Sunday, 16 October 2016

සුළඟ සමඟ..



සුළඟකට ජිවිතේ මේ තරම්ම වෙනස් කල හැකිද??


වේගයෙන් හමාගෙන ආව සුළඟට පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මම එතනටම වෙලා බලාගෙන හිටියා. ඒත් සමහරු හිස හැරුණ අත දිවුවා. හරියට අරමුණක් නැති මිනිස්සු වගේ. මටත් එහෙම කරන්න තිබුනා. ඇත්තටම මටත් එහෙම කරන්න හිතුනා. ඒත් මම ඇස් පියා ගත්තා විතරයි. ඒකත් පුංචිම වෙලාවකට.

සැරින් සැරේ සුළඟ මට වද දෙන්න පටන් ගත්තා. වෙලාවකට ජීවිතේම මටත් හොරෙන් මගෙන් උදුරන් යන්න හදනවා වගේ රුදුරු බවක් මවාගෙන සුළඟ මගේ වටේ කැරකුනා. හරියට තනි වෙලා ඉන්න මම සමච්චලයට අර ගන්න වගේ. ඇත්තටම මම ඒ සුළඟ දැක්කේ එහෙම.

ඒත් මේ මම ආදරේ කරපු සුළඟ. මීට කාලෙකට උඩදී මං ලම හරි ආදරෙන් දැවටුන ඒ ප්‍රේමාන්විත සුළඟ. හිත හිරි වට්ටන තරමේ මිහිරි හැඟීමක් එක්ක  මගේ වටේම කැරකැවුන ඒ සුළඟ. ඉතින් මම ආදරෙයි. ඔවු ඒ සුළඟට මම හැම දේකටත් වැඩියෙන් ආදරෙයි.

අතීතය ඇත්තටම ලස්සනයි. උදෑසන හිරු එළියත් එක්ක නුඹ මගේ ලග දැවටෙන්න ආව මතකයන් ලග හරි අපූරු ආදරයක් පිරිලා තිබුණා. මමත් හිතේ හැටියට ඒ ආදරය විඳගත්තා. ඉතින් මම ඒ දවස් වල උදෑසනක් වෙනකන් හිතේ මහා ලොකු බලාපොරොත්තු ගොඩාක් එක්ක බලාගෙන හිටියා. නුඹ එනකන්. මගේ ප්‍රේමාන්විත සුළඟ එනකන්.

අපි එකිනෙකා අතර වෙළුණා. ඉඟිල්ලෙන්න උත්සාහ කලා. තාම මගේ අත්තටු වලට ඒ තරම්ම ශක්තියක් නෑ කියලා උඹට දැනුනම නුඹ මගේ වටේ දැවටුණා. හරිම මිහිරියාවකින්.  ඒ හැම දෙයක් අතරෙම කියාගන්න බැරි වුන අමුතු හැඟීමක් එකතු වෙලා තිබුණා. මම අහම්බෙන් වගේ අපේ වටපිටාව ගැන බැළුවා. ඔවුන් හිටියේ ඉරිසියාවෙන්. මම නුඹත් එක්ක ආදරෙන් වෙලෙද්දී ඔවුන් අපි අතරින් අතට ඇදිලා ගියා. මම හිතුවේ අපි තනිවුනා, අපි නිදහස් වුනා කියලා. ඒත්,,,

මම දැන් මල්වර වෙලා....

ආදරයෙන් නැළවුන සුළඟක මම ගිලි මියැදෙන්න හදනවා වගේ හැඟීමක් මගේ හිතේ නලියනවා. ඇත්තටම ඒ සුළඟ මාව ගිල ගන්න හදනවා. මම දන්නවා තව දුරත් උදෑසන ඒ දවස් වගේම ලස්සන එකක් නෙමෙයි කියලා. සිහින් මඳ පවනකටත් මගේ හිත ගැහෙන තරමටම ජීවිතේ මල්වර වෙලා ගිහින්.

නුඹ එන්නේ මාව උදුර ගන්න.  කීප වතාවක්ම මාව පහුකරන් ගිය නුඹට මාව උදුරා ගන්න බැරි වුණා. ඒක ගැන මම සතුටු වුණා. හැබැයි ඒ පොඩි වෙලාවකට. මාව අඬපණ වෙලා ගිහින් කියලා දැනෙද්දී මට හැඟීමකට ඉතුරු වෙලා තිබුණේ තවත් පුංචිම දේවල් කීපයක් විතරයි. අවට හැම දෙයක්ම හිස් වෙලා ගිහින්. අපිට ඉරිසියා කරපු අය යන්නම ගිහින්. ඉතිරි මම විතරයි.

