Tuesday, 24 May 2016

නැවතී මෙතෙකින්

බොරළු පාට අහසට මම හුඟක් ආසයි. මුහුදු හීතලත් එක්ක හැන්දෑවක අහස දිහා බලාගෙන ඉද්දී හිතට දැනෙනෙ හැඟීම අනිත් හැම දේකින්ම ඈත් කරලා ගන්න පුළුවන් තරම් විශේෂත්වයක් තිබුණා. මම හිතින් හැමදාම ඒකට ආස කළා. කොටුවේ ගල් බැම්ම දිගේ හුදෙකලා කල්පනාව ඉදන් මම ඇවිදන් ආවේ බොරළු පාට අහසට ආදරේ කරන ගමන්. මතකය තරමටම සුන්දරයි.
 
හීත කීරී ගැහිලා තිබුණ හැඟීමත් එක්ක මතකය මගෙන් බොහෝම දුරකට ඇවිදන් ගිහින් නැවතුණා. අපි දෙන්නා ළග. ඈතින් පේන්න තිබුණ ගල් බංකුව මතකයන් බොහෝමයකට මටත් හොරෙන්ම අත වනන්න වුණා. අපි එතනට වෙලා බොරළු පාට අහස දිහා බලාගෙන හැන්දෑවන් කීයක් නම් ගෙවලා දන්න ඇත්ද?
 
මතකයන්, ජීවිතේ අනිත් හැම හැඟීමකටම වැඩිය හුඟාක් ශක්තිමත්. මට තාමත් අපි දෙන්නා එතන වාඩි වෙලා ඉන්නවා වගේ හැඟීමක් හීතල මුහුදු හුළඟත් එක්ක මුහු වෙලා දැනෙනවා. නෑ, එතන ඉන්නේ වෙනත් පෙම්වතුන්. අපි වගේම. ඒත් අපි නොවෙන.
 
නැගෙන බිඳෙන හැම සමුදුරු රැළි මත
නුඹෙ රුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ රුව බොඳ කර
කඳුළක් නෙත තනියට නැඟුණා...

පුංචි ඉඩකඩකදි මම මතකයන් පිරුණ බංකුවෙන් ඉද ගත්තා. හිත මතකයේ වෙලිලා තිබුණා වුණත් දැනුණ හැඟීම එදාට වැඩිය හුඟක් වෙනස් වෙලා ගිහින්. සමහර විට ඔයා නැති නිසා වෙන්න ඇති. මම ඈත පේන පාට අඩුවෙලා යන බොරළු පාට අහස දිහා බලාගෙන හිටියා.
 
එළබුණ රාත්‍රියන් හැම එකක්ම වගේ හුඟක් සුන්දරයි. අරමුණක් නැති කතාබහ දිගේ විඳි සතුට, පාළුව පිරුණ රාත්‍රියකට හිතට ලං කරලා දෙන්න අමාරුයි කියන එක මම තේරුම් ගත්තේ ජීවිතේ ඔහේ ගෙවිලා ගිය කාලයෙදී. ඒක හිතට අරගෙන ආවේ අර සතුට තරම්ම දුකක්. සුන්දරම හීන අතරට මුහුවුණ පාළු මූසල හැඟීමක්. නුඹත් හැඟීමම වින්දද කියල මම අහන්නේ නෑ.
 
බංකුවේ අනිත් කෙළවර නුඹව ඡායාවක් වගේ ඇඳුණා. මේ ගෙවිලා යන දවස් ගැන හරියට අපි කලින්ම දැනන් හිටියා වගේ ආදරේ අහිමි හැඟීම හිතට වද දෙන එක නවතින්න පටන් අරන්. හිත ගැහෙනවා. ඒත් අහිමි වේදනාවෙන් නෙමෙයි. නුඹ කොහේද කියන අරුමයෙන්.
 
මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙළි සිනහ වදන්
දින ගෙවෙණා හැටි අප දැන සිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
.////
 
මේ බංකුව අතරින් බැදුන පවුරකින් එහා ඉදන් නුඹ මගේ දිහා බලාගෙන හිටියා. නුඹව පේන, මට නුඹව දැනෙන ඒත් නුඹත් මමත් වෙන් වුණ පවුරක්. කඳුළු පිරුණ ඒත් හිනා වුණ මුහුණකින් නුඹ මගේ දිහා බලාගෙන හිටියා. මමත් නුඹ දිහාම වගේම බලාගෙන හිටියා. පවුර අතරින් අපි ඇඟිලි තුඩු වලට සමීප වෙන්න හුඟක් උත්සාහ කළා. මම අත දිඟු කළා නුඹ දිහාවට. නුඹත් එහෙමමයි.
 
උත්සාසයේ තිබුණේ ආයාසයක් විතරයි. නුඹ වගේම මමත් අත අපෙන් ඈතට අර ගත්තා. නුඹ හැරුණේ මුහුද දිහාවට. ඈත අහස බොරළු පාට එළිය ගිල ගනිමිනි හිටියා. හරියටම මගේ හිත වගේ. මගෙන් හොරකම් කරන් ගිය නුඹේ හිතත් ඈත සයුරු අතරේ ගිලී යන බවක් හිතට දැනුණා.
 
බංකුවෙන් නැගිට්ට නුඹ නිහඬවම පියවර මැන්නා. මම දිහා නිසොල්මන්ව බලාගෙන හිටියා. ටිකින් ටික උස් වුණ පවුරෙන් ඈතට නුඹ හෙමින් ඇවිද්දා. නෙලා ගන්න බැරි තරම් ඈතකට මේ හිතින් නුඹ හෙමීට ඇවිදන් යන දිහා නිහඬ වුණ හිතින් මම බලාගෙන හිටියා.
 
ඉරණම ලියැවී අප වෙන් කර දා
දෙගුරුන් හමුවේ හිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්
////
 
බොරළු පාට අහස නැති වෙලා ගිහින් අඳුර හාත්පසම ගිල ගන්න පටන් අරන්. ඡායාවක් වගේ මතකයත් අරන් නුඹ ඈතට යන දිහා මම බලාගෙන හිටියා. හිත හොරෙන්ම වගේ මට පෙරැත්ත කළා. නුඹ පස්සෙන් දුවන් එන්න. ඈතින් හිටිය යුවලක් ඔවුන්ට රිසිසේ ආදරයෙන් තුරුළු වෙලා හිටියා. ඔවුන්ගේ කතා බහ, ඔවුන්ගේ ලෝකය අතීතයේ අපිට වඩා වෙනස් වෙන්න විදිහක් නෑ කියලා මට හිතුණා. නළලත හාදුවක් දෙකම්මුල් දිගේ පහළට ඇවිත් දෙතොල් අතර නතර වුණා.
 
මම මෑතක ඉදන් දිහා බලාගෙන හිටියා. අපි නොවන අපි දිහා. ජීවිතේ අහිමි වෙලා ගිය දේවල් ඉඳිකටු තුඬක් වගේ සැරින් සැරේ හදවත පාරවන්න අරන්. මම කඳුළු වැටෙන්න ඉඩ නොදී බලාගෙන හිටියා. අහිමි සුන්දර හැඟීම් දිහා. අහස බොහොම හෙමින් කළුවරින් වැහිලා ගිහින්.
 
ඈතක නුඹේ ඡායාව තවත් නොපෙනන තරම්. මට හිතුණේ නුඹේ පස්සෙන් හුඟක් දුර ඇවිදන් එන්න. පෙම්වතුන් ඔවුන් හිටිය තැනින් නැගිට්ටා. ඇය මගේ දිහා බලලා හිනා වුණා. නුඹ, මට ඕන වුණේ නුඹව නතර කර ගන්න. ඔහු එක්ක ඇය විදුලි පහන් එළි යටින් ඇවිදන් ගියා. අපි ආසම කරපු බොරළු පාට හැන්දෑව දැන් නිමා වෙලා ඉවරයි.
 
