එදත් ෆාමසියේ වෙනදා
වගේම දවසක්.. කියන්න තරම් මහ ලොකු දෙයක් සිද්ද නොවී ඔහේ කම්මැලි කමේ ගිය දවසක්.. ලොක්කගේ
අම්මගේ බෝයියටත් මේ ටිකේ උණ ගැනිලා හන්දා ෆාමසිය පැත්තට ආවෙත් නෑ.. ඒ හන්දමද මන්දා
ලොක්කගේ අම්මා ආවෙත් නෑ.. අම්මා නෑ කියන්නේ ඉතින් අපිටත් කන්න බොන්නත් නෑ වගේ තමයි
ඉතින්.. නැත්නම් ඉතින් බඩ රිද්දන පුඩිං හරි අපිට හම්බුවෙනවනේ.. හරි හරි ඒ කතා වැඩක්
නෑ.. කියන්න ආව කතාවට යමුකෝ..
ඔන්න ඉතින් හවස
7.30යි වෙලාව.. ෆාමසිය වහන්නත් වෙලාව හරි හන්දා මම ඉස්සරහා පැත්තට ආවා.. බෙහෙත් ගන්න
ආව කවුරුවත් නෑ.. ඒකත් හොද වෙලාව.. නැත්නම් ඉතින් ඒ ඉන්න අය යනකන් තව විනාඩි 10ක්
15ක් බලාගෙන ඉන්නත් වෙනවනේ.. කවුරුත් නෑ කියලා දැක්ක ගමන් මන් ටක් ගාලා ගිහින් දොර
ලොක් කරලා ලොකු යකඩ දොර පහලට දාන්න පටන් ගත්තා.. සමහර වෙලාවට අනිත්ම මොහොතේ දුවන් එන
හදිස්සි කාරයෝ එහෙන් මෙහෙන් අත් කකුල් ඔය දොර අස්සෙන් දාන හන්දා මම කෝකටත් කියලා කල්පනාවෙන්
තමයි වහන්නේ.. මොකද ඉතින් වෙන තැනක් වගේ නෙමෙයි.. ෆාමසියකට දුවන් එන්නේ ලෙඩෙක් බෙහෙතක්
හොයාගෙන කියන එක ඉතින් හොදාකාරවම දන්න දේ හන්දා අන්තිම විනාඩියේ උනත් ඒ දේ කරන එකනේ
යුතුකම..
කොහොම හරි ඉතින් මම
යකඩ දොර පහලට දාද්දීම මෙන්න පොඩි එකෙක් එකෙක්
ඇවිත් බෙල්ල දැම්මා.. හොද වෙලාවට වගේ මම බලාගෙන හිටියේ.. නැත්නම් ඉතින් මේ පෝස්ට් එක
අද මට ලියන්න වෙන්නේ මේ විදිහට නෙමෙයි.. මම ඉතින් දොර ඇරලා " ඇයි? " කියල ඇහුවා.. අවුරුදු 12ක විතර පොඩි එකෙක්.. මේ කෙල්ල හති දානව
කතා කරන එක කොහොම වෙතත්..
" පොඩ්ඩක් ඉන්න...
අම්මා එනවා.."
ඒ ගමන බලද්දී මෙන්න
අම්මා කෙනෙක් එනවා තව පොඩි එකෙකුත් අතින් අල්ලගෙන.. ඒ ගමන ඉතින් ඔක්කොටම ෆාමසියට එන්න
ඉඩ දුන්නා.. ලගම කවුන්ටර් එකේ හිටියේ ලයින් අක්කා.. මේ අම්මත් කලබලේ එතනට දුවගෙන ගියා..
මමත් ඉතින් වැඩිය ඒකට උනන්දු නොවී දොර ගාවම හිටියා.. ටිකකින් අමුතු විදිහක කතාබහක්
මට ඇහුනා..
" මට මේක කොහොම
හරි ගලවන්න ඕන.. දැන් ඉන්න බෑ අමාරුයි.."
මම එක පාරම බැළුවා
මේ මනුස්සයා මොනවද මේ ගලවන්න ට්රයි කරන්නේ කියලා.. ඒ බලද්දී තමයි වැඩේ තේරුණේ.. මේ
ගෑණු කෙනා දිවත් එළියට දදා කතාව.. බැලින්නම් දිවට පියර්සිං එකක් දාලා.. එච්චර වෙලා
අමුතු විදිහට කතා කලෙත් ඒක තමයි කියලා එවෙලෙයි මටත් තේරුණේ.. මාත් ඉතින් පොඩ්ඩක් ඕප
දූපෙට ඇහුන් කන් දුන්නා මොකද වෙන්නේ කියලා බලන්න.. වෙන මොකටවත් නෙමෙයි ඉතින්.. කට්ටියට
කියවන්න මේකේ ඇවිත් ලියන්නත් එපැයි ඉතින්..
