Wednesday, 28 May 2014

රන් වෙළඹ



දවස් තුනකට පස්සේ ඔහු හිටියේ මිටියාවත පේන මානයෙන්.. මිටියාවත පහුකරන් යන එක හිතන තරම්ම ලේසි දෙයක් නොවුනත් ඔහුට ඒක කරන්නම ඕන වුනා.. ඔහු ඇවිදන් ගියා.. මිටියාවත දිහාටම.. ඔහු තරුණයෙක්.. වෙහෙසකර ගමන ගැන ඒ තරම්ම තැකීමක් නොකරම ඔහු  ඇවිදන් ආවා.. දැන් ඔහු පය තැබුවේ මිටියාවතට.. හාත්පසම කොළ පාටින් වැහිලා ගිය පොළව ඇරෙන්න ඔහුට වෙන කිසිම දෙයක් පෙනුනේ නෑ.. ඔහු කල්පනා කලා.. මොහොතක් දෙකක්..

ඔහු වැඩි වෙලාවක් නොගෙනම පිවිසුනේ මිටියාවතට.. පාළු හුදෙකලා
මිටියාවත අතරින් ඔහු ඇවිදන් යන්න වුනා.. ඔහුට දැනුනේ තනිකමක් විතරයි.. යන්තමට තිබුන මීදුමට මිටියාවතේ ඈත කෙළවර වැහිලා ගිහින්.. ඒ හන්දම යන්න ඕන දුර කොච්චරද කියලවත් හිතා ගන්න ඔහුට පුළුවන් කමක් තිබුනේ නෑ.. ඒත් ඔහු ඇවිදන් ගියා..

මිටියාවත දිගේ හමාගෙන ආව හුළග ඔහුට බාධාවක් නොවුනත් ඒ අතරින් නොයෙක් කටහඬවල් ඇහෙන්න උනා.. ඔහු මොහොතකට නැවතුනා.. හාත්පසම තිබුනේ පාළු බව වුනත් ඔහු හැමදෙයක් දිහාම ඕන කමින් බැළුවා.. ඒ, මේ මිටියාවත ගැන කලින් අහලා තිබුන කතා නිසාම.. ටික වෙලාවකට ඒ කටහඬවල් ආයෙම ඇහුනේ නෑ.. ඔහු ආයෙම ගමන යන්න පිටත් වුනා..

ඔහුට දැනුනේ දැඩි වෙහෙසක්.. මිදුම හන්දම මිටියාවතේ නිමාවක් ඔහුට පෙනුනේ නෑ.. අඩුම තරමේ වතුර ටිකක් හොයා ගන්න තැනක්වත්.. ඉනේ තිබුන කඬුව පැත්තකින් තිබ්බ ඔහු මිටියාවතේ ටිකකට හාන්සි වුනා.. අනතුරක සේයාවක් නොතිබුන නිසාත් ගමනේ තිබුන වෙහෙසකර බවත් හන්දම තද නින්දකට වැටෙන්න ඔහුට ඒ තරම්ම වෙලාවක් ගියේ නෑ..

.......................

ඔහුට ආයෙම කටහඬවල් ඇහෙන්න වුනා.. යන්තමට ඇස් ඇරලා බලද්දි ඔහු ඉදිරියේ හිටියේ මහළු කාන්තාවක්.. ඇය ඔහු දිහාම බලාගෙන හිටියා..

" කවුද නුඹ?"

ඇය ඔහුගෙන් ඇහුවා.. පිළිතුරක් දෙන්න කලින් ඔහු ඈ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.. අනතුරක සේයාවක් ඇගෙන් නොතිබුන හන්දම ඔහු ඈට පිළිතුර දුන්නා..

" මම තෝමස්.."

" තෝමස්, මේ පාළු මිටියාවතේ මොකද කරන්නේ?"

" මම රන් වෙළඹ හොයාගෙන යනවා.."

ඇය ඔහු දිහා බැළුවේ විමතියෙන්.. එක මොහොතකට ඇගේ කලින් තිබුන සරළ පෙනුම වෙනස් වුනාද කියලා ඔහුට හිතුනා..

" රන් වෙළඹ?"

" ඔවු.."

" ඔබ කොහොමද රන් වෙළඹ ගැන දන්න්?"

" මම අහලා තියෙනවා.. ඒ ගැන කතා නොකරන කවුරුවත් ඉදියි කියලා මම හිතන්නේ නෑ.."

" එහෙනම් ඔබත් අනික් අය වගේම යන්නේ රන් වෙළඹව අයිති කර ගන්න.."

" ඔවු.."

ඇය මහ හයියෙන් හිනා වුනා.. ඒ හිනාවේ තිබුනේ මහා භයානක බවක්.. ඒක ඔහුට හොදින්ම තේරුණා.. ඔහු කෝකටත් කියලා  තමන් ලග තිබුන කඬුව අතට ගන්න බැළුවා.. ඒත් ඒක කලින් ඔහු තිබ්බ තැන තිබුනේ නෑ.. හොදින් බලද්දීයි ඔහු දැක්කේ  ඒක ඇයගේ දිගු සළුවෙන් වැහිලා තියෙනවා.. ඔහු ටික වෙලාවකට කලබල වුනා..

" එහෙනම් නුඹටත් වෙන්නේ අනිත් අයට වුන ඉරණමමයි.."

" ඒ මොකද්ද?"

ඔහු හිතේ තිබුන බය ඇයට නොපෙන්නා කතා කලා..

" රන් වෙළඹ ගැන කතා අහපු නුඹ ඒ ගැනත් අහලා නැති වෙන්න බෑ.. ජීවිතේ ගැන ආසාවක් තියෙනවනම් ආයෙම යන්න.. නුඹ තාමත් ප්‍රමාද නැහැ.." 

" නැහැ, මම මේ ගමන යායුතුයි.. ඒ හැම දෙයක් ගැනම මම දැනගෙනයි ආවේ.. ගමන දුශ්කරයි, අනතුරු වැඩියි.. ඔබ මොනවා කිවුවත් මට මේ ගමන නවත්තන්න පුළුවන් කමක් නෑ.."

" නුඹ ශක්තිමත්.. නුවණක්කාරයෙක්.. ඒ වගේම හිතුවක්කාරයෙක්.."

ඇය ඔහුට ලං වෙමින් කිවුවා.. ඔහු තවමත් හිටියේ තැතිගැන්මෙන්.. ඒ ඇය මොනවා කරයිද කියලා විශ්වාසයක් නොතිබුන හන්දා..

" මම ඔබට දෙයක් කියන්නම්.. නිම්නය අවසන් වුනාම ඔබට කිසිම දෙයක් හොයා ගන්න පුළුවන් වෙන්නේ නෑ.. ඒත් එතන යමක් තියෙනවා.. මේ නිම්නයට ආව හුඟක් දෙනෙක්ට මරණය උරුම වුනේ ඔතනදි.. නුඹ නුවණක්කාරයි.. ඒ නුවණ පාවිච්චි කරන්න.."

