Wednesday, 25 June 2014

ලෙමන් පෆ් නිසා පාඩමක්



අපිට ඉරිදට වැඩ නෑ.. ඒ වුනාට හැම මාස දෙකකටම සැරයක් අපිට සෙනසුරාදා ඉරිදා දෙකත් ෆාමසිය අරින්න වෙනවා.. ඒක නීතියක්.. ඒ හන්දා ඉතින් අදාල දිනේට අපි වැඩ.. සෙනසුරාදා ඉරිදා ෆාමසිය ඇරියට මොකද ඉතින් එච්චර සෙනඟක් නෑ.. මේවයේ ඉන්න හැමදාම බෙහෙත් වලින්ම ජීවත් වෙන වයසක සෙට් එක සිකුරාදා වෙද්දී ඊලග දවස් දෙකට බෙහෙත් නැත්නම් ඉක්මනට ගබඩා කර ගන්නවා.. ඔය හදිස්සි කාරයෙක් මොකෙක් හරි එහෙම නැත්නම් අනික් ෆාමසි වහලා හන්දා ඒකේ නෝටිස් බෝර්ඩ් එකෙන් ඇරලා තියෙන ෆාමසි හොයන් ආව එකෙක් ඇරෙන්න එදාට ඉතින් මොකෙක් වත් නෑ..

අවංකවක කියනවනම් ඉතින් අපිටත් ජොලි දවස් දෙක ඕක තමා.. වැඩත් නෑ.. ඒ හන්දා ඉතින් පිස්සුවක් කියවන් ඉන්න පුළුවන් අතල් දවස් දෙක.. මේ පහු වුන ඉරිදත් ෆාමසිය ඇරලා.. ඉතින් මම වැඩ.. වැඩ කිවුවට ඉතින් කයිවාරුව තමයි.. මේ පාරනම් ආතල් කෝමත්.. ඇයි ඉතින් ෆුට්බෝල් වල්ඩ් කප් එක තියෙනවනේ.. ෆුට්බෝල් කිවුවම මතක්  වුනේ, කලින් වතාවේ වගේ ලයින් අක්කා හිටියනම් හාදුවක් ඔට්ටු අල්ලන්නවත් තිබුනා.. දැන් ඉතින් නැති දේ ගැන කියලා වැඩක් තියෙනවයි.. ඒ හන්දා කියන්න ආපු එක කියලා ඉමු..

ඉරිදා හැබැයි එච්චරම වැදගත් කියලා හිතෙන රටවල් වල මැච් එකක් නොතිබුනත් අපිත් කරන්න වැඩක් නැති හන්දම බලාගෙන හිටියා.. ඉතාලි මැච් එකක් එහෙම තිබුනනම් තත්වය ඔයිට වඩා වෙනස් වෙනවා හැබැයි.. දවාලේ ගෙදර ඇවිත් කාලා බීලා ඉවර වෙලා 4.30ට ආයෙම වැඩට යද්දී මම ගෙදර තිබ්බ ලෙමන් පෆ් එකක් උස්සන් ගියා.. ගොඩක් වෙලාවට මම ඉරිදට යද්දී මොනා හරි හදන් යනවම තමයි.. මේ සතියේ හදන්න වෙලාවක් තිබ්බෙත් නැති හන්දා මම ඕක උස්සන් ගියා.. උන්ටත් මොකෝ ඉතින් මොනා හරි කමක් නෑ ලංකාවේ කෑමක් නම් ඒ මදැයි..

හවස තිබ්බේ බෙල්ජියම්, රුසියා මැච් එක.. අපිට පටන් ගද්දී වෙලාව හවස 6යි.. බෙහෙත් ගන්නත් මොකෙක්වත් නැති හන්දා අපි කොම්පියුටරෙන් මැච් එක දාගෙන බලාගෙන හිටියා.. ගිය සැරේ නම් ලොක්කා ටීවී එකක් දාලා දුන්නා.. මේ පාර ඒකා මඟුලේ ගිහින් හන්දා ඒකත් නෑ.. මැච් එක බලන් ඉන්න ගමන් මම ගෙනාව ලෙමන් පෆ් එකත් ගෙනත් දුන්නා කට්ටියට කන්න කියලා.. මුනුත් නිකන් අර අළුත් සෑර් ඉස්කෝලෙට ලෙමන් පෆ් ගෙනාව වගේ තමයි මගෙන් ඒක අර ගත්තේ මොනාද බං කියලා..

මෙහේ එවුන් නිකනුත් දෙහි කන හන්දා උන්ට මේක අල්ලලා ගියා.. මැච් එක බලන අස්සේ අපි ඕක හෙමීට කෑවා.. මම එකක් කාලා හැරෙද්දී අරුන් පැකට් එකේ බාගයක්ම ඉවර කරලා.. කමක් නෑ ඉතින් උන්ටනේ ගෙනාවේ.. අපේ අළුතින් ආව ඩොකා කන ගමන් පැකට් එක දිහා බලනවා හොදට.. මාත් ඉතින් ඕක දෙතුන් පාරක් බලන් හිටියා..

" මොකද උඹට මදිද? කරන්න දෙයක් නෑ.. අදට ඔච්චරයි.."

" නෑ බං එහෙම එකක් නෙමෙයි.. මම බැළුවේ මොනවද මේ අකුරු කියලා.."

