Wednesday, 25 June 2014

ලෙමන් පෆ් නිසා පාඩමක්



අපිට ඉරිදට වැඩ නෑ.. ඒ වුනාට හැම මාස දෙකකටම සැරයක් අපිට සෙනසුරාදා ඉරිදා දෙකත් ෆාමසිය අරින්න වෙනවා.. ඒක නීතියක්.. ඒ හන්දා ඉතින් අදාල දිනේට අපි වැඩ.. සෙනසුරාදා ඉරිදා ෆාමසිය ඇරියට මොකද ඉතින් එච්චර සෙනඟක් නෑ.. මේවයේ ඉන්න හැමදාම බෙහෙත් වලින්ම ජීවත් වෙන වයසක සෙට් එක සිකුරාදා වෙද්දී ඊලග දවස් දෙකට බෙහෙත් නැත්නම් ඉක්මනට ගබඩා කර ගන්නවා.. ඔය හදිස්සි කාරයෙක් මොකෙක් හරි එහෙම නැත්නම් අනික් ෆාමසි වහලා හන්දා ඒකේ නෝටිස් බෝර්ඩ් එකෙන් ඇරලා තියෙන ෆාමසි හොයන් ආව එකෙක් ඇරෙන්න එදාට ඉතින් මොකෙක් වත් නෑ..

අවංකවක කියනවනම් ඉතින් අපිටත් ජොලි දවස් දෙක ඕක තමා.. වැඩත් නෑ.. ඒ හන්දා ඉතින් පිස්සුවක් කියවන් ඉන්න පුළුවන් අතල් දවස් දෙක.. මේ පහු වුන ඉරිදත් ෆාමසිය ඇරලා.. ඉතින් මම වැඩ.. වැඩ කිවුවට ඉතින් කයිවාරුව තමයි.. මේ පාරනම් ආතල් කෝමත්.. ඇයි ඉතින් ෆුට්බෝල් වල්ඩ් කප් එක තියෙනවනේ.. ෆුට්බෝල් කිවුවම මතක්  වුනේ, කලින් වතාවේ වගේ ලයින් අක්කා හිටියනම් හාදුවක් ඔට්ටු අල්ලන්නවත් තිබුනා.. දැන් ඉතින් නැති දේ ගැන කියලා වැඩක් තියෙනවයි.. ඒ හන්දා කියන්න ආපු එක කියලා ඉමු..

ඉරිදා හැබැයි එච්චරම වැදගත් කියලා හිතෙන රටවල් වල මැච් එකක් නොතිබුනත් අපිත් කරන්න වැඩක් නැති හන්දම බලාගෙන හිටියා.. ඉතාලි මැච් එකක් එහෙම තිබුනනම් තත්වය ඔයිට වඩා වෙනස් වෙනවා හැබැයි.. දවාලේ ගෙදර ඇවිත් කාලා බීලා ඉවර වෙලා 4.30ට ආයෙම වැඩට යද්දී මම ගෙදර තිබ්බ ලෙමන් පෆ් එකක් උස්සන් ගියා.. ගොඩක් වෙලාවට මම ඉරිදට යද්දී මොනා හරි හදන් යනවම තමයි.. මේ සතියේ හදන්න වෙලාවක් තිබ්බෙත් නැති හන්දා මම ඕක උස්සන් ගියා.. උන්ටත් මොකෝ ඉතින් මොනා හරි කමක් නෑ ලංකාවේ කෑමක් නම් ඒ මදැයි..

හවස තිබ්බේ බෙල්ජියම්, රුසියා මැච් එක.. අපිට පටන් ගද්දී වෙලාව හවස 6යි.. බෙහෙත් ගන්නත් මොකෙක්වත් නැති හන්දා අපි කොම්පියුටරෙන් මැච් එක දාගෙන බලාගෙන හිටියා.. ගිය සැරේ නම් ලොක්කා ටීවී එකක් දාලා දුන්නා.. මේ පාර ඒකා මඟුලේ ගිහින් හන්දා ඒකත් නෑ.. මැච් එක බලන් ඉන්න ගමන් මම ගෙනාව ලෙමන් පෆ් එකත් ගෙනත් දුන්නා කට්ටියට කන්න කියලා.. මුනුත් නිකන් අර අළුත් සෑර් ඉස්කෝලෙට ලෙමන් පෆ් ගෙනාව වගේ තමයි මගෙන් ඒක අර ගත්තේ මොනාද බං කියලා..

මෙහේ එවුන් නිකනුත් දෙහි කන හන්දා උන්ට මේක අල්ලලා ගියා.. මැච් එක බලන අස්සේ අපි ඕක හෙමීට කෑවා.. මම එකක් කාලා හැරෙද්දී අරුන් පැකට් එකේ බාගයක්ම ඉවර කරලා.. කමක් නෑ ඉතින් උන්ටනේ ගෙනාවේ.. අපේ අළුතින් ආව ඩොකා කන ගමන් පැකට් එක දිහා බලනවා හොදට.. මාත් ඉතින් ඕක දෙතුන් පාරක් බලන් හිටියා..

