Wednesday, 26 August 2015

තවත් එක අමුත්තෙක්



නිකේතනයේ සදළු තලග දිගේ හෙමීට ඇවිදගෙන ගියේ අවට සුන්දරත්වය බලනවාටත් වැඩිය කාලය ගෙවලා දාන්න හිතට තිබුන ඕනකම නිසා. ඝණ මීඳුම නිසා කිසිම දෙයක් හරි හැටි නොපෙනුනත් අරමුණක් නැතුව මම ඒ දිහා බලාගෙන හිටියා. ඇස් ඒ දිහාවට තදින්ම බැඳිලා තිබුන නිසාමද මන්දා ඒ මීඳුම අතරේ එක එක විදිහේ රටාවන් මැවෙන්න පටන් ගත්තේ. එක වෙලාවකට සත්ව රූපයක්. තවත් වෙලාවකට හොදට හුරු පුරුදු රූප ඒ අතරේ තිබුනා.

අඳුර හිත තිගස්සවන තරමටම අවට වගේම හිත පුරාමත් පැතිරිලා තිබුනා. ඒක රසවින්දනයක්ද නැද්ද කියන්න නොතේරෙන තැනක හිත තිබුන නිසාමද කොහේද හැම දෙයක් අතරම ඇස් අවිවේකීව දුවන්න උනේ. අඳුර, මීඳුම එක්ක මුහු වෙලා ඇඟ හිරිවට්ටගෙන යන තරමටම තදින් දැනුන හීතල මගේ සිතුවිළි වලට සැරින් සැරේ බාධාවක් උනා කියන එකනම් හොදටම විශ්වාසයි.

චාරිකාවේ අතර මැද මෙතනට එන්න වුනේ අහම්බයකින් උන නිසාම ඇරුනම හිත ඇදබැද ගන්න තරම් මහා ලොකු දෙයක් මෙතන නෑ කියන එක වැඩි වෙලාවක් යන්න කලින්ම දැනුනා. සදළු තලේ තැනින් තැන ගරා වැටුන බිත්ති වලින් පේන්න තිබුනේ නිකේතනයේ බංකොලොත් කමද කියලා එක වෙලවකට හිතුනා. පාළුවට ගිය ආලින්දය, කටහඬක් නොඇසෙන තරම් නිස්කලංක උන ආපන ශාලාව ඒ අතරින් විශේෂයි.

එකම වෙනසකට තිබුනේ සදළු තලයෙන් ඉදිරිපස ඉදන් මනස්කාන්තව කඬාගෙන හැලෙන දිය ඇල්ල විතරයි. මහා හඬක් එක්ක නිමාවක් නැති ජල කඳ ඒකාකාරීව කඬා හැලෙමින් තිබුනා. ටිකක් වෙලා බලාගෙන ඉද්දී ඒකෙනුත් මෙතනට ඒ තරම්ම සුන්දරත්වයක් එනවද කියලා හිතට සැකයක් ආවේ මීඳුම සැරින් සැරේ ඇවිත් එය වහගත්ත නිසා.

' දවල්ට මෙතන ලස්සන ඇති.'

මම මගේ හිත සනසවාගන්න වගේ එහෙම හිතුවා. ඒත් සදළු තලේ සිමෙන්ති බැම්මේ තිබුන තෙත පාසි මද අඳුර අතරේ නොදැනුවත්වම මගේ දෑත් වලට දැනෙද්දී මම මගේ ඒ කලින් අදහස වෙනස් කර ගත්තා. මේ හැම තැනකම තිබුනේ මහ අමුතුම මූසළ කමක්. ඒක මෙතනට ආව වෙලාව මට නොදැනුනේ ඇයි කියලා මම නිකමට වගේ කල්පනා කලා.

එකම විදිහකට කඩාගෙන හැලෙන දිය ඇල්ලේ ගෝෂාව ඇරෙන්න වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැති තරම්. අඩුම තරමේ වෙන නිකේතන වල ආලින්දයෙන් නැගෙන සංගීත රාවයක්වත් මෙතන නැති එක හිතට ගෙනාවේ කුතුහලයක්. කොටින්ම, මම මේ වෙනකන් එකම අමුත්තෙක්වත් දැක්කේ නෑ නේද කියන සිතුවිල්ල මගේ හිතට ආවේ ඒ එක්කමයි.

