Monday, 25 August 2014

ආදරෙන් ලග ඉන්න



සඳ කුමරි - අවසාන කොටස

කලින් කොටස්

දවස් ගානක් ගෙවිලා ගියා.. කුමාරයා තනියම එයාගේ කාමරේට වෙලා ඈත වළාකුළු වනාන්තරේ දිහා බලාගෙන හිටියා.. හැබැයි ඒ හිටියේ කල්පනාවක.. එයා කල්පනා කලේ ආරක්ශකයන්ගෙන් බේරිලා පැනලා යන විදිහක් ගැන.. සූර්ය රජතුමා එයාගේ හොදම ආරක්ශකයෝ කුමාරයව බලාගන්න දාලයි තිබුනේ.. මොකද කුමාරයා හුඟක් දක්ශයි කියලා සූර්ය රජතුමා දැන ගෙන හිටියා..

කොච්චර උත්සාහ කලත් කුමාරයට එතනින් පැනලා යන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඉතින් කුමාරයා හිටියේ හුඟක් කලකිරීමෙන්.. ඒ සඳ රැජින රූමුව නිම්නයෙදි පොරොන්දු වුන විදිහටම එයාගේ කුමාරියව කඩා හැලෙන තරුවක ගැට ගහලා මනුස්ස ලෝකෙට යැවුවද නැද්ද කියලා දන්නේ නැති හන්දා.. ඉතින් කුමාරයා හිටියේ හුඟක් කලබලෙන්.. එයා නිතරම වළාකුළු වනාන්තරේ දිහා බලන්නෙත් ඒ හන්දමයි..



අපේ කුමාරයට සුර්ය රජ්ජුරුවන්ට කතා කරන්න ඕන වුනා.. එයා ඒ ගැන එතන හිටිය ආරක්ශකයන්ට කියලා පණිවිඩ කොච්චර යැවුවත් සුර්ය රජතුමා කුමාරයව බලන්න ආවේ නෑ.. කුමාරයටත් ඕන වුනේ සඳ කුමාරි ගැන පණිවිඩ කරුවෙක් යවලා හරි විස්තරයක් දැන ගන්න.. ඒත් එයා එක්ක කතා කරන්න එයාගේ තාත්තා ආවේ නෑ..

කුමාරයට හිටියා හොද විශ්වාස වන්ත සේවකයෙක්.. කුමාරයා පොඩි කාලේ ඉදන්ම එයාව බලාගත්තේ ඒ සේවකයා.. දැන් උනත් කුමාරයට කෑම බීම අරන් එන්නේ එයාමයි.. ඒත් කුමාරයට එයා එක්කවත් ඒ තරම් වෙලාවක් කතා කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ.. ඒ, කුමාරයා වටේ ඉන්න ආරක්ශකයෝ හන්දා.. එයාලා පුළුවන් තරම් ඉක්මනට සේවකයව කුමාරයා ඉන්න කාමරෙන් එළියට ගෙනියනවා.. ඉතින් ඒ හන්දම කුමාරයා අහන දේකට හරි උත්තරයක් දෙන්නවත් එයාට වෙලාවක් ලැබෙන්නේ නෑ..

***

මනුස්ස ලෝකේ තනි වුන සඳ කුමාරියට ඒ හැම දෙයක්ම මහ අමුත්තක් වුනා.. ඒ, එයාට ඒ පරිසරය හුරු නැති එකක් හන්දා.. එයා ආව තරුව වැටුනේ මිටියාවතකට.. ඒක හරිම පාළු තැනක්.. ඒත් ඒ මිටියාවතේ තිබුන එකම ගෙදර හිටිය ආච්චි කෙනෙක් අපේ කුමාරියව එහේ නවත්ත ගත්තා.. ඒ විතරක් නෙමෙයි එයා අපේ කුමාරියව හුඟක් හොදින් බලා ගත්තා..

කුමාරි එයාගේ කතාව ආච්චි එක්ක කිවුවට එයා කුමාරිගේ කතාව විශ්වාස කලේ නෑ.. ඒත් එයා ඒ හැම දෙයක්ම අහගෙන හිටියා.. එයත් පාළුවෙන් තනියම හිටිය හන්දා කුමාරිගේ හිත රිදෙන්න එයා මුකුත්ම කිවුවේ නෑ..

" ඔයාගේ හිරු කුමාරයා ඔයාව එක්කන් යන්න ඒවි.."  එයා නිතරම වගේ අපේ කුමාරියට කිවුවා.. අපේ කුමාරියටත් ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුනා..  එයා නිතරම වගේ මිටියාවතේ අහස දිහා බලාගෙන හිටියා.. හුඟක් වෙලාවට රෑ නිදි නැතුවම කුමාරි අහස දිහා බලාගෙන හිටියා.. ඒ කුමාරයා එයාව හොයාගෙන ඒවි කියලා..

" මඟ බලාගෙන මම
තවම තනිව නුඹ නැතුව
නොවඩින්නේද හිරු කුමරුනි
මගේ අඳුරු අහස් කුසට..

ගෙවෙයි දින නුඹ නැතුව
පාළුවෙන් මම තනිව
ඉතින් තවම නුඹ කොහෙද
සුවදුක් නොඅසන්නේ කිමද?

නුඹට උරුම අහස යට
කඩා හැළුන තරුවක්ව මම
පායා එන තුරු ආයෙම
තනිවුන හිතක් මඟ බලාගෙන.."



දවස් ගෙවිලා ගියා.. අපේ කුමාරියගේ හිතේ තිබුනේ කලබලයක් දුකකටත් වැඩිය බයක්.. එයා බය වුනේ කුමාරයා ගැන හිතලා.. එයා දැන් ඉන්නේ සඳ රාජධානියෙන් කොයි තරම් ඈතකද කියලා එයාට හිතුනා.. එහෙම නොවුනනම් වළාකුළක චිත්‍රයක් ඇදලා හරි කුමාරයට පණිවිඬයක් යවන්න තිබුනා.. එහෙම නැත්නම් කුමාරයම හීයක් එවලා පණිවිඩයක් හරි එවාවි.. ඒත් දැන් ඒ කිසිම දෙයක් කරන්න බැරි හින්දා අපේ කුමාරි හිටියේ හුඟාක් දුකින්..

***

මනුස්ස ලෝකෙට වැඩිය සුර්ය රාජධානියේ දවස් හුඟක් කෙටි හන්දා කුමාරයා තනියම කාමරේට වෙලා හුඟක් කල් ගෙවිලා තිබුනා..එයාට කිසිම විදිහකින් බුරුලක් හම්බුනේ නෑ.. ඒත් එක දවසක් එයාගේ කාමරේ ජනේලේ ලගට සඳ කුමාරියේ ගිණි කුරුල්ලා පියාඹලා ආවා.. මාලිගාවේ කුමාරයාගේ කාමරේ පැත්තේ තිබුනේ රාජධානිය හරහා ගලාගෙන යන ගඟ හන්දා ඒ පැත්තට ගිණි කුරුල්ලට එන එක ඒ තරම් අමාරුවක් වුනේ නෑ.. හැබැයි ගිණි කුරුල්ලා ආවේ නිකන්මත් නෙමෙයි..

