Wednesday, 4 November 2015

වෙස් මුහුණු



කණ්නාඩියෙන් පේන මගේ හැඟීමක් නැති මුහුණ දිහා මම බලාගෙන හිටියා. තැනින් තැත අපිලිවෙලකට මතු වුන රැවුල් ගස් එක්ක මුහුණේ තිබුනේ සුදුමැළි වෙලා ගිය පෙනුමක්. කණ්නාඩියේ ඉහළ තිබුන විදුළි බුබුලේ ආලෝකය කෙලින්ම වැටුනේ මගේ ඇස් වලට. අව පැහැ වී ගෙන ආව ලා දුඹුරු පාට, කාලෙකට කලින් තිබුන තියුණු පෙනුමත් මගෙන් ඈතට අරගෙන ගිහින්ද කියලා එක වෙලාවකට මට හිතුනා.

මම මගේ මුහුණ දිහාවට තවත් හොදට එඹුනා. කම්මුල් ලගින් වැටීගෙන ඇවිත් තිබුන රැලි දෙක තුන අතින් හදාගෙන මම හිනා වෙන්න උත්සාහ කලා. ඒත් කණ්නාඩියෙන් මට පෙනුනේ මගේ සුදුමැළි මුහුණ විතරයි. මම තව පාරක් හිනා වුනා. ආයෙමත්, තව දෙතුන් වතාවක්ම. බොහොම හුරුපුරුදු අඬුවක් හිතට තදින්ම දැනුන හන්දම මම ඒ උත්සාහය අන්තිමේ නවත්තලා දැම්මා.

කණ්නාඩි මේසයේ පහල ලාච්චුවක තිබුන මුහුණු ආලේපන කීපය මම අතට අර ගත්තා. සුදු ක්‍රීම් එක මුහුණේ දවට ගත්තේ වෙනදටත් වැඩියෙන්. ඊට පස්සේ මම ආයෙම කණ්නාඩියෙන් මුහුණ දිහා බැළුවා. කලින් තිබුන මලානික කම සුදු පාටින් වැහිලා ගිහින් තිබුනා. ඒ වුනත් ඒ ඇස් වල, ඒ යන්තමට රැළි ගැහුන කම්මුල් වල කලින් තිබුන අඩුව ඒ වගේම පේන්න තිබුනා.

හිතේ තිබුන උදාසීන කමම මුහුණ පුරාමත් පැතිරිලා ගිහින්. හුස්ම හිරකරවන තරමේ වේදනාවක් සැරින් සැරේටම හදවත පුරාවට දුවද්දී, හැමදාම හොදින් හුරුපුරුදු උන දේට පවා හිත එක් තැන කර ගන්න එක අමාරු දෙයක් වෙලා ගිහින්. මම මුහුණු ආලේපන කීපය මේසයේ පැත්තකින් තිබ්බා. ඒ අඳුරු වෙලා තිබුන ඇස් දිහාවට මම තව ටිකක් නැඹුරු උනා.


***

" උඹ ඔය කරන්නේ වැරැද්දක්."

ඒ හඬේ තිබුනේ ආවේගශීලී තියුණු බවක් උනත් ඔහු ඒ කිසිවක්ම මායිම් නොකල තරම්. ඒත් නිවසේ දොර ලග ටික වෙලාවකට නැවතුන ඔහු වුවමනාවක් නැතුව උනත් ඒ කතාවේ ඉතුරු ටික අහන්න සූදානම් වුනා. ඒ වයස්ගත දෑස් ඔහු දිහා එක එල්ලේම බලාගෙන හිටියත් ඔහු ඒ වගක් මායිම් නොකරම බලාගෙන හිටියා.

" මට කොතනක හරි වැරදුනා."

ඔහු වෙව්ලන ස්වරයෙන් කතා කරන්න පටන් ගත්තා. මොහොතකට කලින් තිබුන ආවේගශීලී හඩ ඔහු තුලින් නැති උනත් වේදනාව සඟවාගෙන කතා කරන්න ඔහු ලොකු උත්සාහයක යෙදුනා.

" දැන් වැරදුන තැන් හදන්න හිතන්න තරම් කාලයක් නෙමෙයි. ඔයාට ලොකු උනේ ඔයාගේ මහ ලොකු වැඩ. රැයක් දවාලක් නැතුව මිනිස්සු හිනස්සන වැඩ කලාට මං ගැන හිතන්න එක විනාඩියක් වත් ඔයා ලග තිබුනේ නෑ."