පොරට ඉතින් කඩ්ඩ තේරෙනවනේ.. මේකා පැකට් එකේ සිංහලෙනුයි දෙමළෙනුයි ලියලා තියෙන එක මට පෙන්නලා අහනනවා..

" උඹට ඉතින් ඉංග්‍රීසි තේරෙනවනේ.. ඔය එකක් ඇවිත් සිංහල.. ඒ කියන්නේ අපි කතා කරන්න භාශාව.. අනිත් එක ඇවිත් දෙමළ.. ලංකාවේ ඉන්න හිංදු ආගම අදහන අයගේ භාශාව ඒක.."

" ඇත්තද, එහෙම බලද්දි උඹලගේ රට හොදයිනේ.."

" ඇයි?"

" නැහැ.. මෙහෙම දේකදි උනත් හැම භාශාවකටම ඉඩ දීලා තියෙන්නේ.. ඒක හොද දෙයක්.."

" උඹ ඇයි එහෙම කියන්නේ?"

" නෑ බලපං.. අපි මේ ඉන්නේ ඉතාලියේ.. නම කිවුවම ලෝකේ හුඟක් රටවල් දන්න රටක්.. ලෝකේ වටේම මිනිස්සු එන යන රටක්.. ඒත් අපේ මොන බඩුවෙද අඩුම ගානේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ.. එහෙම බලද්දී උඹලා උඹලගේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ටම සාධාරණයක් කරලා තියෙනවා.. මෙහෙට සංචාරකයෝ ආවට අපිට ඉංග්‍රීසි බැරි හන්දා උන් කොච්චර කට්ටක් කනවද.. දැන් බලපං මේ ෆාමසිය.. එහා පැත්තේ හෝටලේට එන සුද්දෙක් ආවම කොච්චර වෙලා යනවද ඒ මිනිහට ඕන දේ දෙන්න.. අපි ඒ මිනිහා ඕන දේ තේරුම් ගත්තා කියමු.. ඒත් ඒක පාවි‍ච්චි කරන්න ඕන විදිහ එහෙම හරියට කියලා දෙන්න බැහැනේ.. අඩු ගානේ ගන්න බෙහෙතේ ඇතුලේ තියෙන විස්තර කොලේවත් ඉංග්‍රීසි තියෙනවනම් ඒ මිනිහට ඒක කියවලා හරි තේරුම් ගන්න පුළුවන්.. එහමත් නෑ.. ඔය ප්‍රංශෙන් එන සමහර ක්‍රීම් ජාතියක ඇරෙන්න එහෙම ඉංග්‍රීසියෙන් උපදෙස් කිසිම බෙහෙතක නෑ.. ඉතින් එහෙම බලද්දී උඹලගේ රටේ එවුන්ට කිසිම ප්‍රශ්ණයක් නැතුව ඕනම දෙයක් සුද්දෙක්ට උනත් විකුණන්න පුළුවන්.."

ඒකා කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා මොනවා වුනත්.. සුද්දෝ අපි ගැන අපේ රට ගැන ඒ විදිහට හිතද්දී ඇත්තටම හිතට සංතෝසයි.. ඒත් ඇත්ත තත්වය?

මම සිංහල බඩු ගන්න යන කඩේ ඉන්නේ දෙමළ මනුස්සයෙක්.. ඉස්සර අපේ තාත්තා ඉන්න කාලේ 2002 රනිල් මහත්තයා ඡන්දෙන් දිනුවම අපේ තාත්තා එක්ක කිවුවලු ඔන්න දැන්නම් යුද්දේ ඉවරයි කියලා.. කිවුවා වගේම ඊට සතියකින් නමට හරි සටන් විරාමේ අත්සන් කරා.. හැම මාසෙම දෙමළ ඩයස්පෝරාවට තමන්ගේ ආදයෙම් කොටසක් යවන දෙමළ මිනිහෙක් ඒ.. ප්‍රාභකරන් මැරුණට පස්සේ වෙලාවක මම කඩේට ගියාමත් මිනිහා ඉන්නවා මූඩ් එක අවුල් කරගෙන..

" දැන් වත් ලංකාවට යමු නේද? දැන් අවුරුදු ගානකින්ම ගියේ නැහැනේ.."

අනවශ්‍ය කතා ඕන නැති හන්දා මම එහෙම කිවුවා.. මිනිහත් ටිකක් වෙලා සද්ද නැතුව හිටියා.."

" ඔවු මල්ලී යන්න ඕන.."

ඒ මනුස්සයා ප්‍රභාකරන්ට සල්ලි යැවුවා කියලා දන්නවා වුනත් අපේ හමුදාව ප්‍රභාකරන්ව මැරුවා වුනත් ඒ මනුස්සයා අදටත් අපි එක්ක පුදුම හිතවත් කමකින් කතා කරන්නේ.. කිසිම දවසක රටේ ප්‍රශ්ණ ගැන කතා කරලම නෑ.. කොටින්ම එහෙම දෙයක් වුනාද නැද්දවත් කියලා ඒ මනුස්සයගේ කටින් පිටවෙන්නෙවත් නෑ.. අදටත්, තවමත් තමන් වැඩ කරන කඩේට පාඩු වුනත් ලංකාවෙන් එන එළවළු එහෙම හොද නැත්නම් අයිති ඉතාලි කාරයට හොරෙන් කෝම හරි ගන්න එපා කියලා කියන හොද ගතියක් ඒ මනුස්සයා ලග තියෙනවා..