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතකින්
////





නැගෙන බිඳෙන හැම සමුදුරු රැළි මත
නුඹෙ රුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ රුව බොඳ කර
කඳුළක් නෙත තනියට නැඟුණා...
 
මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙළි සිනහ වදන්
දින ගෙවෙණා හැටි අප දැන සිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.////
 
ඉරණම ලියැවී අප වෙන් කර දා
දෙගුරුන් හමුවේ හිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින් ////
 
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතකින් ////

 
ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්
සංගීතය : කසුන් කල්හාර



35 comments:

  1. දිනේශ්, එක හුස්මට කියෙව්වා.. හරිම අපූරුයි..හමුව්ම් වෙන්වීම් අපේ ඇස් වල කඳුලු පුරවන තරම්...

    ReplyDelete
    Replies
    1. හමුවීම වෙන්වීම අපි කාටත් එහෙම තමයි.

      Delete
  2. දිනේශ්, එක හුස්මට කියෙව්වා.. හරිම අපූරුයි..හමුව්ම් වෙන්වීම් අපේ ඇස් වල කඳුලු පුරවන තරම්...

    ReplyDelete
  3. මේ සිංදුව මම අදමයි නෙ ඇහුවෙ.සිංදුව අහන ගමන් ආයෙම පාරක් කතාව කියෙව්ව ඒ හැඟීම් ඒ පරිසරය තදින්ම දැනුන.කතාව ආරම්භයේ මවන බොරළු පාට අහසත් එක්ක තව කෙනෙක් හිතේ රැගෙන ඇවිත් අන්තිමට හාත්පස අඳුරු වෙච්ච අහසත් එක්ක අඳුරු වෙච්ච ජිවිතේ මතකයන් විතරක් හිතේ පුරවන් තනියම පිටවෙලා හැඟීමක් දැනුනෙ. ලස්සනයි අය්යෙ සිංදුවත් එක්කම මේ සටහනත් රහට දැනුන.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ සමහර හැඟීම් වලින් අපිට දුවලා යන්න බැහැනේ. ඒවා වෙනස් වෙනස් විදිහට අපි හැමෝටම දැනෙනවා. අපි කවුරුත් යන්නේ එකම වගේ පාරකනේ.

      Delete
  4. කියන්න ලැජ්ජයි බං. සිංදුව අහලා නෑ.. අහන්න හිතුනා මේක කියෙවුවම.

    අගෙයි...

    ReplyDelete
    Replies
    1. කසුන්ගේ ගොඩක් සිංදු සමහරු අහලා නෑ. නිතරම ඇහෙන කීපය විතරයි දන්නේ. තව හොද ඒවා ඕන තරම් තියෙනවා.

      Delete
  5. ලක්ෂණ ඉදිරිපත් කිරීමක් සමනලයෝ.. ජය

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා.

      Delete
  6. උඹ මල්ලියේ හරි අපූරු සිතුවම් මවන්නෙක්. මෙන්න මේක තමයි අපි උඹෙන් බලාපොරොත්තුවෙන අර මොකක්දෝ මොකක්දෝ එක. නිවාඩු ගිහින් ආවාට පස්සේ ඒ මොකක්දෝ එක අද තමයි හරියට එලියට ඇවිත් තියෙන්නේ.

    කසුන්ගේ මේ ගීතය ලියවිලා තියෙන්නේ මේ ලඟින් යන විදිහටද කියලා එක වෙලාවකදි හිතුනා.

    ///ඔබ අතවූ මල් එකිනෙක පරවී
    සුලඟේ විසිරෙනු මා දුටුවා
    සුලඟේ විසිරෙන ඒ මල් අතරින්
    ඔබගේ රුව මා දුටුවා////

    ReplyDelete
    Replies
    1. ඉවසගන්න බැරිම උනා.. සින්දුව බාගෙන එක දිගටම හතර සැරයක් ඇහුවා.. සේකරව ආයෙ උපද්දන්න හිතෙනවා..

