Thursday, 3 April 2014

සමනළයා මියැද්දෙන්



තියුණු කටු තුඩින් සිරිංජයට ලේ එකතුවෙන දිහා මම බලාගෙන හිටියා.. ඇගේ මුහුණේ තිබුනේ හැඟිම් විරහිත බවක්.. හරියට මළමිණියක් වගේ.. සමහර වෙලාවට මේ දේවල් පුරුදු හන්දම වෙන්න ඇති.. සිරිංජය පිරෙනකන්ම එකතු වුන ලේ දිහා මම බලාගෙන හිටියා.. ඒකේ තිබුනේ අවපැහැ ගතියක්.. ඇත්තම කිවුවොත් කළු පාටක්.. ලේ රතු පාටයි.. එහෙමනම් ඇයි සිරිංජයට පිරුණ මගේ ලේ වල කළු පාටක්? මට හිතුනෙම ඇගෙන් ඒ ගැන අහන්න.. ඒත් ඒ කිසිම හැඟීමක් නැති මුහුණ දිහා බලාගෙන කතා කරන්න මට ඕන වුනේ නෑ.. ඒ හන්දම මම මගේ ලේ පිරෙන සිරිංජය දිහා බලාගෙන ඉදියා..

ඒත් මට ඒ දිහා බලාගෙන ඉන්නත් අවසර නැහැ.. අපිට ටිකක් එහායින් හිටපු ඔහු මගේ අවදානය ඒ පැත්තට ගන්න අසාර්ථක උත්සාහයක යෙදිලා හිටියා.. ඔහු නිතරම පැරදුනා.. ඒත් ඔහු උත්සාහය අත ඇරියේ නෑ.. නොයෙක් දේවල් කියන්න ඔහු උත්සාහ කලත් ඒ දේවල් මගේ මතකය අතරට ගියේ අතරින් පතර.. ඒ හන්දම ඒ වචන වල ඒ තරම්ම වැදගත් කමක් මට දැනුනේ නෑ..

" දැන් හරි.."

ඇයට තිබුනේ රළු පිරිමි කටහඬක්.. මුහුණුවරින්වත්, හැසිරීමෙන්වත් ගැහැණිකගේ හැඟීමක් නොතිබුන ඇයට ඊට නොදැවෙනි වෙන්නම රළු පිරිමි හඬකුත් පිහිටලා.. ඇගේ වැඩ නිමාවෙන අතරේ මම ඒ මුහුණ දිහා බලන්න උත්සාහ කලා.. ඒ, ඇත්තටම ඇය ගැහැණියක්ද කියලා සැක හැර දැන ගන්න..

හිතට එකතුවුනේ කුතුහළක් විතරයි.. ඒ කරාඹු ජෝඩුව, යාන්තමට ගැල්වූ තොල් ආලේපන ඉවත් වුනානම් ඇය පිරිමියක් කියන්න පුළුවන් හැම දෙයක්ම සම්පූර්ණ වෙලා.. මගේ මුවගට ආවෙ සිනහවක්.. ඔවු ඒක උපාහාසාත්මක එකක්.. ඒත් ඇගේ බැල්ම ලග ඒක ඉක්මනින්ම හංඟගන්න සිද්ද වුනේ ඒ තියුණු බැල්මට හිත පොඩ්ඩක් හරි තැගැස්සුන නිසා..

" මේ විදිහට ගියොත් අපිට කලින් කියපු දේවල් කරන්න වෙයි.. ඒ හන්දා මීට වැඩිය ටිකක් මොළේ පාවිච්චි කරන්න.."

ඔහු එක දිහටම කතා කරන්න ගත්තා.. මම කල්පනා කලේ කලින් කියපු දේවල් ගැන.. මට ඒ ගැන කිසිම මතකයක් නැහැ.. එහෙමත් නැත්නම් ඔහුට වැරදිලාද? මගෙ අවිශ්වාසයක් තිබුනත් ඔහුගේ තිබුනේ ස්ථාවර බවක්.. එහෙනම් ඔහු වැරදි නැහැ..

" මිට පස්සේ තනියම එන එක එච්චරම හොද නෑ.. ඒ හන්දා තව කවුරු හරි කෙනෙක් එක්ක එන්න.."

" මට කවුරුවත් නැහැ.."