කාලයක් පුරාවට ඔහුගේ හිතේ රැදිලා තිබුන ආවේගය ඔහු මොහොතින් මුදා හැරියේ තම පියාගේ සිතුවිලි ගැන තවත් වද වීමේ වුවමනාවක් නැතැයි හැඟීමෙන්. මාර්ක්, තම පුතාගෙන් එල්ල වුන චෝදනා අතරේ තව දුරටත් ළමා පෙනුමක් නැති බෙන්ගේ මුහුණ දිහා බලාගෙන හිටියේ වචනයක් වත් කියාගන්න බැරුව.

" මම උඹ ගැන හිතුවා. අන්න ඒ නිසයි මට මේ දේවල් කරන්න වුනේ."

" ඒක ඔයා ඔයාගේ වාසියට කියන කතාවක් මිස ඇත්ත නෙමෙයි කියන්න ඔයත් හොදටම දන්නවනේ. ඔයා නෙමෙයි, අන්තිමට මිනිස්සු ඉස්සරහා විහිළුවක් උනේ මමයි."

මාර්ක්, බෙන්ගේ චෝදනා හමුවේ තව තවත් නිරුත්තර වී බලා හිදිහා .

" ඒත් උඹ ඔය දැන් කරන දේ හරියි කියලා විතරක් කියන්න එපා. බෙන් , උඹට තාම දාහතයි."

නිවසින් එලියට බහින්න සූදානම් වුන බෙන්ව තව මොහොතකට නතර කර ගන්න මාර්ක්ට පුළුවන් උනා. මාර්ක් නිවසේ ඉදිරියට ආවේ තම එකම පුතාව වැරදි පාරෙන් ගලවා ගන්න තවත් අවස්ථාවක් ඔහුට එන එකක් නැති වේවියි කියලා හිතට දැනුන හැඟීම නිසා. ඒත් මාර්ක් ඒ වෙද්දීත් ප්‍රමාද වැඩියි කියලා ඔහුගේ හිතට තදින්ම දැනුනා.

රස්තියාදුකාර විදිහට පෙනුන, සිගරට් උරමින් සිටිය බෙන්ට වඩා වයසින් වැඩි තරුණයන් කීප දෙනෙක්ම නිවසේ මායිමට එහායින් බෙන් එනතුරු රැදිලා හිටියා.

" බෙන්, මම කියන දේ අහන්න. ඔයා මේ දේවල් කරන්න ඕන නෑ. තාම වෙනස් වෙන්න කාලය තියෙනවා."

මාර්ක්, ආයාචනාත්මකව බෙන්ට කතා කලා. ඒ, මේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් කියලා මාර්ක්ට දැනුන නිසා. ඒත්, ඈතින් හිටිය කොළු රංචුවේ මුවින් පිටවෙන සිගරට් දුමාරය තරම්ම වේගයෙන් බෙන් ඔවුන් අතරට ලං වෙලා හිටියා.


***

සති කිපයක් ගෙවිලා ගියේ කොයි තරම් වේගයෙන්ද කියලා හිතා ගන්නවත් බැරුව මම කණ්නාඩිය දිහාම බලාගෙන හිටියා. බෙන්, ඔහු කොහේ ඇත්ද? හැඟීම් වලින් තොර වෙලා ගිය මුහුණේ රැදිලා තිබුන එකම වේදනාව ඒ ගැනයි. බෙන්...

කණ්නාඩි මේසය ලගින් නැගිට්ට මම හෙමින් කාමරය පුරා ඇවිදන් ගියා. කාමරයේ තිර රෙදි වලට එහායින් ඇහෙන ඝෝෂාව ආගන්තුක එකක් නොවුනත් තරමක නොරිස්සුම් ගතියක් හිත පුරාම ඇදිලා ගියා. මම ඒ හඬට ඇහුම් කන් නොදී ඉන්න උත්සාහ කලා. ඒත් ඒක ඒ තරම්ම පහසු දෙයක් නොවුනේ ජීවිතේ තරමටම කාලයත් එක්ක මේ ඝෝෂාව ලං වෙලා තිබුන නිසා.

" මර්ක්, තාම ලෑස්ති නැද්ද? තව විනාඩි පහලොවකින් ඔයාගේ එන්ට්‍රී එක."

ඇගේ කටහඬ මාව කල්පනා ලෝකයෙන් මෙහාට අරගෙන ආවා. මම ඇය දිහා බැළුවා. නමුත් ඇය මගේ දිහා බලාගෙන හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි හැඟීමකින්.

" මොකක් හරි ප්‍රශ්ණයක්ද?"

" හ්ම්ම්."


***

හුදෙකලා උන කාමරය තුල ඔහු උමතුවෙන් මෙන් ඇවිදිමින් හිටියා. හිස්ව ගිය කාමරයේ ඔහුගේ පියසටහන් වල දෝංකාරය නැගෙන තරමටම ඒ තුල වුනේ මහා පාළුවක්. ඒත් ඒ කිසිම දෙයක් ගැන ඔහුගේ හිතේ ඉඩක් තිබුනේ නෑ. ඒ තරමටම කලබලයෙන් ඔහුගේ හිත බොහෝමයක් දේවල් අතර දුවමින් තිබුනා.

