Sunday, 31 January 2016

නිර්වින්දන



වෙනදටත් වැඩියෙන් දුම්කොල දාගත්ත සිගරට් එක ඔතන අතරේ වුනත් මම හිටියේ වෙනමම කල්පනාවක. හිස පුරාවට තදින්ම දැනුන වේදනාව අතරේ සිතුවිළි හැම අතකටම විසිරිලා ගියත් මම හිටියේ අතහරින්න කොහෙත්තම අකමැති කල්පනාවක. වෙනදා තරම්ම පිළිවෙලකට නැති වුනත් මට ඕන කරපු විදිහට හදාගත්ත සිගරට් එකත් එක්ක මට ඕන වුනේ මොහොතකට තනි වෙන්න.

යන්තමට වැහිලා තිබුන ජනෙල් තිර වලින් පොඩි එළියක් සාලයට එන්න ඉඩ හදන ගමන් ඒ ලගම තිබුන සෝෆාවෙන් හාන්සි වුනේ හිසේ වේදනාව තදින්ම දැනුන හන්දා. මම එහෙමම ටික වෙලාවක් හිටියා. ඒ දෑස් හුඟක් තදින් තද කරගෙන. අතේ තිබුන සිගරට් එකට හිතේ තියෙන ආසාව එන්න එන්නම වැඩි වුනේ වේදනාවෙන් මිදෙන්න තිබුන එකම ක්‍රමය ඒක කියලා හිත හොදටම දන්න නිසා.

රත් ගිණිදැල් එළිය අතරින් පපුව තුළට ඇද ගත්තු දුම් රොද වළාවන් දෙක තුනක් නංවමින් පිටතට පා කලේ එහි අශ්වාදය හිත ඇතුලටම ගුලි කර ගන්න ගමන්. මම ඒ විදිහටම දිගා වෙලා හිටියා. එකින් එක ඉහලට නැඟුන දුම් වළළු පොඩි දුරකදි වුනත් මවන එක එක රටා දිහා මම බලාගෙන හිටියා. මට දෑස් තද කර ගන්න ඕන වුනත් මම කලේ හැම හුස්මක් අන්තිමේම ඉහළට පා වෙලා යන දුම් වළා දිහා බලාගෙන ඉන්න එක. හිස පුරාවටම දැනුන වේදනාවට මේක විසදුමක් නොවුනත් ආශ්වාදය ඒ හැම දෙයක්ම තාවකාලිකව අමතක කරලා දානවා කියලා මම දැනන් හිටියා. ඒක, එක අතකට මට සහනයක්.

මම එහෙමම ටික වෙලාවක් හාන්සි වෙලා හිටියා. අතේ තිබුන සිගරට් එකත් ඉවර වෙලා යන්න ඔන්න මෙන්න වුනත් මම ඒකෙන් බලාපොරොත්තු වුන නිදහස මට ලැබුනේ නෑ. මම හිටියේ හැම දෙයක්ම අතරෙම අතරමං වෙලා. තව සිගරට් එකක් හදාගන්න ඕන වුනත් නැඟිටින්න තිබුන කම්මැලිකමටම මම එහෙමම හිටියා. ඇස් දෙක හුඟක් තද කරගෙන.

හිත හැම තැනකම දිවුවා. ඉවසිල්ලක් නැති විදිහට. ඒත් හරි අරමුණක් වෙනුවෙන් නෙමෙයි. අඬවන් වුන ජනෙල් අතරින් යන්තම් හරි හුළඟක් ආවේ නැති හන්දා කාමර පුරාවටම ඉතුරු වෙලා තිබුනේ දුමාරයක් විතරයි. මම යන්තමට ඇහෙන සංගීතයට කන් දීගෙන හිටියා. ඒ මගේ ප්‍රියතම සංගීතයක් නෙමෙයි. ඝෝශාකාරි නාද රටාවේ අතරින් පතර සිත් ඇද ගන්න තැන් තිබුනත් මට ඒක දැනුනේ මහ කරදරයක් විදිහට. ඒත් ඒක මගේ පාලයෙන් බැහැර වුන දෙයක් හන්දා අමාරුවෙන් වුනත් ඒ දේට හිත යොදවන්නේ නැතුව ඉන්නවා ඇරෙන්න මට කරන්න වෙනත් දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.

නින්දත් නොනින්දත් අතරේ ඉදහිට මම වෙලාව දිහා බැළුවා. ඒක වේගවත්. ඒත් මට වුවමනා තරමට නෙමෙයි කියලා එක වෙලාවකට මට හිතෙනවා. විටින් විට මම ඇස් පියා ගන්න උත්සාහ කලා. තාමත් කලින් දැනුන වේදනාව ඒ තරමටම දැනෙනවා. මට තවත් ආශ්වාදයක් ඕන. අන්තිමේ මම අකමැත්තෙන් වුනත් නැගිටින්න තීරණය කලා.

කලින් වතාවට වැඩියෙන් දුම්කොළ ටිකක් දාගත්තු සිගරට්ටුවත් එක්ක මම තනි වුනේ සෝෆාව මත. කාලය ගැන මට ඒ තරම්ම හැඟීමක් නොතිබුන තරම්. සිගරට්ටුවේ සැර ගත තුලට ඇදිලා යද්දී මගේ මතකය හදිසියේම දුවලා ගිහින් නතර වුනේ ඈ ලග. දුම් වළළු හෙමින් කාමරය පුරා පැතිරිලා යන අතරේ මම ඈ ගැන කල්පනා කලා. අපේ ආදරය ගැන.

කාලයක් තිස්සේ ඉදන් තියෙන ආදරයක් වුනත් අපිට තිබුනේ ස්ථාවර නොවුන බැදීමක්. ඒකට හේතු හුඟක් තිබුනා. ඒත් නිතරම වගේ ඇයට ඕන වුනේ මාත් එක්කම ඉන්න. ඒක ලිංගික බැදීමක් විතරක්මද කියලා හිතෙන්න හේතු ඕන තරම් තිබුනත් ඇයට ඒකටත් මට වඩා හොද කෙනෙක් හොයා ගන්න අපහසුවක් තිබුනේ නෑ. ඒත් ඇය මාත් එක්කම රැදුනා. අපි අසතුටින් නොවුනත් හුඟක් වෙලා හිතේ තියාගෙන ඉන්න තරම් සතුටක් අපි අතරට ආව දවසක් ගැන මතකයකුත් නැති තරම්.

අඩක් නිමාවෙමින් තිබුන සිගරට්ටුවෙන් මම බලාපොරොත්තු වුන ආශ්වාදයම ලැබෙමින් තිබුනා. කලින් එකත් එක්ක මුහු වුන හන්දම හිතේ තිබුන බැරෑරුම් ගතියත් ටිකෙන් ටික අඩුවෙලා යන්න ගිහින්. ඒත් හිස පුරා රැදුන වේදනාව තාමත් එහෙමමයි. මම එහෙමම නැගිට්ටා. කෙලවරක තිබුන කණ්නාඬිය ඉස්සරහින් ටිකකට නතර වුනේ මාවම දැක ගන්න. ඔවු මට මාවම දකින්න ඕන වුනා. හැබැයි ඒ බාහිරින් විතරයි.

උරහිස අතරට වෙනකන්ම වැවිලා තිබුන දිඟු කොණ්ඩයත් ගෙලෙන් අඩක් වැහෙන තරමට දිඟු වුන රැවුලත් එක්ක මගේ පෙනුමේ තිබුනේ සමාන්‍ය ගතියක් නෙමෙයි. හුඟක් දෙනෙක් මං දිහා බැළුවේ වෙනස් විදිහකට. ඒ ඇයි කියන්න මම දන්නවා.

" ඔයා ඔහොම ඉද්දි හරි අමුතුයි."

" ඒ ඇයි?"

" නැහැ නිකන්. මම කල්පනා කලේ ඔයාගේ ඔය රැවුලයි කොණ්ඬෙයි කැපුවම ඔයාව කොයි වගේ පෙනෙයිද කියලා."

" හ්ම්ම්."

නිතරම වගේ ඇගේ හිතේ තිබුණේ අරමුණක්. වෙලාවකට හිතෙනවා ඇය ජීවත් වුනේ හීනයකද කියලා. ඇයට ඕන වුනේ මාව වෙනස් විදිහකට දකින්න. මං තුලම ඉදගෙන. ඇය කොච්චර දුරකට සාර්ථක වුනාද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් අපි තාමත් එකට ඉන්නවා. සමහර විට නාමික බැදීමකට හරි.

