Tuesday, 9 August 2016

අවුරුදු 6ක බ්ලොග් ජීවිතේ



බ්ලොග් අවකාශයට ඇවිත් අවුරුදු 6කුත් ගෙවිලා ගිහින් කියලා හිතාගන්නත් අමාරුයි. හරියට හැම දෙයක්ම පටන් ගත්තේ අද ඊයේ වගේ. ඒත් අපි නොදන්නවා උනාට අපිත් එක්ක කාලය පුදුම වේගෙකින් දුවලා යනවා. ඒක ජීවිතේ අනිත් හැම දේකටම වගේ පොදු කාරණයක්.

හරි, බ්ලොග් වලට මම ආවේ කොහොමද කින්ද මන්ද කියන අතීත කාරණය ආයේ ආයේ ලියන්න ඕන නැහැයි කියලා මම  හිතනවා. බ්ලොග් එකේ විශේෂිත දෙයක් වෙනුවෙන් මම ලියන එකම පෝස්ට් එක හැම අවුරුද්දෙම ලියන මේ සැමරුම් ලිපිය හන්දා හැමෝම ඒ අතීතය වගේම ඇරඹුම ගැන දන්නවා.

ඒත් හැමදාම ලියවුන ඉදිරියටත් අනිවාර්‍යෙන්ම ලියන එක දෙයක් තියෙනවා. ඒ අද මගේ ලග නැති මාව බ්ලොග් ලෝකෙට ගෙනත් දාපු මගේ සහෝදරයා පුබුදු මල්ලි. උඹ නොහිටින්න අද මම මෙතන නැහැ, මේ බ්ලොග් එකේ අකුරු හැම එකක්ම උඹ වෙනුවෙන්. ඒක හැමදාටම එහෙමයි.

අවුරුදු 6ක් කියන්නේ ජීවිතේ පැත්තෙන් බැළුවම හුඟාක් ලොකු කාලයක්. ගහක් වුනත් පොළවට තදින් මුල් ඇදගෙන ස්ථාවරව වැඩෙන්න යන තරමේ කාලයක්. එහෙම කාලයක් බ්ලොග් එකක් වෙනුවෙන් කැප කරන්න වුන එක ගැන හිතේ තියෙන්නේ ඇත්තටම ලොකු සතුටක්.

කාලයක් තිබුනා ඉස්කෝලේ සිංහල පීරියඩ් එකට වචන 250ක රචනාවක් වුනත් මහා අමාරු දෙයක් විදිහට පෙනුන. අමාරුවෙන් ලියලා ඉවර වෙලා අඩුම ගානේ වචන 250 ගානට තියෙනවද කියලා ගනන් කරලා බලපු. අද කාලය ඊට වැඩිය සෑහෙන්න වෙනස් වෙලා ගිහින්. හිතේ නිදහසයි සතුටයි තියෙනවනම් පැය ගානක් වුනත් එක දිගට ලියාගෙන යන්න හිතෙන තරමට ඒ අතීතය වෙනස් වෙලා ගිහින්.

අවුරුදු 6ක බ්ලොග් ජීවිතේ සාර්ථකම මංසළකුණක් පහුවෙලා ගියේ පහුගිය අප්‍රේල් මාසයේ. ඒ මගේ ජීවිතේ ලොකුම හීනයක් වෙලා තිබුන පොතක් කිරීමේ ආසාව. මේ වර්ණයේ ලියවුන කෙටි කතා වලට කිට්ටු කතා ටික් එකතු කරලා ‘ සමනළයා මියැද්දෙන්’ එළිදැක්වුනේ බ්ලොග් තුලින් ලබපු අත්දැකීම් එක්ක. ඒක තවත් එක ගමනක ඇරඹුමක් විතරයි.

ඉතින්, තව කියන්නනම් සෑහෙන දේවල් තිබුනත් බොහෝමයක් කාරණා කලිනුත් කියලා තියෙන නිසාම ඒවා නොලියා ඉන්නම්. මගෙත් එක්ක බොහොම හිතවත් අය අහපු එක දෙයක් තමයි බ්ලොග් වලින් ඈත් වෙන්නේ කවද්ද කියන එක. ඇත්තටම හොද ප්‍රශ්ණයක්. කලින් නම් හිතාගෙන හිටියේ අවුරුදු පහක් මේක ලිවුවම ඇති කියලා. ඒත් දැන් ඒක පහු වෙලා.

