Wednesday, 4 November 2015

වෙස් මුහුණු



කණ්නාඩියෙන් පේන මගේ හැඟීමක් නැති මුහුණ දිහා මම බලාගෙන හිටියා. තැනින් තැත අපිලිවෙලකට මතු වුන රැවුල් ගස් එක්ක මුහුණේ තිබුනේ සුදුමැළි වෙලා ගිය පෙනුමක්. කණ්නාඩියේ ඉහළ තිබුන විදුළි බුබුලේ ආලෝකය කෙලින්ම වැටුනේ මගේ ඇස් වලට. අව පැහැ වී ගෙන ආව ලා දුඹුරු පාට, කාලෙකට කලින් තිබුන තියුණු පෙනුමත් මගෙන් ඈතට අරගෙන ගිහින්ද කියලා එක වෙලාවකට මට හිතුනා.

මම මගේ මුහුණ දිහාවට තවත් හොදට එඹුනා. කම්මුල් ලගින් වැටීගෙන ඇවිත් තිබුන රැලි දෙක තුන අතින් හදාගෙන මම හිනා වෙන්න උත්සාහ කලා. ඒත් කණ්නාඩියෙන් මට පෙනුනේ මගේ සුදුමැළි මුහුණ විතරයි. මම තව පාරක් හිනා වුනා. ආයෙමත්, තව දෙතුන් වතාවක්ම. බොහොම හුරුපුරුදු අඬුවක් හිතට තදින්ම දැනුන හන්දම මම ඒ උත්සාහය අන්තිමේ නවත්තලා දැම්මා.

කණ්නාඩි මේසයේ පහල ලාච්චුවක තිබුන මුහුණු ආලේපන කීපය මම අතට අර ගත්තා. සුදු ක්‍රීම් එක මුහුණේ දවට ගත්තේ වෙනදටත් වැඩියෙන්. ඊට පස්සේ මම ආයෙම කණ්නාඩියෙන් මුහුණ දිහා බැළුවා. කලින් තිබුන මලානික කම සුදු පාටින් වැහිලා ගිහින් තිබුනා. ඒ වුනත් ඒ ඇස් වල, ඒ යන්තමට රැළි ගැහුන කම්මුල් වල කලින් තිබුන අඩුව ඒ වගේම පේන්න තිබුනා.

හිතේ තිබුන උදාසීන කමම මුහුණ පුරාමත් පැතිරිලා ගිහින්. හුස්ම හිරකරවන තරමේ වේදනාවක් සැරින් සැරේටම හදවත පුරාවට දුවද්දී, හැමදාම හොදින් හුරුපුරුදු උන දේට පවා හිත එක් තැන කර ගන්න එක අමාරු දෙයක් වෙලා ගිහින්. මම මුහුණු ආලේපන කීපය මේසයේ පැත්තකින් තිබ්බා. ඒ අඳුරු වෙලා තිබුන ඇස් දිහාවට මම තව ටිකක් නැඹුරු උනා.


***

" උඹ ඔය කරන්නේ වැරැද්දක්."

ඒ හඬේ තිබුනේ ආවේගශීලී තියුණු බවක් උනත් ඔහු ඒ කිසිවක්ම මායිම් නොකල තරම්. ඒත් නිවසේ දොර ලග ටික වෙලාවකට නැවතුන ඔහු වුවමනාවක් නැතුව උනත් ඒ කතාවේ ඉතුරු ටික අහන්න සූදානම් වුනා. ඒ වයස්ගත දෑස් ඔහු දිහා එක එල්ලේම බලාගෙන හිටියත් ඔහු ඒ වගක් මායිම් නොකරම බලාගෙන හිටියා.

" මට කොතනක හරි වැරදුනා."

ඔහු වෙව්ලන ස්වරයෙන් කතා කරන්න පටන් ගත්තා. මොහොතකට කලින් තිබුන ආවේගශීලී හඩ ඔහු තුලින් නැති උනත් වේදනාව සඟවාගෙන කතා කරන්න ඔහු ලොකු උත්සාහයක යෙදුනා.