දවස් කීපයකට කලියෙන් ගෙදරින් පිටවෙලා ආව හැඟීම ඔහුට සැරින් සැරේ වද දෙන්න උනා. තාත්තගේ මුණේ අන්තිමට රැදිලා තිබුන ආයාචනාත්මක බැල්මෙන් ගැලවිලා යන්න කොයි තරම් උත්සාහ කලත්, නිතරම ඔහුගේ හිත නැවතුනේ එතන. ආපහු හැරෙන්න හිත කොයි තරම් බලකලත් බෙන් නැවතිලා හිටියේ ආපහු හැරෙන්න බැරි දුරක.

" බෙන්, ඉක්මනට ලෑස්ති වෙයන්."

බෙන් හදිසියේම කල්පනාවෙන් මිදුනේ තිගැස්මක් එක්ක. ඒ, පාළුවට ගිය කාමරයේ ඒ හඬ තවත් දෝංකාර දෙමින් ඇහුන නිසා.

" මොකද්ද කරන්න තියෙන්නේ?"

බෙන් ඇහුවේ බිඳුන ස්වරයකින්.

" හරියටම හෙට දවල් දෙක වෙද්දී ක්ලිෆර්ඩ් බැංකුවේ සේප්පුවෙන් සල්ලි අරන් යන්න සිකියුරිටි එකෙන් එනවා. අන්න ඒ වෙලාවටයි අපේ වැඩේ අපි කරන්න ඕන."

" මම මොනවද කරන්න ඕන."

" ඒ ගැන කියන්නම් කට්ටියම ලෑස්ති වෙලා ආවට පස්සේ. දැන් ගිහින් මෙන්න මේ ඇදුම් ඇදන් එනවා."


***

මගේ නිහැඬියාව ඇගේ කිසිම ප්‍රශ්ණයකට පිළිතුරක් නොවුනත්, මේ කෙටි වෙලාව හැම දෙයක්ම කියන්න තරම් කාලයක් නොවෙන හින්දම මම කිසිම දෙයක් නොකියා ඉන්න උත්සාහ කලා.

" මාර්ක්, අපි මේ ගැන ශෝ එක ඉවර වෙලා කතා කරමු. මොන දේ උනත් ඒක අමතක කරලා දැන් ලෑස්ති වෙන්න. තව විනාඩි දහයයි තියෙන්නේ."

" හරි."

කාමරයෙන් ඇයට පිට වෙන්න ඉඩ ඇරපු මම ආයෙම කන්ණාඩි මේසය ලගට ලං වුනා. නළල අතරින් ගලාගෙන ආව දහඬිය බිඳු කීපයක් නිසා තැනින් තැන ආලේපන යාන්තමට මැකිලා ගිහින්. පැත්තක තිබුන පුටුව මේසය ලගටම ලං කර ගත්ත මම ඒකේ වාඩි උනේ ඕනාවට එපාවට.

සුදු පැහැ ආලේපනය ඕනාවටත් වැඩිය මුණේ දවට ගත්ත මම තොල් අතර මෙන්ම නාසය වටා රතු පාට ආලේප කර ගත්තා. පැසුන හිස කෙස් වැහෙන්න කොල පැහැ බොරු කොණ්ඬය පැලද ගෙන කන්ණාඩියෙන් පේන මගේ රූපය දිහා මම බලාගෙන හිටියා.

හැම දේම සම්පූර්ණයි. ඒත්, හිතේ නොසංසුං කම ඇරෙන්න. කාමරයේ තිර රෙදි වලට එහායින් ඇහෙන ඝෝෂාව එන්න එන්නම වැඩියි. මම පුටුවෙන් නැගිට්ටේ අවසාන වතාවට ඒ තිර රෙදි අතරින් එහාට යන අරමුණත් එක්ක.


***

කොල පැහැ බොරු කොණ්ඬය දිහා බලාගෙන බෙන් කල්පනා කරමින් හිටියා. ඔහුට දැනුනේ ඔහු වටා තිබුන හැම දෙයක්ම ආපහු ඔහු ලගටම ඇවිත් ඔහුව විහිළුවකට ගන්නවා වගේ. ගෙදර නිතරම දකින්න ලැබුන ප්ලාස්ටික් වෙස් මුහුණ කවමදාවත් පළදින්නේ නැහැයි කියන දැඩි තීරණයක හිටිය බෙන්, ඒ වගේම මුහුණක් දිහා බලාගෙන හිටියා.