මේ ගෑණු කෙනා අවුරුදු
ගානක හිතේ තිබුන ආසාව සපුර ගන්න කියලා දවාලේ ගිහින් පියර්සිං එකක් ගහගෙන දිවේ.. ඒ වෙලාවෙ
නම් කිසිම අවුලක් තිබිලා නෑ.. හවස් වී ගෙන එද්දී තමයි වැඩේ අල වෙලා තියෙන්නේ.. පියර්සිං එක ගහපු තැන වටේම ටිකක් ඉදිමිලා ඇවිල්ලා වගේම දිවම
ටිකක් ලාවට වගේ නිල් පාට වීගෙන ඇවිත්.. මේ මනුස්සයා දැන් ඉන්නේ නිකන් දිවට මී මැස්සෙක්
විදලා වගේ අමාරුවෙන් කට වහගන්නත් බැරුව ඒක එලියේ දාගෙන අමාරුවෙන් කතා කරනවා.. ( හිනා වෙන්න එපා බොලවු මනුස්සයෙක්ට
කරදරයක් උනාම.. )
දැන් ඉතින් මේ ගෑණු
කෙනා මෙහේ දුවන් ඇවිත් තියෙන්නේ මේක ගලව ගන්න විදිහක් තියෙනවද කියලා බලන්න.. ඇයි හත්දෙයියනේ
ඉතින් වේදනාවටනම් මොකක් හරි බෙහෙතක් දුන්නා කියමු.. ඕක ගලවන්න පුළුවන්යැ ෆාමසියේ එවුන්ට..
කට්ටියටම ඒක මේ ගෑණු කෙනාට තේරුම් කලා.. වැඩේ කියන්නේ හවස 6 වගේ වෙද්දී තමයි මෙයාට
අමාරු වෙලා තියෙන්නේ.. එවෙලේ කෝල් එකක් දාලා බලද්දී පියර්සිං එක ගහපු ටැටූ කඩෙත් වහලා.. අප්සට්ම වැඩේ එදා හරියටම සිකුරාදා.. ආයෙම ඉතින් අරින්නේ සඳුදනේ.. අනික ඒ දිව තියෙන විදිහ
දැක්කම සඳුදා තියා පහුවදා වෙනකන්වත් ඒ මනුස්සයා ඉන්නවා බොරු..
දන්නේ නැති රෙද්දවල්
කරලා ආයේ මේ මනුස්සයගේ දිව කපන තැනට වැඩේ සෙට් කරන්න හොද නැති හන්දා අපි කිවුවා ලේසිම
වැඩේ ඉස්පිරිතාලෙට යන්න කියලා.. එතකොට ඉතින් ඔය පියර්සිං එක කපලා හරි ගලවලා හරි හොද
හැටි බෙහෙත් දාවිනේ.. වැඩේ කියන්නේ මේ මනුස්සයා ඒකට යන්නත් බයයි.. කොහොම හරි ඉතින්
දේවල් තේරුම් බේරුම් කරලා දීලා අමරුවෙන් වගේ යැවුවා ඉස්පිරිතාලෙකට යන්න කියලා.. මොකද
ඉතින් මෙතන ඉන්න ඉන්න තවත් අමාරු වෙන්නේ ඒ මනුස්සයටමනේ.. අනික ඉතින් ඉදිමුම තියාගෙන
ඔහොම ඉන්නත් බැහැනේ.. කොහොමින් කොහොම හරි අන්තිමේ ඒ ගෑණු කෙනාව ඉස්පිරිතාලෙට ඉක්මනට
යන්න කියලා ෆාමසියෙන් පිටත් කලා..
බැරි වැඩ එක්කෝ නොකර
ඉන්න ඕන.. හැබැයි ඉතින් ඒ ගෑණු කෙනාට එච්චර වයසකුත් පේන්න තිබුනේ නෑ.. ඒ හන්දා පියර්සිං
එකක් ගහන්න හිතුන එක අවුලකුත් නෙමෙයි.. එක්කෝ මෙයාගේ දිවේ අප්සට් එකක් එහෙමත් නැත්නම්
ගහපු එකාගේ වැරැද්දක්.. කොතන කොහොම අවුලක් උනත් ඉතින් ඉල්ලන් ටින්කිරි ගාගන්නවා වගේ
වැඩක් තමයි මෙයාටත් උනේ.. අපිට නොදැනුනාට ඉතින් කොහොම වේදනාවකුත් තියෙන්න ඇත්ද?