කල්පනාව හිත තුල තියෙද්දී මම සඳළුතලේ හෙමිහිට ඇවිදන් ගියා. අඳුර හාත්පසම වහගෙන තිබුනේ මීදුමෙන් නිසා කිසිම දේක සුන්දරත්වයක් ඇස් මානයට නොආව තරම්. මම අත් ඔරලෝසුවේ වෙලාව බැලුවා. තවම රාත්‍රි අටයි. නිහැඬියාව, මීදුම, අඳුර මේ හැම දෙයක්ම මම එතරම්ම ප්‍රිය කරන දේවල් නොවුනත් තව ටිකක් වෙලා මෙතනම ඉන්න හිතාගෙන ඉදිරිය බලද්දී දැක්ක දෙයින් මගේ හිත ගැස්සිලා ගියා කිවුවොත් මම නිවැරදියි.

තෙත පාසි බැදුන සිමෙන්ති බැම්මට හේත්තු වෙලා ඔහු දිය ඇල්ල දිහා බලාගෙන හිටියා. හරියට මම මෙතන ඉන්නවා කියලා නොදැනෙන ගානට. ඒත් ඇත්තම නම් මේ වෙනකන්ම ඔහු මෙතන ඉන්න බවක් නොදැන හිටියේ මමයි. මට හොදටම විශ්වාසයි මම එද්දි ඔහු මෙතන හිටියේ නැහැයි කියලා.

ඔහු හිටියේ එක එල්ලයේම දිය ඇල්ල දිහා බලාගෙන. ඇහි පියවත් සෙලවෙනවද කියලා මට එක මොහොතකට සැක හිතුනා. හරියට මෙතන මම කලින් නොදැක්ක පිළිමයක් වගේ ඔහු එක දිගටම ඒ දිහාම බලාගෙන හිටියා. මම පියවරක් දෙකක් ඔහු දිහාවට ලං උනා.

දුර්වර්ණ වෙලා ගිය, ඒත් පිළිවෙලකට හැදි ඇදුමකින් ඔහු සැරසිලා හිටියා. එය වසර කීපයකට පෙර මෝස්තරයක් උනත් ඔහු තුලින් ඒ තරම් වයසක් පේන්න තිබුනේ නෑ. මම උනන්දුවෙන් ඔහු දිහා බලද්දී ඔහු තාමත් හිටියේ කලින් ඉරියවුවෙන්මයි. අමුත්තන් නැති නිකේතනයේ ඔහු වත් සිටීම ගැන හිත යටින් මම සතුටු උනා.

" ඔබ කැමති නැද්ද මේ දිය ඇල්ලට."

කතාවකට මුලපුරන්න හේතුවක් හොයමින් හිටිය මගේ හිත තේරුම් ගත්තා වගේ ඔහු ඒ විදිහට මගෙන් ප්‍රශ්ණ කලේ දිය ඇල්ල දිහා බලාගෙනමයි. මම ඒ වෙලාවේ කිසිම ප්‍රශ්ණයක් නැතුව ඔහු ලගට ලං වුනා. සිමෙන්ති බැම්මේ තිබුන පාසි වලට ඔහුගේ කමිස් අත් තෙමිලා ගිහින් තිබුනත් ඒ ගැන වගක් වත් නැතුව ඔහු දිය ඇල්ල දිහාම බලාගෙන හිටියා.

" එච්චරම නැහැ. මේ මීදුමත් එක්ක එච්චර ලස්සනක් මට පේන්නේ නෑ."

මම වැඩි වුවමනාවක් නැතුව පිළිතුරු දුන්නා. මගේ උත්තරයත් එක්ක ඔහුගේ කිසිම වෙනසක් තිබුනේ නෑ.

" ඔබ තාම හරියට ඒ දිහා බලලා නැහැ."

ඔහු හිටියේ දැඩි ස්ථාවර බවක. ඇහි පිල්ලමක් වත් නොගැසෙන ඒ ඇස් වල දීප්තියක් තිබුනා. හැබැයි ඒක තේරුම් ගන්න හුඟක් අමාරුයි. කතාවත් එක්ක මම ඔහු හේත්තු වෙලා හිටිය සිමෙන්ති බැම්ම ලගට ඇවිත් ඉවරයි. තාමත් ඔහු හිටියේ මං දිහා බලන්නවත් වුවමනාවකින් නෙමෙයි.

ඔහුගේ වචන වල තියෙන්නේ ඇත්තක්ද එහෙමත් නැත්නම් විකාර අදහසක්ද කියලා හිතන්න මම උත්සාහ කලා. අවසානයේ ඔහුත් එක්කම ඔහු බලාගෙන ඉන්න දිහාව බැළුනේ අහම්බයෙන් වගේ. දිය ඇල්ල අවට මීදුම හරි අපූරු විදිහකට නැති වෙලා ගිහින් තිබුනා.