" මොකද උඹට මදිද? කරන්න දෙයක් නෑ.. අදට ඔච්චරයි.."

" නෑ බං එහෙම එකක් නෙමෙයි.. මම බැළුවේ මොනවද මේ අකුරු කියලා.."

පොරට ඉතින් කඩ්ඩ තේරෙනවනේ.. මේකා පැකට් එකේ සිංහලෙනුයි දෙමළෙනුයි ලියලා තියෙන එක මට පෙන්නලා අහනනවා..

" උඹට ඉතින් ඉංග්‍රීසි තේරෙනවනේ.. ඔය එකක් ඇවිත් සිංහල.. ඒ කියන්නේ අපි කතා කරන්න භාශාව.. අනිත් එක ඇවිත් දෙමළ.. ලංකාවේ ඉන්න හිංදු ආගම අදහන අයගේ භාශාව ඒක.."

" ඇත්තද, එහෙම බලද්දි උඹලගේ රට හොදයිනේ.."

" ඇයි?"

" නැහැ.. මෙහෙම දේකදි උනත් හැම භාශාවකටම ඉඩ දීලා තියෙන්නේ.. ඒක හොද දෙයක්.."

" උඹ ඇයි එහෙම කියන්නේ?"

" නෑ බලපං.. අපි මේ ඉන්නේ ඉතාලියේ.. නම කිවුවම ලෝකේ හුඟක් රටවල් දන්න රටක්.. ලෝකේ වටේම මිනිස්සු එන යන රටක්.. ඒත් අපේ මොන බඩුවෙද අඩුම ගානේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ.. එහෙම බලද්දී උඹලා උඹලගේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ටම සාධාරණයක් කරලා තියෙනවා.. මෙහෙට සංචාරකයෝ ආවට අපිට ඉංග්‍රීසි බැරි හන්දා උන් කොච්චර කට්ටක් කනවද.. දැන් බලපං මේ ෆාමසිය.. එහා පැත්තේ හෝටලේට එන සුද්දෙක් ආවම කොච්චර වෙලා යනවද ඒ මිනිහට ඕන දේ දෙන්න.. අපි ඒ මිනිහා ඕන දේ තේරුම් ගත්තා කියමු.. ඒත් ඒක පාවි‍ච්චි කරන්න ඕන විදිහ එහෙම හරියට කියලා දෙන්න බැහැනේ.. අඩු ගානේ ගන්න බෙහෙතේ ඇතුලේ තියෙන විස්තර කොලේවත් ඉංග්‍රීසි තියෙනවනම් ඒ මිනිහට ඒක කියවලා හරි තේරුම් ගන්න පුළුවන්.. එහමත් නෑ.. ඔය ප්‍රංශෙන් එන සමහර ක්‍රීම් ජාතියක ඇරෙන්න එහෙම ඉංග්‍රීසියෙන් උපදෙස් කිසිම බෙහෙතක නෑ.. ඉතින් එහෙම බලද්දී උඹලගේ රටේ එවුන්ට කිසිම ප්‍රශ්ණයක් නැතුව ඕනම දෙයක් සුද්දෙක්ට උනත් විකුණන්න පුළුවන්.."

ඒකා කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා මොනවා වුනත්.. සුද්දෝ අපි ගැන අපේ රට ගැන ඒ විදිහට හිතද්දී ඇත්තටම හිතට සංතෝසයි.. ඒත් ඇත්ත තත්වය?

මම සිංහල බඩු ගන්න යන කඩේ ඉන්නේ දෙමළ මනුස්සයෙක්.. ඉස්සර අපේ තාත්තා ඉන්න කාලේ 2002 රනිල් මහත්තයා ඡන්දෙන් දිනුවම අපේ තාත්තා එක්ක කිවුවලු ඔන්න දැන්නම් යුද්දේ ඉවරයි කියලා.. කිවුවා වගේම ඊට සතියකින් නමට හරි සටන් විරාමේ අත්සන් කරා.. හැම මාසෙම දෙමළ ඩයස්පෝරාවට තමන්ගේ ආදයෙම් කොටසක් යවන දෙමළ මිනිහෙක් ඒ.. ප්‍රාභකරන් මැරුණට පස්සේ වෙලාවක මම කඩේට ගියාමත් මිනිහා ඉන්නවා මූඩ් එක අවුල් කරගෙන..

" දැන් වත් ලංකාවට යමු නේද? දැන් අවුරුදු ගානකින්ම ගියේ නැහැනේ.."