මගේ හිත අකමැති ඒත් මට යතාර්ථයක් වුන වචන ටික මම පුරුද්දට වගේ කියලා දැම්මා.. ඒක මගේ පරාජය.. ඒත් ඔහු ඒ පරාජය බාර ගන්න සූදානම් නැහැ..

" කවුරුවත්ම නැති කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නැහැ.. අපිට කොයිම විදිහක හරි සම්බණ්දයක් තියෙනවා.. කාව හරි එක්කගෙන එන්න.. අඩුම ගානේ එක වතාවකට හරි.."

" හ්ම්ම්.."

මට කියන්න ඉතුරු වුනේ එච්චරයි.. මගේ පරාජිත හැඟීම් ඔහු පරාජයක් විදිහට බාර ගන්න කිසිම සූදානමක් නෑ.. අන්තිමේ මම වාඩිවෙලා හිටිය පුටුවෙන් නැඟිටලා එළියට එන්න හිතුවේ ඊට වඩා කතා කරන්න තරම් දෙයක් නොවුන හන්දා..

" මේ ගැන ට්කක් මීට වඩා හිතන්න.. අපිට තව අවස්ථාව තියෙනවා.."

මම ඔහුට කන් නොදීම එන්න තීරණය කලා.. ඒ තීරණේ හරිද වැරදිද කියලවත් හිතන්න මට ඕන වුනේ නෑ.. දොර ලගදි මම ආයෙම වතාවක් දැක්කේ පිරිමියෙක් වගේ පෙනුන ඇගේ මුහුණ දිහා.. හිත ඇතුලේ දුවන එකම ප්‍රශ්ණය ඇය කවුද කියන එක.. ඇත්තටම ඒක හාස්‍යක්..

රතු චතුරශ්‍රය පේන මානයට එනකනම් ඔහේ ඇවිදන් ආවා.. ඒ තරම්ම උනන්දුවක් නොදැක්කුවට ඔහු කියපු දේවල් සමහරක් හිතට සැරින් සැරේ එන්න වුනා.. එහෙමනම් තව ඉතුරු ටික කාලයයි.. රතු චතුරශය දිහා බලාගෙනම මම කල්පනා කලා.. හැම තැනම ගැවසෙන අය අතරේ මම තවක් එක්කෙනෙක් විතරයි.. හැබැයි ඒ හැමෝටම වැඩිය කුඩා මිනිසෙක්..

චතුරශ්‍රයට ටිකක් එහායින් වුන පාරක් ලග හිටියේ සජීවී පිළිරුවක්.. වෙනසකටත් එක්ක මම ඔහු දිහා ඕන කමන් බලන්න උත්සාහ කලා.. අපි ලග තිබුනේ කිට්ටු නමුත් තරමක දුරක්.. හැබැයි ඒ පරතරය අපි අතරේ හිතුවට වැඩිය වැඩියි කියලා දැනුනේ නිතරම අප අතරින් යන මිනිස්සුන්ගෙන් අපිට බාධාවක් වුන නිසා.. ඒ හන්දම මම ටිකක් ලගට යන්න තීරණය කලා..

ඔහුගේ කරේ තිබුනේ ලෝක ගෝලයක්.. උහුලාගෙන ඉන්න බැරි තරමේ බරක් ඔහු දරාගෙන ඉන්න බව මොහොතින් මොහොත කාටත් හොරෙන් වෙනස් කර ගන්න උත්සාහ කරන මුහුණේ ඉරියවු වලින්ම පේන්න තිබුනා.. ඇයි ඔහු එහෙම කරන්නේ? මම හිතුවා.. උත්තරය ජීවිතය.. ඔහුට ජීවිතය වැදගත්.. ඒත් මම?

පුරුදු විදිහටම චතුරශ්‍රය දිහා බලාගෙන මම හිටියේ කල්පනාවක.. ඒත් කවදාවත්ම නැතුව ඒ කල්පනාව මං ගැනම.. මගේ ජීවිතේ ගැනම.. අවුරුදු ගානක අතීතයට හිත දුවලා යන්න හැදුවත් මම හිත බොහොම අමාරුවෙන් නතර කරගත්ත්තා.. ඒ, දැන් අතීතයට ඉඩක් දෙන්න තරම් කාලයක් නොවෙන හන්දා..

