Sunday, 10 January 2016

රාජකීය අභිරහස 2



" සිම්රන්, ස්ට්‍රැපඩ් අපොන් ඇවොන් වලට කලින් ගිහින් තියෙනවද?"

ලන්ඩනයේ සිට වෝර්වික්ෂයර් දක්වා දිවෙන අදිවේගී මග දිගේ ශේක්ෂ්පියර්ගේ නිවහන වෙත යමින් උන් එරිකෝ නිහැඬියාව බිදිමින් ඈ හා කතාවට වැටුනේය..

" නැහැ එරිකෝ මේ මගේ පළවෙනි වතාව.."

" බොහෝම සුන්දර ගම්මානයක්.. ඒත් ඒ සුන්දරත්වයනම් හිතේ හැටියට විදින්න සිම්රන්ට ඉඩ ලැබෙයිද කියලා මට විශ්වාස නැහැ.."

" මේක අපිට මෙහේදිම ඉක්මනට විසදගන්න පුළුවන් වුනොත්, එරිකෝ මාව ගම්මානයේ ඇවිදින්න එක්කන් යාවි කියලා මම හිතනවා.."

" හරි මං පොරොන්දු වෙන්නම්.. හැබැයි ඊට කලින් අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා.."

" මම දන්නවා එරිකෝ.. ඔයා කොතනින්ද මේක පටන් ගන්න හිතන් ඉන්නේ?"

" තම හිතා ගන්න බෑ.. අපි ඉස්සෙල්ලම එහේ කෞතුකාගාරයට ගිහින් බලමු.. ඊට පස්සේ කරන්න තියෙන දේවල් ගැන හිතමු.."

ලන්ඩනයේ සිට වෝර්වික්ෂයර් වෙත දිවෙන පැය දෙකාහාමාරක් පමණ වූ ගමන් මග එරිකෝ කියූ පරිදිම සිතැදගන්නා එකක් වූයේ මග දිගවූ අලංකාර පලතුරු උද්‍යාන එළවළු හා සත්ව ගොවිපලවල් නිසාය.. අවට පරිසරය දෙසට නෙත් යොමාගෙන උන් සිම්රන්ගේ දෙනෙතින් ඈ ඒ පරිසරයට කොතරම් ඇළුම් කලාදැයි හැඟුන මුත් මොහොතක් වුව පමා කිරීමට හැකියාවක් එරිකෝ සතු නොවීය..

සුන්දර පරිසරය මැදින් වූ අධිවේගි මහින් ඉවත්වූ ඔවුන් ස්ට්‍රැපඩ් අපොන් ඇවොන් වෙත ලගා වෙත්ම නිතිපතා ශේක්ෂ්පියර් නිවස නරඹන්නට එන බොහෝමයක් දෙනා එහි සිටිනු දක්නට ලැබිනි..

" අපිටත් පවුම් දාසයක් ගෙවලා ටිකට් ගන්න වෙයිද දන්නේ නැහැ සිම්රන්.."

" වෝල්ටර් අපි එනවා කියලා දැනුම් දීලා නැත්නම් එහෙම කරන්න වෙයි වගේ එරිකෝ.."

දෙදෙනාගේම මුවගේ නැඟුනේ සිනහවකි.. නමුත් බලාපොරොත්තූ වූ පරිදිම වෝල්ටර් සෑම දෙයක්ම දැනුම් දී තිබුන නිසාම ආරක්ශක නිළධාරින්ගේ මගපෙන්වීමෙන් කෞතුකාගාරයට ඇතුළු වුන ඔවුන් එහි බාරකරු සොයා ගියෝය.. මැදිවිය ඉක්මවා ගිය ගැමි පෙනුමක් තිබුන ඔහු තරමක් විමතියෙන් පසුවෙන්නෙක් බව ඔහුගේ දෑස් දුටු විටම තේරුම් ගන්නට අපහසු නොවීය..

" මිස්ටර් එරිකෝ, ඔබ ආපු එක ලොකු දෙයක්.. මම ඔබ එනකන් මග බලාගෙන හිටියේ.."

ආරක්ශක නිළධාරියා ඔවුනොවුන්ව හදුන්වා දීමෙන් පසුව එරිකෝ වෙත පැමිණි ඔහු එරිකෝගේ අතින් අල්ලමින් පැමිණිම ගැන ඉමහත් සේ සතුටු වූයේ බලාපොරොත්තුවක් ඉටූවූවක් මෙන්ය..

" ඇයි මිස්ටර් ක්‍රිස්ටෝෆර්.. අළුත් තොරතුරු මොනවා හරි ලැබුනද?"

" අළුත් තොරතුරු නම් මම දන්නේ නැහැ මිස්ටර් එරිකෝ.. ඒත් ලන්ඩන් කෞතුකාගාරය මේ වැරැද්ද අපේ පිටින් දාලා අත පිහිද ගන්න හදනවා වගෙයි.. ඒ චෝදනාවෙන් මිදෙන්න මට ඔබේ උදවු ඕන වෙනවා.."

" මට තේරෙනවා.. ඒත් තාම කාගෙද කොතනද වැරැද්ද කියලා තීරණය කරන්න පුළුවන් කිසිම තොරතුරක් මට ලැබිලා නැහැ.. ඒ හන්දා මම කැමති හැම දෙයක්ම දැන ගන්න.."