ගිණි කුරුල්ලගේ හොටයේ යතුරක් තිබුනා.. එයා ඒක ජනේලයේ තිබුන පුංචි ඉඩ අතරින් කුමාරයට දුන්නා.. " කොහෙන්ද මේක?" කුමාරයා ඇහුවා.. සඳ කුමාරිව මනුස්ස ලෝකෙට යැවුවට පස්සේ එයා කුමාරයව හොයාගෙන ආව විදිහත් එතනදී එයාට කුමාරයගේ විශ්වාසවන්තම සේවකයා හම්බුන විදිහත් ගිණී කුරුල්ලා කුමාරයට කිවුවා.. කුමාරයගේ හිතට ආවේ පුදුම සතුටක්.. ඉක්මනටම දොර ඇරන් යන්න ඕන වුනත් කුමාරයට තව ටිකක් ඉවසන්න වුනා.. ඒ එයාගේ කාමරේ ඉස්සරහා ඉන්න ආරක්ශකයෝ හන්දා..

රෑ වෙද්දී සූර්ය රාජධානියම නින්දට යන හන්දා එයාගේ කාමරේ ඉස්සරහා ඉන්නෙත් ආරක්ශකයෝ ටිකයි කියලා කුමාරයා දන්නවා.. ඉතින් එයා කලේ රෑ වෙනකන් ඉවසන් ඉන්න එක.. සඳ කුමාරියට උදවු කලා වගේම ගිණි කුරුල්ලා කුමාරයටත් උදවු කරන්න බලාගෙන හිටියා.. ටිකක් රෑ වීගෙන එද්දී එයා මාළිගාවේ ආරක්ශකයෝ ඉන්න තැන් බලන්න පියාබලා ගියා.. ඒ ගිහින් ඇවිත් හැම දෙයක්ම කුමාරයට කිවුවා..

කුමාරයත් එයාගේ වෙලාව ආවම හෙමිට කාමරේ දොර ඇරන් එළියට ආවා.. ගිණි කුරුල්ලා ඇවිත් කියපු විස්තර හරි.. හුඟක් ආරක්ශකයෝ හිටියේ නින්දේ.. එයා හෙමීට මාළිගාවේ පඩිපෙල් බැහැලා ආවේ එයාගේ අශ්වයා ඉන්න අශ්වගාලට.. ඒ යද්දී එයාගේ විශ්වාසවන්තම සේවකයත් එතන හිට්යා..

" ඔබට හුඟක් ස්තූතියි මිත්‍රයා.." කුමාර්යා ඔහුගේ උරහිස් වලින් අල්ලන ගමන් කිවුවා..

" ඔබ තවත් ප්‍රමාද නොවීම තරු දොරටුව ලඟට යන්න කුමාරයාණනි.. ගිහින් ඔබේ ආදරය හොයා ගන්න.." ඔහු කුමාරයට කිවුවා..

පරක්කු වෙන්න තරම් වෙලාවක් නැහැ කියලා කුමාරයත් දන්න හන්දම එයා ඉක්මනට එයාගේ අශ්වයා පිටට නැග්ගා.. අශ්වයත් සද්ද නොඇහෙන්න මාළිගාවෙන් පිටතට ආවා.. දැන් එයාලා ඉන්නේ වළාකුළු වනාන්තරේ මායිමේ.. තරු දොරටුව තියෙන්නේ මාළිගාවේ ඉදලා හුඟක් දුරින්.. ඉතින් කුමාරයා ඒ දිහාවට එයාගේ අශ්වයගේ පිටේ නැගලා යන්න වුනා.. ගිණි කුරුල්ලත් ඒ දෙන්නටම කලින් වේගයෙන් පියාඹලා ගියේ ආරක්ශකයෝ ඉන්නවද කියලා බලන්න..

තරු දොරටුව කියලා කියන්නේ එයාලා වැරදි කරපු අයව මනුස්ස ලෝකෙට යවන තැන.. මෙයින් තරු දොරටුවක් සුර්ය රාජධානියේ වගේම සඳ රාජධානියෙත් තියෙනවා.. ඉතින් කුමාරයා ගියේ එයාගේ රාජධානියේ තරු දොරටුව ලඟට.. තරු දොරටුව ලඟ ඉන්නේ ඒක බාරව ඉන්න දොරටු පාලකයා විතරයි.. එතනට කිසිම කෙනෙක් කැමැත්තෙන් නොඑන හන්දා කවදත් එතනට ආරක්ශකයෝ ඉන්නේ නෑ.. අනික ඒ දොරටුවෙන් ඇතුල් වෙලා සූර්ය රාජධානිට අයත් ලෝකෙට එන්න කාටවත්ම බැරිත් හන්දා අවුරුදු ගානක් ඉදන් එතන ඉන්නේ ඒ දොරටු පාලකයා විතරයි..


රත්තරන් පාට එයාගේ නිල ඇදුම ඇද ගත්ත දොරටු පාලකයා තරු දොරටුව ලගදී කුමාරයව දැකලා පුදුම උනා.. ඒ, කුමාරයා එතනට ඒවි කියලා එයා කොහෙත්තම බලාපොරොත්තු උනේ නැති හන්දා..

" මට මනුස්ස ලෝකෙට යන්න ඕන.. ඔබ මට ඒකට උදවු කරන්න.." කුමාරයා දොරටු පාලකයාට කිවුවා.. ඒත් එයා එක පාරම ඒක කරන්න කැමති වුනේ නෑ.. සූර්ය රජතුමාගේ නියෝගයක් නැතුව එයාට ඒක කරන්න කොහෙත්තම පුළුවන් කමක් තිබුනේ නෑ.. අනික මේ ඉල්ලිම කරන්නෙත් කුමාරයම හන්දා එයාට ඒකට කැමති වෙන්න කොහෙත්තම පුළුවන් වුනේ නෑ..

" මට ඔබේ ඉල්ලීම ඉටු කරන්න බැහැ කුමාරයාණනි.." දොරටු පාලකයා කිවුවා.. කුමාරයටත් ආපහු යන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඉතින් කුමාරයා හැම දෙයක්ම දොරටු පාලකයට කිවුවා.. එයත් හැම දෙයක්ම අහගෙන හිටියා..

