Monday, 28 December 2015

සාදය



මම හිටියේ සාදයක. ඒ මුහුණු හැම එකක්ම වගේ මට නුහුරු නුපුරුදු ඒවා වුනත් ඒ සාදය අතර  මාත් තව අමුත්තෙක් වෙලා හිටියා. හැමෝම ගැන උනන්දුවක් මගේ හිතේ තිබුනත් ඒ කාටවත් මං ගැන උනන්දුවක් තිබුනේ නෑ. හරියට ඔවුන් හිටියේ මම එතන නැති ගානට.

මගේ අතේ තිබුනේ වයින් වීදුරුවක්. මේ සාදයට මම අමුත්තෙක් වුන හැටි ගැන මම කල්පනා කලා. මේ පරිසරය මට හුරු එකක් නොවුනත් එය බොහෝ ධනවත් වටපිටාවක් වුනා. මම මෙතනට ආවේ කොහොමද? කවුද මට අරාධනා කලේ? මම මගේ හිතත් එක්ක ලොකු කතා බහක නියැලුනා.

කවුරුවත්ම අඳුනන්නේ නැති සාදයක අතරමං වෙලා වගේ හැඟීමක් මගේ හිතට දැනුනා. ඒත් එහෙම වෙන්න බෑ. මම අඳුරන කවුරු හරිම ඉන්න ඕන. ඒත් ඒ කවුද?

මම සාදය තිබුන ගෙවත්තේ මිනිසුන් අතරින් ඇවිදන් ගියා. ඒ විශාල ගෙවත්ත පිරෙන්න තරමටම මිනිසුන් එහි රැදිලා හිටියා. පසෙකින් තිබුන නාන තටාකය දෙසට මගේ හිත යොමු වුනේ ඉබේටම වගේ. එතන රැදිලා හිටියේ තරුණ වයසේ අය. එතනින් කෙනෙක් වත් මාව අඳුනනවා ඇතියි කියන බලාපොරොත්තුවෙන් මම එතනට ලං වුනා.

ඒ හැමෝම හිටියේ ඔවුන්ගේ ලෝක වල. මධුවිත ඔවුන්ගේ ලෝක වලට පාර කපලා තිබුනා. ඒ යෞවන මුහුණු අතරේ මම කෙනෙක්ව හෙවුවා. මම දැන හඳූනන කෙනෙක්ව. නාන තටාකය තුල අඩ නිරුවත් තරුණියන් පෙම් සුව විදිමින් හිටියා. මම ඔවුන් දිහා යාන්තමින් බලාගෙන ගිහින් වාඩි වුනේ ඒ අසලම තිබුන බංකුවක.

සාදයේ දෙවිදිහක සංගීතයක් වාදනය වුනා. නාන තටාකය අසල තාරුණයට රළු සංගීතයත්, ගෙවත්තේ එකතු වෙලා හිටිය වැඩිහිටියයන්ට ක්ලැසික් සංගීතයකුත් වාදනය වන හැටි මම නිස්කලංකව ඇහුම් කන් දුන්නා. ඒත් මම හිටියේ සංගීත රසය විඳිනවාට වැඩිය විසදගන්න බැරි ප්‍රශ්ණේක ගිලෙන ගමන්.

මේ නුපුරුදු වටපිටාවට මම ආවේ කොහොමද? මම පුළුවන් තරම් මගේ මතක තුල කිමිදෙන්න උත්සාහ කලා. ඒ තරම් මත් බවක් මට නොදැනුනා වුනත් මට මගේ මතකය එක්ක කතා කරන එක හිතන තරම් ලේසි දෙයක් වුනේ නෑ. අසාර්ථක වුන උත්සාහයට පස්සේ අතේ ඉතුරු වෙලා තිබුන වයින් වීදුරුව හිස් කරපු මම නාන තටාකය දිහා බලාගෙන හිටියා.

අඩි කීපපයක් උසකින් හැදුන තැනකින් තරුණයින් නාන තටාකයට පනිමින් හිටියා. ඒ කිමිදුමෙන් පස්සේ ඔවුන් ආයෙමත් කලේ ඒ අඩි කිහිපයේ උසින් නාන තටාකයට පනින එක. කිසිම තේරුමක් නැතුව උනත් මම ඒ දිහා බලාගෙන හිටියා. සිව් දෙනෙක් දිගින් දිගටම ඒ දේ කලා.

එයින් එක අයකුට මගේ අවදානය යොමු වුනේ අහම්බෙන් වගේ. අනිත් හැමෝම ඔහු දෙස අවදානයෙන් ඉන්න බව ඉබේටම වගේ මට තේරුම් ගියා. ඔහුත් එක්ක දියට පනින අනික් තිදෙනා ඇරුනම නාන තටාකය තුල හිටිය අයත් ඔහු දිහා හිටියේ මටත් වඩා අවදානයකින්. ඔවුනොවුන් එකිනෙකා අතර ඇස් වලින් කතා කරමින් හිටියා.

