Wednesday, 10 June 2015

මියෙන්නට මත්තෙන්



හදවතට දැනෙමින් තිබුන වේදනාව මම නතර කර ගන්න උත්සාහ කලා. මම අසාර්ථකයි. ඔවු, මම අසාර්ථකයි. වේදනාව හිටියේ මට වඩා ගවුගානක් ඈතින්. ඒ හන්දම යටපත් කර ගන්න උත්සාහ කරපු වේදනාව හැම පවුරක්ම බිඳගෙන මට දැනෙන්න උනා. අවාසනාවකට වගේ.

පුටුවට හොදට හේත්තු වෙලා තරමක් නිදහස් උනේ වේදනාව එන්න එන්නම වැඩි උන නිසා. ජීවිතය, හිතනවට වැඩිය කොච්චර ඉක්මනට හැම දෙයක්ම වෙනස් කරනවද. ටික කාලෙකට කලින් පොඩිම හරි වේදනාවක් නොදැනුන මම අද ඊට වැඩිය හාත්පසිනම වෙනස් තැනක ඇවිත් නතර වෙලා. වේදනාව, හරියට හැම අතකම දෝන්කාර දෙන වචනයක් වගේ වෙලා. මේ හැම දෙයක්ම අතර තනිවෙච්ච මම.

" දැන් නම් හුඟක්ම දුර්වල වෙලා. ඉක්මනටම අපිට යමක් කරන්න වෙයි. නැත්නම් ගොඩක් ලොකු බලාපොරොත්තු තියා ගන්න අපිට අමාරුයි."

මම ඒ හඬ දිගේ ඔහු දිහා බැළුවා. ඔහුගේ ඇස් වල තිබුනේ බලාපොරොත්තුවක්. හරියටම බැළුවොත් ඒක මටත් වැඩිය ලොකු බලාපොරොත්තුවක්.

" අපි මේ කරපු ට්‍රීට්මන්ට්ස් වලින් වැඩක් වෙලා නැති පාටයි. ඔයා ඉන්නේ සතුටින් නෙමෙයි. සතුට හැමදේකටම වැඩිය වැදගත්. ඒ හන්දා පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න."

සතුට, මට එක පාරටම ඔහුගේ මුහුණට හිනාවෙන්න බැරි හන්දම මම මගේ හැඟීම පාලනය කර ගත්තා. මොකද එහෙම උනානම් ඔහු මට ප්‍රතිකාර කරන්නේ හදවතේ වේදනාවට විතරක් නෙමෙයි නිසා. සතුට මම හොයාගෙන ගිය දෙයක් නෙමෙයි. ඒත් සතුට නිතරම මගේ ලග තිබුනා. හැමදාකම වගේ. මට බලෙන් දේවල් වල එල්ලිලා හොයන්න තරම් සතුටක් තිබුනේ නෑ. ඒත් හැම දෙයක්ම හදිසියේම වෙනස් වෙලා ගියේ මහා හුළඟකට හැම දේම විනාශ වෙලා යනවා වගේ.

' මම අසනීපෙන්.' මට ඇයව අමතන්න හිතුනා. ඒත් එහෙම කරන්න තරම් තිබුන අයිතිවාසිකම මගෙන් ඈතට විසිවෙලා ගිහින් ඒ තරම් කාලයක් ගෙවිලා නෑ. ' අපි වෙන්වෙමු. ' බලාපොරොත්තු නොවුන වෙලාවක ලැබුන අවසන් පණිවිඩය හිත තාමත් පාරවනවා. එදත් මේ වේදනාවම මට දැනුන්නා. ඒත්, අමාරුවෙන් වගේ මම ඒක හිතේ අස්සකම හංඟගෙන හිටියේ මට ඇයව නවත්තන්න බැරි නිසා.

ඇය යන්න ගියා. හැම දේකම හොද පැත්ත තේරුම් ගන්න පුළුවන් උනේ කොහොමද කියලා කවුරුහරි මගෙන් අවසානයට කලින් ඇහුවොත් මම කියන්නේ ' ඇය යන්න ගියාට පස්සේ ' කියලා. ඔවු, එහෙම නොවුනනම් මට මීට වැඩිය වේදනාවක් දැනේවි. ඒ, ඇයව තනිකරලා යන්න. වාසනාවකට වගේ ඇය යන්න ගිහින්.


