Tuesday, 8 December 2015

අහඹුව



හිතට දැනුන ගැස්ම මොහොතකටවත් අඩු වෙලා තිබුනේ නෑ. කලබලයෙන් බිම වාඩි උන මම බිත්තියට හේත්තු වෙලා ටික වේලාවක් හැමදේම අමතක කරන්න උත්සාහ කලත් මට ඒක කර ගන්න බැරි උනා. මම ඇස් පියා ගත්තා. ඒ හැම දෙයක්ම අමතක කරන බලාපොරොත්තුවෙන්. ඒත් මගේ වටේ ඉන්න අයගේ කෑ ගැහිල්ලත් කලබලයත් නිසා මට ඒක කරන්න පුළුවන් කමක් නෑ. මම ආයෙම ඇස් ඇරියා.

භයෙන් තැති ගත්ත ඇස් වල හුඟක් දේවල් ලියවිලා තිබුනා. හරියට තමන්ගේ අවසාන විනාඩි කීපය ගත කරනවා වගේ හැඟීමක්. මම ඒ දිහා නොබලා ඉන්න උත්සාහ කලත් ඔවුනුත් මා තුලින් ඒ හැඟීමම දකිනවා ඇති කියලා මගේ හිතට කල්පනා උනා. ආරක්ෂිතයි කියලා හිතන්න පුළුවන් තැනක් නොවුනත් සිමෙන්ති බැම්මට එහායින් බිම වාඩි වෙලා බැම්මට හේත්තු උනේ වෙන කරන්න දෙයක් නොතිබුන හන්දා.

විනාඩි කීපයක් ගෙවිලා යන්න ඇති. හැම දෙයක්ම යටපත් කරගෙන ඇහුන සැර පරුෂ හඬ අතරේ අවට නිහැඬියාවකින් වෙලා ගත්තත් හිත හැම දේකටම වඩා හයියෙන් කෑ ගහලා කිවුවේ මෙතනින් පැනලා යන්න. ඒත් ඒක මට විතරක් නෙමෙයි, මේ ශාලාව ඇතුලේ හිර වෙලා ඉන්න කාටවත්ම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අනිත් අය කෙසේ වෙතත් මගේ හිතට නම් තදින්ම දැනුනා.

කළු ආවරණ වලින් මුහුණ වසා ගත්ත කිහිප දෙනා ශාලාව එහා මෙහා වේගයෙන් ඇවිදන් ගියේ පිටවීම් දොරවල් ගැන හොදින් සැලකිළිමත් වෙන්න කියන එක මගේ හිතට හොදටම විශ්වාසයි. ඔවුන් දිහා එක එල්ලේ බලන්නවත්, ඔවුන් කරන්නේ මොකද්ද කියන එක ගැන සැලකිල්ලක් දක්වන්නවත් පුළුවන් තරම් මානසිකත්වයක නොහිටියත් ඔවුන්ගේ අරමුණ තේරුම් ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නෙමෙයි.

නමින් නොදන්නා කළු දිගු තුවක්කු ඔවුන් හැමෝම දිහාවට එල්ල කලේ කිසිම හැඟීමකින් තොරව. වාසනාවකට වගේ ඒවා ක්‍රියාත්මක කරන්න තරම් වුවමනාවක් ඔවුන්ට තිබුනේ නෑ. සමහර විට දැනට එහෙම වුවමනාවක් නැතුව ඇති. ඒත් කොයි වෙලේ හරි ඒ දේ වෙන්න පුළුවන්. උන්ට ඕන එක මොහොතක් විතරයි. කාගේ හරි එක වැරද්දක් විතරයි.

කොරිඩෝව කෙළවරේ තිබුන වීදුරු කාමරේට රිංග ගත්ත තුන් දෙනෙක් එතන හිටිය මිනිහව ඇදලා ගත්තේ හරියට තිරිසනෙක් ගානට. ඔහුගේ ටයි පටියේ කෙලවරින් අල්ල ගත්ත ඔවුන් තුවක්කුව ඔහුගේ ඔළුවට ලං කරන් හිටියා. සමහර විට ඔහු මෙතන ප්‍රධානියා වෙන්න ඇති. සේප්පුවේ යතුර ඔවුන්ගේ ඉලක්කය.

