Wednesday, 7 January 2015

සින්තියා



හුළගත් එක්ක පොරබඳින ඒ කෙහෙරැළි දිහා මම බලාගෙන හිටියා.. හුළගේ තාලයට හුළඟත් එක්ක පාවුන ඒ අක්ඹමරු කෙහෙරැලි වලට ඇත්තටම හිතින් මම හුඟක් ආස කලා.. මම ඒ දිහා කොච්චර වෙලා බලාගෙන හිටියද කියන්න මම දන්නේ නෑ.. ඇත්තටම හැම දවසකම මේ විදිහට ඒ දිහාම බලාගෙන ඉන්න කාලය කොයිතරම්ද කියලා හිතන්නවත් මම උත්සාහ කරන්නේ නෑ.. ඒ, මට ඒ ගැන හිතනවට වැඩිය ඒ හුළගත් එක්ක පාවෙන කෙහෙරැළි දිහා බලාගෙන ඉන්න එක හිතට මහ අමුතු නිදහසක් වුන නිසා..

ඈ හිටියේ මට වැඩිය ටිකක් ඈතින්.. මම ඈ දිහා බලාගෙන ඉන්නවා කියලා ඈ දන්නේ නැතුව ඇති.. මම හිතන්නේ මම ඈ දිහා හැමදාම බලාගෙන ඉන්නවා කියලවත් ඈ දන්නේ නැතුව ඇති.. මම හිතින් ඒ දුරස් බවටයි නොදැනුවත් බවටයි ආස කලා.. ඒ, මට ඒ සුන්දරත්වය දකින්න කිසිම දෙයක් බාධාවක් වෙන්නේ නැති නිසා.. දවස්, සති, කොයිතරම් ගෙවුනද කියන්න මම දන්නේ නෑ.. ඒත් හැමදාම දකින්න ආස කරන සුන්දරත්වට ඒ හැමදේකටම රහසින් මගේ හිත ඇතුලටම කාවැදිලා තිබුනා.. හුඟක්ම තදින්..

ඈ නිතරම හිටියේ එකම ඉරියවුවක, එකම දෙයක් දිහා බලාගෙන.. ඒ ඇස් වල මානය දිහා මම නිතරම බලන්න උත්සාහ කලා.. සමහර වෙලාවට ඈ තරම්ම හුඟක් වෙලා මම ඒ මානය දිහාම බලාගෙන හිටියා.. ඒත් මට ඈ වෙන්න කොහෙත්තම පුළුවන් වුනේ නෑ.. මම දැක්කේ ලා නිල් පාට පරිසරය විතරයි.. එතනින් එහා වෙන කිසිම දෙයක් තිබුනේ නෑ.. ඒත් ඈ එකම ඉරියවුවක ඉදගෙන ඒ පරිසරය අතරේ මොකක් හරි දෙයක් හොයන්න උත්සාහ කලා.. මට බැරි උනත් ඈ දකින්න උත්සාහ කරන දෙයින් ලොකු වින්දනයක් ලබනවා කියලා මට ඒ හැඟීම් වලින් පේන්න තිබුනා..

ඈ විටෙක හිනාවුනා.. ඒ මද සිනහවේ හැංගිලා තිබුන අරුත මට කොහෙත්තම තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි.. ඒ වගේමයි කඳුළත්.. ඈ හිටිගමන් අඬන්නේ ඇයි කියන එක මට තිබුන ලොකුම ප්‍රශ්ණයක්.. ඒත් මගේ ඒ ප්‍රශ්ණ වලට උත්තර මං ලග තිබුනේ නෑ.. මං හිතන්නේ කා ලගවත් ඒ ප්‍රශ්ණ වලට උත්තර නැතුව ඇති.. ඒත් හැමදෙයක්ම ඒ හිත හොදින්ම දන්නවා ඇති..

ඒ මම සරසවි ජීවිතෙන් සමුඅරන් ආව දවස.. පියවර තියපු මාවත ගැන යටි හිතේ පුංචි දෙඟිඩියාවක් තිබුන වුනත් අහම්බෙන් වගේ ඈ දැක්කම හිත අස්සේ හොල්මන් කරපු හැම හැඟීමක්ම මටත් හොරෙන් කොහේද හැංහිලා ගිහින් කියලා මටත් තේරුම් ගියේ හුඟක් වෙලාවකට පස්සේ.. ඒ තරමටම එක මොහොතකදී ඈ මගේ හිතට ලං වෙලා තිබුනා..

" මොනවද තනියම ඈත බලාගෙන කල්පනා කරන්නේ?"