      Delete
    2. ගස්ලබ්බෝ.....නොමියෙන ගීතයක් නේද...වසන්තයේ මල් පොකුරු නෙලා...


      වසන්තයේ මල් පොකුරු නෙළා
      ඔබ මා දෝතට ගෙනෙන තුරා
      මඟ බලමින් මා සිටියා
      සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
      සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

      අහස පොළොව ගිනියම් අව්වේ
      ගහකොළ මැලැවෙන ගිම්හානේ//
      අවසානේ ඔබ ආවා

      ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
      සුළඟේ විසිරෙනු මා දුටුවා
      සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
      ඔබගේ රුව මා දුටුවා
      ඔබගේ රුව මා දුටුවා

      ගී පද - මහගමසේකර
      සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

      Delete
    3. ඇහෙනකොට මෝහනය වෙනවා...මේ ගීයෙ වචන ටික අරූගෙ ඇසින් ලියන්නකො.. අඩුම ගානෙ වාක්‍ය 15ක් වත් අරන්... පීස්...

      Delete
    4. අරුණ අයියේ. නිවාඩුවේ ඉද්දි ඉතින් පරණ මොමෙන්ටම් එක අඩු වෙලා යනවනේ. දැන් ආයෙම ලියන්න ගත්ත හන්දා ශේප්.

      මම මේ සින්දුව කලින් අහල තිබ්බට ඊයේ හදිස්සියෙම වගේ ඇහුනට පස්සෙයි කතාවක් ගොතන්න හිතුනේ. ඒ තරමටම හිතට වැදුනා.

      Delete
    5. ගස් ලබ්බා, සේකරයන් ලියපු මේ සින්දුව මම අහලම නෑ. දැනුයි මාත් ඉස්සෙලම ඇහුවේ. පුදුම ලස්සනක් තියෙන්නේ.

      මේ කතාව ඇදලා ගත්තට වගේම පද ටිකත් එකතු කලාග අරු අයියටත් තැන්ක්ස්.

      Delete
    6. .///මේ ගීයෙ වචන ටික අරූගෙ ඇසින් ලියන්නකො.. අඩුම ගානෙ වාක්‍ය 15ක්/////

      ගස් ලබ්බෝ....අනේ බං මම රස වීඳින්නෙක් පමනයි. මට රස විදින්න බැහැ.

      Delete
    7. ට්‍රයි කලා කියලා වරදකුත් නෑ හැබැයි.

      Delete
    8. මේ සින්දුව අහලා නෑ කියන්නෙ බං උඹේ වයස කීයද ?

      Delete
  7. හිතක් සංවේදී වෙන්න රහට ලියලා තියෙනවා, දිනේෂ්. මාත් මේ සින්දුව අහලා තිබුනේ නැහැ.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. සිංදුව ඒ තරමටම මගෙත් හිතට වැදුනා. කෙටි වෙලාවකදි මේක ලියලා දැම්මා.

      Delete
    2. මෙන්න මේ කොමෙන්ට් ටික ගිය දුර
      http://gaslabba.blogspot.com/2016/05/blog-post_27.html

      Delete
  8. උඹ හින්දා සින්දුව ඇහුවා... වින්දා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  9. හරිම අපූරුයි....

    කතාවත් ගීතයත් ලස්සනට ගලන් ගියා...

    අවසානේ පුංචි දුකකුත් දැනුනා..

    හමු වීම‍, වෙන්වීම,, හිමිවීම, අහිමිවීම,
    මේ හැමදේම ජීවිතේ එක්ක ගලා යන දේවල්නේ...

    ReplyDelete
    Replies
    1. ඒවා අපි හැමෝටම පොදු දේවල්. ජීවිතේ කියන්නේ ඉතින් ඕක තමයි.