අවිවේකී බව, රස්සාවත් එක්ක හිත එක තැනක තියාගෙන ඉන්න බැරි කාරණා වගේම හැමදාම එක වගේ කාලයක් මේ වෙනුවෙන් යොදන්න බැරි ප්‍රශ්ණය පහුගිය කාලයේ ඉදන්ම හිතට වද දෙනවා. ඒත් බ්ලොග් ලෝකයේ ‘ කතන්දරකාරයා’ රසික අයියා කියන්න වගේ බ්ලොග් කියන්නෙම ඇබ්බැහියක්. වාසනාවට වගේ හොද ඇබ්බැහියක්.

ජීවිතේ සමහර අවස්ථාවන් එනවා අපිට අනාගතය අනුමාන කරන් වැඩ කරන්න බෑ වගේම යම් කිසි දෙයකට ස්ථාවර කාලයක් තීරණක කරන්න බැරි. මට බ්ලොග් ගැන කියන්න තියෙන්නෙ අන්න ඒ වගේ දෙයක්. ඒ නිසා ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවකම බ්ලොග් වෙනුවෙන් කාලය වෙන් කරන්න උත්සාහ කරනවා.

අවුරුදු 6ක ගමනේ හැමදාකම ශක්තියක් වුනේ වර්ණය දකින, වර්ණය විදගන්න එන ඔබ හැම දෙනාම. ඉතින් ඒ සහෝදර කමට ඒ හිතවත් කමට හැම දාමත් වගේම බොහෝම ස්තූතියි. ඉතින් හෙටත් මේ වගේම අකුරු අතරෙම අපි නිතරම හමුවෙමු.

32 comments:

  1. අයින් වෙන්නේ අහවල් එකටද? ආයේ මේක කර තියං ඉන්නවා ඇයි බං? ඉඩ තියෙනකොට හිත තියෙනකොට ලියනවා කියවනවා.. බැරි වෙනකොට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා.. අර කියුවත් වගේ හැබැයි ඉතිං මේක ඇබ්බැහියක් වෙන එක නං කොන්ට්‍රෝල් කර ගන්න වෙනවා.. අහ්.. තව පොඩ්ඩෙං අමතක වෙනවා.. හැපි බර්ත්ඩේ ටූ යූ වර්ණ.. විශ් යූ මෙනි හැපී රිටර්න්ස් ඔෆ් දිස් ඩේ..

    ReplyDelete
  2. /* රසික ... කියන්න වගේ බ්ලොග් කියන්නෙම ඇබ්බැහියක්. වාසනාවට වගේ හොද ඇබ්බැහියක්. */

    ඕක මෙහෙමත් කියලා තියෙනවා.

    බ්ලොග් ලියනවා කියන්නේ කොටි වලිගයක් අල්ලා ගැනීමකි. හැබැයි මූ හොඳ කොටියෙකි!

    All the best Dinesh.

    ReplyDelete
  3. සුබ පැතුම් දිනේෂ්...උවමනාවයි, කැමැත්තයි තියනවා නම් ඕනෙම දෙයක් ආයාසයකින් තොරව කරන්න පුළුවන්...ඔයා ඒක අවුරුදු හයක් කරලා තියනවා...මම දැක්ක අපේ රසික මහත්තය තැනක කියල තිබ්බ, බ්ලොග් ලියන්න වෙලාවක් නැහැ කියනෙක, මම පිළිගන්නේ නැහැයි කියල...ඒක ඇත්ත, අපි ආදරේ කරන, ආස කරන දේවල් කරන්න, අපි වෙලාව අනිවාර්යෙන් හදා ගන්නවා...ඉතින් තව චිරාත් කාලයක් ඔයාට ඒ දේ කරගෙන යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...ලිවිම, කියවීම කියන්නේ ඇබ්බැහියක් වගේම මොලේට හොඳ ව්‍යායාමයක්...

    ReplyDelete
  4. ජ්‍යොෂ්ඨයාණනි, නොනැවතී ඉදිරියට යන්න.

    ReplyDelete
  5. උඹ වයසින් මට වඩා බාල වුනත් බ්ලොග්කරුවෙකු වශයෙන් මට වඩා අවුරුද්දක් වැඩිමල්. මම පටන් ගත්තේ 2011 ජූලි 13.

    උඹට මගේ බ්ලොගාත්මක ආචාරය!

