Thursday, 9 June 2016

ඒකපාර්ශවික හැඟීමක්



ඉතින්, අවසානයේ මම නුඹට මෙසේ ලියන්නට සිතීමි.

නුඹේ අවසරයකින් තොරවම මා සතු කර ගත් සේයාරුව දිහා බොහෝ වේලාවක් බලා හිදියෙමි. අවට හැම දෙයක්ම නිසළ වී, නිහඬ වී ගිය සේය. ඒ තුල වූ චමත්කාරයක් මම විදිමි. එය මට රහසින් විත් ලොකු දිග කතාවක පුංචි අංශු මාත්‍රයක් පවසන්නේයැයි මට සිතේ. එය මිහිරි ගීතයට තනුවක් වැනිය. නැත්නම් මේ සිතුවිළි වලට පසුබිම් සංගීතයක් එක් කරන සොඳුරු නාද රටාවක්ය.

නූඹ, සැතපුම් දහස් ගානක දුරක ඒ තනුව සවනත නොවැටෙන තරම් ඈතක සිටින බැව් මා දනිමි. ඒත් නුඹ මා හට හුස්මක් වැටෙන තරම් මෑතකය. නුඹෙන් සොරාගත් නුඹේ සේයාරුව හිත පුරා බොහෝ දිග කතාවක් ලියවා හමාර කරන තරමටම නුඹ මා ලගමය. කතාකරන, හිනැහෙන, දෑස් වලින් හාදු විඳගන්න හැඟීමක් තරමට නුඹ මගේ ජීවිතය වී හමාරය. ඒත්, නුඹ මගෙන් බොහෝ දුරය.

ආදරය හිතින් පලාගිය සමයක නුඹ මා හමුව අරුමයක් යැයි මා කිසිසේත්ම නොසිතමි. අදටත් මට එය එසේ නොවේය. වචන වලට පණක් දෙන්න මැලි වුන ඇඟිළි තුඩු බොහෝ කාලයක් පුරාම නුඹ නොදන්න මා විඳින එක් සුන්දර කතාවක බොහෝ දුරක් අප රැගෙන විත් අවසන්ය. එහි වචන මා සතු වුවත් හැඟීම නුඹ මට තිළිණ කර ගිය ආදරයමයි මා දනිමි. නමුත් නුඹ දුන් ඒ හැඟීම ආදරයක් බැව් නුඹ නොදන්නා බවද මම දනිමි.

හීන ඇත්තටම සුන්දරයි. මට එකම එක දවසක් නුඹත් එක්ක නුවර වැව දිගේ කතා කර කර යන්න ඇත්තම්. ඒක නුඹට නැතත් මගේ ජීවිතයේ මා විඳින සොඳුරුත්ම හැඟීම බව මා දනිමි. ඉර බැහැගෙන යන හැන්දෑවක් වෙනකම් නුඹත් එක්ක තනිවෙලා ඉන්න හිත ආස කරන තරම් මේ කෙටි අකුරු අතර නුඹ කවදාවත්ම නොදැන ඉඳිවි. මමත් ඒ වග නොදැනෙන්න හරිවි. ඒ නුඹට තියෙන ආදරේ නිසාම.

දොඬමළු වුන හෝරාවන් අතීත මතකයේ ලොකු ඉඩකඩක් වෙන් කරන් අවසන්. මම අකමැතිම මතකයන් ගොඩ ගහන් ඉන්න. ඒක ජීවිතේට හරි බරක්. ජීවිතේ වෙනස් වෙන වෙලාවල් වලට නිදහසේ වෙනස් වෙන්න ඉඩ අරින්න ඕන. ඒත් මතකයන් අපිට එහෙම ලේසියෙන් වෙනස් වෙන්න ඉඩ නොදෙන තරමටම අපිට අපි නොදැනුවත්ම බොහොම තදින් අල්ලගෙන ඉන්නවා. නුඹේ මතකයත් අන්න ඒ වගේ. නුඹට මතක නැති උනත් මේ හිතට තදින්ම කා වැදුන බොහෝමයක් දේවල් එක තත්පරේට මතක් කරන් යන්න මට පුළුවන්. ඒ ආදරේ හැටි වෙන්න ඇති.

එකම එක වරෙක අපි හමුවුනා. මම ඔයා දිහා බලාගෙන හිටියා. හරියට කාලයක් පුරාවටම ඔයාට හොරෙන් ලග තියා ගත්ත ඔයාගේ සේ‍යාරුව දිහා බලාගෙන ඉන්නවා වගේ. ඔයා කතා කර කර හිටියා. බොහොම ඉක්මනින්. මමත්, වචන පැටලනොවෙන්න ඔයාට උත්තර දුන්නා. ඒ, මේ හිත ඔයාට නොදැනෙන්න. ආයෙම ඔයා කතා කලා. මම බලාගෙන හිටියා.