      Delete
  10. //අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතකින්

    :(

    මේ සින්දුවේ කතාව තියනව දැක්ක කොහෙහරි. කෙල්ලව එ් කොල්ල බැන්දම කෙල්ල මැරෙනව කියල කේන්දරේ තිබ්බලු

    //නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

    ඉස්සර ඉතිං එක දිගට දහ දොලොස් පාරක් අහපු සින්දු තමා :)

    ReplyDelete
  11. පට්ට බන්, සින්දුව ඇහුවේ අද, උඹේ අදහස් එක්ක අමුතුම ලෝකෙකට ගිහින් හුදෙකලා හන්ගීමක මොහොතකට හරි තනි වෙන්න පුළුවන් බන්, එක එක ගැන කියන්න තේරෙන්නේ නැහැ බන්, එක විඳීමක් විතරයි කියල විතරක් කියන්නම්. එතරම්ම විඳින්න පුළුවන්, මේක තමයි ලොක්ක අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ, වචන අහුරකට දෙකකට නිකන්ම කියවීමකට එහා ගිය විඳීමක් ඒ වචන අහුර අස්සේ හංගන්න උඹ හැබෑ දක්ෂයෙක්. උඹට ජය.

    සොඳුර ගනදුර අහස අරගෙන
    යන්න හදනව ඉරත් ගිලගෙන
    අඳුරේ සැඟවෙන නුඹේ මුහුණත
    කඳුළු සැඟවෙද ගිලෙන හිරු ලෙස

    වෙරෙළ අවනත නොවන දිය රළ
    හැපී බිදීලා විසිරි යන රඟ
    අපට අවනත නොවුණ සිත් තුල
    වෙන්ව යමු අපි විසිරි හැඟුමක

    අඳුර තරු ගෙන අහස සරසා
    හුදෙකලාවක තරුද අසුරා
    ඉකිබිඳින හඬ අසා හිඳිනට
    කරන ඇරයුම නුඹට ඇසුනිද

    සොඳුර ගනදුර අහස අරගෙන
    යන්න හදනව ඉරත් ගිලගෙන
    අඳුරේ සැඟවෙන නුඹේ මුහුණත
    කඳුළු සැඟවෙද ගිලෙන හිරු ලෙස

    ReplyDelete
  12. මචන් දිනේශ් මේක මරු බන්..උඹේ ලිවීමේ හැකියාව උපරිමයි

    ReplyDelete
  13. ඇත්තටම ලස්සන ලියමනක්......අදයි සිංදුව ඇහුවෙ...

    ReplyDelete
  14. ම්ම්ම්....ලස්සනයි. මේකත් එක්කම මට මතක් උනේ,
    "අපි ආයේ දවසක..හමු වෙමුද මේ අද වගේ
    දැන් ඉර ගිලෙයි මුහුදේ...කලුවර පිපෙයි දෙපසේ
    වෙන් වෙමු ඉතින්..හමු වන සිතින්
    අපි ආයෙ දවසක අද වගේ"

    ReplyDelete
  15. මම මෙන්න මේකට පට්ට මනාපයි මලයො...මේ අත්දැකීම මටත් පොදුයි බොල...

    ඉරණම ලියැවී අප වෙන් කර දා
    දෙගුරුන් හමුවේ හිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින් ////

    ReplyDelete
  16. හරිම රහයි ලිවිම..රස වින්දා.. ගීතය අදයි ඇහුවේ...එයත් බොහොම සුන්දරයි...

    ReplyDelete
  17. ඇහුවට හරි කල්පනාවක් නෑ සින්දුව ගැන නම්. විචාරය නම් අගෙයි. :)

    ReplyDelete
  18. අපි හමු වුණා... ජීවිතේ බෙදා ගත්තා... දැන් නන්නාඳුනන්නො වගේ වෙන් වෙලත් යනව.

    අපූරු ලියමන දිනේෂ්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්