" හොදයි, මේකෙන් මට ලැබෙන්නෙත් කාලයක් සුර්ය රජතුමාගේ නියෝගයට මම අනිත් අයට දුන්න දඬුවමමයි.. ඒත් මම ඔබට මේ උදවුව කරන්නම් කුමාරයාණනි.." දොරටු පාලකයා කුමාරයට කිවුවා..

***

මනුස්ස ලෝකෙට වෙලා එයාව බලාගන්න වයසක ආච්චිත් එක්ක දවස ගෙවුවට නිතරම අපේ සඳ කුමාරිය හිටියේ සතුටින් නෙමෙයි.. එයා හැම තිස්සෙම කල්පනා කලා.. දුක් වුනා.. ඒ එයාගේ හිරු කුමාරයා ගැන හිතලා.. එක වෙලාවකට සඳ කුමාරි බය වුනා කුමාරයට එයාට ලැබුනට වැඩිය ලොකු දඬුවමක් ලැබිලා ඇති කියලා.. ඒත් තව වෙලාවකට කුමාරිය දුක් වුනා හිරු කුමාරයා එයාව අමතක කරලා ඇති කියලා හිතලා..

කුමාරියට එයාගේ හිතේ තිබුන හැමදේම කියන්න කෙනෙක් හිටියේ නෑ.. එයාගේ යාළු ගිණි කුරුල්ලවත් හිටියනම් කියලා එයාට නිතරම හිතුනා.. ඉතින් අපේ කුමාරි කලේ එයාට පුළුවන් හැම වෙලාවකම චිත්‍ර ඇදපු එක.. එයාගේ ලස්සනම මතකයන් වගේම කුමාරයත් එක්ක ඇවිදපු තැන් එයා චිත්‍ර වල ඇන්දා..

ඒ කොහොම වුනත් එයා හැමදාම රෑට අහස දිහා  බලාගෙන ඉන්න පුරුදු වුනා.. ඒ කඩා හැලෙන තරුවක් දකිනකම්.. රෑ නිදි නැතුව එයා ඒ දිහා බලාගෙන හිටියා.. හුඟක් වෙලාවට එයා කලේ චිත්‍ර අදින එක.. එදත් ඒ වගේම දවසක්.. කුමාරි චිත්‍රයක් අදින ගමන් ඉද්දී එයා දැක්කා ඈතින් කඩාගෙන වැටෙන තරුවක්.. එයා බිම වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා.. ඒ දිහා බලන්න..


ඒත් ඒ තරුව කඩාගෙන වැටුනේ එයාට වැඩිය හුඟක් ඈතින්.. කුමාරියට හිතුනෙම ඒ දිහාවට දුවලා යන්න.. ඒත් එයාට එහෙම කරන්න බෑ.. ඒ දුර හුඟක් වැඩියි කියලා එයා දන්නවා.. ඉතින් එයා දුක් වුනා.. මොකද එයාට ඕන වුනේ ඒ එයාගේ කුමාරයමද කියලා දැනගන්න නිසා..

***

මනුස්ස ලෝකෙදි කුමාරියව හොයන එක ඒ තරම්ම ලේසි දෙයක් නෙමෙයි කියලා කුමාරයට හිතුනා.. ඒ මොකද එයා දන්නේ නැහැ සඳ කුමාරිය දැන් ඉන්නේ කොහේද කියලවත්.. ඉතින් කුමාරයා ටිකක් වෙලා කල්පනා කලා.. එයාට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.. ඉතින් කුමාරයා කලේ ඇවිදන් එන එක.. එයාට මුණ ගැහෙන හැමෝම අතරේ එයා සඳ කුමාරියව හෙවුවා..

දවස් ගානක්ම එක දිගටම කුමාරයා මේ විදිහට ඇවිද්දා.. හුඟක් ගම්මාන පහු කලා.. ඒත් එයාට සඳ කුමාරියව හම්බුනේ නෑ.. මේ විදිහට එයා හුඟක් දුර ඇවිද්දා.. සූර්ය රාජධානියේ ගෙවපු ජීවිතෙත් එක්ක මේ දේවල් කුමාරයට අමාරු වුනත් එයා ඒ ගැන නොහිතම ඇවිද්දා.. අන්තිමේ කුමාරයා නතර වුනේ සැනකෙළියක් ලග.. එයා ඈත ඉදන් ඒ දිහා බලාගෙන හිටියා..

සූර්ය රාජධානිය වගේම ලස්සනට තිබුන සැනකෙළිට කුමාරයට ආස හිතුනා.. ඉතින් එයා සැනකෙළිය බලන්න ඇතුලට ගියා.. කුමාරයට මතක් වුනේ රාජධනියේ සංක්‍රාන්ති උත්සවය.. සැනකෙළියත් ඒ තරමටම ලස්සනට තිබුනා.. කුමරයා ඒ හැම දෙයක් දිහාම බලන ගමන් සැනකෙළියේ ඇවිද්දා.. එයාට එයාගේ හිතේ තිබුන මහන්සියත් ඒ වෙලාව් ටිකකට අමතක වුනා..

මෙහෙම හැම දෙයක්ම දිහා බලාගෙන යද්දී කුමාරයගේ ඇස් අහම්බෙන් වගේ නතර වුනේ එක චිත්‍රයක් ලග.. ඒකේ තිබුනේ ලස්සන රත්තරන් පාට ගිණි කුරුල්ලෙකුයි එයා දිහා බලාගෙන ඉන්න කුමාරිකාවකුයි.. ඉතින් හිරු කුමාරයටත් මේ දේවල් හොදට පුරුදු හන්දා එයා ඒක දිහ ඕන කමින් බැළුවා.. ඒ චිත්‍රේ තිබුනේ පොඩි ළමයෙක්ගේ අතේ..

" ඔයාට කොහෙන්ද මේක?" කුමාරයා පොඩි ළමයට ලං වෙලා අහුවා.. පොඩි එකා ඉක්මනට චිත්‍රේ එයාගේ ලගට කර ගත්තේ කුමාරයා චිත්‍රේ අරගනීයි වගේ බයෙන්.. හැබැයි එයා අතින් පෙන්නුවා එයාට චිත්‍රේ හම්බුනේ කොහෙන්ද කියලා..

ඉතින් කුමාරයත් ඒ දිහාවට ඇවිදන් ගියා.. එතන එයාට හුරු පුරුදු, එයා දැකලා තියෙන හුඟක් දේවල් තිබුන චිත්‍ර තිබුනා.. කුමාරයට පුදුම හිතුනා.. එයා දන්නවා ඒ විදිහට චිත්‍ර අදින්න පුළුවන් කාටද කියලා.. ඉතින් අපේ කුමාරයා කුමාරියව හෙවුවා..