හුඟ දවසකට පස්සේ හිනා වෙන්න පුළුවන් කාරණාවක් හිතට දැනුනා. මම දැන් තනියි. ඒක කියන්න පහසු තරම් සරළ දෙයක් නෙමෙයි. ඒත් දෛවය මාව ඇවිත් නතර කරලා තියෙන්නේ අන්න ඒ වගේ තැනක. හදිසියේම වගේ වේදනාව ආයෙමත් දැනුනා. හරියට අකුණු සැරක් වගේ. පියවෙලා තිබුන ඇස් විවර උනේ මගේ කල්පනාවටත් හදිසියේම නැවතීමක් තියාගෙන.

" ඔක්තෝබර් වෙද්දී අපිට ඔපරේශන් එක කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට බය වෙන්න දෙයක් නැති වේවි."

" හා."

මේපල් කොල වලින් වැහුන පාර දිගේ මම ඇවිදන් ආවා. මගේ නවාතැනට. ටික කාලෙකට කලින් ගෙදර තනි වෙන එක තරම් හිත නුරුස්සන තවත් දෙයක් තිබුනද කියලා මට දැන් හිතෙනවා. මම ඒ තරමටම ඒකට වෛර කලා. ඒත් ඒ ටික කාලෙකට විතරයි. දොර අරිද්දිම මගේ ලගට දුවන් ආව ලෙයෝ පුංචි උනත් මගේ හිතේ මහා බර කිසිම කරදරයක් නැතුවම එයාගේ කරට ගත්තා. ඒ, මගේ පුංචි හා පැටියා.

" තනියම ඉන්න එකේ සතෙක් වත් ඇති කරන්න. ඒක හිතට නිදහසක් වේවි. අනික බෙහෙත් වලට කරන්න බැරි හුඟක් දේවල් සත්තුන්ට කරන්න පුළුවන්."

මම තේරුවේ ලෙයෝව. ඇත්තටම මට තෝරන්න අමාරු වෙන තරම් අවස්ථා තිබුනේ නෑ. ඒක ගැන මම සතුටු උනා. ඇත්තට මම අදටත් සතුටු වෙනවා. ගෙවුන දවස් වල ජීවිතය කොච්චරනම් ලෙයෝ හන්දා වෙනස් වෙන්න ඇත්ද? මටත් නොදැනිම මගේ ජීවිතේ තවත් එක වගකීමක් ජීවිතයට ඇවිත්.


ලගට අරන් තුරුල් කර ගත්තම පුංචි දරුවෙක් වගේ මගේ උරහිසට මුහුණ තියාගෙන ඉන්න ලෙයෝගේ ඔළුව මම හෙමීට අතගෑවා. සමහර දවසට ඒක විනාඩි පහක් දහයක් තරම් දිඟුයි. පපුවේ ගැස්ම ආදරය දැනෙන නිසාමද මන්දා අපි දෙන්නම ඒ දේට කැමති.

" ඔක්තෝබර් වෙද්දී අපිට ඔපරේශන් එක කරන්න පුළුවන්."

විදුළි සැරයක් වගේ හදිස්සියේම හිතේ දිවුවේ ඒ වචන ටික. ඉතුරු වෙලා තියෙන මාස ටික එක අතකින් ගැනලා ඉවර කරන්න පුළුවන්. ' සතුටු වෙන්න ' හිනාවක් එක්කම ආයේ මතකයට ආවේ ඒ වචන ටික. පපුව ලගම තව ටිකක් තුරුළු වුන ලෙයෝ මගේ කල්පනාවෙන් ආයෙම ඇද්දා.

' මම ඉක්මනට ඔයාව දාලා යන්නේ නෑ. ඔයත් මාව දාලා යන්න එපා.'

ඒක මොන තරම් අහිංසක බලාපොරොත්තුවක්ද කියන්න මම දන්නේ නෑ. ඒත් ලෙයෝගේ ඇස් මාව නිතරම ජීවත් කරනවා.



