Wednesday, 26 October 2016

චිත්ත සලිත

මම හුඟක් වේගෙන් දුවගෙන ආවා. තරමක් හති වැටිලා තිබුණා වුණත් නවතින්න නොහිතෙන තරම් වේගයකින් මම දුවගෙන ආවා. වගේමයි ඔවුනුත්. මගේ පසුපසින්ම ලුහු බැඳන් ආවේ මාව මඟ ඇර ගන්න ඔවුන්ට වුවමනාවක් නොතිබුණ නිසාම වෙන්න ඇති. මම තවත් වේගයෙන් දිවුවා.


මොහොතකදි මම නතර වුණා. මහන්සියට. අතු ඉති පොඩි වෙන සද්දයත් එක්කම ඔවුන් මගේ ළගට ඇවිත් නතර වුණා. බොහොම ඕනකමකින් උනන්දුවකින් මගේ දිහා බලාගෙන හිටියා. මමත් උන් දිහා බැලුවා. මේ නොසංසිදෙන ලුහු බැඳිමේ අවසානයක් තියේද කියලා හිතාගෙන. ඒත් දෑස් වල තිබුණේ වෙනමම කතාවක්.

මම ආයෙම දිවුවා. හති දමමින්. දැන් මගේ වේගය හුඟක් අඩුයි. මහන්සියට. ඒත් නවතින්න බැරි නිසාම මම දුවගෙන ගියා. ඉබාගාතයේ. පියවරක දෙකක පිටුපසින් ඔවුනුත් හැම එකෙක්ම මාව ලුහු බැදන් ආවා. මම මගේ වේගය අඩු කරන හැම වෙලාවකම උන් මගේ කකුල් දෙකේ එතෙන්න මාන බලමින් හිටියා.

සර්පයෝ.... මගේ හිතේ උන් ගැන තියෙන්නේ අකමැත්තක්. භයකට එහා ගිය පිළිකුලක්. උන් එක එක වර්ණ වලින් එක එක ජාති වලින් මගේ පස්සෙන් ඇදිලා එන්න වුණා. මේ ලුහු බැඳිම කොතනින් කොහොම මොන හේතුවක් නිසා පටන් ගත්තද කියලා මම දන්නේ නෑ. ඒත් උන් නිතරම මාව ලුහු බැන්ඳා. මට මතක නෑ. මොකද මට මතක මේ හැම දෙයක්ම පටන් ගත්තේ මගේ දිවීමත් එක්ක කියලා විතරයි.

එහෙම නැත්නම් මේ තැනින් තැනදි මට මුණ ගැහෙන උන්. මෙච්චර දුරක් උන්ට මගේ පස්සෙන් එන්න බෑ. උන් එකිනෙකා මගේ පස්සෙන් එන ගමන් සංනිවේදනය කරනවා ඇති. මගේ දුවන් යන පාරේ ඉස්සරහා ඉන්න උන්ට. නැත්නම් උන් කොහොමද මෙච්චර ඉක්මනට මම නවතිද්දිම මගේ ළගට ඇවිත් නතර වෙන්නේ??

මම තවමත් දුවනවා. නවතින්න තියෙන නොහැකියාව නිසාම මම තවමත් දුවනවා. මම වේගය අඩු කරන හැම වෙලාවකම බිම වැටිලා තියෙන කොළ අතරින්, තණ පිඩලි මතින් උන් මගේ ළගට ඇවිත් නවතිනවා. උන්ගේ තියෙන අරුමෝසම් පාට අතරෙම මම අකමැතිම පිළිකුලක් එකතු වෙලා තිබුණා. ඉතින් මම ආයෙමත් දුවනවා.