ඒත් මට මතක් වුනේ මායාව.. අවසානයේ බැදීමකට කියලා ඉතුරුවුන එකම දේ මායා.. ඒත් ඒකත් දැන් අතීතයක්.. ඒ වුනත් එකම බලාපොරොත්තුවක් හරි තියාගන්න පුළුවන් මායා ගැන විතරයි.. චතුරශ්‍රය ලගින් ඈත් වෙන්න හිතක් තිබුනේ නෑ.. මම බලාගෙන හිටියේ සජිවී පිළිරුව දිහා.. ඔහු දිනුම්.. අවසානයේ මට හිතුනේ එච්චරයි..

මායා වැඩකරපු තැනට යන්න තරම්වත් මේ ඇදුම් පිළිවෙලක් නෑ.. පරණ මතකයක් වුනත් මායා තාමත් මගේ හිතේ ඉතුරුවුන ආදරය.. ඇයට මාව පිළිකුලක් වේවි.. සමහරවිට අපි අන්තිමට හමු වුන වෙලාවේ කිවුවා වගේම තාම මට වෛර කරාවි..  පාරට වෙලා මම තව පැයක් විතර බලාගෙන හිටියා.. ඒ මායා වෙනුවෙන්..

දණහිස් වලට සුපුරුදූ වේදනාවම දැනෙනවා.. කාටවත් පිටතට නොපෙනුනාට ඉදලා හිටලා ගැහෙන ඇඟ පාලනය කරන් හිටියේ ආයාසයකින්.. මට වුනමනා දේ මට දැනුනත්, මේ ඒකට වෙලාව නෙමෙයි.. මගේ බලාපොරොත්තුව තිබුනේ මායා.. මම ඒ දිහා බලාගෙන ඉදියා..

" මිට පස්සේ තනියම එන එක එච්චරම හොද නෑ.. ඒ හන්දා තව කවුරු හරි කෙනෙක් එක්ක එන්න.."

හැමදෙයක්ම අතරින් මට ආයෙම ඔහුගේ වචන ටික ඇහුනා.. හිත දුවලා ගියේ එතනට.. මායා ඒවිද? හිතේ ඉතුරු වුනේ ප්‍රශ්ණයක්.. කල්පනාවත් එක්කම පාර දිහා බලද්දි මම ඈතින් දැක්කේ මායව.. ඒත් ඈ ඉස්සරහට යන්න හිතේ තිබුනේ චකිතයක්.. අපි අතර දුර දැන් අවුරුදු ගානකින් ඉස්සරහට ගිහින්.. හැමදෙයක්ම වෙනස් වෙන තරමටම..

" මායා.."

ඇය මාව පහුකරද්දිම මගේ මම මායට කතා කලා.. ඇය මගේ දිහාවට හැරුනේ මාව බලාපොරොත්තුවෙන් නෙමෙයි.. ඒක හරි ඉක්මනට වෙනස් වුන ඒ මුහුණුවරින්ම පෙනුනා.. ඒත් දැන් මට ඒක ඉස්සර තරම්ම වේදනාවක් නෙමෙයි..

" මාර්ක්?"

ඈ හැම දෙයක්ම දිහා බොහොම තියුණූවට බැළුවා.. හරියට ඒ දවස් වල වගේම.. කිළුටු පාටට පෙනුන ඩෙනිමත් කළු පාට ඩෙමින් ජැකට් එකත් දිහා ඇය බැළුවේ පිළිකුලින්..

" අපිට පුළුවන්ද ටිකක් කතා කරන්න?"

මායා මගේ දිහා බැළුවේ පිටස්තරයෙක් දිහා බලන විදිහට.. ඔවු, ඇත්තටම මම දැන් පිටස්තරයෙක්..

" අපිට කතාකරන්න දේවල් තියෙනවද?"

" හ්ම්ම්.."

" දැන් අවුරුදු හතරක්.. බලන්න ඔයා දිහා.. ඔයා තවත් අන්තයටම ගිහින්.."

" මම දන්නවා මායා.. ඒත්,"

" ඔයාට මම පුළුවන් හැම වෙලේම අවස්ථාව දුන්නා.. ඒත් වැඩක් වුනේ නෑ.. තවත් අපිට කතා කරන්න තරම් දෙයක් ඉතුරු නැහැ.."

ඇය ආපහු යන්න හැරුනා.. ඒ වෙනදා වගේම කේන්තියෙන්..

" මායා.."