අනවශ්‍ය කතා ඕන නැති හන්දා මම එහෙම කිවුවා.. මිනිහත් ටිකක් වෙලා සද්ද නැතුව හිටියා.."

" ඔවු මල්ලී යන්න ඕන.."

ඒ මනුස්සයා ප්‍රභාකරන්ට සල්ලි යැවුවා කියලා දන්නවා වුනත් අපේ හමුදාව ප්‍රභාකරන්ව මැරුවා වුනත් ඒ මනුස්සයා අදටත් අපි එක්ක පුදුම හිතවත් කමකින් කතා කරන්නේ.. කිසිම දවසක රටේ ප්‍රශ්ණ ගැන කතා කරලම නෑ.. කොටින්ම එහෙම දෙයක් වුනාද නැද්දවත් කියලා ඒ මනුස්සයගේ කටින් පිටවෙන්නෙවත් නෑ.. අදටත්, තවමත් තමන් වැඩ කරන කඩේට පාඩු වුනත් ලංකාවෙන් එන එළවළු එහෙම හොද නැත්නම් අයිති ඉතාලි කාරයට හොරෙන් කෝම හරි ගන්න එපා කියලා කියන හොද ගතියක් ඒ මනුස්සයා ලග තියෙනවා..


මම ජාතිවාදය ගැනවත් මුස්ලිම් වීරෝධී අදහසක් වත් මෙතන කියන්න යන්නේ නෑ.. ඒත් එක දෙයක් ගැන මට හිතෙන දේ කියන්න ඕන කියලා හිතුවා.. ඒ තමයි මේ දවස් වල මුහුණු පොතේ ශෙයාර් වෙන මුසල්මානුවන්ගේ ම්ලේච්ඡත්වට උපුටා දක්වන වීඩියෝ.. මේ සටහන තියන්න කලින් දවසේ මම දැක්කේ ඔවුන් කුඩා දරුවෙක්ගේ හිස ගසා දාලා ඒ දරුවගේ කොණ්ඩෙන් අල්ලලා උස්සන් ඉන්න ගමන් කරන යම් ප්‍රකාශයක්..



මට ඒක දකිද්දී හිතුනේ මෙන්න මේ දේ විතරයි.. ඒ වගේ ඉරණමකට මුහුණ දෙන්න ඒ දරුවා කලින් ආත්මෙක මොකක් හරි ලොකු පවක් කරන්න ඇති.. අද ඒ දරුවට ඒ දඬුවම දෙන අයම තමන්ගේ නමට ඒ පවම පුරව ගන්නවා.. මේ ආත්මයේ හරි ලබන ආත්මයක හරි ඒ දඬුවම ඔවුන්ට ලැබේවී.. හැම දෙයක්ම චක්‍රයක් වගේ.. අන්තිමේ හිතට එන්නේ බුදුහාමුදුරුවෝ දේශණා කරපු ධර්මය.. හැම දෙයක්ම සංසාර චක්‍රය එක්ක බැදිලා.. කාටවත් ඒකෙන් පැනලා යන්න බෑ..



ෆාමසියේ ඩොකාගේ කතාවත් එක්ක හිත දිවුවේ හැම අතකම.. විදේශිකයෝ මොනම හරි විදිහකින් අපේ රට ගැන හොදක් දකින එක හරි කතා කරන එක හරි ආඩම්බරයක්.. ඒත් රට ඇතුලේ තියෙන තත්වය ගැන හිතෙද්දී උන් එක්ක වෙනදා තරම් ඕනකමින් උජාරුවෙන් ලංකාව ගැන කතාකරන දේවල් කතා කරන්න බැරි හන්දම මම ඒ දේ හිතේ තියන් නිහඬ වුනා.. අන්තිමේ නොලියන්න හිතන් හිටිය සටහනක් මේ විදිහට ලියන්නත් වුනා..







Thursday, 19 June 2014

අරුමැත්තියෝ



මම නොනවත්වාම ඈ දිහා බලාගෙන හිටියා.. විටින් විට මං දිහා බලලා හිනා වෙන ඈ දිහා මම බලාගෙන හිටියා.. ඇයි එයා එහෙම හිනාවෙන්නේ.. මට ඒ ගැන කල්පනා කරන්න ඕන වුනත් ඒකට හිත යොදවන්න තරම් ඕනකමක් මට තිබුනේ නෑ.. මමත් බැළුවේ ඇය දිහා.. කොයිතරම් රාජකාරි පිරිලා තිබුනත් මම බලාගෙන හිටියේ ඈ දිහා.. ඒ ඇය ගැන ආසාවෙන්.. ඔවු, ආසාවක් මිසක් ආදරයක් නෙමෙයි..