මද අඳුරේ තිබුන කාමරේ නිහැඬියාව ඔහුව ගිල ගන්න මාන බලද්දී ඔහුට හිතුනේ ඒ හැම දේකින්ම පැනලා යන්න. ඒත් ඔහු බය උනා. කාමරයේ දොරට එහායින් තියෙන අඳුර තමන්ව මරා දමාවියි කියලා.

බෙන්ගේ දෑස් ඉස්සරහා හදිස්සියේම මැවුනේ අන්තිම වතාවට දැක්ක තාත්තගේ අසරණ වුන මුහුණ. ඔහු දෑස් තදින්ම පියා ගත්තේ ඒ මුහුණ ආයෙම මැවෙන්න එපායි කියන හැඟීමෙන්. 

කාමරෙයෙන් එහා ඇහෙන මුණුමුණුව බෙන්ගේ කුතුහලය අවුස්සලා ඉවරයි. බෙන්, අතේ තිබුන වෙස් මුහුණ පැළද ගත්තා. ඒ ජීවිතේ පළවෙනි වතාවට. හිතේ තිබුන කුතුහලයත් එක්කම බෙන් කාමරෙන් එලියට ආවේ මේ වෙස් මුහුණ ආයේ කවදා, කොහොම ගැලවේවිද කියලා කිසිම හැඟීමක් නැතුව.

 


නිමි...





57 comments:

  1. කතාව, සිද්ධි දාමයන් එක්ක දුරස්ත බවක් මට දැනුනේ.. දෙන්නා දෙවිදියක රගපැමක්..

    ReplyDelete
    Replies
    1. ඔවු, දෙන්නා දෙවිදිහක රගපෑමක් තමයි දේශ.. තාත්තා හරි පාරේ යද්දී පුතා වැරදි පාරක..

      Delete
  2. ආය පාරක් කියවන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා, කියෙවුවනම් අදහසක් කියපංකෝ ඉතින්.

      Delete
    2. මේකා කියවන්න ඕන කියලා ගිහින් මෙන්ඩිස් බෝතලයක් ගැහුවද දන්නේ නෑ කුරුට්ටෝ..

      Delete
    3. එල ද බ්‍රා
      බ්‍රැන්ඩ් එක ගල්

      Delete
  3. මට හිතුනේ බෙන් හැමදාම කලේ වෙස්මුහුණු පැළඳගෙන ඉඳීමක් කියලා. දිනේශ් හැමදාම හිතන්ට යමක් ඉතුරු කරන කතා ලියන්නේ. අපූරුයි.:)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, බෙන් වෙස් මුහුණු පළදින්නේ මුල්ම වතාවට. හැබැයි ඉතින් කොහොම ඒක කෙලවර වෙයිද දන්නේ නෑ.

      Delete
  4. දිනේෂ් මාස දෙකකට විතර පස්සේ අපිට කතාවක් ගෙනල්ලා....

    පියාගේ අඩිපාරේම යන පුතෙක් ,ඔහු ඒ වරදින් මුදවන්න උත්සහ දරනවා වගේ පෙනුනත් ඒහෙමටම උත්සහ නොකරන පියෙක්,අවසානයේ පශ්චාත්තාපය පමනක් මේ ජීවිතේ වෙලාගෙන,මේක එහෙම කතාවක්ද දිනේෂ්...මෙන්න මේ වචනෙන් එහෙම තෙරේනවා..

    .....//හුස්ම හිරකරවන තරමේ වේදනාවක් සැරින් සැරේටම හදවත පුරාවට දුවද්දී,//....

    වරදක් කරලා ඒ වරද සාධාරනයි කියලා කියන්න ඕන වුනාම අපි ඒ වරද කිරීම මේ වගේ නොයෙක් ආකාරයේ සාධාරණියකරනය කරනවා..

    ...//" මම උඹ ගැන හිතුවා. අන්න ඒ නිසයි මට මේ දේවල් කරන්න වුනේ."//....

    තවත් ලස්සන කතාවක් ඉක්මනින්ම අපිට කියවන්න ලැබෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. මම දුර්වල කියවීමක කියල හිතෙනවා මනෝගේ උත්තරය නිසා..

      Delete
    2. මනෝ, කතාව අල්ල ගන්න ට්‍රයි කරලා තිබුනත් අල්ලන් තියෙන්නේ වැරදි තැන් දෙක තුනකින්. කතාව යන්නේ මෙහෙමයි.

      තාත්තා සර්කස් එකක ජෝකර් කෙනෙක්. තාත්තා ඒ දේවල් කලාට පුතා ඒවට අකමැතියි. ඒ පරතරය දෙන්න අතරේ තිබුනා. ගෙදරින් ගියාට පස්සේ පුතා එකතු වෙන්නේ හොර කල්ලියකට. බෙන්, අන්තිමේ වෙස් මුහුණු දා ගන්නේ අන්න ඒකට.