කැලෑවක් අතරින් වැටිලා තිබුණ මාවතෙන් මිදිලා මම එළිමහනකට ආවා. හිතට දැනුණේ තරමක සැහැල්ලුවක්. , මට දැන් වටපිටාව කලින්ට වඩා හොදින් පේන හන්දා. ඒත් මගේ දිවීවේ අඩුවක් උණේ නෑ. තැනිතලා බිම දිගේ මම තව ටිකක් දුර දුවගෙන ගියා. මම නතර වුණා. පිටිපස්ස නොබලම මම එහෙමම හුස්මක් දෙකක් තරම් වෙලාවක් නැවතිලා බලාගෙන හිටියා.

හැමදෙයක්ම නිස්කලංකයි. කොළරොඩු එහා මෙහා වෙන හඬක්වත් නොඇසෙන තරම්. මම දිගු හුස්මක් එක්ක ආයෙම හැරිලා බැලුවා. උන් කැලෑව මානයෙන් ටික දුරකින් නැවතිලා. උන් මහා ගොඩක්. එකා පිට එකා දැවටි දැවටි මගේ දිහා බලාගෙන හිටියා. සමහර උන් තමන්ගේ ශක්තිය පෙන්නන්න අනෙකා එක්ක පොරබදිමින් හිටියා.

මට තවදුරටත් එතන රැදෙන්න ඕනකමක් තිබුණේ නෑ. මම තැනිතලා බිම දිගේ ඇවිදන් ආවා. ටික දුරක්. ටිකක් ඈතට වෙන්න ගෙවල් තියෙනවා දැක්ක නිසාම මගේ හිතට දැනුණ සැහැල්ලුවෙන් මම ටිකක් ඉක්මනට ඇවිදන් ආවා. , ආයෙම උන් මගේ පස්සෙන් ඒවි කියලා හිතට දැනුණ නිසා.

ගෙවල් එකක් දෙකක් මම පහුකරන් ගියා. හැම එකකම තිබුණේ පාළු වෙලා ගිය බවක්. ඒත් මම ඒක තරම්ම ගාණකට ගත්තේ නෑ. මධ්‍යහන පහුවෙමින් තිබුණ හන්දා පාළුව තරම්ම අමුතු දෙයක් නෙමෙයි කියලා මට හිතුණා. ඒත් වැඩි වෙලාවකට නෙමෙයි.

මම හිටියේ ගෙයක් පහු කරමින්. යමක් බොහොම තදින් බිඳෙන හඬක් මට ඇහුණේ මට අහම්බෙන් වගේ. අහම්බයකුත් නෙමෙයි. ඕනම දෙයක් බොහොම හොදට ඇහෙන තරමේ ඉඩකඩක් තිබුණ නිහැඬියාවේ මට හඬ හොදටම ඇහුණා. මම නතර වුණා.

මම හඬ ඇහුණ දිහාට ගියා. ආයෙම හැම දෙයක්ම තිබුණේ බොහොම ලොකු නිහැඬියාවක. ඒත් මම කලින් හඬ දිගේ ගෙදරක දොරකඩට ලං වුණා. සුරතලුන්ට ගෙදරින් එළියටයි ඇතුළටයි යන්න දොරේ හදලා තියෙන කවුළුව ළග කළු පාටට දිඟට යමක් තිබුණා. මම අඩි තිබ්බේ බොහොම හෙමීට. වෙද්දිත් මගේ හිත ඕනවාටත් වඩා ගැහෙමින් තිබුණේ. මම තව ටිකක් ලං වුණා.

මගේ හිත තවත් වේගෙන් ගැහෙන්න වුණා. මොකද්ද කියන එක අඳුන ගන්න මට අමාරු වුණේ නෑ. මම අඩියක් පිටිපස්සට තිබ්බා. ආපහු හැරුණා. සිහි නැතිව ඇදෙගෙන වැටෙන තරමේ බයකින් වෙලිලා මගේ හිත එක පාරම නතර වුණා. උගේ ඔළුව තිබුණේ මගේ පිටිපස්සේ. ඒක මටත් වැඩිය විශාලයි.