හැම දෙයක් දිහාම කලබලයෙන් දෑස් යොමු කරන් එන අතරේ හිත අහම්බෙන් වගේ නැවතුනේ ඔහු ලග. මම හිටිය තැනට ටිකක් එහායින් බිම වැතිරිලා හිටිය ඔහු හිටියේ මම තරම්ම භයකින්. ඒ ඇස් වල තිබුන අසරණ කමත් එක්ක ඒ දේ හොදින්ම පේන්න තිබුනා. මම මොහොතක් වට පිට බැළුවා. ඔහුගේ කියන කවුරුවත්ම මෙතන නෑ කියලා තේරුම් ගන්න මට ඒ තරම් අමාරු උනේ නෑ. ඒ ඇස් වල තිබුන අසරණ කමට හේතුවත් ඒකම වෙන්න ඇති.

ඔහුට වයස අවුරුදු දහතුනක් වත් ඇති. මම හිතින් ගනන් හැදුවා. ඒත්, ඒ ඇදුම්. පාට පිච්ච්ලා ගිය තරමක් කිළුටු උන ඇදුම් මෙතනට සුදුසු ඒවා නෙමෙයි. මම ඔහු දිහා බලාගෙන ඉද්දි ඔහුගේ ඇසුත් අහම්බෙන් වගේ මං දිහාට එල්ල වුනා. හිතේ කොයි තරම් චකිතයක් තිබුනත් මම ඔහුට හිසින් මගේ ලගට එන්න කතා කලා.

" ඔය කොල්ලට ඔහොම ඉන්න අරින්න. මූ නිසා තමයි ඔක්කොම."

තවත් කෙනෙක් ඔහු දිහා විතරක් නෙමෙයි, මං දිහාත් හොදින්ම මේ වගේ වෙලාවක බලාගෙන ඉන්නවා ඇති කියලා මම කොහෙත්ම හිතුවේ නෑ. ඒත් මම හේත්තු වෙලා හිටිය බිත්තිය ලගම බිම වාඩි වෙලා හිටිය ඇය ඔහු දිහා බලාගෙන හිටියේ තරහවකින්.

" ඇයි?"

මම ඇගෙන් ඇහුවා.

" ඇයි අහන්නේ දැක්කේ නැද්ද? මේ හොරු ටිකට බැංකුවට එන්න උදවු කලේ මූ තමයි."

ඇය, මුහුණු වසාගත්ත මිනිස්සුනට පෙන්නන බැරි උන ආවේගය අහිංසක කොල්ලා ඉස්සරහා පෙන්නුවා. ඇය මැදි වියේ ගැහැණියක්. බැංකුව ඉස්සරහට ආව කොල්ලා එතන හිඟාකන ස්වරූපෙයෙන් ආරක්ශකයාව බැංකුවෙන් එලියට ගෙන්වා ගත් හැටිත්, ඔහු ග්‍රහණයට ගත් හොරු බැංකුවට ඇතුල් උන හැටිත් ඇය බොහොම අපූරුවට විස්තර කලා. මේ හැම දෙයක්ම අවසානයේ ජීවිතේ ඉතුරු උනොත් පොලීසියට ඕන කරන හොදම සාක්කි කාරිය වෙන්න ඇයට පුළුවන් වේවි. මම ඇයට සවන් දෙන අතරේ හිතුවා.

ඇගේ වචනත් එක්ක ඔහුගේ ඇස වල තිබුන අසරණ කමට මහා ලොකු දුකක් එකතු වෙලා තිබුනා. මම ආයෙමත් ඔහුට කතා කලා. ඇය දිහාත් මං දිහාත් දෙතුන් වතාවක් බැළුව ඔහු බිම දිගේ බඩගාගෙනම මං ලගට ආවේ වට පිටාවේ සිද්ද වෙන දේවල් නිසා අපි වගේම ඔහුත් බය වෙලා හිටිය නිසා වෙන්න ඇති.

