Monday, 28 December 2015

සාදය



මම හිටියේ සාදයක. ඒ මුහුණු හැම එකක්ම වගේ මට නුහුරු නුපුරුදු ඒවා වුනත් ඒ සාදය අතර  මාත් තව අමුත්තෙක් වෙලා හිටියා. හැමෝම ගැන උනන්දුවක් මගේ හිතේ තිබුනත් ඒ කාටවත් මං ගැන උනන්දුවක් තිබුනේ නෑ. හරියට ඔවුන් හිටියේ මම එතන නැති ගානට.

මගේ අතේ තිබුනේ වයින් වීදුරුවක්. මේ සාදයට මම අමුත්තෙක් වුන හැටි ගැන මම කල්පනා කලා. මේ පරිසරය මට හුරු එකක් නොවුනත් එය බොහෝ ධනවත් වටපිටාවක් වුනා. මම මෙතනට ආවේ කොහොමද? කවුද මට අරාධනා කලේ? මම මගේ හිතත් එක්ක ලොකු කතා බහක නියැලුනා.

කවුරුවත්ම අඳුනන්නේ නැති සාදයක අතරමං වෙලා වගේ හැඟීමක් මගේ හිතට දැනුනා. ඒත් එහෙම වෙන්න බෑ. මම අඳුරන කවුරු හරිම ඉන්න ඕන. ඒත් ඒ කවුද?

මම සාදය තිබුන ගෙවත්තේ මිනිසුන් අතරින් ඇවිදන් ගියා. ඒ විශාල ගෙවත්ත පිරෙන්න තරමටම මිනිසුන් එහි රැදිලා හිටියා. පසෙකින් තිබුන නාන තටාකය දෙසට මගේ හිත යොමු වුනේ ඉබේටම වගේ. එතන රැදිලා හිටියේ තරුණ වයසේ අය. එතනින් කෙනෙක් වත් මාව අඳුනනවා ඇතියි කියන බලාපොරොත්තුවෙන් මම එතනට ලං වුනා.

ඒ හැමෝම හිටියේ ඔවුන්ගේ ලෝක වල. මධුවිත ඔවුන්ගේ ලෝක වලට පාර කපලා තිබුනා. ඒ යෞවන මුහුණු අතරේ මම කෙනෙක්ව හෙවුවා. මම දැන හඳූනන කෙනෙක්ව. නාන තටාකය තුල අඩ නිරුවත් තරුණියන් පෙම් සුව විදිමින් හිටියා. මම ඔවුන් දිහා යාන්තමින් බලාගෙන ගිහින් වාඩි වුනේ ඒ අසලම තිබුන බංකුවක.

සාදයේ දෙවිදිහක සංගීතයක් වාදනය වුනා. නාන තටාකය අසල තාරුණයට රළු සංගීතයත්, ගෙවත්තේ එකතු වෙලා හිටිය වැඩිහිටියයන්ට ක්ලැසික් සංගීතයකුත් වාදනය වන හැටි මම නිස්කලංකව ඇහුම් කන් දුන්නා. ඒත් මම හිටියේ සංගීත රසය විඳිනවාට වැඩිය විසදගන්න බැරි ප්‍රශ්ණේක ගිලෙන ගමන්.

මේ නුපුරුදු වටපිටාවට මම ආවේ කොහොමද? මම පුළුවන් තරම් මගේ මතක තුල කිමිදෙන්න උත්සාහ කලා. ඒ තරම් මත් බවක් මට නොදැනුනා වුනත් මට මගේ මතකය එක්ක කතා කරන එක හිතන තරම් ලේසි දෙයක් වුනේ නෑ. අසාර්ථක වුන උත්සාහයට පස්සේ අතේ ඉතුරු වෙලා තිබුන වයින් වීදුරුව හිස් කරපු මම නාන තටාකය දිහා බලාගෙන හිටියා.

අඩි කීපපයක් උසකින් හැදුන තැනකින් තරුණයින් නාන තටාකයට පනිමින් හිටියා. ඒ කිමිදුමෙන් පස්සේ ඔවුන් ආයෙමත් කලේ ඒ අඩි කිහිපයේ උසින් නාන තටාකයට පනින එක. කිසිම තේරුමක් නැතුව උනත් මම ඒ දිහා බලාගෙන හිටියා. සිව් දෙනෙක් දිගින් දිගටම ඒ දේ කලා.