මම ජාතිවාදය ගැනවත් මුස්ලිම් වීරෝධී අදහසක් වත් මෙතන කියන්න යන්නේ නෑ.. ඒත් එක දෙයක් ගැන මට හිතෙන දේ කියන්න ඕන කියලා හිතුවා.. ඒ තමයි මේ දවස් වල මුහුණු පොතේ ශෙයාර් වෙන මුසල්මානුවන්ගේ ම්ලේච්ඡත්වට උපුටා දක්වන වීඩියෝ.. මේ සටහන තියන්න කලින් දවසේ මම දැක්කේ ඔවුන් කුඩා දරුවෙක්ගේ හිස ගසා දාලා ඒ දරුවගේ කොණ්ඩෙන් අල්ලලා උස්සන් ඉන්න ගමන් කරන යම් ප්‍රකාශයක්..



මට ඒක දකිද්දී හිතුනේ මෙන්න මේ දේ විතරයි.. ඒ වගේ ඉරණමකට මුහුණ දෙන්න ඒ දරුවා කලින් ආත්මෙක මොකක් හරි ලොකු පවක් කරන්න ඇති.. අද ඒ දරුවට ඒ දඬුවම දෙන අයම තමන්ගේ නමට ඒ පවම පුරව ගන්නවා.. මේ ආත්මයේ හරි ලබන ආත්මයක හරි ඒ දඬුවම ඔවුන්ට ලැබේවී.. හැම දෙයක්ම චක්‍රයක් වගේ.. අන්තිමේ හිතට එන්නේ බුදුහාමුදුරුවෝ දේශණා කරපු ධර්මය.. හැම දෙයක්ම සංසාර චක්‍රය එක්ක බැදිලා.. කාටවත් ඒකෙන් පැනලා යන්න බෑ..



ෆාමසියේ ඩොකාගේ කතාවත් එක්ක හිත දිවුවේ හැම අතකම.. විදේශිකයෝ මොනම හරි විදිහකින් අපේ රට ගැන හොදක් දකින එක හරි කතා කරන එක හරි ආඩම්බරයක්.. ඒත් රට ඇතුලේ තියෙන තත්වය ගැන හිතෙද්දී උන් එක්ක වෙනදා තරම් ඕනකමින් උජාරුවෙන් ලංකාව ගැන කතාකරන දේවල් කතා කරන්න බැරි හන්දම මම ඒ දේ හිතේ තියන් නිහඬ වුනා.. අන්තිමේ නොලියන්න හිතන් හිටිය සටහනක් මේ විදිහට ලියන්නත් වුනා..







78 comments:

  1. ඩයස්පෝරා කියන්නේ විසිරී සිටින ජනතාව කියන එකයි. මෙය ජෙරුසලමෙන් පිටත් වෙලා ලොව වටා විසිරී ගිය යුදෙව්වන් ඩඳහා මුලින් යෙදුනු වචනයක්.

    ඔබත් ලාංකික ඩයස්පෝරාවේ සාමාජිකයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක හරි කතන්දර.. ඒත් ඒයගේ සල්ලි එකතු වෙන තැනක් තිබුනනේ.. ඔය යුද්ධේ කාලෙදි රටවල් වල ඉන්න දෙමළ අය සෑහෙන්න සල්ලී දුන්නේ.. අන්න ඒකට මේ මනුස්සයත් සල්ලි දානවා.. එකම එක පාරක් ඒ ගැන කියලා තියෙනවා අපේ තාත්තා එක්ක..

      Delete
  2. //මේ පාර ඒකා මඟුලේ ගිහින් හන්දා ඒකත් නෑ.. //

    පව් අප්පා...:D

    ReplyDelete
    Replies
    1. හෑ ... කවුද පව් ...? ලොක්කද දිනේශ්ද මගුලද? :D

      Delete
    2. පොඩ්ඩී අක්කේ, වැඩක් නෑ අෆ්ෆා ඒ ගැන කතා කරලා...

      Delete
    3. ඉවාන්, මගේ හිතේ මට වෙන්න ඇති පවු කියන්න ඇත්තේ.. නිල් ඇස් මතක් වෙලා..

      Delete
    4. ඔයාගේ ඇස් නිල්පාටද දිනේශ්? කෝ බලමු?.....:D:D

      Delete
    5. අර මගේ ෆොටෝ වල තියෙන්නේ පොඩ්ඩී අක්කෝ.. හොදට බලන්නෝ... ^_^

      Delete
  3. දිනේෂ්ගේ සටහන හැමෝටම කියවන්න ලැබෙනවානම් හොඳයි, බ්ලොග් කියවන අයට විතරක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. එහෙමද මල්ලි......
      නලියට කියල පත්තරෙ දම්මමුද.... හෙක්....හෙක්.....

      Delete
    2. වැඩක් නෑනේ කෙන්ජෝ ඒ පත්තරෙත් බලන්නේ නලියා විතරනේ හැක්

      Delete
    3. ඕව කාටවත් ඇහෙන්න කියවන්න එපෝ...

      Delete
    4. නලියා... ++++++++++++++++++++++++++++++++

      Delete
    5. ඉවාන්, කවුරු කොහොම කියෙවුවත් අවසාන ප්‍රතිඵලය ඉතින් අපි දකින දේකම තමයි..