ඇයව නෙතු ගැටිලා ඒ තරම්ම කාලයක් නොවුනත් ඈ ගැන හිතේ තිබුන
ආසාව වැඩි වෙන්න මහ හුඟක් කාලයක් ඕන නෑ කියලා දැනුනේ ඇයව මුලින්ම දැක්ක දවසේ ඉදන්.. ඇයට තිබුනේ අමුතුම සරාගී පෙනුමක්.. මම ඒකට වශී වුනා කිවුවොත් මම නිවැරදියි.. නෙතු ගැටුනම ආයේ වෙනතක් බලන්න නොහිතෙන තරමේ ආකර්ශණයක්.. ඒ හන්දම ඉදහිට ගැටෙන නෙතු අහකට ගන්න මටත් නොදැනිම හුඟක් වෙලා ගිහින් තිබුනා..

අපි තවම කතා කරලා නැහැ.. ඇය හිටියේ මගේ කාර්‍යාල මේසයට ටිකක් දුරින් වුනත් නිතරම එහෙ මෙහෙ යන ඇයව හැම වෙලාවකම වගේ මගේ නෙතු ගැටුනා.. ඒ හැම වෙලාවකම වගේ ඇය හිනා වුනා.. ඒ හිනාව අමුතුයි.. ඒ හිනාව සරාගියි.. ඉතින් මමත් නිතරම ඕන කමින් එහේ මෙහෙ යන ඇය දිහා බලාගෙන හිටියා..

" ස්ටීව්, මේ අපේ අළුත් ට්‍රේනින් ගර්ල් මායා.."

දවසක් මං ලගට ආව  ලින්ඩා ඇයව මට අදුන්නලා දුන්නා.. ඇය නිතරම හිටියේ ලින්ඩා එක්ක.. හුඟක් වෙලාවට අළුතින් ට්‍රේනින් එන හැමෝම වගේ අහු වෙන්නේ ලින්ඩාට.. ඇයි එහෙම චාන්ස් එකක් මට නැත්තේ කියලා මායා වගේ කෙල්ලෝ දකිද්දී නොහිතුනාමත් නෙමෙයි..

" හෙලෝ මායා.."

මම ඇයට අතින් අත දෙන ගමන් සමාන්‍ය විදිහට ඇගේ උරහිසට හෙමින් තට්ටුවක් දැම්මා.. ඒක ලොකු දෙයක් නොවුනා වුනත් ලැබුන පුංචි ඉඩ කඩේ කතා බහ එක්කම මම ඇගේ අත පහලටම හෙමිට මගේ අත ගෙනාවේ ඇයට පහසක් දැනෙන විදිහට.. ඇගේ විරුද්ධත්වයක් නෑ.. ඇය වෙනදා වගේම කතාබහ අතරෙන් හිනා වුනා.. ඔවු ඒ සරාගී හිනාවමයි..

දවස්  එකින් එක ගෙවුනා.. මායත් මමත් අතර ඒ තරම්ම කතාබහක් නොතිබුනාට අපි අතර තිබුනේ ඇස් වලින් හමුවක්.. ඇය නිතරම මාව දැක්කම හිනා වුනා.. ඒ ඇයි, මොකද්ද ඒකට තියෙන හේතුව කියලා හිතා ගන්න මට බැරි වුනත් මමත් නිරායාසයෙන්ම ඒ දේට කැමති වුනා..

ඇය නිතරම ඇන්ද කෙටි ගවොම් විලාසිතාවයි, පියයුරු පේන නොපෙනන විදිහට නිරාවරණය වුන උඩුකයයි එක්ක නිතරම රාජකාරියට වැඩිය මගේ හිත තිබුනේ ඈ ලග.. ඈට වයස විසි අටයි.. දවසක් කෙටි කතාබහකදී ඇගෙන් ඒ ගැන දැන ගන්න මට පුළුවන් වුනා.. හිත අස්සටම කා වැදුන ඒ සරාගී හැඩරුව හිතින් ඈත් කරන එක මට ඒ තරම්ම ලේසි දෙයක් වුනේ නෑ..

අවුරුදු ගානකම මගේ නිදියහනේ හිමිකාරිය එක් කෙළවරක ඉද්දී මම හිටියේ ඈත් එක්ක හිතින් ආලිංගනයක.. ඒ හැඟූම අනිත් හැම එකකටම වැඩිය ප්‍රභලයි කියල එක වෙලාවකට මට හිතුනා.. විකසිත වෙලා නිතරම අවදි වෙලා තිබුන හැඟීම හංඟගන්න මම නිතරම උත්සාහ කලා.. කාර්‍යාලයේදි වුනත්..

ඇයත් නිරායාසයෙන්ම මගේ හැඟීම් වලට අත වනනවා.. දවසින් දවස ඇගේ සරාඟී ඇරයුම මට තියුණුව දැනෙන්න වුනා.. ඒත් අපි අතර තිබුන දිගු පරතරය මාව හැම වෙලාවකම නවත්තනවා.. ඒත් ඇය එහෙම නෑ.. ඇගේ ආරාධනාවේ අඩුවක් නැහැ..