    උණුසුම් සුභපැතුම්

    ReplyDelete
  6. බ්ලොග් වෙනුවෙන් ඔබ මේ මිඩංගු කල කාලයට සරිලන ප්‍රතිඑලයක් ඔබට හෝ වෙන අයෙකුට ලැබුණාදැයි ඔබට යම් අවබෝධයක් තිබේද ? මෙහිදී ප්‍රතිඵල ලෙස මා අදහස් කලේ කාන්සිය නිවාගනිමින් කාලය යෙදවීම වැනි දේ ද ඇතුලුවයි.

    මෙය ප්‍රශ්නයක් ලෙසම මිස අදහසක් දැක්වීමක් ලෙස සලකන්න එපා.

    ReplyDelete
  7. පිස්සුද, මේව අතෑරල කොහේ යන්නද.
    උණුසුම් සුබ පැතුම් දිනේෂ්.

    ReplyDelete
  8. සුබ පැතුම් දිනේශ් මුලින්ම.

    ඔයා කියලා තියනව වගේ ලියලා වචන ගනන් කල කාලයක් මටත් තිබ්බා. ස්තුත්යු ඒ මතකයට ආපහු අරන් ගියාට ඔයාගෙ සටහනෙන්. හැබයි මට තිබුන ගැටලුව වචන 250 ක් ලියන්න කිව්වාම මම ලියන වචන 500 කොහොමද 250 ට බස්සන්නෙ කියන එක.

    මට ඒක කියලා දීලා මං ලව්වා ඒක කෙරෙව්ව O/L සිංහල හා සාහිත්‍ය මිස්ව අමතක වෙන්නෙ නැ.

    දිනේශ් ජිවිතේ අස්සක් මුල්ලක් නැර හැමදේම සමබරව රසවිඳින්න   වෙලඣ්ව හදා ගන්න. ඒක තමයි මම දකින්නේ සාර්ථකම ජිවිතෙත් ලබා ගන්න අමාරුම ජිවිතෙත්. තවත් කාලයක් ලියන්න.

    ReplyDelete
  9. මට වඩා අව්රුදු පහක් වැඩිමල් ලොකු අයියා කෙනෙක්නෙහ්?

    සුබ පැතුම් මචෝ!

    ReplyDelete
  10. සුබ පැතුම් දිනේෂ්.ආ මගට වඩා තව දිගු ගමනක් ඉදිරියට යන්න ලැබේවා.

    ReplyDelete
  11. පොත් පත්තර බිරිඳ නම් බ්ලොග් කියන්නේ හොර බිරිඳ. ඕන වෙලාවක 'ලියන්නත්' එපා වෙලාවට 'නොලියන්නත්' හැකිවීම නිසා. ඔබගේ වසර 6 සම්පූර්ණ වීමට සුභ පැතුම්.

    ReplyDelete
  12. සුභපැතුම්..!! දිගින් දිගටම අකුරු අතර හමුවෙමු.. බැඳීමක් නොමැති බැඳීමක්,බ්ලොග්.
    ජයවේවා..!!

    ReplyDelete
  13. අවුරුදු 6ට මගෙන් සුභ පැතුම්, සහෝ. මට තාම මාස 4යි. ඉතින් ඇවුරුදු 6 ක ඔබ රූස්සගසක් වගෙයි. ඉදිරියටත් ඒ අපූරු සිංහල අකුරු අස්සේ ජීවිතයට වර්ණයක් ගෙන එන්න හැකිවේවා!!!

    ජයවේවා!!!

    ReplyDelete
  14. ලියන්ට අය්යා ලියන්ට... හීනෙන් මතක් වෙලා හරි ඇවිත් කියවල යන්න එනවා :D අනෙක් පොත ලබන අවුරුද්දෙ වගේ අපිට කියවන්න දෙයි නේද ^_^ එදාටත් ඇවිත් යන්න එන්නම්කො.හැමදාම කීව කතා අද කියන්නේ නැහැ ඒත් එකක් කියල යන්නම් අය්යල අවුරුදු හයක් බ්ලොග් ජිවිතේ ඉන්නකොට අවුරුදු දෙකකට විතර කලින් මේ බ්ලොග් ලෝකෙටම බෙල්ල දාල එබිකම් කරපු මට මේ වෙනතෙක් අඳුනගන්න ලැබුන සහෝදරයෝ වගේ ඉන්න ඔයාලම ඇති සතුටුවෙන්න. මේ සැමරුමත් සතුටක්. ජයෙන් ජය :)

    ප.ලි. හාවා ගැන ලිපියක් ලියන්න අදහසක් නැද්ද ? .... :D :D

    ReplyDelete
  15. අවුරුදු හයක බ්ලොග් ජීවිතයට සුබ පැතුම්! තවත් චිරාත් කාලයක් ලියන්නට ලැබේවා!