මට ඇයව නවත්තන්න ඕන වුනත් ඇයට ඒ ගැන තැකීමක් තිබුනේ නෑ.. මං කතාකරන එක නෑහුනා වගේ සෙනග අතරට මුවා වෙලා මායා යන්න ගියා.. පස්සෙන් දුවලා ගිහින් නතර කරන්න තරම්වත් හිතක් ඒ වෙලාවේ මට තිබුනේ නෑ.. මම කලේ ඈ දිහා බලාගෙන ඉන්න එක.. නොපෙනී යනකන්ම..

රෑ අඳුරත් එක්ක දෙපා වල වේදනාව තවත් තදින්ම දැනුනා.. මම තාමත් ඉන්නේ පාරේ.. කිසිම අරමුණක් නැතුව.. හිතේ තිබුනේ එක දෙයක් විතරයි.. ඒ මායාගේ මතකය.. මතකයත් එක්කම පුරුදු පාරවල් අතරින් ඇවිදන් ආවා.. පාරේ කෙලවරක මම දැක්කේ ඔහුව.. සජීවී පිළිරුව.. ඒත් ඔහු දැන් පිළිරුවක් නෙමෙයි..

දල්වාගෙන හිටිය සිගරට්ටුව උරමින් පාරේ කෙලවරකට වෙලා ඔහු හිටියේ නිදහසින්.. මම ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා.. දවාලේ බැරි වුනත් දැන් වත් ඔහුත් එක්ක ටිකක් කතා කරන්න කියලා හිතුවත් මම ඒ අදහස අත්හැර ගත්තේ ඔහුගේ නිදහසට බාදාවක් වෙන්න ඕන කමක් නොතිබුන නිසා.. එකින් එක අහසට දුම් වළළු පිට කරමින් ඔහු හිටියේ ඔහුගේම කියලා ලෝකයක.. ඒත් මම?

මගේ ලොකය තිබුනේ වෙනමම තැනක.. ඒත් එතනට හුඟක් දෙනෙක් අකමැතියි.. මං වගේම කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම මගේ ලෝකෙට වෛර කරනවා.. ඒත් මම එතනට හුඟක්ම ආදරෙයි.. යාන්තමට විවර වුන දොර අතරින් මම ඇතුල බැළුවේ හිතේ සැකය ඈත් කර ගන්න..

" ඇයි මොකද?"

අතේ තිබුන එකම රූබල් පනහ මම ඔහුට දික් කලා.. ඔහුගේ මුහුණේ තිබුනේ සිනහවක්.. ඒක සමච්චලයක්..

" මේකට මොනවා කියලා ගන්නද?"

" පුළුවන් තරමක්.."

ඔහු ආයෙම හිනාවුනා.. ඒත් අන්තිමේ වෙනදා තරම්ම නැතත් මට ඕන දේ මට ලැබුනා.. හිතට වෙනදා තරම්ම සතුටක් නැතත් ඩෙනිම් ජැකට් එක අතරේ අත රදවගෙනම මගේ කාමරේට ආවේ මගේ ලෝකේ තනි වෙන්න.. කාමරෙ තිබුන පිළුණු ගද ගැන වද වෙන්න තරම්වත් ඕනකමක් මට තිබුනේ නෑ.. පුරුදු විදිහටම දොර ජනෙල් හැම එකක්ම වහගත්ත මට ඕන වුනේ තනි වෙන්න.. මගේම ලෝකෙක..

මායා, ජීවිතෙන් ඈතට ගිය අතීතක් විතරයි.. මං වෙනුවෙන් මොහොතක් නතර වෙන්නවත් බැරි තරමටම මාව පිළිකුල් කරන අතිතයේ එක නැවතුමක් විතරයි ඇය.. එක අතකට ඇය වැරදිත් නැහැ.. ඇය ඇගේ ලෝකෙක ජීවත් වුනා දෙන්..

කාමරෙ තිබුණ පිළුණු ගද එක වතාවකට හොදට විඳගත්තා.. ඒක මට දැන් හුරුයි.. හරියටම ජීවිතේ එක කොටසක් වගේ.. එක ලයිට් එකක් විතරක් දැල්වෙද්දී අනික් හැම එකක්ම නිමලා දැම්මේ කළුවරට ඉඩ දෙන්න මට ඕන වුන හන්දා.. ජීවිතෙත් හරි හමන් එළියක් නැති වෙලා ගිහින්.. නිතරම අහන්න ආස කරපු බීට්ල්ස්ලගේ සීඩී එකක් අරගෙන ඒක වාදනය වෙන්න දැම්මේ රූපවාහිණියට වැඩිය මම සංගීතයට ආස කල නිසා..

