත් ඇරලා දැම්මා. දැන් මේක් නිකන්ම නිකන් ජීවිතයක් විතරමයි.
 
හැම තැනකම හැම කෙනෙක්ගෙම හිතේ තිබුණේ කසාදය ගැන. හැබැයි මං ගැන නෙමෙයි. අලුතින් එකතු වෙන්න යන්න කීර්තිය ගැන. , තරමටම ඔහුව වැදගත් කියලා සලකපු නිසා.
 
අම්මේ, මට බැහැ
 
හිතේ හුඟක් දවස් තද කරගෙන හිටපු හැඟීම බයෙන් උණත් මම පිට කරලා දැම්මා. මම දන්නවා අම්මා ගෙදර අනිත් අය වගේ නෙමෙයි. ඒත් එයා ඉන්නෙත් මේ පවුල ඇතුළෙමයි කියලා මට පුංචිම වෙලාවකට අමතක වෙලා ගියා.
 
මේ මොන පිස්සුවක්ද?’
 
අනේ අම්මේ.’
 
ඇගේ මුහුණේ තිබුණේ කේන්තියක්. ඒකට හේතුව අහන්න හිතට ඕනකමක් තිබුණත් අවසානයේ මම වචනයක් වත් කතා නොකර හිටියේ ඇගෙන් මට පිළිතුරක් ලැබෙන්නේ නෑ කියලා දැනුණ නිසා.
 
දැන් මේවට පස්ස ගහන්න කාලයක් නෙමෙයි. අනික බෑ කියන්න තරම් අයිතියක් අපිට කොහෙන්ද?’
 
ඇය කියවගෙන ගියා. අයිතිය. ඇය කියපු අනිත් හැම දේම නැතත් එක වචනයේ නම් ඇත්තක් හැංගිලා තිබුණා. හැබැයි අයිතිය මට විතරක්ම නෙමෙයි ඇයටත් නැහැයි කියන එක මම හිතන්නේ ඇය තේරුම් අරගෙන ඇති. එහෙම නැත්නම් තේරුණත් නොතේරුනා වගේ ඉන්න උත්සාහ කරනවා ඇති.
 
අනික උඹ නොදන්න කෙනෙකුත් නෙමෙයි නේ.’
 
ඔවු, මම එයාව දෙපාරක් විතර දැක්කා කියන මතකය මගේ හිතේ තියෙනවා. මම හුඟක් පුංච් දවස් වල තාත්තත් එක්ක එයා අහම්බෙන් වගේ අපේ ගෙදර ආපු වෙලාවක. එයා තාත්තගේ හොදම යාළුවෙක් වුණේ මගේ මේ ජීවිතේ අවාසනාවන්ත ඉරණම ලියන්නද කියන එක මට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
 
මගේ හොදම යාළුවා. අපේ දුවට හොදට ගැලපෙනවා. ඒකෙන් එයාට වරදක් වෙන්නේ නෑ.’
 
ටික දවසකට කලින් තිබුණ රෑ සාදයෙදි තාත්තා ඔහු ගැන වර්ණනා කළේ විදිහට. මට හිතුණේ එතනට දුවලා ගිහින් තාත්තගේ වයසයි ඔහුගේ වයසයි මගේ වයසයි ගැන ප්‍රශ්න කරන්න. ඒත් එතනට යන්න මට ආරාධනා තිබුණේ නෑ වගේම කතාකරන්න නිදහසක් නොතිබුණ නිසාම මට සිද්ධ වුණේ කතා හැම එකක්ම කොරිඩෝවට වෙලා හැංගිලා ඉදන් අහගෙන ඉන්න.
 
දැන් අම්මා කියන්නෙත් ටිකමයි. ඒත් ටිකක් වෙනස් විදිහකට. මම අහගෙන ඉන්නවද නැද්ද කියන එක වැදගත් නොවුණත් අම්මා දිගටම කතාව කරගෙන ගියා. අන්තිමෙ විවාහය වෙන දවස වෙනකන්. එදා අම්මා ඇඬුවේ ඇත්තටමද නැත්නම් බොරුවටද කියන එක දන්නේ එයා විතරක්ම වෙන්න ඇති.
 