කන්ණාඬියට මුණ ඔබාගෙන ඉදලම මගේ මූණ නොපෙනෙන තරමටම මගේ හුස්ම කන්ණාඬිය පුරා බැඳිලා ගිහින්. ඇඟිලි තුඩු වලින් හිතුමතේ ඒ අතර රටාවක් මැවුවේ අතීතයත් එක්ක මහා ලොකු ගණුදෙණුවක් තියා ගන්න මට ඕන කමක් නොතිබුන හන්දා. ඇඟිළි රටා අතරින් නික්මුන රතු පැහැ ගැන්විලා ගිය දෑස් වලට තව දුරටත් කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්ණය මගේ හිතට ආවත්, කන්ණාඩිය පුරාවට මවපු රටා හැම එකක්ම අතින් මකාගෙන සෝෆාව උඩට ඇවිත් වැටුනේ ලෝකය ගැනවත් ජීවිතය ගැනවත් ඒ හැටි තැකීමක් නැති ගානට.

අනික් හැමදේම කොයිවිදිහට නතර වෙලා තිබුනත් ජීවිතය විතරක් ගලාගෙන යන බව ඔප්පු කරන්න වගේ කැරකෙමින් තිබුන ඔරලෝසුවේ කටු වල සද්දය ඒකාකාරීව ඇහුනා. මම තව ටික වෙලාවකට ඇස් පියා ගන්න උත්සාහ කලා. හිසේ තිබුන වේදනාව ටිකක් අඩුවෙලා ගිහින් තිබුන නිසාමද කොහේද ඒ වතාවේ නින්දක් ලගට එන්න ඒ හැටි වෙලාවක් ගෙවුනේ නෑ.

***

හදිසියේම මම ඇහැරුණේ කාමරය ඇතුලෙන් ඇහුන සද්දෙට. කාමරයේ කෙලවරවල් හරි හැටි නොපෙනෙන තරමටම දුමාරයෙන් හැම අස්සක්ම වැහිලා ගිහින් තිබුනත් ඇස් වල හුරුවට මම කාමට පුරා ඕන කමින් බැළුවා. මට ඇයව අඳුනගන්න ඒ තරම් අමාරු වුනේ නෑ. ඒ හිටියේ ඇය. කාමරයේ අනික් කෙලවරේ ජනෙල් පියන් ඇරලා දාපු ඇය යන්තමින් පහව යන දුමාරය තුලින් ඇවිදන් ආවේ මම හිටිය දිහාට.

" ඔයාට කී දවසක් කියලා කියන්න ඕනද මේක කරන්න එපා කියලා. ඒ කියන එක අහන්න බැරි නම් අඩුම තරමේ මේ ජනේල ටිකවත් ඇරලා දාන්න."

ඇය හිටියේ කේන්තියෙන්. ඒක  ඒ තරම්ම නුහුරු දෙයක් නොවුනේ ඇය ඔය වචන ටික කියන්නේ කී වෙනි වතාවටද කියලා මට මතකයක් නැති නිසා. මම හිටිය තැනම තිබුන ජනෙල් පියන් දෙක ඇරපු ඇය ටීපෝ එක තැනින් තැන විසිරිලා තිබුන සිගරට් අළු පිහිදලා දාද්දී මම බලන් හිටියේ ඇගේ කෙටි ගවොම අතරින් පෙනුන රෝස පාට යට ඇදුම දිහා. හැඟීමක් දනවන්න ඒ ඉරියවුවම ඇති උනත් මට ඒ තැනට යන්න ඕන කමක් තිබුනේ නෑ.

" ඔයා ලෑස්ති වෙන්නේ නැද්ද?"

" මොකටද?"

ඇය මගේ දිහා බලාගෙන හිටියේ කලින් තිබුන කේන්තියෙන්මයි. මටත් මගේ ඇස් ඉවතට ගන්න ඕන කමක් තිබුනේ නෑ.

" මොකටද අහන්නේ. මිශෙල්ගේ පාටි එක මතක නැද්ද ඔයාට."

" ඔයා ඒකට යන්නද ඔහොම ඇදගෙන ආවේ?"

මම ඇගේ යන්තමින් ඇඟ වැහුන ඇදුම දිහා බලාගෙන ඒ වචන ටික කිවුවේ ඒ තරම්ම තැකීමක් නැතුව.

" නැත්නම් මටත් වඳුරෙක් වගේද යන්න කියන්නේ?"

ඇය කේන්තියෙන් පිට කරපු වචන මම අහගෙන හිටියේ ඕනකමක් නැතුව. විනාඩි කීපයක් තිස්සේ කියවපු කිසිම දෙයකට මම උත්තර නොදී ඉද්දී හති වැටුන ඇය ඉද ගත්තේ මම ඉස්සරහම තිබුන පුටුවක. ඇගේ නිරුවත් දෙපා වල ලස්සන කලිනටත් වඩා හොදින් පේන්න තිබුනා.

" මයිකල් හුඟ කාලයක් තිස්සේ ආදරෙයි කියාගෙන මගේ පස්සෙන් එනවා."

ඇය බොහොම සීරුවේ කිවුවා.

" මයිකල් හොද වැදගතෙක්."

" ඔවු."

" ඉතින් ඔයා මොකද කිවුවේ?"

" මයිකල් දන්නවා මම ඉන්නේ ඔයා එක්ක කියලා. ඒත් මාව මුණ ගැහෙන හැමවෙලේම කියන්නේ එයාගේ ආදරේ ගැන."

" අද ඔයා එයාට කියන්න අපි එකට ඉන්නේ නෑ කියලා."

ඇය මගේ දිහා නිහඬවම ටිකක් වෙලා බලාගෙන හිටියා. ඒ ඇස් වල තිබුනේ දුකක්ද, වේදනාවක්ද එහෙමත් නැත්නම් සතුටක්ද කියලා මට හරි හැටි හිතා ගන්න බැරි උනා. විනාඩියක් දෙකක් විතර ඒ විදිහට ගෙවිලා යන්න ඇති. ඇය වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටේ යන්න සූදානමින් කියලා මට හොදින්ම තේරුණා.

" හා."

ඇය කිවුවේ එච්චරයි. හාන්සි වෙලා හිටිය මං දිහාවට නැඹුරු උන ඇය නළලට පුංචි හාදුවක් දුන්නේ අවසාන වතාවට කියලා ඒ පහසිනම දැනුනා.

" ඔයා ඔය ගවුමට ලස්සනයි."

ඇය ඒක ඇහුනා නොඇහුනා ගානට කාමරෙන් පිට වෙලා ගියේ තව වචනයක් වත් කතා කරන්න වුවමනාවක් නැතුව. කාමරේ පුරාවට ආයෙම එකතු වුන පාළුවත් එක්ක තනි උන මම පුටුවේ හාන්සි වෙලාම කල්පනා කලේ අරමුණක් නැති දේවල් ගැන.

ඇය යන්න ගියේ හැමදාටම කියන එක හරියට හීනයක් වගේ. මම මොහොතක් කල්පනා කලේ මම මේ ඉන්නේ මත් බව එක්ක රැදුන හීනයකද කියලා. ඒත් වාසනාවකට හෝ අවාසනාවකට ඒක එහෙම නෙමෙයි. හාන්සි වෙලා හිටිය පුටුවෙන් නැගිටින්න තිබුන කම්මැලි කම පැත්තක තියලා නැගිට්ටේ තව සිගරට් එකක් අර ගන්න හිතට දැනුන ඕන කම නිසා.

කලින් දෙවතාවටම වැඩියෙන් දුම්කොල දාපු සිගරට් එකක් ඔතන අතරේ මම කාමරේ ජනෙල් ආයෙම වහලා දැම්මා. සුපුරුදු හාන්සි පුටුවටම ඇවිත් හොද දුමාරයක් පපුව තුලට අරන් ආයෙම පිට කරලා දැම්මා. දුක, වේදනාව හැම දෙයක්ම තුනී කරන් ආශ්වාදයක් මනස පුරා ඇදිලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

" එයා මයිකල් එක්ක හොදට ඉදියි."





නිමි...










Thursday, 28 January 2016

අපි සිල් බිඳ ගත්ත හැටි



මේ දවස් වල හැමෝම වගේ සිල් බිඳ ගත්ත හැටි කතා වෙන හන්දා මටත් හිතුනා අපිත් සිල් බිඳ ගත්ත හැටි ගැන ලියන්න. ඔවු ඔවු. ලියනවා කියලා හිතුනොත් ලියනවම තමයි ඉතින්. මේක අමතක වෙලා තිබුන ගොඩේ තිබුනට මේ සිද්ධි ටිකත් එක ආයෙම පාරක් මතක් උනා අහම්බෙන් වගේ.