පැත්තකට විසි කරපු ඩෙනිම් ජැකට් එකේ සාක්කුවෙන් ඒක අර ගනිද්දී ඉබේම වගේ පිටවුනේ සුසුමක්.. නමුත් ඒක පසුතැව්ල්ලක් නෙමෙයි.. කිසිම විදිහක වටිනාකමක් නැතුව ඔහේ ගෙවෙන ජීවිතේ මට තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද? කිසිම දෙයක් නැහැ..

කබඩ් ලාච්චුවේ තිබුන සිරිංජයකුත් අරගෙන පුටුවක වාඩි වුනේ නිරුවතින්.. ඒක මගේ නිදහස.. මගේ ලෝකය ඇතුලේ තිබුන නිදහස එක්ක ජීවත් වෙන්න මට නිතරම ඕන වුනා.. සිරිංජයට ආශ්වාදය හෙමින් පිරෙද්දී මගේ මතකයට එක පාරම ආවේ උදෑසන දැක්ක ඇය..

ඇගේ පිරිමි හුරුව හරියට මායාවක් වගේ මං ඉස්සරහා මැවෙන්න වුනා.. ඒ කිසිම හැඟීමක් නැති මුහුණ, ගැහැණු ලාලිත්‍යක් නොතිබුන කම්බුල්  එකින් එක මතකයට ආවේ උදේ තිබ්බා වගේම කුතුහලයත් එක්කම.. ඒත් දැන් ඒ දේවල් වලින් වැඩක් නැහැ.. මට ඇයව අනිවාර්‍යෙන්ම ආයෙම මුණ ගැහේවි.. සමහරවිට අවසන් හුස්මකට කලියෙන්..

බීට්ල්ස්ලගේ සංගීතයයි ඇඟට මුසු වුන ආශ්වාදයයයි එක්ක මම හිටියේ හැම දෙයක්ම අමතක වෙලා යන තැනක.. වේදනා දුන්න දණහිස් වත්, ඉදලා හිටලා ගැහුන ඇඟත් දැන් ඒ හැම දෙයක්ම අමතක කරපු ගානයි.. මම පුටුවෙන් නැඟිට්ටා.. ඒ, මට පියාඹන්න ආස වුන හන්දා.. මම සමනළයෙක්.. පියාපත් නොලද සමනළයෙක්.. ඉතින් මම ජීවත් වුන දෙන්.. එහෙම නැත්නම් මියැදුනාදෙන්.. ඒකේ අඩුවක් වත් වැඩියක්වත් කොයිම වෙලාවකවත් නොදැනේවි..



නිමි..
 

45 comments:

  1. මොන විදියෙන් වත් මාර්ක් ගැලවෙන පාටක් නෑ.. බොටත් තියෙන්නේ හරිම ලස්සන ශෛලියක්.. ජය වේවා.. අජිර්ණය ඉවර වෙන්න ළගයි වගේ.. මං කිව්වේ බ්ලොග් අජීර්ණය..

    ReplyDelete
    Replies
    1. මම හිතුවා බඩේ අජීර්ණය කියලා. හි… ;)

      Delete
    2. දේශකයා, මාර්ක්ට තියෙන්නේ හුදෙකලාවක්.. ඒ හුදෙකලාව එක්ක මාර්ක්ට ගැලපෙනම ජීවිතේ මේක.. හැබැයි ඒක වැරදි උනත්..

      ඔවු ඔවු, අජීර්ණේ ඉවරයි.. අනික් අයට අජීර්ණ වෙයිද දන්නේ නෑ හැබැයි..

      Delete
    3. චතුරංග, හෙහ්.. බඩේ අජීර්නේ නම් ඉතින් බෙහෙතක් බීලා හොදකර ගන්න හරි බැරිය බං..

      Delete
  2. මාර්ක්ට මායව නැතිවෙලා තියෙන්නෙත් එහෙනම් ඔය මායාව නිසා. ආශ්වාදය හොයාගෙන ඔය මායාවට හුරු උන උන්ට මරණෙන් තොර ගැලවීමක් නෑ.

    නිර්මාණය සිරාවටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මාර්ක් මරණයේ ආශ්වාදය විදිවි.. මොකද ඉතින් මාර්ක් ගැන වද වෙන්න තරම්වත් කෙනෙක් නැහැනේ ඉතුරු වෙලා..

      Delete
  3. මෙච්චර කල් අතුරුදන් වෙලා හිටියේ මොකෑ???