එයින් එක අයකුට මගේ අවදානය යොමු වුනේ අහම්බෙන් වගේ. අනිත් හැමෝම ඔහු දෙස අවදානයෙන් ඉන්න බව ඉබේටම වගේ මට තේරුම් ගියා. ඔහුත් එක්ක දියට පනින අනික් තිදෙනා ඇරුනම නාන තටාකය තුල හිටිය අයත් ඔහු දිහා හිටියේ මටත් වඩා අවදානයකින්. ඔවුනොවුන් එකිනෙකා අතර ඇස් වලින් කතා කරමින් හිටියා.

ඉස්සෙල්ලම දියට පැන්නේ ඔහුත් එක්ක හිටිය සඟයෙක්. කලින් වතාවට වැඩි වෙලාවක් ඔහු නාන තටාකය තුල ඉද්දී හැමෝමගෙන අවදානය යොමු වෙලා හිටි තරුණයා දියට පැන්නා. නාන තටාකය තුල ඔහු පිහිනන්නට සැරසෙත්ම ඒ තුල වූ ඔහුගේ සඟයා ඔහුගේ දෙපා වලින් ඔහුව ග්‍රහණයට ගත්තා.

මෙය ඔවුන් විනෝදයට කරන දෙයක් වෙන්න ඇති කියලා හිතන්න මගේ හිත පෙළඹුනත් එය වෙනස් වුනේ ඔහු තම සඟයාගෙන් ගැලවෙන්න උත්සාහ කරද්දී. මම වාඩි වෙලා හිටිය බංකුවෙන් නැගිට්ටා. ඒ එක්කම වගේ දියට පැන්නේ ඔහුගේ තවත් සඟයෙක්. අඩි කීපයක උඩක ඉදන් දියට පැන්න ඔහුගේ සම්පූර්ණ ශක්තියෙන්ම පහරක් එල්ල වුනේ අනිකාගෙන් ගැලවෙල්ල උත්සාහ කරමින් සිටි ඔහුගේ හිසට.  තව මිනිත්තු කීපයක් යන්න කලින් තවත් එවැනිම පහරක් ඔහුගේ හිසට එල්ල වුනේ දියට පැන්න ඔහුගේ අනික් සඟයාගෙන්.

ඊලග තත්පර කීපයෙදි ඔහුගේ සිරුර නිසළ වෙලා තිබුනා. නාන තටාකය තුල ඔහුව අල්ලාගෙන හිටිය මිතුරා මුදා හැරියේ ඔහුගේ මළ සිරුර කියලා මට හොදටම විශ්වාසයි. මට ඇරෙන්න ඒ සිද්ද වුන දේ එතන හිටිය කිසිම කෙනෙක්ට අමුත්තක් වුනේ නෑ. ඔවුන් හැම කෙනෙක්ගෙන්ම දිස් වුනේ ජයග්‍රාහී සතුටක හැඟීමක්. 

මම මගේ කුතුහලය ඔවුන්ට නොපෙන්නා ඉන්න උත්සාහ කලා. මම අයෙම ඇවිත් වාඩි වුනේ මම කලින් වාඩි වෙලා හිටිය බංකුවෙමයි. ඒ ලගම තිබුන වයින් වීදුරු දෙකක් එක හුස්මට බීලා දාලා ඉවර කරද්දී ඔවුන් ඔහුගේ මළ සිරුර පිටුපස කාමරයකට ගෙන ගිහිනුත් හමාරයි. දැන් හැම දෙයක්ම කලින් තිබුනා වගේමයි. සාදය, විනෝදය, සංගීතය, මත් බව, සරාගී තාරුණ්‍ය මොකක් හරි රහසක් වසන් කරනවා කියලා මගේ හිතට දැනුනා.

ටික වෙලාවක් ගෙවිලා ගියා. මම හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව. මෙතනින් පැනලා යන්න ඕන කමක් හිතට සැරින් සැරේ ආවත් එක පාරම එහෙම දෙයක් කරන්න බැරි කමට මම ඒ බංකුවෙම වාඩි වෙලා හිටියා. ඒ අතරේ තව වයින් වීදුරු කීයක් මගේ අතින් හිස් උනාද කියන්න මම දන්නේ නෑ. ඒත්, ඒ එකකින් වත් මත් බවක් මට ලැබුනේ නැහැ.