එක පාරම ආවේ තද හුළගක්.. ඒ හුළඟත් එක්කම ඇය මොහොතකින් ඔහු ළඟින් නොපෙනි ගියා.. ඇය හිටපු තැන් ඉතුරු වුනේ ඇඟේ සළුවට වැහුන ඔහුගේ කඬුව විතරයි.. ඈත මීදුම කලින් තිබුනට වැඩිය අඩුවෙන් පේන්න තිබුනේ.. ඔහු ඇවිදන් ගියා.. මිටියාවතේ අනෙක් කෙළවර හොයාගෙන..

ගමන පුරාවටම ඔහුගේ හිතට ආවේ ඇය කියපු වචන.. ඔහුට දැනුනේ සැරින් සැරේ එන හුළගේ සද්දෙත් එක්ක ඒවා ඔහුට ඇහෙනවා වගේ.. ගමන වෙහෙසකර වුනත් ඔහු අවසානයේ නිම්නයේ කෙළවරටම ආවා.. ඒත් ඔහු ඒ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.. ඇය හරි.. නිම්නය අවසානයේ කිසිම දෙයක් නැහැ.. කොටින්ම හැම දෙයක්ම නිම්නය අවසානයෙන් කෙළවර වෙලා.. ඈතින් තිබුනේ කලින් වගේම තද ම්දුමක් විතරයි..

පහල තිබුනේ පතුලක් නොපෙනන තරම් වුන ගැඹුරු ආඟාදයක්.. ඔහු ටික වෙලාවක් ඒ දිහා බහාගෙන හිටියා.. ඒත් මෙය අවසානයම නොවෙන බව ඔහුගේ හිතට දැනුනා.. ඒ එක්කම වගේ ඔහුගේ මතකයට ආවේ මැහැල්ල කියපු කතාව.. හුඟක් ඕන කමින් වට පිටාව දිහා බැළුවා වුනත් නිම්නයේ අවසානයෙන් එහාට යන්න තැනක් ඔහු දැක්කේ නෑ.. ඔහු ටිකක් වෙලා කල්පනා කලා..

ටිකකින් ඔහු දැක්කේ ඈතින් පියාඹගෙන එන ළිහිණි රංචුවක්.. උන් ඔක්කොම පියාඹගෙන ආවේ එකම පොදියට නොවුනත් උන් ආවේ එකම පැත්තකට.. නිම්නයේ ඔහු හිටගෙන හිටිය හිස් අවකාශය දිගේ උන් පියාඹගෙන ගියා.. ඒත් එක තැනකදී උන් පියාඹන උස වෙනස් කලා..  ඒ දිහා ඔහු හොදින්ම බලාගෙන හිටියා.. ළිහිණි රංචුව ඇයි එහෙම කලේ කියලා ඔහු කල්පනා කලා..

ඔහුට ටිකකින් කල්පනාවට ආවේ නිම්නයේදි හමුවුන මැහැල්ල කියපු
කතාව.. එහෙනම් ඇය කිවුවේ මේ ගැන වෙන්න ඇති කියලා ඔහුට හිතුනා.. ළිහිණි රංචුව ගමන වෙනස් කල තැනට ඔහු ලං වුනා.. නමුත් ඉවසිලිවන්ව.. ඇගේ උපදෙස ගැන ඔහුට තේරුණේ ඒ වෙලාවේ.. එතන යමක් තියෙනවා.. නොපෙනන පාළමක්.. ටිකකින් ඔහු පාළමට ගොඩ වුනා.. බොහෝම ඉවසිල්ලෙන් නොපෙනෙන පාළමේ හුඟක් කිට්ටුවෙන් පියවර තියාගෙන ඔහු ඇවිදන් ගියා.. කලින් මීදුම හන්දා නොපෙනුන දේවල් දැන් ඔහුට පේනවා.. ඒත් ඔහු ඇවිදන් ගියේ මහා ලොකු කන්දක තියෙන ගුහාවකට..

නොපෙනෙන පාළමෙන් හෙමීට ඇවිදන් එන්න ඔහුට හුඟක් වෙලා ගෙවුනා.. ඒත් ඒක ගැන ඔහු හිතුවේ නෑ.. ගුහාව අඳුරින් වැහිලා තිබුනේ.. ආලෝකයක් හොයාගන්න පුළුවන් කමක් ඔහුට තිබුනේ නෑ.. ඔහු ටික වෙලාවක් එහෙමම නැවතිලා හිටියා.. ඒ අඳුරට දෑස් හුරු වෙනකන්.. ඊට පස්සේ හෙමීට ඇවිදින්න පටන් ගත්තා..

ඔහුගේ දෙපාවලට දැනුනේ සීතලක්.. ඒ හෙමිහිට ගලාගෙන එන වතුර පහරකින්.. ඒක ටිකින් ටික වැඩි වෙනවා කියලා ඔහුට දැනුනත් ඒක දකින්න ඔහුට පුළුවන් වුනේ නෑ.. ඔහු ඉසරහටම ඇවිදන් ගියා.. ටිකකින් දෙපා වලට විතරක් දැනුන වතුර පහර ඔහුගේ මුළු ඇඟටම දැනෙන්න වුනා.. ඒ ඉහලින් වැටෙන වතුර පහර නිසා.. ඒක එතරම්ම තදින්ම නොවැටුන නිසා ඔහු ඇචිදන් එද්දී ඈතින් යන්තම් එළියක් දැක්කා.. ඔහු ඉක්මනට ඒ දිහාවට ඇවිදන් ආවා..

ගුහාව ඇතුලේ තිබුන අඳුරෙන් එළියට එද්දී ඔහු හිටියේ දිය ඇල්ලක් යට.. ගුහාව ඇතුලෙදී පවා ඔහුට දැනුනේ ඒ දිය ඇල්ලේ වතුර පහර.. ඒත් එක්කම වගේ ඔහු බැළුවේ ඒ අවට පරිසරය දිහා.. ඒ හැම දර්ශණයක්ම ඔහු කලින් දැකලා තිබුනට වැඩිය සුන්දර පරිසරයක්.. ඔහුගේ දෑස් පුදුම වුනා.. නොයෙක් වර්ගයේ ගස්, සත්තූ හැම දෙයකින්ම කිසිම අඩුවක් ඒ වටපිටාවේ තිබුනේ නෑ..

රන් වෙළඹ ඉන්න පරිසරය ගැන ඔහු අහලා තිබුන කතාවල කියවුනෙත් මේ දේවල්මයි.. එහෙනම් තමන් ඇවිත් ඉන්නේ හරි තැනට කියලා ඔහුට තේරුණා.. සුන්දරත්වය අමතක කරලා ඔහු රන් වෙළඹ හොයන්න ආයෙම වෙහෙසුනා.. රූස්ස ගස් අතරින් ඔහු ආයෙම දුරක් ඇවිදන් ආවා.. ටිකකින් ඔහුට ඇහුනේ අශ්වයින් කෑ ගහන හඬක්.. ඒ රන් වෙළඹ ඉන්න තැන වෙන්න ඇති කියලා ඔහුට හිතුනා.. ඔහුගේ ගමන තව ටිකක් ඉක්මන් වුනා..