    කතාව කියෙව්වා අයේ එනවා කියවන්න ...

    ReplyDelete
    Replies
    1. අතුරුදහන් වෙලා මාර්ක්ව හොයන්න මම උත්සාක කලානේ.. ;) පොඩි නිවාඩුවක් ගත්තා සහෝ..

      Delete
  4. උඹේ කටාවල තියෙන බටහිර ඌරුවට මං කැමතියි , මොකද මේ කතා බටහිර උරුවට ගියාට හිතට වදින කතා. හැමදාම කියවන්න පටන් ගන්නකොට හිතෙන්නේ පරිවර්තනයක් කියලා . සකර්බර්ගයාට කියලා උඹට බුකිය තහනම් කරන්න ඕනේ ,නැත්තම් වර්ණ අවර්ණ වෙනවා

    ReplyDelete
    Replies
    1. බටහිර හුරුවට ලියන්න මම දැන් ඇත්තටම කැමති.. ඉස්සරට වැඩිය එකේ අමුතු ගතියක් තියෙනවා කියලා දැනෙනවා.. ලියද්දී වුනත්..

      හෙහ්, ඔවු ඔවු දැන් බුකිය සීමාවේවි.. දැන් ඉතින් ලියන්න තියෙනවනේ.. ;)

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Trying to put you in the track also.. you lazy girl.. my dreamz are my fantasy ;)

      Delete
    2. අම්බට උඩු සුද්දෙක් ලියපු ඒකට සුද්දියෙක් කොමන්ට් කොරල... හෙක්...හෙක්...
      කෝම උනත් සුද්දි කියල තීන එක කොරහන්.. මල්ලී ....

      Delete
    3. හම්මේ ඔවු කෙන්ජයියේ.. නැත්නම් ඉතින් විසුමක් නැහැනේ.. ^_^

      Delete
  6. උඹ මවන ඒ අපූරු ලෝකෙට මං කැමතියි බං. හැමදාම ජිවත් වෙන අපූරු මිනිස්සු පිරිච්ච කතා.
    ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු නාඩියෝ.. මමත් වැඩියෙන් කැමති මෙහෙම චරිත වලටනේ..

      Delete
  7. ඌඹට හරිම අපුරු චරිත හම්බ වෙනවා.මේක අමුතුම ලෝකයක් මාර්ක්ලා,මායාලා වගේ තවත් බොහෝ චරිත අපිත් එක්ක මේ සමාජයේ හිටියත් අපිට ඒ චරිත පේන්නේ හරිම අඩුවෙන්.එකටත් එක්ක මචෝ උබට නම් ඒ වගේ චරිත මරුවට අහු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි වටේ අමුතු චරිත ඕන තරම් තියෙනවා බං.. ටිකක් විපරමෙන් බලන්න පුරුදු උනානම් ඒවා ටක් ගලා අල්ල ගන්න එක එච්චරම අමාරු නෑ..

      Delete
  8. පට්ට හැමදාම වගේ අති විශිෂ්ටයි...
    මතත් මතේ මායාවත් අතර දෝලනය වෙන මිනිස්සු එලොව සහ මෙලොව යන ද්වයම නැතිකරගත්තෝ වෙත්... ජීව්තය මතු නොව ආත්මයම අහිමි කරගත් වුන් සදා දුකේම වෙලෙන්නන් එහි වන්නා වූ කර්කශක වේදනාවේම ගිලෙන්නේ මන්ද... ආත්මය අත්හැරි නිසාවෙන්ද

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සහතික ඇත්ත.. මතට ලොල් වුන කෙනෙක්ට ආයේ ඒ දෙයින් ගැලවෙන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවා.. සාර්ථක වෙන අයත් ඉන්නවා. ඒත් හුඟක් ඉන්නේ අසාර්ථක වුන අයම තමයි..

      Delete
  9. හැමදාම වගේ මතක හිටින ලස්සන කතාවක් මල්ලි...ඒ චරිත ගැලපුම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කූ අක්කණ්ඬි..

      Delete
  10. බ්ලොග් ලොව ඔබ වැනි දැවන්තයකු හඳුනාගැනීමට ලැබීම මට ඉමහත් සතුටක්. ඔයාගෙම බ්ලොග් 4ක් තියෙනව නේද. ලොකු නවකතා පොතක් හම්බුනා වගේ වටිනව මට. පුලුවන් හැමවෙලාවෙම කියවන්නෝනි.