කලින් ගෝෂාව විතරක් ඇහුන දිය ඇල්ලේ හරි සුන්දරත්වයක් මම දැක්කේ ඒ වෙලාවේ. මට ඒක මග හැරුනේ කොහොමද කියලා මම කල්පනා කලා. සමහර විට මගේ හිත තියෙන්න ඇත්තේ වෙන තැනක වෙන්න ඇති. මම එහෙම හිතලා හිත හදා ගන්න උත්සාහ කලා.

විනාඩි කීයක් ඒ විදිහට ගෙවුනද කියන්න මම දන්නේ නෑ. අවසානයේ මමත් ඔහුත් එකම විදිහකට එකම දේක සුන්දරත්වය විදිමින් හිටියා. දුර ඉදන් බලන කෙනෙක්ට අපිව ප්‍රතිමාවන් විදිහට පෙනෙන තරමට අපි එකම විදිහට ඒ දිහා බලන් ඉන්න ඇති. මටත් එතනින් ඇස් එහාට ඇදලා ගන්න හිතක් නොතිබුන තරම්. ඒක හරියට මායාවක් වගේ. ඔවු ඇත්තටම මායාවක්. ඇහිපිල්ලම් නොගහා ඒ දිහාම බලාගෙන ඉන්න හිත අද්දවන මායාවක් ඒ දිය ඇල්ලේ තිබුනා. ගෝෂාව උනත් ටික වෙලාවක් යද්දී දැනුනේ තේරුම් ගන්න බැරි භාෂාවක් වගේ.

" ඔබ දැන් ඒකට ආස වෙලා."

මගේ දැහැන බිදින්න ඒ වචන වලට පුළුවන් උනා. පළවෙනි වතාවට ඔහුගේ ඇස් මගේ දිහාවට යොමු වෙලා තිබුනා. තද අඳුරු පැහැ ඇස් වල මොකද්දෝ අමුත්තක් තිබුනා.

" ඔවු."

මම උත්තර දුන්නා. ඔහුගේ මුහුණේ තිබුනේ හැඟීම් විරහිත බවක්. සුන්දරත්වය මගේ හිතට සතුටක් එක් කරලා තිබුනත් ඔහුගෙන් ඒ බවක් පේන්න තිබුනේ නෑ. තවමත් ඇසිපිය නොගැටෙන තරම් බැල්මක ඔහු හිටියා. මේ වතාවේ මං දිහා.

" ඔබ මෙහෙට ආගන්තුකයි."

මට ඒ ප්‍රශ්ණය විහිළුවක් වගේ දැනුනේ නිකේතනයේ හැම කෙනෙක්ම අනික් කෙනාට ආගන්තුක වෙන හින්දා. මුහුණේ සිනා රැල්ලක් නැඟුනත් මම ඒක ඔහුට නොපෙන්නා ඉන්න වග බලා ගත්තා.

" ඇයි ඔබ මෙහෙට ආගන්තුක නැත්ද?"

මම පෙරලා ප්‍රශ්ණ කලා.

" නැහැ."

ඔහු බොහොම සැහැල්ලුවෙන් උත්තර දුන්නා. පියවර කීපයක් ඔහු සදළුතලේ ඇවිදන් ගියේ හෙමින් පියවර තබමින්. ඇත්තටම පියවට තැබුවද කියලවත් නොතේරෙන තරමට ඔහුගේ ඇවිදීම හෙමින් සිදු වුනා.

" ඔබට මෙහෙ නෑවිත් ඉන්න තිබුනා."

ඇවිදීම අතරේ ඇති වුන තරමක නිහැඬියාව බිඳුනේ ඔහුගේ ඒ වචන වලින්. ඇත්තටම ඒ හඬේ තිබුනේ අනතුරු හඟවන බවක්. මම ඔහු දිහා තවත් ඕන කමින් බැළුවා. ඔහු හිටියේ නිකේතනයට ඇතුළුවන මාවත දිහා එක එල්ලයේ බලාගෙන. විදුළි පහන් ආලෝකයට කැපිලා ගිය මද මීඳුමක් එක්ක  පාළුවට ගිය මාවත යාන්තමින් දැක ගන්න පුළුවන් කමක් තිබුනා.

" මේ පාරෙන් ආපු කෙනෙක් මිසක් ආයෙම ගිය කෙනෙක් නම් නැහැ."

ඔහුගේ හඬ කලින් වතාවටත් වැඩිය තීව්‍ර උනා. ඒත් ඔහු කියන්න යන දේ ගැන කිසිම අවභෝදයක් නැතුව මම ඔහු දිහා බලාගෙන හිටියා. මාවත දිහා බලාගෙන හිටපු ඔහු එතනින් හැරිලා ඇවිත් ආයෙම නතර උනේ ඔහු කලින් හිටිය සිමෙන්ති බැම්ම ලගමයි. ආයෙම ඔහුගේ දෑස් එල්ල උනේ දිය ඇල්ල දිහාවට

" මේ දිය ඇල්ලට ලොකූ බලයක් තියෙනවා."

