Monday, 27 January 2014

අඳුර මැදින් එන්න සඳලියේ ( ඉස්කෝලේ කතා 19 )



විදුහල්පති පෙම පෝස්ට් එක ලියලා සෑහෙන කාලෙකුත් වුනා.. ඒකේ ඉතුරු හරියේ කතාටික ගලපලා ලියන්න කියලා හිතන් හිටියට මොකද වෙන වෙන කතා මතක් වුනායින් වැඩේ අවුල් වුනා.. හරි අද කියන්නම්කෝ විස්තරේ..

කට්ටියට මතක ඇතිනේ මම ලොක්කාගේ ලවු එක අල්ල ගත්ත විදිහ.. ඒකට කාපු කට්ට.. කට්ටක් කෑවට ඒකේ පාඩුවක් නෑ කියලා කතාවකුත් තියෙනවනේ.. මේකත් අන්න ඒ වගේ තමයි.. ඒ සැප මට දැනුනේ එදා ලොක්කගේ පෙම අතටම අහු වෙලා පැයක් වත් යන්න කලින්..

ලොක්කා මිස්ට දුන්න කිස් එක දැකලා එතනින් මම මාරු වුන පාර මේන් හෝල් එකට ගිහින් නතර වෙලයි වෙච්ච සිද්දිය ගැන කල්පනා කලේ.. ඇත්තම කියනවනම් හිතේ පොඩි අවුලක් තිබුනා.. මොකද ඉතින් මේක කොයි පැත්තෙන් යයිද දන්නේ නැති හන්දා.. කලින් හිටපු හෙඩා කිවුව පලියට වැඩේට බැස්සට මොකද එවෙලේ තමයි කරපු දේ බරපතල තේරුම් යන්න ගියේ.. හරි කමක් නෑ.. ඕන එකෙක් කියලා මාත් හිටියා..

මගේ නිල රාජකාරි ටිකත් ඉවර කරලා ඉස්කෝලේ පටන් ගන්න ටික වෙලාවක් තියෙද්දී මැද මිදුල පැත්තට එද්දී මෙන්න ඉන්නවා ලොක්කා එහා කෙලවරේ.. මම දැක්කා නොදැක්කා ගානට යන්න ලෑස්ති වුනාට මොකද ඈත තියාම ලොක්කා මට අත වනලා කතා කරා.. කරන්න දෙයක් නෑ යනවා ඇරෙන්න.. ඕන එකක් කියලා හිටට ෆිට් එක අරන් මාත් ගියා..

" අසන්ත කොහෙද හිටියේ?"

" මේන් හෝල් එකේ සර්.. පොඩි වැඩ වගයක් තිබුනා.."

" හරි, මාත් මේ කියන්න කතාකරෙත් ඔය ගැනම තමයි.. මීට පස්සේ අපි දෙයක් කියනකන් වැඩක් කරන්න බලන් ඉන්න ඕන නෑ.. හැම දෙයක්ම හොයලා බලලා කරන්න.. අනික අසන්ත ප්‍රධාන ශිෂ්‍ය නායකයනේ.. මොනවා හරි ප්‍රශ්ණයක් තිබුනොත් මට කියන්න.."

" හරි සර්.."

එතකොටම වගේ බෙල් එක ගැහුවා.. උදේ රැස්වීමට කට්ටිය පෝලිමේ මැද මිදුලට එන කොට මාත් උන්ගේ පිටි පස්සටම වෙලා රැස්වීම දිහා බලාගෙන හිටියා.. බලන් හිටියා කිවුවට ඉතින් හිටියේ මෙලෝ සිහියකින් නෙමෙයි.. එක පැත්තකින් උදේ දැක්ක එක මතක් වෙනවා.. ඒ අස්සෙන් දැන් ටිකකට කලින් ලොක්කා කියපු එක මතක් වෙනවා.. එදා කොම හරි වෙනදා තරම් වෙලාවක් රැස්වීම තිබුනෙත් නැද්ද කොහෙද.. ලොක්කා ඉක්මනට රැස්වීම ඉවර කලා..

පන්තියට ගිය වෙලේ කෝකටත් කියලා මම  අතීජාත මිත්‍රයෝ දෙන්නට උදේ වුන සිද්ධිය ගැන කිවුවා.. උන්ටත් හිතා ගන්න බෑ.. ඇත්තටම එහෙම එකක් වුනාද කියලා.. පස්සේ වුන සිද්ධියත් එක්ක කිවුවම උන්ව නිකන් කරකවලා අත ඇරියා වගේ..

" මේ උඹ ඕක කෝකටත් කියලා ඕක කා එක්කවත් කියන්න යන්න එපා.. අපි තුන් දෙනා දැන ගත්තම ඇති.. ඌ උබ එක්ක ශේප් එකේ ඉන්න එනවනම් නිකන් මොකටද වැඩේ අල කර ගන්නේ.. ඒ හන්දා ඔය විදිහට යන්න දෙමු.."

මගේ යාළුවා කියපු කතාවත් ඇත්ත.. නිකන් මොකටද ඉල්ලන් කන්න යන්නේ.. හොදම දේ අවුලක් ඇති නොකරගෙන ඉන්න එක තමයි කියලා හිතලා මාත් හිටියා.. කිවුවා වගේම දවස් ටික ගෙවිලා ගියේ කිසිම අවුලක් නැතුව.. හැබැයි ඉතින් පොඩි පොඩි වෙනස් කම් නම් වුනා..

