Thursday, 27 February 2014

ඔවු, මම වැරදියි



ඒක දිග කතාවක්.. කෙනෙක් අහන් ඉන්න සූදානම් නැති තරමේ දිග කතාවක්.. ඒත් මට මේ හැම දෙයක්ම කියලා හිත නිදහස් කර ගන්න ඕන.. මම දන්නවා, මං ගැන හිතන් හිටපු හැම දෙයක්ම මේ කතාවෙන් පස්සේ වෙනස් වෙයි කියලා.. ඒත්, මට හැම දෙයක්ම කියන්න ඕන.. එක තත්පරයකදී ජීවිතය කොයි තරම් වෙනස් පුළුවන්ද කියන එක කවුරුවත්ම දන්නේ නෑ.. ඇත්තටම කවුරුවත් ඒක දකින්න උත්සාහ කරන්නේ නෑ.. මං වුනත් එහෙමයි.. ඒත් කාලයත් එක්ක ඒ හැම දෙයක්ම වෙනස් වෙලා..

මේපල් කොල හැළුන පාර දිගේ ඇවිදන් ආව තවත් එක
රස්තියාදුකාරයෙක් විතරයි මම.. හෝදන්නේ නැතුව හැමදාම අදින ඩෙනිමයි දවස් දෙකක් එක දිගට ඇදන් ඉන්න නිල් පාට ටී ශර්ට් එකයි එක්ක තනියම පාරේ ඇවිදන් යන මං හැමෝටම පේන්නේ රස්තියාදුකාරයෙක් විදිහට.. ඒත්, ඒ රස්තියාදුව තමයි මම මගේ ජීවිතේ හුඟක්ම ආස කරන හුදෙකලාව.. ඔවු, ඒ හුදෙකලාටම මම හුඟක් ආසයි.. දකින අය මාව කොයි විදිහට නිර්වචනය කලත් හුදෙකලාව මගේ ජීවිතයෙම කොටසක් වෙලා ඉවරයි..

හවසට රංචු ගැහෙන්න හැමෝම නවතින පාර්ක් එක පහු කරන් මම පුරුද්දට වගේ එන්නේ අත ඇරලා දාපු පරණ බස් ස්ටෑන්ඩ් එකට.. ඒකට හේතු හුඟක් තිබුනා.. පාර්ක එකට වෙලා ඉන්න තරම් රංචුවක් මට හිටියේ නෑ.. මට කෙල්ලෙක් නැහැ.. මූණ පුරා වැවුන රැවුලයි  හරි හැටි පීරලාවත් නැති කොණ්ඩෙයි එක්ක කවුරු මං දිහා බලන්න්ද? බැළුවත් ඒ බැල්ම හරියට කවදාවත් නොදැක්ක අමුතු සතෙක් දිහා බලන ගානයි.. මට මේ හුදෙකලාව ලග ඒ හැමදේකටම වැඩිය සොදුරු මතකයක්, ජීවිතේ විදින්න පුළුවන් කමක් ඉතුරු වෙලා තිබුනා.. ඒ හන්දමයි මම නිතරම මෙතන තෝර ගත්තේ..

ටයර් පොලවටම දිරාපත් වුන පරණ බස් පෝලිම මගේ නිදහසට කියාපු තැනක්.. බස් අතරෙම කූඬු හදාගත්ත පරවියෝ ඇරෙන්න මෙතන මට බාදාවක් වෙන්න වෙන කිසිම දෙයක් නෑ.. මම විතරමයි. තනියම.. ටිකක් විතර පරණ වෙලා නොගිය බස් එකක් අතරේ හංගලා තිබුන ස්ප්‍රේ කෑන් ටික අතට ගත්තේ දවස් ගානක් තිස්සේ ඉවරයක් කරන්න බැරි වුන වැඩේ අදවත් ඉවරයක් කරන්න ඉඩක් ලැබෙයිද කියලා හිත හිත.. ඉතුරු පාට තුනයි.. ආයෙම ස්ප්‍රේ ගන්න තරම් සල්ලියක් ලග නෑ.. ඒ හන්දා කරන දෙයකට ඉතුරු වෙලා තිබුනේ මෙච්චරයි..

කුණු දූවිළි වලින් වැහිලා ගිය හැම තැනකටම වැඩිය භාගෙට පාට කරපු චිත්‍රේ තිබුන තැන තිබුනේ අමුතු එළියක්.. ඒ නිතරම මම එතන හිටපු නිසා වෙන්න ඇති.. මම දන්නේ නෑ මම කොච්චරනම්  දවසක් මෙතනම ගෙවලා දාන්න ඇද්ද කියලා.. ඒත් මම මෙතනට කැමතියි.. ඒ භාගෙට ඉවර වුන චිත්‍රේ දිහා බලාගෙන ඉන්න කැමතියි..