" මොකද්ද?"

මම ඔහුගේ කතාව ඒ තරම් විශ්වාස නොකරන ස්වරයකින් ඔහුගෙන් ප්‍රශ්ණ කලා.

" මේ දිය ඇල්ලට පුළුවන් ඔබට අත්තටු දෙන්න."

මම හයියෙන් හිනා වුනා. ඒ හිනාව පාළු වටපිටාවත් එක්ක එකතු වෙලා මම හිතුවටත් වැඩිය සද්දෙන් ඇහුනා. ඒත් ඔහු ඒක ගානකටවත් නොගෙන සුපුරුදු හිස් බැල්මෙන් මං දිහා බලාගෙන හිටියා.

" ඒක හුඟක් දිග කතාවක්.."

ඔහු ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉදලා කතා කරන්න පටන් ගත්තා. මම ආයාසයෙන් හිනාව නතර කර ගෙන ඔහුට සවන් දෙන්න උත්සාහ කලා.

" කාලෙකට උඩදි මෙහේ හිටිය ස්වදේශික ඉන්දියානුවෙක් ස්පාඤ්ඤ හමුදාවෙ අතඩංගුවෙන් බේරෙන්න මේ දිය ඇල්ලෙන් පහලට පැන්නා. දිය ඇල්ලෙ පහලට වැටෙද්දී ඔහු රාජාලියෙක් විදිහට පරිවර්ථනය උනා. අදටත් මේ දිය ඇල්ලෙන් එහා තියෙන කදු යායේ ඔහු ජීවත් වෙනවා."

" ඒක මහ විකාර කතාවක්."

මම ඔහුගේ කතාව අවසානයේ කිවුවා. මගේ වචන වලින් ඔහුගේ හිත සැළුන බවක් පේන්න තිබුනේ නෑ. සිමෙන්ති බැම්මට හේත්තු වෙලා ඔහු දිය ඇල්ල දිහා බලාගෙන හිටියා.

" පියාපත් කියන්නේ නිදහස. අපි කාටත් නිදහස ඕන. ඔබට උනත්. මම හිතන්නේ ඔබ ඒක වැඩියෙන්ම බලාපොරොත්තු වෙන කෙනෙක්."

මම දෑස් දල්වාගෙන ඔහු දිහා බලාගෙන හිටියා. මගේ හිතේ සමහරක් තැන් ඔහු කියෙවුවේ හරියට ඉන්ද්‍රජාලිකයෙක් වගේ. එහෙම නොවෙන්න ඒ දේවල් ගැන තේරුම් ගන්න අපේ මේ කෙටි කතාබහ ඔහුට කොහෙත්තම ප්‍රමාණවත් නැහැ.

" ඔබ කොහොමද එහෙම කියන්නේ?"

මම හිතේ හිර වුන ප්‍රශ්ණය ඔහු වෙත යොමු කලා. කලින් තිබුන සැහැල්ලුවම ඔහු ලග තිබුනා මිසක කිසිම වෙනසක් ඔහුගෙන් දකින්න මට ලැබුනේ නෑ.

" ඔබට නිදහස ඕනනම් ඔබ ඒක තෝර ගන්න. ඔබටත් පියාපත් ලැබේවි."

මගේ පිටුපසින් හිටිය ඔහුගේ සීතල ඇඟිලි මගේ උරහිස ස්පර්ශ කරද්දී මම හිටියේ වචනයක් වත් කියා ගන්න බැරුව. මම ආපහු ඔහු දිහා හැරිලා බැළුවා. සඳළුතලය කලින් තිබුනට වැඩිය මහ මූසල පාළුවක එතිලා තිබුනේ හරියට මෙතන හුඟක් වෙලා ඉදන් හිටියේ මම විතරයි කියන්න වගේ. ඒ තත්පරයට ඔහු එතනින් පිට වෙලා තිබුන. හරියට මීදුම අතරේ හැංඟුනා වගේ.

ඔහුගේ වචන මගේ කල්පනාව මටත් හොරෙන් පැහැරගෙන තිබුනා. මගේ හිත තිබුනේ අන්තිමේ ඔහු කිවුව දේවල් ගැන. ඔහු කිවුව දේවල් ගැන තීරණයක් ගන්න බැරුව කල්පනාවේ ඉද්දී මගේ හිත තව තවත් ප්‍රශ්ණ අතරේ හිර වුනා මිසක කිසිම දේකට හරි හමන් පිළිතුරක් හිතා ගන්න මට පුළුවන් කමක් වුනේ නෑ. ඇත්තටම ඔහු කවුරු වෙන්න්ද ඇත්ද? නැත්නම් මම දැක්කේ මායාවක්ද?