හදිසියේම වගේ මගේ කල්පනාව බිදගෙන ඇහුනේ ඒ වචන ටික.. මං ලගම දැවටුන ඒ හිනාව මට ආගන්තුක එකක් නෙමෙයි..

" මුකුත් නැහැ.."

මම ඔරලෝසුව දිහා බලන ගමන් ඕනාවට එපාවට වගේ උත්තර දුන්නා.. ඒත් මගේ ඒ උත්තරෙන් සෑහීමකට පත්වුන බවක් ඒ මූණේ තිබුනේ නෑ..

" රිචර්ඩ්, මට බොරු කරන්න එපා.."

මට ඒ හැඟීම් වලින් පැනලා යන්න අමාරුයි.. ඒ හිතට මාව හොදාකාරවම දැනෙනවා කියලා දන්න හින්දම මට තවත් ඒ ගැන හංඟන්න ඕන කමක් තිබුනේ නෑ..

" මම බලාගෙන හිටියේ අරයා දිහා.."

මම අතදිගු කරලා ඇයව පෙන්නුවා.. අපේ කතාබහක්වත් අවට වෙන කිසිම දෙයක් ගැනවත් ඒ හැටි තේරුමක් නොතිබුන ඇය එතකොටත් හිටියේ කලින් විදිහටම එකම දිහාවක් බලාගෙන..

" සින්තියා.."

" සින්තියා?" 

මම ඇහුවේ පුදුමයෙන් වගේ.. ටික දවසක ඉදන් දැන ගන්න ඕනම කරලා තිබුන දෙයක් අහම්බයෙන් වගේ ඒ විදිහට දැන ගනිද්දී මගේ හිතේ තිබුනේ පුදුමාකාර කුතුහලක්.. මම බොහොම ඕන කමින් ඒ මුහුණ දිහා බලාගෙන හිටියා.. ඒ තව මට ඕන කරන විස්තර දැන ගන්න පුළුවන් වෙයි කියලා හිතලා..

" අපි යමු ඔෆිස් එකට.. මම සින්තියාගේ ෆයිල් එක අරන් දෙන්නම්.."

ඇය මටත් කලින් හිස් කොරිඩෝව දිගේ ඇවිදන් ගියේ මට ඕන කරන දේ අරන් දෙන්න වුනත් මගේ හිත තව මොහොතකට දෙකකට නැවතුනේ සින්තියා ලග.. සති ගානකට පස්සේ ඇය කවුද කියන්නවත් දැන් මම දන්නවා.. ඒත් සින්තියා ගැන දැනගන්න යන කතාව මොන වගේ එකක් වේවිද? මගේ හිතේ තිබුනේ කලින් තිබුනටත් වැඩිය බයක් වගේම දෙගිඩියාවක්.. කොරිඩෝවේ බාගයක් දුර ඇවිදන් ගිය ඇය අතර මග නැවතිලා මං දිහා බලාගෙන හිටියේ කොයි වෙලාවේ මම ඇය පසුපසින් එනවද කියලා අහන්න වගේ.. අවසානයේ හිතට ලං කර ගත්ත දිග හුස්මකුත් එක්ක මම ඇය පිටුපසින්ම ආවා.. ඒ, සින්තියා ගැන දැන ගන්න..

" මේ තියෙන්නේ සින්තියාගේ ෆයිල් එක.."

ටික වෙලාවක් ඔෆිස් එකේ ලිපිගොණු අතර හිරවෙලා හිටිය ඇය අන්තිමේ මගේ ලගට ආවේ සින්තියාගේ ෆයිල් එකත් අරගෙන.. ඒක අතට ගන්න අතරේ මම බැළුවේ ඈ දිහා..

" මොකද්ද එයාගේ අසනීපේ?"

සින්තියාගේ නමින් තිබුන කොල වලින් පිරුණ ලිපි ගොණුව කියවන්න පුළුවන් කම තිබුනත් මම ඇගෙන් ඒ ගැන ඇහුවා.. ඒ, මට ඒ වෙලාවේ ඒක කියවලා දැන ගන්න තරම් හිතේ හයියක් නොතිබුන හන්දා.. එහෙම උනේ ඇයි කියන්න මම දන්නේ නෑ.. මම ඈ දිහා බලාගෙන හිටියේ ඇගෙන් පිළිතුරක් ලැබෙනකන්.. ඒත් ඒ ඇස් වල තිබුනේ මාව තේරුම් ගන්න බැරි හැඟීමක් මිස මට ඕන උත්තර දෙන්න සූදානම් කෙනෙක් නෙමෙයි..

" ඔයාම නිදහසේ බලන එක තමයි හොද.."