සිල් බිඳ ගත්ත හැටි ගැන කියනවනම් ඉතින් අපිට යන්න වෙනවා ඉස්කෝලේ කාලෙට. මොකද ඉතින් අපිට සිල් බිඳ ගන්න වුනේ ඉස්කෝලේ ඕලෙවල් කරන කාලෙදි හන්දා. හා හා, වැඩිය දේවල් හිතන්න කලින් කතාව කියවලා ඉමුකෝ.

කලින් කිවුවා වගේ අපි හිටියේ ඕලෙවල් පන්ති වල. ඔය කාලේ මාස දෙක තුනකට සැරයක් එන පෝයක් අල්ලලා ඒ ලග දවසක අපිට ඉස්කෝලේ සිල් ගන්න වෙනවා. ඒ දවස් වල නම් ඉතින් අපිට  ඕක එපාම කරපු වැඩක්. මම ගියේ මිශ්‍ර පාසලකට කියලා කලින් කතා කියවපු අයට මතක ඇතිනේ. ඒ හන්දා ඉතින් සිල් ගන්න තියෙන දවසට මග අරින්නේ නැතුව ආව එවුන් වගේම නෑවිත් ඉන්න බැරි නිසා අපු එවුන් හිටියා. දැන් අහන්න එපා උඹ හිටියේ ඔය දෙකෙන් මොන සෙට් එකේද කියලා. ඒක ඇවිත් එක එක කාල වලදි වෙනස් උනා.

ඉතින් ඔන්න මේ කියන්න යන දවසෙත් අපි හිටියේ සිල් අරගෙන. වෙනදට පන්ති මට්ටමෙන් පන්තියට එක හාමුදුරුවෝ කෙනෙක් වැඩම කරලා සීල ව්‍යාපාරය කෙරනෙ එක තමයි හැමදාම වගේ උනේ. එදා මොකක් හරි හේතුවකට අපි සෙට් එක ඔක්කොමව මේන් හෝල් එකට දාලා සිල් ගන්න සෙට් කරල තිබුනේ. අපේ පන්තියේ සමහර කොල්ලොන්ට වගේම කෙල්ලන්ට ඕක කියලවත් කර ගන්න බැරි වැඩක් උනාට අපි අනිත් උන් ටික හිටියේ එපාම වෙලා.

ඒත් ඉතින් කරන්න දෙයක් නැති හන්දම පැයක් දෙකක් විතර ඉවසා වදාරගෙන හිටියා. උදේ දානෙට පස්සේ තිබුනේ භාවනා වැඩසටහනක් වගේ තමයි මතක. අපි සෙට් එක ඉතින් මුල්ලකට වෙලා හිටියා.

" මේක හරි යන්නේ නෑ. පනිමුද බං." එකෙක් කිවුවා

" මේ සිල් අස්සේ?"

" අවුලක් වෙන එකක් නෑ කවුරුවත් අපිව හොයන්නේ නෑනේ. ඔන්න ඔහේ යමං."

කට්ටියටත් එපා වෙලාම හිටිය හන්දයි, මේන් හෝල් එකට දාපු හන්දා පැන්නා කියලා කාටවත් මීටර් වෙන්නෙත් නැති හන්දා ටික වෙලාවක් බලලා සිල් කට් කරලා කොහොම හරි පැන ගත්තා. ඔය පවුල් පන්සල් වෙලා ඉදිය කීප දෙනා ඇරෙන්න අපි ඔක්කොම කොහොම හරි පැන ගත්තා.

" දැන් මොකද කරන්නේ?"

පනින්න කතා උනාට මොකද කරන්නේ මොකද කියලා අයිඩියා එකක් නෑ. කෝකටත් කියලා ඉස්කෝලේ මායිමෙන් ඈතට ගිහින්ම තමයි කතා කරන්න සෙට් උනේ.

" මැච් එකක්වත් ගහමු."

එකෙක් ඉදන් කිවුවා. වෙන අයිඩියාස් මුකුත් නොතිබුන එකේ මැච් එකක් ගහන්න කට්ටිය එක පයින් සෙට් උනා. කොහොමත් ඉතින් සරම් ගහන් සිල් ගන්න ගියාට රෙඩිමේට් කලිසමක් අරගෙනයි යන්නේ කියලා ආයි ඉතින් කියන්න ඕන නෑනේ. කොහොම හරි මැච් එකක් ගහන්න කියලා සෙට් වෙලා අපි ගියා අර කලින් කතාවක මඤ්ඤොක්කා මෙහෙයුමට සෙට් උනම පිට්ටනියට. ඒ ලග පාත ඉතින් බැට් එකක් බෝලයක් හොයා ගන්න එක මහ අමාරුවෙක් නෙමෙයි හන්දා අපි සෙට් වෙලා ආතල් එකේ මැච් ගහන්න ගත්තා.

පැයක් දෙකක් විතර ගියා. කිසිම හෙනයක් නැතුව අපිත් සෙල්ලම් කරා. අපේ සෙට් එකේ ඉන්නවා මැන්ඩා කියලා පොරක්. උට ඔය නම දැම්මේ අපේ ලොක්කා. ඒක දිග කතාවක්. හිතුනොත් වෙන දවසක ලියන්නම්. කොහොම හරි මැන්ඩා ෆීල්ඩ් කර කර හිටියේ බවුන්ඩ්‍රී ලයින් එකේ.

ටිකක් වෙලා ඔහොම සෙල්ලම් කර කර ඉද්දී මැන්ඩා උගේ පැත්තට ආව කැච් එකක් ගන්න දිවුව පාර ඇදගෙන වැටුනා. ගල් බොරළු පොලවේ වැටෙන එක කොච්චර ආතල්ද කියලා ඉතින් කියන්න ඕන නැහැනේ. ඒ උනාට ඉතින් අරූ මලත් අපේ එවුන් හිනා වෙන එක කොමත් වෙන දෙයක් නේ. කැච් එක අත ඇරියට ටිකක් බනින අස්සේ බැට් කරපු එවුන් ළකුණු හතරකුත් කොහොම හරි දුව ගත්තා. ඒත් වැටුන එකා නෙමෙයි නැගිටින්නේ.

නැගිටලා බෝලේ දාහන් %$%$ කියලා ආදරෙන් ඇමතුවත් මැන්ඩගෙන් නෝ රිප්ලයි. ඒ ගමන නම් එකා දෙන්නා ඌ ලගට ගිහින් බැළුවා මොකද කියලා. මූ ඉන්නවා සිහිය නැතුව වැටිලා. හිටපු විදිහට නම් හිතුනේ මැරිලම තමයි කියලා. පස්සේ කොහොම හරි දඟලලා මූව නැගිට්ටවා ගත්තා. අර බොරළු ගොඩේ වැටුන පාර නළල වැදිලා නළල ගෙඩි ගැහිලා නිකන් දොඬං ගෙඩිය ගානට. කොහොම හරි යන්තම් මූ ඇස් ඇරලා ටිකක් ශේප් උනා.

" මම මේ කොහේද බං ඉන්නේ?"

ටිකකින් මූ ඇහුවා කියපංකෝ. අපිව නිකන් මඤ්ඤං වෙලා වගේ උගේ දිහා බැළුවා. ඌත් ඒ විදිහටම අපි දිහා බලාගෙන ඉන්නවා.

" ඇයි &%&% අපි මැච් එකක් ගහන්න ආවේ"

මූ වට පිට බලනවා මෙලෝ සිහියක් නැතුව. අපි එක්කත් වැඩි කතාවක් නෑ. ඒ ගමන නම් අපෙත් බොක්ක කූල් වෙලා ගියා මේ මොකද්ද වුනේ කියලා. වෙන කරන්න දෙයක් නෑ. ඒ වෙද්දි දවල් 12 පහු වෙලා වගේ තිබ්බේ. මූව ගෙදර එක්කන් යමු කියලා කට්ටිය කතා වුනා. ඒත් අවුල තිබුනේ මූ හිටියේ හෙනම දුර. අපි උන්ගේ ගෙදර ගිහින් තිබුනෙත් හෙන අඩුවෙන්. උගේ දිහා යන විදිහ අපිටත් හරියට මතක නෑ.

" උඹට ගෙදර යන පාර මතකද?"

" කාගෙද?"