වචනයක් වත් කතා නොකරම විනාඩි දෙක තුනක් ගෙවිලා ගියා. කලින් මට ලං වුනේවත් නැති ඔහු ටිකකින් හිටියේ මගේ උකුලේ ඔළුව තියාගෙන. මට එහා පැත්තෙන් හිටිය ඇය මේ හැම දෙයක්ම දිහා බලාගෙන හිටියේ තරහින්. දැන් නම් මං එක්කත් සෑහෙන්න තරහවක් ඇති.

වට පිටාවේ කිසිම දෙයක සද්දයක් ඇහෙන නොඇහෙන ගානට නිස්කලංක වෙලා ගිහින්. තුවක්කු අතේ තියන් ඔවුන් අපි අතරින් ඉදහිට ඇවිදන් ගියේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් බැංකු සේප්පුව විවර වෙලා ඇති නිසා වෙන්න ඇති කියලා මම හිතුවා. මොකද, වීදුරු කුටියේ හිටිය ප්‍රධානියා කියලා හිතපු කෙනාවත් ඔහුට තුවක්කු දික් කරන හිටිය අයවත් දැන් එතන නැති නිසා.

" නම මොකද්ද?"

මම හෙමින් ඔහුගෙන් ඇහුවා.

" සාහිල්."

විනාඩියකට විතර පස්සේ බිඳුන හඬකින් මට පිළිතුරු ලැබුනා.

" ඇයි එහෙම දෙයක් කලේ?"

මට ඇය කියපු දේවල් විශ්වාස කරන්න තරම් හේතු තිබුන නිසා මම ඔහුගෙන් කෙලින්ම ඒ ගැන ඇහුවා. මට ඔහු උත්තරයක් දේවියි කියලා බලාපොරොත්තුවක් හිතේ තිබුනා. ඒත් ඒ උත්තරේ ඇත්තක්ද බොරුවක්ද කියලා පිළිගන්න හැටි ගැන විතරක් මගේ හිතේ දෙඟිඬියාවක් තිබුනා.

මගේ උකුලේ ඔළුව තියාගෙන හිටිය ඔහු නැගිටිලා මම හේත්තුවලා හිටිය බිත්තියටම හේත්තු උනා. මම හිතුවේ ඔහුගෙන් මට උත්තරයක් නොලැබේවි කියලා. ඒ වුනත් ඒ ඇස් වල තිබුනේ කතා කරන්න ඕන කමක්. උනන්දුවක්.

" සල්ලි වලට."

තරමක නිහැඬියාවකට පස්සේ ඔහු උත්තර දුන්නා. මම හිටියේ ඔහුගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන. කිසිම දෙයක් හංඟන්නේ නැතුව ඇත්තම කතා කරන්න හිතපු එක ගැන මම හිත යටින් සතුටු උනා. ඒත් ඒ ඇයි?

" හැබැයි ඒක මගේ රස්සාව නෙමෙයි."

මම හිතේ තියාගෙන හිටපු දේ වචන වලට පෙරලන්න කලින්ම ඔහු උත්තර දුන්නා. රස්සාව නෙමෙයි උනත් සල්ලි වලට ඇයි සාහිල් එහෙම දෙයක් කලේ? ඔහු මං දිහා වගේම මම ඔහු දිහාත් එක එල්ලේ බලාගෙන හිටියා.

" මගේ රස්සාව පාරේ හිඟාකන එක. හැමදාම සොච්චමක් හොයාගෙන ගෙදර යන මට රුපියල් දාහක් කියන්නේ මහ මෙරක් වගේ. මට දෙපාරක් හිතන්න ඕන වුනේ නෑ. ඒත් දැනුයි තේරෙන්නේ මම කරපු දේ වැරදියි කියලා."

