රොබරෝසියා මල් වැටුන
පුංචි පාර දිගේ මම හෙමිහිට ඇවිදන් ආවා. හිතේ තිබුනේ පුදුමාකාර විදිහක සතුටක් වගේම නිදහසක්.
සරසවි ජීවිතේ මුල් කාලය පහුකරමින් හිටිය නිසාමද මන්දා ඒ තරම් වගකීමක් හිතට නොදැනුනේ.
ඒ හන්දම වෙන්න ඇති සුන්දර හන්තානට හිතේ හැටියට පෙම් කරන්න පුරුදු වුනේ. ඒක ඇත්තටම හරියට
හීනයක් වගේ. මට නිතරම දැනුනේ මම හීනයක් අතර ජීවත් වෙනවා වගේ. එක ලස්සන සුන්දර හීනයක්.
පාරේ ඈත කෙලවරින්
ඇවිදන් ආව ඔහු මගේ මතකය කල්පනාව හරි
ඉක්මනට මගෙන් උදුරලා ඈතට අරන් ඔහු ලගම නතර කර ගත්තා. හරියට මායාවක් වගේ. එක අතක හිර වුන මහා බරසාර පොත් මිටිය එක්ක ඔහු ඇවිදන් ආවේ ඔහුගේම කල්පනාවක. උපැස් යුවලට යටින් ඒ ඇස් දිහා බලන්න හිතුනා. ඒ තරමටම ඒ ඇස් වල තිබුනේ ආඩම්බරකාර ලස්සනක්.
ඉක්මනට මගෙන් උදුරලා ඈතට අරන් ඔහු ලගම නතර කර ගත්තා. හරියට මායාවක් වගේ. එක අතක හිර වුන මහා බරසාර පොත් මිටිය එක්ක ඔහු ඇවිදන් ආවේ ඔහුගේම කල්පනාවක. උපැස් යුවලට යටින් ඒ ඇස් දිහා බලන්න හිතුනා. ඒ තරමටම ඒ ඇස් වල තිබුනේ ආඩම්බරකාර ලස්සනක්.
අවුරුදු එකහාමාරක්
පුරාවට මේ පාරේ වගේම නිතරම දේශණ වලදි අපි හමුවුනා. හැමදේකටම වැඩිය මගේ හිත තිබුනේ ඔහු
ලග. හැබැයි හුඟාක් රහසින්. දේශණ අතරවාරයේ ඔහුගේ ලෝකයට වෙලා හැංගෙන්න උත්සාහ කරපු වාර
ගාන සටහන් පොතේ ලියවිලා තියෙන අකුරු වලට වැඩිය හුඟාක් වැඩියි කියලා විතරක් මම දන්නවා.
ඔහු මාව පහුකරන් ගියා.
හරියට හුළඟක් වගේ. මාව දැක්කද, නොදැක්කා වගේ ගියාද? හිතේ කලබලේ දුවන ප්‍රශ්ණ එක්ක මම
නැවතිලා ඔහු දිහා බලාගෙන හිටියා. ඒ පියවර අරමුණක්
දිහාවට ඇවිදන් ගියා. ඔහුගේම අරමුණක්. ඒක කොහෙත්තම මම නෙමෙයිද?
බලා වැලපෙමි
නෙළාගනු
බැරි
හන්තාන
සිහිනේ...
***
ඒ ඇස්, බොහොම දුරක
ඉදන් උනත් අදුන ගන්න පුළුවන් අරමුණක් ඒවයේ හැංගිලා තිබුනේ. සමහරවිට අපේ ඇස් නිතරම මුණ
ගැහුන නිසාද දන්නේ නෑ මට ඒක බොහෝම ඉක්මනට තේරුම් ගන්න පුළුවන් උනේ. රොබරෝසියා මලින්
වැහිලා ගිය වසන්ත මට අළුත් එකක් නොවුනට මේ වතාවේ එකේ වෙනසක් තිබුනා. ඇත්තටම කාලෙකින්
නොවින්ද තරමේ අමුතුම හැඟීමක්.
