Thursday, 28 January 2016

අපි සිල් බිඳ ගත්ත හැටි



මේ දවස් වල හැමෝම වගේ සිල් බිඳ ගත්ත හැටි කතා වෙන හන්දා මටත් හිතුනා අපිත් සිල් බිඳ ගත්ත හැටි ගැන ලියන්න. ඔවු ඔවු. ලියනවා කියලා හිතුනොත් ලියනවම තමයි ඉතින්. මේක අමතක වෙලා තිබුන ගොඩේ තිබුනට මේ සිද්ධි ටිකත් එක ආයෙම පාරක් මතක් උනා අහම්බෙන් වගේ.

සිල් බිඳ ගත්ත හැටි ගැන කියනවනම් ඉතින් අපිට යන්න වෙනවා ඉස්කෝලේ කාලෙට. මොකද ඉතින් අපිට සිල් බිඳ ගන්න වුනේ ඉස්කෝලේ ඕලෙවල් කරන කාලෙදි හන්දා. හා හා, වැඩිය දේවල් හිතන්න කලින් කතාව කියවලා ඉමුකෝ.

කලින් කිවුවා වගේ අපි හිටියේ ඕලෙවල් පන්ති වල. ඔය කාලේ මාස දෙක තුනකට සැරයක් එන පෝයක් අල්ලලා ඒ ලග දවසක අපිට ඉස්කෝලේ සිල් ගන්න වෙනවා. ඒ දවස් වල නම් ඉතින් අපිට  ඕක එපාම කරපු වැඩක්. මම ගියේ මිශ්‍ර පාසලකට කියලා කලින් කතා කියවපු අයට මතක ඇතිනේ. ඒ හන්දා ඉතින් සිල් ගන්න තියෙන දවසට මග අරින්නේ නැතුව ආව එවුන් වගේම නෑවිත් ඉන්න බැරි නිසා අපු එවුන් හිටියා. දැන් අහන්න එපා උඹ හිටියේ ඔය දෙකෙන් මොන සෙට් එකේද කියලා. ඒක ඇවිත් එක එක කාල වලදි වෙනස් උනා.

ඉතින් ඔන්න මේ කියන්න යන දවසෙත් අපි හිටියේ සිල් අරගෙන. වෙනදට පන්ති මට්ටමෙන් පන්තියට එක හාමුදුරුවෝ කෙනෙක් වැඩම කරලා සීල ව්‍යාපාරය කෙරනෙ එක තමයි හැමදාම වගේ උනේ. එදා මොකක් හරි හේතුවකට අපි සෙට් එක ඔක්කොමව මේන් හෝල් එකට දාලා සිල් ගන්න සෙට් කරල තිබුනේ. අපේ පන්තියේ සමහර කොල්ලොන්ට වගේම කෙල්ලන්ට ඕක කියලවත් කර ගන්න බැරි වැඩක් උනාට අපි අනිත් උන් ටික හිටියේ එපාම වෙලා.

ඒත් ඉතින් කරන්න දෙයක් නැති හන්දම පැයක් දෙකක් විතර ඉවසා වදාරගෙන හිටියා. උදේ දානෙට පස්සේ තිබුනේ භාවනා වැඩසටහනක් වගේ තමයි මතක. අපි සෙට් එක ඉතින් මුල්ලකට වෙලා හිටියා.

" මේක හරි යන්නේ නෑ. පනිමුද බං." එකෙක් කිවුවා

" මේ සිල් අස්සේ?"

" අවුලක් වෙන එකක් නෑ කවුරුවත් අපිව හොයන්නේ නෑනේ. ඔන්න ඔහේ යමං."

කට්ටියටත් එපා වෙලාම හිටිය හන්දයි, මේන් හෝල් එකට දාපු හන්දා පැන්නා කියලා කාටවත් මීටර් වෙන්නෙත් නැති හන්දා ටික වෙලාවක් බලලා සිල් කට් කරලා කොහොම හරි පැන ගත්තා. ඔය පවුල් පන්සල් වෙලා ඉදිය කීප දෙනා ඇරෙන්න අපි ඔක්කොම කොහොම හරි පැන ගත්තා.