ඉස්සෙල්ලම දියට පැන්නේ ඔහුත් එක්ක හිටිය සඟයෙක්. කලින් වතාවට වැඩි වෙලාවක් ඔහු නාන තටාකය තුල ඉද්දී හැමෝමගෙන අවදානය යොමු වෙලා හිටි තරුණයා දියට පැන්නා. නාන තටාකය තුල ඔහු පිහිනන්නට සැරසෙත්ම ඒ තුල වූ ඔහුගේ සඟයා ඔහුගේ දෙපා වලින් ඔහුව ග්‍රහණයට ගත්තා.

මෙය ඔවුන් විනෝදයට කරන දෙයක් වෙන්න ඇති කියලා හිතන්න මගේ හිත පෙළඹුනත් එය වෙනස් වුනේ ඔහු තම සඟයාගෙන් ගැලවෙන්න උත්සාහ කරද්දී. මම වාඩි වෙලා හිටිය බංකුවෙන් නැගිට්ටා. ඒ එක්කම වගේ දියට පැන්නේ ඔහුගේ තවත් සඟයෙක්. අඩි කීපයක උඩක ඉදන් දියට පැන්න ඔහුගේ සම්පූර්ණ ශක්තියෙන්ම පහරක් එල්ල වුනේ අනිකාගෙන් ගැලවෙල්ල උත්සාහ කරමින් සිටි ඔහුගේ හිසට.  තව මිනිත්තු කීපයක් යන්න කලින් තවත් එවැනිම පහරක් ඔහුගේ හිසට එල්ල වුනේ දියට පැන්න ඔහුගේ අනික් සඟයාගෙන්.

ඊලග තත්පර කීපයෙදි ඔහුගේ සිරුර නිසළ වෙලා තිබුනා. නාන තටාකය තුල ඔහුව අල්ලාගෙන හිටිය මිතුරා මුදා හැරියේ ඔහුගේ මළ සිරුර කියලා මට හොදටම විශ්වාසයි. මට ඇරෙන්න ඒ සිද්ද වුන දේ එතන හිටිය කිසිම කෙනෙක්ට අමුත්තක් වුනේ නෑ. ඔවුන් හැම කෙනෙක්ගෙන්ම දිස් වුනේ ජයග්‍රාහී සතුටක හැඟීමක්. 

මම මගේ කුතුහලය ඔවුන්ට නොපෙන්නා ඉන්න උත්සාහ කලා. මම අයෙම ඇවිත් වාඩි වුනේ මම කලින් වාඩි වෙලා හිටිය බංකුවෙමයි. ඒ ලගම තිබුන වයින් වීදුරු දෙකක් එක හුස්මට බීලා දාලා ඉවර කරද්දී ඔවුන් ඔහුගේ මළ සිරුර පිටුපස කාමරයකට ගෙන ගිහිනුත් හමාරයි. දැන් හැම දෙයක්ම කලින් තිබුනා වගේමයි. සාදය, විනෝදය, සංගීතය, මත් බව, සරාගී තාරුණ්‍ය මොකක් හරි රහසක් වසන් කරනවා කියලා මගේ හිතට දැනුනා.

ටික වෙලාවක් ගෙවිලා ගියා. මම හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව. මෙතනින් පැනලා යන්න ඕන කමක් හිතට සැරින් සැරේ ආවත් එක පාරම එහෙම දෙයක් කරන්න බැරි කමට මම ඒ බංකුවෙම වාඩි වෙලා හිටියා. ඒ අතරේ තව වයින් වීදුරු කීයක් මගේ අතින් හිස් උනාද කියන්න මම දන්නේ නෑ. ඒත්, ඒ එකකින් වත් මත් බවක් මට ලැබුනේ නැහැ.

" මට ඔයා එක්ක දෙයක් කතා කරන්න ඕන."

හදිසියේම මගේ ලගට ආව ඇය හෙමීට කතා කරන්න ගත්තේ මගේ දිහාට නැඹූරු වෙන ගමන්. මම එක පාරම බැළුවේ ඇය දිහා. ඒ අඩුම ගානේ ඇයවවත් මම අඳූනනවද කියලා දැන ගන්න.

" මම දැන් හුඟක් වෙලාවක ඉදන් මගේ තාත්තවයි සහෝදරයවයි හොයන්නේ. එයාලා මේ කොහේවත් නැහැ. ඒක මහ පුදුම දෙයක්. මට මහ අමුත්තක් දැනෙනවා."

ඒ අමුත්ත ඇයට වඩා තදින් මට දැනෙන බව කියාගන්න ඕන වුනත් මට පුළුවන් වුනේ නෑ. ඇයත් මට ආගන්තුකයි. ඒත් ඒ කතාබහෙන් හැසිරීමෙන් මේ සාදය තියෙන්නේ ඇගේ ගෙදර කියලා හිතා ගන්න පුළුවන් කමක් මට තිබුනා.

" මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕන. මට ඔයා ඇරෙන්න වෙන කවුරුවත් මේ වෙලාවේ විශ්වාස කරන්න බැහැ. අපේ පල්ලෙහා තට්ටුවේ තියෙන ස්ටෝරු කාමරේට ඔයා එන්න. මම බලාගෙන ඉන්නවා."