ඇය කිසිවක් කියන්න උත්සාහ නොකරම යන්න ගියේ මට ඕන කාලය ලබා දෙන්න හිතාගෙන වෙන්න ඇති.. යන්තමට දොර වහගෙන ඔෆිස් එකෙන් පිටවෙලා ගිය ඇය දිහා මොහොතක් බලාගෙන හිටිය මම ආපහු හැරුණේ සින්තියාගේ ෆයිල් එක දිහාවට.. ඒකේ පිටු අතරේ කොයිතරම් වෙලාවක් ගෙවුනද කියන්න මම දන්නේ නෑ.. මම තවමත් හැඟීම් දැනෙන තැනක හිටියා කියලා දැනුනේ ඇස් වලින් ගලාගෙන ගිය කඳුළු බිදූ කීපයක ලුණු රස මගේ තොල් වලට දැනෙද්දීයි..

***

පුරුදු විදිහටම මම හිටියේ ඈ දිහා බලාගෙන.. සින්තියා ගැන දැන ගන්න ඕන හැම දෙයක්ම වගේ මම දන්නවා වුනත් තවමත් මගේ හිත ඈ ලගට යන්න නොදී නතර කරගන්නේ ඇයි කියන එක මට තේරුම් ගන්න අමාරුයි.. සමහර විට ඒ වේදනාව නිසා වෙන්න ඇති.. ඒත් ඒ හැම මොහොතකම ඇය විදින වේදනාවද එහෙමත් නැත්නම් ඒ ගැන හිතලා මගේ හිතට දැනෙන වේදනාවද කියන එක තේරුම් ගන්න මට හුඟක් අමාරුයි..

වෙනස් වෙන හුළගත් එක්ක වෙනස් විදිහට පා වෙන්න දඟලන සින්තියාගේ අක්ඹමරු කොණ්ඩේ දිහා මම එක එල්ලේම බලාගෙන හිටියා.. හරියට ඇය, ඇයට හුරු නිල් පාට පසුබිම දිහා බලාගෙන ඉන්නවා වගේ.. වේලාව ගැන මට ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ.. කොහොමත් මේ මගේ විවේකී කාලය හන්දම මම ඒ ගැන හිතන්න උත්සාහ කලෙත් නෑ.. කාලය ඔහේ ගෙවිලා ගියා.. මට ඕන වුනේ ඈ එක්ක කතා කරන්න..

තමන්ගෙම ලෝක වල කැමැත්තෙන්ම හිර වෙලා හිටිය බොහෝමයක් දෙනෙක් අතරේ සින්තියා වගේම මාත් තනිවෙලා හිටියා.. දිඟු සුසුම් කීපයකට පස්සේ මම ඒ තීරණය ගත්තා.. පියවර කීපයක තරප්පු පෙල බැහැගෙන මම ආවේ සින්තියා වගේම අනිත් අය තනිවෙලා හිටිය උද්‍යාන කෙළවරට.. මගේ ගමන ගැන උනන්දු වෙන්න තරම් ඕන කමක් තියෙන කෙනෙක් එතන හිටියේ නෑ.. මම හෙමීට ඇවිදන් ගියා.. ඒ සින්තියා ලඟට.. මම ලග නැවතුන බවක්වත් නොදන්න ඇය තාමත් එක දිගටම බලාගෙන හිටියේ නිල්පාට පසුබිම දිහා..

" ඒ අහසද, එහෙමත් නැත්නම් මුහුදද?"

සින්තියා බලාගෙන හිටිය දිහාවම මාත් බලාගෙන ඇගෙන් ඇහුවා.. ටික වෙලාවකට තිබුනේ නිහැඬියාවක් විතරයි.. ඇයට මට උත්තරයක් දෙන්න තරම් ඕන කමක් තිබුනේ නෑ.. ඒ හන්දම මම ආයෙම ඒ ප්‍රශ්ණේම ඇහුවා..

" දෙකම.."

සින්තියා බොහොම හෙමීට උත්තර දුන්නා.. ඒත් ඇගේ ඇස් එක විනාඩියකටවත් ඒ පසුබිමෙන් ඉවත් වුනේ නෑ.. කොටින්ම ඇය ඇගේ ඉරියවුවවත් වෙනස් කලේ නැති තරම්..

" මම මෙතනින් වාඩි වෙන්නද?"

සින්තියාගෙන් හරි හැටි උත්තරයක් තිබුනේ නෑ.. ඇගේ අවසරයක් නැතුවම මම ඇය වාඩි වෙලා හිටිය බංකුවේ කෙලවරක වාඩි උනා.. අපි එහෙමම නිල් පාට පසුබිම දිහා බලාගෙන හිටියා.. මට තේරුම් ගන්න බැරි උන එකම දේ උද්‍යානයේ පැත්තක බිත්තියක් මේ වගේ පාට කලේ ඇයිද කියන එක.. එක්කෝ ඒක ඉවර කරන්න බැරි උන චිත්‍රයක් වෙන්න ඇති.. කොහොම නමුත් දැන් ඒකට කාටත් වැඩිය ආස කරන්නේ සින්තියා.. සමහර විට ඈ හන්දම මාත් ඒකට ආස කරනවා වෙන්න ඇති..