" මට ඔයා එක්ක දෙයක් කතා කරන්න ඕන."

හදිසියේම මගේ ලගට ආව ඇය හෙමීට කතා කරන්න ගත්තේ මගේ දිහාට නැඹූරු වෙන ගමන්. මම එක පාරම බැළුවේ ඇය දිහා. ඒ අඩුම ගානේ ඇයවවත් මම අඳූනනවද කියලා දැන ගන්න.

" මම දැන් හුඟක් වෙලාවක ඉදන් මගේ තාත්තවයි සහෝදරයවයි හොයන්නේ. එයාලා මේ කොහේවත් නැහැ. ඒක මහ පුදුම දෙයක්. මට මහ අමුත්තක් දැනෙනවා."

ඒ අමුත්ත ඇයට වඩා තදින් මට දැනෙන බව කියාගන්න ඕන වුනත් මට පුළුවන් වුනේ නෑ. ඇයත් මට ආගන්තුකයි. ඒත් ඒ කතාබහෙන් හැසිරීමෙන් මේ සාදය තියෙන්නේ ඇගේ ගෙදර කියලා හිතා ගන්න පුළුවන් කමක් මට තිබුනා.

" මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕන. මට ඔයා ඇරෙන්න වෙන කවුරුවත් මේ වෙලාවේ විශ්වාස කරන්න බැහැ. අපේ පල්ලෙහා තට්ටුවේ තියෙන ස්ටෝරු කාමරේට ඔයා එන්න. මම බලාගෙන ඉන්නවා."

ඇය මගේ ලඟින් ඈත් වෙලා ගියේ බොහොම කලබලයකින්. මම තවමත් මතක් කර ගන්න උත්සාහ කලේ ඇය කවුද කියන්න. ඒ මුහුණේ, ඒ කතාබහේ යන්තම් හුරුවක් තිබුනත් මට ඇයව මතක් කර ගන්න පුළුවන් වුනේ නෑ. මම ඇය යන දිහා බලාගෙන හිටියා.

නාන තටාකය පහු කරන් යද්දී ඇය වෙතට දුවන් ආවේ කලින් මම දැක්ක සඟයන්ගෙන් එක්කෙනෙක්. ඔවුන් අතර කතාබහ බොහෝම කෙටි එකක් වුනා. ඇය යන දිහා ඔහු බොහෝම උනන්දුවෙන් බලාගෙන හිටියා. ඔවුන් යහළුවෝද? කලින් මිනීමරුම මම දැක්ක බව ඔවුන් දන්නවද? මටත් ඔවුන් කරන්න හදන්නේ ඒ දේමද? මම ඔවුන් දිහා බලාගෙන ඉන්න අතරේ කල්පනා කලා.

ඇය ඇවිදන් යන දිහා මම වගේ ඔවුනුත් බොහොම ඕන කමින් බලාගෙන හිටියා. මට මොහොතකට කලින් හිතුන දේ වැරදි නම්. මතක් වුනේ ඇය කිවුව දේවල්. ඇය හොයන සහෝදරයා මේ වෙද්දිත් මිය ගිහින් කියලා ඇයට කියන්න තිබුනනම් කියලා මට හිතුනා. ඒත් ඔහු ඇගේ සහෝදරයාද කියලවත් මම හරිහැටි දන්නේ නෑ. එකම දේ ඇයව හමුවෙලා කතා කරන එක. මම පරක්කු වුනොත් ඇගේ ජීවිතේ උනත් අනතුරේ වැටෙන්න වැඩ් වෙලාවක් යන එකක් නැහැ.

මම ඇය ගිය පැත්තට ඇවිදන් ගියා. නුහුරු නුපුරුදු තැනක ඇය කිවුව තැන හොයා ගන්න එක ඒ තරම්ම ලේසි දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් ඇය මට එන්න කිවුවේ මේ තැන් ගැන මම හොදාකාරවම දන්න නිසාද? හිතට සැරින් සැරේ ආවේ උත්තර නැති ප්‍රශ්ණ ගොඩක්.