වෙනස් කම් වලින් වැදගත්ම දේ තමයි අපි හිටපු පන්තිය වෙනස් කරලා උඩ තට්ටුවේ සුපිරි තැනකට අපේ පන්තිය සෙට් වුන එක.. දැන් ඔතන සුපිරි මොකද දන්නවද? අපේ පන්තිය තිබුනේ 11 වසරේ පන්ති දෙක මැද්දේ.. අනික් පැත්තේ තිබුන බිල්ඩිමේ උඩ තට්ටුවේ තිබුනේ 10 වසරයි A/L ෆස්ට් ඉයර් එකයි..  ඉතින් අපේ වුන්ට නිකන් ඉබ්බා දියේ දැම්මා වගේ තමයි.. හැබැයි ඉතින් අපේ බිල්ඩිමේ පල්ලෙහම තමයි ඔෆිස් එක තිබුනෙත්.. ;)

ඉතින් කොහොම හරි ඔහොම දවස් ගෙවිලා ගියා.. ටික ටික මොකක් හරි වෙනසක් තියෙන බව අපේ එවුන්ටත් හොදටම තේරෙන්න ගත්තා.. මොකද වෙනදා අමන වැඩ කරලා අහුවෙන එවුනුත් ඒ වෙද්දී අතටම මාට්ටු වෙලත් කිසි අනතුරක් නැතුව යහතින් එනවා.. අපේ එවුන්ත් ඕක සෑහෙන ප්‍රශ්ණයක්.. උන් ඇවිත් සිද්දී මාත් එක්ක කියද්දී ඉතින් මම දන්නවා වුනත් ඒකට හේතුව මම සද්ද නැතුව ඉන්නවා වෙන මොනවා හරි කියලා..

අපිට ඉතින් ෆ්‍රී වෙලාවට කරන්න තියෙන එකම ඳේ තමයි ඉතින් සිංදු
කියන එක.. කම්පුටර් ලැබ් තිබුනට පුස්තකාල තිබුනට අපි පාවිච්චි කරන එකක් කියලයැ.. ඉස්සරම නම් පිට්ටනියට හරි දිවුවා.. සුදු කලිසම් ගහන්න ගත්තට පස්සේ පිට්ටනියට ගියේ ස්පෝර්ට් මීට් කාලෙට  විතරයි.. ඒ හන්ද ඉතින් අපේ වැඩේ පන්තියට වෙලා සිංදුවක් කියන එක.. ඕකටත් ඉතින් එහා පන්ති වල මිස්ලගෙන් බැනුම් අහන්න සෙට් වෙන්නෙත් මටම තමයි.. මොකද පන්තියේ එවුන්ව හදා ගන්නේ නෑ කියලා.. ඇත්තත් ඒකමනේ ඉතින්.. අනිත් පන්ති වල එවුන් මං කියන දේ කොම ඇහුවත් මේ අවුරුදු 13 එකට හිටිය එවුන් මං කියන දේ අහයිද, ඔය වගේ ආතල් වෙලාවකට.. බැන්නහම ඉතින් ටිකකට සද්ද නැතුව ඉදලා ආයෙම සිංදුව පටන් ගන්නවා.. ඊලගට ඉතින් අනිත් පන්ති වලිනුත් සෑහෙන සද්ද..

කෝම හරි දවසක් අනිත් පන්ති දෙකෙත් කවුරුත් නැති වෙලාවක සංගීතේ හොදටම නැඟලා ගියා.. උනුත් එනවා අපි එක්ක අත්වැල් ගායනයට.. ඒක මාරම ආතල්.. එදා කොම හරි අපි සෙට් එක ඉදියේ කොරිඩෝ එක පැත්තට වෙන්න නෙමෙයි.. අනික් සයිඩ් එකේ කෙල්ලෝ එක්කම වාඩි වෙලා.. කෝම හරි අපි දැන් සිංදු කියාගෙන යනවා.. එවෙලේ කිවුවේ කසුන් කල්හාරගේ මම ආසම සිංදුවක්..

" අඳුර මැදින් එන්න සඳලියේ.."

ඔය පේලිය කිවුවා විතරයි වටේම තිබුනේ සෑහෙන නිස්සබ්දයක්.. අත් වැල් ගායනා ඇහෙන්නේ නෑ.. නිකමට වගේ හැරිලා බලද්දී ලොක්කා අපේ පිටි පස්සේ.. අපි ඉතින් ටක් ගලා විනීත විදිහට වාඩි වුනා..

" අසන්ත.."

මොන රෙද්දටත් ඉතින් මගේ නම හන්දා මාත් නැඟිටලා ගියා..

" මොනවද තියෙන්නේ දැන්?"

" එකවුන්ට්ස්, සර්.."

" සර් නැහැනේ.. පුස්තකාලෙටවත් යන්න.."

පුස්තකාලේ තියෙන්නේ අපිට එහා බිල්ඩිමේ පල්ලෙහා තට්ටුවේ.. මට දැන් කතා කරද්දී පේනවා ඒක වහලා කියලා..