කිසි හැල හොල්මනක් නැතුව ඒක මං ඉන්න තැනට අඩි කීපයක් එහායින් බිම වැටිලා හරි වැතිරිලා හරි තිබුණා. මම උගේ ඔළුව ළඟින් පටන් අරන් උගේ ඇග දිහා බැලුවා. ගේ අනික් පැත්තෙන් පේන්නේ නැතුව ගිය ඒකේ අවසානය තමයි කවුලූවෙන් මෙහා මම කලින් දැක්කේ කියලා තේරුම් ගන්න මට අමාරු වුණේ නෑ.

බයෙන් මිරිකිලා ගිය හැඟීම හන්දම ආයෙම දුවනවද නැද්ද කියලවත් හිතාගන්න බැරුව මම ගල් ගැහිලා බලාගෙන හිටියා. මම බැලුවේ උගේ ඇස් දිහා. ඒවා තිබුණේ පියවිලා. ඒක මට එක මොහොතක සැනසුමක් වුණා. ඒත් මම එද්දී මේක නොදැක්කේ කොහොමද කියලා මම කල්පනා කළා.

මම ආයෙම දිහා බැලූවා. පියවුණ ඇස් ඇරුණෙ බොහොම ඉක්මනට. මගේ ඉස්සරහින් කෙළින් වුණේ මහා යෝධයෙක් වගේ. උගේ ඇඟට යට වෙලා හිටිය මිනිහෙක්ව ගිල දැම්මේ හරිම ලේසියෙන්. ඒක ඌට දැනුනෙවත් නැති පාටයි. ඊට පස්සේ හැරුණේ මගේ දිහාට
 
උඹ..’

ඔවු. කතාකරන සර්පයෙක්.. නයෙක්.. පිඹුරෙක්. මොකෙක් හරි. මගේ ඉස්සරහට වෙලා බලාගෙන හිටියා. කහ පාටට හුරු ඇස් වල දරුණු පෙනුමක් තිබුණා. ඊළග මොහොතේ මම ආයෙම දුවමින් හිටියා. කලින් වතාවේ වගේ නෙමෙයි මේ පාර දුවලා බේරෙන්න තරම් පුළුවන් කමක් මට නෑ කියලා මට තේරුණා. ඒත් මම දිවුවා.

කොච්චර දුර ආවද මම දන්නේ නෑ. ඈතින් මම දැක්කා මිනිස්සු දෙතුන් දෙනෙක්. ඔවුන් දුවගෙන ආවේ මම එන දිහාවටමයි. ඒක මට මහ සතුටක්. අඩුම ගානේ මම දැන් තනි නැහැ. ඒත් එක්කම අපි ඌට තරම්ම දෙයක් නෙමෙයි කියලා මට තේරුණා. මම ඔවුන්වත් නවත්වන ගමන් ඉස්සරහට දුවන් ගියා.

මගේ ඉස්සරහට ආව මිනිස්සු මාවත් පහු කරන් දුවද්දී මම නැවතිලා ආයෙම හැරිලා බැලුවා. , අර සර්පයා.. නාඟයා.. පිඹුරා.. මොකා හරි, හිටියේ බිම වැටිලා. හරියට මැරිලා වගේ. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා මම දන්නවා.
 
මැරිලා නෑ..... මැරිලා නෑ...’

මම ඔවුන්ව නවත්තන්න කෑ ගැහුවා.

එච්චරයි........ 





ප.ලි- දැන් මේ මල විකාරේ මොකද්ද කියලා ප්‍රශ්ණ කරන්න කලින් ඒ ගැන කියන්නම්. මේක මම නිතරම බොහෝ වතාවක් දැක්ක හීනයක්. තේරුමක්වත් නොදන්නවා උනාට දැන් සෑහෙන කාලෙක ඉදන් මම මේක දකිනවා. මම සර්පයන්ට අකමැති වෙන්න ලොකුම හේතුවත් මේක තමයි. 