" දැන් වැරදුන තැන් හදන්න හිතන්න තරම් කාලයක් නෙමෙයි. ඔයාට ලොකු උනේ ඔයාගේ මහ ලොකු වැඩ. රැයක් දවාලක් නැතුව මිනිස්සු හිනස්සන වැඩ කලාට මං ගැන හිතන්න එක විනාඩියක් වත් ඔයා ලග තිබුනේ නෑ."

කාලයක් පුරාවට ඔහුගේ හිතේ රැදිලා තිබුන ආවේගය ඔහු මොහොතින් මුදා හැරියේ තම පියාගේ සිතුවිලි ගැන තවත් වද වීමේ වුවමනාවක් නැතැයි හැඟීමෙන්. මාර්ක්, තම පුතාගෙන් එල්ල වුන චෝදනා අතරේ තව දුරටත් ළමා පෙනුමක් නැති බෙන්ගේ මුහුණ දිහා බලාගෙන හිටියේ වචනයක් වත් කියාගන්න බැරුව.

" මම උඹ ගැන හිතුවා. අන්න ඒ නිසයි මට මේ දේවල් කරන්න වුනේ."

" ඒක ඔයා ඔයාගේ වාසියට කියන කතාවක් මිස ඇත්ත නෙමෙයි කියන්න ඔයත් හොදටම දන්නවනේ. ඔයා නෙමෙයි, අන්තිමට මිනිස්සු ඉස්සරහා විහිළුවක් උනේ මමයි."

මාර්ක්, බෙන්ගේ චෝදනා හමුවේ තව තවත් නිරුත්තර වී බලා හිදිහා .

" ඒත් උඹ ඔය දැන් කරන දේ හරියි කියලා විතරක් කියන්න එපා. බෙන් , උඹට තාම දාහතයි."

නිවසින් එලියට බහින්න සූදානම් වුන බෙන්ව තව මොහොතකට නතර කර ගන්න මාර්ක්ට පුළුවන් උනා. මාර්ක් නිවසේ ඉදිරියට ආවේ තම එකම පුතාව වැරදි පාරෙන් ගලවා ගන්න තවත් අවස්ථාවක් ඔහුට එන එකක් නැති වේවියි කියලා හිතට දැනුන හැඟීම නිසා. ඒත් මාර්ක් ඒ වෙද්දීත් ප්‍රමාද වැඩියි කියලා ඔහුගේ හිතට තදින්ම දැනුනා.

රස්තියාදුකාර විදිහට පෙනුන, සිගරට් උරමින් සිටිය බෙන්ට වඩා වයසින් වැඩි තරුණයන් කීප දෙනෙක්ම නිවසේ මායිමට එහායින් බෙන් එනතුරු රැදිලා හිටියා.

" බෙන්, මම කියන දේ අහන්න. ඔයා මේ දේවල් කරන්න ඕන නෑ. තාම වෙනස් වෙන්න කාලය තියෙනවා."

මාර්ක්, ආයාචනාත්මකව බෙන්ට කතා කලා. ඒ, මේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් කියලා මාර්ක්ට දැනුන නිසා. ඒත්, ඈතින් හිටිය කොළු රංචුවේ මුවින් පිටවෙන සිගරට් දුමාරය තරම්ම වේගයෙන් බෙන් ඔවුන් අතරට ලං වෙලා හිටියා.


***

සති කිපයක් ගෙවිලා ගියේ කොයි තරම් වේගයෙන්ද කියලා හිතා ගන්නවත් බැරුව මම කණ්නාඩිය දිහාම බලාගෙන හිටියා. බෙන්, ඔහු කොහේ ඇත්ද? හැඟීම් වලින් තොර වෙලා ගිය මුහුණේ රැදිලා තිබුන එකම වේදනාව ඒ ගැනයි. බෙන්...