චිත්‍ර තිබුන තැනට ටිකක් එහායින් පොඩි ළමයි එක්ක කතා කර කර ඉන්න කුමාරියව හිරු කුමාරයා දැක්කා.. ඒත් කුමාරි නම් තාම එයාගේ කුමාරයව දැක්කේ නෑ.. කුමාරයා හුඟක් සතුටින් කුමාරිය දිහා බලාගෙන හිටියා.. එයා හොයාගෙන ආව එයාට හුඟම වටින දේ එයාට හම්බුනා කියලා කුමාරයට දැනුනා..

" බොහොම දුර වෙහෙස ගමනක
හිරු සඳු යා නොවෙන ඉසවුවක
ලියන්න පෙර සේම ආදරේ කතාවක
නුඹ මට හමුවෙලා නුහුරු ඉසවුවක.."

කුමාරියට කුමාරයගේ කටහඬ ඇහුනා.. එයා ඒ කටහඬ අදුනනවා.. කුමාරි ඉක්මනට හැරිලා බැළුවේ ඒ කටහඬ ඇහුන දිහා.. එයා දැක්කේ කුමාරයා එයා දිහා බලාගෙන ඉන්නවා.. එකපාරටම කුමාරියට හිතුනේ එයා මේ දකින්නේ හීනයක්ද කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා අපේ කුමාරියට දැනුනා..

එයා දුවලා ගියේ කුමාරයා ලගට.. ගිහින් එයාගේ ඇස් වලට එඹුනා.. කුමාරි දිහාම බලාගෙන ඉන්න ඒ ඇස් වලින් කුමාරි එයාවම දැක්කා.. අපේ කුමාරියගේ ඇස් වල කඳුළු පිරුණේ සතුටට.. එයා කුමාරයට තුරුළු වුනා.. කුමාරයත් එයාව හොදට තුරුළු කර ගත්තේ ආයෙම වතාවකට කුමාරිය මග නොඇරෙන්නමයි...


"උණුහුමේ ගුලි වෙන්න
 නුඹේ ලඟ දැවටෙන්න
 ආදරේන් ඉතිරෙන්න
 අද ඇවිත් නවතින්න.

සඳ නුඹයි ජිවිතය
 ආදරේ හෝඩියේ
 මුල් අකුර නුඹ වෙන්න
 ආදරෙත් නුඹ වෙන්න.

ඇහි පියන් මත නටන
 සුව දසුන හැර යන්න
 අඳුර ලඟ සමුගන්න
 දිනක් යළි නොම එන්න.

මේ සොඳුරු දෙරණ මත
 අපිට අපිම හැර
 බැඳිමක් තව කොහේද
 ලතැවුලක් තව කුමට !"





නිමි.. 


විශේෂයි, මේ කතාවේ මුල් අදහස මගේ නෙමෙයි.. වෙන කාගෙද ඉතින් මගේ කම්මැලිකාර පෙම්වතීගේ තමයි ඉතින්.. මුල් කොටස් දෙක විතර ලියලා ඉවර වෙලා ඩ්‍රාෆ්ට් එකේ අවුරුද්දක් විතර අතර මං වෙලා තියෙද්දී පගාව දීලා කතාව ඉල්ලගෙන මට ඕන විදිහට වෙනස් කරලා ඔන්න ඉතින් මේ ලියලා ඉවරකලාලු... ;-)

Thursday, 21 August 2014

කඩා හැළෙන තරුවක්

සඳ කුමාරි 5

කලින් කොටස් 1 2 3 4




ඈතින් ඇහුන අශ්වයන්ගේ සද්දෙට සඳ කුමාරිත් හුඟක්ම බය වෙලා හිටියේ.. එයා තව හුඟක් කුමාරයා ලගටම ලං වෙලා වෙන කරන්නම දෙයක් නැති හන්දා බලාගෙන හිටියා.. වළාකුළු වනාන්තරේ කළබල වෙච්ච කුරුල්ලෝ සමනළ්ළු එයාලට පේන දුරිකම පියාඹලා යන්න ඉගිලෙද්දි දෙන්නම දැන ගත්තා එන කෙනා කවුරු වුනත් එයාලා ලඟටම ඇවිල්ලා ඉවරයි කියලා.. කුමාරයා කුමාරිගේ අත තදින් අල්ල ගත්තා..

වළාකුළු වනන්තරේ මල් පිපුන ගස් වල අතු දෙබෑකරගෙන එයාල හිටිය තැනට ඇවිත් නැවතුනේ අශ්වයෝ හතර දෙනෙක් ගැටගහලා තිබුන යුධ කරත්තයක්.. ඒ කළු අශ්වයන්ගේ තිබුනේ මහ භයංකාර පෙනුමක්.. කුමාරිත් කුමාරයගේ යුධ අශ්වයට ඇරෙන්න වෙන අශ්වයෙක්ට කිට්ටු වෙලා තිබුනේ නැති හන්දා එයාගේ හිතේ තිබුන බය එන්න එන්නම වැඩි වුනා..

නතර වුන යුධ කරත්තෙන් බැස්සේ මුළු ඇඟම වැහෙන්න යකඬ ඇදුමක් ඇදන් හිටිය ආරක්ශකයක්.. ඒ ආරක්ශකයා කුමාරයටත් වැඩිය උසයි.. ඔළුව වැහෙන්න දාගෙන හිටිය හිස් ආවරණය අතරින් ආරක්ශකයගේ රතු පාට ඇස් හොදටම පෙනුනා.. හිස් ආවරණය අතරින් ගලාගෙන ආවේ හුස්මත් එක්ක පිටවෙන දුමක්ද එහෙම නැත්නම් වේගයෙන් එද්දී තැවරුණ වළාකුළු වනාන්තරේ වළාකුළුද කියන්න අපේ කුමාරිටත් හිතා ගන්න බැරි උනා..



" කුමාරයාණනි, ඔබට පිය රජතුමා වහාම එන්න කිවුවා.." ඒ කටහඬේ තිබුන ගැඹුරු සද්දෙට කුමාරි ගැස්සිලා ගියා.. ඒත් කුමාරයනම් පොඩ්ඩක් වත් බය වුන බවක් පේන්න තිබුනේ නෑ..

" ඔබට යන්න පුළුවන්.. මම එන්නම්.." කුමාරයා බය නැතුව කතා කලා.. ඒත් කුමාරයගේ අණට කීකරු වෙන බවක් ආරක්ශකයගෙන් පේන්න තිබුනේ නෑ.. ආරක්ශකයා කුමාරයගේ අතින් බලෙන්ම වගේ අල්ලන්න උත්සාහ කලත්  කුමාරයා ඒක වැලැක්කුවා..