" ඇත්තටම අහසයි මුහුදයි එකතු වෙද්දී මේ වගේම ලස්සන ඇති නේද?"

හිටි හැටියෙම ඇගෙන් ඇහුන වචන ටිකට මගේ කල්පනාව බිඳිලා ගියා.. ඇය හිටියේ මං දිහා බලාගෙන.. පළවෙනි වතාවට ඇගේ ඇස් ඒ නිල් පාට පසු බිමෙන් ඈත් වෙලා තියෙනවා මම දැක්කමයි.. ඒ ඇසුත් ලා නිල් පාටට දිළිසුනේ හරියට බලාගෙන හිටිය පසුබිමටම අවනත වෙලා වගේ..

" ඔවු, හුඟක් ලස්සනයි.."

මම මොහොතකට දෙකකට පස්සේ උත්තර දුන්නා.. මගේ උත්තරෙත් එක්ක ඇගේ මුහුණේ තිබුන අඳුරු බව තවත් වැඩි උනාද කියලා මට එක පාරටම හිතුනා.. ඒ හන්දම මම ඇයත් එක්ක කතා කරන්න උත්සාහ කලා..

" ඇයි මගෙන් ඒ වගේ ප්‍රශ්ණයක් ඇහුවේ?"

" මට දැනගන්න ඕන වුනේ මම හිතන් ඉන්න දේ හරිමද කියලා.."

" ඇයි ඔයා ඇත්තටම ඒ දේ දැකලා නැද්ද?"

" නැහැ.."

සින්තියා ආයෙම හැරුනේ එයා හුඟක් ආස කරන පසුබිම දිහාවට.. සින්තියා දිහා බලාගෙන ඉන්න අතරේ මගේ හිත දුවලා ගියේ එයා අහපු දේ ගැන.. ඇයි සින්තියා මගෙන් එහෙම දෙයක් ඇහුවේ? මගේ හිත නතර වුනේ ආයෙම ප්‍රශ්ණයක් ලග.. ඒ ගැන මට අහන්න ඕන කියලා හිතුනා වුනත් සින්තියා හිටියේ මාත් එක්ක කතා කරන්න තරම් ඕන කමක නෙමෙයි.. මාත් සින්තියා ලගට වෙලා ඒ නිල් පාට පසුබිම දිහා බලාගෙන හිටියා.. ඒ කොච්චර වෙලාවක්ද කියන්න මම දන්නේ නෑ.. හුළගට හිතුමතේ පාවුන සින්තියාගේ කෙහෙරැළි වල පහස සමහර වෙලාවල් වල මට දැනුනා.. ඒක මගේ හිත මගේ හැඟීම් මටත් නොතේරෙන තැනකට අරන් ගියා මිස කිසිම වෙලාවක කරදරයක් වෙලා මට දැනුනේ නෑ..

***

හවස ගෙවිලා ගියේ මම හිතුවෙවත් නැති විදිහකට.. සින්තියත් එක්ක ගෙවුන හෝරා කීපයේ හැඟීම් හිත අස්සටම කා වැදිලා තිබුනා.. අපි අතර වැඩියෙන්ම තිබුනේ නිහඬ බව වුනත් ඒ නිහඬ බව අතරේ කතා කෙරුන හුඟක් දේවල් තිබුනා.. ඒත් ඒ බොහෝමක් දේවල් වල තේරුම දන්නේ සින්තියා විතරක්මද කියලා මට එක වෙලාවකට හිතුනා.. ඒ තරමටම එයාගේ අදහස් ගැඹුරුයි..

මම හිටියේ කාමරේ තනිවෙලා.. යන්තමින් එළිය වුන විදුළි ආලෝකයට අතේ තිබුන ෆයයිල් එකේ සින්තියගේ නම ලියවිලා තිබුන කළු තීන්ත පැහැය යන්තමට වගේ දිළිසුනා..

" මම තව මොනවා බලන්නද?"

ෆයිල් එක දිහාවට නෙත් යොමාගෙන ඉද්දි මගේ සිතුවිළි අතරට ආවේ ඒ හැඟීම.. කලින් වතාවේ ෆයිල් එකේ තිබුන හැම අකුරක්ම කියවලා තිබුන මට සින්තියා ගැන අළුතින් දැන ගන්න තරම් දෙයක් ඒ අතරේ තිබුනේ නැහැ.. සින්තියාගේ ජීවිතේ මොන වගේද කියන එක දැනන් හිටිය නිසාම හිතට සැරින් සැරේ දැනුන වේදනාව කොහෙත්තම අමතක කරන්න පුළුවන් කමක් නැහැ..