අපි නිකමට වගේ උගෙන්ම ඇහුවම ඌ අපිව තව මාන්දමික කරන උත්තර තමයි දෙන්නේ. වෙන කරන්නම දෙයක් නැති හන්දා කොහොම හරි මතකෙන් උගේ ගේ හොයාගෙන යන්න අපි හිතුවා. කට්ටිය කොහොම හරි කතාවෙවි පාර මතක් කරන් උගේ ගෙදර හොයන් එද්දී මූට ලාවට වගේ අපි සෙට් එකේ නම් ටික මතක් වෙලා කතා කරා. හැබැයි ඉන්නේ කොහෙද මොකද කරන්නේ කිසිම සිහියක් නෑ. හිටපු විදිහට ඔයත් මදැයි කියලා අපි හිතාගෙන කොහොම හරි මූව ගෙදර එක්කන් ආවා.

ඇවිත් බලද්දී ගෙදර කවුරුවත් නෑ. තනියම මූව දාලා එන්නත් බයයි දැන්. ඒ ගමන තව පැයක් විතර බලාගෙන හිටියා ගෙදර කවුරු හරි එනකන්. කොහොම හරි අතිමේ මුන්ගේ තාත්තා ගෙදර ආවා. තාත්තා ආවයින් තවත් අවුල් දැන් සීන් එක කොහොමද කියන්නේ කියලා. මුගේ ඔළුව වැදුන තැන ගෙඩි ගැහුන එක බැහැලත් නෑ. එන්න එන්න වැඩි වෙලා මිසක්.

කොහොම හරි ශේප් එකේ වෙච්ච සිද්දිය මැන්ඩගේ තාත්තා එක්ක කිවුවා. තාත්තත් කිසි සද්දයක් නැතුව අහගෙන හිටියා. හැබැයි මූඩ් එකේ නම් තිබුනේ අපි ඔක්කොටම නෙලන ලුක් එකක්.

" දැන් තෝ උදේ ගෙදරින් ගියේ සිල් ගන්නවා කියලා නේද?"

තාත්තට මල පැනලා අරූගෙන් අහනවා. ඌට උත්තර දෙනවා තියා උනේ මොකද්ද කියලවත් දන්නේ නැතුව අපි දිහා බලනවා.

" යමං ඔහොමම දොස්තර ලගට එහෙනම්."

අපි එක්ක කිසි කතාවක් නැතුව තාත්තා මැන්ඩව ත්‍රීවීල් එකේ දාගෙන ගියාට පස්සේ අපිත් එන්න ආවා. ඒ උනාට හිටියේ බය එකේ හොදම එකෙන්. මූට සිරාවටම මතක නැති උනොත් කියලා. හැබැයි හොද වෙලාවට පහුවදා වෙද්දී ඌට කිසි අවුලක් නෑ. පුරුදු විදිහටම ඉස්කෝලෙත් ආවා. 


Sunday, 24 January 2016

රාජකීය අභිරහස - අවසන් කොටස



දවස් කිහිපයක්ම ගෙවී ගියේ කිසිදු සිදුවීමකින් තොරවමය.. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම අරියානා ලියු වාර්ථාවෙන් ඔවුන් වුවමනා වූ තරමේ ප්‍රචාරයක් වෝර්වික්ෂයර් කෞතුකාගාරය වෙත ලැබෙමින් පැවතියේය.. ක්‍රිස්ටෝෆර්ගේ මැදිහත්වීමෙන් දින දෙකක ප්‍රදර්ශණයක්, දින හතරක් ඇතුලත පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් වෙමින් පැවතියේය.. ගෙවුන දින දෙකකම ෆ්‍රැන්චෙස්කෝගේ නිවස නුදුරෙන් රැදෙමින් එහි යනෙන අය ගැන විමසිල්ලෙන් පසුවූවත් ඉන් වැදගත් ප්‍රතිඵලයක් ලබන්නට ඔවුන් අසමත් වූවෝය..

එදින දහවල ෆ්‍රැන්චෙස්කෝගේ නිවස අසල තනිවම ගෙවා දැමු එරිකෝ නිවසට පැමිණියේ සිම්රන්ගෙන් ලද දුරකථන ඇමතුමකින් පසුවය.. නිවසට පැමිණි ඔහු ඇය සමග සුපුරුදු විදිහටම කාර්යාලයට විත් කතාවට වැටුනාය..

" අදත් විශේෂ දෙයක් නැද්ද එරිකෝ?"

" නැහැ සිම්රන්.. මං හිතන්නේ අපිට ඕන කෙනා අල්ල ගන්න වෙන්නේ හෙට ප්‍රදර්ශණයේදිම තමයි.. මිනිහා ටිකක් කලබල නැතුව ඉන්න කෙනෙක් වගෙයි.."

" එහෙම නැත්නම් ඇත්ත ලියවිලි මිනිහා ලග තියෙන බව හොදටම දන්න නිසා කලබල නොවුනා වෙන්න බැරිද?"

" මිනිහා ලග ඇත්ත ලියවිලි තියෙන බව ඇත්ත.. ඒත් මේ ප්‍රවෘතිය දැක්කම පොඩ්ඩ්ක හරි මිනිහගේ හිතේ සැකයක් ඇති වෙන්නම ඕන.. ඒකමයි මම ෆ්‍රැන්චෙස්කෝගේ ගෙදර ලග සෝදිසියෙන් හිටියෙත්.."

" හරි එහෙමනම් දැන් තියෙන්නේ වෝර්වික්ෂයර් වලදි මේ ප්‍රශ්ණේ විසදගන්න එක විතරයි.."

" ඔවු සිම්රන්.. ඔයා අනිත් අයට කතා කරලා බැළුවද එයාලා සූදානම්ද කියලා.."

" මම කතා කලා එරිකෝ.. මහචාර්ය ක්‍රිස්ටෝෆර් හෙට ප්‍රදර්ශණයට ඔක්කොම සූදානම් කරලයි තියෙන්නේ.. ඔයා කියපු විදිහටම එයා ලියවිලි ප්‍රදර්ශණයට තියලා තියෙන්නේ හොද ආරක්ශාවක් ලැබෙන විදිහට.. ඒ හන්දා අපිට ලේසියි.. වෝල්ටර් සිවිල් ඇදුමින් හෙට ප්‍රදර්ශණයට එනවා කිවුවා.. කෞතුකාගාරයේ ඉන්න සාමාන්‍ය ආරක්ශකයෝ ඇරෙන්න වෙන කිසිම නිළධාරියෙක් යොදා ගන්නේ නෑ.. අරියානා ෆ්‍රැන්චෙස්කෝව මේ වැඩේට කැමති කරගෙන.. ඒ දෙන්නම හෙට ප්‍රදර්ශණයට කලින් වෝර්වික්ෂයර් වලට ඒවි.. අපි යන වෙලාව ඔයා තමයි තීරණය කරන්න ඕන.."

" අපි අද හවසම යමු.."

" අද හවසම?"

" ඔවු සිම්රන්.. සමහරවිට අපිට ඕන කරන කෙනා අද රෑම වුනත් එන්න බැරි කමක් නෑ.."

" ඔයා කියන්නේ ඔහු අද ආයෙම මේවා හොරකම් කරන්න උත්සාහ කරයි කියලද?"

" කියන්න බෑ.. ඔහු එහෙම උත්සාහයක් නොගෙන ඉන්න එකක් නෑ.. අනික අපි දන්නේ නැහැනේ ප්‍රවෘතිය පල වෙලා දැන් දවස් දෙකක් වෙන නිසා අපිට මේ ඕන කරන කෙනා දැනටමත් කෞතුකාගාරයට ගිහින් හැම දේම බලාගෙනද ඉන්නේ කියලා.. ඒ හන්දා අපි අද යමු.. අනික් අය හෙට නිදහසේ ආපු දෙන්.."

එරිකෝගේ හිතේ ඇති දේ හරිහැටිම තේරුම් ගැනීමට අපහසු වුවත් සවස කෞතුකාගාරය වසා දම්මන්නට කලියෙන් එහි යායුතු බව ඔහුගේ හැඟීම වූ නිසා ඉක්මනින් දහවල් ආහාරයක් ගත් ඔවුන් වෝර්වික්ෂයර් බලා පිටත් වීය.. කලින් දිනට වඩා ඉක්මනින් ස්ට්‍රැපඩ් අපොන් ඇවොන් වෙත ලගා වුන ඔවුන්ගේ ඉක්මන් පැමිණිම ක්‍රිස්ටෝෆර් බලාපොරොත්තු නොවූවක් විය..

" මම හිතුවේ හැමෝම හෙට උදේම ඒවි කියලා.."

" අපි දෙන්නට ඊට කලින් මෙහේ පොඩි වැඩ වගයක් තියෙනවා.. මම හිතනවා ඔබට ඒක ගැටළුවක් නෙමෙයි කියලා.."

ඔහුගේ මුහුණෙහි වූ ඉරියවු වෙනස් වූ මුත් ඒ බව සඟවමින් ඔහු කතා කරන්නට විය..