" සමාවෙන්න කුමාරයාණනි.. ඔබට මාත් එක්ක එන්නම වෙනවා.. රූමුව නිම්නයෙදි පිය රජතුමා ඔබව මුණ ගැහේවි.. ඇයටත් ඔබත් එක්කම එන්න පුළුවන්.." ආරක්ශකයා සඳ කුමාරි දිහා බැළුවේ කුමාරයා දිහා බලන තරම් කාරුණික විදිහට නම් නෙමෙයි.. අපේ සඳ කුමාරි තාමත් බයෙන් කුමාරයට හුඟක් ලං වෙලයි හිටියේ..

" හරි යමු.." වෙන කරන්නම දෙයක් නැති තැන කුමාරයා කිවුවා.. සඳ කුමාරි ඇස් වල කඳුළු පුරෝගෙන කුමාරයා දිහා බලාගෙන හිටියා.. කුමාරයා සඳ කුමාරිගේ අතින් අල්ල ගෙන යුධ කරත්තයට නැග්ගා.. ඒ එක්කම වගේ ආරක්ශකයත් කරත්තේ උපරිම වේගයෙන් පදවගෙන රූමුව නිම්නය දිහාවට යන්න ගියා..

අපේ කුමාරිත් රූමුව නිම්නය ගැන අහලා තිබුනට කවදාවත් ඒක දැකලා තිබුනේ නෑ.. ඒක තිබුනේ රාජධානි දෙක මායිමේ වළාකුළු වනාන්තරය නැති තැනක.. එතනදි තමයි සුර්ය රජ්ජුවුවොත් සඳ රැජිනත් එයාලගේ රාජධානි ගැන කතා කරන්න ඕන වුනාම මුණ ගැහෙන්නේ.. ඒත් ශත වර්ශ ගානකින්ම එතනට කවුරුවත්ම ගිහින් නෑ.. ඒත් රූමුව නිම්නය හැමදාම ඒ වගේම තිබුනා.. එතන්ට දහවල් එළියත් රෑ කළුවරත් යාන්තමට වැටුනා.. ඒකයි ඒ තැන ඒ තරම්ම විශේෂිත වුනේ..


අපේ සඳ කුමාරියි කුමාරයි යුධ කරත්තේ නැඟලා නිම්නයට එන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ.. කුමාරිගේ ඇස්  කඳුළු වලින් පිරිලා තිබුනා.. කුමාරයා ඒවා පිහදාන්න කොච්චර උත්සාහ කලත් කුමාරිට එයාගේ කඳුළු නවත්ත ගන්න පුළුවන් වුනේ නෑ.. එයා හිටියේ හුඟාක්ම බයෙන්..

රූමුව නිම්නයේ දෙපැත්තෙම රාජධානි දෙකේම ආරක්ශකයන්ගෙන් පිරිලා තිබුනා.. හරියටම එයාලා අහලා තිබුන අන්තිම යුද්ධයෙදි වගේ.. ඒක දැක්කම කුමාරයගේ හිතට පොඩි බයක් ඇති වුනා.. එයාලා හන්දා ආයෙම යුද්ධයක් ඇති වෙයිද කියලා..

සූර්ය රාජධානියේ රත්තරන් පාටයි සඳ රාජධානියේ රිදී පාටයි එකතු කරලා හදපු මණ්ඩපේ සූර්ය රජ්ජුරුවෝ වාඩි වෙලා හිටියා.. එයාට තිබුනේ මහා ප්‍රතාපවත් බවක්.. සුදට හැරුන දිග රැවුල එයාගේ රාජකීය ඇදුමේ බාගයක් විතර දිගට එනකන් වැහිලා තිබුනා.. එයා කුමාරයා දිහා බලන් හිටියේ හුඟක් තරහින්.. ඒ ඇස් වලත් ආරක්ශයකගේ රතු පාට ඇස් වලත් ඒ වෙලාවේ ලොකු වෙනසක් තිබුනේ නෑ.. කුමාරි බයේම බිම බලාගත්තා..


" පිය රජතුමනි, මම කියන දේ අහන්න.." කුමාරයා කතා කරන්න හැදුවත් සූර්ය රජතුමා එයාව නැවැත්තුවා.. තරහින් එයා වාඩි වෙලා හිටිය රත්තරන් සිංහාසනේම ඉදන් කුමාරයා දිහා බලාගෙන හිටියා..

" ඔබට කතා කරන්න වාරය එන්න තව වෙලාව තියෙනවා.. සඳ රැජින ආවම දෙන්නාටම කතා කරන්න ඉඩ ලැබේවි.." සූර්ය රජතුමා කිවුවා..
 අපේ සඳ කුමාරි ඒක අහලා තවත් බය වුනා.. එයා දන්නවා එයාගේ පොඩි දඟකාරකම් වලට සඳ රැජින මුකුත් නොකිවුවට අද එයා ඉන්නේ හුඟක් තරහින් කියලා.. කුමාරිට හිතුනේ එතනින් පැනලා දුවල යන්න ඇත්නම් කියලා.. ඒත් එයාට එහෙම කරන්න පුළුවන් කමක් නෑ..

රූමුව නිම්නයේ සඳ රාජධානියට අයිති පැත්තෙන් ඈත තියලම එන සුදූ පාට අශ්ව කරත්තය අපේ සඳ කුමාරි හොදටම අඳුනනවා.. එයා හිටියේ හුඟක් බයෙන්.. කුමාරයගේ උරහිස පිටිපස්සේ හැංගිලා එයා කුමාරයගේ අත තදින් ඇල්ලුවා.. ඒ හරියට එයාව පුළුවන් නම් මෙතනින් අරන් පැනලා යන්න කියන්න වගේ.. කුමාරයටත් ඒක තේරුණා..

සුදුම සුදූ වළාකුළකින් හැඩ කෙරුන රාජකීය ඇදුම ඇදපු සඳ රැජින මණ්පය ලගට ආවේ කුමාරි දිහා බලාගෙනමයි.. එයාගේ ඇස් තරහින් රතු වෙලා තිබුනා.. හරියට කුමාරියි කුමාරයි එක්කන් ආව ආරක්ශකයගේ ඇස් වගේ.. සඳ රැජින මණ්ඬපය ලග නතර වුනා..



" මගේ කුමරියව මගේ රාජධානියට අරන් යන්න අවසරයි රජතුමනි.."  සඳ රැජින එක පාරටම කිවුවා.. සුර්ය රජ්ජුරුවොත් ඒක අහලා එක පාරටම පුදුම උනා..

" ඒත් අපි මේ ගැන තවමත් තීරණයක් ගත්තේ නෑ රැජිණ.."  සුර්ය රජ්ජුරුවෝ එයාගේ සිංහාසනයෙන් නැගිටින ගමන් කිවුවා..