" මේ යක්කු ලන්ඩන් වල ඉදලා කිසිම වටිනාකමක් නැති කොල කෑලි ටිකක් එවලා දැන් ඒකේ සම්පූර්ණ වගකීම අපේ පිට පටවලා.. මට හොදටම විශ්වාසයි උන් තමයි මේක කලේ.."

" ඇයි ඔබ එහෙම කියන්නේ?"

" එහෙම කියන්නේ කිසිම මුද්‍රාවක් වත් සීල් තැබීමක්වත් නැතුව මේ දේවල් මෙහේට එවලා තිබුන නිසා.."

" රජ පවුලෙන් ලැබුන දේවල් ලන්ඩක් කෞතුකාගාරයෙදි විවෘත කරලා බලපු නිසා ඒ දේවල් ඒ විදිහට ලැබුනා වෙන්න බැරිද?"

" මේ වගේ වැදගත් දෙයක් කරද්දී කවුරුවත් ඒ විදිහට වගකීමක් නැතුව වැඩ කරයි කියලා ඔබ හිතනවද, ඔවුනගේ වංචාවක් නැත්නම්?"

" හරි දැන් කෝ ඔබ ඔය කියන ව්‍යාජ නිර්මාණ ටික.."

" තාමත් ඒවා පහල ගබඩාවේ තියෙනවා.. අඩු තරමේ පොලීසියෙන් පරීක්ෂා කරන්නවත් අරන් ගියේ නැහැ.."

" අන්න ඒකනම් හුඟක් බරපතල දෙයක්.. මම කැමතියි ඒවා දැකගන්න.."

ශෙක්ෂ්පියර්ගේ නිවස තුල වූ ප්‍රදර්ශණ කුටි අසලින් වූ ගමන් මග අතිශයින්ම සිත් ඇද ගන්නා එකක් විය.. ඔහුගේ ජීවිත කතාව වත්මන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගෙනහැර දැක්වූ අංශය සිම්රන්ගේ මෙන්ම එරිකෝගේත් සිත් ඇදගන්නට සමත් වූවත් ඔවුනට ඒ සදහා එතරම්ම කාලයක් නොවීය.. අපිළිවෙලට තැනින් තැන බඩු ගොඩ ගසා තිබුන පහත මාලය යමෙකුට ඕනෑම දෙයක් රැගෙන යන්නට තරම් සමත් වටපිටාවකින් යුක්ත විය..

" මේ තියෙන්නේ මිස්ටර් එරිකෝ.."

ලියාපදිංචි තැපෑලෙන් එවූ තරමක් විශාල අසුරනයක් ක්‍රිස්ටෝෆර් ඔවුනට පෙන්වීය.. එය සැබැවින්ම ඔහු කී පරිද්දෙන්ම වගකීමකින් තොරව කල ක්‍රියාවක් බව තේරුම් ගන්නට ඔවුන්ට අපහසු නොවීය.. එහි වූ සෑම දෙයක්ම තවමත් එලෙසින්ම පැවතීම ඔවුන්ගේ විමතියට හේතු විය..

" ඇයි මේවා අරන් ගිහින් ඔවුන් පරීක්ෂාවල ලක් නොකලේ?"

" එහෙම කරන්න වුවමනාවක් නැහැ මිස්ටර් එරිකෝ.. මේවා ව්‍යාජයි කියලා බැළු බැල්මටම කියන්න පුළුවන්.."

" ඔබ කොහොමද එච්චරම විශ්වාසයෙන් කියන්නේ?"

" මේවා රජ පවුලට අයත්ව තියෙද්දී බකින්ග්හැම් මාලිගාවෙදි මට ඒ සැබෑ නිර්මාණ දැක ගන්න අවස්ථාව ලැබුනා.. ඒවායේ තිබුන කඩදාසි මීට වඩා හුඟක් වෙනස්.. දහසය වෙනි ශතවර්ශයෙයි අදයි කඩදාසි වල බොහෝම වෙනසක් තියෙනවනේ මිස්ටර් එරිකෝ.. ඒ හන්දා මට මේ හැම එකක්ම දැක්ක ගමන් අදුන ගන්න පුළුවන්.."

" ඒ වුනත් මේ දේවල් ගැන විදිමත් පරීක්ෂණයක් කලානම් මොකක්ම හරි තොරතුරක් ලබාගන්න තිබුනා කියලා මම හිතනවා.. දැනටමත් ඒකට ප්‍රමාද නැහැයි කියලා මම හිතන්නේ.. මම ඒ ගැන වොල්ටර් දැනුවත් කරන්නම්.."

" ඔබේ කැමැත්තක් මිස්ටර් එරිකෝ.. කොහොම වුනත් මේ ව්‍යාජ ඒවා බව මට හොදටම විශ්වාසයි.."

" තැපෑලෙන් ආව මේ අසුරනය කෙලින්ම ඔබටද ලැබුනේ?"

" ඔවු, මෙතන බාරකාරයා මම නිසා මගේ නමට ලියාපදිංචි තැපෑලෙන් ආව හන්දා මමමයි අත්සන් කරලා ගත්තේ.."

" හරි ඊට පස්සේ මොකද වුනේ?"