    නිකමට අහන්නෙ, අර නවල් ලියන ලසිත රවීන් උමගිලිය ඔයාගෙ සහෝදරයෙක්ද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් හතරක් මේන්ටේන් වෙනවා තමයි ඒත් මම වැඩියෙන් ලියන්නේ වර්ණයේ..

      මහී බ්ලොග් එක ලියන්නේ සිහින මදාරා.. ඊට පස්සේ අනිත් බ්ලොග් දෙකම ලියන්නේ අපි දෙන්නම එකතු වෙලා.. ඒකත් ඉතින් වැඩි හරියක් මදාරම තමයි..

      අහ් නෑ නෑ.. ඒ මගේ සහෝදරයෙක් නම් නෙමෙයි.. හැබැයි දිනේෂ් උමගිලියත් ලගදිම ඒ ලිස්ට් එකට නම් ඒවි..

      Delete
  11. මාර්ක්ට ඔය ජීවිතෙත් එක්ක නම් කවදාවත් 'මායා'ව එයා ළඟ රඳවගන්න පුළුවන් වෙන එකක් නෑ... මං මායාට දොස් කියන්නෙ නෑ... ඒත් එහෙම වෙන්න කලින් මාර්ක්ව ඒ තත්වෙන් මුදා ගන්න මායා උත්සාහ කළාද...? හැමදාම වගේ අපූරු කතාවක් දිනේෂ්...
    මට නම් ඔය සිරිංජ දිහා බලන්න බෑ අප්පා... ඒක දකිනකොටම ඇඟට පණ නැති වෙනවා... මෙයා කොහොම තමුන්ටම ඇන ගත්තද මන්දා...

    ReplyDelete
    Replies
    1. සමහර නර්ස් ලා ඉන්ජෙක්ෂන් ගහන කොට රිදෙනව ඉන්න බැරුව. සමහරු විදල ඉවර වෙන කල් දන්නෙත් නෑ. මොකද මන්දා එහෙම වෙන්නෙ.

      Delete
    2. මියුරු අක්කේ, මායට මමත් දොස් කියන්නේ නෑ.. මායා උත්සාහ කලා.. ඒ ගැන මෙන්න මේ පේලියේ තියෙනවනේ..

      // " ඔයාට මම පුළුවන් හැම වෙලේම අවස්ථාව දුන්නා.. ඒත් වැඩක් වුනේ නෑ.. තවත් අපිට කතා කරන්න තරම් දෙයක් ඉතුරු නැහැ.."//

      හෙහ්, ඒවට පුරුදු උන අයට ඉතින් ඕවා ගානක් නෙමෙයිනේ අක්කේ..

      Delete
    3. චන්දන, ඒකට ප්‍රධානම හේතුව නර්ස්ගේ තියෙන ලස්සන.. හා නැද්ද මම අහන්නේ.. ;)

      Delete
  12. මෙන්න ඇවිල්ලා ! සන්තෝසෙ බැරුවා !!

    ලස්සන කතාව. මෙහෙම චරිත කොච්චර ඇද්ද මේ සමාජයේ.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි සන්තෝසයි.. දැන් ඉතින් නිවාඩුව ඉවරයි.. ආයෙම ලියන්ට තමා තියෙන්නේ..

      Delete
  13. මොකක්ද හැඩි දැඩි කාන්තාවගේ සම්බන්ධය ? මට තේරුන්නෑ...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සෙන්නා අයියේ, ඒ චරිතය ඇත්තටම කතාවට ඒ තරම්ම සම්බණ්ඳයක් නැහැ.. නමුත් මට ඕන කලේ ඔහුට අනිත් අයට පේන විදිහ ගැන විස්තර කරන්න විතරයි.. ඇත්තටම ඇය එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන්.. මම අහලා තියෙන විදිහට මතට බැදුන අය ඉන්නේ තමන්ගෙම ලෝක වල.. ඒ ලොකේ ඉන්න චරිත ඔවුන්ම හදා ගත්ත අය.. ඉතින් ඒ දකින විදිහ ටිකක් අමුතුයි.. මම කතාවෙදි ඒක විස්තර කරන්න අසාර්ථක වුනාද මන්දා.. නමුත් ඒ චරිතය ඒ විදිහට යෙදුනේ අන්න ඒ හන්දා..