" වෙලා අරන් කතා කලත් ගන්න තියෙන එකම තීරණය කියලා ඔබ වගේම මමත් දන්නවා රජතුමනි.. ඒ හන්දා ඒ තීරණය ඒ විදිහටම ඉටුවේවි.. ඒක මගෙන් පොරොන්දුවක්.."  සඳ රැජින හුඟක් කේන්තියෙන් කිවුවා..

සූර්ය රජ්ජුරුවන්ටත් වෙන කියන්න දෙයක් තිබුනේ නෑ.. එයා ආරක්ශකයන්ට විධාන කලා කුමාරියට යන්න දෙන්න කියලා.. ඒත් කුමාරිය හිටියේ කුමාරයගේ අතේ එල්ලිලා.. අපේ කුමාරියගේ ඇස් වලින් කඳුළු එක දිගටම වැටුනත් කුමාරයා ඇරෙන්න ඒ ගැන වදවෙන්න එතන කවුරුවත් හිටියේ නෑ..

***

අපේ අහිංසක සඳ කුමාරි එයාගේ පාළු කුළුණට වෙලා හුඟක් ඇඬුවා.. එයා හිටියේ වෙනදටත් වැඩියෙන් තනි වෙලා.. එයාගේ කුළුණ වටේම වෙනදටත් වැඩිය ආරක්ෂකයෝ සද රැජින දාලයි තිබුනේ.. කුළුනේ ජනෙල් පවා හොදටම වහලයි තිබුනේ.. කොටින්ම එයාගේ යාළු ගිණි කුරුල්ලටවත් එයා ලගට එන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඒ හන්දම අපේ කුමාරි හිටියේ හුඟක් දුකින්.. එයා කලේ එයයි කුමාරයයි ඉන්න චිත්‍ර දිහා බලාගෙන හුඟක් අඬපු එක.. එයාගේ හිතට බයක් දැනුනා කුමාරයට මොනවා වෙයිද කියලා..

කොච්චර වෙලාවක් කුමාරි මේ විදිහට ඇඬුවද කියලා එයාවත් දන්නේ නෑ.. අඬලා මහන්සියටම එයාට හොදටම නින්ද ගිහින්.. ඒත් එයා එකපාරම ඇහැරුනේ කුළුණේ එයා හිටිය කාමරේ අඟුල් ඇරෙන සද්දෙට.. ඒ ආවේ සඳ රැජින.. එයාගේ අම්මා..

එයා ඇදලා හිටියේ අළුපාට වළාකුළකින් හැඩවුන එයාගේ ගවුම.. එයා ඒක අඳින්නේ හුඟක් තරහා ගිහින් ඉන්න වෙලාවට කියල අපේ කුමාරි හොදටම දන්නවා.. සද රැජින මුකුත් නොකියම කුමාරිගේ කාමරේ ඇවිද්දා.. අපේ කුමාරි ආසාවෙන් ඇදලා තියෙන චිත්‍ර දිහා එයා ඕන කමින් බැළුවා.. කුමාරයත් එක්ක ඉන්න එයාගේ ඇද ලගම තිබුන චිත්‍රේ දැක්ක සඳ රැජිනගේ මුණ තවත් අඳුරු වෙලා ගියා..

මුකුත්ම කියන්නේ නැතුව එයා කාමරෙන් එළියට යද්දී කුමාරිගේ කාමරේට ආවේ සඳ රැජිනගේ යාතිකාවියන් දෙන්නෙක්.. අපේ කුමාරිගේ හිත හොදටම ගැහෙන්න ගත්තා.. එයා බැළුවේ සඳ රැජින දිහා.. කොටින්ම එයාගේ අම්මා දිහා.. සඳ රැජින කුමාරිකාව දිහා බලන්නෙවත් නැතුව එයා හිටිය කාමරෙන් එලියට ආවා..

***

ලොකු මුරකාවල් තියෙන කාමරේක කුමාරයා විතරක් ඉද්දී ඊට පිටින් වෙනදට වැඩිය ආරක්ෂයෝ යොදවන්න සූර්ය රජ්ජුරුවෝ අමතක කලේ නෑ.. පැය ගානක්ම ගෙවිලා ගියත් සූර්ය රජ්ජුරුවොවත් වෙන කවුරුවත්ම එයා එක්ක කතා කරන්නවත් ආවේ නෑ.. කුමාරයට ඒ ගැන පුදුමයි.. ඒයා හිතුවක්කාරයි.. දෙතුන් වතාවක්ම මුරකාවල් දාලා තිබුන කාමරෙන් බලෙන් එළියට එන්න හැදුවත් කුමාරයට ඒක කර ගන්න බැරි උනා..



කුමාරයගේ හිටියේ සඳ කුමාරි ගැන හුඟක් බයෙන්.. කුමාරයා බයෙන් හිටියේ සඳ කුමාරියගේ දඬුවම මොන වගේ එකක් වේවිද කියලා.. කුමාරයා නිතරම වළාකුළු වනන්තරේ දිහා බැළුවා.. ඒ වළාකුලක ඇදලා එවුව සඳ කුමාරිගේ පණිවිඩයක් තියෙයිද කියලා.. කුමාරයා කාමරේ එහා මෙහා කල්පනා කර කර ඇවිද්දා.. ඒ මෙතනින් එළියට යන විදිහක් ගැන හිතන්න.. කුමාරයාට ඕන වුනේ කොහොම හරි වළාකුළු වනාන්තරේට ගිහින් කුමාරියගේ කුළුණ දිහා බලන්න.. එයා හොදින්ද කියලා දැන ගන්න..

කල්පනාව අතරේ ඉද්දී කුමාරයට කටහඬක් ඇහුනා.. ඉතින් කුමාරයා ඕන කමින් ඒක අහගෙන හිටියා..

" සූර්ය රජතුමා කුමාරයටත් ඒ දඬුවම දේවිද?"  ආරක්ෂකයෝ කතා කරන දේ කුමාරයා එයාගේ කාමරේට වෙලා ඕන කමින් අහගෙන හිටියා.. ඒ මොකද එයාට දැන ගන්න ඕන වුනෙත් ඒකම  හන්දා..

" නැහැ, සූර්ය රජතුමාට ඉන්නේ එකම කුමාරයෙක් හන්දා එයා ඒ දඬුවම දෙන එකක් නෑ.. කාලයක් යනකන් මේ කාමරේම හිර කරලා තියාවි.. මෝඩ සඳ රැජින.. එයා එයාගේ පොරොන්දුව ඉශ්ඨ කරාවි.."  තව ආරක්ෂකයෙක් කිවුවා.. ඒකට ඒ ලග හිටපු හැමෝම වගේ හිනා වුනා..