සිමෙන්ති බැම්මට හේත්තු වෙලා මම කඩා හැලෙන දිය ඇල්ල දිහා බලාගෙන හිටියා. මම හිතන්නේ විනාඩියක් දෙකක්. කලින් කිසිම වෙලාවක නොතිබුන නොදැක්ක ආකර්ශනයක් අඳුරේ උනත් එතන තිබුනා. මම ඒ දිහාම බලාගෙන හිටියා. ඇත්තටම ඔහු කිවුවට වැඩිය අමුතු බවක් එතන තිබුනා.

දිය ඇල්ලේ එක එක රටා දිහා මම හුඟක් වෙලා බලාගෙන හිටියා. වතුර අතරින් මතු වෙන්න දඟලන පියාපත් දිහා මම පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ඒ පියාපත් බලාගෙන හිටියේ හරියට මම ඒවා ලබා ගන්න ඒවියි කියන බලාපොරොත්තුවෙන් වගේ. සිමෙන්ති බැම්ම උඩට නැග්ග මම ඒ දිහා තවත් ඕන කමින් බලාගෙන හිටියා.

ඒ තියෙන්නේ මගේ නිදහසද? මම කල්පනා කලා. ඔවු, ඒ මගේ නිදහස. මට ඒ පියාපත් ඕනමයි. ඒ පියාපත් ලබන්න තරම් කෑදර කමක් මගේ හිත පුරාවටම හරි ඉක්මනට ඇදිලා ගියා. ඈතින් ගලාගෙන ආව මීදුම ඒ පියාපත් වහගනීවියි කියන බය මගේ හිතට විදුළියක් වගේ ඇදිලා ගියා. මම හිටියේ නොසංසුන්ව. ඒ එක්කම ගතට දැනුනේ තද සීතලක්.

ඒ පියාපත් ලබාගන්න තිබුන කෙටිම පාරේ මම පාවෙලා ගියා. එකින් එක ජලබිදූ මගේ මුණේ තැවරෙන හැටි මට දැනුනා. ඒත් ඊට වඩා මගේ හිත තිබුනේ දිය ඇල්ල දිගේ පහලට වැටෙන පියාපත් ලග. මුලින් අපි අතර තිබුනේ තරමක දුරක්. වේගෙයෙන් ඒ දුර අඩු වෙන හැටි මම දැක්කා. අන්තිමේ මම හිටියේ පියාපත් අල්ලන්න ඇඟිලි තුඩක පමණ දුරකින්....




විශේෂයි, සත්‍ය සිදුවීම් පෙලක් ඇසුරිනි.. ඒ ගැන පසුවට.....

48 comments:

  1. කතාව යටින් දුවන තේමාවට ළංවෙන්න තාම බැරි වුණත් මේ පරිසර වර්ණනාවනම් මාව වශී කලා.

    ReplyDelete
    Replies
    1. තව පොඩි ට්‍රයි එකක් දීලා බලපං මචෝ.. කතාව අල්ල ගන්න ඒ තරම් අමාරු වෙන එකක් නෑ..

      Delete
    2. මට දැනුනේ මෙහෙම. දිය ඇල්ල නිදහසේ පහළට කඩා වැටෙන රටාව ගැන හිත යොමුකරලා සිතිවිලිත් එහෙම නිදහසේ ඇද හැලෙන්න ඇල්ලෙ මීදුම වගේ පාවෙන්න ඉඩහැරීම.

      Delete
    3. ඔය දුවන්න හදන්නේ වෙනමම පැත්තකට මචෝ..

      Delete
  2. ඇත්තම සිද්ධිය සහ ප්‍රස්තුතය සත්‍ය වුනත් නොවුනත් දිනේෂ්ට මේ ආර්ගේ කතා ගොතන්න තියෙන්නේ සහජ ස්දක්ෂ කමක්, දිගු නිහැඩියාවකට අස්සේ ආපහු මේ ආරයේ කතාවක් එක්ක දිනේෂ් දකින්න ලැබීම සතුටක් .

    //"ඔබට නිදහස ඕනනම් ඔබ ඒක තෝර ගන්න. ඔබටත් පියාපත් ලැබේවි"// පුදුමයි කියන්න මේ කතාව තදින් විශ්වාස කරන කෙනෙක් මං . ඇත්තෙන්ම බැඳීම් අඩු වුනාම පුදුමාකාර නිදහසක් දැනෙනවා. එක වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. හරියට මුළු ලෝකෙටම ඉහලින් පියාඹන්න තටු ලැබුනා වගේ තමා

    ReplyDelete
    Replies
    1. දිගු නිහැඬියාවක්ම නෙමෙයි බං.. වෙලාව මදි කම තමා ඉතින්..