      Delete
    6. ඉවාන්, කෙන්ජී අයියේ, පත්තරේ.. ඒ මොකද්ද මචංලා ඒ සීන් එක.. අපි දන්නෙත් නෑ.. එහෙම දෙයක් උනාද..

      Delete
    7. නලීන් අයියේ, ඔන්න අපි නම් මුකුත් කිවුවේ නෑ අයියේ...

      Delete
  4. අලේ මංද...
    එතකොට ඇයි දිනේෂ් අය්ය ඉතාලි බාසාවෙන් විතරක් ඔය කියන සටහන් පළ වෙන්නෙ.
    ඒකෙන් සංචාරකයො අපහසු තාවයට පත් වෙනව... රටේ මිනිස්සුන්ට දෙයක් ඉගන බගන්න චාන්ස් එකක් නැති වෙනව කියල හිතන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙමයි.. මේ මිනිස්සු තමන්ගේ භාෂාවට ඉඩක් දෙනවා.. තමන්ගේ කම රැක ගන්න.. හැබැයි ඒකේ හොද වගේම මම මේ කියන අවාසි පැතිත් තියෙනවා.. ඒත් ඉතින් මොන කරන්නද..

      Delete
  5. ඔය ඉංගිරිස් ලංකාවේ තියෙන්නේ සමානතාවය සදහාමද??

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා, හැබැයි ලංකාවෙනම් ඉංග්‍රීසි නිසා මිනිස්සු අතර පරතරය වැඩි වෙනවා අපි නොදන්නවා වුනාට..

      Delete
  6. ඉතාලියෙ විතරක් නෙමේ ගොඩක් රටවල ඔහොම තියෙනව නේද.....

    ReplyDelete
    Replies
    1. ඔවු කෙන්ජි අයියේ.. මම ප්‍රංශේ ගිය වෙලෙත් ඔය ටිකම තමා.. පුදුම කට්ටක් කෑවේ... උන්ට ඉතාලිත් බෑ ඉංග්‍රීසිත් බෑ.. මට ප්‍රංශ බෑ..

      Delete
  7. ලෙමන් පෆ් කියපු ගමන්ම මතක් උනේ පචවංශව ;)

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ ලෙමන්පෆ් බ්‍රෑන්ස් ඇම්බැසිඩර් නේ බං..

      Delete
  8. විදෙස් රටකදී විදෙස් ජාතිකයෙකුගෙන් අපේ රට අපේ භාෂාව ගැන ලැබෙන පුංචි හෝ ඇගයුම හිතට මොනතරම් සුන්දර හැගුමක් ගෙනේද? එය අත් විඳි අය අතර කෙනෙකි ඔබත්

    ReplyDelete
    Replies
    1. ඒ හැඟීම නම් හුඟක් අත්විදලා තියෙනවා නලීන් අයියේ.. අපේ ෆාමසියේ එවුන් ලංකාවට කියන්නේ පැරඩයිස් එක කියලා.. හෙහ්..

      Delete
  9. විදෙස් රටවල ඉන්න යාලුවො කිහිපදෙනෙක්ම කිව්වා ලංකාව ගැන අහන දේවලට උත්තර දෙන්නත් අමාරුයි ලැජ්ජයි කියල... රට තුළ ඉන්න මට වුණත් දෙමළ, මුස්ලිම් සහෝදර ජනතාවගෙ මුහුණු බලන්න ලැජ්ජාවක්, ඒ මුහුණුවල හැගිම් කියවද්දි දුකක්, කම්පනයක් දැනෙනවා මල්ලි...

    මේ ලස්සන පුංචි රට මනුස්සකම් පුරවගෙන හිනැහෙන දවසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අක්කේ:. සුළු දෙනෙක් හන්දා රටේ හුඟක් දෙනෙක් ප්‍රශ්ණ වලට පැටලිලා.. හරි අවසානයක් මේවාට දෙන්න උනන්දුවක් කාටවත් ඇත්තෙත් නෑ.. ඉතින් අපි හැමෝම දුක් විදිනවා..

      Delete
  10. මට ඉතාලියට පය ගහපු අලුත මතක් උනා..මාත් කඩ්ඩෙන් ලියලා තියෙන කෑම බඩු හෙව් වා කාලයකට ඉහත....මොන අන්තිමෙට වැඩේ අත ඇරලා ඉතාලි ඉගෙන ගන්න බැලුවා...දැන් බලන්න මල්ලි මෙහේ හොස්පිටල් වල කඩ්ඩ දන්න කියෙන් කී දෙනාද ඉන්නේ මුන් හැම විභාගෙම මුන්ගේ බාසාවෙන් කරනවා,ලංකාවේ කඩ්ඩ නැතිව ගිය ගමන් දක්ෂයෝ රොත්තකටම හැලෙන්න වෙනවා....
    ඔය වගේ වාසි අවාසිත් තියෙනවා...අනික හැම රෙද්දෙම භාෂා තුනකින් අපේ රටේ භාණ්ඩ වල විස්තර ගැහ්ව්වට හැම ජාතියකටම සම තැන තියා සුදුසු තැනක්වත් දෙන්න බැරි කුහකයොත් ඉන්නවා... දෙයක් ගැන අවබෝද කර ගන්න බැරි මිනිස්සුන්ට ඒදේ අවබෝඩ්ජ වෙන්න නම් මරෙන්න වැටිලා අන්තිම වතුර උගුර කටට වැටෙනකම් ඉන්න ඕනා...ලංකාවෙ සමහරකුත් එහෙමයි..(මේ කමන්ට් එක අදාලද නැද්ඩ මන් දන්නෙ නෑ එත් ලියන්න ඔනා කියලා හිතුන නිසා ලිව්වා)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ශානු, අදාලයි අදාලයි.. හොදටම අදාලයි.. අපේ අයට දෙයක් තේරෙන්න තමුනුත් ඒ තත්වෙටම වැටෙන්න ඕන.. එහෙම නැත්නම් කවදාවත් ඔය මැටි මොල වලට කිසි දෙයක් යන්නේ නෑ..