" පුස්තකාලේ වහලනේ සර්.."

" එහෙමද, එහෙනම් වැඩිය කෑ නොගහා ඉන්නවා.. අනික ඔය සිංදුව කියන්න එපා ආයෙම.."

ගැහුවනම් සැපයි කිවුවලු.. ලොක්කා යන්න ගියා.. අපේ එවුන් මූනට මුන බලනවා.. ඒ අස්සේ ප්‍රශ්ණේ ඇයි මේ සිංදුව කියන්න එපා කිවුවේ කියලා..  ටිකක් වෙලා යද්දී මතක් වුනේ.. ලොක්කා යාලු මිස්ගේ නමත් සඳලි නේ.. ;)



තව ඉස්කෝලේ කතාවකින් හමුවෙමු..


Thursday, 23 January 2014

ඇය තවම කන්‍යාවියක්



මඟුල් ගෙදර කළබලකාරිත්වයෙන් තාම හිත පිරිලා වගේ.. කෑම් බීම් නැටුම් එක්ක එන ඝෝෂාව අතරෙම හිතට ගතට දැනෙන තෙහෙට්ටුව අනිත් අයටනම් දැනෙනවද කියලත් සැකයි.. පිටත් වෙන නැකත වෙනකන් හිතේ තිබුනේ එතනින් ඈත් වෙලා යන්න ඕන කමක්.. ඒ බව හොදටම දැනුනේ වාහනේට නැඟලා පහසුවට සීට් එකේ ඉදගනිද්දී.. මං ලඟින්ම ඇයත් වාඩි වෙලා සිට් එක් පිටිපස්සට හොදට හේත්තුවෙලා ඉදගත්තේ මට දැනුනා වගේම මහන්සියක් ඇයටත් දැනුන නිසා වෙන්න ඇති..

" මහන්සිද?"

" හ්ම්ම්.."

කඳුළු පිරිලා තිබුන ඇස් දෙක යන්තමට වගේ උස්සලා බලලා කෙටියෙන් දුන්න උත්තරේට මම ආස වුනා.. ඒ, ඒ වෙලාවේ ඇගේ මුහුණේ ඇදුන ඉරියවු වලට.. එක අතකින් මල් කළඹත් අතේ තියාගෙන ටිකක් දුර එනකන්ම ජනේලෙන් එහා පැත්ත බලන් ආව ඇගේ අනික් අත උඩින් හෙමීට මම අත තියා ගත්තේ දැන් මගේම කියලා ආදරයක් මගේ ලෝකෙට ඇවිත් කියන පුංචි සතුට හිතේ තියාගෙන..

ගෙවුව පැය එකහාමාර හිතට හුඟක්ම වදයක්.. එක දිගටම ආව ගමනේ ඉවරයක් දකිනක හිතට තිබුනේ සෑහෙන නොසන්සුං කමක්.. ඒ තරම්ම කතාවක් නොකරපු ඈ දිහා බලාගෙන එන ගමනෙත් හැංගිච්ච පුංචි සුන්දරත්වයක් තිබුනා.. ඒක එයාට තේරෙන්න නැතුව ඇති සමහරවිට.. ඒ හන්දා මම ඒ සුන්දරත්වය හිතේ හැටියට හොදට විඳගත්තා..

යන්තමින් හීතල රාත්‍රියේ තානායම අවසර ලද හැඟීම් වලට අත වනනවා වගෙයි දැනුනේ.. ටිකකට කලින් දැනුන මහන්සියවත් නොසංසුන්කමවත් දැන් දැනෙන්නේ නැති තරම්.. හිතට දැනුනේ හරියට අළුත් හැඟීමකින් පිරිලා වගේ.. තැනින් තැන රෝස මල් ඇතිරුව යහන ඇය එනකන් මග බලාගෙන.. මහන්සියෙන් ගෙවුන හෝරා ගානට වැඩිය නොඉවසිල්ලෙන් ගෙවෙන විනාඩිය දෙක දැනෙන්නේ මහා ලොකු කාලයක් වගේ..

හදිස්සියෙම සවනතට වැටුන සුපුරුදු සංගීතයට කල්පනාව බිඳිලා කලබලෙන් ෆෝන් එක හෙවුවේ වෙනදා කොයි වෙලේත් ලගම තියාගන්න එක අද ඒ තරම්ම වුවමනාවක් නොවුන හන්දා.. හෝටලේට ඇව්ල්ලත් ෆෝන් එක තාම බෑග් එකේ..

" මොකෝ යකෝ, ආන්සර් කරන්න පරක්කු.. උඹ දැන්මම වැඩද?"

" ෆෝන් එක තියපං අදවත් බාල්දි නොදා.."

"හරි හරි තියන්නම්.. උඹට බලපුවා මතක ඇතිනේ.. මෙච්චර දවසක් ඉවසන් හිටියට අද ඉදන් එහෙම ඕන නෑ පුතෝ.."

වෙඩින් එක ඉවර වෙලත් උන් තාමත් බොනවද කොහේද.. එහෙම හිතන ගමන් ෆෝන් එක කට් කරද්දී වොශ් රූම් එකෙන් එළියට ආව ඇය හෙමින් ඇවිත් නතර වුනේ මං ලග..