කාලය ජීවිත දෙකක් හුඟක් ලං කරලා හිත් දෙකක් අතර බොහෝ දුරක් මවලා අපිටත් හොරෙන් පැනලා ගිහින් අවසන්. මම නිමාවක් නැතුව ඔයාගේ හිනාවෙන මූණ දිහා බලාගෙන ඉන්නවා. කතා කරන ඇස් එක්ක වචන නැති කතාවක් බොහොම නිදහසේ කියාගෙන යනවා. මම දන්නවා මේ කිසිම දෙයක් ඔයාට ඇහෙන්නෙවත්, දැනෙන්නෙවත් නෑ කියන එක. ඒත්, සමහර විට ඔයාටත් එහෙමම  නම්.

ආදරය අත්තටු අරගෙන පියාඹන්න හදන්නේ හුදෙකලාවක. මම මගේ හිත කූඩු කර ගත්තා. ඒ නුඹට රිදේවි කියන බයට. ඒත් හිත පාරවන ඒ හැඟීමත් එක්ක හුස්ම ගන්න සිතුවිළි වලට නැවතීමක් දෙන්න මගේ හිතට කිසිම දවසක පුළුවන් කමක් නොතිබේවි. ඒ ආදරේ හැටි.

මට නුඹ එක්ක තව එක් රංගනයක් ඉතුරුයි. එදාට පුංචිම වෙලාවක නුඹ මගේ තුරුළට එන බව මට හොදටම විශ්වාසයි. හිතේ හැටියට බොහොම නිදහසේ හැමෝගෙම ඇස් හොරාගෙන නුඹත් එක්ක රංගනේ යෙදෙන්න මම බලාගෙන ඉන්නවා.


කඳුළු වැටිලා කම්මුලත් තෙත් වීලා
මතක පෙරදා හිත් කොනේ දඟ කරලා
නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොද වී ගියත්
අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත්.......




44 comments:

  1. අපි හුඟ දෙනෙක්ට ඒක පාර්ශ්වීය ප්‍රේමයන් තියෙනව මචෝ.. ඇත්තටම ඒක සුන්දර අත්දැකීමක් නං නෙවෙයි. වැඩියෙන්ම ඒ හැම දෙයක්ම හිතේ හිර කරගෙන ළගින් ඉන්න සිද්ධ වුණාම..
    සමහර වෙලාවට හිතෙනව ඕන බඩකඩිත්තුවක් කියල හිතේ තියන බම්බුවක් කියල දාන්න.. ෆොහ්.. ඒකට ඊට වඩා බයයි නෙ.. අර තියෙන සමීප බවත් නැතිවෙයි කියල
    නැද්ද හා

    ReplyDelete
    Replies
    1. බය තමා බං ඔක්කොටම වඩා අවුල. ඉන්න විදිහ හොදයි කියලා හිතෙන්නේ අන්න ඒ වෙලාවට.

      Delete
  2. චික් විතරක්! දැනෙන වේදනාව !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. දැනෙන දුක් වේදනා
      හිත අස්සේ හැංගිලා....

      Delete
  3. අනේ මන්ද... මොනව කියන්නද කියලා.....

    ReplyDelete
    Replies
    1. විඳින්න, විඳගන්න...

      Delete
  4. මේක මේ දිනේෂ්ගේ හද පතුලෙන්ම ආපු එකක් වෙන්ටැති..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. අර ඊයේ පරණ එවුවටේ පවර් එක තමයි ලොක්කා..

      Delete
  5. ඇයි දිනෙශ් අපි මේ හැඟිම් හන්ගන්නෙ..එක්කෙනෙකුට විතරක් ආදරය කරල ඒ කෙනාව බැඳල ජීවිත කාලෙම ඉන්න එක තමයි හරි දේ කියල සම්මත වෙලා තියන නිසාද මේ හැටි අපි බය.. මට හිතෙන්නෙ ආදරය කරන්නයි කසාඳ බඳින්නයි ගැලපෙන්නෙ විදි දෙකක අය.. කසාඳ බඳින්න හිතාගෙන ආදරයක් හෙව්වාම එක සාර්ථක නැ කියල මට හිතෙනව.. මං එහෙම හිතන්නෙ ආදරය කියන්නෙ හැඟිමක්.. ඒකට කිසිම දෙයකින් බලපැමක් නැ. නමුත් එකට එක ගෙදර ජිවිතෙ ඇති තාක් ඉන්න ගොඩක් දේවල් බලපානව කියලා හිතෙන නිසා.. අන්තිමට ආදරෙත් නැ කසාඳෙත් නැ , ජීවත් වෙන්නන් වාලෙ වෙන වෙන අරමුණු අමුතුවෙන් හදාගෙන යනවද කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව එක්කනම් මමත් සෑහෙන්න එකගයි. ඒත් ඉතින් අපිට ආදරේ දැනෙන හැම වෙලාවකම ඒක කියාගන්න පුළුවන් කමක් එන්නේ නෑ. විශේෂයෙන්ම හොදම යාළුවෙක් වෙලා ඉන්න කෙනෙක්ට ආදරේ උනොත් ෆ්‍රෙන්ඩ්සෝන් එකෙන් පැන ගන්න හරි අමාරුයි නේ.