41 comments:

  1. බලාපොරොත්තු අප ජීවත් කරවයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රසික අයියේ. බලාපොරොත්තු නැති ජීවිතයක් නැහැනේ.

      Delete
    2. බස්සා, මේ මහ රෑ පාන්දර වෙන්න උඹ ' හ්ම්ම්' කියන එක අරුමයක් නෙමෙයි හන්දා මුකුත් නොකියමි.

      Delete
  2. ඇත්තටම සතෙක් ඇතිකරන එක හිත සැනසෙන හොඳම විදිහක්. හාවා ඒ අතරිනුත් විශේෂයි.
    සුදු හාවො, උන් විතර පිරිසිදු සත්තු ජාතියක් නෑ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කතාවනම් ඇත්ත මදාවියෝ..

      Delete
  3. තනිවෙන එක වේදනාකාරියි තමා...ඒත් ජිවීතයේ දවසක් එනවා හැමෝටම තනි වෙන්න...

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ, තනි වෙන එක, එක වෙලාවකට පුදුම නිදහසක්..

      Delete
  4. තනිකම හිතට වදින ආකාරය ගැන සුපිරියට ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, තැන්කිවු වේවා..

      Delete
  5. මේ මොහොත ඇද ගෙන යන්නේ බලාපොරොත්තු සහ මතක තමයි. බලා ගෙන යන් කොට අපිව ජීවත් කරවන්නෙත් ඒව නේද.... http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවක් අරමුණක් නැති ජීවිතයක් තියෙන්න විදිහක් නෑ.. මම හිතන්නේ එහෙමයි..

      Delete
  6. බලාපොරොත්තු නැති වෙච්ච කෙනෙක් ට සතුටක් මවන්න බොහොම අමාරුයි. ඒත් යම් මොහොතකට, පුංචි මොහොතකට හරි හිතට සතුටක් දෙන්න පුලුවන් සමහර මිනිස්සුන්ට වඩා තිරිසන් සත්තුන් ට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මලයා.. හැබැයි ලොකුම දේ, ඒ සතුට අපිට දෙන්නේ අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී.. අන්න ඒකයි වෙනස..

      Delete
  7. Replies
    1. මතකද කාලෙකට කලින් පූසෙක් ගැන ලිවුවා.. ඒ නමම දැම්මා මේකටත් ඉතින්..

      Delete
  8. උඩින්ම රසික කියන්න ඕනේ දේ කියලා තියෙනවා.

    කිසිම දෙයක බලාපොරොත්තු අතහරින්න එපා.හැමදේම හොඳ විදියට වේවි.

    ReplyDelete
    Replies
    1. කොහොම නෑ කිවුවත් අපි මොනම හරි දේකින් පොඩිම හරි බලාපොරොත්තුවක් හිතේ තියා ගන්නවා මචං..

      Delete
  9. ගොඩක් සංවෙදිව දැනුනා... මටත් මෙහෙම අතීතයක් තිබුණා... සමහර විට තවමත්... සුභපැතුම් ඔබෙ උත්සහය අතිශයින්ම සාර්තකයි

    ReplyDelete
    Replies
    1. මහෙම අතීතයන් හුඟක් දෙනෙකුට ඇති.. මම හිතන්නේ..

      Delete
  10. මුල්ම කොමෙන්ටුවට පස්සේ මේ සංවේදී සටහන වෙනුවෙන් ඊට වඩා දෙයක් ලියන්නට අමාරුයි

    ReplyDelete
    Replies
    1. කියවපු එකම මදෑ ඉතින්..

      Delete
  11. මියෙන්නට මත්තෙන්
    කියන්නට දෙයක් ඇත,
    අගුළු ලා ගත් ඔබේ හද දොර
    විවර කල හැකිද මොහොතකට
    පියා ගන්නට පෙර දෑස් යුග
    සදාකාලික නොනිමි නින්දක

    මේ මොහොතේත් අත් දකින මගේම අත්දැකීමක් අකුරු වෙලා තියෙනවා දැක්කම හිස්කමකින් පිරුණු සතුටක් දැනුනා .

    ස්තුතියි වර්ණ ට .

    ReplyDelete
    Replies
    1. දුක් නොවී ඉන්න.. සමහර දේවල් අපි බලාපොරොත්තු වෙනවට වැඩිය ඉක්මනට වෙනස් වෙනවා..