නුඹ ආයෙම එන බව මට හොදටම විශ්වාසයි. ඒත් ඒ කොයි වෙලාවකද කියන්න මම දන්නේ නැහැ. ඒත් ඊට කලියෙන් මම මගේ හිතත් එක්කම කතාබහ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ, මම නුඹත් එක්ක එතිලා පාවෙලා යනවද නැද්ද කියන එක. ඉරිසියාවෙන් බලාගෙන හිටපු කවුරුවත් මං වෙනුවෙන් දැන් කඳුළක් හලන්නවත් නැහැ කියන එක විශ්වාසයි. මට, මම විතරමයි.

ඉතින්, මම තීරණය කලා පා වෙලා යන්න. මේ ටික කාලෙකට කලින් මම ආදරේ කරපු ඒ ප්‍රේමණිය සුළඟ. මම දන්නවා තවමත් නුඹ ලග ඒ ආදරණිය හැඟීම් රැදිලා තියෙනවා කියලා. මට ඕන ඒ ආදරය අතුළෙම කිමිදෙන්න. මම නුඹ ආයෙත් වරක් රුදුරුව එනකන් සූදානමින් බලාගෙන හිටියා. නුඹ ආවා හරියට අපි මිට කලින් මුණ නොගැසුනා වගේ හැඟීමකින්.

මගේ මල්වර හීනය බිඳගෙන නුඹ මගේ තුලට එකතු වුනා. මම පා වුනා හිතේ හැටියට. නුඹත් එක්ක. නුඹට ඕන විදිහට. නුඹ ලග තිබුන චණ්ඬ බවට මම තව තවත් ආදරේ කරන්න උණා. මගේ හැම හැඟීමක්ම පොඩි වෙලා යන තරමටම නුඹ මාව නුඹ තුරුළෙම වෙලා ගත්තා. මම ඒකට ආස වුනා. හදවතින්ම.

මම දෑස් හරින්න හිතද්දී ප්‍රේමාන්විත හීනයක අවසානයේ චණ්ඬ හැඟුමින් මිදිලා මම පාවෙමින් හිටියා. ඇත්තටම නුඹ මාව බොහොම ආදරෙන් අරන් ගියා. මට ඇස් හරින්න හිතුනේ නෑ. මම එහෙමම තව ටික වෙලාවක් හිටියා. අන්තීමේ නුඹ මගෙන් ඈතට යන්න හිතුවා. මම දෑස් හැරලා නුඹ දිහා බලාගෙන හිටියා. මගේ ප්‍රේමණිය සුළග.

සුරාන්තික හීනයකට පස්සේ බීජ වපුරන්න මම ලක ලෑස්ති වුනා. මේ අළුත් ලෝකයක්. අළුත් නවාතැනක්. නුඹ ආයෙම ඒවි. නුඹේ ප්‍රේමයේ අස්වනු දකින්න. එතකන් මම නුඹට මට ප්‍රේමාන්විත හැඟීමෙන් වෙලෙන්න සුදුසු වට පිටාවක් හදන්නම්. නු, යෙම එන්න....




33 comments:


  1. ඔබ ආයෙමත් ඇවිදින්....



    මේ විඩියෝ එක තියන ෆිල්ම් එක දිනේශ් බලලා තියනවද..Note Book.. හරිම හරිම ලස්සනයි..ඔබ මේ කතාවේ කියන සුලඟ වගේ මේ ෆිල්ම් එකෙත් මහා සුලි සුලඟක් වගේ මේ ආදරේ... මේ ෆිල්ම් එකේ මම ආසම තැන 0.54 පෙන්නන ගඟක් මැද සුදු හංසයන්ට මැදි වෙන තැන..

    ReplyDelete
    Replies
    1. ඔය ෆිල්ම් එක නොබලපු කෙනෙක් ඉන්නවද? ආදරේ කවදත් සුළඟක් වගේ. අපිව කොතනින් අරන් කොහාට එක්කන් යාවිද කියලා කියන්න බෑ.

      Delete
  2. ප්‍රකෘතිය හරි සෞන්දර්‍යාත්මකයි.
    අපි ඒක දකින්නෙ නැති වීම විතරයි...
    අපේ ළමයින්ගෙ පරම්පරාවකට ඒ සෞන්දර්‍යය දකින්න රැකග්න්න උත්සාහ නොකිරිමයි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සහතික ඇත්ත. මම හිතන්නේ අපේ මනස දැන් ඒකට හැඩ ගැහිලා නෑ. දකින්න විඳගන්න..