තරප්පු පෙලක් බැහැගෙන මම ආවේ ටිකක් අඳූරු කාමරයකට. විදුළි පහනක් දැල් වුනත් ඒක ඒ තරම්ම ප්‍රමාණවත් ආලෝකයක් නෙමෙයි. කාමරය පුරාවට අසුරලා තිබුනේ නොයෙක් වර්ගයේ වයින්. මම ඒ අතරින් ඇවිදගෙන ගියා. කවුරු හරි කතා කරන සිහින් කට හඬක් මට ඇහුනා.  මම ඒ දිහාවට හැරුණා.

යන්තම් අඳුරු මුල්ලක ඇය ඔහුට නතු වෙලා හිටියා. ඔහුගේ අතේ තිබුනේ තියුණු පිහියක්. කොයිම වෙලාවක හරි ඒකෙන් ඔහු, ඔහුගේ අරමුණ ඉටු කර ගන්නවා කියලා මට දැනුනා.

" උඹලා මෙහෙම කරන්න හේතුව විතරක් මට කියපං."

ඔහු ඇයට තදින් කියා හිටියා. ඒක හරියට අවසාන ඉල්ලීමක් වගේ. ඒත් ඔහු ඒකට පිළිතුරක් දුන්නේ නෑ. ඔවුන්ට නොදැනෙන්න මම ඔවුන් ලගටම ලං වෙලා හිටියා. මගේ අතට අහුවුවේ වයින් බෝතලයක්. මම ඒකෙන් ඔහුගේ හිසට පහරක් එල්ල කලා. ඒක මරු පහරක් නොවුන නිසාම ඔහු මං දිහාට ආවේගයෙන් හැරෙන්න උත්සාහ කලා. තව වරක් නොසිතාම ඔහුගේ හිස ඒ අසලම තිබුන යකඩ කණුවේ අනින්න මට පුළුවන් වුනා. තව වරක්. තව දෙතුන් වරක්ම.

කැබලි වී ගිය ඔහුගේ හිසෙන් ලේ දාරාවල් ගලන්න වුනා. තව දුරටත් ඔහුගේ ජීවිතය රැදිලා තිබුනේ නෑ කියලා මට හොදටම විශ්වාසයි. මම හැරුණේ ඇය දිහාවට. ඉක්මනින් ඇවිත් ඇය මාව වැළදගත්තා.

" අපි මෙතනින් බේරිලා යන්න ඕන. උන් ඔක්කොම හදන්නේ අපිව මරන්න."

ඇය එක දිගට කියාගෙන ගියා. මට ඇගෙන් අහන්න, දැන ගන්න හුඟක් දේවල් තිබුනත් මම නිරුත්තර වෙලා හිටියා. 



***

මේක කෙටි කතාවක් එහෙම නෙමෙයි ඔන්න. සතියකට විතර උඩදි දැක්ක හීනයක්. මේ වගේ තේරුමක් නැත් හීන මොන එකකට පේනවද මන්දා. හැබැයි ඒ කොහොම උනත් හීනේ නම් මරු. මේක මෙහෙම හරි අමතක වෙන්න කලින් ලියලා දැම්මේ මේක පස්සේ හොද කතාවක් කරන්න පුළුවන් තරමේ සිද්දීයක් නිසා.

ප්‍රශ්ණය ; සමහර හීන වලදි අපි කොච්චර කතා කරන්න උත්සාහ කලත් කතා කර ගන්න බැරි වෙන්නේ ඇයි?




43 comments:

  1. කියවාගෙන යද්දිම මට හිතුනා අනිවා මේක හීනයක්ම වෙන්නැති කියලා.
    මරු!!

    ඇයි බං අපිට මේ වගේ සිනමාත්මක හීන නොපෙනෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් හිටු බොරු නොකියා.

      මේවගේ හීන එහෙම ලේසියෙන් පේන්නේ නෑ හරි.

      Delete
  2. හීනේ හරි ලස්සනට අකුරු කරලා..... මට නං තියෙන අවුල තමා දකින හීන ඒළිවෙද්දි බින්දුවක්වත් මතක නැති ඒක.. හැබැයි මං ඒක දෙයක් දන්නවා... මට මාර මාර හීන පේනවා......