මම ඒ ඇස් මඟ ඇරලා
යන්න උත්සාහ කලා. හැමදාමත් වගේ. ඇයව හමුවීම ඒ තරම්ම අහම්බයක් නොවුනත් මේ දේවල් මඟ ඇරලා
යන එක මට ආයාසයක් වුනා. පිණි වැස්සෙන් ඇයව බේරන කුඩය යට හැංගුන ඇස් මොන මොනවද හරි ඉක්මනට
කතා කරනවා වගේ පෙනුනත් ඒ දිහා කෙලින් බලන්න තරම් හයියක් මගේ හිතේ තිබුනේ නෑ.
පොත් මිටිය ඇඟිලි
වලට තද කරන් ඇය ලගින් නික්මිලා ගියේ කිසිම වෙනසක් නොදැනෙන්න. සමහරවිට ඇයට දැනෙන්නත්
ඇති. ඒත් ඒ ගැන හිතන්න තරම් ඕන කමක් මගේ හිතේ තිබුනේ නෑ. ඇය කොහොත්තම නොදකින, දකින්න
උත්සාහවත් නොකරන මහා පවුරක් අපි අතර බොහෝම ශක්තිමත්ව තිබුනා. මම හිටියේ ඒ පවුරෙන් එහා
පැත්තේ. ඇය, මට තවත් එක ශිෂ්‍යාවක් විතරමයි.
දරා නෙත්
අග
දොවා සිත්
මල
ගොතනු මැන
ළඳුනේ..
සංසාර සිහිනේ...
***
හැන්දෑව වචනයෙන් විස්තර
කරන්න බැරි තරම් සුන්දරයි. ජීවිතේ තව දකින්න ඉතුරු මොනවද කියලා හිතෙන තරමටම ඇත්තටම
ඒ හැම දෙයක්ම සුන්දරයි. ඈත කඳු මුදුන් අස්සේ ඉර හැංගිලා යන්න පටන් ගත්ත වෙලේ ඉදන් හැම
දෙයක්ම වගේ හරි අපූරුවට වෙනස් වෙලා යන්න ගිහින්.. මෙහෙම වෙලාව ගෙවෙද්දී තත්පර ගනින්න
මම හරි ආසයි. ඒ හැම දෙයක්ම වෙනස් වෙන්නේ හුඟාක් හෙමින් කියලා තේරුම් ගන්න.
තැන් තැන් වල හුදෙකලා
උන පෙම්වතුන් ඔවුන්ගේම ලෝක වල තනි වෙලා. දවස තිස්සෙම ගෙවුන දේවල් ගැන කතාකරන්න මොන
තරම් නම් දේවල් ඇත්ද? මම, තනි උන හැඟීමක් විතරක් හිතට ලං කරගෙන කෙලවරක වෙලා ඒ හැම දෙයක්ම
දිහා බලාගෙන හිටියා. මටත් ඒ වගේ පෙම්වතියක් වෙන්න තිබුනනම්.
මලින් වැහිලා ගිය
තණ බිස්ස දිගේ මම ඇවිදන් ගියා. අරමුණක් නැතුව. හැබැයි හැඟීමක් එක්ක. ආදරේ අකුරු කරන්න
නොදන්න තරමේ අමුතු දෙයක් නොවුනට ඔහු ලගදි ඒ හැම දෙයක්ම වෙනස් වෙලා ගිහින්. මම නිරුත්තර
වෙලා ගිහින්. හිතේ ඉතුරු වෙලා තියෙන්නේ හීනයක් විතරක්ම උනත් හීනය කියන්නේ හැමදාමත්
හිතේ තියාගෙන රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මගේ හිත දැන් මටම තේරුම් කරලා
දෙන්න පටන් අරන්.
වැහි පබළු
යට
රඟමඬල මැද
ඔබේ දෑතේ
තුරුලු
වෙන්නට...