අශ්වයෝ කෑ ගහපු දිහාව හොයන් එද්දී ඈතින් දකින්න හිටියේ කැළෑ අශ්වයෝ රන්චුවක්.. එතන අශ්වයෝ සිය ගානක් හිටියා.. ඔහු කැළේ ගස් අතරට මුවා වෙලා ඒ දිහා බලාගෙන හිටියා.. වැඩි වෙලාවක් යන්න කලින් කළබල වුන අශ්වයෝ රංචුව එතනින් ඈත් වෙලා දුවන්න පටන් ගත්තා.. හැබැයි ඒ හුඟක් දුරකට නෙමෙයි.. ඒ එක්කම ඔහු දැක්කේ තැනිතලා බිමේ තනිවුන රන් වෙළඹව..

ඔහුගේ දෑස් සතුටින් මත් වුනා.. ඈට තිබුනේ රන් පාට දිදුළන හමක්.. ඔළුවෙයි වළිගයෙයි තිබුන දිගට වැඩුන රන් කෙස් මද හුළගට යන්තමට පා වෙමින් තිබුනා.. වෙළඹ ඇවිද්දේ ටිකක් අපහසුවෙන්.. ඈට අනික් අශ්වයෝ වගේ ඈතට දුවලා යන්න ඕන කමක් තිබුනේ නෑ.. ටිකක් දුර හෙමින් ඇවිද්ද ඇය තැනිතලාවේ වැතිරුනා.. ඔහු මේ හැම දෙයක්ම දිහා කැළේට වෙලා බලාගෙන හිටියා..

ගෙවුනේ ටික වෙලාවයි.. ඔහු තීරණයක් ගත්තා.. ඒ ඇය ලගට යන්න.. ගිහින් තමන්ගේ අරමුණ ඉටු කරන්න ගන්න.. ඇයව තමන් සතු කරගන්න.. ඔහු කැළෙන් නික්මුනා.. ඔහු වෙළඹ හිටි තැනට ලං වුනේ හෙමින්.. ඈට නොදැනෙන විදිහට.. ඒත් ඇයට ඒක දැනුනා.. නමුත් ඇය කළබල වුනේ නෑ.. වටේ හිටිය අනෙක් අශ්වයෝ ටිකක් කළබල වුනත් ඇය නොසංසුන්ව බලාගෙන හිටියා..

ඇගේ දෑස් වල තිබුනේ දුර්වල පෙනුමක්.. ඈතින් දැක්ක තරම් සුන්දරත්වයක් ඈට නැහැයි කියලා ඔහුට හිතුනා.. කොටින්ම ඇය වියපත් වෙලා.. ඇයව නතු කර ගන්න ඒ තරම්ම මහන්සියක් වෙන්න ඕන නැහැයි කියලා ඔහුට දැනුනා.. ඒත් ඔහු මොහොතකට නැවතුනා..

ටිකකට කලින් තිබුන සතුට ඈතට ගිහින් වගේ ඔහුට දැනෙන්න වුනා.. ඔහු බලාගෙන හිටියේ අඩවන් වුන ඇගේ දෑස් දිහා.. ඇය වියපත්.. මියැදෙන්න ලඟයි..

" තෝමස්.."

එක පාරම ඇහුන කටහඬින් ඔහු ටිකක් තැති ගත්තා.. ඔහු පිටුපසින් හිටියේ නිම්නයේදි ඔහුට හමුවුන මැහැල්ල.. ඇගේ පෙනුම කලින් තරම්ම ඔහුගේ හිතට බයක් ගෙනාවේ නැහැ..

" එහෙනම් ඔබ රණ් වෙළඹ හොයා ගත්තා.."

ඇය වෙළඹට ලං වෙන අතරේ කිවුවා.. ඇය හෙමිහිට වෙළඹගේ හිස අතගෑවා..

" හ්ම්ම්.."

" එහෙනම් ඔබ සතුටු වෙන්න ඕන දැන්.."

ඇය කෙලින්ම බැළුවේ ඔහුගේ දෑස් දිහා.. ඇත්තටම ඔහු හිටියේ සතුටින් නෙමෙයි..

" නැහැ.."

" ඇයි?"

" මට ඕන වුනේ රණ් වෙළඹ මගේ කර ගන්න.. ආඩම්බරෙන් මගේ ලග තියා ගන්න.. ගමන් බිමන් යන්න.. එතකොට මිනිස්සු මට ගෞරව කරාවි.. සලකාවි.. මට හොද පවුලකින් විවාහයක් කර ගන්න පුළුවන් වේවි.. ඒත්, දැන් ඒ හැම දෙයක්ම කරන්න වෙන්නේ නෑ.. ඇය හුඟක් වියපත්.."

" ඔබට පුළුවන් ඇයව මරණ්න.. මෙච්චර කාලයක් ඇයව ලබා ගන්න ආව අයගෙන් ගැලවුනත් දැන් ඇයට එහෙම කරන්න බෑ.. ඉතින් ඔබට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්.. ඔබේ අසිපතෙන්ම.."

ඇය ඒ වතාවේ කතා කලේ ආවේගීව.. ඒත් ඔහුට එහෙම කරන්න තරම් ඕන කමක් තිබුනේ නෑ..

" නැහැ.."

ඔහු ආයෙම යන්න හැරුණා.. ඇයව මරණ්න තරම් රුදුරු වෙන්න පුළුවන් කමක් ඔහුට තිබුනේ නෑ.. ඔහුට තිබුනේ සංවේදි හදවතක්..

" තෝමස්.."

ඇය ඔහුව නතර කලා.. වියපත් මැහැල්ලගෙන් ඒ වතාවේ ඇහුණේ කරුණාබර කටහඬක්..

" ඔබ නුවණක්කාරයි.. ඒක ඔබ මේ ගමනෙදි ඔප්පු කරලා පෙන්නුවා.. බලන්න ඔබ ආව දුර.. හැමෝටම කරන්න බැරි දෙයක් ඔබ කලා.. ඔබ රණ් වෙළඹ හොයාගත්තා.. ඒ ගැන ඔබ ආඬම්බර වෙන්න.. ඒ එක්කම මේකත් හිතේ තියා ගන්න.. ඔබට මේ ගමෙනෙදි කොච්චට බාදක මුණ ගැහුනද? ඔබ ඒ හැම එකක්ම ජය ගත්තා.. ඒ ජයග්‍රහන වලට හේතුව ඔබ.. රන් වෙළඹ ඉන්නේ ඔබ තුලමයි.. ඇයව හොයන්න මීට වඩා දුර දුවන්න එපා.."