" අපි ටිකක් කතාකරමුද?"

එයා  එහෙම කියද්දී ඒ මුණේ තිබුනේ මහා බැරෑරුම් බවක්.. හරියට ප්‍රෙහෙලිකාවක් වගේ..

" හා, කියන්න.."

" අපි මේ දේවල් ගැන තව ටික කාලෙකින් හිතමුද.. ප්ලීස් මං ගැන වැරදියට හිතන්න එපා.."

අමාරුවෙන් වචන ගලපගෙන එයා කියන්න හදන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නෙමෙයි.. ඒත් හිත ඒ ඇයි කියලා අහන්න ඕන කියලා කිවුවත් ඒ ගැන අහන්න පුළුවන් තරම් හයියක් ඒ වෙලාවේ හිතට ආවේ නෑ..

" ඇයි මම මෙහෙම කියන්නේ කියලා ඔයා හිතනවා ඇති.. ඔයා හොද කෙනෙක්.. ඔයා ගැන ආදරයක් නැතුව නෙමෙයි.. ඒත් සෙක්ස් කියන දේ මගේ හිතට මම දන්න දවසේ ඉදන් දැනුනේ මහා වදයක් විදිහට.. තාමත් එහෙමයි.. වැරදියට හිතන්න එපා.. මම තාම කන්‍යාවියක්.. ඔයාට ඕනමනම් අද ඒක බලාගන්න පුළුවන්.. ඒත්, ඔයා එක්ක කැමැත්තෙන් ආසාවෙන් ඉන්න මට බැරි වේවි.. මට ටිකක් කල් දෙන්න.. මම හිතනවා මට පුළුවන් වෙනස් වෙන්න.."

ආදරේ කරලා කසාද බඳිනවට වැඩිය ප්‍රොපෝසල් එකකින් කසාද බඳිද්දී තමන්ගේ සහකාරිය ගැන හරි හැටි තේරුම් ගන්න අමාරුයි කියලා කියපු කතාව ඇත්ත.. මීට කලින් අපිට මේ ගැන කතා කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. බඳින්න කලින් අපි තනියම කොයි තරම් නම් හම්බුනාද? ඒත් අපිට මේ වගේ කතා බහකට ඒ කිසිම වෙලාවකවත් ඉඩක් ලැබුනේ නෑ කියලා හොදටම විශ්වාසයි.. ඒත් අපි ආදරේ කලා.. ඒ දැනුන හැඟීම බොරුවක් නෙමෙයි කියන්න මට හොදටම විශ්වාසයි..

" ඔයා ඇයි කල්පනා කරන්නේ?"

" නැහැ මුකුත් නැහැ.. මම එහෙනම් අර පුටුවට යන්නම්.. ඔයා මෙතන නිදා ගන්න.."

" එපා.."

ඇදෙන් නැඟිටින්න හදද්දී එයා මාව නැවැත්තුවේ ඒ මේ දවස් ගානට අපි දෙන්නටම දැනුන ආදරේ නිසා කියලා මට හොදටම විශ්වාසයි..

" ඔයා ඇදේම ඉන්න.. ඒ දේ නැති වුනත් අපිට එකට මෙතන ඉන්න පුළුවන් නේද?"

" ඔවු පුළුවන්.. මම හිතුවේ ඒක ඔයාට අපහසුවෙක් වේවි කියලා.."

" මට සමාවෙන්න.."

" නැහැ.. අකමැත්තෙන් මාත් එක්ක නොයිද මේ ගැන කිවුව එක ගැන මම සතුටුයි.. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා.. ඔයාගේ හිත නිදහස් වුන දවසට ඒ හැඟීම මට තේරේවි.."

ඒ ඇස් වල අමුතුම නිදහස් බවක් මට දැනුනා.. ඒ දිහා හොදට බලාගෙනම නළලට වගේම දෙතොලටත් හාදුවක් දුන්නේ මීට කලින් වුනත් ඒ දේට අකමැත්තක් ඇගේ තිබුනේ නැති හන්දා.. වෙනදා වගේම අදත් ඒකට ඇය අකමැති වුනේ නැහැ.. පැත්තකින් තිබුන ෆෝන් එක දෙතුන් පාරක්ම වයිබ්‍රේට වෙද්දී ඒක කාගෙන්ද කියලා හිතාගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් වුනේ නැහැ..

" අඩෝ, ගානට වැඩේ කරපං.."

හුඟක් කල් බලාගෙන හිටපු පුංචි ආසාවකට තව ටිකක් කල් බලාගෙන ඉන්න වෙනවා කියලා හිතට දැනුනත් එයත් එක්ක තරහවක් හිතට පොඩ්ඩක්වත් ආවේ නැහැ.. එක පැත්තකින් එයා සාධාරණයි.. මගේ අනිත් යාළුවෝ වගේම අපි දෙන්නත් ආදරේ කරලා කසාද බැන්ඳනම් අද අපි දෙන්නටම නිදි නැති රැයක් වෙන්න තිබුනා.. අඹු සැමියෝ වුනත් අපි අතරේ තාම පුංචි දුරක් රැදිලා ඇති..