" ඇයි ඒ අය ඔයාට මොකද කිවුවේ?"

" එයාලගේ වාර්ථා වැඩසටහනක් කියලා කිවුවේ. සල්ලි දීලා මාව බැංකුව ඉස්සරහට එවුවා. මම දන්නවා මෙතන ඉන්න දෙන්නේ නෑ කියලා. ඒත් මම හිතුවේ ඒ අය කියන්නේ ඇත්ත කියලා."

" තමුසෙට පුළුවන් නේ ඒහෙනම් ඒ අයව අඳුන ගන්න."

අපේ කතාව අපිට එහායින් ඉදන් අහන් ඉදපු ඇය අතර මැදින් පැනලා ප්‍රශ්ණ කලා. සාහිල්ට ඇයට උත්තර දෙන්න තරම් ඕන කමක් තිබුන බවක් පෙනුනේ නෑ. මට හොදටම විශ්වාසයි ඇය මේ හැම දෙයක්ම අන්තිමේ පොලීසියත් එක්ක කියනවා කියලා.

" නැහැ."

සාහිල් උත්තර දුන්නා.

" තමුසේ කියන්නේ බොරු."

" අපි ඒ ගැන පස්සේ බලාගමු මිස්."

මට ඇයව නිහඬ කරන්න සිද්ද වුනා. අහිංසකයගේ ජීවිතේ එක්ක තව කෙනෙක් සෙල්ලම් කරන්න හදන හැටි මට තේරුණා. ඒත් මට ඒක දැනට නතර කරන්න පුළුවන් කමක් තිබුනත් තව පහු වෙද්දී කරන්න කිසිම දෙයක් නෑ කියලා මට හොදින්ම තේරුණා.

" සාහිල්ගේ ගෙදර කවුද ඉන්නේ?"

" මම විතරයි."

" කොහෙද ඉන්නේ?"

" කොළණියේ."

" ඉතින් මොකටද මෙච්චර සල්ලි?"

" අපි දවසට කීයක් හෙවුවත් ලොකු සර්ට අනිවාර්යෙන් දෙසීයක් දෙන්න ඕන. සමහර දාට ඒක දෙන්නවත් සල්ලි නෑ. ඉතින් එහෙම දවසට ගුටි කන්න ඕන. පහුගිය දවස් තුනම එහෙම ගුටි කාපු දවස්. අදත් ගුටි කන්න බැරි හන්දයි මම සල්ලි ගත්තේ."

සාහිල් එක දිගට හුඟාක් දිග කතාවක් කියාගෙන ගියා. ඒ කතාවේ අන්තිම හරිය මට ඇසුන නෑසුන තරම්. ඒ මම හිටියේ ඒ කතාව අහන්න අකමැත්තෙන් නොවුනත් මගේ හිත ගිහින් නතර වුනේ සාහිල්ගේ ජීවිතේ ලග. ' ඒ අහිංසක ජීවිත.' මම මටම රහසින් කියා ගත්තා.

පැත්තකට වෙලා කල්පනා කර කර හිටපු සාහිල්ව මම ආයෙම මගේ ලගට අර ගත්තා. ඒ සාහිල් වැරදි නැහැයි කියලා මගේ හිතට දැනුන නිසා. ඒත් හැමෝම එහෙම හිතාවිද? මම යාන්තමින් වගේ බැළුවේ ඇය දිහා. වචනයක් වත් කියන්න පුළුවන් කමක් නැති වුනත් මුහුණු වහගෙන අපි ලගින්ම ඇවිදමින් හිටිය උන් දිහා ඈ බලාගෙන හිටියේ පුපුරා යන කේන්තියකින්. සාහිල්ට උනත් ඒ ටිකමයි.

ඈතින් පොලිස් නිල රථවල සයිරන් හඬ ඇහුනා. කලබලෙන් තුවක්කු ඒ මේ අතට මානමින් ඔවුන් ශාලාව පුරාවට දුවන්න වුනා. මේ දවස තව හුඟාක් දිගු එකක් වේවියි කියලා හිතට දැනුන නිසාම මම තව ටිකක් සාහිල්ව මගේ ලඟට කර ගත්තා.