      Delete
  14. වර්ණ කාලෙකට පස්සේ ඇවිත් තවත් වර්ණවත් වෙලා. දිනේෂ් තෝරා ගන්නා තේමාවන් හරිම වෙනස්. මම නම් කැමතියි ඒ වෙනසට. මාර්ක්ගේ හුදකලාව ඔහු විසින්ම කැමැත්තෙන් වැලඳගන්නක්. ඔය ජීවිත හුදකලාවට ඇළුම් කරනවා. ඔවැනි අත්දැකීම් එක්ක ජීවත්වුනු සමනළ කාලයක් මටත් තිබුනා. ඒ නිසයි මට මේ කතාව සහ මාක් අතර කියවීම වඩාත් පාළු හුදකලා හැඟීමක් ඇතිකලේ. දිනේෂ් ඔබ සාර්ථකයි!!

    ReplyDelete
    Replies
    1. එක දිගට දුවලා මහන්සි වෙලා හිටියේ.. ඒකයි පොඩි නිවාඩුවක් ගත්තේ අළුත් අයිඩියා ටිකක් ආවේ ඒ කාලේ.. හෙමීට ලියන්නම්කෝ..

      හැමදාම වගේ ගොඩක් ස්තූතියි.. මම ඒ අත්දැකිම් විදලා නෑ.. ඒත් ඒ දේ ඇඟට දා ගන්න ගොඩක් උත්සාහ කලා.. එහෙමනම් මම තරමක් සාර්ථක වෙලා තියෙනවා.. ඒ ගැන සතුටුයි..

      Delete
  15. හුදෙකලාව ..... සිරින්ජය......වගේ වචන දකිද්දී මතක් වෙන්නේ .... ඇබ්බැහිවීම නමැති සුළු මානසික රෝගයකින් පෙලෙන තරුණයෙක්. හරියට රුසියානු සාහිත්‍යයේ එන යථාර්තවාදී කතා කලාව ....... ආසන්න කෙටිකතාවකට ලගයි.....ගොඩක් හොදයි කියල දැනෙනවා. හැගීම් නිරුපනය තාත්විකයි.....

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහිවීම කියන එකෙන් ඉතින් ඈත් වෙන්න හුඟක් අමාරුයි නේ..

      Delete
  16. පරිවර්තනයක් කියවගෙන යනව වගේ දැනුණෙ. උඩ කියල තියනව වගේ ශෛලිය නියම යි. මේ ලෙඩේ ගැන නම් තේරුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ලෙඩේ ඇවිත් මතට ඇබ්බැහී වීමත් එක්ක එන තත්වයක්.. ඔය පුනුරුත්තාපනයට දාන්න තමයි මුලින්ම වෛද්‍යවරු කතා වෙන්නේ..

      Delete
  17. නිර්මාණශීලී මිනිසෙකුට නම් හුදෙකලාව අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මාර්ක් හුදෙකලාවෙන් පීඩා විඳිනවා වගේ. අපූරු නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, මාත් හුඟක් වෙලාවට නම් ආසයි හුදෙකලාවට.. හැබැයි ඒ කිවුවත් වගේ නිර්මාණයක් කරන්න..

      Delete
  18. වර්ණ කාලෙකට පස්සෙ වර්ණවත් වෙලා.හුදකලාව හුඟක්ම ජීවිතයට සමීප කාරණාවක්නෙ.......අපූරු සිත්විල්ලක් දිනේෂ්..

    ReplyDelete
    Replies
    1. හුදෙකලාව හොදයි.. හැබැයි මෙහෙම දේකට නම් නෙමෙයි..

      Delete
  19. කාලෙකට පස්සෙ ආපහු ට්‍රැක් එකට වැටිලා තියෙන්නෙ. කතාව අපූරුයි දිනේශ් අයියෙ. සමනලයා සමනලයාගේ ෆැන්ටසිය ඇතුලෙ ජීවත් වෙලා ඒ තුලම මියැදේවි. කවුරු කොහොම නිර්වචනය කලත්, ඒ ඔහුගේ ආශ්වාදය.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒක මාර්ක්ගේ ලොකය.. අපිට ඒක කොහොම වුනත්.. ඔහු ඔහුගේ සමනල් ලෝකයේ හිටිය දෙන්..

      Delete
  20. දෙන්න පුළුවන් ඉහලම ලකුණු දෙන්න ඕන..................
    සුපිරි....
    සමනලයා මියැදුනොත් මල තනි වෙනවා නේද ?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්