      .//හුස්ම හිරකරවන තරමේ වේදනාවක් සැරින් සැරේටම හදවත පුරාවට දුවද්දී,//....

      මෙතන මම අදහස් කලේ පුතා ගෙදරින් ගිය එක ගැන තාත්තගේ හිතේ තියෙන වේදනාව.

      //" මම උඹ ගැන හිතුවා. අන්න ඒ නිසයි මට මේ දේවල් කරන්න වුනේ."//....

      මෙතන තාත්තා ජෝකර් කෙනෙක් වීම. ඒක එයාගේ රස්සාව. ළමයා වෙනුවෙන් ඒක එයා හැමදාම කලා වෙනසක් නැතුව.





      Delete
    3. දේශකයා, දැන් ඉතින් සෑහෙන්න වයසක අයනේ ඉතින්.. ඔහොම වෙනවා ගනන් ගන්න එපා..

      Delete
    4. Dinesh

      බෙන් සූදානම් වෙන්නේ මංකොල්ලයකට නමුත් ඔහු මේ වැඩේට සම්බන්ධ වෙන්නේ මුලින්ම කියන එක තේරුනා...මාර්ක් ගේ චරිතයයි එක වරම අල්ලගන්න බැරි උනේ..ඒත් මෙන්න මෙතෙන්ට අවධානය යොමු වුනානම්
      ඒ චරිතය මතු කරගන්න තිබුනා...

      ...//රැයක් දවාලක් නැතුව මිනිස්සු හිනස්සන වැඩ කලාට මං ගැන හිතන්න එක විනාඩියක් වත් ඔයා ලග තිබුනේ නෑ.//....

      ...//" මාර්ක්, අපි මේ ගැන ශෝ එක ඉවර වෙලා කතා කරමු. මොන දේ උනත් ඒක අමතක කරලා දැන් ලෑස්ති වෙන්න. තව විනාඩි දහයයි.තියෙන්නේ."//...

      ...//සුදු පැහැ ආලේපනය ඕනාවටත් වැඩිය මුණේ දවට ගත්ත මම තොල් අතර මෙන්ම නාසය වටා රතු පාට ආලේප කර ගත්තා. පැසුන හිස කෙස් වැහෙන්න කොල පැහැ බොරු කොණ්ඬය පැලද ගෙන කන්ණාඩියෙන් පේන මගේ රූපය දිහා මම බලාගෙන හිටියා.//...

      Delete
    5. නෑ දිෙන්ෂ්.. මම හිතුෙව් උඹ කියපු විදියටයි. මෙනා් නිසා මම අඩුෙවන් කිෙයව්වාද කියලයි හිතුෙන්.. ඒ්ත් මම හරි.. (මට හරි අාඩම්බරයි මං ගැන.. හැක් හැක්..)

      Delete
    6. මනෝ,

      ...//රැයක් දවාලක් නැතුව මිනිස්සු හිනස්සන වැඩ කලාට මං ගැන හිතන්න එක විනාඩියක් වත් ඔයා ලග තිබුනේ නෑ.//....

      මිනිස්සු හිනස්සන වැඩ කියලා සදහන් කලේ එයා ජෝකර් කියන එක පෙන්වන්න තමයි.. අනික එතනින් බෙන්ගේ තාත්තගේ රස්සාවට තියෙන අකමැත්තත් පේන්නම තියෙනවා..

      .//" මාර්ක්, අපි මේ ගැන ශෝ එක ඉවර වෙලා කතා කරමු. මොන දේ උනත් ඒක අමතක කරලා දැන් ලෑස්ති වෙන්න. තව විනාඩි දහයයි.තියෙන්නේ."//...

      බෙන් ගෙදරින් ගියාට පස්සේ මාර්ක් සර්කස් එකේ කරන අන්තිම ශෝ එකට කලින් එතන ගැහැණු කෙනෙක් එක්ක වෙන කතාබහ. මාර්ක් ඊට කලින් දෙබසෙදි කියනවා ඒක දිග කතාවක් කියලා.. ඒ කියන්නේ පුතා ගෙදරින් ගිය සිද්දිය ඇයට විස්තර කරන්න ඕන නිසා..

      //සුදු පැහැ ආලේපනය ඕනාවටත් වැඩිය මුණේ දවට ගත්ත මම තොල් අතර මෙන්ම නාසය වටා රතු පාට ආලේප කර ගත්තා. පැසුන හිස කෙස් වැහෙන්න කොල පැහැ බොරු කොණ්ඬය පැලද ගෙන කන්ණාඩියෙන් පේන මගේ රූපය දිහා මම බලාගෙන හිටියා.//...