" දැන් මොකද කරන්නේ?"

පනින්න කතා උනාට මොකද කරන්නේ මොකද කියලා අයිඩියා එකක් නෑ. කෝකටත් කියලා ඉස්කෝලේ මායිමෙන් ඈතට ගිහින්ම තමයි කතා කරන්න සෙට් උනේ.

" මැච් එකක්වත් ගහමු."

එකෙක් ඉදන් කිවුවා. වෙන අයිඩියාස් මුකුත් නොතිබුන එකේ මැච් එකක් ගහන්න කට්ටිය එක පයින් සෙට් උනා. කොහොමත් ඉතින් සරම් ගහන් සිල් ගන්න ගියාට රෙඩිමේට් කලිසමක් අරගෙනයි යන්නේ කියලා ආයි ඉතින් කියන්න ඕන නෑනේ. කොහොම හරි මැච් එකක් ගහන්න කියලා සෙට් වෙලා අපි ගියා අර කලින් කතාවක මඤ්ඤොක්කා මෙහෙයුමට සෙට් උනම පිට්ටනියට. ඒ ලග පාත ඉතින් බැට් එකක් බෝලයක් හොයා ගන්න එක මහ අමාරුවෙක් නෙමෙයි හන්දා අපි සෙට් වෙලා ආතල් එකේ මැච් ගහන්න ගත්තා.

පැයක් දෙකක් විතර ගියා. කිසිම හෙනයක් නැතුව අපිත් සෙල්ලම් කරා. අපේ සෙට් එකේ ඉන්නවා මැන්ඩා කියලා පොරක්. උට ඔය නම දැම්මේ අපේ ලොක්කා. ඒක දිග කතාවක්. හිතුනොත් වෙන දවසක ලියන්නම්. කොහොම හරි මැන්ඩා ෆීල්ඩ් කර කර හිටියේ බවුන්ඩ්‍රී ලයින් එකේ.

ටිකක් වෙලා ඔහොම සෙල්ලම් කර කර ඉද්දී මැන්ඩා උගේ පැත්තට ආව කැච් එකක් ගන්න දිවුව පාර ඇදගෙන වැටුනා. ගල් බොරළු පොලවේ වැටෙන එක කොච්චර ආතල්ද කියලා ඉතින් කියන්න ඕන නැහැනේ. ඒ උනාට ඉතින් අරූ මලත් අපේ එවුන් හිනා වෙන එක කොමත් වෙන දෙයක් නේ. කැච් එක අත ඇරියට ටිකක් බනින අස්සේ බැට් කරපු එවුන් ළකුණු හතරකුත් කොහොම හරි දුව ගත්තා. ඒත් වැටුන එකා නෙමෙයි නැගිටින්නේ.

නැගිටලා බෝලේ දාහන් %$%$ කියලා ආදරෙන් ඇමතුවත් මැන්ඩගෙන් නෝ රිප්ලයි. ඒ ගමන නම් එකා දෙන්නා ඌ ලගට ගිහින් බැළුවා මොකද කියලා. මූ ඉන්නවා සිහිය නැතුව වැටිලා. හිටපු විදිහට නම් හිතුනේ මැරිලම තමයි කියලා. පස්සේ කොහොම හරි දඟලලා මූව නැගිට්ටවා ගත්තා. අර බොරළු ගොඩේ වැටුන පාර නළල වැදිලා නළල ගෙඩි ගැහිලා නිකන් දොඬං ගෙඩිය ගානට. කොහොම හරි යන්තම් මූ ඇස් ඇරලා ටිකක් ශේප් උනා.

" මම මේ කොහේද බං ඉන්නේ?"