ඇය මගේ ලඟින් ඈත් වෙලා ගියේ බොහොම කලබලයකින්. මම තවමත් මතක් කර ගන්න උත්සාහ කලේ ඇය කවුද කියන්න. ඒ මුහුණේ, ඒ කතාබහේ යන්තම් හුරුවක් තිබුනත් මට ඇයව මතක් කර ගන්න පුළුවන් වුනේ නෑ. මම ඇය යන දිහා බලාගෙන හිටියා.

නාන තටාකය පහු කරන් යද්දී ඇය වෙතට දුවන් ආවේ කලින් මම දැක්ක සඟයන්ගෙන් එක්කෙනෙක්. ඔවුන් අතර කතාබහ බොහෝම කෙටි එකක් වුනා. ඇය යන දිහා ඔහු බොහෝම උනන්දුවෙන් බලාගෙන හිටියා. ඔවුන් යහළුවෝද? කලින් මිනීමරුම මම දැක්ක බව ඔවුන් දන්නවද? මටත් ඔවුන් කරන්න හදන්නේ ඒ දේමද? මම ඔවුන් දිහා බලාගෙන ඉන්න අතරේ කල්පනා කලා.

ඇය ඇවිදන් යන දිහා මම වගේ ඔවුනුත් බොහොම ඕන කමින් බලාගෙන හිටියා. මට මොහොතකට කලින් හිතුන දේ වැරදි නම්. මතක් වුනේ ඇය කිවුව දේවල්. ඇය හොයන සහෝදරයා මේ වෙද්දිත් මිය ගිහින් කියලා ඇයට කියන්න තිබුනනම් කියලා මට හිතුනා. ඒත් ඔහු ඇගේ සහෝදරයාද කියලවත් මම හරිහැටි දන්නේ නෑ. එකම දේ ඇයව හමුවෙලා කතා කරන එක. මම පරක්කු වුනොත් ඇගේ ජීවිතේ උනත් අනතුරේ වැටෙන්න වැඩ් වෙලාවක් යන එකක් නැහැ.

මම ඇය ගිය පැත්තට ඇවිදන් ගියා. නුහුරු නුපුරුදු තැනක ඇය කිවුව තැන හොයා ගන්න එක ඒ තරම්ම ලේසි දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් ඇය මට එන්න කිවුවේ මේ තැන් ගැන මම හොදාකාරවම දන්න නිසාද? හිතට සැරින් සැරේ ආවේ උත්තර නැති ප්‍රශ්ණ ගොඩක්.

තරප්පු පෙලක් බැහැගෙන මම ආවේ ටිකක් අඳූරු කාමරයකට. විදුළි පහනක් දැල් වුනත් ඒක ඒ තරම්ම ප්‍රමාණවත් ආලෝකයක් නෙමෙයි. කාමරය පුරාවට අසුරලා තිබුනේ නොයෙක් වර්ගයේ වයින්. මම ඒ අතරින් ඇවිදගෙන ගියා. කවුරු හරි කතා කරන සිහින් කට හඬක් මට ඇහුනා.  මම ඒ දිහාවට හැරුණා.

යන්තම් අඳුරු මුල්ලක ඇය ඔහුට නතු වෙලා හිටියා. ඔහුගේ අතේ තිබුනේ තියුණු පිහියක්. කොයිම වෙලාවක හරි ඒකෙන් ඔහු, ඔහුගේ අරමුණ ඉටු කර ගන්නවා කියලා මට දැනුනා.

" උඹලා මෙහෙම කරන්න හේතුව විතරක් මට කියපං."

ඔහු ඇයට තදින් කියා හිටියා. ඒක හරියට අවසාන ඉල්ලීමක් වගේ. ඒත් ඔහු ඒකට පිළිතුරක් දුන්නේ නෑ. ඔවුන්ට නොදැනෙන්න මම ඔවුන් ලගටම ලං වෙලා හිටියා. මගේ අතට අහුවුවේ වයින් බෝතලයක්. මම ඒකෙන් ඔහුගේ හිසට පහරක් එල්ල කලා. ඒක මරු පහරක් නොවුන නිසාම ඔහු මං දිහාට ආවේගයෙන් හැරෙන්න උත්සාහ කලා. තව වරක් නොසිතාම ඔහුගේ හිස ඒ අසලම තිබුන යකඩ කණුවේ අනින්න මට පුළුවන් වුනා. තව වරක්. තව දෙතුන් වරක්ම.

කැබලි වී ගිය ඔහුගේ හිසෙන් ලේ දාරාවල් ගලන්න වුනා. තව දුරටත් ඔහුගේ ජීවිතය රැදිලා තිබුනේ නෑ කියලා මට හොදටම විශ්වාසයි. මම හැරුණේ ඇය දිහාවට. ඉක්මනින් ඇවිත් ඇය මාව වැළදගත්තා.

" අපි මෙතනින් බේරිලා යන්න ඕන. උන් ඔක්කොම හදන්නේ අපිව මරන්න."

ඇය එක දිගට කියාගෙන ගියා. මට ඇගෙන් අහන්න, දැන ගන්න හුඟක් දේවල් තිබුනත් මම නිරුත්තර වෙලා හිටියා. 