      Delete
    2. තමන්ගෙ හිත ඇතුලේ ආදරයක් තියාගෙන සංයමයකින් සීමාව ඇතුලෙ ඉන්න පුලුවන් නම් ඇයි වචනයකින් පිට උනාට පස්සෙ සීමාවයි සංයමයයි පනින්නෙ.. ඊට පස්සෙත් ඒ විදිහටම ඉන්න පුලුවන් නම් ගොඩක් අය බය වෙන එකක් නැ ඒකපාර්ශවීය ආදර කතා අහන්න මං හිතන්නෙ..අනිත් හැඟිම් ජාති වගේම ආදරෙත් කාලෙත් එක්ක දිය වෙලා යන හැඟිමක්නේ.මට හිතෙන්නේ සම්මතයට බය නිසයි මේ ආදරය කියන හැඟිමට හැමදාම අසාධාරනයක් වෙන්නේ කියලා දිනෙශ්.

      Delete
    3. මාතලං තුමා ආවනං නිම්නිට දෙනවා ලොකු හග් එකක්.. යෑස්..

      Delete
    4. මේකනේ ෆ්‍රෙන්ඩ් සෝන් එකෙන් පැනලා ආදරේ කිවුවට පස්සේ ඒ යාළුකම පළුදු වෙයි වෙනස් වෙයි වගේ ප්‍රශ්ණ හිතට එනවනේ. මේ යුරෝපා වට පිටාවේ නම් එහෙම නෑ. ඒත් ආසියතික පැත්තට එද්දී යාලුකම සහෝදරකම වගේ වටින තැනක තියලා තිබ්බම එහෙම ආදරයක් අවත් ඒක කියා ගන්න මැලි වෙනව.

      Delete
    5. කියන්න අමතක වුනා. මම නම් ඒක මේ වෙලාවේ නොකියා ඉන්නේ ඔය කිසිම දෙයක් නිසා නෙමෙයි වෙනම පෞද්ගලික කාරණාවක් නිසා.

      Delete
    6. දේශා, අනිවා අනිවා.

      Delete
  6. ලිවීම හදවතට කතා කරනව...

    ReplyDelete
    Replies
    1. ඒක දැනුන එක සතුටක්.

      Delete
  7. ආදරය, ජීවිතයට වර්ණයක් ගෙන එනවා. සතුටක් ගෙන එනවා. ඒ වගේම නැතිවූ දාට වැඩි වේදනාවකුත් ගෙන එනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කියා ගන්න බැරුව තනි උනාම මහා පාළුවකුත් දැනෙනවා.

      Delete
  8. අන්න ඒකයි මේ ලෝකෙ මෙච්චර විවිධ.. අමුතු අමුතු රස ගොඩා...යි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. ජීවිතේ එහෙමයි..

      Delete
  9. ඒකපාර්සව ප්‍රේමය!!!
    ද්විපාර්සව කර ගන්න යන එක හරි භයානකයි දිනේස්...!! හරිම භයානකයි

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද. එක වතාවක් හිතේ තියාගෙන ඉදලා ඉදලා කියලා දාද්දී පරක්කු වැඩියි.

      Delete
  10. ඉස්සරනම් හිටියා මෙහෙම එකක් දැක්කම I miss you too.. කියල උත්තරයක් ලියන්න තරම් බ්ලොග් කාරියෝ.. දැන් උන් කොහේ ගිහින්ද මංදා.. හ්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොමලම දැන් කසාද බැදලනේ. 😆