ඔහු ආපහු හැරිලා බලද්දී රන් වෙළඹත් මැහැල්ලත් නොපෙනී ගිහින්.. ඒ අවට තිබුනේ ලස්සන ගස් කොළන් විතරයි.. ඔහුගේ හිතට සැහැල්ලුවක් දැනුනා.. තවත් වෙලා එතන කාලට ගෙවා දාන්න ඔහුට ඕන වුනේ නෑ.. ඔහු ආයෙම එන්න පිටත් වුනා..






Wednesday, 21 May 2014

අතීතයෙන් දවසක



උදෑසනනින්ම ලැබුන ආරාධනාව මේසයේ කෙලවරක එහෙම්මම තියෙද්දී මම ඒ දිහා බලාගෙන හිටියේ හැඟීමකින් තොරව.. කැළඹුන සිතුවිලි අතොරක් නැතුව ඒ මේ අත දුවද්දී හුදෙකලා වුන හිතේ ගැස්ම වෙනදටත් වඩා වැඩියි කියලා හොදටම දැනුනා.. මම හිටියේ කල්පනාවක.. ආරාධනාව දිහාත් මතකය අතරෙත් ඉබාගාතේ දුවන හිතට අද වෙහෙසකර දවසක් වුනත්, හිත ඒක නතර කරන්නෙම නැහැ..

මේසය ගාවට ඇද ගත්ත පුටුවක ඕනාවට එපාවට වගේ වාඩි වුනත් මට ඒ දිහා නොබලා, නොහිතා ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. මම හැම විනාඩියකම වගේ හිතුවා.. ආරාධනාව සිය වතාවකට වැඩිය කියවන්න ඇති.. ඒ, මම යන්න ඕන එතනටමද කියලා දැන ගන්න.. මතකය, මාව හැම දේකින්ම පස්සට ඇදලා ගන්නවා.. මම කැමති වුනත් නැතත්..

" මහත්මයා ඔබේ කුළි රථය ඇවිත්.."

සේවකයගේ හඬට මම ටිකකට කල්පනාවෙන් මිදුනා.. අකමැත්තෙන් වුනත් මේසේ කෙලවර තිබුන ආරාධනාවත් අරගෙන ගෙදරින් එළියට ආවේ හිතේ තිබුන කැළඹුමත් එක්කම.. නිතරම මට ඕන වුනේ මේ දෙයින් පලා යන්න.. ඒත් මොකද්දෝ හේතුවකට මට එහෙම කරන්න පුළුවන් වුනේ නෑ.. කුළි රථය හෙමින් තම ගමනාන්තය වෙත යන ගමන ඇරඹුවා.. මගේ හිතේ අනතුරක සේයාවක් රජයන්න ඒ තරම්ම වෙලාවක් ගියේ නෑ.. ඒක හරියටම මීට අවුරුදු හතලිහකට කලින් දැනුනා වගේම හැඟීමක්..

.............................

" මචං අද රෑ කොහේද යන්නේ?"

හවස් වී ගෙන එද්දී කාමරේට වෙලා හිටිය හැමෝගෙන්ම වගේ ඉබේම ඇහෙන ප්‍රශ්ණේ ඒක..  සරසවී ජීවිතේ හුඟක් වෙලාවට ගෙවුන ලස්සනම මතකය එකතු වෙලා තියෙන්නේ මේ ගෙවන රැයත් එක්ක..

" වෙනදත් ගමනක් ගියේ ප්ලෑන් කරලද බං, ඔන්න ඔහේ යමන්.."

" හරි එහෙනම් ෆ්‍රෑන්ක්ගේ බාර් එකෙන් බීර බීලා ඔහේ ඇවිදලා එමු.."

" කෙල්ලන්නටත් එන්න කියනවද?"

ස්ටෙෆාන් ඒ යෝජනාව කරද්දී හැමෝගෙම මුහුණු වල මැවුන හිනාවට හුඟක් හේතු තිබුනා.. බීර වලින් මත් වුන රාත්‍රියකට කාන්තාවන් එකතු වුනාම ඒ රැය රාගික වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ..

" හරි එන්න කියමු.."

හවස හත වෙද්දි නේවාසිකාගාරයෙන් පැන ගත්ත අපි ෆ්‍රෑන්ක්ගේ බාර් එක ලගට එද්දි කෙල්ලො ටික අපිටත් කලින් ඇවිත්.. මටයි ස්ටෙෆාන්ටයි ඇරෙන්න වෙන කාටවත් ආදර සබඳතාවක් තිබුනේ නෑ.. ඒත් සමහර හැඟීම් මිතුදමකට එහා යන වෙලාවල් නොතිබුනාමත් නෙමෙයි..

ඇය මාව සිපගත්තා.. මාත් ඒ පහසට කැමති නිසා හුඟක් වෙලා ඒ හාදුව විදගත්තා.. ඇය ජෝර්ජියා.. ටිකකින් අපි හිටියේ ෆ්‍රෑන්ක්ගේ බාර් එක ඇතුලේ.. අපි නිතරම ගොඩවදින එකම බාර් එක ෆ්‍රෑන්ක්ගේ හන්දා ඔහුත් අපිත් අතර තිබුනේ කිට්ටු මිතුදමක්.. ඉල්ලන්නත් කලින්ම අපේ ඇනවුම ගැන හොදින්ම දැනගෙන හිටිය ඔහු, බාර් එකේ කෙලවරම තිබුන අපේ සුපුරුදු මේසයට අපිට ඕන තරම් බීර ගෙනවිත් තිබ්බේ ටික වෙලාවක් සුපුරුදු කතාබහේ යෙදෙන ගමන්ම..

රෑ එකොලහ විතර වුනත් අපි තාමත් හිටියේ ෆ්‍රෑන්ක්ගේ බාර් එකේ බීර
රස විදින ගමන්.. කෙල්ලෝ කීපදෙනෙක් ආයෙම නේවාසිකාගාරයට ගියා වුනත් ජෝර්ජියා වගේම ස්ටෙෆාන්ගේ පෙම්වතියත් අපිත් එක්ක ඒ වෙද්දිත් බාර් එකේ හිටියා.. ඔවුන් මදුවිතින් තරමක් මත් වෙලා හිටියා වුනත් නේවාසිකාගාරයට යන්න තරම් ඔවුන්ට ඕන කමක් තිබුනේ නෑ.. තව ටික වෙලාවක් එතනටම වෙලා හිටිය අපි බර් එකෙන් එලියට එද්දී මැදියමට කිට්ටු වෙලා.. අපේ එනෙක් යාළුවෝ නේවාසිකාගාරයට යද්දී මාත් ස්ටෙෆානුත් අපේ පෙම්වතියන් එක්ක ඇවිදන් ආවේ ඔවුන්ගේ නේවාසිකාගාරය දිහාවට..

අඳුරත්, මදුවිතත්, හීතලත් අපේ හැඟූම් වලට අත වනනවා.. තැනින් තැන නැවතිමෙන් හාදු වලට ඉඩ දෙමින් ආව ගමනේ ඊට වඩා දෙයක් ඇත්තටම අපි බලාපොරොත්තු වුනා.. අපි මොහොතකට නැවතුනේ හැමදාම වගේ පහුකරන් යන විශාල මන්දිරය ලග.. වෙනදටත් කලාතුරකින් විදුළි පහනක් දැල්වෙන මන්දිරය අද තිබුනේ අඳුරේ..

