Friday, 7 October 2016

නමක් නැති කතාවක්


මම ගල් ගැසී බලා හිදියෙමි. කෙටි අවුල් වූ අක්ඹමරු කොන්ඬය සුළඟේ හිතුමතේ ඉගිලෙන්නට වෙර දරමින් සිටී. කාලය නැවතුනාක් මෙන්ය.

මට අත ඇරෙන්න ඉඩ දෙන්න.’

තුරුළු කර ගත් දෑත මම මුදා හළෙමි. ඊට නතු නොවුන වරක් මා දෙස බලා යළිත් ඇගේ මුහුණ මා පපුතුරේම සඟවා ගත්තාය.

දැන්ම, මේ විදිහට නෙමෙයි.’

මම තේරුම් ගත නොහැකි වු ප්‍රශ්නයක සිට බලා හිදිමි. ඈත සමුදුර සංසලය. මගේ හිතත් සමාන්තරවම සංසලය. ඇය තවමත් මා තුරුළෙහිය. මුදා හැරි දෑත් අතරක තවමත් පහසක් සොයමින් මා තුරුලෙහිම ඉඩක් සොයමින් සිටියා. ජීවිත සාගරය තුළ අතරමං වූවාක් මෙන් මම ඈත ක්ෂිතිජය දෙසම බලා උන්නෙමි.

ඇය ක්‍රමයෙන් මා තුරුලෙන් ඈත් විය. මා මෙන්ම ඈද සාගරය දෙස බලා ඉන්නට විය. නිමාවක් නැති රළ පහරක ප්‍රචන්ඬත්වය වෙරළ තීරයක් සංසුන්ව විඳගනිමින් සිටී. මමද, ඇගේ සිතුම් පෙළ ලෙසටම විඳගන්නට වෙර දරමින් සිටී. එහෙත් වෙරළට වඩා මම සියුමැලි වැඩිය.

දින තුනකට පසු උසාවියක,

මම සංසුන්ව බලාගෙන හිදියෙමි. මොහොතට අනුකූලව ක්‍රමයෙන් අඩුවැඩි වන ඝෝෂාව මට කිසිදු බාධාවක් නොවීය. නමුත් ඇය එසේ නොවූවාය. ඇගේ දෙනෙත් වල ව්‍යාකූල බව තුළින් හොදින්ම පෙනෙන්නට විය. නමුත් බවක් මඟ හැර යන්නාක් මෙන් ඇගේ දෑස් මා ළග මෙන්ම ඔහු ලග විටින් විට නතර වන අයුරු මම බලාගෙන සිටියෙමි.

යළිත් ඇගේ දෑස් මා තුළට විත් නතර විය. ආත්මයම උදුරා ගන්නා යක්ෂණිය බැල්මක් දෑස් අතර වූයේ පළමුවෙනි වතාවට නොවේ. එය මා ජීවිතය අළුකර දැමුවා වූ බැල්මයි. මම ඇගේ දෑසෙන් මිදෙන්නට උත්සාහ ගතිමි. මේ ඊට උචිතම කාලයයි.

හැම දෙයක්ම යළිත් සංසුන් විය. අප වටා වූ හැම දෙයක්ම ගිල ගනිමින් වුන් නිහැඬියාව නිමා විය. මම නැගි සිටියෙමි. ඈයද නැගි සිටියාය. විවාහ පොරොන්දුවෙයි දික්කසාද තීන්දුවෙයි එකම වෙනස නැගී සිටි අප එක ළග නොසිටීම පමණකි. අතුරු කතා එදා මෙන්ම අදද නොඇසුණා මෙන්ය.

මම ඇවිද ගියෙමි. දුවගෙන ඇය මගේ අතින් අල්ලා මා නතර කෙරුවා. පහස සුමුදු ය. සියුමැලි ය. වෙනදා මෙන්ම ආදරණිය . මා දෙස බලද්දී බිම බලාගෙන සිටියාය. වරද ඇගේ මිස මගේ නොවේය. මම ඇගේ දෑස දෙසම කෙළින් බලාගෙන සිටියෙමි.

මට සමාවෙන්න.’

ඇය කියනු මට ඇසිණ. පිළිතුරක් දීම අනිවාර්ය නොවන නිසාම මම නිහඬවම සිටියෙමි. ඇයද එසේමය. විටින් වට ඉහළ යන ඝෝෂාව අපේ නිහැඬියාවට බාධා කළා මිස අප අතර කිසිදු හැඟීමක් නොවීය.

සත් මසකට පසු දවසක,

මම ඔහේ ඇවිද ගියෙමි. හිස්වූ හැඟීම් සමුදායක් මගේ ජීවිතය සැහැල්ලු කර අවසන්ය. ඉබාගාතය යනු විකාරයක් නොවන බව දැනෙන තරමට මේ ගමන සාමාන්ය වී ඇත. ඉතින් මම ඇවිද යමි. වඩ වඩාත් ලෝකය දැනෙන තෙක් මම ඇවිද යමි.

ඇය මා හමුව තවත් එක් අරුමයක් පමණකි. වැඩෙන නැවුම් බලාපොරොත්තුවක් දරාගෙන මා දෙස බලාහිදියාය. මමද දෙස බලා හිදියෙමි. ජීවිතය සැහැල්ලු කර තිබු හිස් හැඟීම බරෙන් වැඩි වේදනාවක් දළු ලන්නට විය. මම තව දුරටත් පෙර මෙන් නොවේය.