" හරි ඒකට කමක් නෑ.. මම ඔබ කියපු විදිහටම හැමදේම සූදානම් කලා මිස්ටර් එරිකෝ.. ඔබට පුළුවන් දැන් ඒවා බලන්න.."

" නැහැ මහාචාර්ය තුමා.. තව ටිකකින් කෞතුකාගාරය  වහනවනේ.. අපි එතකොට නිදහසේ ඒ ගැන බලමු.."

" හරි ඔබේ කැමැත්තක්.."

කෞතුකාගාරය වැසීමට හෝරාවක් පමණ ඉතිරිව තිබුන නිසා ක්‍රිස්ටෝෆර් ඔහුගේ රාජකාරි වල නියැලෙද්දී නිවස තුලත් නිවසේ වූ ගෘහ උද්‍යානය වෙතත් ගිය එරිකෝ ඒවා හොදින් විමර්ශණය කලේය.. එලිමහන් රංග පීඨයේ දවසේ අවසන් වතාවට රඟ දැක්වෙමින් තිබූ මැක්බත් නාට්‍ය දෙස මොහොතක් බලා හිදි ඔවුන් එළිමහනේ වූ ආරක්ශක කැමරා දෙසත් අවදානය යොමුකරමින් ඇවිද ගියෝය..

කෞතුකාගාරය නැරඹුම් කාලය නිමා වෙත්ම ඒ බව නිවේදනය වෙද්දී එය නරඹමින් සිටින අයට සැකයක් ඇති නොවන අයුරින් එහි කාර්යාලය වෙත ගිය එරිකෝත් සිම්රනුත් ක්‍රිස්ටෝෆර් පැමිනෙන තුරු එහි රැදී සිටියේය..

" අද දවසටත් හැමදේම හොදින් විසදුනා මිස්ටර් එරිකෝ.. දැන් තියෙන්නේ හෙට වෙනකන් බලාගෙන ඉන්න එක.."

" අපේ වැඩ තවමත් ඉවර නැහැ මිස්ටර් ක්‍රිස්ටෝෆර්.. තව පුංචි වෙනස් කම් කීපයක් කරන්න තියෙනවා.."

" ඒ මොනවද?"

ක්‍රිස්ටෝෆර් විමතියෙන් මෙන් විමසුවේ අවසන් මොහොතේ හදිසියේම එරිකෝට අවශ්‍ය වූයේ කුමක්දැයි දැන ගැනීම සදහාය..

" මිස්ටර් ක්‍රිස්ටෝෆර්, මම කැමතියි ප්‍රධාන ශාලාවේ වම් කෙලවරෙයි පිටවීම් දොරටුව ලගයි තියෙන ආරක්ෂක කැමරා දෙක ටිකක් විතර අපි අපේ ලියවිලි තියන තැනට යොමු කරන්න.. එක එල්ලේම නෙමෙයි.. ඒත් දැනට තියෙනවට වඩා එතන ටිකක් පැහැදිළිව පේන්න.. පිවිසුමේ තියෙන එක වෙනස් කරන්න එපා.."

" හරි මිස්ටර් එරිකෝ ඒක කරන්න පුළුවන්.. ඒත් මේ හදිස්සියෙම ඇයි.. ඔබ කලින් කිවුවනම් මම ඒක සූදානම් කරලා තියනවනේ.. දැන් සේවකයොත් ගිහින් ඇති.."

" අහ් ඒකට කමක් නැහැ.. ඒක මට වුනත් කරන්න පුළුවනි.. ඒක මට මේ දැන් හිතුන දෙයක්.. අනික් දේ තමයි අද රාත්‍රියේ අපි දෙන්න මෙහේ නතර වෙනවා.. ඔබ පිටතට යද්දී ඒ ගැන ආරක්ශකයන්ටවත් කියන්න එපා.. මම හිතනවා ඔවුන් ඇතුලට කඩාවදින එකක් නැහැ කියලා.."

" ආ නැහැ.. මොනව හරි දෙයක් තිබුනොත් ඔවුන් මට කතා කරනවා.. මම ඉන්නේ ගෙවල් දෙකක් එහායින්.. හරි එහෙනම් ඔබලාට සුභ රාත්‍රියක්.."

හදිසියේම කෞතුකාගාරය තුල රාත්‍රිය ගත කරන්නට එරිකෝට වුවමනා වූයේ ඇයිදැයි තේරුම් ගන්නට අපහසු වුවත්  ක්‍රිස්ටෝෆර්වත් සිම්රන්වත් ඒ ගැන විමසන්නට නොගියේය..

" රෑට මේ කෞතුකාගාරයට පණ එන එකක් නෑ කියලා අපි හිතමු නේද සිම්රන්.."

ක්‍රිස්ටෝෆර් නික්ම ගිය පසු කෞතුකාගාරයේ තනි වූ එරිකෝ සිම්රන්ගේ නිහැඬියාව බිදින්නට ඈට විහිළුවක් කලේ ඇය එරිකෝගේ හදිසි සැළසුම ගැන විමතියෙන් සිටින බව ඔහුට දැනුන නිසාවෙන්ය.. එතරම්ම කතාබහක් නොවූවත් විමසිල්ලෙන් ගෙවුන රැය තරමක් දිගු එකක් විය..

***

උදෑසන කෞතුකාගාරය විවෘත වන වේලාව වන විට අන් සියළු දෙනාම කෞතුකාගාරයෙන් පිටත් රැදී සිටි අතර එරිකෝගේ වේලාසනින් පැමිණිම ඔවුනටද පුදුමයට කරුණක් විය..

" අපිටත් කලින්ම වැඩ පටන් අරගෙනනේ මේ දෙන්නා.."

" විස්තර පස්සේ කතා කරමු වෝල්ටර්.. දැන් කතා වුන විදිහට හැමදේටම සූදානම් වෙමු.. මම හිතන්නේ ඔහු මෙතන ඉන්නවා.."

අනික් හැමෝම ඔවුනොවුන්ගේ මුහුණු දෙස බැළුවේ එරිකෝ අවසානයේ කියූ දෙය නිසාවෙන්ය.. ඒත් වැඩි දුර කතා කිරීමට එරිකෝ තුල උනන්දුවක් නොවූ නිසාම කිසිවකුත් ඒ ගැන ප්‍රශ්ණ කරන්නට නොගියේය.. තම වාර්ථා පොත අතට ගත් අරියානා ඇගේ මාද්‍ය හැදුණුම් පතද පැළදගෙන කෞතුකාගාරය තුල යමින් ඔවුන් බලාපොරොත්තු වූ අමුත්තා ගැන විමසිල්ලෙන් පසුවූයේ කිසිවකුටත් සැකයක් ඇති නොවන පරිද්දෙන්ය..

සිවිල් ඇදුමින් සැරසී බොරු උඩු රැවුලක්ද පැලද සිටි වෝල්ටර් නරඹන්නෙකු මෙන් ප්‍රවේශ පතක්ද මිලට ගෙන ප්‍රදර්ශණය නරබමින් සිටියේය.. කෞතුකාගාරයේ පහළ මහලේ වූ ආරක්ශක කුටිය වෙත ගිය එරිකෝ ෆ්‍රැන්චෙස්කෝ සමග ආරක්ශක කැමරා දෙස අවදානය යොමුකරමින් සිටියේය.. රාත්‍රියේ තමන්ට වුවමනා පරිදි වෙනස් කරන ලද ආරක්ශක කැමරා මගින් ශේක්ෂ්පියර්ගේ ලියවිලි සහිත වූ තැනත් ඒ අසලම හිදිමින් ඒ ගැන තොරතුරු සපයමින් වුන් ක්‍රිස්ටෝෆර් දෙස ඔවුන් බලාගෙන සිටියේය..

" ෆ්‍රැන්චෙස්කෝ හොද අවදානයෙන් ඉන්න.. අපිට මෙතනදි අවදානමක් ගන්න බෑ කියලා ඔයා හොදටම දන්නවනේ.. ඒ නිසා ඔයාගෙන් ලියවිලි හදාගත්ත කෙනා දැක්කොත් හරියට ඒක තහවුරු කර ගෙන මට කියන්න.."

" මට තේරෙනවා එරිකෝ.. වැරැද්දක් නොවෙන්න මම බලාගන්නම්.."