27 comments:

  1. එක නපුරු සිහිනය නැවත නැවත පෙනීමෙන් ගැලවීමට කළ යුත්තේ මෙයයි.

    ගන්න 4 ප්‍රමාණයේ කොළයක්.

    එය සමාන කොටස් හතරක බෙදෙන්න දිගට සහ සහ හරහට ඉරක් බැගින් අඳින්න.

    දැන් ඒ එක එක කොටුව මත බත් හැන්ද බැගින් බෙදන්න. ඒ බෙදන ගමන් මෙලෙස එක කොටුවකට සිව් වරක් බැගින් කියන්න.

    "කුරුල්ලනේ, කුරුල්ලනේ ඒ නපුරු සිහිනය යළි මට නොපෙනේවා"

    දැන් ඒ බත් පිරි කොලය එළිමහනට රැගෙන ගොස් කුරුල්ලන්නට කන්න තියන්න.

    (ඔන්ණ ලංකාවේ ටෙලිවිෂන්වලින් පෙන්නවන ඒවා!)

    ReplyDelete
    Replies
    1. මදැයි, මම හිතුවා සිරාවටම මේන පේන එක නැති වෙන්න දෙයක් කියන්න යනවා කියලා..

      ඒකනේ මම ටීවී බලන්නෙම නැත්තේ..

      Delete
    2. ඔය හීනය කඩදහියක ලියලා, පාන් ගෙඩියක අස්සට දාලා එලියේ කුණු බක්කියකට දාන්න. ආපහු පේන්නේ නැහැ. ෆුන් ෆුන් කාරයෙක් මටත් කියලා දුන්නේ.

      Delete
    3. අපරාදේ පාන් ගෙඩිය. පරිප්පුවක් හදා ගත්තනම් බඩ පිරෙන්න කන්න තිබුනා.

      Delete
  2. ඔයවගේ නපුරු හීන පේන්නේ කරදරයක් අතලඟදීළු. මම හිතන්නේ උඹේ කසාදේ ඉක්මනටම වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ. මොකො ඕක ඉස්සෙම්ම මම දකිද්දි මට අවුරුදු 10ටත් අඩුයි මගේ හිතේ. එහෙම එකක් නං බොල මේ වෙද්දී මට ඕලෙවල් ලියන ලමයි ඉන්නත් ඕන.

      Delete
  3. හීන. මාත් නිතර දකින හීන කීපයක්ම තියෙනවා. ඒ අතරේ ලස්සන වගේම ඔය වගේ භයානක එකකුත් පේනවා. අනේ මන්දා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එකපාරක් දකින ඒව අවුලක් නෑ. ඒත් නිතර නිතර දකින ඒවා ගැන තමයි පොඩ්ඩක් හිතන්න ඕන. කවුද දන්නේ ඕවයේ මොන වගේ තේරුමක් තියෙනවද කියලා හිටං.

      Delete
  4. ඔයා පස්සෙන් එලවලා තියෙන්නේ මෙඩුසා :D

    ReplyDelete
  5. :O හපොයි මේයාටත් පේන හීන ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. අනේද කියන්නේ.

      Delete
  6. මෙඩූසා..... ඔය පැන්නේ නයා මල්ලෙන් එළියට...

    ReplyDelete
    Replies
    1. හැක්. අර නයා කාලා මැරෙනවා සැපයි බං.

      Delete
  7. මේකේ ලියලා හිත සැහැල්ලු කර ගත්තට පස්සේ ආයේ ඕක පෙන එකක් නෑ.

    ගොඩක් හීන වලට තේරුමක් නෑ මම හිතන්නේ.

    අහ් උඹ ටී වී එකෙ පෙන්නන ශිවන්‍යද මොකද්ද මෙගා ටෙලිය බලනව නේහ් ඇත්ත කියහන් හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. ටික දවසකින් නම් ඕක දැක්කේ නෑ. ෆුල් වර්ශන් එක නැතත් අන්තිමේ ඔය ඔන්න මහ එකාව හීන වල සයිඩ් කැරැක්ටර් එකක් වෙලා නම් ඉන්න වෙලාවල් තියෙනව.