කණ්නාඩි මේසය ලගින් නැගිට්ට මම හෙමින් කාමරය පුරා ඇවිදන් ගියා. කාමරයේ තිර රෙදි වලට එහායින් ඇහෙන ඝෝෂාව ආගන්තුක එකක් නොවුනත් තරමක නොරිස්සුම් ගතියක් හිත පුරාම ඇදිලා ගියා. මම ඒ හඬට ඇහුම් කන් නොදී ඉන්න උත්සාහ කලා. ඒත් ඒක ඒ තරම්ම පහසු දෙයක් නොවුනේ ජීවිතේ තරමටම කාලයත් එක්ක මේ ඝෝෂාව ලං වෙලා තිබුන නිසා.

" මර්ක්, තාම ලෑස්ති නැද්ද? තව විනාඩි පහලොවකින් ඔයාගේ එන්ට්‍රී එක."

ඇගේ කටහඬ මාව කල්පනා ලෝකයෙන් මෙහාට අරගෙන ආවා. මම ඇය දිහා බැළුවා. නමුත් ඇය මගේ දිහා බලාගෙන හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි හැඟීමකින්.

" මොකක් හරි ප්‍රශ්ණයක්ද?"

" හ්ම්ම්."


***

හුදෙකලා උන කාමරය තුල ඔහු උමතුවෙන් මෙන් ඇවිදිමින් හිටියා. හිස්ව ගිය කාමරයේ ඔහුගේ පියසටහන් වල දෝංකාරය නැගෙන තරමටම ඒ තුල වුනේ මහා පාළුවක්. ඒත් ඒ කිසිම දෙයක් ගැන ඔහුගේ හිතේ ඉඩක් තිබුනේ නෑ. ඒ තරමටම කලබලයෙන් ඔහුගේ හිත බොහෝමයක් දේවල් අතර දුවමින් තිබුනා.

දවස් කීපයකට කලියෙන් ගෙදරින් පිටවෙලා ආව හැඟීම ඔහුට සැරින් සැරේ වද දෙන්න උනා. තාත්තගේ මුණේ අන්තිමට රැදිලා තිබුන ආයාචනාත්මක බැල්මෙන් ගැලවිලා යන්න කොයි තරම් උත්සාහ කලත්, නිතරම ඔහුගේ හිත නැවතුනේ එතන. ආපහු හැරෙන්න හිත කොයි තරම් බලකලත් බෙන් නැවතිලා හිටියේ ආපහු හැරෙන්න බැරි දුරක.

" බෙන්, ඉක්මනට ලෑස්ති වෙයන්."

බෙන් හදිසියේම කල්පනාවෙන් මිදුනේ තිගැස්මක් එක්ක. ඒ, පාළුවට ගිය කාමරයේ ඒ හඬ තවත් දෝංකාර දෙමින් ඇහුන නිසා.

" මොකද්ද කරන්න තියෙන්නේ?"

බෙන් ඇහුවේ බිඳුන ස්වරයකින්.

" හරියටම හෙට දවල් දෙක වෙද්දී ක්ලිෆර්ඩ් බැංකුවේ සේප්පුවෙන් සල්ලි අරන් යන්න සිකියුරිටි එකෙන් එනවා. අන්න ඒ වෙලාවටයි අපේ වැඩේ අපි කරන්න ඕන."

" මම මොනවද කරන්න ඕන."

" ඒ ගැන කියන්නම් කට්ටියම ලෑස්ති වෙලා ආවට පස්සේ. දැන් ගිහින් මෙන්න මේ ඇදුම් ඇදන් එනවා."


***

මගේ නිහැඬියාව ඇගේ කිසිම ප්‍රශ්ණයකට පිළිතුරක් නොවුනත්, මේ කෙටි වෙලාව හැම දෙයක්ම කියන්න තරම් කාලයක් නොවෙන හින්දම මම කිසිම දෙයක් නොකියා ඉන්න උත්සාහ කලා.