    ReplyDelete
    Replies
    1. අනිවා මටත් එහෙමම තමයි. සමහර පට්ට හීන එහෙමම අමතකයි. අපරාදේ අප්පා.

      Delete
  3. // සමහර හීන වලදි අපි කොච්චර කතා කරන්න උත්සාහ කලත් කතා කර ගන්න බැරි වෙන්නේ ඇයි? //

    එහෙම වෙන්නේ ඒ ඒවා හීන හින්දා....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සමහර හීන වල අපි කතා කරනවනේ. හැම එකේම එහෙම නොවෙන එකයි අවුල.

      Delete
  4. ඇතියන්තං හීනයක් වුනේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අර මොකෝ?

      Delete
  5. මටත් කියන්න තියෙන්නේ බස්සි අක්කා කියන්නා වගේ ඇයි අපට මේ වගේ හීන නොපෙනෙන්නේ කියලා....

    ReplyDelete
    Replies
    1. එවුවා රහස්.. එවුවා රහස්..

      Delete
  6. මේ දැන් ඔලුවට පාරක් වදී කියලා හිත, හිත ඉන්නකොට දිනේෂ් නැගිට්ටනේ...:P

    මටත් නම් පේන්නේ භූත හීන. හැබැයි මෙච්චර දිගට, ලස්සනට නම් පේන්නේ නෑ.:D

    ReplyDelete
    Replies
    1. හම්මේ, හීනෙන් හරි පාරක් වදිනකන්නේ බලාගෙන ඉදලා තියෙන්නේ.

      භූත හීන නෙමෙයි. ඔයාට දැන් සර්පයෝ එහෙම ඉන්න හීන පේන්නේ නැද්ද ;)

      Delete
  7. LSD හරි Extacy pills හරි වැඩ කරලා තියෙනවා ලේ වල.ඊට මෙහා දේකින් ඔච්චර දුර යන්නෙ නෑ.. ඇති ඔයින් ගියා.. නිවි නිවි පත්තු වෙන පාට පාට එලි වලට මූ නිලංකාර උනේ නැද්ද මං අහන්නෙ..
    හීනෙන් හීනෙන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, හා හා සද්ද නොකර හිටු ඉතින්.

      // නිවි නිවි පත්තු වෙන පාට පාට එලි වලට මූ නිලංකාර උනේ නැද්ද මං අහන්නෙ.. //

      නෑනේ මේක උනේ පට්ට දවාලකනේ.

      Delete
  8. දකින හීනත් මාරයි...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින්.

      Delete
  9. උඹ හීනෙකත් අපිව අතරමන් කළා, කුහුල ටික ටික උඹ වැඩි කරපු විදිය අපුරුයි, ටෝටල් හීනයක්ම වෙන්න බෑ, හීනේ අස්සේ උඹේ ටැලන්ට් එකත් තියෙනවා මේ කතාවේ. ජය.

    ReplyDelete
    Replies
    1. ටෝටල් සිද්දියම හීනෙන් තමයි දැක්කේ. ඔය වට පිටාව අනන් මනන් විස්තර ඉතින් මගේ අතින් දාපුව තමයි.

      Delete
  10. මටත් පට්ට ආතල් හීන පෙනිලා තියෙනවා...
    ඊයෙත් මම යාළුවෙක් එක්ක හීන ගැන කතා කරා...
    ඒ පොර නම් ආපු දවස් වල මට කිව්වේ හීන දකින්නේ නෑ කියලා ද කොහේද...

    ඒත් මේ ළඟදි එයාත් දැකපු හීනයක් ගැන කිව්වා...

    හීනය පට්ට කියලා දානවාද, පෝස්ටුව පට්ට කියලා දානවාද කියලා හිතා ගන්ට බෑ...

    ReplyDelete
    Replies
    1. හීන නොදකින්නේ කවුද ඉතින්. වැඩේ තියෙන්නේ හුඟක් ඒවා අන්තිම වෙද්දි අමතක වෙන එක.

      හීනේ තමයි පට්ට ඉතින්. නැත්නම් මෙහෙම ලියවෙන්නෙත් නැහැනේ.

      Delete
  11. හීන සැබෑවන්නේ කැපවිමෙනි....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට මම මේ හීනේ හැබෑවෙන්න කෝමද කැපවෙන්න ඕන?