      උඹ වගේම තමයි මාත්.. නිදහස තරම් දෙයක් තවත් නෑ.. මේ චරිතට මම උනානම් මම උනත් පියාපත් පස්සෙන් දුවාවි.. අනිවාර්‍යේන්ම..

      Delete
  3. නවාතැනට එන අයව දිය ඇල්ලෙන් බිලිගන්නවා වගේ දෙයක්වත් වෙනවද?

    ReplyDelete
    Replies
    1. දිය ඇල්ලෙන් විතරක්මද? මම ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කියන්නම්..

      Delete
  4. ටිකක් කියවපුවාම දිගටම කියවන් යන්න හිතුණා. කුතුහලය දනවනසුලුයි
    ජයවේ දිනේශ්

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචෝ..

      Delete
  5. මටත් දිය ඇල්ල විස්තර කරද්දී දිය ඇල්ල මැවිලා පෙනුනා.
    මං නම් හිතන්නේ මේ කියන්න හදලා තියෙන්නේ අපි කිසිම ලස්සනක් නොදකින දෙයක උනත් අපි කවදාවත් බලාපොරොත්තු නෙවෙන සුන්දරත්වයක් හැංගිලා තියෙනවා කියලද කොහෙද?
    එලකිරි සමඟ ජූල් කිරි...!!ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ කතාවත් ඇත්ත.. සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවෙන දේවල් වලින් අපි හිතනවට වැඩිය සතුටක් ලැබෙනවනේ බං..

      වර්ණය පැත්තට වෙල්කම් කියලා පිළිගන්නවා..

      Delete
  6. ඔබගේම ආරේ තවත් කතාවක්. නිදහස තරම් වටිනා දෙයක් තවත් නැ. බැදීම් අඩුවන තරමට නිදහස වැඩියි. නියමයි දිනේෂ්

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියේ ඒ ගැනනම්.. නිදහස විදින්නම ඕන ඒකේ තියෙන අගේ තේරෙන්න..

      Delete
  7. කාලෙකින්...

    අර සසිකා නිසංසලාගේ අලුත් සිංදුව මතක් උනා.. ඔබේ දෑස දිහා x 3

    ReplyDelete
    Replies
    1. අම්මපා දේශාටත් ඕවා තමා මතක් වෙන්නේ.. දැන් කා දිහාද එහෙම බලාගෙන ඉදලා තියෙන්නේ?

      Delete
  8. ඒ කියන්නෙ මූ දිය ඇල්ලෙන් පහලට පැන්නා?? මට හිතෙන්න වශී බව තියෙන්නෙ දිය ඇල්ලෙ නෙවෙයි, අර අත්භූත ආගන්තුකයගෙ වචන වල.


    ආයෙ මොකුත් නෑ මචෝ...ඉස්තරම්..

    ReplyDelete
    Replies
    1. පැන්නා නේන්නම් ඉතින්.. අත්තටු ලබාගන්න.. තැන්කිවු බං..

      මම සත්‍ය කතාව ඊලග පෝස්ට් එකෙන් ලියන්නම්..

      Delete
    2. මට නිකං මොකක්ද හිතෙනවත් එක්ක..

      Delete
    3. මොනවද හිතෙන්නේ? කියමු බලන්න එහෙනම්..

      Delete
    4. ඒක මෙතන කියන්න නාකයි..

      Delete
    5. එහෙනම් ප්‍රයිවට් එකේ මැසේජ් එකක් වත් දාලා කියන්ඩ..

      Delete
  9. බලමු.. මරණය සාධාරණිකරණය කරන්න යන වෑයම්ක්ද මේ?

    ReplyDelete
    Replies
    1. කොහෙත්තම නෑ මචං...

      Delete
  10. harima lassnai aiye.. aththa kathawa dena ganna aasawen innawa...

    ReplyDelete
    Replies
    1. ඒක ලබන සතිය දිහාවට ලියන්නම්..