නිමි...

52 comments:

  1. වර්ණගේ කතාවක් බලන්න උනේ දවස් ගනනාවකට පස්සේ.මේ කතාවෙදිත් ඔබේ හැකියාව ඉහලින්ම පෙන්න තියනවා.

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ ඉතින් හරි හැටි ලියන්න උනේ නැහැනේ. ඉස්සරහට වෙනදා වගේ ලියවේවි.

      Delete
  2. දිනේෂ්, බැංකු මංකොල්ලයක සැගවුනු කතාවක් ප්‍රදාන කතාවෙන් වෙන්කරලා ඔබ හරි අපූරුවට ඉදිරිපත් කරලා. බොහොම අගේ ඇති නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. අපි ලියන ඕනම කතාවක මේ වගේ හැංගුන කතාන්දර තියෙන්න බැරි නැහැ. මම නම් කැමතිම එහෙම ඒවා ලියන්න.

      Delete
  3. //ඈතින් පොලිස් නිල රථවල සයිරන් හඬ ඇහුනා. කලබලෙන් තුවක්කු ඒ මේ අතට මානමින් ඔවුන් ශාලාව පුරාවට දුවන්න වුනා. මේ දවස තව හුඟාක් දිගු එකක් වේවියි කියලා හිතට දැනුන නිසාම මම තව ටිකක් සාහිල්ව මගේ ලඟට කර ගත්තා.//

    සුන්දර අවසානයක්....... සුපිරියි දිනේෂ්......... සුපිරියි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචං.

      හැබැයි මෙහෙමයි, ඒ අවසානය සුන්දරමත් නැහැනේ මචෝ. මොකද ඊලට වෙන්න යන ඒවා ගැන ඉතින් කවුද දන්නේ.

      Delete
  4. හැමදාම වගේ නියමයි දිනේශ් අයියා.
    බැන්කු මංකොල්ලයකින් පටන් ගෙන කතාව ඉවර කරන්නෙ හිතාගන්නවත් බැරි තැනකින්.

    ReplyDelete
  5. අර වගේ කලබල සිදුවීමකින් මේ තරම් සියුම්ව සහ සංවේදීව එක කුඩා සිදුවීමක් වෙන්කරගන්නවා කියන්නෙම විස්කමක්! සුපිරියි ඉඳිකට්ටෝ!

    ReplyDelete
    Replies
    1. උඹට පුළුවන් මේකේ දිගුවක් ලියන්න. මෙතනින් එහාට තව කතා හුඟක් තියෙනවා.

      Delete
  6. සහීර් රුපියල් දාහක් කියල කිව්වම එතෙක් මගෙ හිතේ ගොඩනඟාගත්තු හැඟීම පොඩ්ඩක් විතර බිඳ වැටුනා දිනේෂ්. ඒකට හේතුව මම හිතන්නෙ උඹේ කතාවක් මම කියවන්න ඉස්සෙල්ලම පූර්ව නිගමනයකට එළඹෙනව ඒක විදේශයක සිදුවුනු එකක් කියල.

    කතාව කියවගෙන එද්දි මගේ හිතේ ඒ නිගමනය තහවුරු වුනා. මම හිතන්නෙ ඒ මෙහෙම දේවල් ලංකාවෙත් දැං සිද්ද වුනාට අපි තාම ඒ වගෙ දේවල වලට හොඳටම හුරුවෙලා නැති නිසා වෙන්න පුලුවන්.

    " හැමදාම සොච්චමක් හොයාගෙන ගෙදර යන මට යූරෝ සීයක් කියන්නේ හිතාගන්ට වත් බැරි තරම් ලොකු ගාණක්." සහීර් ඒ වගෙකිව්වනම් මගෙ හිතට අවුලක් නෑ.