      Delete
    2. මං හිතන්නෙ කසාඳ බැන්ඳා කියල කලින් හිටිය ගැනු කෙනාවත් පිරිමි කෙනාවත් වෙනස් වෙන්නෙ නැ. ස්විච් එකක් ඔන් කලා වගේ අර කාලයක් තිස්සෙ තමන් හැදුනු පරිසයෙන් උකහා ගෙන තිබ්බ සම්මතයන් ටික වැඩ කරන්න ගන්න එකයි වෙන්නෙ. එක පැත්තකින් එහෙම උනේ නැත්නම් සමාජයෙන්ම නරක නාමය ගා ගන්න වෙනවා.
      තමන්ගේ සහකාරියට බය විය යුතු නැ කිසිම සහකරුවෙක් ගෞරව කරනව මිසක් එකෙ අනිත් පැත්තත් එහෙම්ම තමයි මම දකින්නෙ. පැවැත්ම ගැන අවබෝධෙන් තම තමන්ට තියන නිදහස බුද්ධියෙන් විමසල හදවතට එකඟව වැඩ කරන එකයි වෙන්නෙ ඔනෙ කියල මම දකින්නෙ . මොකද සහකරු / සහකාරිය අපිට අයින් කරල දාන්නත් පුලුවන්. ඒත් අපෙ හිත අපිට අයින් කරන්න බැනෙ..

      Delete
    3. නෑ මම මෙතනදි එයාලා කසාද බැඳලනේ කියන එකෙන් කියන්න උත්සාහ කලේ කට්ටිය කසද බැඳලා කාරිය බ්ලොග් කලාවට තිත තියලා ඉවරයි. එහෙම නැති කාලේ තමයි ඔය කමියා කිවුව වගේ මෙහෙම එකක් දැම්ම ගමන් කමෙන්ට් කරන්නේ.

      Delete
  11. තනියම කාටහරි හොරෙන් ලව් කරන එකේ පොඩි මෙවුව එකක් තියනව නෙහ්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. වෙලාවටක දුක හිතුනත් පස්සෙ සතුටකුත් දැනෙන දෙයක්..

      Delete
  12. //ඒ ආදරේ හැටි.// ඒක ඇත්ත දිනේෂ්.............

    ReplyDelete
  13. වේදනා සංසාරේ;) මට තිබ්බෙම ඒක පාර්ශික මෙව්වා හැක් ;)

    ReplyDelete
    Replies
    1. අපෝ උඹ වගේ මැටි කිඹුලියෙක්.

      Delete
  14. දිනේෂ් අයිය කලුතර පැත්තෙද....

    ලියමන නං වාව්..අදහස් දක්වන්නෙ කෝමද කියල හිතන්නෙ. මටත් තියෙනව ඒකපාර්ශ්වික ආදරයක්. හැබැයි ඒක මගෙ පෙම්වතා ගැනම තමයි. Physically එයා,eth eya newei... හිත ඇතුළෙන් මං එයාගෙන් බලාපොරොත්තු වෙන, හරිම කලාතුරකින් එයාටම නොදැනි,එයාගෙන් එළියට එන, 'අර එදා වගේ ඉන්න, ඒම ඉද්දි හොඳයි' කිව්වට මං එයාටත් අමතක, ආයෙ එලියට නේන, අහම්බෙන් මං දකින පෙම්වතෙක් ඉන්නව එයා ඇතුලෙ. එයා දන්නෙත් නෑ... එයාට තේරෙන්නෙත් නෑ.. ආපහු ඉල්ලුවට ලබෙන්නෙත් නෑ... වල් අස්සයෙක්, පිස්සු ආදරවන්තයෙක්..

    දිනේෂ් අයියට පිස්සු වගේ නේ..? ඇත්ත. කෙල්ලොන්ට හිතෙන් දේවල් තේරුම් යන්නෑ ඉතිං කොල්ලොන්ට

    ReplyDelete
    Replies
    1. මම ගාල්ලෙන් කොළඹට සංක්‍රමණය වුන එකෙක්.

      හෙහ් හෙහ්, එහෙම දේවල් වෙනවා. මොකද අපි කවුරුත් හිතේ තියෙන අපි කැමතිම දෙයක් හැංගිලා තියෙනවා. ඒක 100%ක්ම කෙන්ක්ට ලැබෙන්න හුඟක් අමාරුවෙන්. එහෙම වෙලාවට අර පොඩි දේත් වටිනවා. ඒක අහම්බෙන් වෙන දෙයක් නිසා ආයෙ ලැබෙන්න කල් යනවා. එහෙම නැත්නම් නොලැබීම යනවා.

      මට කෝමත් පිස්සුනේ බං.. කෙල්ලො හිතෙන දේවල් හරියට අඟවන්නෙත් නෑනේ කොල්ලන්ට.

      Delete
    2. කලුතර මොකක්ද විශේෂය ?

      Delete
  15. ඒක පාර්ශවීය ආදරයෙන් මගෙ හිත රිදුන තරමක්...ඒ අතිතය අද සුන්දරද...දුකද...හිතාගන්න බෑ බං..

    ReplyDelete
  16. කතාවක්ද? හිත නිදහස් කර ගැනීමක්ද? ඒ තරම්ම ස්භාවිකයි!

    ReplyDelete
  17. හිතට දැනුණා . ඇස් වලටත් දැනුණා මගේ හිතේ ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්