***

මේක කෙටි කතාවක් එහෙම නෙමෙයි ඔන්න. සතියකට විතර උඩදි දැක්ක හීනයක්. මේ වගේ තේරුමක් නැත් හීන මොන එකකට පේනවද මන්දා. හැබැයි ඒ කොහොම උනත් හීනේ නම් මරු. මේක මෙහෙම හරි අමතක වෙන්න කලින් ලියලා දැම්මේ මේක පස්සේ හොද කතාවක් කරන්න පුළුවන් තරමේ සිද්දීයක් නිසා.

ප්‍රශ්ණය ; සමහර හීන වලදි අපි කොච්චර කතා කරන්න උත්සාහ කලත් කතා කර ගන්න බැරි වෙන්නේ ඇයි?




Tuesday, 8 December 2015

අහඹුව



හිතට දැනුන ගැස්ම මොහොතකටවත් අඩු වෙලා තිබුනේ නෑ. කලබලයෙන් බිම වාඩි උන මම බිත්තියට හේත්තු වෙලා ටික වේලාවක් හැමදේම අමතක කරන්න උත්සාහ කලත් මට ඒක කර ගන්න බැරි උනා. මම ඇස් පියා ගත්තා. ඒ හැම දෙයක්ම අමතක කරන බලාපොරොත්තුවෙන්. ඒත් මගේ වටේ ඉන්න අයගේ කෑ ගැහිල්ලත් කලබලයත් නිසා මට ඒක කරන්න පුළුවන් කමක් නෑ. මම ආයෙම ඇස් ඇරියා.

භයෙන් තැති ගත්ත ඇස් වල හුඟක් දේවල් ලියවිලා තිබුනා. හරියට තමන්ගේ අවසාන විනාඩි කීපය ගත කරනවා වගේ හැඟීමක්. මම ඒ දිහා නොබලා ඉන්න උත්සාහ කලත් ඔවුනුත් මා තුලින් ඒ හැඟීමම දකිනවා ඇති කියලා මගේ හිතට කල්පනා උනා. ආරක්ෂිතයි කියලා හිතන්න පුළුවන් තැනක් නොවුනත් සිමෙන්ති බැම්මට එහායින් බිම වාඩි වෙලා බැම්මට හේත්තු උනේ වෙන කරන්න දෙයක් නොතිබුන හන්දා.

විනාඩි කීපයක් ගෙවිලා යන්න ඇති. හැම දෙයක්ම යටපත් කරගෙන ඇහුන සැර පරුෂ හඬ අතරේ අවට නිහැඬියාවකින් වෙලා ගත්තත් හිත හැම දේකටම වඩා හයියෙන් කෑ ගහලා කිවුවේ මෙතනින් පැනලා යන්න. ඒත් ඒක මට විතරක් නෙමෙයි, මේ ශාලාව ඇතුලේ හිර වෙලා ඉන්න කාටවත්ම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අනිත් අය කෙසේ වෙතත් මගේ හිතට නම් තදින්ම දැනුනා.

කළු ආවරණ වලින් මුහුණ වසා ගත්ත කිහිප දෙනා ශාලාව එහා මෙහා වේගයෙන් ඇවිදන් ගියේ පිටවීම් දොරවල් ගැන හොදින් සැලකිළිමත් වෙන්න කියන එක මගේ හිතට හොදටම විශ්වාසයි. ඔවුන් දිහා එක එල්ලේ බලන්නවත්, ඔවුන් කරන්නේ මොකද්ද කියන එක ගැන සැලකිල්ලක් දක්වන්නවත් පුළුවන් තරම් මානසිකත්වයක නොහිටියත් ඔවුන්ගේ අරමුණ තේරුම් ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නෙමෙයි.

නමින් නොදන්නා කළු දිගු තුවක්කු ඔවුන් හැමෝම දිහාවට එල්ල කලේ කිසිම හැඟීමකින් තොරව. වාසනාවකට වගේ ඒවා ක්‍රියාත්මක කරන්න තරම් වුවමනාවක් ඔවුන්ට තිබුනේ නෑ. සමහර විට දැනට එහෙම වුවමනාවක් නැතුව ඇති. ඒත් කොයි වෙලේ හරි ඒ දේ වෙන්න පුළුවන්. උන්ට ඕන එක මොහොතක් විතරයි. කාගේ හරි එක වැරද්දක් විතරයි.

කොරිඩෝව කෙළවරේ තිබුන වීදුරු කාමරේට රිංග ගත්ත තුන් දෙනෙක් එතන හිටිය මිනිහව ඇදලා ගත්තේ හරියට තිරිසනෙක් ගානට. ඔහුගේ ටයි පටියේ කෙලවරින් අල්ල ගත්ත ඔවුන් තුවක්කුව ඔහුගේ ඔළුවට ලං කරන් හිටියා. සමහර විට ඔහු මෙතන ප්‍රධානියා වෙන්න ඇති. සේප්පුවේ යතුර ඔවුන්ගේ ඉලක්කය.