කල්පනාව අතරෙම ඉද්දී යාන්තමින් ඇහුන හීන් කෙඳිරිල්ල එක්ක මම එයා දිහා බැළුවේ නින්ද අහලකවත් නොතිබුන හන්දම.. මැදියමත් එක්ක නුවර එළියේ දැනුන සීතල එයාට තාම දරා ගන්න බැහැ වගෙයි.. මේ හීතලටත් මෙහෙමනම් ජර්මනියෙදි වින්ටර් එකට කොහොම ඉදියිද කියලා මට හිතුනා..

වෙන කරන්න දෙයක් නොහිතුන හන්දම හෙමීට කොට්ටේ අතරින් අත දාලා මගේ ලඟට ලං කර ගත්තේ තරමක හරි උණුසුමක් දෙන්න මට පුළුවන් බව දන්න නිසා.. ඒත් ඒ එක්කම වගේ එයා නින්දෙන් ඇහැරුනේ බය වුන ඇස් දෙක ලොකු කරන් මගේ දිහා බලාගෙනම..

" බය වෙන්න එපා.. ඔයාට හීතලක් දැනුන බව තේරුණා.. ඒකයි ලගට ගත්තේ.. මෙහෙම නිදා ගන්න.. හීතලක් දැනෙන එකක් නෑ.."

" හා.."

ආදරය විවාහය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි කියන එක ටික දවසකින් එයාට තේරේවි.. එදාට ඒ හිත වෙනස් වේවි.. මට අයිති වුනත් අකමැත්තෙන් ලබන දේට වැඩිය කාලයක් ගෙවිලා හරි කැමැත්තෙන් ලැබෙන දේ හිත හුඟක් සතුටු කරන බව මම දන්නවා.. මොකද ඔයාගේ ආදරෙත් මට ලැබුනේ එහෙමනේ.. 







Monday, 20 January 2014

ඇයි කෙල්ලන්ට බැරි අපිව තේරුම් ගන්න


අර බස්සියා ලියන පෝස්ට් වලට මට පිළිතුරු පෝස්ට් එකකින්ම දෙන්නයි හිතෙන්නේ.. කලින් දාපු අර ඇදුම් හුටපටේ මතක ඇතිනේ.. මේකත් අන්න ඒ වගේ එකක් තමයි.. කියෝපු අයට මතක ඇති බස්සී ලගදි ලිවුවා ගණන්කාර කොල්ලොයි කටකාර කෙල්ලොයි ගැන පෝස්ට් එකක්.. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් බලන්නකෝ..  ඉතින් ඔන්න ඔය පෝස්ට් එකේ හුගක් දේවල් තිබුනා වුනාට මගේ අවදානය ගියේ අර උඩින්ම තියෙන කෑල්ලට.. ඒ කියන්න් ඒමෙන්න මේකට..



" කෙල්ලෝ කියන දේවල් තේරුම් ගන්න වෙනමම ඩිග්‍රී එකක් කරන්න ඕන බං.."




දැන් ඔය කතාව ඇත්තද? ආයේ අහන්න දෙයක් තියෙනවයි.. ඕක ඇවිත් අමුලිකම ඇත්ත.. ඇත්තටම ගොඩාක් වෙලාවට අපිට කෙල්ලො කියන දේවල් තේරෙන්නේ නෑ තමයි.. හැබැයි ඉතින් අර බස්සියා කියන විදිහට අපේ මොළේ ප්‍රමාණය එයාලට වැඩිය වැඩියිලු.. එහෙනම් කොහොමද එහෙම වෙන්නේ..



අපේ මොළේ ප්‍රමාණය වැඩි කතාව ඇත්තක් වුනත් කෙල්ලෝ හරි දස්සයිනේ හිතේ තියෙන දේ මුණේ ඉරියවු වලින් නොපෙනෙන විදිහට කතා කරන්න.. පිරිමි අපි ගොඩක් දෙනෙක්ට බැරිත් ඕකනේ.. ඒකනේ අපි වැරදිලා හරි බොරුවක් කියන්න යද්දී ටක් ගාලා අහුවෙන්නේ.. ඒත් කෙල්ලෝ එහෙම නෙමෙයි.. එයාලා ඇවිත් අති දක්ශ නිළියෝ..



කෙනෙක් කියන දෙයක් හොදින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහ තමයි ඒ වෙලාවට ඒ කෙනාගේ තියෙන හැසිරීම් රටාවෙන්.. හොදටම ආදරේ කරන දෙන්නෙක්ටනම් මේක පුළුවන්.. මොකද අනිත් කෙනාගේ හැම හැසිරීමක්ම ආදරේ කරන කෙනා දන්න නිසා.. හැබැයි ඉතින් ගෑල්ලමයි හරි දස්සයි ඔය හැසිරීම වෙනද වගේම තියාගෙන කියන දේවල් කියන්න.. අන්න එතකොට තමයි ඉතින් අවුල..