***
මම ඈත ඉදන් ඇය දිහා
බලාගෙන හිටියා. තණ බිස්ස අතර ගමන හරියට භාවනාවක් වගේ. කොච්චර වෙලා බලාගෙන හිටියත් ඈතකට
යවන්න බැරි හැඟීම හදවතින්ම තුරුලු කර ගන්න මට ඕන වුනා. ඒත් හැම දෙයක්ම හිතන තරමටම ලේසි
නැහැයි කියලා මතක් කරලා දෙන්න තරම් මගේ හිත දැන උගත් වීම ගැන මම හිත යටින් සතුටු වුනා.
කාලය ඔහේ ගෙවිලා යන්න
ඇති. ජීවිතෙන් වැඩි කාලයක් තේරුමක් නැතුවම ගෙවිලා ගිහින්. ජීවිතේ කොනක ඉතුරු උන අසාර්ථකව
ගිය හැඟීමක් එක්ක පොර බඳින කාලය හුඟාක් වැඩියි
කියලා හිතට දැනුනත් සමහර දේවල් වලින් ඒ තරම් ඉක්මනට පැනලා ගිහින් නතර වෙන්න
අමාරුයි. කොච්චර අකමැති උනත්, කොච්චර දරන්න බැරි උනත් හිත හැම වෙලේකම ඒ බර විද දරාගෙන
ඉන්නවා.
ඇය, ජීවිතේ එක අන්තයක්.
ඒ අන්තය මට ලඟා වෙන්න බැරි තරම් දුර ඈතක එකක් උනත් හිත නිරායාසයෙන්ම ගිහින් නතර වෙන්නේ
එතන. ඒ හිත කැමතිම ඒ දේට නිසා වෙන්න ඇති. එක මොහොතකට මට හිතුනේ ඈ ඉන්න තැනට ගිහින්
නතර වෙන්න, කතා බහ කරන්න. හරියට අනික් හැම පෙම්වතුන්ම වගේ. ඒත් අපි පෙම්වතුන් නෙමෙයි.
එහෙම බැඳීමක් ඇති වෙන්න තරම්වත් පුළුවන් දුරක අපි නොහිටියත් දවසක ඒ අනන්තය ලගට ලං වෙන්න
බැරි වෙයිද? ඒත් ඒ වෙද්දී ඇය කොතනක නතර වෙලා ඉදීවිද?
බිසෝ හැරගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොයනු මැන
ළඳුනේ...
***
අවුරුදු හතරක් නොදැනිම
ගෙවිලා ගිහින්. කාලයත් හරියට මිරිඟුවක් වගේ. ලං වෙද්දී අපෙන් හුඟක් ඈතට අපිටත් නොදැනිම
ඇදිලා ගිහින්. උපාධිය ගෙවුන කාලේ මහන්සියට ගෙනාවේ සැහැල්ලුවක් උනාට හිතේ තිබුන නොසංසුන්
කම ඊට වඩා තදින් දැනුනා. මම, මගේ දෑස හෙවුවේ ඔහුව. හැමෝගෙන්ම ඈත් වෙලා තනිවෙලා හිටිය
ඔහු ලගට මම ඇවිදන් ගියා.
ගෙවුන කාලයෙදී හීනයට
යන්තමින් පණ ඇවිත් තිබුනත් ජීවත් වෙන්න තරම් හුස්මක් පිඹින්න ඔහුටත් මටත් පුළුවන් කමක්
තිබුනේ නෑ. ඒත් මම බලාගෙන හිටියා. ඔහු ඒ හුස්ම පොද වෙලා එනකන්. ඒ බලාපොරොත්තුව අතරෙන්
කාලය හෙමීට පැනලා ගිහින්.