සතුටුයි.’

වේදනාත්මක හඬක් අප අතර බිඳෙමින් නැගෙමින් තිබිණ. මටත් වඩා ඇය එයට උරුමකම් කියන්නට විය. ඇගේ සතුට හා මගේ පරාජය බැවින් මම නිහඬ වීමි.

ජීවිතේ වෙනස් වෙනවා.’

ඇත්තටම එහෙම නොවුණත් මම ඇයට යමක් කිව යුතුවම තිබූ නිසා වචන ඇහින්දෙමි. පරණ පුස්කමින් තියෙන ජීවිතයක අළුත් සුවඳකට වඩා පුස් ගඳක් ඇයට නොදැනෙනු ඇතැයි මම සිතුවෙමි.

ඇය මගේ දෑස් වෙතම එබී උන් බැල්ම වෙනදා මෙන්ම විය.විශ්වාසයත් අවිශ්වාසයත් අතර දෝලනය වන නිමේශයන් කීපයක් අප අතර ගලා ගියේය.

මම යන්නම්.’

ඇය නික්මිණ. යළි නුඹ හමුනොවේවා යන පැතුමක අවසානයේ මම හිදියෙමි.

වසර කීපයකට පසු සැඳෑවක,

මුහුදු රළ, වෙරළ තෙර සිප ගනිමින් සිටියේය. එය නිස්කලංකය. මුහුදු හුළඟ හා ලෙංගතු පෙමක් මගේ හිත හිතුමතේ ලියමින් තිබිණි. තැඹිලි පැහැ අහසක් ක්ෂිතිජ ඉම රේඛා මත හැඩ රටා මවන්නට පටන්ගෙනය. සියල්ල සංසුන්ය.

කාලය බොහෝ සෙයින් ගෙවි ගොස් හමාරය. නැවතීමක් වේයැයි සිතු හැම දෙයක්ම ඉන් ඔබ්බට තවත් දුරක් පිය මැන ඇත. මට මා ගැන තේරුම් ගත නොහැකි කාරණාවද එයමය. යන්තමින් සුදුපැහැ වුණ අක්ඹමරු කොන්ඬය සුළඟ සමග පෙර මෙන් ඉගිල්ලෙන්නේද නැත.

ඇය, තවම ඡායාවක් මෙන්ය. බලාපොරොත්තු නොවන මොහොතක මැවී සැඟවෙන මිරිඟුවක් බඳුය. මා දෙසටම ඇවිදන් විත් මා අසලම වාඩි වූවාය. දෑස් මා දෑස් තුළම කියවන්නට විය. ඇය මිරිඟුවක් නොවේය.

හුඟක් කල් ගෙවිලා.’

ඇය සිටියේ මුහුද දෙසට නෙත් යොමාගෙන. ඇය කතාකරන්නේ මුහුද ගැනද මම ගැනද යන දෙගිඬියාවක මගේ සිත තැවෙමින් තිබුණි. ඇය නෙතු වලට වඩා මම මුහුද දෙස බලාගෙන සිටියෙමි. එය වඩාත් ප්‍රියමානාප ය. සුන්දර ය. චමත්කාර ය.

මට අත නොහැරි ඉන්න තිබුණා.’

කී. ගේ හිමුහුගැකල්නාවේවි. එය ඇත්තටම ප්‍රියමනාප ද? සුන්දර ද? චමන්කාර ද? නැත. රැළි අතර මිරිකුණ රෞද්‍ර බවක් මා ගිල ගන්න මාන බලමින් සිටියේය. හසුවීම හෝ හැරයාම මාගේ තීරණයකි. මුහුද වෙනස් වන්නේ නැත.




9 comments:

  1. කථාව පුරාවටම හුදෙකලාව ඉස්මතුවෙන අන්දමට වචන ගැලපිලා. හමුවීම, වෙන්වීම, නැවත හමුවීම ආදී සිදුවීම් සමග සාගරය සමීප කරවීම අපූරුයි දිනේෂ්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. නවකතාවක් කෙටියෙන් කියලා. හරිම ලස්සනයි.

    ReplyDelete
  3. අපුරුයි බං.උඩින් දුමින්දත් කියලා තියෙනවා වගේ සංවේගය මතු වෙන හුදකලා ශෝකී රසයක් තියෙන කතාවක්.

    ReplyDelete
  4. අතහැරියානම් කොතරම් වටනේද යැයි මොහොතකට නොසිතෙන්නේද...දුක්ඛ ශෝක මැද්දෙන් යම් ගමනක අවසානයක් යැයි මසිත වෙලා ගනී. එනමුදු ප්‍රශ්න රාශියකින් සිත වෙලා ගනී

    ReplyDelete
  5. හ්ම්ම් දැනුනා... වින්ඳා....

    ReplyDelete
  6. හුදකලාව හොඳම කලාව..ඒ කලාව විඳින්න ඉගෙන ගත්තාම හැමදාම මුහුද වගේ.. වෙනස් වෙන්නේ නැ...

    ReplyDelete
  7. මට අත ඇරෙන්න ඉඩ දෙන්න.’

    මට අත නොහැරි ඉන්න තිබුණා.’


    බොහොම සොඳුරු හිතට තදිින්ම දැනුණු නිර්මාණයක්.විශේෂයෙන්ම මේ වාක්‍ය දෙක හිතට තදිින්ම දැනුණා .

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්