      හෙහ් හෙහ්. පිස්සුද අයියණ්ඬි. ඕවා බලනවට වඩා හොදයි සර්ප ගුහාවකට ගිහින් බය නැති කර ගන්නවා.

      Delete
  8. හැමදාම නිදාගන්න ඉස්සෙල්ල මෛත්‍රී භාවනාව කරන්න. හරියටම හරියනවා.

    ඉස්සර මට පේන හීනයක් තමයි එයා ගැන නක්කි කමෙන්ට් දානවා කියලා චෙෆාකි ගහන්න එලවාගෙන එනවා. දැන් එයා දුවනවා මම එළවනවා.

    ReplyDelete
    Replies
    1. දැන් මෛත්‍රී කරලා හරියන එකක් නෑ මං හිතන්නේ.

      හෙහ්, චෙෆාකි අල්ල ගන්න වෙයි ඒකේ ඇත්ත නැත්ත හොයා ගන්න.

      Delete
  9. සර්පයො කියන්නෙ මමත් අකමැතිම එපාම කරපු ජාතියක්,වත්තට ගැරඬියෙක් ආවත් රෑට ඌව හීනෙන් පේන සීන් එකක් මටත් තියෙනවා.ඔය සත්තු ඉන්න ෆිල්ම් එහෙම බැලුවම ඒක ඩබල් ට්‍රිබල් වෙනවා.දවසක් ගේ ඇතුලට ගැරඬියෙක් ඇවිල්ලා මම අල්ලපු අඩව් වලට අහල පහල ගෙවල් හතරක පහක සෙනග අපේ ගෙදර පිරුනා.

    ReplyDelete
    Replies
    1. මාත් අර ස්නේක්ස් ඔන් ද ප්ලේන් ෆිල්ම් එක බැළුවෙ සෑහෙන කාලෙකට පස්සේ. ඒකත් මෙහෙ ඇවිල්ල තනියම ඉද්දී. හෙහ්.

      Delete
  10. ඒක ගෙදරක්. සුදුපාට බිත්ති ,ඕලන්ද ආරුක්කු තියෙන විසාල ගෙදරක්. මම හිටියේ  පළවෙනි මහලේ ආලින්දයට පිවිසෙන දොරටුවත් එක්කම තියෙන කොරිඩෝවේ මැද්දට වෙන්න. කොරිඩෝව පේනමානයේ තියෙන ඔක්කොම ආරුක්කු බලාගෙන හිටියේ එකම පැත්තක්. ඒ පැත්ත වසාගෙන තිබ්බේ රූස්ස ගස්.
    වටේම තියෙන්නේ තද ඝන වනාන්තරේ. ලොකු අතුපතර අතුරින් අහසක් නොපෙනන තරම්. තෙත බරිත සීතලක් එක්කම මගේ හිත ආයෙමත් 'ලබ් - ඩබ්' ගගා සෙලවෙන්න ගත්තා.

    තත්පරයෙන් දාහෙන් පංගුවක් වත් අපතේ අරින්න බැහැ. මම තෙත පස්වල මගේ අඩි සටහන් තියන ගමන් ඇතුලට, ඇතුලට දුවන්න ගත්ත. ඇතුලට කිව්වේ වනන්තරේ ඇතුලට නෙවෙයි, කුමක්දෝ දෙයක් ඇතුලට.

    ලොකු හුස්මවල් තුනක් ගන්නකොට මම සෑහෙන වේගෙන් දුවගෙන ඇවිත්, පේන මානේ තිබ්බේ ලොකු, තෙතබරිත ගල් පර්වත. ඒවා මට පෙනුනේ සුවිසල් යෝධයින් වගේ.
    මෙතරම් වනාන්තරයක් මැද්දේ කිරිපාටට මෙහෙම මන්දිරයක් තියාගන්න පුළුවන් කියන එක මම ඒ වෙලාවේ ආයෙමත් කිරල බැලුවේ නැහැ. කොටිම්ම එහෙම කරන්න වෙලාවක් තිබ්බේ නැහැ.