ටිකකින් මූ ඇහුවා කියපංකෝ. අපිව නිකන් මඤ්ඤං වෙලා වගේ උගේ දිහා බැළුවා. ඌත් ඒ විදිහටම අපි දිහා බලාගෙන ඉන්නවා.

" ඇයි &%&% අපි මැච් එකක් ගහන්න ආවේ"

මූ වට පිට බලනවා මෙලෝ සිහියක් නැතුව. අපි එක්කත් වැඩි කතාවක් නෑ. ඒ ගමන නම් අපෙත් බොක්ක කූල් වෙලා ගියා මේ මොකද්ද වුනේ කියලා. වෙන කරන්න දෙයක් නෑ. ඒ වෙද්දි දවල් 12 පහු වෙලා වගේ තිබ්බේ. මූව ගෙදර එක්කන් යමු කියලා කට්ටිය කතා වුනා. ඒත් අවුල තිබුනේ මූ හිටියේ හෙනම දුර. අපි උන්ගේ ගෙදර ගිහින් තිබුනෙත් හෙන අඩුවෙන්. උගේ දිහා යන විදිහ අපිටත් හරියට මතක නෑ.

" උඹට ගෙදර යන පාර මතකද?"

" කාගෙද?"

අපි නිකමට වගේ උගෙන්ම ඇහුවම ඌ අපිව තව මාන්දමික කරන උත්තර තමයි දෙන්නේ. වෙන කරන්නම දෙයක් නැති හන්දා කොහොම හරි මතකෙන් උගේ ගේ හොයාගෙන යන්න අපි හිතුවා. කට්ටිය කොහොම හරි කතාවෙවි පාර මතක් කරන් උගේ ගෙදර හොයන් එද්දී මූට ලාවට වගේ අපි සෙට් එකේ නම් ටික මතක් වෙලා කතා කරා. හැබැයි ඉන්නේ කොහෙද මොකද කරන්නේ කිසිම සිහියක් නෑ. හිටපු විදිහට ඔයත් මදැයි කියලා අපි හිතාගෙන කොහොම හරි මූව ගෙදර එක්කන් ආවා.

ඇවිත් බලද්දී ගෙදර කවුරුවත් නෑ. තනියම මූව දාලා එන්නත් බයයි දැන්. ඒ ගමන තව පැයක් විතර බලාගෙන හිටියා ගෙදර කවුරු හරි එනකන්. කොහොම හරි අතිමේ මුන්ගේ තාත්තා ගෙදර ආවා. තාත්තා ආවයින් තවත් අවුල් දැන් සීන් එක කොහොමද කියන්නේ කියලා. මුගේ ඔළුව වැදුන තැන ගෙඩි ගැහුන එක බැහැලත් නෑ. එන්න එන්න වැඩි වෙලා මිසක්.

කොහොම හරි ශේප් එකේ වෙච්ච සිද්දිය මැන්ඩගේ තාත්තා එක්ක කිවුවා. තාත්තත් කිසි සද්දයක් නැතුව අහගෙන හිටියා. හැබැයි මූඩ් එකේ නම් තිබුනේ අපි ඔක්කොටම නෙලන ලුක් එකක්.

" දැන් තෝ උදේ ගෙදරින් ගියේ සිල් ගන්නවා කියලා නේද?"

තාත්තට මල පැනලා අරූගෙන් අහනවා. ඌට උත්තර දෙනවා තියා උනේ මොකද්ද කියලවත් දන්නේ නැතුව අපි දිහා බලනවා.

" යමං ඔහොමම දොස්තර ලගට එහෙනම්."

අපි එක්ක කිසි කතාවක් නැතුව තාත්තා මැන්ඩව ත්‍රීවීල් එකේ දාගෙන ගියාට පස්සේ අපිත් එන්න ආවා. ඒ උනාට හිටියේ බය එකේ හොදම එකෙන්. මූට සිරාවටම මතක නැති උනොත් කියලා. හැබැයි හොද වෙලාවට පහුවදා වෙද්දී ඌට කිසි අවුලක් නෑ. පුරුදු විදිහටම ඉස්කෝලෙත් ආවා. 