කොෆී රූම් එකේදි අහම්බෙන් වගේ ඇයත් එක්ක ටිකකට තනි වෙන්න ලැබෙද්දී ඒ විකසිත හැඟීමට නිදහසක් ඕන වුනා.. මම බලාගෙන හිටියේ ඇගේ රූ සපුව දිහා.. ඒක විදගන්න ආශාව නිතරම හිත අස්සේ සනීප වෙන්නේ නැති රෝගයක් වගේ දිවුවා.. ඒකේ වේදනාව දැනෙන්නේ මටම විතරයි..

අහම්බයක් වගේ දැනෙන්න මං ඇයට ටිකකට සමීප වුනා.. ඇය හිටියේ ඒක නොදැනුනා වගේ හැඟීමක.. තනිකමේ වාසිය අපිට අපි නොදන්න තරම් ඉඩක් ඉබේම වගේ ලං කලා.. මම ඇගේ කෙස් අතරින් ඇඟිලි තුඩු යැවුවා.. ඇයට ඒකට විරුද්ධ වෙන්න ඕන කමක් තිබුනේ නෑ.. ඇය හිටියේ ඇගේම ලෝකයක.. මම වෙනමම හීනයක.. කෙස් අතරින් මිදුන ඇඟිලි තුඩු සිනිදු ඇදුම මතුපිටින් නිතඹ දක්වා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

ඇය හැරිලා මං දිහා බැළුවා..ඒ ඇස් වලින් මට ආරාධනා කලා.. ටිකින් ටික ලං වුන මම ඒ දෙතොල් අතරට සමීප වුනේ අපේ හුස්ම පවා එකට ගැටෙන හැඟීම විදගනිමින්..

" ස්ටීව්, කමිටි රැස්වීමට වෙලාව හරි.. ලොක්කා කතා කරනවා.."

මායා, ඇය හිටියේ මට වඩා දුරින්.. මගෙන් පිළිතුරක් එන්න පරක්කු වුන හන්දම ලින්ඩා හිටියේ මං දිහා අමුතු විදිහේ බැල්මකින් බලාගෙන.. හිරවෙලා හිටිය සිතුවිල්ලෙන් මොහොතකට මිදෙන්න විදහක් නැතුව මම ලින්ඩා දිහාත් මායා දිහාත් විටින් විට බැළුවේ ආයෙන සිහි එල්බ ගන්න ගමන්.. දුරින් ඉදන් මායා හිනා වුනා.. හැබැයි ඒ කලින් සරාඟි හිනාව නෙමෙයි..

ගෙදර සුපුරුදු ආලිංගයෙත් සතුටක් නැති තරම්.. ඇගේ නෙත් අතරින් නිතරම මායාගේ අනුරාගී දෑස මැවෙද්දී මගේ හිත ගැහෙන වේගය කොයි තරම් වෙනස් වෙන්න ඇද්ද.. ඒක ඇගේ ටිකින් ටික වැඩි වුන සිහින් කෙඳිරියෙන් හොදටම තේරුණා.. මට මායාව ඕන වුනා.. අඩුම ගානේ එක දවසකට හරි..

කොච්චර කලබලයක් අතරෙන් වුනත් මට දැනුනේ හැම දේම හුඟක් හෙමින් සිද්ද වෙනවා වගේ.. ගෝෂාව අතරින් ඇහුන නිහඬතාව මගේ හිතත් එක්ක මගේ අරමුණ හොයන්න වෙහෙසක.. මම ඇයව හෙවුවා.. ඒ සරාඟී හිනාව හෙවුවා..

" ස්ටීව්, මේ ෆයිල්ස් ටික ඉක්මනට චෙක් කරලා දෙන්න.."

සුපුරුදු විදිහටම ලින්ඩා මට බාදාවක්.. තරහව මුසුවුන හැඟීම මම අමාරුවෙන් පාලනය කර ගත්තා..

" කෝ මායා?"

" අහ්, එයාගේ ට්‍රේනින් ඉවරයි.. ඇයි ස්ටීව්ට කිවුවේ නැද්ද?"

" Shit.."

මම ඇයට නොඇසෙන්න මිමිණුවා.. මගේ හිතේ තිබුනේ තරහක්.. ඒ බලාපොරොත්තු බිඳුනට.. මම කල්පනාව අතරින් ලින්ඩා දිහා බැළුවා.. ඇගේ මුහුණේ තිබුනේ අපහාසාත්මක හිනාවක්.. ගෙවුන දවස් වල සමහරක් දේවල් ඇයට යන්තමින් හරි දැනෙන්න ඇති..