    මම හිටියේ කැළඹීල්ලෙන්. මගේ අත්වල ඇඟිලිගැට 'ටුක් ටුක්' හඬින් මම කැඩුවත් ඒ කැළඹීල්ල අඩුවක් උනේ නැහැ. මම ඉතින් කොරිඩෝවේ දොර පැත්තට  සක්මනක් පටන් ගත්ත.

    'දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....'

    පඩිපෙළ දිගේ ඒ සද්දේ මට හොඳට පුරුදුයි.. ඔව් ඒ උන් තමයි... තවත් හිතන්න දෙයක් නැහැ. මම කලේ ආරුක්කු ජනේල් පේලියේ මැද්දේ තියෙන ජනේලෙ පඩිය මතට මගේ දකුණු අතේ අල්ල තියලා ලොකු ගැම්මක් අරගෙන පහලට පැනපු එකයි. හුස්ම අල්ලාගෙන කලත්, 'දඩිස්' සද්දයක් මිසක් හුස්ම පහතට වැටෙන්න දඟලන හිත ඇතුලෙන් වෙන කිසිම සද්දයක් ආවේ නැහැ.

    මම හිටියේ තෙත පස් තියෙන ,  පලින් පල තණකොළ වල සලකුණු ඉතුරු කරපු බිමක. මම පැන්නේ ලොකු උසකින් කියල දැනුනත් මම ආයෙමත් තත්පරයක්වත් හිතුවේ නැහැ ඒ ගැන.

    'සර සර'

    ආයෙමත් සද්දේ. උන් එනවා... ආයෙමත් මම දුවන්න පටන් ගත්තා.

    ඒ පාර තිබ්බේ දිරායමින් තිබ්බ කොලරොඩු ගොඩවල් තියෙන , ගස් මුල් වලින් ආරුක්කු හදපු බෑවුමක්. බෑවුම කොතරම්ම තිව්‍රද කියනවා නම් මගේ කකුලේ වැදුණු පොඩි ගල්කැටයක් බෑවුම දිගේ පහලට විසි උනේ 'ටොක ටොක' ගාමින් මුල්වල වදිමින්.

    'ස්රස්.. සරස්... සරස්'

    ඔව්.. උන් එනවා ළඟම. හිතන්න දෙයක් නැහැ. මම හුස්ම අල්ලනේ නැතුවම බෑවුම දිගේ පහලට දුවන්න ගත්තා. මගේ වෙලාවට එකම මුලක්වත් මගේ කකුලේ පැටලුනේ නැහැ. මම දාගෙන හිටියේ මොන ජාතියේ සපත්තුද මන්ද, මට වේදනාවක් නම් දැනුනේ නැති තරම්.

    ඒවා බලන්න වෙලාවක් නැහැ. දුවන්න ඕනේ. නැත්තම් අහුවෙයි.

    බෑවුම ඉවර කරලා බලනකොට ඒක ඉවර වෙලා තිබ්බේ අලකොල යායකින්. පේනතෙක් මානයේ තිබ්බෙම ලොකුවට හැදිච්ච ලොකුම ලොකු අලකොල. ඒවා හුළඟට ලෙලදෙමින් තිබ්බේ මාව පිළිගන්න වගෙයි. මැද්දෙන් යන්න හිතෙන්නේ නැහැ. එරෙන්න පුළුවන්. කොහොමත් ඒ අලකොල ගස් මට වඩා සෑහෙන්න උසයි. මම දකුණු පැත්ත බැලුව.