      සාමාන්‍ය ජෝකර් කෙනෙක්ගේ මුහුණේ විලාසය. මාර්ක් එයාගේ මෙක්අප් එක දාලා එයා දිහාම බලන අවස්ථාව..


      Delete
    7. දේශකයා, හා හා දැන් ඉතින් එහෙමවත් හිතමුකෝ.. හෙහ් හෙහ්..

      Delete
  5. ජිවන රඟ මඩලේ අපි හැම කෙනෙක්ම එක එක චරිත රඟ පානවා... ඒ අතරේ එක තැනක තාත්තෙකුයි පුතෙකුයි වෙස් මුහුණකට මුවා වෙලා දිග හැරෙන තවත් රංගනයක් දිනේශ් හරි අපූරුවට අකුරු කරලා තියෙනවා. නියමයි !

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම රඟපාන්න චරිතයක් තියෙනවා.. හරි චරිතය තෝරා ගැනීමයි වැදගත්..

      Delete
  6. දෙයාකාරයක වෙස්මුහුණු...කොහොමත් තාත්තගෙ රැකියාවට පුතාගෙ හිත යනවා අඩුයි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. මේ වගේ රස්සාවල් වලදි ඒක විශේෂයි..

      Delete
  7. රාජ් කපූර් ගෙ මේරා නාම් ජෝකර් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ටීවී එකේ යද්දී බැලුවා මතකයි. හැබැයි කතාව නම් දැන් හරියට මතක නෑ..

      Delete
    2. ඒකෙත් වෙස්මූණ ගැන මාර සිරා දර්ශනයක් පෙන්නනවා.

      Delete
    3. හ්ම්ම්, මට නම් ඒ ගැන ඒ හැටි මතකයක් නැහැ.. වෙලාවක හොයාගෙන බලන්න ඕන පුළුවන් උනොත්..

      Delete
  8. දාඩිය මහන්සියෙන් කෙනෙක් සන්තෝස කරන්න,උපයාගන්න භාවිතා කරන උපකරණය "වෙස්මූණ"..
    තවකෙකුගේ දුකට,පීඩාවට මැරකමට,කොල්ලකෑමට භාවිතා කරන උපකරණය "වෙස්මූණ"..
    කාලයත් සමඟ සමාජයේ සංකීරණත්වය හමුවේ මංමුලාවීම..
    සුපිරියි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. එකම දෙයක ජීවිතේ වෙනස්ම පැතිකඩ දෙකක්..

      Delete
  9. හ්ම්ම්ම්.. නෙලුම් යාය සම්මාන උළලේ හිටපු ජෝකර් මතක් උණා දිනේෂ්.... ජීවත් වෙන්න මිනිස්සු කරන දේවල්...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ වටිනම දැනෙන මිනිස්සු ජීවත් වෙන්න බොහෝ දේවල් කරනවා සජ්ජා..

      Delete
  10. ජය වේවා අයියේ..!
    හිතන්න යමක් ඉතිරි වෙලා !

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා..

      Delete


  11. ලස්සනයි දිනේශ් අයියා..
    අසරණ කමට මිනිස්සු අකමති දේවල් කොච්චර නම් කරන්න වෙනවද

    අයියා දවස් ගානකට නොලියා ඉනා එක නම් අපරාදයක්. ආයෙ ඉක්මනට කතාවක් ඕනෙ ගිය පාර වගේ හුගක් කල් ගන්නෙ නැතිව..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක් තමයි අවුල.. වෙලා තියෙන හැටියට තමයි දැන් නම් ලියන්න වෙලා තියෙන්නේ.. බලමුකෝ..

      Delete
  12. දිනේෂ්.......................................

    කොහොමත් උඹ කතා කාරයානේ.. පට්ටයි හරිය.....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු හරිය....

      Delete
  13. පට්ටයි...... චරිත දෙකම හොදට ඉස්මතුවෙලා තියෙනවා......... කෙටි උනත් පුතාගෙ චරිතෙ නියමෙටම තියෙනවා.......... සුපිරියි...........

    ReplyDelete
    Replies
    1. බෙන් ගේ චරිතෙට තව හුඟක් දේවල් එන්න ඕන.. ඒත් ප්‍රධානම මාර්ක් හන්දා බෙන්ගේ චරිතේ ටිකක් කෙටි කලා..

      Delete
  14. නියමයි දිනේෂ්, උඹ කතාව ගොඩ නඟනව නියමෙට.වෙස් මුහුණු..කොළපැහැ බොරු කොණ්ඩ... මාක් සහ බෙන්...මාක් අවසාන වතාවට වෙස් මුහුණ පලඳින දවසෙයි බෙන් මුල්ම වතාවට වෙස් මුහුණ පළඳින්නෙ…

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රවී අයියේ.. කතාව අයියට නම් හරියට තේරිලා තියෙනවා. ඒක ගැන සතුටුයි..