      මාත් ආව මුලම ඔහොම තමයි.. මම කලේ ගෙදරට වෙලා ටීවි බලපු එක.. හෙහ් හෙහ්.. මෙහේ ටීවී හරි සෝයිනේ ඉතින්.. ^_^

      Delete
    3. මදාරා, ඕකිට දියවැඩියාව අනේ.. ඔවුවා දෙන්න එපා..

      Delete
    4. @මදාරෝ මම සොකලට් කේක් වලට ලයි ඈ

      @ඉදිකට්ටා හම්මේ මම තාම ඉගෙන ගන්නවා බන් .,..මුන් මේ නාපොලිතාන් කතා කොරන නිසා සුද්ද ඉතාලි ඉගෙන ගන්න අමාරුයි....අනේ දුප් යන්න මට දිය වැඩියාව නෑ...අලියාම ගහපිය :(

      Delete
    5. හෙහ් හෙහ්, කෝමත් මුලදි ඕම තමා.. හොදට නිවුස් බලපිය.. එතකොට හරි..

      මෙහේ අලියෝ නෑ ඩෝ.. පල යන්න කිඹූළි..

      Delete
  11. මම ඉන්නෙත් ලංකාවෙන් පිට, ඉගෙන ගන්න ඇවිත්... මාත් එක්ක තව දෙමළ පොරකුත් ආවා, එකම ප්‍රොජෙක්ට් එකට... අපිට කලින් ආපු සිංහල පොරවල් දෙන්නෙකුත් එතන ඉන්නවා... ඇත්තම කියනව නම්, අපි එකතු වෙලා මොනව හරි ඕගනයිස් කරන්න ගියහම, මට දෙමළ පොරව ශුවර් අපේ අනික් සිංහල උන් දෙන්නට වඩා (දැනුම අතින් නෙවෙයි, වැඩේ කරන්න තියෙන කැපවීම අතින්)... ඌ අපිත් එක්ක හොඳට එකතුයි... මට දවසක් වඩේ, පරාට වගේ දේවල් ගන්න ඕන වෙලා තැනක් හොයද්දි පොර මට කිව්ව දෙමළ කඩ තියෙන පැත්තක්... හැබැයි ඌ මට කිව්ව ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් වලින් ගෙවන්න එපා, ඒ පැත්තෙ සෑහෙන හොර වැඩ කරනව කියලා (දෙමළ ඩයස්පෝරාව තමයි)... ඊට පස්සෙ සතියෙ පත්තරේ තියෙනව, ඒ පැත්තෙ ඔය වගේ හොර වැඩ කරපු සෙට් එකක් පොලීසියෙන් අල්ලල කියලා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත, අපි මේ කාලයත් එක්ක අපිව පුරුදු කරලා තියෙන්නේ ඒ අය දිහා වෙනස්ම විදිහකට බලන්න.. ඒත් ඔවුන් එක්ක ඉද්දී, එකට වැඩක් කරද්දී තමයි තේරෙන්නේ ඒ අපේ ඔළුවට දාපු හුඟක් දේවල් වැරදියි කියලා.. ඒත් ඉතින් හැමෝටම ඕකට අවස්ථාවක් එන්නේ නැහැනේ.. අන්න ඒකයි දුකට කාරණේ..

      Delete
  12. ලෙමන් පෆ් කියල දැක්ක ගමන් දුවගෙන ආවෙ දිනේෂ් අයියා ඊයෙ ඉතාලිය පැරදිච්ච දුකට ඔලුව කොලොප්පන් වෙලා අද දේශපාලන පෝස්ට් එකක් ලිවුවාවත් ද කියල බලන්නයි. මොනා උනත් නියම කතාව. කමක් නෑ ඉතින් බිස්කට් කවරෙ ඉඳන්ම සමානාත්මතාව තියන රටක් තමයි අපි. හලිද! කොච්චර ආඩම්බරද නේ!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බස්සී, මගේ ඔළුව කොමත් කොලොප්පන් වෙලා තියෙන්නේ.. ඕකට ආයෙම මුකුත් වෙන්න දෙයක් නෑ.. ඒ හන්දා නිකන් හිටින් ගූෆෝ කතා හදන්නේ නැතුව..

      අපේ ඉතින් සමානාත්මතාව තියෙනවා "නමට"

      Delete
    3. මදාරා, අඬන්න එපා ඒ.. අඬලා වැඩක් නෑ..