" මේ දේවල් ශේක්පියර් නිර්මාණය කරපු තැනටම ලැබෙන එක ගැන මම ගොඩක් සතුටින් හිට්යේ.. ඒත් ඒ සතුට මොහොතින් නැතිවුන හැටි මම ඔබට කියන්න වුවමනා නැහැ කියලා මම හිතනවා.. මම එවෙලෙම කලේ ලන්ඩන් කෞතුකාගාරයට දුරකතනයෙන් මේ ගැන දැනුම් දුන්න එක.. ඒත් ඔවුන් ඒක පිළිගන්න ඒ තරම්ම සූදානම් වුනේ නෑ.. කොහොම වුනත් එදා හවස් වෙද්දී කෞතුකාගාරයේ නියෝජිතයෙකුයි පොලීසියයි මෙහේ ආවා.. ඒත් ඔවුන් කිවුවේ ලන්ඩන් වලින් හැම දෙයක්ම නිවැරදිව එවුවා කියලා.. කිසිම විදිහකින්වත් අතර මගදී ලියාපදිංචි තැපෑලෙන් එන දෙයක් විවෘත කරන්න ඉඩක් නැහැ කියලා ඔබ හොදටම දන්නවනේ.."

" අපිට එහෙමම විශ්වාස කරන්න අමාරුයි මිස්ටර් ක්‍රිස්ටෝෆර්.. මොකද කවුරුහරි කෙනෙක් මේක කලින් සැළසුම් කලානන් ඔවුන්ට ඕනම කෙනෙක් මුදලට ගන්න පුළුවන්.."

" ඔවු ඔබ කියන දේ ඇත්ත.. කොහොම හරි ඔබට මේක විසදන්න පුළුවන්නම් ඒක ඇත්තටම අපිට කරන ලොකු උදවුවක්.. මොකද හැමෝම අපිට ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉන්නේ.."

" මම මගේ උපරිම උත්සාහය යොදවනවා මිස්ටර් ක්‍රිස්ටෝෆර්.. මට ඔබෙන් එක උදවුවක් ඕන.. මම කැමතියි මේ ව්‍යාජ ලේඛන ටික ලන්ඩන් අරගෙන යන්න.. ඒකට ඔබේ විරුද්දත්වයක් නැතිවෙයි කියලා මම හිතනවා.."

" කමක් නැහැ මිස්ටර් එරිකෝ.. කොහොමත් මේ කොල කෑලි ටිකේ ඇති වටිනාකමක් නැහැ.. ඒක ඔබේ පරීක්ෂණයට කැමති විදිහකට පාවිච්චි කරන්න.."

ක්‍රිස්ටෝෆර්ගේ අවසරයෙන් ව්‍යාජ ලියකියවිලි ටික ගත් එරිකෝ සිම්රන් සමග ශේක්ෂ්පියර්ගේ නිවසින් පිටත් වූයේ අවසානයේ හඹා යන්නට එකදු හෝ හෝඩුවාවක් තමන් සන්තක කර ගනිමිනි..

" එරිකෝ අපි මේකෙන් මොකද කරන්නේ?"

තමන් අත වූ ලියවිලි පරික්ෂා කරමින් නැවතත් ලන්ඩන් බලා එන අතර වාරයේ සිම්රන් විමසුවේ එරිකෝගේ අරමුණ ගැන ඇය තුල කිසිදු අවබෝදයක් නොවූ නිසාය..

" ලන්ඩන් ගිය ගමන් අපි ඉස්සෙල්ලම වෝල්ටර් මුණ ගැහෙමු.. වෝල්ටර්ට කියලා මේ ව්‍යාජ ලියකියවිලි ටික පරීක්ෂාවට ලක් කරලා අපිට හොයා ගන්න පුළුවන් මොනවද කියලා බලමු.. අඩුම ගානේ එක පාරක් හරි අපි මේ ඇත්ත ඒවා දැකලා තිබ්බනම් මේක අපිට පහසුවක් වෙන්න තිබුනා.."

" ඒ කියන්නේ එරිකෝ ක්‍රිස්ටෝෆර් කියපු දේවල් විශ්වාස කරන්නේ නෑ කියන එකද?"

" සම්පූර්ණයෙන්ම නෙමෙයි සිම්රන්.. ඔහු සමහරවිට ඇත්ත ඒවා දැකලා තියෙනවා ඇති.. ඒත් අපිට ඔහුගේ වචන විස්වාස කරන් මේ දේ පස්සේ යන්න අමාරුයි.."

" ඒ කියන්නේ එරිකෝ ක්‍රිස්ටෝෆර්වත් සැක කරනවද?"

" ඇයි බැරි සිම්රන්.. ඔහු කියන විදිහට වෝර්වික්ෂයර් වලට ආව ලියකියවිලි ඉස්සෙල්ලාම දැක්කේ ඔහු.. ඒවා ව්‍යාජ බව තහවුරු කලෙත් ඔහු.. ඒක සාධාරණ සැකයක් විතරයි සිම්රන්.. සමහරවිට මේ හොරකම කලේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්.."

" ඒත් කාගෙහරි ගැන සැකයක් තියන් ඉද්දී ඇත්ත අපරාධකාරයා අල්ලන්න ලෙසියි.. එහෙම නේද?"

" හරියට හරි සිම්රන්.. අපි වැඩ කරන්න ඕන අන්න ඒ විදිහටයි.."