62 comments:

  1. ඔන්න මං අද එක කියවලා එන්නම් ඈ...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දාලා හැරෙන්න උනේ නෑ. හා හා..

      Delete
    2. උබලා කලිසමක් අරන් යනවද... අපිනම් සරම ගලෙව්ව ගමන් වැඩේට එන්ටර් වෙන්න පුලුවන්. මමනම් සිල් ගත්තේනම් 9 වසරට වෙනකම් විතරයි. අපි ඉස්කෝලෙට අදින්නේ නිල් කොට කලිසම සරමට යටින් තමයි ඇදන් යන්නේ. ඒ කාලේ එක සිල් පදයක් ඇරෙන්න අනිත් ඔක්කොම සිල් බිදිලා...
      පරණ අතීතේ මතක් කලාට ස්තුතියි මචන්.

      Delete
    3. පෝස්ට් එක දානකන් තමයි බලන් හිටියේ..

      Delete
    4. අරන් යන්නේ ඉතින් වෙනම කලිසමක් බං. යුනිෆෝර්ම් එක නෙමෙයි. ඔය වගේ වෙලාවට යුනිෆෝර්ම් ගහන් ඉන්න බැහැනේ පිට.

      Delete
  2. හෙහ්..මම දවසක් ඉස්කෝලෙදි ඔහොම වැටිච්ච පාර කිසිම දෙයක් මතක් නෑ වගෙ ඇට්ටිං පාරක් දාල පස්සෙ වැඩේ අහුවුනාට පස්සෙ අනික් එවුං එලව එලව ගැහුවෙ. ඉඳහං වෙලාවක් තිබ්බොත් ඒ කතාව ලියඤ්ඤං...:)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, රවී අයියත් එහෙනම් ලේසි නෑ නේ බලාගෙන යද්දී.
      ලියමු ලියමු එහෙනම් ඒකත් වැඩිය කල් අර ගන්නේ නැතුව.

      Delete
  3. උඹලා සිල් බිඳගත්තට මුල් සිඳගෙන නෑ... ඒකයි අවුල
    අපේ ඉස්කෝලෙ බාලදක්ශ කෑම්ප් එකක් තියෙන වෙලාවක එකෙක්ගෙ ඔලුවට ලෙදර් බෝලයක් වැදිලද කොහෙදො (හරියට මතක නෑ.) ඔහොම සීන් එකක් උනා.ඌව නම් ඇඩ්මිට් කරා.මිසීල අපිව බයිට් කරනවා.. මූට මෙලෝ දෙයක් විනාඩි පහකට වඩා මතක හිටින්නෑ.පස්සෙ හරි ගියා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔයින් ගියා මදැයි බං.
      තව එහා මෙහා උනානම් බෙල්ල සිඳ ගන්න තමයි වෙන්නේ අපිට.

      Delete
  4. හැබෑටම මටත් මේක කියෙව්වහම මතක් වුණේ අපිත් සිල බිදගෙන තියෙනවානේ නේද කියලා. දවසක් සිල් අරන් මමයි යාළුවෙකුයි පොඩි එවුන් එකක් ක්‍රිකට් ගැහුවා. තව දවසක් පන්සලේ අන්නාසි හොරෙන් කෑවා. සිල් රෙද්ද දාගෙන පහන් වැටවල් ගැහුවා. තව දේවල් කළා. බලද්දි අපිත් පොඩි කාලේම සිල බිදගෙන තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය අහු වෙන්නේ එක එක හෙමීට.
      පන්සලේ අන්නාසි කිවුවේ වත්තේ තිබුන ඒවා ගලෝගෙනම කෑවනම් තවත් ශෝක්.