                                                                     ***
 
ඇය කල්පනාවෙන් මිඳුණේ දියණියගේ කාමරෙන් ඇහුණ කටහඬට. ඇයව සරසමින් සිටි ගැහැනිය. ඇය තමන් දෙස බලාගෙන සිටියේ බොහෝම උනන්දුවකින් කියන එක ඇස් වලින් මොහොතකින් තේරුම් ගන්න ඇයට පුළුවන් උණා.
 
මගේ වැඩ ඉවරයි නෝනා.’
 
මහලු ගැහැනිය කාමරයෙන් පිටවෙලා ගියේ ඇයට ආචාර කරමින් උණත් සැකයෙන් පිරුණ දෑස් වලින් ඇයට ගැලවීමක් තිබුණේ නෑ. බොහෝ වෙලාවකට පස්සේ ඇයත්, ඇගේ දියණියත් කාමරේ තනි වෙල හිටියා. පිටතින් ඇහුණේ සාදයේ ගී හඬක්.
 
මහලු ගැහැනිය දියණියව කොතරම් හැඩ කරලා තිබුණත් හැම එකක්ම අතරින් එළියට පනින්න උත්සාහ කරන වේදනාව ඇයට හොදටම දැනුණා. දියණිය ළඟට ලං වුණ ඇය ඇගේ දෙවුරෙන් අල්ලගෙන ඇගේ ඇස් වලට එඹුණේ මේ ඉන්නෙත් කාලෙකට උඩදී හිටපු තමුන්ම නේද කියන හැඟීමෙන්.
 
ඔයාට ඕනද මෙතනින් පැනලා යන්න?’
 
ඇගේ වචන පිටවුණේ බොහොම සෙමින්. වචන වල අර්ථය වගේම වචන විලාසය තේරුම් ගන්න ඇගේ දියණියට අපහසු වුණේ නෑ. ඒත් ඇය බලාගෙන හිටියේ පුදුමයකින්.
 
ඇයි දැන්?’
 
අවසානයේ ඊට පිළිතුරු දුන්නේ කනස්සල්ල මුසු වුණ ස්වරයකින්. කටුක මදුසමයෙන් පටන් ගත්ත ඇගේ විවාහ ජීවිතය ගැන තම දියණියට කියන්න බොහෝ කතන්දර ඇයට මතක් වුණත් ඇය ඒවා හිතේ තද කර ගත්තේ මේ ඊට සුදුසු වෙලාව නොවන නිසා.
 
තවම පරක්කු නැහැ.’
 
දැන් මම කොහේ කියලා යන්න්ද?’
 
හිතට ධෛර්ය ලැබුණත් බොහෝ ප්‍රමාද වී බව තේරුම් ගන්න ඇගේ හිත අපොහොසත් වුණේ නෑ. ඇය බලාගෙන හිටියේ තම දියණියගේ වේදනාවෙන් බර වුණ දෑස් දිහා. ඇය එයින් දැක්කේ අසරණව බලාගෙන හිටින තමන්වමයි. ඇගේ විවාහය සිදුවුණේ පියාගේ මිතුරෙක් එක්ක වුණත් ඇගේ දියණියගේ විවාහය සිදුවන්නේත් පියාගේ මිතුරෙකු හා කියන කටුක අත්දැකීම විදගන්න ඇගේ හිත සූදානම් නැහැ.
 
ඇය බොහෝම තදින් තමන්ගේ දියණියව වැළද ගත්තා. ආදරය සෙනෙහස තමන්ගේ මවගෙනුත් ලැබුණනම් කියන පසුතැවිල්ලක් විතරක් ඇගේ සිතේ ඉතුරු වෙද්දී ජීවිතයත් ඇගේ විවාහයත් අතර බොහොම ළග තීරණයක ඇගේ සිතුවිලි හිර වෙලා තිබුණා.




 නිමි...


ප.ලි. එදා නෙළුම් යායට ඇවිත් ගියා. බ්ලොග් ජීවිතේ පළවෙනි වතාවට නුදුටු මිතුරන් බොහෝමයක් දැන අඳුන ගත්තා. ඒ ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. බලාපොරොත්තු නොවුන සම්මානයට වගේම ඒ වගේ දෙයක් සංවිධානය කරපු නෙළුම් යායට හදවතින්ම ස්තූතියි.