" මයිකල් අපි යමුද?"

ස්ටෙෆාන් මට ඒ යෝජනාව ගෙනාවා.. ඒ ගැන වැඩි විශ්වාසයක් නොතිබුනත් හිතේ ඒ වෙලාවේ තිබුන කැමැත්තත් එක්ක මට ඒකට විරුද්ධ වෙන්න තරම් හේතුවක් තිබුනේ නෑ.. මම බැළුවේ ජෝර්ජියා දිහා.. ඇය වුනත් හිටියේ ඒකට කැමැත්තෙන්..

" හරි යමු.."

අඟුළු දාලා තිබුන ගේට්ටුවෙන් ඇතුලට යන්න විදිහක් නොවුනත් ඊට ටිකක් එහාට වෙන්න තිබුන පුංචි අස්සකින් රිංගලා යන්න ස්ටෙෆාන්ට පුළුවන් වුනා.. අපිත් ඔහුවම අනුගමනය කලා.. මන්දිරය අවට හුඟක් උසට වැඩුන ගස් හන්දම රාත්‍රියේ තිබුන අන්ධකාරය තවත් වැඩි වෙලා පෙනුනත් අවට පරිසරය දිහා උනන්දුවෙන්න තරම් ඕන කමක් අපිට තිබුනේ නෑ.. මට ඕන වුනේ ජෝර්ජියා එක්ක තනිවෙන්න.. ස්ටෙෆානුත් එහෙමයි.. ඔහු හිටියේ කැමීලියාගේ ඉන වටේ අත දාගෙන ඇයව හුඟක් ලගට කරගෙනම..

අන්ධකාරය අතරින් අපි ටිකක් දුර ඇවිදන් ගියා.. වටේම තිබුනේ පාළු මූසල කමක්.. අපි මන්දිරය කිට්ටුවටම ආවත් ඒ අතරින් කිසිම ආලෝකයක් වත් කවුරුවත් ඉන්නවා කියන හැඟීමක් වත් අපිට ආවේ නෑ.. ඒ තරමටම අවට හැමදේම නිහඬයි..

" ස්ටෙෆාන්, අපි ඔය පැත්තට ගියා කියලා වැඩක් තියෙනවද?"

මන්දිරේ ප්‍රධාන දොරටුවට ටිකක් එහායින් තිබුන පොඩි දොරක් ලග නැවතුන ෆ්ටෙෆාන් ඒක විවර කරන්න උත්සාහ කරද්දී මම ඊට බාදා කලේ අපිට වුවමනා වුනේ ඒ දේම නොවුන හන්දා..

" අපි උත්සාහ කරලා බලමු මයිකල්.."

ස්ටෙෆාන්ට මට ඇහුම්කන් දෙන්න තරම් ඕන කමක් තිබුනේ නෑ.. ඔහු දිගටම ඔහුගේ වැඩේ නිරත වුනා.. අවසානයේ දොර විවර වෙන සද්දෙත් එක්ක ඔහු සාර්ථකත්වයේ සිනහවක් අපි දිහාවට යොමු කලේ මන්දිරයට ඇතුළු වෙන ගමන්ම.. අන්දකාරයත් එක්ක අපිට දකින්න ඒ තරම්ම දෙයක් නොතිබුනත් ඒ මොහොතේ දැනුන හැඟීම අපිට තේරුම් ගන්න එච්චරම පුළුවන් කමක් තිබුනේ නෑ.. නාස්පුඬු අතරට සැනෙකින් හමාගෙන ආව දුඟද එක මොහොතකට අපිට අපේ අරමුණ අමතක කලා..

ස්ටෙෆාන් කැමීලියා එක්ක අපෙන් වෙන් වෙලා ඇවිදන් යද්දී මම ජෝර්ජියාගේ අතින් අල්ලගෙන වෙනතකට ඇවිදන් ආවේ ඇයත් එක්ක තනි වෙන්න.. පියවර අතර බුමුතුරුණූ වලට යටින් තිබුන ලී වල සිහින් හඬ පාළු නිහැඬ්යාව අතරින් ඇහෙද්දී රාඟික හැඟීම් ටිකෙන් ටික හිතින් ඈතකට දුවලා යන්න පටන් අරන්.. අපි තනිවුනා.. ඒත් ඒ කලින් හැඟීමෙන්ම නෙමෙයි..

" මට මෙතන මහ අමුත්තක් දැනෙනවා.."

හැමදේම අමතක කරන් මම හාදුවක් දෙන්න උත්සාහ කලත් ජෝර්ජියා ඇගේ සිතුවිළි අවදි කලා..

" මටත්.. ඒත් කමක් නැහැ.."

මම ඇයව සිපගත්තා.. මොහොතකින් දෙකකින් හිතේ තිබුන හැඟීම් ආයෙමත් ඇදලා ගන්න අපිට පුළුවන් වුනා.. මම ඇයව එක දිගටම සිපගත්තා.. ඇගේ නිතඹ පිරිමදින අතරේ මම ඇය තුලට තවත් ලං වෙන්න උත්සාහ කලා.. එක මොහොතකට අපිට ඇහුනේ අපේ සුසුම් ගැටෙන සද්දේ විතරයි.. අපි එහෙමම ටික වෙලාවක් ඉන්න ඇති.. ඒත් හදිසියේම ඇහුන කෑ ගැහිල්ල අපිව ආයෙම පියවි ලෝකයට අරන් ආවා..

ඒ කැමීලියා.. මට ඒක හොදටම විශ්වාසයි.. අඳුර තුලින් ඒ හඬ ඇහුන දිහාවට ඇවිදන් යන්න අපි උත්සාහ කලත් ඒක ඒ තරම්ම ලේසි දෙයක් වුනේ නෑ.. මම මගේ සාක්කුවේ තිබුන ලයිටරය දල්වා ගත්තේ පොඩිම හරි ආලෝකයක් බලාපොරොත්තුවෙන්.. තව වතාවකට කෑ ගැහිල්ලක් ඇහුනේ නැතත් ඉදහිට අහුන කෙදිරිල්ල අපිට පාර හොයාගන්න උදවුවක් වුනා..

" ස්ටෙෆාන්, කැමීලියා.."

මම ඔවුන්ට කතා කලා.. ඒත් නිහැඬියාව ඇරෙන්න අපිට වෙන කිසිම පිළිතුරක් ලැබුනේ නෑ.. ටික දුරක් ඒ විදිහටම ඇවිදන් යද්දී ලෙයින් නැහැවුන කැමිලියා අපි දිහා බලාගෙන හිටියේ බයෙන් තැති අරගෙන.. ඇගේ දෑස් වල තිබුන භීතියත් එක්ක ඈ ඔහේ බලාගෙන හිටියා ඇරෙන්න කිසිම දෙයක් කතා කරන්න ඇයට පුළුවන් වුනේ නැහැ..