අඬ අඳුරත් එක්ක නිදහසේ වාඩි වෙලා ඉද්දී නින්ද යාන්තමට මාව හොයාගෙන එන්න ඒ තරම්ම වෙලාවක් ගතවුනේ නෑ.. ඒත් ඒ නින්දට මගේ හිතේ අවසරයක් තිබුනේ නෑ.. මගේ හිත කලබලෙන් දුවලා ගියේ සින්තියා එක්ක වුන කතාබහ අතරට.. සින්තියා කියපු හුඟක් දේවල් එයා හිතලා කතා කරාද එහෙමත් නැත්නම් හිතුමතේට කියවුන දේවල්ද කියන කුතුහලය මගේ හිතේ තිබුනා..

" සින්තියා ඇත්තටම මුහුදු වෙරළකට ගිහින් නැද්ද?"

මගේ හිත මගෙන්ම ඇහුවා.. ඒ ප්‍රශ්ණේට උත්තරේ මට වැඩිය හොදින්ම දන්නවා ඇත්තේ සින්තියා.. ඒත් මට හොදටම විශ්වාසයි එයා කවදාවත් ඒ ප්‍රශ්ණේට මට උත්තරයක් දෙන්නේ නැහැයි කියන එක.. මගේ ඇඟිළි තුඩු කළබලෙන් වගේ සින්තියාගේ ෆයිල් එකේ පිටු අතරේ දිව ගියා.. ඒ එක අරමුණක් එක්ක.. සින්තියාගේ වයසත් ඇය මෙහේ නතරවෙලා ඉන්න කාලයත් එක්ක මම ඇගේ තොරතුරු හිතින් ගලපන්න උත්සාහ කලා.. හිත කීරි ගැහෙන වේදනාවක් මගේ හිත ඇතුළේ පිරිලා යන්න ඒ තරම්ම වෙලාවක් ගතවුනේ නෑ.. මම හරි.. ඇය මුහුදු වෙරළක් දැකලා නැහැ..

සින්තියාගේ ෆයිල් එක පැත්තකින් තියපු මට කල්පනාවක වැටෙන්න ඒ තරම්ම වෙලාවක් ගියේ නෑ.. මම හිතුවේ සින්තියා ගැන. ඇගේ ජීවිතේ එක්ක ඇගේ ගෙවෙන දවස් එක්ක ඇගේ එකම එක ආශාවක් ඉශ්ඨ කරන්න මට පුළුවන් වෙයිද කියන එක ගැන විතරක් මගේ හිත තැවෙන්න පටන් ගත්තා.. මගේ ඔළුවට ආව එකම දේ වුනේ ජේන්.. මම ඇයව අමතන්න ඒ තරම්ම වෙලාවක් ගත්තේ නෑ.. මගේ හිතේ තිබුන හැම දෙයක්ම ගැන ඇය බොහොම ඉවසීමෙන් නිහඬව අහගෙන හිටියේ මාව තේරුම් ගන්න පුළුවන් වුන එකම කෙනත් ඇයම නිසා වෙන්න ඇති..

" ඔයා කියන දේ කරන්න නම් ටික කාලයක් යාවි රිචර්ඩ්.. දන්නවනේ ඉතින් මේවයේ නීතිරීති ගැන.."

" මම දන්නවා.. ඒත් මට ඕන ඒ දේ ඉක්මනට වෙන්න.. සින්තියා ලග ඒ තරම්ම කාලයක් ඉතුරු වෙලා නැහැ.."

" හරි, මම පුළුවන් තරම් උත්සාහ කරන්නම්.."

ඇය දුරකථනය විසන්දි කලා.. හිතේ තිබුනේ පුංචිම පුංචි බලාපොරොත්තුවක් විතරයි.. ඒ සින්තියගේ අහිංසක ආශාව ඉශ්ඨ කරන එක.. ඒක මම බලාපොරොත්තු වෙන තරම්ම ලේසි දෙයක් නෙමෙයි කියලා මම දන්නවා.. ඒත් සින්තියා වෙනුවෙන්, ඒ ලෙංගතු හිනාව වෙනුවෙන් මට ඒ දේ කරන්න ඕන වුනා..