      Delete
  15. මේකා ලිව්වොත් ඉතින් ආයේ පිස්සු කොර තමා...හැමදාම ලියහන් මාසෙට පෝයට නැතුව...හැක් ඉස්සර උඹ මට කියන දේම මම බොට කියනවා අද :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං අක්කේ.. ලියන්න ඕන උනාට ඉතින් කෝ බං ඉස්සර වගේ වෙලාව.. දන්නවනේ ඉතින්..

      Delete
  16. මිනිස්සුනේ අයියේ හැම වෙලේම මාරු කරන්නේ වෙස් මුහුණු තමා. දා ගන්නෙත් අළුත් එකක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. දැන් වෙස් මූණක් නැතුව ඉන්න බැරි තරමට වෙනස් උන මිනිස්සුත් ඉන්නවනේ..

      Delete
  17. බෙන්ට කවදා ඔය වෙස් මුණ ගලවන්න වේවිද බං ?

    ReplyDelete
    Replies
    1. ඒකට නම් ඉතින් උත්තර නෑ බං..

      Delete
  18. දිනේෂ් අයියේ උඹගේ මේ ලියවිල්ලේ නම් මොකක්දෝ නුහුරු අඩුවක් දැනුනා, ඒ අපි උඹගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන නිසා වෙන් නැති, එත් ලියන්නේ උඹ,

    හරි කතාව දිහාට බැලුවම එකම අයිටම් ටිකක් එකම පවුලක තාත්තෙකුයි පුතෙකුයි යොදා ගන්න දෙආකාරය ගැනත් ඉන් එක අයෙක් ඒ අයිතමයන්ට වයිර කරන අයුරුත් වයිර කලත් ඔහුටත් මොකක් හෝ කරුමෙකට ඒවම පාවිච්චි කරන්න වෙන හැටිත් කතාවේ මුලිකවම කියවෙනවා. එතනින් එහාට පොට්ටක් බැස්සම ජෝකර් කෙනෙක් විදියට ජීවිත කාලෙම තමන්ගේ ජීවිතයට ජෝක් කර කර අනුන්ව හිනස්සපු තාත්තා කෙනෙක් ඒ ගැන පසු තැවීමකින් කම්පා වන අයුරුත් ඒ කම්පා වන්නේ තමන්ගේ දරුවා තමන් තේරුම් නොගත් නිසාද නැතිනම් දරුවාගේ සිහින ලෝකයේ වීරයා වන්නට තමන්ට නොහැකි වූ නිසාද යන්න අතර දොලනයකින් යුත් පියෙක් අවසාන වශයෙන් තමන්ගේ පුතා වැරදි පාරේ යන හැටි බල බලාම තමන්ගේ ෂෝ එකෙන් ගැලවෙන්න බැරි තරමට හිර වෙච්ච ජෝකර් කෙනෙක් වෙච්ච හැටි පුදුමයි. දරුවාගේ පැත්තෙන් ගත්තම මොන දැරුවද ආස කටක් ඇරලා කියන්න තමන්ගේ තාත්තා තියටර් එකක ජෝකර් කෙනෙක් කියලා, ඒ නිසාම තාත්තටත් තාත්තට වඩා තාත්තාගේ ජෝකර රැකියාවට ඒ ආම්පන්න වලට වයිර කරන පුතෙකුත් ඒ වයරය වැරදි පාරට ඔහු ඇද දමන හැටිත් කියවෙනවා. අපුරුයි. අවසාන වශයෙන් දරුවට හරි පාරට එන්න ඕනා උනත් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දවාගන්න බැරි බව ඔහුටම තේරෙනවා.

    කතාව වෙස් මුහුණු වුවද ජීවිත වෙස් මුහුණු ගලාවා ගත නොහැකි උන් ඒ මත නොයෙක් පාට තවරමින් ලෝකයට විවිධ මුහුණු මවා පන අකාරක උඹ පට්ටෙට ලියලා තියෙනවා. ඒ මුණු අතරේ සන්ගවිච්ච කඳුල වයිරය වගේ දේවල් උඹ දාඩියට දියවෙලා යන වර්ණ අතරින් එලියට ගන්න උත්සාහ කරලා තියෙනවා, හැබැයි කතාවෙන් උඹ කියන්න හදන දේ කතාවේ සිදිදී වලින් දුර බවක් තමා හැඟෙන්නේ, ඒ වුනත් උඹේ උත්සාහයට සැලුට් එක, ජය වේවා. වෙස්මුහුණු ගැන මම බ්ලොග ලෝකෙට ආපු කාලෙම ලියපු කවියක් මතක් උනා, එක මෙතන අත ඇරලා මම කැපෙන්නම්.