හැම දෙයක් දිහාම කලබලයෙන් දෑස් යොමු කරන් එන අතරේ හිත අහම්බෙන් වගේ නැවතුනේ ඔහු ලග. මම හිටිය තැනට ටිකක් එහායින් බිම වැතිරිලා හිටිය ඔහු හිටියේ මම තරම්ම භයකින්. ඒ ඇස් වල තිබුන අසරණ කමත් එක්ක ඒ දේ හොදින්ම පේන්න තිබුනා. මම මොහොතක් වට පිට බැළුවා. ඔහුගේ කියන කවුරුවත්ම මෙතන නෑ කියලා තේරුම් ගන්න මට ඒ තරම් අමාරු උනේ නෑ. ඒ ඇස් වල තිබුන අසරණ කමට හේතුවත් ඒකම වෙන්න ඇති.

ඔහුට වයස අවුරුදු දහතුනක් වත් ඇති. මම හිතින් ගනන් හැදුවා. ඒත්, ඒ ඇදුම්. පාට පිච්ච්ලා ගිය තරමක් කිළුටු උන ඇදුම් මෙතනට සුදුසු ඒවා නෙමෙයි. මම ඔහු දිහා බලාගෙන ඉද්දි ඔහුගේ ඇසුත් අහම්බෙන් වගේ මං දිහාට එල්ල වුනා. හිතේ කොයි තරම් චකිතයක් තිබුනත් මම ඔහුට හිසින් මගේ ලගට එන්න කතා කලා.

" ඔය කොල්ලට ඔහොම ඉන්න අරින්න. මූ නිසා තමයි ඔක්කොම."

තවත් කෙනෙක් ඔහු දිහා විතරක් නෙමෙයි, මං දිහාත් හොදින්ම මේ වගේ වෙලාවක බලාගෙන ඉන්නවා ඇති කියලා මම කොහෙත්ම හිතුවේ නෑ. ඒත් මම හේත්තු වෙලා හිටිය බිත්තිය ලගම බිම වාඩි වෙලා හිටිය ඇය ඔහු දිහා බලාගෙන හිටියේ තරහවකින්.

" ඇයි?"

මම ඇගෙන් ඇහුවා.

" ඇයි අහන්නේ දැක්කේ නැද්ද? මේ හොරු ටිකට බැංකුවට එන්න උදවු කලේ මූ තමයි."

ඇය, මුහුණු වසාගත්ත මිනිස්සුනට පෙන්නන බැරි උන ආවේගය අහිංසක කොල්ලා ඉස්සරහා පෙන්නුවා. ඇය මැදි වියේ ගැහැණියක්. බැංකුව ඉස්සරහට ආව කොල්ලා එතන හිඟාකන ස්වරූපෙයෙන් ආරක්ශකයාව බැංකුවෙන් එලියට ගෙන්වා ගත් හැටිත්, ඔහු ග්‍රහණයට ගත් හොරු බැංකුවට ඇතුල් උන හැටිත් ඇය බොහොම අපූරුවට විස්තර කලා. මේ හැම දෙයක්ම අවසානයේ ජීවිතේ ඉතුරු උනොත් පොලීසියට ඕන කරන හොදම සාක්කි කාරිය වෙන්න ඇයට පුළුවන් වේවි. මම ඇයට සවන් දෙන අතරේ හිතුවා.

ඇගේ වචනත් එක්ක ඔහුගේ ඇස වල තිබුන අසරණ කමට මහා ලොකු දුකක් එකතු වෙලා තිබුනා. මම ආයෙමත් ඔහුට කතා කලා. ඇය දිහාත් මං දිහාත් දෙතුන් වතාවක් බැළුව ඔහු බිම දිගේ බඩගාගෙනම මං ලගට ආවේ වට පිටාවේ සිද්ද වෙන දේවල් නිසා අපි වගේම ඔහුත් බය වෙලා හිටිය නිසා වෙන්න ඇති.

වචනයක් වත් කතා නොකරම විනාඩි දෙක තුනක් ගෙවිලා ගියා. කලින් මට ලං වුනේවත් නැති ඔහු ටිකකින් හිටියේ මගේ උකුලේ ඔළුව තියාගෙන. මට එහා පැත්තෙන් හිටිය ඇය මේ හැම දෙයක්ම දිහා බලාගෙන හිටියේ තරහින්. දැන් නම් මං එක්කත් සෑහෙන්න තරහවක් ඇති.

වට පිටාවේ කිසිම දෙයක සද්දයක් ඇහෙන නොඇහෙන ගානට නිස්කලංක වෙලා ගිහින්. තුවක්කු අතේ තියන් ඔවුන් අපි අතරින් ඉදහිට ඇවිදන් ගියේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් බැංකු සේප්පුව විවර වෙලා ඇති නිසා වෙන්න ඇති කියලා මම හිතුවා. මොකද, වීදුරු කුටියේ හිටිය ප්‍රධානියා කියලා හිතපු කෙනාවත් ඔහුට තුවක්කු දික් කරන හිටිය අයවත් දැන් එතන නැති නිසා.

" නම මොකද්ද?"

මම හෙමින් ඔහුගෙන් ඇහුවා.

" සාහිල්."

විනාඩියකට විතර පස්සේ බිඳුන හඬකින් මට පිළිතුරු ලැබුනා.

" ඇයි එහෙම දෙයක් කලේ?"