හැකි ඉක්මනින් ලන්ඩන් බලා වාහනය පැදවූ එරිකෝගේ හිතේ අපරාධය විසදන්නට පැහැදිළි මඟක් නොවූවත් එක් හෝඬුවාවක් හෝ ලැබෙයි යන අරමුණ ඔහුගේ සිතෙහි විය.. කාලය අපතේ නොයවාම ලන්ඩන් පොලීසිය වෙත ආ ඔවුන් වෝල්ටර් හමුවීමට පැමිණියෝය..

" මං හිතනවා එරිකෝටවත් වැදගත් දෙයක් ලැබෙන්න ඇති කියලා.."

වෝල්ටර්ගේ කාර්යාලයේ අසුන් මත හිද ගනිමින් වෝර්වික්ෂයර් සිට රැගෙන ආ ව්‍යාජ ලියකිවිලි ඔහුට දෙමින් එරිකෝ ඔහුට වුවමනා කතාව පටන් ගත්තේය..

" මට දැන ගන්න ඕන ඇයි වෝල්ටර් මේවා පරීක්ෂා කරන්න ඒ තරම්ම උනන්දුවක් නොවුනේ කියලා?"

" මේවා ව්‍යාජයි කියලා අර මහාචාර්ය වරයා පැහැදිළිවම කියනවනේ.. අනික මේවා ගැන දන්න විශේෂ පරික්ෂක කණ්ඩායමක් අපි සූදානම් කර ගෙනයි ඉන්නේ.. ඒත් ඒකට ටිකක් කල් ගත වේවි.."

" නැහැ වෝල්ටර් මේ ගැන පරීක්ෂණයක් ඉක්මනටම කරන්න ඕන.. පරක්කු වීමෙන් අපිට මඟ හැරෙන්න මොනවගේ දෙයක්ද කියලා මම වෝල්ටර්ට කියන්න වුවමනා නැහැනේ.."

" හරි එරිකෝ.. මොනවද ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ?"

" මම කැමතියි වෝල්ටර් මේ ලියකියවිලි වල රසායනාගාර පරීක්ෂණයක් පවත්වනවනම්.. ඒ වගේම මේ ඇත්ත ලියකියවිලි ගැන අපිට මීට වඩා තොරතුරක් දෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න පුළුවන්නම් ඒක වඩාත් හොදයි.. ක්‍රිස්ටෝෆර්ව මෙතනදි අපිට සම්පූර්ණම විශ්වාස කරන්න අමාරුයි.."

" හරි එරිකෝ.. පරීක්ෂණයනම් ලේසියෙන්ම කරලා දෙන්න පුළුවන්.. ඒත් මේ ලියකියවිලි ගැන දන්න කෙනෙක් හොයා ගන්න එක තමයි අමාරු.. මොකද මේවා තිබුනේ රජ මාලිගාවේ නිසා ඒක ගැන දන්න අය අඩුයි.. අනික එහෙම කෙනෙක්ගෙන් විස්තර ගන්න වුනත් ඇත්ත හෙළි කරන්නත් අපිට බැහැනේ.."

" ඒකට ඉතින් පොලීසියේ උපායක් යොදන්න වෝල්ටර්.. තොරතුරක් ලැබුන ගමන් ඉක්මනට මාව දැනුවත් කරන්න.. මම ගෙදර ඉන්නවා.."

ලන්ඩන් පොලීසියෙන් නික්මුන් ඔවුන් අතර මග එතරම් කාලයක් ගත නොකරම නිවසට පැමිණියේය.. පැහැදිළි සාක්ෂි කිසිවකින් තොරව හබායන පරීක්ෂණයක වෙහෙස ඔවුන් දෙදෙනාටම හොදින්ම දැනෙන්නට විය..

" එරිකෝ, රසායනාගාර පරීක්ෂණයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද?"

" හරියටම කියන්න බැහැ සිම්රන්.. ඒත් මම හිතනවා අඩුම ගානේ ඒ ව්‍යාජ ලියකියවිලි හදපු පුද්ගලයා ගැනවත් මොකක් හරි හෝඩුවාවක් ලබා ගන්න පුළුවන් වේවි කියලා.."

" එතකොට ලියකියවිලි ගැන තොරතුරු දන්න කෙනෙක්?"

" ශේක්ෂ්පියර්ගේ මේ ලියකියවිලි ගැන අපි කවුරුවත්ම දන්නේ නැහැනේ.. අඩුම ගානේ අපි හොයන දේ ගැන මීට වඩා දැනන් ඉන්න ඕනනේ.. ඒත් මම හිතන්නේ නෑ අපිට ඒකට ඉඩක් ලැබෙයි කියලා.. ඒත් බලමු.."

පරීක්ෂණය ගැන කතා කිරීමට ඊට වඩා දෙයක් නොතොබුන් නිසාම තමන්ගේ කල්පනා වලට වැටුන් ඔවුන් සවස් යාමය පුරා බලාගෙන සිටියේ වෝල්ටර්ගෙන් පණිවිඩයක් ලැබෙන තුරුය.. සවස තේ පානය කිරීමෙනුත් පසුව වෝල්ටර්ගෙන් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි පණිවිඩය එරිකෝගේ ජංගම දුරකථනයට ලැබුන විගසම ලන්ඩන් පොලීසිය වෙත ආ එරිකෝත් සිම්රනුත් වෝල්ටර්ව මුණ ගැසුනේය..

" වෝල්ටර්, වැදගත් දෙයක් දැන ගන්න ලැබුනද?"