      Delete
  13. ලංකාවෙන් ඉතාලියට ලෙමන් පෆ් පටවන ව්‍යාපාරයක් පටන් ගන්න බැරිවෙයිද්ද දිනේෂ් අපි දෙන්නට? :)

    ReplyDelete
    Replies
    1. අදහස හොදයි,, ඒත් අයියේ දැනටමත් ඒක කෙරෙන හන්දා අපිත් දාගත්තම කලින් ඉදන් කරපු මිනිස්සුන්ට බඩේ පාර වදිනවනේ..

      Delete
  14. දිනේශ්. මේ වෙද්දි කලින්ට වඩා තත්ත්වය බොහෝ වෙනස්. දැන් යුරෝපයේ භාශාවන් වලින් බෙහෙත් වගේ ද්‍රව්‍ය ගැන හැඳින්වීමක් තියෙනවා. ඒක මේ වෙද්දි නීතියක්. නමුත් මීට වසර ගාණකට කලින් මේ රට ඉංග්‍රීසි කියන්නේ අත්‍යාවශ්‍යය භාශාවක් කියලා හඳුන්වාගෙන හිටියේ නෑ. ප්‍රංශ, ස්පැනිශ්. ජර්මන් තමයි මුලින් යුනිවර්සිටි වල පවා භාවිතාවුන විශයයන්. ඒත් අනූව දකයෙන් පස්සේ ඉංග්‍රීසි ඒ තැනට ඇවිත් තියෙන්නේ. නගරයක හෝ පාසලක (ග්‍රාමිය පරිසරවල මේක අඩු විය හැකියි) දැන් ඉංග්‍රීසි කතා කරන අය සීග්‍ර දියුණුවක ඉන්නවා. ඒත් ඔවුන් ඉංග්‍රීසි භාවිතා කිරීමේ අවශ්‍යතාවය අපේ අය වගේ හයි ලයිට් කරන්නේ නෑ. ඒ ස්වකීය භාශාවට දක්වන ගරුත්වය හෝ කැමැත්ත නිසා. මේ රටේ ඒ පලාත් වලට සම්බන්ද භාශා සංරක්ශණය කරන වැඩ සටහන් තියෙනවා. කොටින්ම ඩිනේශ්ලගේ පැත්තේ ව්‍යවහාර වෙන භාශාව අපිට වුනත් තේරෙන්නේ නෑ. එහේ සාමාන්‍ය ඉතාලි කතා කරන අයත් අඩුයි. ඒත් ඒක ඩිස්ක්‍රිමේනේට් කරන්නේ නෑ වගේම ලංකාවේ මොන භාශාවෙන් ඕක ගහලා තිබුනත් සමාජයේ සමපැවැත්මක් ගරුත්වයක් එකිනෙකාට දක්වනවා කියලා හිතෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු රංගි අක්කේ අපිට තියෙන්නේ සිසිලියානි භාශාව.. ඒක ටිකක් අමාරුයි.. මෙහෙමයි වචන නම් එහෙම වගේ උනාට ඒක උච්චාරණයේ ලොකු වෙනස් කම් තියෙනවා.. සමහර වෙලාවට මට උනත් එහෙම කතාබහක් නොතේරී යන වෙලාවල් එනවා..

      ඇත්ත දැන් බෙහෙත් වගේ දේවල් වල එහෙම කරන්න ඕන වුනත් මම මේ ඊයේ පෙරෙදා ගත්ත ANAURAN බෙහෙත් එකේ තිබුනේ ඉතලි විස්තර තියෙන කොලයක් විතරයි.. තාම ඒ දේ හරියටම වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.. සමහර ඒවයේ තියෙනවා සමහර ඒවයේ නෑ..

      Delete
  15. අපේ උන්ගේ සමානාත්මතාවය තියෙන්නේ නමට විතරයි බං.අවස්ථාවක් ලද හැටියේ අනිත් එකාව පාගලා දාන්න හදන එවුන් ඉන්න රටක් මේක.බොරුවට භාෂා දෙක,තුනම ලේබල් වල ප්‍රින්ට් කෙරුවාට උතුරේ ඉන්න සිංහල බැරි දෙමළ මිනිහෙක්ට මේ දකුණේ සමාජය එක්ක ගණුදෙනු කරන්න කොයි තරම් අමාරුද?ඕකෙම අනික් පැත්ත තමයි දකුණේ සිංහල මිනිහෙක් උතුරට ගියොත් වෙනවා ඇත්තෙත්.

    රජ්‍ය සේවකයින්ට අමතර භාෂාවක් ඉගෙන ගන්න කියලා තියෙන එකෙන් වුනත් ජනතාවට හරි සේවක් සැලසෙන බවක් පේන්නේ නැහැ.මොකද ගොඩක් රාජ්‍ය සේවකයෝ එහෙම දෙවනි බසක් ඉගෙන ගන්නේ ජනතා සේවය කිරීම කෙසේ වෙතත් ඒ වෙනුවෙන් ගෙවන දීමනාව ලබා ගැනීමේ අරමුණින් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචං.. හැමදේම වෙන්නේ මතුපිටින් පේන්න විතරයි.. ඈතක ඉදන් බලන කෙනෙක්ට යහපත් ප්‍රතිරූපයක් පේන්න විතරයි ඔක්කොම.. ඒත් ඇතුලට ඇවිත් බලන එකා හැමදේම දන්නවා..