" කැමීලියා, කෝ ස්ටෙෆාන්?"

ඇයට කිසිවක් කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. කීප වරක්ම ඇගෙන් ස්ටෙෆාන් ගැන ඇහුවත් ඇය නිහඬවම බලා ඉදියා ඇරෙන්න කිසිම පිළිතුරක් දුන්නේ නෑ..ජෝර්ජියා අවසානයේ ඇගෙන් උරහිස් වලින් තද කරලා ස්ටෙෆාන් ගැන ඇහුවේ ඇගෙන් පිළිතුරක් අවශ්‍යම වුන නිසා.. ඇය නිහඬවම අත දිගු කලේ අසල තිබුන කාමරයක් දිහාවට.. අඳුරත් එක්ක ඒ තරම්ම හොදට නොපෙනුනත් ඒ දිහාවට හෙමින් ගමන් කලේ ඇයට කියා ගන්න බැරි දේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් කමක් නොතිබුන නිසා..

ඒ අඳුරු කාමරය ඇතුලේ බලාපොරොත්තු වුන විදිහේ කිසිම දෙයක් තිබුනේ නෑ.. කොටින්ම ස්ටෙෆාන්.. අතේ තිබුන ලයිටරේ එළියෙන් කාමරේ පුරාවට යාන්තමින් බැළුවත් කැමීලියා භීතියෙන් පෙන්වන්න උත්සාහ කල කිසිම දෙයක් එහි තිබුනේ නෑ.. මම අපහු හැරුනා.. ජෝර්ජියා හිටියේ කැමීලියට වැඩිය පියවර කීපයක් ඉස්සරහින්.. හිස දිහාවෙන් ගලාගෙන එන රුධිරය කැමිලියාගේ මුහුණේ හරි අඩක් වසාගෙන තිබුනා..

ජෝර්ජියා මගේ ලගට පියවර දෙක තුනක් ඉස්සරහට ආවේ ඇගේ හිතටත් බයක් දැනුන නිසා වෙන්න ඇති.. ඒ අතරෙම මම කල්පනා කලේ ස්ටෙෆාන් ගැන.. ඔහුට මොකද වුනේ? කිසිම දේකට හරි හැටි පිළිතුරක් කැමීලියගෙන් නොලැබෙද්දී හිතට දැනුනේ මහා කුතුහළක්.. මම ඒ එක්කම වගේ බැළුවේ කැමීලියා දිහා.. ඇගෙන් මම දැක්කේ අප්‍රාණික බවක්.. එක මොහොතකටවත් නොගැස්සෙන් දෑස් වලින් ඈ බලාගෙන හිටියේ කලින් පෙන්නපු කාමරය දිහා..

ජොර්ජියා මගේ අත තද කර ගත්තේ තව දුරටත් අපි මෙතන රැදිය යුතු නැහැයි කියලා අඟවන ගමන්.. ඇය හරි කියලා මොහොතකට මට හිතුනා.. ඒත්, ස්ටෙෆාන්? මම ආයෙමත් කැමීලියා දිහා බලද්දී හිත ගැස්සිලා ගියේ ඒ වෙලාවේ දැක්ක මම කොහෙත්ම බලාපොරොත්තු නොවුන දර්ශණයෙන්.. අඳුරේ වුනත් කැමීලියා පිටිපස්සෙන් හිටගෙන හිටිය ඒ මහළු රුව පිරිමි මගේ හිතටත් ඇති කලේ මහා බයක්..

සුදුමැළි වුන මුහුණත් වියපත්ව වැහැරුණු මුහුණත් දැක්ක ජෝර්ජියා මහ හයියෙන් කෑ ගහද්දීම, කැමීලියාගේ පපුව සිදුරු කරගෙන මතුවුන පිහි තුඩ ඇය එච්චර වෙලා හිටිය වේදනාවට ලබා දුන්නේ කුරිරු අවසානයක්.. ඔහු ඊට පස්සේ බැළුවේ අපි දිහා.. එතනින් පලා එනවා ඇරෙන්න වෙන ගන්න තීරණයක් මටවත් ජෝර්ජියාටවත් තිබුනේ නෑ.. ස්ටෙෆාන්, ඔහු කොහේද?

.............................

" මහත්මයා, ඔබට එන්න ඕන තැනට අපි ආවා.."

ඒ කටහඬට මම ටිකක් ගැස්සුනා.. ඒ මම හිටියේ අතීතයේ අමතක කරන්නම බැරි මතකයක ආයෙමත් ගිලෙමින් නිසා වෙන්න ඇති.. කුළි රථයෙන් නික්මුන මම බැළුවේ ඒ මන්දිරය දිහා.. එදා අඳුරින් වැහිලා තිබුන මන්දිරයේ හැම තැනක්ම අද විදුළි එළියෙන් ආලෝක වෙලා.. මම එක මොහොතකට ඒ දිහා බලාගෙන හිටියා.. පිටවීමේ ගේට්ටුවෙන් කුළි රථය නික්මිලා යද්දී මම පියවර කීපයක් ඇවිදන් ගියේ මන්දිරය දිහාවට.. කෝට් සාක්කුවේ තිබුන ආරාධනාව අතට ගත්තත් මන්දිරේ එදා වගේම තිබුන පාළුව හිතට ගෙනාවේ මහ අමුත්තක්..

යන්තමට ඇහෙන සංගීතයක් නොවෙන්න මන්දිරය එදා වගේම මූසල ගතියක් ගන්න ඉඩ තිබුනා.. උත්සවයක් වුනත් කවුරුවත් පෙන්න නොහිටිය එක මගේ හිතට කුතුහලයක් වුනත් මම මන්දිරය දිහාවට ඇවිදන් ගියා.. ඒ හිතේ තිගැස්මත් එක්ක.. උදේ ඉදන්ම හිතට දැනුන ප්‍රශ්ණය මට ආයෙම දැනෙන්න වුනා.. අන්තිම වතාවට මේ මන්දිරේදි මුහුණ දුන්න අත්දැකීමත් එක්ක කවුරු මේ වගේ ආරාධනාවක් කලාද කියන එක ගැන හිතේ තිබුනේ දෙඟිඩියාවක්..

මන්දිරේ ප්‍රධාන දොර ලග හිට ගනිද්දී ඉබේම වගේ මගේ ඇස් ඇදිලා ගියේ එදා ස්ටෙෆාන් අරින්න උත්සාහ කරපු දොර දිහාවට.. ඒක අදටත් එහෙමම තියෙනවා.. එදා වගේමයි.. තරමක් වියපත් වුන හොදින් හැද පැළදගෙන හිටිය සේවකයෙක් දොර ගාවදිම මාව පිළිගත්තේ හුඟක් ආචාරශීලිව වුනත් මන්දිරයට ඇතුළු වෙද්දි ඒ බය එහෙමම දැනෙමින් තිබුනා..