" ආ ස්ටීව්, මේ ජෙනී.. අළුත් ට්‍රේනි.."

" හලෝ ස්ටීව්.."

කල්පනාවෙන් මිදිලා මම ඈ දිහා බැළුවා.. ඇය ලග හිටිය බවක්වත් මට නොදැනුන තරම්.. දෑස් මොහොතකට නතර වුනේ ඒ පිරුණු ළමැද ලග.. මම ඇගේ මුහුණ බැළුවා..

" හලෝ.."

ඇය හිනා වුනා.. ඒක අනුරාගී හිනාවක්...



Tuesday, 10 June 2014

ආදරය සිහිනයක් නොවන වග



හිත ගැහෙන වේගේ හුඟක්ම වැඩියි.. නිතරම බැළුවේ වෙලාව දිහා.. තත්පරෙන් තත්පරේ ගෙවෙන එක දැනුනේ ඇත්තටම මහ කාලයක් වගේ.. මම මග බලන් හිටියේ රතු එළියක් දැල් වෙනකන්.. ඇගෙන් පණිවිඩයක් එනකන්.. මම බලන් හිටියා ඒ දිහාම.. කරන්න වැඩක් නැති නිසාම නෙමෙයි.. ඒ හැම දෙයක්ම ඕන කමින්ම අත ඇරලා දාලා මම බලාගෙන හිටියා..

" එයාට වැඩ ඇති.."

හිත හදා ගන්න මම මටම ඒ වචනේ හුඟක් වෙලා කියන්න ඇති.. ඒත් ඇත්තම කතාව හිත මගේ උත්තරේ පිළිගන්නේ නෑ කියන එක.. ඒ හන්දම බලාගෙන ඉන්නවා.. බලන් ඉදලා බැරිම තැන මම වෙන වැඩක් කරන්න ගන්නවා.. ඒත් හිත තියෙන්නේ වෙන අතක.. නිතරම එබෙන්නේ පණිවිඩක් තියෙනවද කියලා බලන්න.. අඩුම ගානේ දවසට වචන දෙක තුනක්වත් කතා කරන්න තියෙනවනම් කියලා ඇත්තටම මට හිතෙන වෙලාවල් තියෙනවා..

" හායි.."  අන්තිමේ රතු එළියක්..

" හලෝ, කොහොමද ඉතින්.."

කතා බහට අපි තාම ආදුනිකයි.. මග බලාගෙන ඉද්දී නම් කියන්න දේවල් හිත පිරෙන්න තියෙනවා.. ඒත් කතා කරද්දි ඒ දේවල් කොහේ අමතක වෙලාද මන්දා.. අමාරුවෙන් හරි වචන ගලපගෙන අපි කතා කරනවා.. සමහර දවස් වලට ටික වෙලාවයි.. හැබැයි සමහර දවස් වලට එයා දන්නේ නැති වුනාට මගේ හිත පිරෙන්නම අපි කතා කරනවා..

" කෝ, අද නැද්ද මෙයා?"

මැසේජ් කරලත් හුඟක් වෙලා..  හිතට දුවන්න හුඟක් තැන් තිබුනත් කතා
කරන්න ඕන තරම් අය හිටියත් මම සැරින් සැරේ ඇවිත් ඔයාව හොයනවා.. හැම වැඩේම බාගෙට.. ලියන කතාවේ ඡේදයක් ඉවර වෙද්දී මම ඔයාව හොයනවා.. ෆිල්ම් එකේ විනාඩි පහක් විතර යද්දී මම ආයෙම ඒ රතු එළිය හොයනවා..

" අද මම ක්ලාස්නේ.. දැන් ආවේ.."

මම උයන්න ලෑස්ති වුනා විතරයි.. බාගෙට ලෑස්ති කරපු එළවළු එක කුස්සියේ තියෙද්දී දුවන් ඇවිත් බලද්දී ඔයා මැසේජ් කරලා.. බඬගිණි වෙලාව වුනත් ඔයාට ඒක කිවුවොත් ඔයා යන්න යාවි.. සමහර විට දවසටම ආයෙම කතා කරන්නත් බැරි වේවි.. ඒ හන්දා මම ඔයා එක්ක කතා කලා.. ඔයාට හොරෙන් ඔයා රිප්ලයි එකක් එවනක් මම ටක් ගාලා කුස්සියට දුවලා ආවා.. හැබැයි ඔයත් එක දිගටම මැසේජ් කරන්නේ හරියටම මම උයන්න ගන්න වෙලාවටමයි.. එහෙම දවසට අන්තිමේ මට රහට දැනෙන්නේ ඔයා එක්ක කතා කරපු මතකය විතරයි..