    "කුඩා කල
    මා බිය කළ
    වෙස් මුහුණු.......
    දැන් ඉතා පිවිතුරුව
    සැඟව බියකරුව
    මතු කරයි පියකරුව
    තුටු කරයි
    මා..........,
    නිරතුරුව

    මා තුටු කළ
    සිනා මුහුණු.........
    දැන් ඉතා පිළිකුල්ව
    සැඟව පියකරුව
    මතු කරයි බියකරුව
    නිති පෙළයි
    මා..........,
    නිරතුරුව..."

    http://sonduruminisa.blogspot.com/2010/11/blog-post_6735.html

    ReplyDelete
    Replies
    1. උඹ කතාව හොදට තේරුම් ගත්ත එක ගැන සතුටුයි.. මමත් කමෙන්ට් වලින් දකින්න කැමති අන්න ඒකටයි..

      මෙහෙමයි මම සමාන්යෙන් කතාවේ යන්න ඕන තැන අල්ලලා ආයෙම එන්න එතන කියවන කෙනාට රැදෙන්න පොඩි ඉඩක් දෙන්න.. හැමදේම මම කියන එකම හරි නෑනේ බං..

      Delete
  19. දිනේෂ් අය්යෙ මට කතාව මුලින්ම පැටලුනා බෙන් මංකොල්ලයකට යනවා කියල තිබ්බත් ඇයි ඒකට ජෝකර් කෙනෙක්ගෙ වෙස්මුහුණක් දාන්නෙ කියල ප්‍රශ්නයක් ආව සාමාන්‍යයෙන් මංකොල්ලයක් වගේ දෙයකදී කළු ආවරණ වගේනේ පළඳින්නෙ එතැනදී පොඩ්ඩක් පැටලුන කමෙන්ටු දෙක තුනක් කියවල ආයෙම කියෙව්වම තේරුනා.ඒත් මේ 'වෙස්මුහුණ' කතාව දිනේෂ් අය්ය කලින් දාපු 'ඇයද මවකි' කතාව තරම්ම හිතට දැනුනේ නැහැ වගේ.

    ReplyDelete
  20. දෙපාරක් කියවන්න් වුනා කතාව තෙරුන් ගන්න, කොහොම වුනත් මිනිස්සු ජීවිතේ වෙමූනු පැළඳගන්න වෙනවා මොනවත් නිසා නෙවෙයි ජීවත් වෙන්න විතරක්

    ReplyDelete
  21. හොද උත්සහයක් අරගෙන කරපු උසස් නර්මාණයක්.

    ReplyDelete
  22. ගති දිනේශයෝ මීට සමාන කතා අපේ ජීවිත වලත් හම්බවෙනවා..
    ජයවේ දිනේශ්!

    ReplyDelete
  23. මේ කතා ටික එකතු කරලා පොතක් ගැහුවනම් නරකද?

    ReplyDelete
  24. ඔන්න අද තමයි කමෙන්ට් කරන්න ඉස්පාසුවක් ලැබුනෙ. මුලිම්ම සමාව බාජනේට දාල හිටාන් හොඳේ.

    උඹ හැමදාම හොයාගන්නෙ අපිට හිතන්නවත් බැරි විදියෙ අපූරු අනුභූති. ඉතින් මේ කතාවත් එහෙමයි. ඒ නිසාම කතාවෙ මදේ බොහොම නැවුම්.

    කතාව කියන ආරට මම බොහොම මනාපයි. චරිත දෙකක් අතරෙ දෝලනය කරන විදිය අපූරුයි. ඒක නිකම් අපිව කනෙන් ඇදලා සීන් දෙක අතරෙ එහාට මෙහාට මාරු කරනව වගේ වැඩක්.

    අවසානයෙ හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරනව. හැම දේම අකුරෙන් අකුර කියාදෙනවට වඩා මේ විදිය හොඳයි.

    ඉතින් සාර්ථක කතාවක් මචෝ!

    ReplyDelete
  25. මේ කතාවට මමත් කැමතියි. වෙනස් අරෙකට ලියන එක ලෙහෙසි නැහැ. සමහර තම මිශ්‍ර වෙලා වගේ. හොඳ අදහසක් උස්සල අරන් කෙටි කතාවක් කරලා.

    ReplyDelete
  26. මේ කියෙව්වෙ දෙවෙනි පාරට ඇත්තටම රසවත්

    ReplyDelete
  27. එකම වෙස් මුහුණ දෙයාකාර අරමුණු සඳහා...
    ෆ්ලිප් එක අනර්ගයි මචෝ!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්