      මෙතන වුනත් එහෙමයි අරූ අරක දැකලා අරහෙම කිවුවට ලංකාව ගැන හරියට හොයලා බැළුවොත් හරි ඇවිත් බැළුවොත් හරි ඔය කියපු දේ වෙනස් වෙයි.. ඒකයි මම උනත් නිහඬ වෙලා සද්ද නොකර හිටියේ..

      Delete
  16. සිංහලයින්ට අදින සිංහලයොයි, දෙමළට අදින දෙමෙල්ලුයි, තම්බින්ට අදින තම්බියි ඉන්නකං මොන සමානාත්මතාද බං.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.. කතාව 100%ක්ම ඇත්ත..

      Delete
  17. පොහ්...................මම හිතාගෙන හිටියේ ඔය රටවල බහු ජාතික, බහු ආගමික, බහු භාෂා, බහු බහු බහු ඔක්කොටම සාධාරණව සලකනවා කියලනේ. දැන් බලනකොට බහු එලියට කියනවා වගේ වැඩක්නේ වෙන්නේ. කාටත් සමව සලකන අපේ කිරිජ්ජපල්ල අතගාන්න තමයි පිටරටවල කොයි එකාත් දත කන්නේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මේවයේ ඉතින් ඔය බහු වලින් තියෙන්නේ බහු භාර්යා තමයි විචාරකතුමනි..

      මේක හැම දෙකටම අදාල නෑ.. හැබැයි ඒත් හුඟක් වෙලාවට් තියෙන්නේ ඉතාලි භාශාවට තැනක් විතරයි.. අඩුම ගානේ ඉංග්‍රීසියෙන් ප්‍රවෘත්තියක් වත් යනවා මම දැකලම නෑ..

      Delete
  18. ඉතාලියෙත් ලංකාවෙ ලෙමන් පෆ් විකුණන්න තියෙනවද?

    ලෝකයේ සංස්කෘතිය ගොඩනගන්නෙත්, විනාස කරන්නෙත් ආගම කියන සංකල්පයෙන්..

    ReplyDelete
    Replies
    1. ඔවු මචං.. අපිට ලංකාවේ බඩු මුට්ටු එනවනේ.. නැත්නම් බං අපි බයියං සුට්ටක්වත් කන්නේ කෝමෙයි.. ^_^

      //ලෝකයේ සංස්කෘතිය ගොඩනගන්නෙත්, විනාස කරන්නෙත් ආගම කියන සංකල්පයෙන්..//

      එකග නෑ මනෝෂ්.. ආගම කියන සංකල්පයෙන්ම විතරක් නෙමෙයි.. එක අනුගමනය කරන හා ඒවාට උපදෙස් දෙන අයගේ තීන්දු තීරණ වලින් කියලයි මම හිතන්නේ..

      Delete
    2. ඉතින් ඒකනේ මචං. ඒ උපදෙස් දෙන්නෙත්, තීන්දු ගන්නෙත් ඒ ආගම් වලම උදවියනෙ. ආගම් කියල සංකල්පයක් නැත්නම් මේ කිසි දෙයක් නෑනෙ.

      Delete
    3. ඔවු ඒක ඇත්ත.. එතනදි වෙන්නේ ආගම කියන සංකල්පය තමන්ගේ ප්‍රයෝජන වලට පාවිච්චි කරන එක..

      Delete
  19. දිනේෂ්..............

    කතාව එළය. නමුත් අහන්නට වෙන දෙයක් තියේ... මේ ඊයේ මැච් එකෙන් පැරදුනාට පස්සේ ඔහේ තත්වේ මොන වගේද දිනේෂ්..... අපි ඔය දේවල් වලට නැති හින්දා දැනෙන්නේ නැහැ. අපි නම් ඊයේ දින්නානේ.... ඒත් ඉතාලියේ මිනිස්සුන්ට ඊයේ ෆුල් අවුල් ඇති නේද??? ප්‍රතිචාර කොහොමද???

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් වැඩ කරන ගමන් මැච් එක බැළුවා.. 80වෙනි විනාඩිය එනකන් අපි ෆන් එකේ ඉදියා මොකෝ ඩ්‍රෝ වුනත් අපි දෙවනි වටේට යන හන්ද.. කරුමෙට අර උරුගුවේ කාරයා ගැහුවනේ ගෝල් එකක්.. ඉතින් සුද්ද ඉතාලි වචන ඇති වෙන්න.. ඊට පස්සේ ගේම ඉවරයි.. අපි වැඩ.. ඔන්න අද කට්ටිය එක එක රට වලට සපෝට් කරන්න කතා වුනා.. මම බ්‍රසීල්.. හෙහ්.. මුනුත් ඇවිත් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ශකයෝ වගේ තමා..

      Delete
  20. Replies
    1. අද මොකෝ යන්තම් කියලා ශේප් වෙලා?

      Delete
  21. ලේබල් වල‍ට වෙළද දැන්වීම් වලට විතරක් සීමාවුන සමානාත්මතාවයක් අද අපේ රටේ තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත,, ඒ ගැන දන්නේ රට ඇතුලේ ඉන්න අය විතරයි.. පිටස්තරයෝ මවාගෙන ඉන්නේ හොද චිත්‍රයක්..

      Delete
  22. සමානතාවය පැත්තෙන් අපේ රටේ තියෙන එකම හොද දේ ඕක විතරයි..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතින් බොරු ආටෝපෙට වගේනේ..