      Delete
    2. වත්තේ තියෙන අන්නාසි තමයි ගළවගෙන කෑවේ. සමහර වෙලාවට දාන ශාලාවට රිංගලා ඒකේ තියෙන කැවිලි පෙවිලි කාපු වෙලාවලුත් නැතිවම නෙවෙයි.

      Delete
    3. අපිට නම් දහම්පාසල් යන කාලේ පොඩි හාමුදුරුවෝ අවසර දීලමයි තියෙන්නේ ගිහින් කාලා බීලා එන්න. ඒ හන්දා ඉතින් නෝ අවුල්.

      Delete
  5. ඔය සිල්ගන්න දවසක බුද්ධ පූජාවට තියපු පලතුරුකාලා අහුවෙලා දවල් හාමුදුරුවෝ බණ කියනකොට එහෙයි කියන්නවුනා සෙක්ශන් එකම ඉස්සරහා.අනික තමයි මම ඉස්සල්ලාම බුලත්විටක් හරිවිදිහට කන්න පුරුදුවුනේ ඉස්කෝලේ සිල්ගන්නකොට හාමුදුරුවන්ගේ දැහැත්වට්ටියෙන් උස්සපුවයින් .මොන කරුමයක්ද මන්දා විට කනකොට ඉක්කා වදිනවා.කටත් ඇරන් හින්දා සද්දෙත් මහ හයියෙන්.ඒ නිසාම 2-3 පාරකටවඩා කාලා නෑ තාම.

    ReplyDelete
    Replies
    1. බුද්ධ පූජාව කොහොමත් වැඩිහරියක් කන්නේ වඳුරොනේ කියලා ඉතින් හිත හදා ගන්න බැරිය අපිටත්.
      විටක් කාපු කාලයක් මතක නෑ.

      Delete
    2. // විට කනකොට ඉක්කා වදිනවා.කටත් ඇරන් හින්දා සද්දෙත් මහ හයියෙන්//
      එහෙම වෙන්නේ බං දුම් කොළේ නිසා මටත් එක පාරක් ඔහොම උනා.එක පාරක් කියන්නේ එදායින් පස්සේ විට කෑවෙත් නැහැ හිටං.

      Delete
    3. හිටං කන්න එපා. එතකොට අවුල් යනවා වැඩියි. හෙහ් හෙහ්.

      Delete
  6. අපිනම් කෙල්ලන්ට සල් ගෙඩිවලින් ගහලා හාමුදුරුවන්ගෙන් බැනුම් ඇහුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න හොද ළමයි.

      Delete
  7. පට්ට...
    තව මාස දෙකක් තුනක් වගේ ඇතුලත තවත් සිල් කතාවක් එයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් කොහේද බං එහෙම ආතල් කාලයක්.

      Delete
  8. ඉදිය රෙඩිමේට් උනම බවුන්ඩ්‍රී මචෝ උඹට හිංගලත් බෑ ඉංගිරිසිත් බෑ නේද

    ReplyDelete
  9. හෙහ්... දිනේශයො මම හිතුවෙ බඩු සීන් එකක් කියල.. විශ්වාස කරනව නන් කරපන් අපේ එකෙක් සීල වියාපාරෙ භාවනා කරන වෙලාවෙ ස්වයං වින්දනේ යෙදුන

    ReplyDelete
    Replies
    1. කවුද බං ඒ අදහන්න වටින එකා?

      Delete
  10. හෙහ්... දිනේශයො මම හිතුවෙ බඩු සීන් එකක් කියල.. විශ්වාස කරනව නන් කරපන් අපේ එකෙක් සීල වියාපාරෙ භාවනා කරන වෙලාවෙ ස්වයං වින්දනේ යෙදුන

    ReplyDelete
    Replies
    1. මොකෝ බං පැය ගානකට පස්සේ එකම කමෙන්ට් එක දාලා.
      ගූගලයා පිස්සුවක් කෙලලද?