මටනම් තේරුම් ගන්නම බැරි එකම එක දේ තමයි ඔය හදිස්සියේ කාළගුණේ වගේ මූඩ් වෙනස් වෙන එක.. මූන එල්ල ගත්තට කිසිම හේතුවක් නෑ.. ඇහුවට උත්තර නෑ.. " නෑ නිකන්.."  ඔන්න ඕක තමයි බයානකම උත්තරේ.. නිකන් කිවුවා කියන්නේ ඉතින් සෑහෙන්නම දෙයක් තියෙනවා කියන එක.. මම නම් ඒ වෙලාවට හිතින් ටක් ගලා දුවලා ගිහින් මතක් කරන්නේ විනාඩි 5කට විතර කලින් මම කිවුව දේවල් ගැන..



ඇත්තටම කෙල්ලො මොනවද බලාපොරොත්තු වෙන්නේ.. ඕවා ඉතින් එයාලගෙන් අහලා වැඩක් නෑ.. මලාට කියන එකක් කියලයැ.. ඒ හන්දා මේකනම් ඔන්න මම ජංජාලේ පීරලා හොයා ගත්ත එකක්.. කලින්ම කියන්න එපැයි හරියට.. නැත්නම් පස්සේ ප්‍රශ්ණ..  හම්බුන ගොඩක් තොරතුරු අස්සේ මම හිතනවා මෙන්න මේ ටික වැදගත් වෙයි කියලා.. ගෑල්ලමයි අපෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න.



1. තමන්ට, තමන්ගේ හැඟීම් වලට ගරු කරන සහකරුවෙක්..

2. තමන්ට අවංකවම ආදරය කරන සහකරුවෙක්..

3. තමන්ව ආරක්ෂා කල හැකි සහකරුවෙක්..

4. සරාඟී සහකරුවෙක්..

5. විශ්වාස කල හැකි සහ ඔහු තුලින් යමක් බලාපොරොත්තු විය හැකි සහකරුවෙක්..

6. කාරුණික සහකරුවෙක්..

7. ජීවිතේ ගැන අරමුණක් ඇති සහකරුවෙක්.

8. ඇයත් සමග සිහින දැකිය හැකි සහකරුවෙක්..





තව තව සෑහෙන්න ඒවා තියෙනවා.. ඒවා ඔක්කොම ලියන්න ගියොත් ඉතින් මේ පෝස්ට් එක ඉවර කරන්න වෙන්නෙත් නෑ.. ගෑල්ලමයින්ට ඕන කරන්නේ මොනාද කියලා ඉතින් දන්නේ එයාලම තමයි.. ඒ හිත් වලට එබිලා ඒවා හරියට හොයා ගන්න එක ලේසි වැඩක් නොවුනත් හොද සහකරුවෙක් වෙනවනම් අපි ඒක කරන්නම වෙනවා.. අඩුම ගානේ හැම දේම නැතත් ඒ බලාපොරොත්තු වලින් කීපයක් හරි ඉටු කරන්න..



හරි, දැන් ඒකෙන් වැඩක් නෑ.. එතකොට දැන් ඔය හැම තිස්සෙම කෙල්ලො අපිට බැන්නට අපි විතරද එයාලගේ හිත් තේරුම් නොගන්නේ.. හරියට බැළුවොත් එයාලටත් බෑ අපිව හරියට තේරුම් ගන්න.. පොඩි වෙනසකට ඔතන තියෙන්නේ ඉතින් අපි එයාලා වගේ හංඟගෙන ඉන්නේ නැති එක.. ඒ හන්දා අපි හිතන කරන හුඟක් දේවල් වල තේරුම එයාලා දන්නවා.. හැබැයි ඒත් ඒක හැම වෙලාවකම සාර්ථකම නැහැ.. ඒ මොකද කියනවනම් අපි එයාලා දැන ගන්න ඕනමයි කියලා හිතන් ඉන්නම දේවල් මේ කට්ටිය කවමදාවත්ම තේරුම් ගන්නේ නෑ..



දැන් එතකොට එහෙම දේවල් තියෙනවද? ඔවු තියෙනවා.. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන හුඟ්ක් දේවල් තියෙනවා.. ඒත් ඉතින් ඒ හැම දේම මෙතන කතා කරන එක තේරුමක් නැති හන්දා පොදු කාරණා ටික විතරක් මෙතන කියන්නම්කෝ..



1.      අපිට වෙන අගෞරවයටත් වඩා වැඩියෙන් ආදරයේ මදි කම හොදින්ම දැනීම..



මේක මෙහෙමයි.. ඕනම පිරිමියෙක් කැමතියි තමන්ගේ සහකාරිය තමන් සමග සිටිද්දී හෝ වෙනත් තැනක සිටිද්දී තමන්ට ගෞරව කරන බව දැන ගන්න.. තමන්ගේ සහකාරිය තමන් ගැන තියන විශ්වාසය සහ තමන්ව අගය කරන බව දැන ගැනීමම ඇති ඒ සම්බණ්දයේදි පිරිමියෙක්ට ශක්තිමත් වෙන්න.. Shaunti Feldhahn's ගේ සමික්ෂණ වාර්ථාවකින් කියනවා පිරිමින්ට ලැබෙන ආදරය මදි කම ඇය තමන්ට කරන අගෞරවයන්ට වඩා හුඟක් තදින් දැනෙන බව.. ඒකනේ අපිට ඕන තරම් බැන්නත් අහන් ඉන්න පුළුවන් වෙලා පොඩ්ඩක් තරහා වුන ගමන් ඉන්න බැරි වෙන්නේ..