මට ඇය කියපු දේවල් විශ්වාස කරන්න තරම් හේතු තිබුන නිසා මම ඔහුගෙන් කෙලින්ම ඒ ගැන ඇහුවා. මට ඔහු උත්තරයක් දේවියි කියලා බලාපොරොත්තුවක් හිතේ තිබුනා. ඒත් ඒ උත්තරේ ඇත්තක්ද බොරුවක්ද කියලා පිළිගන්න හැටි ගැන විතරක් මගේ හිතේ දෙඟිඬියාවක් තිබුනා.

මගේ උකුලේ ඔළුව තියාගෙන හිටිය ඔහු නැගිටිලා මම හේත්තුවලා හිටිය බිත්තියටම හේත්තු උනා. මම හිතුවේ ඔහුගෙන් මට උත්තරයක් නොලැබේවි කියලා. ඒ වුනත් ඒ ඇස් වල තිබුනේ කතා කරන්න ඕන කමක්. උනන්දුවක්.

" සල්ලි වලට."

තරමක නිහැඬියාවකට පස්සේ ඔහු උත්තර දුන්නා. මම හිටියේ ඔහුගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන. කිසිම දෙයක් හංඟන්නේ නැතුව ඇත්තම කතා කරන්න හිතපු එක ගැන මම හිත යටින් සතුටු උනා. ඒත් ඒ ඇයි?

" හැබැයි ඒක මගේ රස්සාව නෙමෙයි."

මම හිතේ තියාගෙන හිටපු දේ වචන වලට පෙරලන්න කලින්ම ඔහු උත්තර දුන්නා. රස්සාව නෙමෙයි උනත් සල්ලි වලට ඇයි සාහිල් එහෙම දෙයක් කලේ? ඔහු මං දිහා වගේම මම ඔහු දිහාත් එක එල්ලේ බලාගෙන හිටියා.

" මගේ රස්සාව පාරේ හිඟාකන එක. හැමදාම සොච්චමක් හොයාගෙන ගෙදර යන මට රුපියල් දාහක් කියන්නේ මහ මෙරක් වගේ. මට දෙපාරක් හිතන්න ඕන වුනේ නෑ. ඒත් දැනුයි තේරෙන්නේ මම කරපු දේ වැරදියි කියලා."

" ඇයි ඒ අය ඔයාට මොකද කිවුවේ?"

" එයාලගේ වාර්ථා වැඩසටහනක් කියලා කිවුවේ. සල්ලි දීලා මාව බැංකුව ඉස්සරහට එවුවා. මම දන්නවා මෙතන ඉන්න දෙන්නේ නෑ කියලා. ඒත් මම හිතුවේ ඒ අය කියන්නේ ඇත්ත කියලා."

" තමුසෙට පුළුවන් නේ ඒහෙනම් ඒ අයව අඳුන ගන්න."

අපේ කතාව අපිට එහායින් ඉදන් අහන් ඉදපු ඇය අතර මැදින් පැනලා ප්‍රශ්ණ කලා. සාහිල්ට ඇයට උත්තර දෙන්න තරම් ඕන කමක් තිබුන බවක් පෙනුනේ නෑ. මට හොදටම විශ්වාසයි ඇය මේ හැම දෙයක්ම අන්තිමේ පොලීසියත් එක්ක කියනවා කියලා.

" නැහැ."

සාහිල් උත්තර දුන්නා.

" තමුසේ කියන්නේ බොරු."

" අපි ඒ ගැන පස්සේ බලාගමු මිස්."

මට ඇයව නිහඬ කරන්න සිද්ද වුනා. අහිංසකයගේ ජීවිතේ එක්ක තව කෙනෙක් සෙල්ලම් කරන්න හදන හැටි මට තේරුණා. ඒත් මට ඒක දැනට නතර කරන්න පුළුවන් කමක් තිබුනත් තව පහු වෙද්දී කරන්න කිසිම දෙයක් නෑ කියලා මට හොදින්ම තේරුණා.

" සාහිල්ගේ ගෙදර කවුද ඉන්නේ?"

" මම විතරයි."

" කොහෙද ඉන්නේ?"

" කොළණියේ."

" ඉතින් මොකටද මෙච්චර සල්ලි?"

" අපි දවසට කීයක් හෙවුවත් ලොකු සර්ට අනිවාර්යෙන් දෙසීයක් දෙන්න ඕන. සමහර දාට ඒක දෙන්නවත් සල්ලි නෑ. ඉතින් එහෙම දවසට ගුටි කන්න ඕන. පහුගිය දවස් තුනම එහෙම ගුටි කාපු දවස්. අදත් ගුටි කන්න බැරි හන්දයි මම සල්ලි ගත්තේ."

සාහිල් එක දිගට හුඟාක් දිග කතාවක් කියාගෙන ගියා. ඒ කතාවේ අන්තිම හරිය මට ඇසුන නෑසුන තරම්. ඒ මම හිටියේ ඒ කතාව අහන්න අකමැත්තෙන් නොවුනත් මගේ හිත ගිහින් නතර වුනේ සාහිල්ගේ ජීවිතේ ලග. ' ඒ අහිංසක ජීවිත.' මම මටම රහසින් කියා ගත්තා.