      Delete
  11. උඹල ඉතිං ජීවිත කාලේම සිල් ගත්තා හා සමානයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ තාම මේ හොද ළමයා වගේ ඉන්නේ. ;)

      Delete
  12. හහා මේක මරු සීන් එක!

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් මරු දකියි.

      Delete
  13. ඔයිට වඩා භයානක දෙයක් වෙන්නත් ඉඩ තිබුනා. එතැනදීම ඬැඩිහිටියෙකුට කියන්නයි තිබුණේ!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත හැබැයි. එවෙලේ එතන කාට හරි කිවුවනම් අපිව උස්සන් යන්නේ ඉස්කෝලෙට. එහෙනම් ලෙඩ කෝටියයි. හොද වෙලාවට අරූ වගේම අපිත් මෙහෙම ගොඩ ගියා.

      Delete
  14. ඇති යංතං උඹලයෙ එකා මැරෙන් නැතිව බේරුනා.
    ඔය වගේ අපේ ‍එකෙක්ගෙ ඔළුවට එල්ලෙ ගහන උන බම්බුවකින් ෂොට් එකක් වැදුන. කට්ටියම බය වෙලා හිටියට හොඳ වෙලාවට ඌට මොකුත් උනේ නෑ.

    අපිනං සිල් බිඳ ගත්තෙ කොයි වෙලාවෙද දන්නෑ. මේන් හෝල් එකේ ඔළුවට උඩිං තියෙන ෆෑන් එකට ගිලන්පසට දීපු කෙහෙල් ලෙලි, ගෙඩි යවන එක තමයි කළේ. කෙහෙල් ගෙඩි පාරක් වැදුනොත් නං සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. මෙයාලගේ වැඩ හන්දා අහල පහල අයත් ඉතින් කෙහෙල් ගෙඩි පාරවල් කාගෙන ඉන්න ඇති එහෙනම් ශුවර් එකටම.

      Delete
  15. සිල් බිඳ ගත්ත කියුවම දුවන් ඇවිත් බැලුවේ.. සක්.. තුන්වෙනි සිල් පදේ යන්තමින්වත් බිඳුනේ නෑ කියන්නේ.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඒ කාලේ එහෙම වුනේ නෑලු.

      Delete
  16. දිනේෂ්........ ඒ කාලේ අපේ තාත්තා කියනවා තාත්තලා සිල්ගත්තු විදිහ.... දවල් කෑම වෙනකල් අමාරුවෙන් ඉදලා අාච්චිගෙන් කෑම කාලා... හවසට පන්සලෙන් පනින විදිහ කියනවා...... මේක බලපු ගමන් ඒක මතක් වුණා.........

    ReplyDelete
    Replies
    1. කොල්ලොන්ගේ හැටිමද කොහෙද එහෙනම් සිල් කට් කරන එක.

      Delete
  17. අර යකා ඔහොම ගිය එක ලොකු දෙයක්...

    මමනම් දවස් දෙකයි හරි තුනයි හරි තමයි බං සිල් අරගෙන තියෙන්නේ, ඊට පස්සේ සදාකල් සිල් බිඳගෙන තමා ජීවත් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මම නම් පන්සලේ සිල් ගත්ත ඒ කාලේ අම්මා තනියට මාව ඇදන් යන හන්දා. හවස් වෙනකන් ඉන්නේ ඉතින් වෙලාව බල බල.

      අපි හැමෝටම ඔහොම තමා එහෙනම්.

      Delete
  18. මැන්ඩගේ කතාවත් ලියන්න, ජය වේවා. පෝස්ටුව නම් වෙනදා වගේම රසවත්.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු. ඉස්කෝල කතා ලියන්න ඕන සෙට් එකේ උන්ගෙන් බැනුම් අහන්න බලාගෙන අවසර අර ගෙනම.