" හිතුව තරම්ම දෙයක් නම් හොයාගන්න බැරි උනා.. ඒත් ඒවා ව්‍යාජ බව නම් සහතිකයි.. ඒවායේ තිබුන තීන්ත අළුත්.. ලගදී මුද්‍රණයක් කරපු ඒවා කියලා හොදින්ම තේරුම් ගන්න පුළුවන්.."

" ඒවා සැකසුවේ කවුද කියන එක ගැන හෝඬුවාවක් හොයා ගන්න බැරි උනාද?"

" නැහැ එරිකෝ.. මොනවා වුනත් හැම දෙයක්ම සියුම්ව කරලා තියෙනවා.. පාවිච්චි කරපු කොල වලයි තීන්ත වල අළුත් බවයි නොවෙන්න වෙන කිසිම දෙයකින් ඒවා ව්‍යාජයි කියලා කියන්න අමාරුයි.."

" එහෙනම් ක්‍රිස්ටෝෆර් කියපු දේ ඇත්ත.. පුදුම මේ මනුස්සයා පියවි ඇසෙන්ම ඒ දේ දැක්ක එකනේ.. එතකොට මම කිවුව අනික් කාරණේ?"

" එරිකෝ වාසනාවන්තයි.. අපිට කෙනෙක් හම්බුනා.. තව ටිකකින් පොලීසියට ඒවි.."

වෝල්ටර්ගේ සතුටුදායක ආරංචිය කියා නිමවෙත්ම සාජන් වරයෙකු ඔහුගේ කාමරයට පැමිණියේ පුද්ගලයකුගේ රාජකාරි හැදුනුම් පතක්ද සමගිනි..

" ඔන්න අපිට තවත් වෙලා බලාගෙන ඉන්න වුවමනාවක් නැහැ එරිකෝ.. එයාට එන්න කියන්න සාජන්.."

සාජන් වරයා පිටවගොස් විනාඩියක්වත් ගෙවෙන්නට කලින් ඔවුන් සිටි කාර්යාලයට අමුත්තා පැමිනෙත්ම හැමෝම ඒ දෙස බැලීය..

" අරියානා. ඔයා? පුදුමසහගත හමුවීමක්.."

වෝල්ටර්ගේ කාර්යාලයට ඇතුළු වුන ඇය එරිකෝ පෞද්ගලිකවම දැන හදුනන කෙනෙකු බව අනික් අයට තේරුම් යන්නට එතරම්ම කාලයක් ගත නොවීය..

" එරිකෝ, ඔබව අද මේ විදිහට හමුවෙයි කියලා බලාපොරොත්තු වුනේම නෑ.."

" ඒක හරි.. ඒත් මේ අපි බලාපොරොත්තු වුන කෙනාමද වෝල්ටර්?"

" අපේ අන්තිම හමුවට පස්සේ හුඟක් දේවල් වෙනස් වෙලා එරිකෝ.. කාලෙකට කලින් මම ලියපු වාර්ථාවක් ගැන මේ පොලීසියේ මහත්මයට මගෙන් ප්‍රශ්ණ කරන්න ඕන කියලා කියන්නේ.. මට හිතා ගන්න බැරි ශේක්ෂ්පියර්ගේ පරණ ලියුම් ටිකක් ගැන මගෙන් මොනවද අහන්න තියෙන්නේ කියලා.."

" වාර්ථාවක්?"

" මම හැම දෙයක්ම විස්තර කරන්නම් එරිකෝ.."

තම මේසයේ පුටුවට බර වී හිදි වෝල්ටර් ඉන් නැගිට ඔවුන් සිටි තැනට හෙමින් එමින් කරුණු පැහැදිළි කරන්නට විය..

" මිස් අරියානා තවමත් එතරම්ම ජනප්‍රිය නොවුන නිදහස් මාද්‍යවේදිනියක්.. එරිකෝ මට කිවුවනේ ශේක්ෂ්පියර්ගේ ලිපි ගැන හොදට දන්න කෙනෙක් හොයලා දෙන්න කියලා.. ඉතින් මම හිතන්නේ මේ ඒකට සුදුසුම කෙනා කියලා.. මොකද අවුරුද්දකට විතර කලින් මේ මිස් අරියානා ඒ ගැන හොද වාර්ථාවක් ලියලා තියෙනවා.."

" මොනවා වුනත් දැන් මට එක දෙයක් පැහැදිළි.. මෙතන පොලීසියයි මගේ මිත්‍ර රහස් පරීක්ෂකයයි එකට ඉන්නවා කියන්නේ පොලීසිය මාව මෙතනට ගෙන්නුවට වැඩිය ලොකු දෙයක් තියෙනවා කියන එක.."

" ඒ කියන්නේ අරියානාට තවම පරණ විදිහටම හොදට ඉව තියෙනවා කියන එක.. වෝල්ටර්, අරියානා ගැන අවිස්වාස කරන්න තරම් හේතුවක් නැහැ.. ඒ නිසා හැම දෙයක්ම ඇයට කියලා ඉන්න එක අපි හැමෝටම පහසුවක් වේවි.."