රැය උදා වුන විදිහවත් ඒක ගෙවිලා යන විදිහ ගැනවත් මගේ හිතේ ඒ හැටි දැනුමක් තිබුනේ නෑ.. අවට තිබුන අඳුර හන්දම කාලය ගෙවිලා යන බව විතරක් මම දැනගෙන හිටියා.. හිත තිබුනේ සින්තියා ලග.. ඒ හෙට අපේ හමුවීම ගැන.. මම බෙදාගන්න හදන හැඟීම සින්තියාට කොයි විදිහට දැනේවිද.. සතුටත් දෙගිඬියාවත් මුහුවුණ හැඟීම් ගොන්නක මම පැටලිලා හිටියේ මටත් නොදැනුවත්තම වගේ..  අඳුර අතරින් මම මොහොතකට දැක්කේ අහස.. ඔවු, ඒ අඳුරු අහස..

ජීවිතේ හුඟක් දේවල් හොරාගෙන හැංගිලා ඉන්න හිතක් වගේ ඒ අහසත් අඳුරින් වැහිලා ගිහින් තිබුනා.. අකමැත්තෙන් වුනත් මම මොහොතකට දෙකකට බැළුවේ ඒ අඳුරු අහස දිහා.. ඒත් ඒ මොහොත දෙක ඝණ කළුවරට ඇස් හුරුවෙලා යන තරම් දිගු එකක් වේවි කියලා මම කොහෙත්තම බලාපොරොත්තු වුනේ නෑ.. ඒ තරමටම මම ඒ තුලට නොදැනුවත්වම ඇදිලා ගිහින් තිබුනා.. ඒ අඳුරින් මම මිදුනේ දුරකථනයේ නාදයට.. ඒ ජේන් බව මට හොදටම විශ්වාසයි.. අඳුරු හිස් අහසින් ඇස් ඉවතට ගනිද්දිම වගේ මම දැක්කේ තරුවක්.. ඒත් අවාසනාවට වගේ ඒ කඩාහැලෙන තරුවක්.. මගේ ඇස් ඉදිරියේ අහසේ ඒ තරුව හැංගිලා යන්න වැඩි වෙලාවක් යන්න නැතුව ඇති.. මට දැනුනේ හරියට හැම දෙයක්ම නැවතිලා ගිහින් වගේ.. ඒ අතරේ යාන්තමට වගේ මට ඇහුනේ නොනවත්වාම නාද වෙන දුරකථනයේ හඬ විතරක්මයි..





නිමි..

 පිළිගැන්ම, රෝහලේදී හමු වුන ඒ පුංචි සුරංගනාවිය නමට...



63 comments:

  1. වෙනස්ම විදියේ කතාවක් දිනේශ්....ලියලා තියෙන විදිය වෙනදා වගේම ලස්සනයි.

    මෙන්න හිතට තදින්ම වැදුනු කොටස.

    //මම හිතන්නේ මම ඈ දිහා හැමදාම බලාගෙන ඉන්නවා කියලවත් ඈ දන්නේ නැතුව ඇති.. මම හිතින් ඒ දුරස් බවටයි නොදැනුවත් බවටයි ආස කලා.. ඒ, මට ඒ සුන්දරත්වය දකින්න කිසිම දෙයක් බාධාවක් වෙන්නේ නැති නිසා...//

    ReplyDelete
    Replies
    1. ජීවිතේ අපිට මුණ ගැහෙන අය අපිට හුඟක් වෙලාවට විශේෂයි අක්කේ.. ඒ බැදීම කොයි විදිහකින් හිතට දැනෙයිද කියන්න කාටවත් කියන්න බෑ.. මේක කතාවක්ම නොවෙන හන්දා ආයාසයක් නැතුවම ලිවුවා...

      Delete
    2. බැදීම් ගැන දිනේෂ් කියපු කතාවත් එක්ක මාත් එකගයි. ඒවා ඇති වෙන්නේ කොහොමද ඒක හිතට කොච්චර වටිනවද කියලා දන්නේ ඒ බැදීම ඇතුලේ ඉන්න කෙනාම විතරයි.

      Delete
    3. ඇත්ත.. බැදීම් අපිව ජීවත් කරනවා වගේම සමහර වෙලාවට අපේ ජීවිතේ අරගන්නවත් එක්ක..

      Delete
  2. දරුවෙක් ඉන්න මවකට, පියෙකුට කඳුලක් උණන්නෙ නැත්නම් පුදුමයි, මේක කියෙව්වාම.

    ReplyDelete
    Replies
    1. සින්තියා ලග හිටියොත් ඒ කාට උනත් කඳුළක් උණන්නේ එයාලටත් නොදැනිම..

      Delete
    2. මටත් දැනුනෙ ඔය ටිකමයි.

      Delete
    3. හැමෝටම වගේ ඒ දේ දැනෙනවා..