    අනේ බොලේ මම මේ කිව්වෙ මට අවංකවම හිතුනු දේ හොඬ්හ්ඩ්ද? විවේචනයක් කියල සළකන්න එපා හොඳේ?

    ReplyDelete
    Replies
    1. ඇයි ලංකාවම හිතුවේ? පාකිස්තානය, ඉන්දියාව වගේ නිගමනය කලොත්. මොකද එහෙත් රුපියල් තියෙන්නේ. අනික ලංකාවේ වගේ නෙමෙයි. රුපියල් දාහක් කියන්නේ ඒ වගේ රටක විදී ළමයෙක්ට සෑහෙන්න වටින දෙයක්. එහෙම නේද? සාහිල් නම උනත් ගැල පෙන්නේ ඒ පැත්තට.

      රවි අයිය විවේචනයක් කලත් මම සතුටින් බාර ගන්නවා. ඒකේ කිසිම ප්‍රශ්ණයක් නෑ. ඇත්තටම ලංකාව ගැන හිතලා නෙමෙයි මම මේක ලිවුවේ.

      Delete
  7. දිනේෂ් ගේ කතාවක් දැක්ක ගමන් කියවන්න ගන්නේ ආසාවෙන්.. අදත් කතාව සුපිරියි.. කලබල පරිසරයක් උනත් සියුම් සන්ව්දිතැන් ගොනුකර පෙන්වන්න ඔබ දක්ෂයි.. සුභ පතනවා ලේඛන කලාවට තව ගොඩක් දුර යන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කමියෝ.

      Delete
  8. එල ද බ්‍රා
    උඔගේ කතා ඉවර කරන්නෙ අපිව උස්සලා පොලෙවේ ගහලා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මම උස්සලා ගැහුවද, නැත්නම් මොනවා හරි ගහලා ඉන්න වෙලාවට වැටුනද කියලා කවුද දන්නේ ඉතින්.

      Delete
  9. ලස්සනයි වර්ණ ඔයාගේ මේ කතාවත් ...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු අක්කේ.

      Delete
  10. ඉක්මනට දුවගෙන ආවේ උඹේ කීරි ගැහෙන කතාවක් කියවන්න. උඹ මාව මුලා කළේ නෑ. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. හම්මේ හොද වෙලාවට එහෙනම්.

      තෑන්ක්ස් බං.

      Delete
  11. මදි පුතා.. ලියන්නැතිව ඉදල උඹ කම්මැලි වෙලා.. සිද්ධිය වටිනවා.. ඒත් උඹගේ ආරට ඇවිත් නැහැ..

    ReplyDelete
    Replies
    1. පිළිගනිමි උතුමාණනි.

      තාම ටිකක් කම්මැලි කම්මැලි වගේ ;)

      Delete
  12. කියෝලා එන්නම්... කාලෙකින් දිනේෂ්ගේ කතාවක්....

    ReplyDelete
    Replies
    1. උඹ කලින් පෝස්ට් එකේ කතාවක් නැද්ද අහද්දිත් මේක ලිය ලිය ඉදියේ. එල, හෙමීට කියෝපං.

      Delete
    2. අපූරුයි.... අමුතුම නිමිත්තක් එක්ක ලස්සනට ලියල.. හැබයි මදි මදි ගතියක් දැනුන... ටහව ටිකක් දිග උනානම් හොඳයි...

      Delete
    3. තව දගට ලිවුවනම් නිකන් ඇදෙනවා විතරයි සජ්ජෝ. මෙතන අවසානය හොදයි කියලා හිතුනා.

      Delete
  13. සාහිල්ලා හැමතැනම ‍ඉන්නවා දිනේෂ් අයියේ.

    ReplyDelete
    Replies
    1. දුප්පත් කමින් ප්‍රයෝජන ගන්න මාන බලන මිනිස්සු ඉන්න තැන් වල සාහිල් ලා ඕන තරම් හොයා ගන්න පුළුවන්.

      Delete
  14. Replies
    1. හම්මේ ලොකු සෑර්ව මේ පැත්තේ දැක්ක කල්. තැන්කිවු වේවා.