වෝල්ටර් හිස සෙලවීය.. එරිකෝ තමන් නියැලෙමින් වුන් පරීක්ෂණය ගැන සෑම දෙයක්ම එකින් එක අරියානාට පැවසීය.. ඇයද එරිකෝට කිසිම බාදාවක් නොකර නිදහසේ ඔහු පැවසූ සෑම දෙයක්ම බොහොම වුවමනාවෙන් අසාගෙන සිටියාය..

" එරිකෝ, පත්තරේට මේ ගැන ලිවුවනම් විදුලි වේගයෙන් ජනප්‍රිය වෙන පුවතක් මේක.. ඒත් ඔයාගේ විශ්වාසය රකින නිසා මම එහෙම දෙයක් කරන්නේ නෑ.. හරි මගෙන් මොනවද කෙරෙන්න ඕන?"

" ශේක්ෂ්පියර්ගේ මේ ලිපි එකක්වත් අපි කවුරුවත්ම දැකලා නෑ.. වෝර්වික්ෂයර් කෞතුකාගාරය බාරව ඉන්න ක්‍රිස්ටෝෆර්ව අපිට විශ්වාස කරන්න අමාරුයි.. ඒ නිසා ඒ දේවල් ගැන හැම තොරතුරක්ම මම අරියානාගෙන් දැන ගන්න කැමතියි.."

" බැරි නැහැ එරිකෝ.. පොලීසියෙන් මගෙන් ඒ ගැන විස්තර අහපු නිසා මම මගේ ලිපියට ඇතුලත් කර ගත්ත වාර්ථා ඔක්කොම අරගෙන ආවා.. මම ලිපියට පල නොකරපු කරුණුත් ඔතන ඇති.. මෙතන වැදගත්ම දේ තමයි එරිකෝ ඔය ලිපි වල කිසිම විදිහක ව්‍යාජ මුද්‍රණ එකක් වත් නෑ.. අඩුම තරමින් වෙන රටක කෞතුකාගාරයක නාමිකව තියන්නවත් සකසපු මුද්‍රණයක් නැහැ.. ඒ නිසා ලෝකේ කොහේ තිබුනත් අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ මුල් ලිපියම තමයි.. ඒ හන්දා මම ඒ ගැන හොයපු කරුණු එරිකෝට වැදගත් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.."

" ඒ ගැන දන ගත්තු එකනම් ගොඩක් වැදගත් අරියානා.. ඒත් අපි දන්නේ නැහැනේ දැන් මේ ව්‍යාජ ලිපි හදපු මනුස්සයා ඒ වගේ ලිපි කීයක් හැදුවද කියන එක.."

" කවුද ඒ ව්‍යාජ ලිපි හැදුවේ කියලා හොයා ගත්තද?"

" නැහැ.. ඒ ගැන හොයා ගන්න කිසිම හෝඩුවාවක් නොතියයි ඒක කරලා තියෙන්නේ.."

" හ්ම්ම්.. එහෙනම් එරිකෝට, ෆ්‍රැන්චෙස්කෝ මුරේ ව මුණ ගැහෙන්න වෙනවා.."

" ඒ කවුද?"

ඇය කිසිවක් නොකියා මොහොතක් සිනාසුනාය..

" ෆ්‍රැන්චෙස්කෝ තමයි ව්‍යාජ ලියකියවිලි හදන්න මුළු එංගලන්තයටම ඉන්න දක්ශයා.. ඔය කියන විදිහට කිසිම විදිහක හෝඩුවාවක් නැති වෙන්න වැඩක් කරන්න පුළුවන් එයාටම විතරයි.."

" ෆ්‍රැන්චෙස්කෝ මුරේ.. පොලීසියේ කවදාවත් සදහනක් වෙලා නැති නමක් නේ.."

මොහොතක් කල්පනා කරමින් වුන් වෝල්ටර් සෙමින් මිමිණිය.. එයට අරියානාගේ මුහුණේ මැවුනේ උපහාසාත්මක සිනහවක්ය..

" පොලීසියවත්, මේ දක්ෂ රහස් පරීක්ෂක මහත්තුරුවත් නොදන්න සමහරක් දේවල් මාද්‍යවේදියෝ දන්න බව අමතක කරන්න එපා.. මම හිතන්නේ එරිකෝ එයාව මුණ ගැහුනොත් හොදයි.. හැබැයි කෙලින්ම කාරණේ කියන්නවත්, මේ ලස්සන පොලීසියේ මහත්තයවත් එක්කන් යන්න එපා.. එහෙම වුනොත් ෆ්‍රැන්චෙස්කෝට කිට්ටු වෙන එක එරිකෝට අමාරු වේවි.."

" එහෙනම් අරියානාට පුළුවන්නේ අපිට මේකට උදවුවෙන්න?"

" වෝල්ටර් මගෙන් මේ ඉල්ලීම කරානම් මම ප්‍රතික්ෂේප කරනවා.. ඒත් මගේ මිත්‍රයාගේ ඉල්ලීමට මට බැහැ කියන්න බැරි නිසා මම උදවු වෙන්නම්.."

" හරි, දැන් කොහේද ඔය ෆ්‍රැන්චෙස්කෝ ඉන්නේ?"

" හරි මං යන ගමන් කියන්නම්.. ඒ ගමන් පෞද්ගලික දේවලුත් කතාකරන්න තියෙනවනේ.."

වෝල්ටර්ගේ කාර්යාලයෙන් සමුගත් ඔවුන් පොලීසියෙන් නික්ම රථගාල වෙත පැමිනෙමින් සිටියෝය..