" ඔබ ආලින්දයේ අසුන් ගන්න.. මම මහන්තමයාට එන්න කියන්නම්.."

" හොදමයි.."

මට ඔහුගෙන් කළබලයෙන් අහලා දැන ගන්න ඕන කරපු ප්‍රශ්ණ බොහෝමයක් තිබුනත් ඒවා හිතේම තද කර ගත්තේ ඒකට මේ වෙලාව සුදුසු නැහැයි කියලා හිතුන නිසා.. ඇත්තටම මට ආරාධනා කරපු ඔහු කවුරු වෙන්න ඇත්ද? ආරාධනාවේ තිබුන නම හොදින් මතකයට ගේන්න උත්සාහ කලත් මම එතනදි අසාර්ථක වුනා.. ඉතින් මට සිදු වුනේ බලාගෙන ඉන්න.. ඔහු එනකන්..

එදා අඳුරට වැහිලා තිබුනට වැඩිය තේජවන්ත බවක් අද මන්දිරය ඇතුලේ තිබුනා.. විශාල බුමුතුරුණු, සුවපහසු සෝෆා වගේම තැනින් තැන දැල්වුන ඉටිපහන් ආලින්දයට ගෙනාවේ එක්තරා විදිහක සුන්දරත්වයක්.. ඒත් ඒ සුන්දරත්වයට වැඩියෙන් මතකය අතර හොල්මන් කලේ ඒ අමිහිරි අතීතය..

ආලින්දයට මදක් නුදුරෙන් තිබුන ලී තරප්පු පෙලේ අඩි ගැහෙන හඬට මම ඒ දිහාවට හැරිලා බැළුවා.. හොද යුරෝපීය ඇදුමින් සැරසුන මැදිවියේ කෙනෙකු තරප්පු පෙල බැහැගෙන ආවේ කෙලින්ම මං දිහා බලාගෙනම.. මමත් ඕනෑකමින් ඔහු දිහා බැළුවා.. ඒ, කලින් වතාවේ මං දැක්ක ඒ මහළු රුවමද කියලා සැක හැර දැන ගන්න.. වාසනාවකට වගේ මේ ඔහු නෙමෙයි.. එක මොහොතකට මට සැනසුම් සුසුමක් පිටවුනා..

ඔහු කෙලින්ම ඇවිත් නැවතුනේ මගේ ලග.. තැනින් තැන සුදු වුන රැවුලත්, කණ්නාඩි යුගලත් අතරින් මම ඔහුව අඳුනගන්න උත්සාහ කලා.. ඔහුගේ මුහුණේ තිබුනේ සිනහවක්..

" මයිකල්, උඹ හුඟක් වයසට ගිහින්.."

" දෙවියනේ.. ස්ටෙෆාන්, උඹ?"

මම ස්ටෙෆාන් දිහා බලාගෙන හිටියේ හොල්මනක් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමකින්.. ඔවු, ඒ ස්‍ටෙෆාන්මයි.. ඒත් මේ හොල්මනක් නෙමෙයි.. ඔහු හොදින් වෙනදා සුපුරුදු සිනහවෙන්ම මං දිහා බලාගෙන හිටියා.. මම සතුටු වෙන්නද, පුදුම වෙන්නද කියන දෙගිඬියාවෙන් ඔහු දිහා බලාගෙන ඉද්දී කටුක අතීතත් එක්ක මට ස්ටෙෆාන් ගැන ආවේ තරහවක්..

" උඹ මෙච්චර දවසක් කොහෙද හිටියේ? උඹට මොකද උනේ?"

කේන්තිය හන්දම මම ස්ටෙෆාන්ගේ කෝට් එකේ කොලර් එකෙන් තදින් අල්ල ගත්තේ ආයෙම වතාවකට ඔහුට මගෙන් ඈතට යන්න ඉඩ නොදෙන්න හිතාගෙන.. මම කොච්චර කේන්තියෙන් කෑ ගැහුවත් ස්ටෙෆාන්ගේ මුහුණේ තිබුනේ පරණ පුරුදු හිනාවම විතරයි..

" යාළුවා, අපි හෙමීට කතා කරමු.. ඒ හැම දෙයක්ම කියන්න තමයි මම අද උඹට එන්න කිවුවේ.."

" මොනවද? කියපං මට.. මට හැම දෙයක්ම දැන ගන්න ඕන.."

" අපි ඉස්සෙල්ලම හොද වයින් ටිකක් බීලා ඉමු.. තාම මේ රාත්‍රිය පටන් ගත්තා විතරනේ.."

ස්ටෙෆාන් සැහැල්ලුවෙන් කතා කරද්දී මගේ හිතේ තිබුන කේන්තිය තවත් වැඩි වුනා.. අවුරුදු හතලිහක කටුක අතීතයක් ආයෙම ඇස් ලගට ආව මිනිහෙක්ට ඒ වගේ සැහැල්ලුවෙන් හැසිරෙන්න බෑ.. මට දැනුනේ අන්න ඒ වියරුව..

" ස්ටෙෆාන්, කතාකරපං.. එදා රෑ මොකද උනේ?"

ස්ටෙෆාන් මට ලං කරපු වයින් වීදුරුව ගන්නවත් ඕන කමක් මට තිබුනේ නැහැ.. මම බලාගෙන හිටියේ ඔහු කතා කරනකන්..

" මම හැම දෙයක්ම කියන්නම් මිත්‍රයා.. හැම දෙයක්ම මුල ඉදන් කියන්නම්.."

ඔහු සැහැල්ලුවෙන් ආලින්දය දිගේ ඇවිදන් යද්දී මාත් ඔහුව අනුගමනය කලා.. ටික දුරක් ඇවිත් ස්ටෙෆාන් නතර වුනේ ඒ අඳුරු කාමරය ලග.. තාමත් එතන හුඟක් දේවල් වල කිසිම වෙනසක් වෙලා නෑ කියලා බැළු බැල්මටම කියන්න පුළුවන්.. මම බැළුවේ ස්ටෙෆාන් දිහා.. ඒ මට දැනගන්න ඕන කරන දේ ඔහුගෙම වචන වලින් පිට වෙනකන්..

" එදා මේ මන්දිරයට එනකන් හැම දෙයක්ම උඹට මතක ඇති.. මම හිතන්නේ නෑ ඒක එහෙම ලේසියෙන් අමතක වෙන මතකයක් කියලා.. ඒ හැම දෙයක්ම උඹ දන්නවා වුනත් නොදන්න තව එක කාරණාවක්  තියෙනවා.."

" ඒ මොකද්ද?"

" ඒ හැම දෙයක්ම මම කලේ සැළසුමක් ඇතුව.."

" ඒ කියන්නේ අපි මේ මන්දිරයට ආව එකවත්, මේක ඇතුලේ විනෝද වුන එක එකවත්, කැමීලියාගේ මරණයවත් අහම්බයක් නෙමෙයි කියන එකද?"

" ඔවු උඹ හරි.."