      Delete
  3. හිතට දැනෙන්න නියෙමෙට ලියලා තියෙනවා. සුබ නව වසරක්

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා.. හැබැයි ලියන්න ඕන වුන ටික හරි හැටි මට ලියා ගන්න බැරි උනා..

      Delete
  4. දිනේෂ් කාලෙකින් ආවත් හුරු පුරුදු රටාව පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. දිගටම ලියමු. කතසව අවසානය බොහොම හැඟුම්බරයි. හැබැයි ඇති විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු මචෝ.. කාලයක් නෑවිදින් ඉන්න හේතුව ඉතින් මෙතනම තියෙනවනේ..

      Delete
  5. අපූරුයි දිනේෂ් අය්ය
    හුග දවසකින් ඔයාගෙ කතාවක් කියෙව්වෙ
    හිතට දැනුන ඇත්තටම
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මේ පැත්ත අමතක නොවීම ගැන හුඟක් සතුටුයි..

      Delete
  6. දිනේශ් හරි අපූරුවට මේ කතාව වර්ණ ගන්නලා තියෙනවා.. ඒත් සත්‍ය කතාවක් (හෝ ඊට ආසන්න එකක්) බව දැන ගැනීමෙන් හිත හුඟක් කීරි ගැහුනා.. ප්‍රාර්ථනා කරනවා ඒ පුංචි සුරංගනාවට මෙදියත සරන'තර කවදා හෝ ඒ ක්ෂිතිජ ඉම හැබහින් දකින්න පින් ලැබේවා කියල..

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රාර්ථනාව ඒකමයි.. ඒ දේ කරන්න මට පුළුවන් උනානම් කියලා මට දැන් හිතෙනවා.. ඒත් කාලය හරස් උනා..

      Delete
    2. කරන්න බැරි උනත් ඒදේ ගැන හිතුව එකම වටිනවා කියලයි මම නම් හිතන්නේ.

      Delete
  7. දිනේශ් අයියා ආයෙ ලියන්න ගත්තු එක ගැන සතුටුයි. යන්තමින්වත් වෙනසක් නොකර ඉස්සර වගේම මටසිලිටි විදියට ගොතපු අකුරු අතරෙ අපිව අතරමං කරපු එක ගැන මට තවත් සතුටුයි!

    ReplyDelete
    Replies
    1. මම අතරමං වෙලා හිටිය තැනින් ආයෙම ආවේ මේ අකුරු අස්සෙන්.. ඒ සින්තියා හන්දම.. :)

      Delete
    2. පහුගිය ටිකේ නොලිවුවේ සින්තියා හන්දද?

      Delete
    3. ඔවු සින්තියා හන්ද තමයි..

      Delete
  8. අලුත් අවුරුද්දට දිනේෂ් ගෙන් සින්දර තෑග්ගක්. සංතුස ලියනගේගෙ ඒකාංගික කෙටි ටෙලි චිත්‍රපටයක් බැලුව වගෙයි.

    සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් මනෝෂ්..

      සංතුසගේ නිර්මාණයක් මටත් බලන්න බැරි උනා කාලෙකින්.. උඹ ඒක මතක් කලාම නිවාඩු පාඩු වෙලාවක නෙට් එකේ හොයලා බලන්න ඕන කියලා හිතුනා..

      Delete
  9. හැමදාමත් වගේ හිතට දැනෙන්න ලියලා තියෙනවා. සංවේදිව දැනුනා වුනත් නිර්මාණාත්මක අතින් විශිෂ්ට නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක නිර්මාණයකට එහා ගිය කතාවක්..

      Delete
  10. සෑහෙන කාලෙකට පස්සේ ඇවිත් ත්යෙන්නේ.
    හිතට වදින කතාවක්... අපේ පන්තියේ හිටපු සින්තියාව සිහි උනත්තෙක්ක.
    සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. සින්තියාගේ වෙනස් නම තමයි මගේ හිත ඇදුන දෙවනි කාරණාව.. මම ඒ වගේ නමක් ඇහුවමයි මේ..


      අයියටත් සුබ නව වසරක්...

      Delete
    2. සින්තියා නම මම ඇහුවෙත් අදමයි

      Delete
    3. මාත් එහෙමයි..

      Delete
  11. හිතට දැනෙන්න ලියලා තියෙන ලස්සන කතාවක්. මං හිතන්නේ මේක ඇත්තම කතාවක් වෙන්න ඕන. එහෙම හිතුනේ අන්තිමේ ලියලා තියෙන එකෙන්. මේ රිචර්ඩ්ගේ චරිතයේ ඉන්නේ දිනේෂ් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔවු ඇත්ත කතාවක් තමයි..