" ලස්සන පොලිස් මහත්මයා? ඇත්තටමද කිවුවේ.."

එරිකෝ රහසින් මෙන් සිම්රන්ට නොඇසෙනෙ සේ අරියානාට මිමිණුවේය..

" පොඩි ගතියක් තියෙනවා.. ඒකයි.. කවුද මේ ලස්සන කෙල්ල? අදුන්නලා දෙන්නේ නැද්ද?"

" අපිට ඒකට ඕන තරම් වෙලාව තියෙනවනේ.."





 මතු සම්බණ්දයි...





32 comments:

  1. පොලීසිය කොහොමත් දේවල් දන්නේ නැහැ දිනේෂ්..... පේන්නැද්ද වෙන දේවල්.....


    කතාව නං සුපිරියි...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් ඉතින් මොන කතාද මචං.

      Delete
  2. ලස්සන දිනේශ් මහත්තයෝ මට නං කම්මැලියි බං.. හැක්..

    ReplyDelete
    Replies
    1. අපෝ මෙහෙමත් කම්මැලියෝ ටිකක් නේ අපිට සෙට් වෙලා ඉන්නේ ඉතින්.

      Delete
  3. ලස්සන කතාවක් මචන්..

    ReplyDelete
    Replies
    1. දිගටම කියවමු.

      Delete
  4. මේ වගේ කථා කියන්න උඹ සූරයා කියලා දන්නවා අපි...

    ReplyDelete
    Replies
    1. සිරා අයියා කාලෙකින් මේ පැත්තේ.
      කතාව ලියනවාට වැඩිය අමාරුයි නේ කට්ටියට මේක ලං කරන එක.

      Delete
  5. " පොඩි ගතියක් තියෙනවා.. ඒකයි.. කවුද මේ ලස්සන කෙල්ල? අදුන්නලා දෙන්නේ නැද්ද?"

    " අපිට ඒකට ඕන තරම් වෙලාව තියෙනවනේ.."


    ඒක තමා නරක නේ....


    ලස්සනයි දිනේෂ්

    සබරේ.....

    ReplyDelete
    Replies
    1. හෙහ්, අර මොකෝ නරක?

      Delete
  6. ලස්සන පොලිස් මහත්මයා අරක්කු ඉල්ලුවේ නැතිද?

    ReplyDelete
    Replies
    1. හෙහ්, මේ ලංකාව නෙමෙයි නේ බං.

      Delete
  7. කෙල්ලො දෙන්නෙක්ම සැට් උනා කියන්නෙ වැඩේ කිරිමේල් වෙන්න ලඟයි ඔන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා, මොනා වෙයිද කියලා කවුද දන්නේ.

      Delete
  8. කතාව මරු...ඊලග එකත් ඉක්මනට දාන්න...

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම්.

      Delete
  9. අනිත් කොටසත් පලවෙනකම් බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. සඳුදාට දෙන්නම්.

      Delete
  10. දිනේෂ් අය්යේ කතාව ලස්සනයි. කොටස් විදිහට දිගට යන නිසා කතාව ඉවරවෙද්දි පොඩි කුතුහලයක් ඉතිරිකරලා නැවත්තුවන්ම් හොඳයි කියල හිතුන.එතකොට ඊළඟ කොටස කියවන්න උනන්දුව වැඩිනේ ;)

    ReplyDelete
    Replies
    1. මහා ගොඩක් කොටස් නෑ මේකේ.

      Delete
  11. දිග කතාවක් වගේ.. එන්නම්කෝ බලන්න මමත්. මේ පැත්තේ කලින් ආවා වගේ මතකයක් තියනවා ෆෝන් එකෙන්. ඒ ෆෝන් එක නැති උනහම ගොඩක් බ්ලොග් මිස් උනා එකෙන් ෆලෝ කරපු.

    ReplyDelete
    Replies
    1. කලින් ඇවිත් තියෙනවා නේන්නම්.

      Delete
  12. උඹ මේ එරිකෝ කතා මාලාවක් කලිනුත් ලිව්වා නේද? මේ රහස් පරීක්ෂකයා ගැන ඇත්තටම ලියවුණු පොත් තියෙනවද? සර්ච් කලාට අහුවුණේ නැති නිසා ඇහුවෙ.
    උඹේ බටහරි ආරෙ කතා ශෛලිය ඉතිං ආයි කියන්න ඕනි නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බොල සර්ච් කරාට ඉතින් අහු වෙන්න විදිහක් නැහැනේ. මොකද එරිකෝ කියන්නෙ මගේ නිර්මාණයක්. දවසක ඒක පොතක් වෙලා එලියට එනවා දකින්න තමයි මාත් බලාගෙන ඉන්නේ.

      2013දි මන් මේක පටන් ගත්තේ. මේ ලියන්නේ පස් වෙනි කතාව.

      Delete
  13. අම්මෝ දිග මේකේ...මතු සම්බන්ධයි කියලත් තියෙනවා...
    කොහොම උනත් කතාව මරු...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, පොඩ්ඩක් දිගට ලියවෙන ඒවත් ඉදලා හිටලා හරි කියවපං.

      Delete
  14. erico ayemath! patta!! waiting for the next episode. :)

    ReplyDelete
    Replies
    1. දුප් යන්න. උඹ කලින් එක කියෙවුවෙත් නෑ.