තමන් ඉදිරියේ වූ රූපවාහිනි තිර දෙස නිරන්තර විමසිල්ලෙන් සිටි ඔවුන් කොයි මොහොතේ හෝ තමන්ට වුවමනා පුද්ගලයා ඒ යැයි විශ්වාසයෙන් ඒ දෙස බලාගෙන සිටියේය.. ප්‍රදර්ශණය ආරම්භ වී හෝරාවක් දෙකක් යන තුරු සෑම දෙයක්ම කිසිදු බාදාවකින් තොරව පැවතියේය.. එය එරිකෝ බලාපොරොත්තු වූවක් විය..

හදිසියේම තිරයේ දුටු දෙයකින් ෆ්‍රැන්චෙස්කෝ තරමක් කලබල වූ බවක් පෙනෙන්නට විය.. පිවිසුම් දොරටුව අසල වූ කැමරාව දෙසත් ඉන්පසුව ලියවිලි තබා ඇති තැන සමීපයේ වූ කැමරා දෙක දෙසත් ෆ්‍රැන්චෙස්කෝ උනන්දුවෙන් බලා සිටිනු දුටු එරිකෝ ඔහු වෙතට ලං විය..

" මොනවා හරි විශේෂයක් තියෙනවද ෆ්‍රැන්චෙස්කෝ?"

" එරිකෝට පේනවද මේ ඉන්න මනුස්සයව.. මේ දුඹුරු පාට කෝට් එකක් ඇදන් ඉන්නේ.. මේ කෙනානම් එදා මගේ ලඟට ආව කෙනාගේ හැඩරුවට හොදටම ගැලපෙනවා.. ඒත්.."

" ඇයි එරිකෝ ඒත් කියලා නැවැත්තුවේ?"

" නැහැ, එරිකෝට මතක ඇතිනේ මම එදා කිවුවා නළලයි ඇසුයි වැහෙන්න පරණ තාලේ තොප්පියක් දාන් හිටපු නිසා අඳුරට මට මුණ හරියටම පෙනුනේ නැහැ කියලා.. ඒකයි මම ටිකක් කල්පනා කලේ.."

" එහෙම කියන්න එපා ෆ්‍රැන්චෙස්කෝ.. තව ටිකක් උත්සාහ කරන්න.. හිතින් එදා දැක්කා වගේ තොප්පියක් මවා ගන්න බලන්න.. ඒ කෙනාව අඳුන ගන්න පුළුවන් මොකක් හරි විශේෂත්වයක් ඔයාට මතක් වේවි.."

එරිකෝගේ ඉල්ලීම හමුවේ ෆ්‍රැන්චෙස්කෝ එම පුද්ගලයා දෙස තවත් උනන්දුවෙන් බලා සිටින්නට විය.. නමුත් ඔහුගේ ඇසිරීමෙත් යම් විශේෂත්වයක් දකින්නට එරිකෝටද හැකි විය.. අන් අයට බාදාවක් නොවන අයුරින් ලියවිලි තබා ඇති ස්ථානය අසල තරමක් වේලා රැදී සිටින්නට ඔහු උත්සාහ දරණ බව එරිකෝට තේරුම් ගියේය..

" හරි එරිකෝ, මේ ඔහුම තමයි.. බලන්න ඔහුගේ දකුණු කකුල දිහා.. එදා මගේ ගෙදරදිත් මම ඔය වෙනස දැක්කා.."

ෆ්‍රැන්චෙස්කෝ පෙන්වූ වෙනස දෙස එරිකෝ උනන්දුවෙන් බලන්නට විය.. දකුණු කකුල ඔහු කෙලින් සිටගෙන සිටින විට එක ලග තැබිය නොහැකි සේ තරමක් ඇදව පිහිටීම විරළ දෙයක් වූ නිසාම ෆ්‍රැන්චෙස්කෝට එතනදී වැරදිය නොහැකියි එරිකෝ අනුමාන කලේය.. ෆ්‍රැන්චෙස්කෝගෙන් දැනගත් දෙය ගැන වෝල්ටර් හා අරියානා දැනුවත් කල එරිකෝ ඔහුට නොදැනෙන සේ ඔහු ගැන විමසිල්ලෙන් සිටින මෙන් උපදෙස් දුන්නේය..

" හරි ෆ්‍රැන්චෙස්කෝ, මේකයි අපේ අන්තිම සැලැස්ම.. ප්‍රදර්ශණය තියෙන තැනට ගිහින් ඔයා අපේ අමුත්තට පේන විදිහට ටිකක් ඉන්න.. අනිවාර්යෙන්ම එයා ඔයාව අදුන ගන්නවා.. ෆ්‍රැන්චෙස්කෝව ඔහු මඟ හරින්න උත්සාහ කරනවා කියන්නේ ඒ අපි හොයන කෙනාමයි කියන එක.."

" හරි එරිකෝ මම ඒ විදිහට කරන්නම්.."

ආරක්ශක කාමරයෙන් නික්මුන ෆ්‍රැන්චෙස්කෝ සැකයක් ඇති නොවන පරිද්දෙන් කෞතුකාගාරයට අළුතින් එක් කල ලියවිලි වූ තැනට සෙමෙන් ගමන් කරන්නට විය.. ක්‍රිස්ටෝෆර්ගෙන් තොරතුරු අසන්නටවත් වුවමනාවක් නොකල ඔහු ෆ්‍රැන්චෙස්කෝට පියවර කිහිපයක් ඉදිරියෙන් හිද ලියවිලි දෙසට නෙත්යොමමින් සිටියේය.. ඔහු ගැන එතරම්ම උනන්දුවක් නොදක්වනවා මෙන් හැසිරුන ෆ්‍රැන්චෙස්කෝ ඔහු ඉදිරියෙන් සිට ගනිමින් ලියවිලි නරඹන්නට විය..

ෆ්‍රැන්චෙස්කෝට වඩා ලියවිලි ගැන උනන්දුවක් තිබුන ඔහුට ඔහු ලග සිටින අය ගැනවත් උනන්දුවක් නොවීය.. ෆ්‍රැන්චෙස්කෝට තරමක් දුරින් හිද වෝල්ටර් මෙන්ම එරිකෝද සියල්ලක් දෙසම හොද අවදානයෙන් සිටියේය.. මිනිත්තු කිහිපයකින් ලියවිලි අතරින් අවදානය මිදුන ඔහුට තමන් ඉදිරියේ සිට ලියවිලි දෙස බලමින් වුන් ෆ්‍රැන්චෙස්කෝව නෙත ගැටුන බව ඔහුගේ හැසිරීමෙන් හොදින්ම පෙනෙන්නට විය.. ෆ්‍රැන්චෙස්කෝව මග හරින්නට මෙන් තමන් අත තිබූ කඩදාසි, මුහුණ තරමක් වැසෙන්නට මෙන් ඉහලට ඔසවමින් කියවමින් පියවරක් දෙකක් එතනින් ඉවතට යන්නට ඔහු උත්සාහ දැරීය..

එහෙත් ඔහුට නොදැනෙන සේ ඔහු ඉදිරියට ආ එරිකෝ හා වෝල්ටර් ඔහුගේ ගමනට බාදාවක් විය..

" මට සමාවෙන්න මහත්වරුනි.. මට පොඩ්ඩක් ඉඩ දෙනවද?"

ඔහු එතනින් මිදීමට මඟක් සොයමින් කතා කලේය..

" අපිට ඔබත් එක්ක ටිකක් කතා කරන්න ඕන.. අපි කැමතියි ඒක පෞද්ගලිකව කරන්න.."

එරිකෝ ඔහුගේ ගමන තවත් නවතාලමින් පැවසීය..

" මොනවා ගැනද? මම ඔබලාව කලින් දැකලා නැහැනේ.."

" ඔවු ඒක ඇත්ත.. ඒත් ඔබ මේ අපේ මිත්‍රයාව හොදින්ම අඳුනනවානේ.."

එරිකෝ ෆ්‍රැන්චෙස්කෝව ඔවුන් අසලට කැදවමින් පැවසීය.. ෆ්‍රැන්චෙස්කෝව ඔවුන් සමග දුටු සැනින් සිදුවන්නට යන දේ ගැන ඔහුට වැටහුනත් ඔහු ඉවසීමෙන් කටයුතු කලේ ඉන් මිදීමට මඟක් සොයමිනි..

" නැහැ මම මොහුව අඳුනන්නේ නැහැ.. සමාවෙන්න මට ප්‍රමාද වෙනවා.."

" මේ බලන්න මහත්මයා.. අපි ඔබ කවුද කියලවත්, ඔබේ නමවත්, මොනවද කරන්නේ කියලවත් දන්නේ නැහැ.. ඒත් එක දෙයක් දන්නවා.. ඒ ඔබ මගේ ම්ත්‍රයා ෆ්‍රැන්චෙස්කෝ එක්ක එකතු වෙලා ඔහුගේ උදවු අරන් සැලසුම් කරපු දේ ගැන.. ඒ නිසා අපි කැමතියි ඔබ කලබලයක් ඇති නොකර හැම දෙයක්ම අපිත් එක්ක කියනවනම්.."