      Delete
  15. ඔයා නවත්තපු තැන නවත්තන්නේ නැතුව තව ටිකක් ලිව්වනම් හොඳයි කියලත් හිතුන.

    ReplyDelete
    Replies
    1. කතාව දික් වෙනවට වැඩිය මෙහෙම නේද හොද.

      Delete
  16. උඩ දේශා කියලා තියෙන දේ ගැන මමත් එකඟයි.මේ "සහීර්" ගැන ලොකු අනුකම්පාවක් මටත් ආවේ නැහැ.

    "අහඹුව"කිව්වේ මේකේ කතානායකගේ පොඩි කාලේ කතාවත්,"සහීර්"ගේ දැන් කතාවත් දෙකම එකක් වෙන නිසාද ?

    ReplyDelete
    Replies
    1. සාහීල් ගැන අනුක්ම්පාවක් මටත් නෑ.

      නෑ බං, අහඹුව කියලා දැම්මේ මේ සිද්දිය ඇයත් එක්ක සාහිල්ගේ කතා බහ වෙන්නේ අහම්බයෙන් නිසා. මංකොල්ලයක් අතරේ සිද්ද වෙන පොඩි සිද්දියක්.

      Delete
  17. හැම කතාවක ම අවුල් පැත්තක් තියෙනවා බන්!!

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ගොඩක් වෙලාවට දකින්නේ අවුල් නැති පැත්තනේ මචෝ.

      Delete
  18. කාලෙකින් මල්ලිගෙ කෙටි කතාවක් කියෙව්වෙ. හැමදාමත් වගේ අපූරුයි. හිතන්න යමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් අයියවත් දැක්කේ.

      Delete
  19. Replies
    1. තෑන්ක්ස් මචෝ.

      Delete
  20. ලංකාවෙත් සාහිල් කෙනෙක් උන්නා යාපනෙ.නම සෙන්දුරන්.කෝච්චියට පැනලා මලා.මට කතාව පුරා මතක් උනේ සෙන්දුරන් ව.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාන්දරයේ නම් අපි නොදන්න දේවලුත් හැංගිලා තියෙනවා මම හිතන්නේ. කවුද දන්නේ ඉතින්. හුඟක් දෙනෙක් ඔහොම තමයි.

      Delete
  21. හිතට දැනෙන විදිහට, කියවන්න ආස හිතෙන විදිහට.. ඔයා අපේ සමාජයේ තවත් එක අඳුරු පැතිකඩක් හෙළි කරල තියෙනවා

    ReplyDelete
  22. අද හරිම වෙනස් මානයක්. උඹට උනා වගේ හැඩට ලියන මේ කතාවලට ප්‍රස්තුත උඹට කොහෙන් එනවද මංදා. මරු බං.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් අහම්බෙන් වගේ ඔළුවට එන දේවල් තමයි බං ඉතින්.

      Delete
  23. දිනේෂ් ලොක්ක, මටත් මේ කතාව නම් මදි වගේ බන්, මොකක්දෝ අවුලක් තියෙනවා, හැබැයි මේක අර උඹ ලිව්ව වෙසමුණු කතාවෙම දිගුවක්ද කියලත් හිතෙනෝ, මොක උනත් උඹගේ ඉට්ටයිල් එක මේක නෙවේ ලොක්ක, උඹ ඒ ඉට්ටයිල් එකේම හිර වෙලා ඉන්න කියනවා නෙවේ, එත් මේක උඹට ගැලපෙන්නේ නා කියල මට දැනුනේ බන්, මේකේ අහම්බයකට වඩා දෙයක් උඹට මවන්න තිබ්බ, ජය.

    ReplyDelete
    Replies
    1. නෑ බං. වෙස් මුහුණූ එක්ක මේකේ සම්බන්දයක් නෑ. ගැලපීම නොගැලපීම ගැන අදහස් උඹලගෙන් දැන ගන්නත් එක්ක තමයි බං ලියන්නේ.

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්