පැත්තකට වෙලා කල්පනා කර කර හිටපු සාහිල්ව මම ආයෙම මගේ ලගට අර ගත්තා. ඒ සාහිල් වැරදි නැහැයි කියලා මගේ හිතට දැනුන නිසා. ඒත් හැමෝම එහෙම හිතාවිද? මම යාන්තමින් වගේ බැළුවේ ඇය දිහා. වචනයක් වත් කියන්න පුළුවන් කමක් නැති වුනත් මුහුණු වහගෙන අපි ලගින්ම ඇවිදමින් හිටිය උන් දිහා ඈ බලාගෙන හිටියේ පුපුරා යන කේන්තියකින්. සාහිල්ට උනත් ඒ ටිකමයි.

ඈතින් පොලිස් නිල රථවල සයිරන් හඬ ඇහුනා. කලබලෙන් තුවක්කු ඒ මේ අතට මානමින් ඔවුන් ශාලාව පුරාවට දුවන්න වුනා. මේ දවස තව හුඟාක් දිගු එකක් වේවියි කියලා හිතට දැනුන නිසාම මම තව ටිකක් සාහිල්ව මගේ ලඟට කර ගත්තා.



නිමි...

Thursday, 3 December 2015

තුරු සමුදා...



තුරු සමුදා...

තුරු සමුදා කියවා නිමා කලෙමි.

ගමේ පෙරහරේ නැටූ කිවිදාගේ ජීවිත ගමන දිගේ බවුල් සංගීතයද හා මුසුව ඇවිද ගියෙමි. එය විටෙක සුන්දරයි. තවත් විටෙක ප්‍රේමණියයි. තවත් වරෙක ඔහුගේ ජීවිතයට එබීමට පවා හිත් නොදෙන තරම් විරහවයි. කිවිඳා, එහෙමත් නැත්නම් නිත්‍ය සුන්දර බරණ පුත්‍ර. සරළ නිදහස් ජීවිතේකට කිවිඳාට තිබුන හීන සුන්දරයි. ඇත්තටම ඔහු සරළයි. නිරුවත් දෙපා මතින් වෙල් දෙනිවල ඇවිද ගෙන යන කිවිඳා නිත්‍ය සුන්දර බරණ පුත්‍ර විදිහට ජීවිතයට මවා ගත්තේ කොහෙත්තම ඔහු නොහිතපු විදිහක බරක්.


" මං වෙස් බැදපු නැට්ටුවෙක් වන්නා. නුවර පෙරහැරට මාව ඕන. ගමට මාව ඕන. අපේ අප්පුච්චට මාව ඕන."
පිටුව 45



ඈ වන්නා. නූතන සමාජයේ තවත් එක ගැහැණියක්. ඇය කෙසේ හෝ ජීවිතය දිනන්න කැමැති තැනැත්තියක්. නැටුම ගැන හරි හැටි නොදැන නැටුම් ඉගැන්නීමේ ඉදන් කිවිඳා එක්ක ශාන්ති නිකේතනයේ නැටුම් ඉගෙන ගැනීම වෙනකන්ම දැක්කේ ඇගේ එයට තියෙන දැඩි උනන්දුව වගේම කැපවීම. ඒත් ඒ අතරේ ඇයගේ යටි අරමුණු නොතිබුනාම නොවෙයි.

" උඹ නැට්ටුවගේ පුතාව පැහරගෙන ගියා කියලයි උන් මෙතන නටන්න ගත්තේ. නැට්ටුවන්ගෙන් නින්දා විඳින්න ඕන මිනිස්සුද අපි?"
පිටුව 61

නුවර පෙරහැරේ නටපු මහා නැට්ටුවාව පන්නගෙන වන්නා කොළඹ එක්කන් එද්දී හතට දැනුනේ ඇය ඔහුට කරන්නේ මහා ලොකු වැරැද්දක් කියලා. ඒ ඔහුට තියෙන්නේ සැලෙන හිතක් නිසා. ඔහුගේ සැබෑ ජීවිතය තිබුනේ ගමේ. තාත්තගේ නැටුම් කණ්ඩායම ලග. එහෙමත් නැත්නම් සොබනී ලග. ඒත් ඔහු ආවා. ඔහුගේ වචන වලින්ම කියනවනම් වන්නාගේ දැක්ක ඒ දඬබ්බර කම නිසා.

මොහුවා සැරින් සැරේ සුන්දරගේ හිත වෙන පැත්තකට අරගෙන ගියා. වන්නා හරි හැටි තේරුම් නොගත්තත් සුන්දර මොහුවා තුලින් සිත් ප්‍රබෝදයක් වින්දා. සමහර විට ඒ සුන්දරගේ හිතේ ඇති වුන සැබෑම ආදරය වෙන්න ඇති. වන්නාටත්, සොබනීටත්, ලාලිත්‍යාටත් වඩා මොහුවාට සුන්දර සැබෑවින්ම ප්‍රේම කරන්න ඇති. මොහුවාගේ වර්ණ සුන්දරගේ ජීවිතේ ඇතුලටම කිදා බැහැලා තිබ්බේ අන්න ඒ නිසා වෙන්න ඇති.