එරිකෝ ඔහුට ඉන් ඉවත්ව යන්නට තිබෙන මඟ අසුරමින් ඔහු තුලින්ම සෑම දෙයක්ම දැන ගැනීමට ඔහුට බල කලේය.. ෆ්‍රැන්චෙස්කෝ මෙන්ම වෝල්ටර් හා අරියානාත් ඔවුන් සිටි තැනට පැමිණි නිසාම  උඟුලට හසු වූ බව ඔහුට හැගි ගියේය..

" එහෙනම් මේ හැම දෙයක්ම සැළසුමක්.. අර තියෙන්නේ ඇත්තම ලියවිලි නෙමෙයි.. මම හරි නේද?"

" ඔවු, ඒ ඇත්ත ලියවිලි නෙමෙයි.. ඇත්තම ඒවා තියෙන්නේ ඔබ ලග හරි ඔබ වෙනුවෙන් මේ වැඩේට මුදල් ගෙවපු කෙනා ලග හරි.. අපිට දැන ගන්න ඕන අන්න ඒ කවුද කියන එක.."

" මේක ඔබලාට පාලනය කරන්න බැරි තරම් දුර ගැටළුවක් වේවි.. මම කැමතියි මගේ නීතීඥ්ඥයා එක්ක කතා කරන්න.."

" මහත්මයා, ඔබට ඕන හැම පහසුකමක්ම ඒ විදිහටම අපි සුදානම් කරලා දෙන්නවා.. ඊට කලින් අපිට දැන ගන්න ඕන මේක පිටිපස්සේ ඉන්නේ කවුද, ඒ ඇයිද කියන එක.."

ඔහු මොහොතක් කල්පනා කරන්නට විය.. සෑම අතකින්ම ඔහු සිරවී ඇති බව තේරුම් ගන්නට ඔහුට එතරම් කාලයක් ගත නොවීය..

" හරි, හැම දෙයක්ම සිද්ද වෙන්නේ ඒ පිළිවෙලටනම් මම හැම දෙයක්ම හංගන එක සුදුසු නැහැයි කියලයි මට හිතෙන්නේ.."

" ඔබ ඒ ගැන තේරුම් ගත්ත එක මට ඇත්තටම සතුටක් මහත්මයා.."

ඔහුත් සමග ආරක්ශක කාමරය වෙත ගිය ඔවුන් සියළු දෙනාම ඔහු විසින් කියන්නට යන කතාව ඇසීමට උනන්දුවෙන් පසුවීය..

" මම ස්ටැන්ලී ගාඩ්නර්.. මම කප්පම් කරුවෙක්.. ඒත් මේ වෙනකම් ලොකු අපරාද වලට මම සහභාගි වුනේ නෑ.. ඒත් ගෙවන්න යන මුදල ගැන දැනගත්තම මට මේක මඟ හරින්න පුළුවන් කමක් තිබුනේ නෑ.. මාව මේ ගණුදෙනුවට කතා කලේ මම ලිවර්පූල් වල ඉද්දී.. මට එහෙදී මම කලින් වැඩ කරපු තවත් කප්පම්කරුවෙක් හම්බුනා.. අරල් මේසන්.. ඔහු තමයි මේ හැම දෙයක්ම සැළසුම් කලේ.. මම කලේ ඔහුට ඕන දේ කරපු එක විතරයි.. හැමදෙයක්ම හරි විදිහට හරි වෙලාවට සැළසුම් කරන්න ඔහුට පුළුවන් වුනා.."

" එතකොට අර්ල් මේසන්ට මේ හැම තොරතුරක්ම හරියට ලැබුනේ කොහොමද? කප්පම්කාරයෙක්ට මේ වගේ තොරතුරු හරියට ලැබෙන්න තියෙන ඉඩකඩ අඩුයි.."

" අන්න ඒ නිසයි මම කිවුවේ මේක ඔබලාට පාලනය කරන්න බැරි තරම් ඉහලට යාවි කියලා.. ඔබලා හැමෝම දන්නවනේ පේරි ගිබ්සන් ගැන.. අන්න ඔහුගෙන් තමයි මේ තොරතුරු ලැබෙන්නේ.."

" මොනවා පේරි ගිබ්සන්.. ඒ රැජිනගේ ආරක්ශක අංශයේ ප්‍රධානියානේ.."

වෝල්ටර් විමතියෙන් මෙන් පැවසීය.. කොහෙත්ම නොහිතපු අයුරේ පුද්ගලයෙක් මීට සම්බන්ඳ වීම ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූවක් විය..

" හරි ඔහු ඇයි මේ වගේ දේකට සම්බණ්ඳ වෙන්නේ?"

එරිකෝ ගැටළුවේ ඉතුරු ටික දැන ගන්නට තිබුන  වුවමනාව නිසාම ස්ටැන්ලිගෙන් විමසීය..

" ඒක කාලකෙට කලින් පේරි ගිබ්සන්ගෙයි අරල් මේසන්ගෙයි අතර තිබුන ගණුදෙනුවක් නිසා වුන දෙයක්.. ඒ ගැන නම් මම හරියටම කියන්න දන්නේ නෑ.. ඒත් අරල්ගේ බලකිරීම නිසා පේරි වැඩ කලා කියන එක අපි අතර වුන හැම කතාවකදිම මට තේරුණා.."

" ඇයි ඒකට මොකද්ද තියෙන හේතුව?"

" මේ සැළසුම ක්‍රියාත්මක කරන්න කලින් දෙතුන් වතාවක්ම අපි තුන්දෙනා මුණගැහිලා කතා කලා.. ඒ හැම වෙලාවකම පේරි කිවුවේ මේකේ අවදානම වැඩියි ඒ නිසා මේක කරන්න එපා කියලා.. ඒත් ඒවා අහන්න තරම් ඕන කමක් අරල්ට තිබුනේ නෑ.. ඔහු වැඩ කලේ ඔහුගේ වුවමනාවට.. මටත් වතාවක් මේකෙන් ඈත් වෙන්න වුවමනාවක් ආවත් ඒ වෙද්දී හුඟක් ප්‍රමාද වැඩියි.."

" හරි දැන් ඒ දේවල් ගැන හිතන්න කාලය නෙමෙයි.. අපිට සිද්ද වුන දේ ගැන විස්තර කරන්න.."

වෝල්ටර් උස් ස්වරයෙන් තර්ජනාත්මකව පැවසුවේ අනවශ්‍ය දේවල් ගැන කතා කිරීමෙන් පලක් නොවන නිසාවෙනි.. පොලීසියේ මෙන් කෑ ගැසීමට විරුද්ධ වුන එරිකෝ ඔහුව නතර කරමින් ස්ටැන්ලිට කතා කිරීමට ඉඩ සලසා දුන්නේය..

" මම කලින් කිවුව වගේම මට ලිවර්පූල් වලදියි අරල්ව මුණගැහුනේ.. ඒ අවුරුදු පහකට විතර පස්සේ.. මම නැවතිලා හිටපු නිකේතනයට අව අර්ල් මට මේ යෝජනාව කලා.. එවෙලේ මට කිවුවේ නෑ පේරිගෙන් මේකට අවශ්‍ය තොරතුරු ලැබෙනවා කියලා.. මේ ලියවිලි ගැන මම ඒ වෙද්දී අහලාවත් තිබුනේ නෑ.. ඒ හන්දා මම කිවුවේ මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි කියල.. ඒත් අරල් කියන්නේ කාටත් වඩා හොද කප්පම් කරුවෙක්.. ඒ හන්දා ඔහුට වරදින්න තියෙන ඉඩ අඩුයි කියලා අපි හැමෝම දන්නවා.. ඒ නිසා මම මේකට එකතු වුනා..

පේරිගෙන් අපිට ඕන කරන හැම තොරතුරක්ම ලැබුනා.. රජ මාලිගාවෙන් මේ ලියවිලි ලන්ඩන් කෞතුකාගාරයට යනකම් අපිට බලාගෙන ඉන්න සිද්ද වුනා.. මොකද ඊට කලින් මේ වැඩේ කරන්න කොහෙත්ම බැරි නිසා.. පේරි තොරතුරු සහතික කලාට පස්සේ අපි අපේ සැලැස්ම ක්‍රියාත්මක කලා.. අරල් කලින් ඉදලම ලන්ඩන් කෞතුකාගාරයේ ආරක්ශක නිළධාරියෙක්ව ඔහුගේ සල්ලි වලට යට කරන් හිටියේ.. ලියවිලි ලන්ඩන් කෞතුකාගාරයට ලැබුනට පස්සේ දවසේ රාත්‍රී මුර සේවය තිබුනේ ඒ ආරක්ශක නිළධාරියට.. අර්ල්ගෙන් ලැබුන උපදෙස් අනුව ඔහු හරියටම වැඩ කරලා තිබුනා.. අපිට තිබුනේ පිටුපස දොරටුවේ රැදි ඉන්න විතරයි..