2.      අපේ කේන්තිය බොහෝ විට ඇය අප කෙරෙහි දක්වන අගෞරවය නිසා වීම..



දැන් හිතන්න එපා අපි බනින්නේ කෑ ගහන්නේ තියෙන ආදරේ අඩු කමටවත් සම්බණ්දේ නවත්තන්න තියෙන ඕනකමකටවත් කියලා.. නෑ ඇත්තටම ඒක එහෙම නෙමෙයි.. හුඟක් වෙලාවට අපිට කේන්ති යන්නේ හිතන්නේ නැති වෙලාවල් වල කරන අගෞරවයන් නිසා.. ඒ වෙලාවට ඉතින් ලගට ඇවිත් " ඔයා මට අගෞරව කරනවා " කියලා අපි කියන්නේ නෑ..



3.      පවුලක වැඩි බර තමන් කෙරෙහි ඇති බව දැනීම..



මේක ගොඩක් දුරට අදාල වෙන්නේ විවාහ වුන අය වුනත් ආදර සම්බන්දයකදි වුනත් තම සහකාරිය ගැන වැඩි වඟකීමක් තමන්ට තියෙනවා කියන එක අපිට දැනෙන දෙයක්.. මෙතනදි පවුලක් පැත්තෙන් ගත්තම තමන්ට කොතරම් මුදලක් ලැබෙනවද, එහෙමත් නැත්නම් ඇය මුදල් උපයනවද නැද්ද කියන කාරණය වැදගත් වෙන්නේ නෑ.. පවුලේ බර හැම දෙයක්ම වැඩියෙන්ම තියෙන්නේ පිරිමින්ට.. ඒ හන්දම හුඟක් වෙලාවට පිරිමින් ඉන්නේ මේ ගැන හිතන ගමන්..  ඒ හන්දම පිරිමින් ඉන්නේ තමන්ගේ බොහොමයක් සිතුවිළි වල සිරවෙලා.. ගැහැණිය මේ හැඟීම තේරුම් ගැනීම සහ ඒ පීඩනයෙන් තරමක් හෝ නිදහස් වීමට උදවු කිරීම වැදගත් වෙනවා..



4.      සෙක්ස්..



ගොඩක් දෙනෙක් මේක දිහා බලන්නේ වැරදි විදිහට.. සමහරු හිතන්නේ
පිරිමිට ඕන ඕක විතරමද කියලා.. වුවමනායි.. ඒත් ඒ වුවමනාව තුල තියෙන්නේ ශාරීරික එකමුතුවක්.. එකිකෙනාගේ හැඟීම් තේරුම් ගන්න, තමන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්න මෙන්න මේ වගේ දේවල් නිසා සෙක්ස් කියන දේ වැදගත් වෙනවා.. Shaunti Feldhahn's ගේ වාර්ථාවක කියවෙනවා පිරිමින්ට වැඩියෙන් සෙක්ස් වුවමනා වෙන්නේ තමන්ගේ හිතේ බොහෝ කල් ඉදන් තිබුන ගැඟීම තම සහකරුවාගෙන් ලබා ගන්න පිරිමින්ට ඕනෑ කරන නිසා කියලා..



5.      දෘශ්‍ය පෙලඹුම සමග අරගල කරන බව..



ටිකක් තේරුනා මදිනේ.. හරි සරළව පැහැදිළි කරන්නම්කෝ.. ඒ කියන්නේ  අති බහුතරයක් පිරිමින් තමන් දකින දේවල් අනුව විශේෂයෙන් කාන්තාවන් දිහා ඕනෑකමකින් බලනාවා කියන එක.. හුඟක් හොද අවංක සැමියන්ට පවා ශරීරය නිරාවර්ණ වෙන විදිහට අදින කාන්තාවන් දිහා එක පාරක් හරි බලන එක නවත්තන්න විදිහක් නෑලු.. මේ මොළයේ සටහන් වෙන දෘශ්‍ය සටහන් තමන් කැමති ඕන වෙලාවක ඒවා මකලා දාන්න පුළුවන් වුනාට පිරිමි කාටවත් ඒවා දකින් වෙලාවට මොළේ සටහන් වෙන එකනම් නතර කරන්න බැහැලු.. අන්න ඒක මේ කෙල්ලෝ තේරුම් ගන්න එක වඩා හොදයි.. රණ්ඬු නොකර..



6.      පිරිමි ආදර කරන්න ආසයි, ඒත් තමන්ගේ හැකියාවන් ගැන ඉන්නේ සැකයෙන්..