      අනේ ඇත්තට මෙහෙමත් උන්.

      Delete
  12. හීන කියන්නේ හරි පුදුමාකාර දේවල්. හීන ණයටයි, පොලිය අපෙන් කියලා සින්දුවකුත් තියෙනවානෙ. ඒ කියන්නෙ හීනයට හැබෑවක් නොවුනත් ඒකෙ බලපෑමෙන් අපි විඳවීමක් සිදුවෙනවා. මේකට විඳවීම කිව්වෙ, හීනය නරක එකක් නම් අපි ඒක හැබෑවෙයිද කියන බයෙන් විඳවනවා. හීනය හොඳයිනම් ඒක හීනයක් විතරක් වුණේ ඇයි කියලා අපි විඳවනවා.

    මහා බරපතල/තීරණාත්මක දේවල් නොපෙනුනාට සුළු සිද්ධිනම් කල් ඇතිව හීනෙන් පේන ගතියක් තියෙනවා. එහෙම නැත්නම්, පසු දිනක යම් සිද්ධියකට මුහුණ දෙද්දි මම මේක කලින් කවදා හෝ අත්විඳ තියෙනවා කියන හැඟීම (Déjà vu) වෙන්න පුළුවන්. අන්න එතනදි තමා බං හිතෙන්නෙ අපිට වෙනත් ආත්මයන් හෝ සමාන්තර විශ්වයන් තියෙනවා කියලා.

    මම අහලා තියෙන විදිහට පූර්ණ නින්දකදි හීන පේන්නෑ. අඩ නින්දෙදි තමා පේන්නෙ. හීනවලදි, අපිට කරදරයකින් බේරී පලායන්න කොයිතරම් දැඟළුවත් බැරි ගතියක් දැනෙනවා. අනික තමා කෑ ගැහුවට සද්දෙ පිට නොවීම. සද්දෙ පිට වුණොත් ඒ එක්කම අපි ඇහැරෙනවා. හරිම පුදුමාකාර මානසික චිත්‍ර විශේෂයක්.

    උඹේ කතාව දැකලා මට හිතට ආවෙ මේ ටික. අවසානයක් නැති නිසා හීනයක්ම තමා!

    ReplyDelete
    Replies
    1. බොලා හීනෙන් චූ දාල නැති හැඩයි..

      Delete
    2. මධුවා, ඇත්ත බං උබ කියන එක. මම දෙපාරක්ම මගේ මරණේ හීනෙන් දැකලා බයෙන් ඉදලා තියෙනවා මගේ කාලෙ හරි කියලා හිතලා. හෙහ්,

      වෙන්න තියෙන දේවල් යන්තම් පෙනිලා යන එක නම් මාරම සීන් එක තමයි. සමහර වෙලාවට එකම දේ ආයෙත් වුනා වගේ දැනුනම කල්පනා කරලම එපා වෙනවා කලින් මේක කොහෙදිද උනේ කියලා.

      කොහොම උනත් ඇහැරෙන වෙලාව ලං වෙලාම තමයි හීන පේන්නේ.

      Delete
    3. ගස් ලබ්බ, මධුවා හැමදාම එහෙමලු බං.

      Delete
    4. චූ නම් මන්දා, ඔන්න තව..........

      Delete
    5. හෙහ් හෙහ්, ඒ හරිය ඉතින් මොකට කියනවද.

      Delete
  13. යකෝ හීනයක් වුණත් අවසානයක් තියෙන්න එපැයි අප්පා හීන පෙන්නන සංස්තාවට බොලං හරියට සල්ලි බැදල නැතිවැති හිහි
    පොඩ්ඩක් හොයල බැලුව නං
    අපිට නං ජීවිතේට දැක්ක හීනයක් මතක හිටින්නෑ
    එන්න ඒකෙත් හැටි..
    අපූරුයි දිනේෂ් ජයවේවා

    ReplyDelete
    Replies
    1. මට නම් හීන පෙන්නන සංස්ථාව පරණ තරහකටත් එක්ක හීන පෙන්නනවද කොහේද බං.
      කියලා වැඩක් නෑ

      Delete
  14. මං හිතන්නෙ නීනෙට වඩා ඔයාගෙ කතාව ලස්සනයි.
    හීනෙන් කතා කරන්න උත්සාහ කළාට කතාකරන්න බැහැ තමයි. විශේෂයෙන්ම අපි කෑගහන්න හදන අවස්ථාවල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මොනවා හරි කියාගන්න බැරුව දඟලද්දී ඉබේම ඇහැරෙනවනේ.