" මාර්ක්, අපි මේ ගැන ශෝ එක ඉවර වෙලා කතා කරමු. මොන දේ උනත් ඒක අමතක කරලා දැන් ලෑස්ති වෙන්න. තව විනාඩි දහයයි තියෙන්නේ."

" හරි."

කාමරයෙන් ඇයට පිට වෙන්න ඉඩ ඇරපු මම ආයෙම කන්ණාඩි මේසය ලගට ලං වුනා. නළල අතරින් ගලාගෙන ආව දහඬිය බිඳු කීපයක් නිසා තැනින් තැන ආලේපන යාන්තමට මැකිලා ගිහින්. පැත්තක තිබුන පුටුව මේසය ලගටම ලං කර ගත්ත මම ඒකේ වාඩි උනේ ඕනාවට එපාවට.

සුදු පැහැ ආලේපනය ඕනාවටත් වැඩිය මුණේ දවට ගත්ත මම තොල් අතර මෙන්ම නාසය වටා රතු පාට ආලේප කර ගත්තා. පැසුන හිස කෙස් වැහෙන්න කොල පැහැ බොරු කොණ්ඬය පැලද ගෙන කන්ණාඩියෙන් පේන මගේ රූපය දිහා මම බලාගෙන හිටියා.

හැම දේම සම්පූර්ණයි. ඒත්, හිතේ නොසංසුං කම ඇරෙන්න. කාමරයේ තිර රෙදි වලට එහායින් ඇහෙන ඝෝෂාව එන්න එන්නම වැඩියි. මම පුටුවෙන් නැගිට්ටේ අවසාන වතාවට ඒ තිර රෙදි අතරින් එහාට යන අරමුණත් එක්ක.


***

කොල පැහැ බොරු කොණ්ඬය දිහා බලාගෙන බෙන් කල්පනා කරමින් හිටියා. ඔහුට දැනුනේ ඔහු වටා තිබුන හැම දෙයක්ම ආපහු ඔහු ලගටම ඇවිත් ඔහුව විහිළුවකට ගන්නවා වගේ. ගෙදර නිතරම දකින්න ලැබුන ප්ලාස්ටික් වෙස් මුහුණ කවමදාවත් පළදින්නේ නැහැයි කියන දැඩි තීරණයක හිටිය බෙන්, ඒ වගේම මුහුණක් දිහා බලාගෙන හිටියා.

මද අඳුරේ තිබුන කාමරේ නිහැඬියාව ඔහුව ගිල ගන්න මාන බලද්දී ඔහුට හිතුනේ ඒ හැම දේකින්ම පැනලා යන්න. ඒත් ඔහු බය උනා. කාමරයේ දොරට එහායින් තියෙන අඳුර තමන්ව මරා දමාවියි කියලා.

බෙන්ගේ දෑස් ඉස්සරහා හදිස්සියේම මැවුනේ අන්තිම වතාවට දැක්ක තාත්තගේ අසරණ වුන මුහුණ. ඔහු දෑස් තදින්ම පියා ගත්තේ ඒ මුහුණ ආයෙම මැවෙන්න එපායි කියන හැඟීමෙන්. 

කාමරෙයෙන් එහා ඇහෙන මුණුමුණුව බෙන්ගේ කුතුහලය අවුස්සලා ඉවරයි. බෙන්, අතේ තිබුන වෙස් මුහුණ පැළද ගත්තා. ඒ ජීවිතේ පළවෙනි වතාවට. හිතේ තිබුන කුතුහලයත් එක්කම බෙන් කාමරෙන් එලියට ආවේ මේ වෙස් මුහුණ ආයේ කවදා, කොහොම ගැලවේවිද කියලා කිසිම හැඟීමක් නැතුව.

 


නිමි...