ඔයාවත් දන්නේ නැති වුනාට මම ඔයාට හිතින් ආදරේ ආදරේ කරන්න පටන් අරන් හුඟක් කල්.. මම ලියන හැම දෙයක්ම ලියවෙන්නේ ඔයා නිසා.. හැබැයි ඒ බවක් නොදැන ඔයත් හරි අපූරුවට මගේ දේවල් කියවලා යනවා..

"සඳවතියකට පෙම් කරන්න හිතුනා.."

" කවුද ඒ සඳවති, අරයද?"

ඔයා එක්ක කේන්තියක් ආව පළවෙනි දවස.. කතා කරද්දී මම සඳවති කිවුවේ ඔයාට විතරයි.. ඔයා වෙන කෙනෙක් ගැන අහනවා.. ඇත්තටම මම ආදරේ කරනවා කියලා ඔයාට දැනෙන්නේ නැතුවද. හ්ම්ම්.. අපි වෙනදා වගේම කතා කලා..

" ඔයාට ලස්සනම දවසක් සඳවතී.."

එයත් හිනා වෙනවා.. සඳවති ගැන ඔයාට තේරුමක් නෑ.. අපි වෙනදා වගේම කතා කරනවා.. ඒත් ආයෙම සමහර දවස් වලට ඔයා නෑ.. ආයෙම වෙනදා වගේම මම බලාගෙන ඉන්නවා.. වැඩට යන්නත් තියෙන්නේ ටික වෙලාවයි.. හ්ම්ම්

" හලෝ හිරු කුමාරයෝ.."

" අහ් සඳවතී.."

අතරින් පතර මම වෙලාව බැළුවා.. වෙනදටනම් ඔයා පාඩම් කරනවා කියලවත් දුවනවා.. අද එහෙම පාටකුත් නෑ.. වැඩටත් වෙලාව හරි.. කොටින්ම කියනවනම් දැනටම පරක්කු වෙලා..

" අද මම වැඩ නෑ.."

" ඒ මොකද?"

" අද නිවාඩු.."

" හා හා.."

සමහර දේවල් ගැන වෙලාවකට ඔයාට ගානක් වත් නෑ.. පහුවදා ලොක්කගෙන් සෑහෙන්න බැනුම් ඇහුවා.. අන්තිම මොහොතේ නිවාඩු ගත්තට.. මට ඕන වුනේ ඔයා එක්ක ඉන්න.. ඇත්තමයි.. ඒත් ඒ ඇයි කියලා ඔයා ඒ වෙද්දිත් දන්නේ නෑ..

" ඔයට දෙයක් කියන්න තියෙනවා සඳවතී.."

" මොකද්ද?"

මගේ ජිවිතේ ගැන දන්න අය හිටියේ අඩුවෙන්.. ඇත්තටම ඉන්නේ එක්කෙනයි.. ඒකෙනාට පස්සේ මම ඔයාට මගේ ජිවීතේ එක දෙයක් ගැන ඔයා එක්ක කිවුවා.. ඒ මම ඔයාට ආදරෙයි කියන්නත් කලින්.. මම බයෙන් හිටියට මොකද, ඔයා මාව තේරුම් ගත්තා..

" හෙට එනවා නේද කතා කරන්න.."

" ඔවු ඔවු.."

හැබැයි ඔයා හුඟක් පරක්කුයි.. එදා කවදාවත් නැති තරමටම මම දුක් වුනා.. හිතුනෙම ඔයා ආයි එන එකක් නෑ කියලා.. හුඟක් හවස් වෙනකන්ම මම බලාගෙන හිටියා.. හිතට දැනුන වේදනාව ඔක්කොම හොදම යාළුවා එක්ක කියලා දැම්මා.. ඒ කියලා එද්දී,

" අද ක්ලාස් ඇරිලා දානේ ගෙදරක ගියානේ.. මේ දැන් ආවේ.."

දුකත් සතුටත් අතර තිබුනේ මම ඒ අකුරු ටික කියවන්න ගිය තත්පර ගාන විතරයි.. අපි කතා  කලා හුඟක් සතුටින්..

" කවුරු කැමති වුනත් අකමැති වුනත් ඔයා එනවද මාත් එක්ක.."

මම දන්නවා, ඒක ආදරෙයි කියලා කියන්න ඕන හරි පිළිවෙත නෙමෙයි.. ඒත් ඒ කතා බහ අතරේ මගේ හිතට ආව හැඟීම මම කිවුවේ එහෙම.. ඔයා මඟ ඇරියා.. මම ආයෙම ඒකම ඇහුවා..

" ඔවු.."

....................................................