    ReplyDelete
  16. දිනෙෂ්, උඹ බදාගෙන ඉම්බ කියල හිතාගනිං මචං. අවුරුදු හයක් ලිව්ව බ්ලොග් එක නවත්තන්ඩ එපා. ඔබා මාම වගේ මැරෙණකම්ම ලියමු...

    ReplyDelete
  17. මම මුලින්ම කියවපු බ්ලොග්වලින් එකක් තමා වර්ණ.මීට අවුරුදු පහකට කලින් බ්ලොග් අවකාශෙට එනකොට මගෙ පළමුවැනි බ්ලොග් එකේ නිරන්තරයෙන්ම කමෙන්ට් කළ කෙනෙක් දිනේෂ් අය්යා.මං හැමතිස්සෙම හිතන දෙයක් තමා අපි-මේ බ්ලොග් අවකාශෙ ඉන්න හැම දෙනෙක්ම එක පවුලක් කියන එක.සුන්දර විස්තෘත පවුලක්..!!

    මේක නැවැත්විය යුතු බ්ලොග් එකක් නෙමේ.. දීර්ඝකාලීනව ලියන්න ඕනෑ එකක්.. දිනෙන් දින වඩ වඩා සාරවත් ව.. රසවත් ව..!!

    ඉතින්.. ජය වේවා..!

    ReplyDelete
  18. අවුරුදු හයක බ්ලොග් ජීවිතයට උණුසුම් සුබ පැතුම් දිනේෂ්...

    ReplyDelete
  19. අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක්. සුභ පැතුම් . . !
    අහ් මල්ලී උඹේ පොත කොහෙන්ද ගන්න පුලුවන්

    ReplyDelete
  20. අවුරුදු හයට සුබ පැතුම් මල්ලි!! . දිගටම රහට ලියන්න ලැබේවා. ජය වේවා !

    ReplyDelete
  21. දිනේෂ් ලොකුම ලොකු අයියා කෙනෙක්නෙ බලන් ගියාම. මට මතක් වුණේ ලිපිය කියෙව්වම, බුදු අම්මෝ කියන වචනෙ. මට මේ තියෙන කම්මැලිකමත් එක්ක අවුරුදු 6ක් ඔයා ලිව්ව කියද්දි... ඔයානම් ග්‍රේට් පොරක් අයියෙ.
    සුබ පැතුම්. දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා.

    ReplyDelete
  22. අවුරුදු හයක් කියන්නෙ සෙල්ලම් නෑ..විශේෂයෙන් පිට රටක ඉන්න කෙනෙක් ට ලියන්න කාලය හොයාගන්නව කියන්නෙ කලු නික හොයනව වගේ වැඩැක්...ඒ අතින් උඹ දිනුම්

    ReplyDelete
  23. අවුරුදු 6 ක් බොගක් දානවා කියන්නෙ සෙල්ලං වැඩක් නෙමෙයි...මම දැනට අවුරුදු 4 යි. පොතක් කරන ආශාව මටත් තියෙනවා...විශේෂයෙන් කෙටි කථා පොතක්...බොලාට සුභ පැතුම් මලයා..අමාරු දෙයක් මෙතරම කාලයක් කරගෙන ආවට....

    ReplyDelete
  24. සුභ පැතුම් මල්ලී. කාලෙකින් ඔන්න මමත් ආවා බ්ලොග් කියවන්න. ඔයාගෙ පොත තවම ගන්න බැරි වුනා. කියවන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
  25. සුබ පැතුම් මිත්‍රයා. උඹේ ලියවිලි මම අවුරුදු 6ක් තිස්සෙම කියවන එකෙක් විදිහට ඒ ලියවිල්ල එක බැඳුණු මිත්‍රත්වයක් එක්කම සුභ පැතුම් එකතු කරනවා. ඒ වගේම තවත් ලියන්න ධෛර්ය ශක්තිය උඹට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උඹට යෝජනාවක් කරනවා පොඩ්ඩක් ප්‍රංශ සාහිත්‍ය පැත්තට ඔළුව දාලා කියවීමක් කරලා ඒ ආර්ට් එක බ්ලොග් එකටත් ගෙනෙන්. ජයවේවා

    ReplyDelete
  26. Are you safe, Dilan? Heard about this earthquake just now.

    ReplyDelete
  27. Made a mistake. Are you safe, Dinesh? Heard about this earthquake just now.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්