      Delete
  3. සුළඟ. ජීවිතය සමග පුදුම සබැඳියාවක් ඇති සුළඟ. හැර ගියත් යළි එනබව නම් පැහැදිලියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නිතැතින්ම හොයාගෙන එනවා. ඒක විඳගන්න සූදානමින් ඉදීමයි වැදගත්..

      Delete
  4. සුලඟ නුඹ වගේ සිංදුව මතක් උනා කියවගෙන යනකොට...

    හරිමඅපූරුයි.. අපි වටේ දඟලන, අපි එක්කම සැරිසරණ සුලඟ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ කතාවේ යට තේරුමක් තියෙනවා. තේරුම් ගන්න ට්‍රයි එකක් දෙන්න..

      Delete
    2. සුළි සුළඟක් නැතිව මද සුළඟක් උනොත් හොඳයි

      Delete
    3. ඒ ඉතින් අපි බලාපොරොත්තු වෙන විදිහනේ.

      Delete
  5. ඔක්කොම හුලං ඔය වගේ තමා අයියෙ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, වැඩිය හිතන්න එපා.

      Delete
  6. ආයේ හැමුවත් ඒ
    ඒ සුළගමද
    අහන්නෙම හිත ඒ ගැන

    හරිම ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  7. ආයේ හැමුවත් ඒ
    ඒ සුළගමද
    අහන්නෙම හිත ඒ ගැන

    හරිම ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. මොන වගේ උනත් හිත කැමති නම් පතන්නේ ඒ සුළගමයි නේ. ඒක තමා හැටි..

      Delete
  8. හ්ම්ම් මෙකේ මේ උඩින් පේන කතන්දරේට වඩා ලොකු කතන්දරයක් තියෙන පාටයි....

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි. තව පාරක් බැළුවොත් පෙනෙයි..

      Delete
  9. මමත් මේ තාම පාවෙලා යනවා බං

    ReplyDelete
    Replies
    1. හා හා පරිස්සමින්..

      Delete
  10. හ්ම්ම් . කියන්න කෝටියක් දේ හිතට එනවා. ඒ නිසාම මුකුත්ම නොකියා ඉන්නම් . මොළයටයි හදවතටයි දෙකටම දැනුණා කියලා විතරක් කියන්නම් .

    ReplyDelete
    Replies
    1. කියන්න හිතෙන දේවල් කියලා දාන්න ඕන. නැත්නම් වැඩක් නෑ.

      Delete
  11. සොබා දහමේ සවාභාවිකව සිද්ධවෙන දෙයක් අපූරුවට , නිර්මාණාත්මකව, සුන්දරව, අපේ ජීවිතවලට සම්බන්ධ කරලා ලියලා තියෙනවා.

    ඔයා හරිම දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. සොබා දහමේ හුඟක් දේවල් ජීවිතේට හරි නැඹුරුයි..

      Delete
  12. ව්‍යංගාර්ථයෙන් කියන්න හැදුව කතාව සුළඟ එක්ක ගැලපුව විදිහ හරි අපූරුයි

    ReplyDelete
    Replies
    1. දැන් මොකද්ද ඒ ව්‍යංගයෙන් කියන කතාව?

      Delete
  13. ඒක හරි අපූරු කතාවක්නෙ මල්ලියෙ. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු අක්කේ..

      Delete
  14. එක තත්පරේකට රළු හුළං වල එතුනොත් සමහර දේවල් ආපහු හරවන්න බැරි තරම් වෙනස් වෙනවා...අලුත් බිජ වලින් හැදෙන පල තමන්ගේ උකුලේම තියාගෙන කඩුල්ල ඇරලා හුළඟ ආපහු එනකල් බලන් ඉන්න තමයි අන්තිමේ වෙන්නේ...ඒත් මේ ලෝකේ නිරන්තරයෙන් වෙනස් වෙන හුළඟ වගේ නම් ඒ ප්‍රේමය, ඒක ආපහු එනකල් බලා ඉඳලා පලක් වෙන්නේ නැහැ ...මේ මට දැනුන හැටි...සරල වචන වලින් ගැඹුරු ගැලපීමක්..

    අපුරුයි දිනේෂ්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සමහර දේවල් අපෙන් ගිලිහිලා ගියාට පස්සේ ඒ මත්තේ රැදීම කිසිම විදිහක තේරුමක් නැති කාරණයක්..

      Delete
  15. සැඩ සුළගක් වෙන්නෙත්...ශරීරයට සිසිලස දෙන මඳ සුලගක් වෙන්නෙත් එකම සුළග නේද බං...

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ. ඒක අපි විඳගන්න විදිහයි වෙනස්..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්