ස්ටෙෆාන් ගැන තිබුන වෛරය මොහොතින් මොහොත වැඩි වෙන්න ඒ වචන ටිකම හොදටම ඇති.. ඒත් මම අහන් හිටියා.. ඔහුගේ කතාව ඉවර වෙනකන්..

" එදා අපි හැමෝම බීර වලින් මත් වෙලා හිටියත් මම හිටියේ හොද සිහියෙන්.. මට ඕන වුනේ මම සැළසුම් කරපු තැනට එන්න විතරයි.. මම එතනදී සාර්ථක වුනා.. උඹත් ජෝර්ජියත් හිටියේ හැඟීම් වලට වහල් වෙලා.. ඒක මගේ වැඩ වලට මම බලාපොරොත්තුම වුන දෙයක්.. උඹ හිතනවද මේ මන්දිරේ දොර එදා අහම්බෙන් ඇරුනා කියලා.. නැහැ.. ඒක කලින් ඉදන්ම ඇරලයි තිබුනේ.. උඹලා වෙන් වුනාට පස්සේ මාත් කැමීලියත් ආවේ මේ කාමරයට.. කැමීලියා හිටියේ ආදරෙන් මත් වෙලා.. ඒත් මම එහෙම නෙමෙයි.. මම බලාගෙන හිටියේ මගේ අවස්ථාව එනකන් විතරයි.. පළවෙනි වතාවෙදි මගේ උත්සාහය අසාර්ථක වුනා.. කැමීලියගේ කෑ ගැහිල්ල හන්දා උඹලා එතනට ඇවිත් මගේ සැලැස්ම අවුල් කරපු එක විතරයි වුනේ.. ඊට පස්සේ මට ගන්න තිබුන එකම සැලැස්මට මම ගියා.."

" එතකොට ඒ මහළු මුහුණක් දාගෙන හිටියේ උඹ.."

" ඔවු.."

"ඒත් උඹ ඇයි එහෙම කලේ?"

" උඹට මතකද ඇලීසව.. ඒ වෙද්දී මම ඇලීසට ආදරේ කරන්න පටන්
අරන් තිබුනේ.. ඇත්තටම ඒක බැදීමක් නෙමෙයි.. මට ඕන වුනේ සල්ලි.. උඹ දන්නවා ඒ දවස් වල මගේ ජීවිතය.. මේ මන්දිරය දවසක ඇලිසට අයිති වෙන්න තියෙන එකක් කියලා මම අහම්බෙන් වගේ දැන ගත්තා.. ඊට පස්සේ මම ඇලිසට ආදරේ කලා.. මම හිතුවේ මට කැමීලියාගෙන් ලේසියෙන් ඈත් වෙන්න පුළුවන් කියලා.. ඒත්, ඒක මම හිතපු විදිහට වුනේ නෑ.. කැමීලියට ඕන වුනේ මගේ වෙලා ඉන්න.. ඉතින් ටික දවසකට මට ඒ රඟපෑම කරන්න වුනා.."

" උඹ මේ කරපු දේවල් ගැන ඇලීසා දන්නවද?"

" ඔවු, ඇලීසා හිතුවේ මම ඇත්තටම එයාට ආදරේ කරනවා කියලා.. ඒ හන්දා ඇලීසා මට හැම දේකටම උදවුකලා.. එදා මේ මන්දිරේ අපි ඇරෙන්න ඇලිසත් හිටියා.."

" උඹ කැමීලියව මැරුවා.. ඒත් මේ අවුරුදු හතලිහම උඹත් මරුණ එකෙක් ගානට හිටියේ ඇයි?"

" ඒක තමයි මට තිබුන එකම ගැලවීම.. කැමීලියට වුන දේ උඹලා දැක්කා.. මටත් ඒ දේම වෙන්න ඇති කියලා උඹලා හිතුවා.. ඒක තමයි මට තිබුන එකම වාසිය.. ඇලීසා සම්පූර්ණයෙන්ම මාව වෙනස් කලා.. පහුගිය අවුරුදු හතලිහටම මම ස්ටෙෆාන් නෙමෙයි විලියම් විදිහටයි ජීවත් වුනේ.."

" උඹ දන්නවද, මේ සිද්දිය හන්දා අපි කොච්චර දුක් වින්දද කියලා.. මානසිකව වැටුනද කියලා.. අපිව කී දෙනෙක් සැක කලාද කියලා.. ඒ ඔක්කොම උඹ මේ විදිහට හදිස්සියෙන් ඇවිල්ලා කියන කතාවකින් අමතක කරන්න පුළුවන් වෙයි කියලා උඹ හිතනවද? මෙච්චර කාලෙකට පස්සේ ඇයි උඹට මට මේ දේවල් කියන්න හිතුනේ.."

" ඇලීසා හරියටම සතියකට කලින් මැරුණා.."

" අහ්, එහෙනම් උඹ බලාපොරොත්තු වුන දේ උඹට ලැබිලා.. මේ මන්දිරෙත් දැන් එහෙනම් උඹගේ.."

ස්ටෙෆාන්ගේ මුහුණේ තිබුනේ කළකිරුණ හැඟීමක්.. කාමරයේ හෙමිහිට ඔහු ඇවිද ගියේ ඒ අතර තිබුන දේවල් දිහා බොහොම ඕන කමින් බලන ගමන්..

" නැහැ මයිකල්, උඹ වැරදියි.. ඒ හැම දේකම කාලකණ්නි මතකය මට වද දෙන්න ගත්තේ මම ඇලිසා එක්ක මෙහේ පදිංචියට ඇවිත් වැඩි කාලයක් යන්න කලින්ම.. කැමීලියා මේ හැම තැනකම ඉන්නවා.. අදටත් මේ දැන් වුනත් ඒ බාගෙට  ලෙයින් නැහැවුන මූණ මං දිහා බලාගෙන ඉන්නවා.. අපිට ඕනම දේකින් පැනලා යන්න පුළුවන්, ඒත් මේ ජීවිතෙන් පැනලා යන්න බෑ මගේ මිත්‍රයා.. මගේ ඉරණමත් කොයි වෙලාවෙම හරි විසදෙයි කියලා මට දැනෙනවා.. ඊට කලින් මට ඕන වුනේ උඹට හැමදේම කියලා නිදහස් වෙන්න විතරයි.."

එක මොහොතකට  ස්ටෙෆාන්ට වෛර කරනවද නැද්ද කියන දේ ගැන මට හිතා ගන්න බැරි වුනා.. ඔහුගේ මුහුණේ තිබුනේ පසුතැවිල්ලක්.. ජීවිතේ අපිට හැංගෙන්න පුළුවන් සීමාවක් තියෙනවා.. එතනින් එහාට කොච්චර දිවුවත් වැඩක් නෑ.. මම ස්ටෙෆාන්ව මොහොතකට වැළද ගත්තා.. ඒ පරණ මිතුදමින් නෙමෙයි.. එක මොහොතක සැනසීමකට..

නිමි..