      Delete
  11. රක්වාන රෙස්ට් හවුස් එකේ රැයක් ගත කරද්දී ඒ අසලින් ඇහුනු දය ඇල්ලේ ගලායාඅ මට මතක් උනා. ඒ උනත් රක්වාන රෙස්ට් හවුස් එකේ සඳලු තලයක් නම් තිබුනේ නැහැ. මම එකේ එදා නැවතුනේ පහුවදා උදේ පාන්දරින්ම හිරුමතු වෙන වෙලාවට වංගු මග ඔස්සේ දෙනියායට යන අසිරිය දැක ගන්නයි. ඒ වංගු පාර හරියටම මහියංගනයට යන කොට පසු කරන 18 වංගු වලට සමානයි. හැබැයි මෙතැනදී ඈතින් සිරි පාදේ කඳු වැටිය පෙනෙනවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මේ පරිසරය ඇත්තටම රසවිදින්න ලැබුන කෙනෙක් හිටපු එක ගැන සතුටුයි..

      Delete
  12. පෝස්ට් එකේ තියෙන විස්තරෙටම ගැලපෙන ෆොටෝ එක...

    නිදහස ජීවිතේ පරමාදර්ශය කරගෙන හිටපු මගේ නිදහසෙන් සීයට බර ගාණකට කෙළඋනා කසාදෙන් පස්සේ, හෙහ් හෙහ්...
    බැනුම් අහගෙන රණ්ඩු කරගෙන හරි දැනුත් ඒ නිදහස සැරින් සැරේ හොයාගෙන යනවා...
    ආයේ ඉතින් දවස් තුන හතරක් කතා නැහැ, ශේප් වෙනකල් මමත් වළි මුඩ් එක දාගෙන ඉඳල ඒ අස්සෙත් පුළු පුළුවන් විදිහට නිදහස සොයා යනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඕක ඉතින් හුඟක් දෙනෙක් කියන කතාවක්නේ.. අපිත් ඉතින් දැනට නිදහසේ හිටියට පස්සේ මොනවා වෙයිද කියනන් දන්නේ නෑ..

      Delete
  13. නිදහස තමා ඕන කෙනෙක් හොයන්නෙ කතාව අපැහැදිලි තැන් තිබුණා පෙලබවිමක් ද ?කැමැත්තක් ද ?මන්ද ....ඊලග එකත් බලමුකෝ ...

    ReplyDelete
    Replies
    1. පෙලබවීම මත ඇති උන කැමැත්තක් කියලා හිතමුකෝ..

      Delete
  14. මලා! මේ අර අර හොල්මන් නිවාඩු නිකේතනයෙ ෆොටෝ එකක් නේද? මට දැන් විස්තරේ මතක නෑ හැබැයි ඔය ගොඩනැගිල්ලේ සැබෑ අතීත කතාවත් ඔයා ගොඩනගන කතාවට සෑහෙන්න සමානයි.

    ඇත්තටම අපූරුයි දිනේෂ් අයියේ. ගුප්ත කතා ලියන්න ඔයා වගේ හපනෙක් මේ සයිබර් අවකාශයේ මම දැකලා නැහැ.

    අර පියාපත් ද? එතැන හිටියේ මමනම් මමත් පනීවි ඒ පියාපත් අල්ලගන්න. ඒ තරමටම අපි අවිවේකීබවෙන් ව්‍යාකූල වෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹ හරි. මේ ඒ සීන් කෝන් එක සම්බන්ඳ කරන් ලියපු කතාවක් තමයි.. ඒ ගැන ලබන සතියේ ලියන්නම්..

      උඹ ව්තරක් නෙමෙයි.. මම උනත් පනිනවා බං එහෙම දෙයක් වෙනවනම්.. අන්න ඒ නිදහස ජීවිතේට සෑහෙන්න වැදගත්..

      Delete
  15. මටත් තේරුනේ ජීවිතේ ඉවර කරගෙන නිදහස හොයාගෙන යන ගමනක් වගේ.

    දිනේෂ්ගේ මේ ලිවිල්ල නම් හරි අපූරුයි. ඔයාට වෙන්වුනු ශෛලියක්. දැන් නම් නම නොදැක්කත් මේක දිනේෂ්ගේ ලිපියක් කියන තරමට ඒ රටාව හිතේ ඇඳිලා.

    ReplyDelete
    Replies
    1. ඒ නිදහස ලගට ගනිද්දි ඉතින් ජීවිතේ අවසන් වෙලා පොඩ්ඩි අක්කේ..

      තැන්කිව් තැන්කිව්..

      Delete
  16. දිනේෂ්.......

    කතා ලියැවිල්ලේ ඔබට අැති හැකියාවනම් මාර පුදුමයි... මොනවා වුණත් මේ කතාවේ අන්තිමට තියෙන රූපය දැක්කා ම මොකක්ද මහ අමුතු හැගීමක් දැනෙනවා... කතාව සත්‍යයක් කිව්වා ම තවත් පුදුමයි.... ඒ විස්තරත් කියමුකෝ..... ජයවේවා..... දැන් ලියවෙනවා අඩු වැඩ වැඩි වෙලාද?????