      Delete
  23. මගේ ඥාති සහෝදරයෙක් ඉතාලියෙ ඉන්නවා 90 දශකයේ මුල ඉදලම...ඔහු වතාවක් ඔහුගේ ආයතන ප්‍රධානියාට ආරාධනය කලා ලංකාවෙ සංචාරයකට එන්න කියලා...එවලෙ මිනිහා කියලා තිබ්බෙ...කවුද බං උඹලගෙ රටට සංචාර වලට යන්නෙ කියලයි...එදායින් පස්සෙ නම් අයියා කාටවත් ආරාධනා කරන්න ගියේ නෑ...

    ඔය කියන විදියට මලයො ඉතාලියට සංචාරකයෙක් ආවම ලෝක අමාරුවකනෙ වැටෙන්නෙ...ගොඩාක් අයට ඉංග්‍රීසිත් බැරි නම්...ඒවට මොනවද යොදලා තියෙන පිළියම්...

    ReplyDelete
    Replies
    1. එක අතකට හැබැයි පුදුමයි ඒ මනුස්සයා එහෙම කිවුවා කියන එකත්.. සමහර විට යුද්ධේ තිබ්බ හන්දද දන්නේ නෑ.. අපේ සෙට් එකනම් හැබැයි එන්න බලාගෙනමයි ඉන්නේ..

      ඔවු, ගොඩක් අයට ඉතින් අමාරුයි තමයි.. අතරමඟ කෙනෙක්ගෙන් දෙයක් අමාරුවෙන් අහගෙන තමයි ශේප් වෙන්නේ.. මමම කී දෙනෙක්ට විස්තර දීලා ඇත්ද අයියේ..

      Delete
  24. අපිත් ෆාමසියේ ඔය වගේ දවසට (පෝයට ) කියව කියවා ඉන්නෝ...එක්කෝ ෆිල්ම් බලනවා..

    ලෙමන් පෆ් ගිය දුරක්...

    ReplyDelete
    Replies
    1. රෙහානියත් ෆමාසිද, මම අදනේ දන්නේ.. ඔහේ නම් ඉතින් එක්කෙනෙක් ඇරියම අනික් අයත් ඇරන් ඉන්න හන්දා කෝමත් වැඩ අඩුයි තමයි හුඟක් වෙලාවට..

      Delete
    2. රෙහානි ෆාමසි...තියෙන්නෙ රත්නපුරේ...

      Delete
    3. අෆ්ෆේ, සිරා අයිය විස්තර ඔක්කොම දන්නවනේ එහෙහන්ම්..

      Delete
  25. ලස්සන කතාව. ලෙමන් පෆ් කරල තියෙන හරියක්.

    ReplyDelete
    Replies
    1. අර වතාවක් කතන්දර තුමා කිවුවා වගේ හැම සිද්දියක්ම වෙන්න ඇරලා බලන් ඉදියම අපිට ලියන්න දෙයක් ඉතුරු වෙනවනේ අක්කෝ...

      Delete
  26. මේක ටිකක් ගැඹුරට හිතන්න ඕන කතාවක්..ඔය විදිහට භාෂා තුනෙන්ම බෝඩ් ගැහුවට අපි හිතන විදිහේ ප්‍රශ්නයක් තියනවා කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔවු අක්කේ.. හැමදේම බොරු ආටෝපයන් විතරයි.. ප්‍රශ්ණයක් තියෙනවා.. හැබැයි ඉතින් ඒක කාටවත් තේරෙන්නේ නෑ..

      Delete
  27. දිනේෂ්.....අනිත් රටවල්වලකොහොමද දන්නේ නැහැ. ලන්ඩනයේ ඉස්පිරිතාල්වල සහ සමහර අත්‍යාවශ්‍ය ආයතනවල් සමහර දැන්වීම් සහ බොහොමයක් අත්‍යවශ්‍ය පත්‍රිකා භාශා 5-15, 20 දක්වා ප්‍රමාණයකින් තියෙනවා ( එකම පත්‍රිකාවේ). ඒ සමහරක දෙමල භාශාවත් තියෙනවා. මම තාම සිංහලෙන් තියෙන පත්‍රිකාවක් නම් දැක්කේ නැහැ. අනිකුත් පලාත්වලට වඩා ලන්ඩනයේ මේ තත්වය දකින්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් මම නම් දැකලා තියෙන හොස්පිටල් වල නම් ටිකක් ඉංග්‍රීසියෙන් දැන්වීම් තියෙනවා.. කාලයක් මම හිටිය හන්දා ඒක නම් මම දැක්ක හොදටම.. අනික මෙහේ ඔය කොතනක මොන භාශාව නැතත් අර ආගම් ප්‍රචාරය කරන්න එන අයගේ පත්‍රිකා වල ඔය ඔක්කොම එවා තියෙනවා..

      Delete
  28. හපෝ උදේ පාන්දරම ලෙමන් පෆ් එකක් මතක් කරලා මෙයා කරපු දෙයක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අපි එහෙම තමයි ලොකූ..

      Delete
  29. අපේ රට ගැන ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන්, අපිම තමයි ඒක විනාස කරගන්නෙ ....
    කතාව නියමයි...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ කොල්ලෝ ඒ ගැනනම්...

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්