කුමාරයට තේරුණා වෙන්න යන දේ ගැන.. එයාගේ හිතේ තිබුණ කලබල ගතියට වැඩිට එයාට ආවේ ලොකු කේන්තියක්.. කොටින්ම එයාගේ තාත්තා සුර්ය රජ්ජුරුවෝ එක්ක.. කුමාරයා ආයෙම වතාවක් කාමරේ දොරට මහ හයියෙන් ගැහුවා.. ඒත් ඒකෙන් වැඩක් උනේ නෑ.. එයා ගිහින් බැළුවේ වළාකුළු වනන්තරේ දිහා..

කුමාරයා හුඟක් වෙලා වළාකුළු වනාන්තරේ දිහා බලගෙන කල්පනා කලා.. ඒ මෙතනින් පැනලා යන්නේ කොහොමද කියලා.. සූර්ය රජ්ජුරුවන්ගේ පුතා වුනත් එයාට ඒක මේ වෙලාවේ කරන එක ලේසි වැඩක් නෙමෙයි කියලා කුමාරයට හොදටම තේරුණා..

එයා ඒ එක්කම වළාකුළු වනාන්තරේට ඈතින් දැක්කේ ලස්සන ලා නිල් පාට එළියක්.. ඒ එක්කම ඒ එළිය අතරින් කඩා හැලෙන වල්ගා තරුවක්..




හිරු කුමාරයට සඳ කුමාරියව හැමදාටම අහිමි වේවිද??
ඒක ඊළග අවසාන කොටසින් මම කියන්නම්.. 


* රූමුව කියන්නේ සන්ද්‍යාවටම කියන තවත් වචනයක් බව හොයද්දී සම්බ විය.. 

Monday, 18 August 2014

මහ පාරේ ලවු කිරිල්ල



ට්‍රැෆික් කියන්නේ මහ එපාම කරපු එකක්.. හදිස්සියක් තියෙන හැම වෙලාවකම ට්‍රැෆික් එකක් කොහෙන් හරි අහු වෙන එක නවත්තන්න කොහෙත්තම පුළුවන් කමක් නෑ.. එදත් එන්න ඒ වගේ දවසක්.. මම හිටියේ කලබලේක.. හැබැයි මගේ කලබලේට කිසිම ඉඩක් නම් හොයාගන්න පුළුවන් කමක් නැහැ.. බයික් එක එහෙන් මෙහෙන් රිංගලා යන්න පුළුවන් උපරිම දුරට ආවත් අතර මැදක හිරවුනා..

" නාකි ගෑණියෙක්.."

මට කියවුනා.. අයිනෙන් තිබ්බ ඉඩ ඇහිරෙන්නම කාර් එක ගහගෙන.. පොඩ්ඩක් එහා මෙහා උනානම් ඒ ටිකත් රිංගලා යන්න තිබුනා.. ඒත් ඒක කරන්න විදිහක් නෑ.. නාකි ගෑණීගේ පරණ මොඩල් එකේ ජගුවර් එක පස්සෙන් එද්දී ඉස්සරහින් පාරත් කොහොමත් හදන හන්දා රිංගන්න ඉඩක් නැතිම තරම්..

මම වෙලාව බැළුවා.. හොදටම පරක්කුයි, ඒත් කරන්න වෙන දේකුත් තිබුනේ නෑ.. ටිකක් වෙලා ඉද්දී ඈත තියාම මට ඇහුනේ ඒ සද්දේ.. සයිඩ් කණ්නාඬියෙන් මම ඒ දිහා බැළුවා.. මම ආසම හාලි ඩේවිඩ්සන් බයික් එකක්.. කවදහරි දවසක මගේ කරගන්න බලාගෙන ඉන්න තවත් මගේ එක හීනයක්.. මම ඒ දිහා බලාගෙන හිටියා..


ඒ කොල්ලත් මගෙම වයස විතර ඇති.. ඌ මගේ දිහා බලලා හිනා වුනා.. ඌට දැනෙන්න ඇති බයික් එකට මම ආසයි කියලා..

" රිංගන්න ඉඩක් නැද්ද?"  ඌ වටපිට බලන ගමන් මගෙන් ඇහුවා..

" නෑ, නාකි ගෑණීයෙක් හිරකරන් ඉන්නේ.."

මම උත්තර දුන්නා.. ‍ඌටත් හිනා ගියා.. සමහරවිට මට හිතුන දේම හිතිලා වෙන්න ඇති.. අපි මෙහෙම ඉන්න අතරේ අනික් දේවල් කොහොම වෙතත් වෙලාවනම් ගෙවිලා ගියා.. එක දිගටම ඉවරයක් නැතුව කෑ ගහන හෝන් සද්දයි, දවල් මහ අවුවයි එක්ක එපාම වෙලා හිටියේ.. පුළුවන් හැම ඉඩකම රිංගලා ඉස්සරහට පයින්න ට්‍රයි කරත් පාරත් කඩන් හදන හන්දා ඒක ටිකක් අමාරුයි..

අරුයි මායි දෙන්නම හුඟ වෙලාවක ඉදන් බයිසිකලේ එක ලග.. වාසනාවට වගේ නාකි ගෑණි නම් පහු වෙලා.. ඒත් යන්න විදිහක් නෑ හිර වෙලා.. අපිට එහා පැත්තේ තිබුනේ ලස්සන කහ පාට මිනිකූපර් කාර් එකක්.. කාර් එකේ පාට හන්දද මන්දා මටත් ඒ දිහාම ඕන කමින් බැළුනා.. කහ පාට කාර් එකකත් පොඩි ගතියක් තියෙනවා..

මම ඒ දිහා බලද්දී අරුත් ඒ දිහා බැළුවා.. හැබැයි ටිකකින් තේරුණේ ඒකා බලන්නේ කාර් එක දිහාම විතරක් නෙමෙයි කියලා.. කාර් එකේ හිටියේ කෙල්ලෙක්.. ඇඳුම ගැන විස්තර කිරීමට අමාරුයි.. ඒත් මූණ නම් ලස්සනයි.. තද කළු කොණ්ඩේ ලෙයර් කරලා පොඩි අමුතු ලුක් එකක් කෙල්ලගේ තිබුනා..


කෙල්ල හිටියේ ෆෝන් එකේ ඔළුව ඔබාගෙන.. ඇත්ත ඉතින් ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්න වෙලේ එහෙමවත් දෙයක් කලාම මොකද.. අරූ කෙල්ල දිහාම හොදට බලාගෙන හිටියා.. බලාගෙන ඉදලා දෙපාරක් හෝන් කලා.. මම හිතුවේ කෙල්ල අඳුනනවා ඇති කියලා.. කෙල්ල ඉස්සෙල්ලම බැළුවේ බයික් එක දිහා.. ඒකනම් මට හොදටම මීටර්.. ඊට පස්සේ කොල්ලා දිහා..