    ReplyDelete
    Replies
    1. පින්තූරය වගේම කියනන් තියෙන කතාවත් සත්‍ය කතාවක් තමයි.. ඒ ගැන ලබන සතියේ කියන්නම් මචෝ..

      Delete
  17. උඹ ලියන්න උපන් හපනෙක්නේ බං. උඹ මේවා ලියන්නේ කොහොමද? එක පාර ඉඳගෙන ඔලුවට එන අදහස් ලියාගෙන ලියාගෙන යනවද, නැතිනම් වරින් වර පහල වෙන අදහස් අමතක වෙන්න කලින් කොහෙ හරි ක‍ටුවට සටහන් කරගෙන පස්සෙ වැඩි දියුණු කරලා ලියවද? නැතිනම් මුලින්ම කතාව සැලසුම් කරලා ඒකට කොටස් එකතු කරලා වැඩි දියුණු කරනවද? එහෙමහ් නැතිනම් කොහොමද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඩූඩ් අයියේ, ගොඩක් වෙලාවට මට ලියන්න දේවල් ඔලුවට එන්නේ වැඩ කරන වෙලාවට.. ඉතින් ෆෝන් එකේ කතාවේ සැකැස්ම නෝට් කරගෙන ගෙදර ඇවිත් ලියනවා..

      එහෙම නොවෙන දවසක් නම් ඉතින් වෙන්නේ ඔය පළවෙනියටම කියල තියෙන දේ තමයි.. පොඩි ප්ලොට් එකක් අහු උනොත් කෙලින්ම ඒක ලියලම තමයි නවතින්නේ.. මේ ලියපු එක නම් අන්න ඒ විදිහේ එකක්.. මේ සත්‍ය කතාව මම නෙට් එකේ කියෙවලා ඉවර වෙද්දී ඔළුවට ආව කතාව තමයි මේ ලියලා ඉවර කලේ..

      Delete
  18. සජීවී බව , කුතුහලය හරි අපූරුවට අකුරු කරන්න දිනේෂ්ට පුළුවන්..

    එතන මමත් හිටිය නම් අනිවාර්යෙන්ම පනියි පියාපත් අල්ලගන්න

    ReplyDelete
    Replies
    1. පැන්නොත් පැන්නම තමා ඉතින්..

      තැන්කිවු තැන්කිවු..

      Delete
  19. මේ ආගන්තුකය අර කලින් කීව ස්වදේශික ඉන්දියානුවමද? හරියට බිලි ගැනීමක් වගේ. ඇත්ත කතාව මොකද්ද කියල ඉක්මනට දැනගන්න කැමතියි.

    ඔයාගේ පරිසර වර්ණනාව නම් ඇත්තටම අනර්ඝයි. ගොඩක් ලස්සනට මවල පෙන්නනවා.

    ReplyDelete
  20. කතාව නියමෙට ලියල තියෙනවා...

    ReplyDelete
  21. මේ කථාවෙ කියවෙන ගුප්ත පරිසරයට හොදටම ගැලපෙනවා මේ තියෙන පින්තූරය. ඒක දිහා මම ගොඩාක් වෙලා බලා උන්නා. මගේ කාමරේ ජනේලයෙන් මට පේනවා අත් ඇරලා දාපු තට්ටු 10 ක් විතර උස මහල් ගොඩනැගිලි දෙකක්. මේ දෙකම අඳුරෙ ගිලිලා හරි ගුප්ත ස්වරූපයක් මවන්නෙ. ඒ වටපිටාවත් එක්ක හොඳින් දැනුනා මේ කථාව.

    ReplyDelete
  22. ජිවිතේ තියෙන බැඳීම් එක්ක "නිදහස"තියෙන්නේ යම් යම් සිමා ඇතුලේ බං.තටු ලැබිලා ඉගිල්ලෙන්න පුළුවන් කියන්නේ එකත් නිදහසක්ද ?සමහර විට තටු ගහලාම හති වැටෙන්නත් පුළුවන්නේ.ගුප්ත බලපෑමකට යටත් වෙලා නිදහස හොයන්න බැහැ බං.

    ReplyDelete
  23. සිමෙන්ති බැම්මට හේත්තු වෙලා මම කඩා හැලෙන දිය ඇල්ල දිහා බලාගෙන හිටියා..... එතන ඉදන් දිනේෂ් අයියගේ ආරට ලියවෙනවා

    ලස්සනයි හිතට කතා කරන්නේ අන්තිම ටික

    ReplyDelete
  24. අඩේ කස්ටිය තාම බ්ලොග් ලියනවා කියවනවනේ නෙහ්........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්