      Delete
  15. එරිකොගේ කනට කර සිම්රන් "කවුද මේ ගෑණි"
    එරිකෝ : පොඩ්ඩක් ඉන්න සිම්රන් මම ඔයාට සේරම විස්තර කියන්නම්
    සිම්රන් තරහින් අහක බලා ගනී.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙම වේවි කියලද අයියා හිතන්නේ.
      බලමු බලමු.

      Delete
  16. මට හිතෙනවා වොට්සන් අපි දැන් යල් පැනපු රහස් පරීක්ෂකයෝද කියලත්..

    ඇයි හෝම්ස් එහෙම කියන්නේ.. අපිට ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකටත් අල්ලන්න බැරි හොරකම් කොයිතරම්නම් අල්ලලා දීල තියෙනවද..

    වොට්සන්ට තේරෙන්නේ නැද්ද අපි කොයිතරම් දක්ෂ උනත් අද කාලේ මාර්කටින් නැතුව පවතින්න බැහැ කියල ..දැන් බලන්න ඔය එරිකෝ කියන හාදය ගැන.. මිනිහ ගාව ඉන්න ඔය සිම්රන් කියන ඉංදියන් දැරිවි හින්දනේ වෝල්ටර්ල බේකර් වීදියට නෑවිත් එරිකෝ පස්සේ දුවන්නේ..

    ඒකෙනම් ඇත්තක් නැත්තේම නැහැ හෝම්ස්.. දැන් අපි මොකද මේකට කරන්නේ..

    පයිපය දල්වාගත් හෝම්ස් මද වෙලාවක් කල්පනාවේ නිග්මන්ව සිටියෙන් වොට්සන් එතැනින් එහාට හෝම්ස්ව වෙහෙසවන්නට උත්සහ කලේ නැහැ..

    හ්ම්..

    ඇයි හෝම්ස් .. මොකක් හරි අදහසක් ආවද..

    අදහසක් නම් ආව වොට්සන්.. එත් මේක ක්‍රියාත්මක කරන්න වොට්සන් ඒ තරම් කැමති වේවිද දන්නේ නැහැ..

    කියන්නකෝ බලන්න හෝම්ස්..

    අපිත් ලස්සන ඇහැට කනට පේන තරුණ ගැහැණු ළමයෙක් අපි ගාව වැඩට ගමු..එත් එක්කම හොඳ ඇහැට කනට පේන ලෑන්ඩ් ලෝර්ඩ් කෙනෙක් ඉන්න වාසස්ථානයක් හොයාගෙන අපිට යන්න වෙනවා වොට්සන්.. මේ නාකි හඩ්සන් ගෑනිව දැක්කාම එන මනුස්සයත් මෙතනට නෑවිත් අරිනවා..

    හොඳයි හෝම්ස්.. මම හොයල බලන්නම්කෝ කව්ද මේ වැඩේට ගැලපෙන්නේ කියල..

    අපිට තව පොඩී අවස්තාවක් තියනවා ඔය එරිකෝ කියන හාදයව බිම දාන්න..

    ඒ මොකක්ද හෝම්ස්..

    දැන් ඔය පරීක්ෂනේට සම්භන්ධවෙලා ඉන්න පත්තර කාරියි ඔය සිම්රන් කියන ඉංදියන් කෙල්ලයි පැටලුවනම් එරිකෝ කියන හාදයට පරීක්ෂණ කරන්න වෙලාවක් නැතුව යනවා ..

    ඔබනම් පුදුම දක්ෂයෙක් හෝම්ස්..

    ඔබ බලන්නකෝ මම කිව්වා කාරණය ගැන.. මම ඒ අතරේ හිතන්නම් පත්තර කාරියි සිම්රන් කෙල්ලවයි පටලවන්න ක්‍රමයක් ගැන.. වොට්සන් දැම්මම පිටත් උනොත් හොඳයි අපේ සහයිකාව හොයන්න.. ආ ... තව දෙයක්... වොට්සන් දැන් පහලට යනගමන් හඩ්සන් මහත්මියට කියාගෙන යන්න මට දුම් දාන කොපි කෝප්පයක් ලැබුනොත් අනර්ගයි කියල..

    ඔන්න දිනේෂ් අපිත් ලස්සන කෙල්ලෙක් හයර් කරන්නයි යන්නේ..මම හෝම්ස්ගේ පැත්තේ හොඳේ....හැක් ..
    දිනේෂ්ගේ කතාවේ අපිට කව්රුත් ගැන සැකයක් හිතන්න කිසිම අවස්තාවක් නැහැ.. ඒ තමයි රහස් පරීක්ෂණ කතා රචනයේ විශිෂ්ඨ හැකියාව.. තුන්වෙනි කොටසත් ඉක්මනින් දාමු..




    ReplyDelete
    Replies
    1. බොල මෙහෙම කමෙන්ට් දාද්ද ලියන්නත් ආස හිතෙනවා.

      හෙහ්, හැබැයි මම හිතුවේ නෑ හෝම්ස් මහත්තයා මෙහෙම මෙතර්ඩ් එකක් ෆලෝ කරයි කියලා.
      දැන් ඔය ලස්සන කෙල්ලෙක් අර ගන්න හදන්නේ ක්ලයන්ට් කෙනෙක් ආවම ඒ කතාව ටයිපිං කරන්න වෙන්න ඇති නේ?

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්