දැන් එතකොට කියාගෙන
ආව කතාව ඉවරද? මොන පිස්සුද.. ඉන්නකො ක්ලයිමැක්ස් එක කියනකන්..
කොහොම හරි මේ ගෑණු
කෙනත් ගියාට පස්සේ අපි අපේ වැඩ ටිකත් ඉවර කරලා දාලා වෙච්ච දේ ගැන කතා කර කරම ආවා යුනිෆෝර්ම්
ගලවලා දාලා ගෙදර එන්න ලෑස්ති වෙන්න.. එතකොටනේ අපේ දෙකොන රත් වුනේ.. මෙන්න බොලේ පොඩි
එකෙක් ඉන්නවා ෆාමසියේ බාත් රූම් එකේ.. මොනා කරන්නද ඉතින් හෙමින් සීරුවේ පොඩි එකාට කතා
කලා.. හොද වෙලාවට වගේ පොඩි එකා බය වෙලා එහෙම නෙමෙයි හිටියේ..
" අක්කට හොයන්න
කියලා මම හැංගුනා.."
පොඩි එකා කියපි..
හත්දෙයියනේ මේක හැංගිමුත්තම් කරන තැනක්ද? පොඩි එකාව ඉස්සරහට එක්කන් ඇවිත් පුටුවක වාඩි
කරවලා කවුද කින්ද මන්ද විස්තර ඇහුවා.. බැලින්නම් මේ අර පියර්සිං එක ගහගෙන මෙලෝ සිහියක්
නැතුව ආව ගෑණු කෙනාගේ පොඩි කෙල්ල.. ඒ මනුස්සයා අපි එක්ක ඒ ගැන කතා කරද්දී මේ ලමයා අක්කා
එක්ක සෙල්ලම් කරලා.. දැන් ඉතින් මොනවා කියලා කරන්නද.. පොඩි එකාගෙන් විස්තර ඇහුවට අම්මගේ
නමවත් හරියට කියාගන්න දන්නේ නෑ.. කෙල්ලට අවුරුදු පහයි තාම.. ඇඩ්රස් එකක් තියා අම්මගේ
ටෙලිෆෝන් නම්බර් එකක් වත් මේ ලමයා දන්නේ නෑ.. එක අතකට ඉතින් ඔය වයසට ඔවුවා ඔක්කොම මතක
තියෙනවා කියලද..
දැන් ඉතින් මොකද කරන්නේ
කියලා දහ අතේ කල්පනා කරා.. අපිට ඉතින් පොඩි එකාගෙන් හරි විස්තරයක් අහ ගන්නවත් නැතුව
මුකුත් කරන්න විදිහක් නැහැනේ.. තිබුන එකම විසදුම අම්මා එනකන් බලාගෙන ඉන්න එක.. දැන්
ඒ ගෑණු කෙනා ගිහිල්ලත් වැඩිම උනොත් විනාඩි දහයක් විතර වගේ වෙන්න ඇති.. ඒ කියන්නේ ඉතින් ශුවර් එකටම මේ වෙද්දී අම්මා ලමයා හොයාගෙන එන්න ඕන.. ෆාමසියේ ඉතින් දොර
ඇරන් බලාගෙන ඉන්නත් බැහැනේ, අපේ හොරු පැනීමේ ඉතිහාසය හරි හොද හන්දා.. ඒ හන්දා එළියේ
තිබුන කැමරා වලින් බලාගෙන හිටියා අම්මා දැන් ඒවි දැන් ඒවි කියලා..
තව විනාඩි පහක් දහයක්
වගේ ගෙවිලා ගියා.. අම්මා නම් එන පාටක් නෑ.. ලොක්කගේ අම්මා පොඩි එකාට ලග තිබුන කඩෙන්
පීත්සා එකක් ගෙනත් දුන්නා.. ඒ පොඩි එකත් දවසම නොකා ඉදලද මන්දා පීත්සා එකට වග කියන්න ගත්තා
මෙලෝ සිහියක් නැතුව.. වෙලාව 8.30 වගේ උනා.. ෆාමසියේ හිටියේ ලොක්කයි, ලොක්කගේ අම්මයි
මමයි විතරයි.. මේ අම්මට ලමයව මෙච්චරම සිහියක් නැද්ද කියලා අපි කල්පනා කලා.. එක්කෝ ඉස්පිරිතාලෙන්
අල්ලගෙන පියර්සිං එක ගලවනවද දන්නේ නෑ.. අපි එහෙමත් කල්පනා කලා..