      Delete
  15. මටත් තියෙනවා ඔය ලෙඩේ.. හීනෙන් කොච්චර කතා කරන්න කෑ ගහන්න හැදුවත් සද්දේ පිට වෙන්නේ නෑ.. :)
    ඉයන් කියුවා වගේ වෙලාවට හීනයක් උනේ. නැත්නම් කිරිමෙල් කේස් දෙකක්.. එකක් මිනිහෙක් මරපු එක. අනික කෙල්ලක් එක්ක පැනල යන එක..

    ReplyDelete
    Replies
    1. හෑ, මමයැ දැන් මිනී මැරුවේ? කෙල්ල එක්ක යන එක වෙනම කතාවක්, මිනී මැරුමත් මට ගාවන එක හරි වැරදියි ඈ.

      Delete
  16. ඇත්ත තමයි. කොච්චර උවමනාව තිබුනත් හීනෙකදි කතා කරන්න බැහැ. මට නම් සමහර වෙලාවට දුවන්නත් බැහැ ;)

    ReplyDelete
    Replies
    1. මම නම් දුවනවා. හැබැයි කොච්චර දිවුවත් අන්තිමේ එකම තැනමයි.

      Delete
  17. මම කියවද්දී හිතුවේ උඹ ආපහු කතාවක් ලියන්න පටන් අරගෙනය කියලා...

    මටත් එක එක විකාර පේනවා හීනෙන්...
    සමහර වෙලාවට සර්පයෝ එළවගෙන එනවා, කොච්චර හයියෙන් දිව්වත් බේරෙන්න බැහැ, හැබැයි ඌ කන්න කලින් ඇහැරෙන නිසා ගැටළුවක් නැහැ...

    ඒත් සමහර වර්ග වල හීන නම් එපා වෙනවා, අවසානයක් දැකිය යුතුම හීන ඉවර වෙන්න කලින් ඇහැරෙන එකට නඩු දාන්න ක්‍රමයක් එහෙම නැද්ද දන්නේ නැහැ, නේද මචං...

    ReplyDelete
    Replies
    1. සර්පයෝ ගැන හීනයක් මටත් ලියන්න තියෙනවා. ඒක නම් සෑහෙන්න කාලෙක ඉදන් එකම විදිහට දකින එකක්.

      ඔය නඬු දාන්න ඕන කියලා හිතෙන ජාතියේ හීන නම් ඉතින් සෑහෙන්න පේනවනේ. වැඩේ කියන්න් ඒවා වැඩි හරියක් මේ වගේ අන්තිමට මතක හිටින්නෙත් ඇති එකනේ.

      Delete
  18. හපොයි මං හීනෙන් බයවෙනවා කියල අපේ මහත්තැන් කියනවා.ඇයි කියලා අහපුවාම මං නොයෙකුත් උත්තර දෙනවළු.පූසා මැරැනා.මං ගගේ ගහගෙන යනව කියලා.කරුමෙට උදේට මට මුකුත් මතක නෑ.ඉතින් මට බොරු චෝදනා කරනව කියලා සුද්ද එක්ක වලි දානවා
    හීනේ ලියල තියන විදිය පට්ට..කෙල්ල එක්ක පැනල ගිය එක නං බයානකයි.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට උත්තර දෙන්නෙත් හීනෙන්මද. හරි ශෝක්. මං වගේ උනානම් රෙකෝඩ් කරලා පස්සේ අහන්න දෙනවා.

      කෙල්ල එක්ක පැනලා යන්නම උනානේ ඉතින්. ;)

      Delete
  19. එයි උබ හොයාගනින් ක්‍රමයක් උබේ හින අනික් අයට ටිකට් ගහලා පෙන්නන්න.... බර ගානක් හොයාගන්න පුළුවන් වෙයි... :)

    ReplyDelete
  20. හීනෙ දෙවන කොටසකුත් පෙනෙයි නේද ?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්