මගේ ආදර කතාව ඇත්තටම පුදුම එකක්.. මගේ හිතට ඔයා ගැන ආදරයක් එද්දී ඇත්තටම මම ඔයාව දැකලවත් නෑ.. මම දැනන් හිටියේ ඔයාගේ ෆේක් එකවුන්ට් එක විතරමයි.. ඒත් මම ආදරේ කලා.. ඔයා අදටත් ඒ ඇයි කියලා ඇහුවට මට ඒකට දෙන්න හරි උත්තරයක් තාම දන්නේ නෑ.. ඒත් මම ආදරේ කලා.. ඒ වගේම ආදරේ කරනවා..

මගේ ජීවිතේ ඔයා හරි ඉක්මනට තේරුම් ගත්තා.. මගේ සිතුවිලි වලින් මට පිස්සු.. ඔයත් වෙලාවකට මට දෙවනි නෑ.. ඇත්තටම මම හිටියේ ආදරෙන් ඈතට දුවලා යන්න ඕන කියන සිතුවිල්ලක.. ඒත් පින්තූරෙකින් වත් නොදැක්ක ඔයා මගේ හිත කොච්චරනම් වෙනස් කලාද.. 

ඔයාගේ කවි හිතට මම ආදරේ කලා.. ඔයාගේ වෙනස් අදහස් වලට මම ආදරේ කලා.. ඇත්තටම මට ඕන වුනේ මම වගේම හිතන කෙනෙක් නෙමෙයි.. ඔයාගේ අදහස් වෙනස්.. ඔයා හිතලා නතර කරන තැනින් මම හිතන්න පටන් ගන්නවා.. සමහර වෙලාවට ඔයා ඒ දේ කරනවා..

ඔයාට හිතින් ආදරේ කරපු කාලේ ඇත්තටම ලස්සනයි.. හැබැයි ඉතින් ඒ කාලේ අයිති මට විතරයි.. මොකද ඔයා ඒ ගැන දන්නෙවත් නැහැනේ.. හැබැයි මම එක දෙයක් නම් දන්නවා.. ඔයාට කවදාවත්ම මම ඔයාට ආදරේ කරන තරමටම මට ආදරේ කරන්න බෑ කියලා.. ඒ මොකද මම ඔයාට ඒ තරමටම ආදරෙයි..

මේ දුර අපිව නිතරම ශක්තිමත් කලා.. අපේ මේ ගමන හිතනවට වැඩිය හරි පුදුම එකක්.. ඒ මොකද දන්නවද

මම ඔයාව ෆේස්බුක් එකෙන් මුලින්ම අදුන ගත්තේ - 25 නොවැම්බර් 2011.. එදා අපි කතා කලේ නෑ.. ඔයා මගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලා විතරයි..

ඉස්සෙල්ලම චැට් කලේ - 21 දෙසැම්බර් 2011.. ඒකත් මහ ලොකු වෙලාවකට නෙමෙයි.. ඔයා හරි ඉක්මනට කතා කරලා ගියා..

ඊලගට චැට් කලේ - 8 ජනවාරි 2012.. එදා නම් ටිකක් වෙලා කතා කලා.. එතකොට නම් මගේ හිතේ ඔයා ගැන ආදරයක් නම් තිබුනේ නෑ.. කොටින්ම එහෙම දෙයක් දැනෙන්නවත් අපි කතා කලේ වත් නෑ..
ඊට පස්සේ හැම දෙයක්ම වෙනස් වුනේ - 8 මැයි 2012න් පස්සේ.. හරියටම මාස 4කට පස්සේ ඔයා මාත් එක්ක කතා කලේ.. මතකද, ඔයාලා පටන් ගත්ත බ්ලොග් එක්ක හන්දා මට වුන කරදරේ.. එක අතකට ඒක එහෙම වුන එකත් හොදයි.. මොකද ඊට පස්සෙයි ඔයා නිතරම මාත් එක්ක කතා කරන්න ආවේ.. හැබැයි ඉතින් මම හුඟක් වෙලා මග බලන් හිටියට පස්සේ..

කලින් නොහිතපු වෙලාවක මම ඔයාට ආදරෙයි කිවුවේ 10 ජුනි 2012 ඒ කියන්නේ අදට හරියටම අවුරුදු 2කට කලින්.. ඔයා මගේ ජීවිතේ වෙලා අදට හරියටම අවුරුදු 2යි.. අද දවස ඇරුනම ඔය කලින් දවස් ගැන ඔයාට මතක නෑ කියලා දන්නවා.. ඒත් ඒ හැම දෙයක්ම අපි කතා කරපු හැම දෙයක්ම වගේ තාමත් මට හොදටම මතකයි..

මගේ ජීවිතේ මට ලැබුන හොදම දේ ඔයා.. මම ආදරෙයි ඔයාට හිතා ගන්නවත් බැරි තරම්.. මෙච්චරම මම ඔයාට ආදරේ ඇයි කියලා මමවත් දන්නේ නෑ.. ඔයා වුනත් උත්තර හොයන්න එපා.. ලගට එන්න, ඇවිත් විඳගන්න..