මම ඔහුගේ විඩාපත්
මුහුණ දිහා බලාගෙන හිටියා. ඒ ඇස්, වෙනදා වගේම මගෙන් හැංගෙන්න උත්සාහ කලා. මගේම ඕනකමට
ඒ ඇස් මගේ දිහාට කරලා නතර කරගත්තේ ආයෙම දුරස් නොකරන්න හිතාගෙන. ඔහු දවසක ඒවි. මගේ හිත
අනිත් හැමදෙයකටම වැඩිය තදින් විශ්වාස කලා. මම ඔහුගේ ගොරෝසු අත මගේ හිතට ලං කරලා තදින්
අල්ල ගත්තා. ඒ කාලයක් පුරාවට කියන්න බලාපොරොත්තු උන, හිතට බරක් උන ඒ හැඟීමෙන් හිත නිදහස්
කර ගන්න.
වඩින තුරු
සඳ
දුරින්
ඉන්නම්
තරු ඇදුරු
පෙම්
ගී අහන්නම්...
***
ඒ ඇස් වලින් බේරිලා
යන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අනිත් හැම දවසකම ඒක හුඟාක් ලේසියෙන් කලා උනත් අද මට
ඒක කොහෙත්තම කරන්න පුළුවන් දෙයක් උනේ නෑ. ඒ වචන වල තිබුනේ මහා බරක්. මටත් දරා ගන්න
බැරි තරමේ බරක්. මෙච්චර කාලෙකට ඒ හිත මේ හැම දෙයක්ම හංගගෙන හිටිය හැටි ගැන හිතන්න මට
පුළුවන් කමක් තිබුනේ නෑ.
හැම දෙයක්ම අපෙන්
ඈත් වෙලා හමාරයි. ඇයත් මමත් තනි උන මොහොතක හැම දේම නතර වෙලා වගේ හැඟීමක් විතරයි හිතට
දැනුනේ. කාලෙකට පෙර මංඟල මුදුව ගැලවුන දෑත ඇගේ පපුවට තුරුලු කර ගෙන කඩාගෙන වැටෙන කඳුළු
වලට ඉඩ දී ගෙන ඇය බලාගෙන හිටියා. මට ඒ දේ නතර කරන්න ඕන කමක් තිබුනත් හිත මට අවනත නැති
තැනකයි හිටියේ.
මට ඇයට කියන්න දෙයක්
හිතා ගන්න බැරි උනා. මම කලේ ඒ ඇස් දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඒත් ඒ ඇස් මගෙන් ඊට
වඩා දෙයක් බලාපොරොත්තු උනා. මේ මඟහැරෙන්නේ අන්තිම අවස්ථාව කියලා මගේ හිත හොදටම දැනන්
හිටියා. එකම එක පුංචි සිතුවිල්ලක මේ අවස්ථාවත් මඟ අරින්න ඕනකමක් හැංගිලා තිබුනත් මගේ
හිත මාව ආපස්සට ඇද්දේ මේ හැම දෙයක්ම අතරේ ඇයත් මගේ හිතට හුඟාක් තදින් ලං වෙලා හිටියා
නිසා.
සොඳූරු
ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
සොඳුරේ..
හන්තාන
අරණේ....
******
බලා වැලපෙමි
නෙළාගනු
බැරි
හන්තාන
සිහිනේ...
දරා නෙත්
අග
දොවා සිත්
මල
ගොතනු මැන
ළඳුනේ..
සංසාර සිහිනේ...
වැහි පබළු
යට
රඟමඬල මැද
ඔබේ දෑතේ
තුරුලු
වෙන්නට...
බිසෝ හැරගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොයනු මැන
ළඳුනේ...
බලා වැලපෙමි....
වඩින තුරු
සඳ
දුරින්
ඉන්නම්
තරු ඇදුරු
පෙම්
ගී අහන්නම්...
සොඳූරු
ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
සොඳුරේ..
හන්තාන
අරණේ....
ගායනය : පණ්ඩිත් අමරදේව සමග උමාරියා
පද රචනය : ජානක සිරිවර්ධන
සංගීතය : අරුණ ගුණවර්ධන
******