      Delete
  19. අරූගේ මතකය සම්පූර්නෙන්ම නැති උනානම් තොපි සේරෝම ගස්.. ඇති ඔයින් ගියා ..

    ReplyDelete
    Replies
    1. අපිත් ඇගේ ලේ වතුර වෙලා හිටියේ ඒ හන්දම තමයි ඉතින්.

      Delete
  20. ඒ දවස්වල ඉස්කොලේ අමාරුම දවස තමයි සීල, භාවනා වැඩසටහනක් තියන දවස. ඔහොම අපේ එකෙකුට සිහිය නැති වුනා කට්ටි පැනලා ගිහින් ගඟේ නානකොට යටවෙලා.

    ReplyDelete
    Replies
    1. හම්මේ, ඒක ඊට වැඩිය හපන් වැඩක් නේ. ඉතින් මොකො වුනේ?

      Delete
  21. සිල් බිඳ ගන්න ගිහින් තව පොඩ්ඩෙන් මැන්ඩාට හොස්පිටල් යන්නත්,උඹලාට පොලිසිය යන්න වෙන්නත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අපි පොලිසි නොගිහින් ඌ හොස්පිටල් ගිහින් වැඩේ ශේප් උනා.

      Delete
  22. සිල් බිඳ ගත්තෙ කියද්දි මං හිතුවෙම වැරදි විදියට නෙ දිනේස් අය්ය සද්දාවන්ත සීල ගුනෝපේත දරුවෙක්නෙ බලං ගියාම හිහි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව බොල. උඹලා හිතන් ඉන්නේ එහෙමද?

      Delete
  23. මෙහෙම සිල් බිඳ ගැනිල්ලේත් ගතියක් තියෙනවා . නැත්නම් මේ වගේ අතීත සැමරුම් නෑනේ

    ReplyDelete
    Replies
    1. අතීත සැමරුම මෙහෙම හොදින් ලියන්න උන එකම සතුටක් තිලකේ අයියේ. අනික් පැත්ත හැරුනනම් අපිත් ඉවරයි.

      Delete
  24. අපේ ඉස්කෝලේ නම් ඔය සිල් කේස් තිබ්බේ නෑ නේ. හැබැයි දවසක් අපේ පරණ ප්‍රින්සිපල් කෙනෙක් මැරිලා පොරට චැපල් ඒකෙ සර්විස් එකක් තිබ්බා අපි ඔක්කොටොම අනිවාර්ය කරලා. මම නම් පැයයි හිටියේ.

    ReplyDelete
    Replies
    1. සිල් නැතුවට පිරිත් කියනවා...

      Delete
    2. අඟහරුවා, එහෙනම් වැඩක් නෑ බං. ඒකත් ආතල් වැඩක් ඒ දවස් වල අපිට එපා උනාට ඉතින්.

      Delete
    3. නින්ද්‍රජිත්, උඹලා දෙන්නම එක ඉස්කෝලෙද?

      Delete
  25. අපෙත් ඔන්නොහො ම මේන් හෝල් එකට සෙක්ෂන් එකම දාලා සීල ව්‍යාපාරෙ යන අතරෙ දවල් වෙද්දි සත්ගුණවත් උපාසිකාවො කාලීන ධර්ම සාකච්ඡා පවත්වනවා ඉතින්.සතියේ තොරතුරු සමාලෝචනය වගේ.දවසක් දා කස්ටිය ගෙනාපු බණ පොත් අතරේ හොල්මන් කතා පොතකුත් තිබ්බෙ නැතැයි.අන්න එදා තමයි අනේමන්දා උන්දැගෙ සීලෙ බිඳුනෙ

    ReplyDelete
    Replies
    1. උපාසිකාවෝ ගැන ඉතින් කවර කතාද. අපි නොදන්නවයි ඉතින්.
      හොල්මන් කතා කිවුවනේ? අපි මුකුත් අහන්නේ නෑ ඉතින්.

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්