      Delete
    2. Kathawata methana mehema gonu kalata e aththa kathawe thawa godak dewal athi kiyala hithenawa. Ekath liwwoth neda hoda.

      Delete
    3. මං හිතන්නේ මේ කතාව මේ විදිහට නතර වෙන එක හොදයි.. මට ඒ කතාව ලියා ගන්න බැරි වේවි..

      Delete
  12. Fault in our stars මතක් වුනා...

    The marks humans leave are too often scars....
    ― John Green, The Fault in Our Stars

    නියමෙට ලියලා තියෙනවා දිනේශ්...

    ReplyDelete
    Replies
    1. Fault in our stars මම හුඟක්ම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.. ඒකට කලින් නම් එක හේතුවයි තිබුනේ.. දැන් නම් මේකත් තව හේතුවක්..

      ගොඩක් ස්තූතියි බ්ට්ල් අයියේ..

      Delete
    2. Math asawen balapu film ekak. Me weddi sahena wathawak eka balala thiyenawa. Thawa balannath asai.

      Delete
    3. මාත් දැනට 3න් පාරක් බැළුවා..

      Delete
  13. මං හිතන්නේ අලුත් අවුරුද්දේ ඔයා මේච්චර කල් බලාපොරොත්තු වෙච්චි දෙකුත් ඉටු වෙලා ! සුභ පැතුම්. (කමෙන්ට්) ;)
    කතාවත් ලස්සනයි :) 

    ReplyDelete
    Replies
    1. ආරම්භය පමණයි.. ^_^

      තැන්කිවු..

      Delete
  14. Replies
    1. කලින් ඉදන්ම ලියවුන අවසානයක්නේ නාඩියෝ..

      Delete
    2. Api kawruth ape awasanaya liyagena patan ganme idanma jiwath wenne.

      Delete
    3. ඔව් ඒක ඇත්ත..

      Delete
  15. අගේ අැති කතාවක් ... ෙවනදා වගේමයි... සුපුරුදු ලෙංගතුකමමයි දැනුනේ... කාලෙකට පස්සේ ලියුවා වගෙයි මතක............. සුභ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ්.............. අලුත් බලාපාෙරොත්තු අැති වේවා සඵල වේවා..............

    ReplyDelete
    Replies
    1. ඔවු කාලකින් ලිවුවේ.. ගොඩක් ස්තූතියි තාම මේ පැත්තම මතකයේ තියාගෙන ඉන්න එකට.. දැන් ඉතින් දිගටම ලියන්න තමයි තියෙන්නේ..

      Delete
  16. ලස්සනට ලියල තියෙනවා අයියා...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයෝ..

      Delete
  17. Kathawe mula idanma thibune amuthuma sundara kamak. Lassanai

    ReplyDelete
  18. මරු කතාවක් අහ කියවන්න අසා හිතෙනවා :) නියමයි

    ReplyDelete
    Replies
    1. මේ පළවෙනි වතාව වෙන්න ඕන වර්ණයට ගොඩ වුන..

      Delete
  19. ෂා.. හරිම ලස්සන කතාවක් මල්ලි. නරකද මේ ටික එකතු කරල පොතට කාරය ගත්ත නම්.

    ReplyDelete
    Replies
    1. පොතක් කරන්න තමයි අක්කේ හිතාගෙන ඉන්නේ.. තව ඉතින් කරන්න ඕන වැඩ කටයුතු ගොඩක්ම තියෙනවා.. හෙමීට බලමු..

      Delete
  20. ගොඩාක් ලස්සනට ලියල තියෙනව.. එල

    ReplyDelete
  21. කතාව කියවන්න උනේ නම් නෑ අයියෙ.. දැන් ලෙක්චර්ස් යන්න ඕන.. කාලෙකිං ගොඩ උනේ මේ පැත්තෙ.. අවුරුදු ගානකිං... සුභ අලුත් අවුරුද්දක් වේවා.. කාලයක් හිටියෙ නෑ නේද? මොකෝ උනේ..
    මං ආගන්තුකයා :)

    ReplyDelete
    Replies
    1. මොකද බං අමතක.. අසනීප වෙලා ටික දවසක් මේවයෙන් ඈත් වෙලා හිටියා.. ඒක තමයි ඉතින් උනේ..

      එල එල.. නිවාඩු පාඩුවේ මේ පත්තේ වරෙන්..

      Delete
  22. සංව්දී කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..

      Delete
    2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15458-2015-01-22-23-28-32

      Delete
  23. මොකද ටික දවසකින් පෝස්ට් එකක් නැත්තේ??

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ ටිකක් අවිවේකියි.. හෙට අනිද්දම ලියන්න ඕන ආයෙම..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්