තවත් බලන් ඉන්න එක
හොද නැති හන්දා ලොක්කා පොලීසියට කතා කලා.. කතා කරලා විස්තරේ කිවුවා.. විනාඩි දහයක්
යන්න කලින් පොලිස් කාර් එකක් ආවා.. පොලීසිය ඉන්න හන්දා දැන් අවුලක් නැති නිසාම ෆාමසියේ
දොරවල් ඇරලම අපි බලාගෙන හිටියා ලමයගේ අම්මා එනකන්.. පොලිස් කාරයෝ දෙන්නත් ලමයගෙන් ශේප්
එකේ එක එක ඒවා ඇහුවට " දන්නේ නෑ " කියනවා ඇරෙන්න පොඩි එකාගෙන් වෙන උත්තරයක්
නම් ලැබුනේ නෑ..
" කරන්න දෙයක්
නෑ තව ටිකක් බලමු.. මේ ලමයට මොන්ටිසෝරියේ නම විතරනේ මතක.. මම තව දෙන්නෙක්ව දැන් යවනවා
එතන ප්රින්සිපල්ගේ විස්තර හොයාගෙන ඒ කෙනා මාර්ගෙන් හරි ලමයගේ විස්තර හොයා ගන්න.. ඒකටත්
ඉතින් ටිකක් වෙලා යාවි.. එතකන් අපි මෙතනම ඉමු.."
පොලිසියෙන් කිවුවා..
වෙන කරන්න දෙයක් නැති හන්දා අපිත් ඔන්න ඔහේ කියලා බලාගෙන හිටියා.. වෙලාව 9.30යි.. කලබලෙන්
ආව කාර් එකක් පොලිස් කාර් එකේ හැප්පෙන්නේ නැතුව බ්රේක් ගහලා නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්..
ඔන්න ඒකෙන් බැස්සේ ලමයගේ අම්මා.. පිස්සුවෙන් වගේ ඇස් දෙකත් රතු කර ගෙන දුවන් ආවේ ලමයා
ලගට.. පියර්සිං කේස් එක හන්දා අපිටත් ඒ මූණ හොදට මතක නිසා මේ ලමයගේ අම්මා කියලා අඳුනගන්න
අමාරු උනේ නෑ.. දැන් පොලිසියෙන් ප්රශ්ණ අහනවා.. මේ මනුස්සයා බැරි බැරි ගානේ උත්තර
දෙනවා.. බැලින්නම් තාම පියර්සිං එක ගලවලත් නෑ.. තාම ගොත ගහනවා..
" මට මතක නෑ
ලමයව මග ඇරුනේ කොතනදිද කියලා.. ඒ හන්දා මේ මම ගිය හැම තැනටම ගිහින් බලලයි මෙතනට ආවේ.."
ලමයගේ අම්මා කියපි..
හරි සංතෝසයි ඉතින්.. දැන් ඉතින් පොලීසියෙන් බනිනවා අම්බානෙකට.. සාදාරණයි ඉතින්..
" පොලිසියට ගිහින්ම
යමු.." පොලිස් කාරයා කිවුවා..
" මට මේ පියර්සිං
එක ගලවගන්න ඕන.."
" ව ෆන් කූලෝ,
අපි ගලවන්නම් ඒක.."
හයියෝ සල්ලි කිවුවලු..
ඒ අම්මට මෙච්චර දෙයක් වෙලත් පියර්සිං එකේ සිහිය.. අපි එහෙම කිවුවට ඉතින් ඒකේ අමාරුවත්
නැතැයි.. ඒ අස්සේ ලමයා මිසින් කියලා මතක් උනාමත් කොහොමට තියෙන්න ඇත්ද කියලා ඉතින් අමුතුවෙන්
කියන්න ඕන නැහැනේ.. මෙහේ ඉතින් ඔහොම ලමයි අමතක වෙන එක ලේසියෙන් අත අරින කේස් නෙමෙයි..
ඒ හන්දා ඉතින් අම්මවත් එක්කන් පොලිසියෙන් යන්න ගියා..
පියර්සිං එක පොලීසියෙන්
ගැලෙවුවද නැත්නම් තව එකක් ගැහුවද කියලා ඉතින් අපි නම් දන්නේ නෑ.. රෑ වෙච්ච හන්දා ලොක්කගේ
අම්මා ගානෙම මාත් පීත්සා එකක් කාලා ගෙදර එන්න ආවා.. ඊයේ පෙරෙදා දවස් දෙකේ නම් ඒ මනුස්සයව ෆාමසිය පැත්තේ දැක්කේ නෑ.. දැන් ඉතින් ඒ මුණ කොහොම අමතක වෙන්නද? හෙහ්..