මම හිතුවට දෙන්නා අඳුනන පාටක් නම් නෑ.. කෙල්ල කොල්ලා දිහා බලලා ලාවට හිනවක් දාලා ඉස්සරහා ට්‍රැෆික් එක දිහා බලලා ආයෙම ෆෝන් එකට එබුනා.. අපිත් තාම එතනමයි.. මම වෙලාව දිහා බැළුවා.. සමර් එකේ දවල් අවුව එපා වෙන තරම්ම රස්නයක් ඒ වෙද්දී තිබුනා..

ආයෙම බයික් එකේ හෝන් එක දෙපාරක් සද්ද වෙද්දී මාත් ඒ දිහා බැළුවා.. මං වගේම කාර් එකේ හිටිය කෙල්ලත් අරූ දිහා හෙමීට බැළුවා.. ඒ පාරනම් දාගෙන හිටිය අවුකණ්නාඩි දෙකත් පැත්තකට කරලා අරූ දිහා බැළුවා.. සමහරවිට අඳුනන කෙනෙක්ද කියලා හරියටම බලාගන්න වෙන්න ඇති..

කොල්ලත් හිනාවුනා.. කෙල්ලත් හිනාවුනා..

" ciao.." ආයෙම කෙල්ල අහක බලාගන්න කලින්ම කොල්ලා කිවුවා.. කෙල්ලත් ඒකට ප්‍රතිචාර දැක්කුවා.. වාහන පේලිය ටිකක් ඉස්සරහට ඇදුන හන්ද අපිටත් ටිකක් ඉස්සරහට යන්න පුළුවන් වුනා.. කොල්ලගේ පැත්තෙන් මිනිකූපර් එක අස්සෙන් රිංගන්න පොඩි ඉඩක් තිබුනත් කොල්ලා ගියේ නෑ.. ඒ හන්දම මාත් එහෙමම හිටියා..

තව විනාඩි දෙක තුනක් ගෙවුනා.. කෙල්ල ආයෙම ෆෝන් එකේ.. මාත්
එක්ක තේරුමක් නැති සංවාදයක කොල්ලා හිටියත් වැඩි අවදානය තිබුනේ කෙල්ල ගැන.. ආයෙම ටිකකින් සුපුරුදු හෝන් සද්ද දෙක.. ඒ පාර නම් කෙල්ල බලන්න කලින්ම යන්තමට හිනා වුනා.. හිනාවෙලා කෙලින්ම බැළුවේ කොල්ලා දිහා..

" ඉස්සරහා හොද රෙස්ටුරන්ට් එකක් තියෙනවා.. දවල් කෑමට හොද තැන.." කොල්ලා කිවුවා..

කෙල්ල හිනා වුනා.. " No Grazie.." කෙල්ල කිවුවා..

මට එකපාරම හිතුනා කොල්ලා ඉස්සර උනා වැඩිද කියලා.. කොල්ලා මං දිහා බැළුවා.. මම අතින් කිවුවා ආයෙම ට්‍රයි කරන්න කියලා.. ආයෙම පුරුදු හෝන් සද්ද දෙක.. කෙල්ල හිනා වුනා.. හැබැයි කොල්ලා දිහා බලන්න හදිස්සි වුනේ නෑ.. ආයෙම එක පාරක් හෝන් එක වැදුනා.. කෙල්ල ඒ පාරත් හිනා වෙන ගමන් කොල්ලා දිහා බැළුවා..

" ලන්ච් වලට වෙලාවක් නැත්නම් පොඩි ස්නැක් එකක්වත්.." කොල්ලා ආයෙම කිවුවා.. ඒකත් පරදින්න අකමැති ගානයි..

කෙල්ල හිනා වෙලා බෑ කියන්න වගේ ඔළුව වනලා ට්‍රැෆික් එකේ පොඩ්ඩක් ඉඩ ආව අතරේ ඉස්සරහට ආවා.. ඉඩක් ලැබුනත් කොච්චර පරක්කු වෙලා තිබුනත් මටත් යන්න ඕන කමක් තිබුනේ නෑ.. ඒ අතරේ කොල්ලයි මායිත් වැඩකට නැති දේවල් කියෙවවුවත් ඒක මෙතනට අදාල නැහැයි කියලා මම හිතනවා..

ටිකක් වෙලා ගියා.. කොල්ලා ආයෙම කෙල්ල දිහා බැළුවා.. අපි කලින් හිටියට වැඩිය හුඟක් දුර ඇවිත්.. ආයෙම පුරුදු හෝන් සද්ද දෙක.. කෙල්ල හිනා වුනා.. ඒ එක්කම ඒ මූණේ තිබුනේ අමුතුම ඉරියවුවක්.. ඒක විස්තර කරන්න අමාරුයි..

" කෝපි එකක්වත්.." කොල්ලා ඇහුවා..

කෙල්ල කොල්ලා දිහා බලන් හිටියා.. " හා, කෝපි එකක්.." කෙල්ල කොල්ලගේ අදහස තහවුරු කලා.. ඒ එක්කම බැළුවේ ඊට එහා පැත්තේ හිටිය මන් දිහා..

" යාළුවත් එනවද?" කෙල්ල ඇහුවා.. කොල්ලත් ඒ එක්කම වගේ මං දිහා බැළුවා..

" අහ් නෑ නෑ, මම ඉස්සරහින් හැරෙනවා.." මම කිවුවා.. ඇත්තටම මට හැරෙන්න තැනත් ලං වෙලා තිබුනේ..

" එහෙනම් කෝපි එකක්?" කොල්ලා ආයෙම කිවුවා.. කෙල්ල ඔළුවෙන් ඔවු කියලා කිවුවට ඒක කෝපි එකකට එහා යාවි කියලා මට නිකමට හිතුනා..

" මම ෆ්‍රැන්චෙස්කෝ.." කොල්ලා කිවුවා..

" මරීනා.."

ඒ එක්කම වගේ පුරුදූ හෝන් සද්ද දෙක.. හැබැයි ඒ පාර මගෙන්.. ඒ මට හැරෙන්න තැන ලං වෙලා හන්දා..

" Ciao.."


ඒ කතාබහ කෝපි එකකට පමණක් සීමා වුනාද එහෙම නැත්නම් ආදරයකට පෙරළුනාද තවත් එක යහන්ගත වීමක් විතරක් වුනාද කියලා මම දන්නේ නෑ.. මට වැඩකුත් නෑ වගේම මම හොයන්න යන්නෙත් නෑ.. ඒක ආදරයක් නම් ඒ හමුවීම ඇත්තටම ලස්සනයි.. මම දන්නේ එච්චරයි..




විශේෂයි.. සෑබෑවටම අත්විදී සිදුවීමක් වන බැවින් කතාව කියන මම, මමම වන අතර කෙල්ලයි කොල්ලයි කවුදැයි යන්න මම නොදනී..