වන්නා, සුන්දර පවුල් ජීවිතය රටේ ජීවත් වෙන අනෙකුත් ජනප්‍රිය පුද්ගලයන්ගේ ජිවිතය මෙයයැයි කියන්න පුළුවන් තරමේ එකක්. බාහිරට ඔවුන් තරම් සුන්දර ඔවුන්ගේ නැටුම තරම් සුන්දර දෙයක් අනිත් කිසිම කෙනෙක් දකින්න උත්සාහ නොකරාවි. වන්නා සැරින් සැරේ හිතුවක්කාරව තමන්ම නිරමාණය කරපු සුන්දරව යපටපත් කරද්දිත් ඔහු ඒ හැම දෙයක්ම ඉවසාගෙන හිටියේ මුදල් පස්සේ දුවන්නේ ඇය මිසක් ඔහු නොවන නිසාවෙන් වෙන්න ඇති.

" තොවිලයක් නටලා, පෙරහැරේ නටලා ගමේ හිටියනම් මං මීට වැඩිය දහස් වාරයක් සතුටින් ඉන්නවා."

" ඉතින් තොවිලයක් නටාගෙන ඉන්න තිබුණනේ. මං තමුසෙව ලොකු නැට්ටුවෙක් කල එකයි වැරැද්ද"
පිටුව 207

නර්ථනය කලාවක්. ඒත් අද ඒකට හොද මිලක් තියෙනවා. කුල, පරම්පරා කොහොම වෙතත් මේ හැම දෙයක්ම අතරේ දුවන්නේ සල්ලි. ජනප්‍රියත්වය. මාර්කටින්. තරගකාරීත්වය හැම බැඳිමක්ම ඈතට ඇදලා දානවා. වන්නාටත් සුන්දරටත් වුනේ අන්න ඒකමයි.

ප්‍රසංග, විදෙස් සංචාර, නව නිර්මාණ ඇතුලේ හිර වුන නර්ථන ශිල්පීන් ශිල්පිණියන් ගැන ඇති වුනේ කණගාටුවක්. ඇත්තටම ඔවුන් හිර වෙලාද, එහෙමත් නැත්නම් හිර කරලද? ඇත්තටම කවුරුත් කැමති නෑ තමන්ගේ රණ් අශ්වයව පිටතට දෙන්න. එහෙම නැත්නම් ඔහුට නිදහසේ යන්න අරින්න. ඒක තමයි මේ නර්ථනය ඇතුලේ හැංගුන කටුක ඇත්ත.

" මොකද්ද සර් හිර ගේ?"
" නිදහසක් නැතුව නටන එක හිර ගෙදර වැටීමක් නෙමෙයිද?
පිටුව- 240

***

සුමිත්‍රා රාහුබද්දයන්ගේ තුරු සමුදා නව කතාව නර්ථනය, නර්ථන කණ්ඩායම් හා ඒ වටා ගෙතුන කතාවක් කියලා මම කොහෙත්තම හිතුවේ නෑ. ඒක වෙනස්ම මානයක්. සාම්ප්‍රදායක කතා ශෙයිලියෙන් ඈත් වුන වෙනස්ම මානයක්. බොහෝමයක් නර්ථන දැක තිබුනට නර්ථනය ගැන අල්ප මාත්‍රයක දැනුමක් නැති මට මේ නව කතාව මුලින් ඔළුවට දා ගන්න ටිකක් අමාරු වුනා.

වන්නා, කිවිඳාව කොළඹ අරන් එද්දී හිතුනේ මේ කරන්නේ වැරැද්දක් කියලා. ඒත් වන්නාට අරමුණක් තිබුනා. ඒ අරමුණට යන්න පාර වුනේ කිවිඳා, එහෙමත් නැත්නම් සුන්දර. ඔවුන් ඒ ගමන ගියා. කිවිඳාගේ පැත්තෙන් ඔහු කවදාවත් බලාපොරොත්තු නොවුන තැනකට ඔහුගේ ජිවිතය අරන් එන්න වන්නාට පුළුවන් උනා. ඒත් ඒ ගෙනාවේ සතුට විතරක්ම නෙමෙයි. කතාව පුරාම සුන්දරගෙන් දැක්ක ඒ ඉවසීම නොවෙන්න වන්නාට කිසිම දවසක ඒ අරමුණට ලගා වෙන්න හිතන්නවත් බැරි වෙයි. ඒත් හැම දේකම අන්තයක් තියෙනවා. සුන්දර යන්න ගියා. ඇත්තටම මමත් බලාගෙන හිටියේ ඒ දේ කොයි විදිහට සිද්ද වෙයිද කියලා.

'තුරු සමුදා' බොහොම නිදහස් මනසකින් කියවගෙන යන්න පුළුවන් කතාවක්. ඒ වගේමයි කතාව කියවන් යද්දී අප වටා ඉන්න අපි දන්නා හඳුනන නැට්ටුවන් එක්ක කතාව හිතින් ගැලපුවේ මම විතරක්ම නෙමෙයි වෙන්න ඇති කියලා මම හිතනවා.  මොකද කතාව අපිව එහෙම හිතන තැනට අරගෙන එනවා. 



විශේෂයි : මා විචාරකයකුවත් මෙය විචාරයක්වත් නොව. පොත කියවා අවසානයේ හිතට ආ හැඟීම් පමණි.