      Delete
  12. නියමයි. තනිවෙච්ච ජීවිතයකට අන්තිමට තනිකම නිවන්න ඉන්නෙ ඔය වගේ අහිංසක සතෙක් තමා.
    රසික අයියා කියල තියෙනවා වගේ බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් දෙයක් අවසානයේ ඉතුරු වෙන එක මනුස්සයෙක්ට වාසනාවක් බං.. මම නම් හිතන්නේ..

      Delete
  13. දිනේෂ් ඔයා මෙවැනි අත්දැකීමක් ලබා නැතුව ඇති කියන විශ්වාසෙ තියෙනවා. සැබෑ ජීවිතේ මෙවන් අත්දැකීම් ලබන අය ඉන්නවා ඇත්තටම එයාලට කොහොම දැනෙනවා ඇතිද?

    ReplyDelete
  14. මනුස්සයෙක් ජීවත් වෙන්න නම් බලාපොරොත්තු තියෙන්න ඕනෙ. එහෙම නැති උනාම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නෑ. පෝස්ට් එක කියවද්දි දැනෙන්නේ අපිත් ඒ තනිකම ඇතුලේ ඉන්නවා වගේ.....

    ReplyDelete
  15. ඉතින් කොහොමද දිනේෂ් යාළුවා...???? ;) ඔන්න හුඟ කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා. කතාව පොඩි හින්ද කියවලත් බැලුවා. ඉස්සරහට දිගටම බලන්නම් හැබැයි පරණ ඒවා නම් බලන්න වෙලාවක් නෑ දුක තමා.

    ReplyDelete
  16. තනිකම....
    තනිවීම...

    I hate it

    ReplyDelete
  17. අතාරින්න පුරුදු වෙන්න ඕන..

    ReplyDelete
  18. සතුට...මං තාම ‍හොයනවා..
    මේ මගේ කතාවද? මගෙ හිත ඇහුවේ ඒක...

    ReplyDelete
  19. අනේ... දුක හිතුන.තනිකම මැකුව ලෙයෝ ගෙ උණුසුම් සුසුම් ඔහුට කොයි තරම් උණුසුමට බරට දැනෙන්න ඇතිද..? අගෙයි දිනේෂ් අයියේ...

    ReplyDelete
  20. විවිධාකාර විදිහට තනිකම දැනෙනවා, ඔය වගේ වෙලාවක දැනෙන තනිකම ටිකක් දරුණුයි. නියමෙට ලියල තියෙනවා.

    ReplyDelete
  21. ලස්සන කතාවක්. හදිසියේ ගොඩ වුනේ. පස්සේ ආයි එන්න බලාගෙන.

    ReplyDelete
  22. සතෙකුට තනිකම දුරලන්න පුලුවන් හරි ම අපූරු විදියට .ඉන්නේ නම් පූසො තමයි.සමහර වෙලාවට මම දුකින් ඉන්නකොට තේරුම් අරගෙන වගේ ළඟට වෙලා පුරු පුරු ගාන්නේ... :)

    ReplyDelete
  23. සතෙකුට තනිකම පුලුවන් වෙන හැටි හරි අපූරුවට කියලා තියෙනවා.මටත් ඉන්නවා පූසො.සමහර වෙලාවට දුකින් ඉන්නකොට තේරුම් අරගෙන වගෙයි ළඟට වෙලා පුරු පුරු ගාන්නේ... :) මේපල් කොළ වැටිච්ච පාර දිගේ ඇවිදිනවා ශෝකී සුන්දරත්වයකින් හිතේ ඇඳුනා...

    ReplyDelete
  24. සතෙකුට තනිකම පුලුවන් වෙන හැටි හරි අපූරුවට කියලා තියෙනවා.මටත් ඉන්නවා පූසො.සමහර වෙලාවට දුකින් ඉන්නකොට තේරුම් අරගෙන වගෙයි ළඟට වෙලා පුරු පුරු ගාන්නේ... :) මේපල් කොළ වැටිච්ච පාර දිගේ ඇවිදිනවා ශෝකී සුන්දරත්වයකින් හිතේ ඇඳුනා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්