    ඒ පැත්තෙන් තිබ්බා කළුගල් වලින් හදපු තාප්පයක්. ඒක ලොකු බැම්මක් වගේ එකක්. මම නියරක් වගේ තිබ්බ කොටසින් නැගලා බැම්මට ගොඩවුනා. බැම්ම පාමුල තෙතබරිත බවින් පෙනුනේ එතනින් පටන්ගන්න විල්ලුවක් වගේ කොටසක් පේනතෙක් මානයේ තියෙන බවයි.

    'සර සරස්.. ස්රස්'

    ඔව් ඒ උන් තමයි.

    ReplyDelete
    Replies
    1. වෙන දෙයක් උනාවේ. පණට ආදරයක් තියෙනවා නම් වෙන මගක් ඇත්තේ නැහැ. මම තවත් හිතන්නේ නැතුවම ගල් බැම්මෙන් පිම්මක් පැන්නා අලකොල ගාලට.

      'ජබොහ් ජඃ ජඃ '

      තෙත පස් ඇතුලට මගේ කකුල් බැහැල ගියත් මට ලොකුවට සීතලක් දැනුනේ නැහැ. මම අලකොල දෙබෑ කරමින් ඉස්සරහට දුවන්න පටන් ගත්තා. මට පිටිපස්සෙන් අලකොල පොඩිවේගන එන සද්දේ ඇහෙනකොට මට තේරෙනවා උන් ළඟමයි ඉන්නේ... මම තවත් වේගෙන් දුවනවා. වංගු හදමින් දුවනවා.
      අලකොල වනන්තරේ ඉවර උනේ ලොකු මිටියාවතකින්. මම මිටියාවත දිගේ දුවනකොට මට පෙනුනේ බහින්න ආසන්න ඉර විසින් ලස්සන දම්පාටක් හැමතැනම ඉහිරවලා තියෙන බවත්, ඒ ඔස්සේ පක්ෂීන් රටාවකට ගමනක් යන බවත්.

      මොකද්දෝ මත් ගතියක් දැනුනා.

      ආපහු අඩි සද්ද.... ආපු හැරෙන්න බැහැ දැන්... කරන්න වෙන යමක් ඇත්තේ නැහැ. මම මගේ උපරිම වේගෙන් දුවගෙන දුවගෙන ගියා. බෑවුමක් එක්කම මම දැක්කේ හාත්පස වෙලාගෙන තිබ්බ මෘදු මිදුම් පටලය මම එනකොටම දෙපැත්තට වෙන එකත්, ඒ අතරින් යන්තමට දිලිසෙන යමක් පෙනෙන අයුරුත්.. මම මගේ අත්දෙක විහුදුවා එය ගන්නට සැරසුණා......

      'කෝ මට අත හොලවන්න බැහැනේ.... අනේ අය්යෝ... මගේ අත !! අනේ තව ටිකක්!!! ටිකාක්!!!! ආඃ.. මොකද්ද මේ සද්දයක් ඇහෙන්නේ....'


      ට්‍රආආආආආආආආආආආආආආන්.........

      මර ලතෝනියක් නතර උනා වගේ උනා. මම බැලුව ඔලුව උස්සල. ඩොමේට්‍රියේ පේන මානෙක කිසිම කෙනෙක් නැහැ. මගේ ඔලුව ගාව තිබ්බ එලාම් එක උඩ අත තියාගෙන, මගේ දිහා නරුම බැල්මක් දාගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි, මිට ඩොමේට්‍රි දෙකකට එහා පාඩම් කරන්නම කියල නතර වෙලා හිටපු උත්තරා අක්කා.

      මුණට අබ දැම්මා නම් 'පට පට' ගගා පිපිරෙනවා. මම හෙව්වේ මගේ අත... කෝ ඉතින් අත මටම යට වෙලානේ...

      "පාඩම් කරන තැනට ඇහෙනවා ඔයාගේ එලාම් එක"

      එහෙම කියාගෙන උත්තරා අක්කා විලක්කුව ගත්ත යකදුරා වගේ ආයෙමත් හැරුනා. මම අර මොකද්ද කාපු මොකාද වගේ.