ඊළගට අපිට ඒ ලියවිලි වල ව්‍යාජ ලියවිලි ඉක්මනින්ම හදන්න වුවමනා වුනා.. අපිට කලින් ඒක සූදානම් කරලා එවෙලෙම ව්‍යාජ ලියවිලි එතන තියන්න පුළුවන් කමක් තිබුනේ නැත්තේ ඇයි කියලා මම අමුතුවෙන්ම කියන්න ඕන නැහැනේ.. ඒත් අර්ල්ට ඒකට සැළසුමක් තිබුනා.. ඒ තමයි මේ ඉන්න ෆ්‍රැන්චෙස්කෝ.. මේ වගේ දේවල් ඉක්මනට දක්ශ විදිහට කරන්න පුළුවන් එකම කෙනා ෆ්‍රැන්චෙස්කෝ කියලා අරල් දැනගෙන හිටියා.. ඒ නිසයි මම  කලින්ම ගිහින් ෆ්‍රැන්චෙස්කෝ එක්ක මේ ගැන කතා කරලා තිබුනේ.. එතකොට එක පාරම ඒකට විරුද්ධ වෙන්නවත් ඒ ගැන සැක කරන්නවත් ෆ්‍රැන්චෙස්කෝට ඉඩක් නැති නිසා..

ෆ්‍රැන්චෙස්කෝ අපි බලාපොරොත්තු වුන විදිහටම ඒ වැඩේ කරලා දුන්නා.. එදා පාන්දර ඒ ව්‍යාජ ලියවිලි අරන් අපි ආයෙම කෙලින්ම ගියේ ලන්ඩන් කෞතුකාගාරයට.. එතනදී අපේ සගයට ඒ ටික දීලා අපි අපේ කාර්ය ඉවර කලා.. අපිට වාසි සහගත දෙයක් සිද්ද වුනේ ඊට පස්සේ.. ඒ ලන්ඩන් වලින් ඒ ලියවිලි වෝර්වික්ෂයර් අරන් යනවා කියලා අපේ සගයා දුන්න ආරංචිය.. ප්‍රවාහනය අතරමග මේ දේ වුනා කියන්න තියෙන ඉඩකඩ හුඟාක්ම වැඩි නිසා අපි ඒ ගැන සතුටු වුනා.. ඒත් අපි බලාපොරොත්තු වුන විදිහේ ආරංච්යක් ඊලග දවස් කීපයෙදි නොලැබුන නිසා අපි හැමෝම ටිකක් නොසන්සුන්ව හිටියේ.."

" ඒ අතරෙදි ප්‍රදර්ශණයට හැම දෙයක්ම සූදානම් කියුවම ඔබලට හිතුන දේ මොන වගේද කියලා මට හිතා ගන්න පුළුවන්.."

එරිකෝ ඔහුගේ කතාව නිමාවෙද්දී පැවසුවේය..

" ඇත්තෙන්ම ඔවු.. මෙතනදි වැඩියෙන්ම කලබල වුනේ පේරි.. ඒත්, අර්ල් ඒකට ඇගිල්ල දික් කලේ මට.. එදා රෑ කලබලේට මම ලියවිලි පටලවා ගත්තා කියලා.. අපිට ඒක නිවැරදි කර ගන්න පුළුවන් කමක් තිබුනෙත් නෑ.. අර්ල් ඒ වෙද්දිත් ඩෙන්මාර්කයේ කෝටිපතියෙක් ගණුදෙනුවට සූදානම් කරගෙනයිත්  හිටියේ.. ඔහුත් එක්ක ගණුදෙනුවේ ඉතුරු ටික කතා කරන්න කලින් මේ ගැන හොයලා බලන්නයි මම අද ආවේ.."

" දැන් එතකොට කෝ ශේක්ෂ්පියර්ගේ ලියවිලි?"

" අර්ල්  ලග.. මෙච්චර දවසක් අපි හිටියේ මැන්චෙස්ටර් වල.. අර්ල් තාමත් එහෙ.."

" එහෙමනම් වෝල්ටර්, අර්ල්ව කොටු කර ගන්න එක ඔබට කරන්න පුළුවන්නේ.. මතක තියාගන්න ඒක අද දවස ඇතුලතම කරන්න.. මොකද ස්ටැන්ලිගෙන් තොරතුරක් ලැබෙන්න පරක්කු වුනාම අර්ල්ට හැම දෙයක්ම තේරුම් යාවි.."

ස්ටැන්ලිගේ කතාවේ සියල්ල අසා සිටි එරිකෝ වෝල්ටර්ට උපදෙස් ලබා දුන්නේ එය ඉක්මනින්ම ඉටු කල යුතු දෙයක් නිසාවෙන්ය..

" එතකොට පේරි ගිබස්න්?"

වෝල්ටර් එරිකෝගෙන් ආපසු විමසුවේය..

" ඒ ගැන ඔබේ ඉහළ නිළධාරින් දැනුවත් කරන්න වෝල්ටර්.. ඔවුන් ඉතුරු ටික තීරණය කරාවි.. මතක තියාගන්න මෙතනදි ෆ්‍රැන්චෙස්කෝ අපිට උදවු කල නිසයි මේක විසදගන්න පුළුවන් වුනේ.. ෆ්‍රැන්චෙස්කෝට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගන්න එපා.."

එරිකෝ ෆ්‍රැන්චෙස්කෝට ස්තූති වන්ත වෙමින් පැවසීය.. තම දුරකතනය අතට ගෙන නිළධාරින්ට උපදෙස් දෙමින් වෝල්ටර් එළියට නික්ම යන අතරතුර එහි සිටි ආරක්ශකයන් යටතට ස්ටැන්ලිව බාර කල ඔවුන් ආරක්ශක කාමරයෙන් පිටතට ආවේය.. එලිමහන් රංග පීඨය මත රඟ දැක්වෙන වැනීසියේ වෙලෙන්දා නැරඹිමට එරිකෝ සිම්රන් හා අරියානා සමගින් නතර විය..

" කාලෙකට පස්සේ මුණගැහිලා ගෙවපු කාලය හරිම සුන්දරයි එරිකෝ.."

" මටත් අරියානා.. ඒත් මේ අන්තිම හමුවීම නෙමෙයිනේ.. අපිට ඉස්සරහට තව වැඩ වලදි එකතු වෙන්න පුළුවන් වේවි.."

" මාත් හිතනවා.. මේ පරීක්ශණය රහසක් නොවුනනම් මට මේ හැම දෙයක් ගැනම ලියන්න තිබුනා.."

සිම්රන්ගේ හිත නාට්‍ය වෙතට ඇදී ගොස් සිටියදි එරිකෝව ඉන් තරමක් ඈතට කැදවාගෙන ආ අරියානා ඈ දෙස මොහොතක් බලාගෙන සිටියාය..

" ඔයා කවද්ද එරිකො ඒ ගැන සිම්රන්ට කියන්නේ?"

" මොකද්ද?"

" එරිකෝ, අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා ඔයා හොදටම දන්නවා.. ටික කාලයක් දුරින් හිටියත් මම ඔයාගේ හොදම යාළුවා.. ඔය දෙන්නගේ ඇස් වලින් හිතේ කැමැත්ත හොදින්ම පේනවා එරිකෝ.. ඒක එයාට කියන්න.. එයා කැමති වෙයි.."

තමන්ට පියවර කිහිපයක් ඈතින් සිටි සිම්රන් දෙස එරිකෝ බලාගෙන සිටියේය.. තමන්ගේ හිතේ තිබුන දෙය අරියානා තේරුම් ගත් මුත් ඇය පැවසූ පරිදි ඈට ලං විය නොහැකි බව එරිකෝගේ හිත දැන ගෙන සිටියේය.. නාට්‍ය නරඹමින් සිටි ඇය මොහොතකට ඉන් මිදී එරිකෝ දෙස බැළුවාය.. ඈට සුපුරුදු නිතරම එරිකෝගේ හිත ඇද ගත් සිනහව පෑ ඇය ඔහු ඈ ලගට එන තුරු එතනම රැදී සිටියාය.. 





 නිමි...