සමහරක් පිරිමි පෙනුමෙන් ආදරයක් ගෑවිලාවත් නැති අය කියලා සමහරු කියනවා අහලා ඇතිනේ.. ඒත් ඇත්ත ඒක නෙමෙයි.. මුහුණේ හැඟීම් ඒ වගේ වුනත් ඔවුන් ආදරණිය අය වෙන්න කැමති.. ඒත් තමන්ගේ ආදරය ගැන තියෙන හැඟීම් එකතු කරලා පිට කරන්න ඔවුන් තුල තියෙන්නේ සැකයක්.. මෙතනදි සහකාරියට පුළුවන් තමන්ගේ සහකරුගේ ඒ සැගවුන ආදරය එලියට එන්න ඔවුන්ගේ ආකල්ප වර්ධනය කරන එක වැදගත් වෙනවා.. සමහර විට සහකාරිය කිසිසේත්ම අකමැති දෙයක් තියෙන තැනක ඔහු තනිව යන්න කතා කරන්න ඉඩ තියෙනවා.. ඒතනදි තමන් අකමැති දේ ගැන හිතනවට වැඩිය ඔහුත් එක්ක තනිව ඉන්න ලැබෙන කාලය ගැන හිතන එක වැදගත්.. මොකද ඒක ආදරණිය මොහොතක් කර ගන්න බැරි වෙන්නේ නෑ..



7.      තම සහකාරියගේ පෙනුම ගැන සැලකිළිමත් වීම



මෙතනදි කියන්නේ නැහැ පිරිමින් තමන්ගේ සහකාරිය මොස්තර නිරූපිකාවක් වගේ සුන්දරව ඉන්නවා දක්කින්න ආසයි කියන එක.. නමුත් තම සහකාරිය තමුන් සමග ඉන්න වෙලාවට සුන්දරව ඉන්නවා දකින එක හැම පිරිමියෙකුගේම කැමැත්තක්.. පිරිමින් කැමති නැහැ ඒ කැමැත්ත බිද වැටෙනවට.. මොකද එය ඔවුන්ටත් බලපාන නිසා.. පිරිමින් නිතරම වචනයෙන් නොකිවුවත් සහකාරිය තමන් සමග ඉද්දී ලස්සනට ඉන්න ගන්න උත්සාහ නිතරම අගය කරන බව කාන්තාවන් දැන ගෙන සිටිය යුතුම කාරණාවක්..





8.      පිරිමි කැමතියි තමන්ගේ සහකාරිය තමන් ඇයට කොතරම් ආදරේද කියලා දැන ගන්නවට..



ඒක තමයි හුඟක්ම වැදගත් කාරණාව.. පිරිමින් තමන්ඒ ආදරය හරිහැටි ප්‍රකාශ වෙනවද කියන එක  ගැන විශ්වාස නැහැ.. ඒත් ඔවුන් තමන්ගේ සහකාරියට හුඟක්ම ආදරෙයි.. ඒ ගැන වැඩි කල් නොගෙනම තමන්ගේ සහකාරිය තේරුම් ගන්න එක ගැන පිරිමි ගොඩක් දුරට හිතනවා..





වැදගත් වෙයි කියලා හිතෙන කරුණු කාරනානම් ඔන්න ඔහොමයි.. මේක ලියන්න මෙච්චර පරක්කු වුනේ අන්තර්ජාලේ කරක්ගහලා කියවලා විස්තර හොයන්න වුන හන්දා.. හැබැයි මට හම්බුන හුඟක් කරුණු වලට මමත් පෞද්ගලිකව එකග වෙනවා.. විශේෂයෙන් මේ කියපු කරුණු 8 ගැන..



තව විවිධ කාරණා තියෙනවා.. විශේෂයෙන්ම සෙක්ස් ගැන.. හුඟක් ආදර සම්බණ්දතා වලට ප්‍රශ්ණ එන්නේ ඔන්න ඔය දේ නිසා.. යුරෝපා සංස්කෘතිය පැත්තෙන් ගත්තොත් සෙක්ස් කියන්නේ සාමාන්‍ය දෙයක්.. ඒ වුනත් ආදර සම්බණ්දයක් තියෙන කාලයේදි  නිතර නිතරම ඒ දේට යොමු වෙන්න හුඟක් දෙනෙක් අකමැති.. ඒ ගැන ලොකු විස්තර්යක් තිබුනා.. හිතුනොත් වෙනමම පොස්ට් එකක් දාන්නම්..



හරි දැන් එතකොට කියන්න ඕන කරපු කාරණාව තේරුනානේ.. අර බස්සියා කියලා තිබුන වගේ නිතරම වැරද්ද කොල්ලන්ට ආවට කෙල්ලන්ව තේරුම් ගන්න බෑ කියලා පොඩ්ඩ්ක නිදහසේ හිතලා බැලුවම කෙල්ලෝ අපි ගැන තේරුම් නොගන්න දේවලුත් තියෙනවා.. ඒ හැම දෙයක්ම මේ කරුණු වලට සීමා කරන්න අමාරුයි.. පුද්ගලයෝ වෙනස්, ඒ අය ආදරය කරන විදිහ වෙනස්.. තියෙන එකම දේ තමන් ආදරය කරන කෙනාව, එයාගේ හැසිරීම් රටාව හොදින් බලන එක.. අන්න එතකොට ඔය තේරුම් ගන්න බෑ කියන දේවල්  තේරුම් ගන්න එක ලොකු අමාරුවක් වෙන්නේ නෑ..



එහෙනම් මගේ බණ මෙතනින් ඉවරයි.. කෝකටත් කියලා මේ ටික පොඩ්ඩක් ඔළුවේ තියා ගන්නකෝ.. එතකොට ප්‍රශ්ණ ටිකක් අඩු වෙයි.. ටටා..