      'මෙයා නම් ..කියයි.. හුහ්... කොහොම නැගිටින්නද, දුවන්න තිබ්බේ කැලෑවේ ! ඒ මදිවට තව ඩින්ගෙන් අහු වෙනවා'



      ප.ලි. 

      මේ හීනය එකම විදියට , පොඩි පොඩි වෙනස්කම් ටිකක් එක්ක මට අවුරුදු ගානක් තිස්සේ පේනවා. එකම විදියට මම දුවනවා. එකම තැන් වලින් පනිනවා. සමහර තැන් වලින් පනින්න ගිහින් මම ඇඳෙන් බිමට වැටිලා තියෙනවා. ( ආයෙමත් නැගල නිදාගන්න එක වෙනම කතාවක්!) හැමදාම උන් පන්නනවා. සමහර දවස් වලට වැඩට යන්න ඇහැරගන්න විදියක් නැහැ උන් පන්නනකොට දුවන්න තියෙන නිසා. 

      මේක රහසක් වෙන්න ඇති...



      පිදුම: මට නොපෙනී මගෙත් එක්ක දුවපු අනිත් එක්කෙනාට. මේ වෙනකල් මම හිතුවේ ඒ දිව්වේ තනියෙමයි කියල. 

      Delete
    2. අඩේ මෙන්න කමෙන්ට්. බ්ලොග් ලියන්න ආවනම් හොද ලිවීමේ හැකියාවක් තියෙනවා කියලා අනිවා කියන්න ඕන.

      හීන වලට අපේ හිත් වල තියෙන දේවල් එකතු කරලා හරි අපූරු දේවල් කරන්න පුළුවන්. මේකත් ඒ වගේ සීන් එකක්. ඒත්, එකම දේ එකම විදිහට නිතරම පේන එකේ නම් ලොකු අමුත්තක් තියෙනවා. ඒක හරියට අනාගතේ පෙන්නනවා වගේ වැඩක්. ඒත් කවුද ඉතින් ඕවා දන්නේ..

      Delete
  11. ඉස්සර මටත් ගොඩ වෙලාවට පේනවා ලොකු සර්පයෝ මාව එලවාගෙන එනවා, කොහොමහරි බේරිලා දුවගෙන ඇවිත් ගෙයි දොර වහගන්න හැදුවත් අන්තිමේ බලද්දී දොර වහන්න බැහැ, ඒක වැහුවට දොර උළුවස්සට වඩා ගොඩක් පොඩියි...
    සතාට ඇතුලට එන්න හොඳට ඉඩ තියෙනවා...
    බයේ පණ යන්න මට්ටමට වගේ එද්දී ඇහැරෙනවා...
    ඒ උනාට මම සර්පයින්ට බයත් නැහැ...
    සමහර දවස් වලට සර්පයෝ වෙනුවට මාව එලවන්නේ වෙන වෙන සත්තු...

    හැබැයි ගොඩ කාලෙකින් ආපහු ඒ වගේ හීන පෙනුනේ නැහැ...

    ReplyDelete
  12. මට නම් හීනයක් දැක්ක කාලයක් මතක නැ දිනේෂ් .. මම ඉතින් හීන දකින්නේ නිදාගෙන නෙමෙනේ.. හොඳට ඇහරලා..:) :) ...

    මේකට ලඟින් යන පොස්ට් එකක් මම ලිව්වා.. ටික දවසකින් දාන්නම්.. ඔයා නම් මේ වගේ හති වැටෙන්න දුවන්නේ හීනෙන්නේ.. මම ලිව්වේ හැබැහින් නැවතෙන්නේ නැතුව දුවන අය ගැන..

    ReplyDelete
  13. samaharawita e anagathe wennath puluwan, nathnam athithe. kohoma unath, heena walata therum yhienawa

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්