තවත් මට පාට කරන්න තරම් මහ ලොකු දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.. යන්තම් පාට ඉතුරු වෙලා තිබුන කලු ස්ප්‍රේ එකෙන් බිත්තිය පුරා මැවුන ඒ රූපේ අඩුපාඩු හදන්න මම උත්සාහ කලා.. ඇත්තටම එය අපහසුයි.. ඒත් අන්තිමේ මම මට ඕන දේ කලා.. මම චිත්‍රය සම්පූර්ණ කලා.. වටපිට තිබුන නිස්කලංක කම එක්ක ඒ චිත්‍රේ දිහා නිදහසේ බලන් ඉන්න පුළුවන් පසුබිම ඉබේම හැදිලා.. මම ටිකක් පස්සට ගියේ ඈතට වෙලා ඒක රසවිදින්න ඕන වුන හන්දා.. මම දන්නේ නෑ මම කොච්චර වෙලා බලාගෙන හිටියද කියලා.. හරි හැටි වැඩ නොකරන විදුළි පහන් හන්දා කළුවර ඉක්මනින්ම් එතනට එනකන් මම හුඟක් වෙලා බලාගෙන හිටියා.. හිතේ ආසාවට..

.........................

පහුවදා මට දැනුනේ මම වෙනස්ම මිනිහෙක් විදිහට.. ඒක හරි හැටි විස්තර කරන්න අමාරු තරමේ හැඟීමක්.. උදේම නැඟිටලා පුරුදු ඇදුමම ඇදගෙන පුරුදු රස්තියාදු ගමනින්ම ගියේ බස් ස්ටෑන්ඩ් එකට.. ඒ ඊයේ නැවතුන තැන ඉදන් ඒ චිත්‍රේ දිහා බලාගෙන ඉන්න මට ඕන වුනා.. මම දන්නේ නෑ ඇයි කියලා.. මම හිතන්නේ මම ඒකට වශී වෙලා..

හුළගත් එක්ක පරිසරයේ තිබුනේ අමුතු වෙනසක්.. ඒ හැඟීම වෙනදට වැඩිය ටිකක් අමුතුයි.. බස් ස්ටෑන්ට් එකේ පොළව වැහෙන තරමටම පිරිලා තිබුන මේපල් කොල තැන් තැන් වල අයින් වලට ගහගෙන ගිහින්.. හැමදේම වෙනස්.. චිත්‍රේ ගාවට ඇවිදන් යද්දී මගේ හිත එක මොහොතකට නතර වුනා.. ඔහු, ඔහු කවුද?

පරණ කිළුටු වෙලා ගිය වැහැරුණු ඇදුමක් අදගෙන මගේ චිත්‍රේ දිහා බලාගෙන හිටිය වයසක කෙනා ගැන මගේ හිත වෙන කිසිම දේකට වැඩිය උනන්දු වුනා.. මේ වෙනකන් කවමදාවත් මෙතනදි නොදැක්ක ඔහු හදිස්සියෙම ඇවිත් මේ චිත්‍රේ දිහා බලාගෙන ඉන්න තරම් තියෙන ඕනකම මොකද්ද..

" උඹ කවුද?"

හිතේ තිබුන කේන්තියත් එක්ක වචන පිටවුනේ ඒ විදිහට.. මම  දන්නවා ඒක වැරදියි කියලා.. ඒත් මට ඕන වුනේ තනියම වෙනදා වගේම ඒ දිහා බලාගෙන ඉන්න..

" පුතාට මාව කරදරයක් නම් සමාවෙන්න.."

ඔහු මගේ දිහා නොබලම කිවුවා.. තාමත් ඔහු ඉන්නේ චිත්‍රේ දිහාම බලාගෙන..

" මොකද ඔතන කරන්නේ? ඇයි ආවේ?"

හුඟක් කල් තනියම මෙතන ගෙවලා දාපු නිසාද කොහේද මට දැනුනේ මේ තැන මගේ වගේ.. ආගන්තුක ඔහුව මට පෙනුනේ මහා කරදරයක් විදිහට..

" මේ චිත්‍රය හුඟක් ලස්සනයි.. ඒ දිහා බලාගෙන ඉද්දී අතීතය මගේ මතකයත් එක්ක සෙල්ලම් කරනවා වගේ දැනෙන්නේ.."

ඔහු කවුරු වුනත් ටිකින් ටික මගේ කේන්තිය වැඩි කරනවා.. මම දකින්න ඕන කරපු මම විඳින්න ඕන කරපු හැඟීම් ඔහුගේ වචන වලින් එලියට එද්දී මට දැනෙන්නේ මහා නොරිස්සුම් ගතියක්..

" මම දක්කා පහුගිය ටිකේම ඔය ළමයා මෙතනට වෙලා මේක ඉවර කරන්න හුඟක් මහන්සි වෙනවා.. මට සතුටුයි ඒ ගැන.."

" ඔවු, මම ආසාවෙන් පටන් ගත්ත දේ මම ලස්සනට ඉවර කලා.."

චිත්‍රයෙන් ඇහැ ඉවතට ගත්ත ඔහු පළවෙනි වතාවට මගේ දිහා බැළුවා.. ඔහුගේ මුහුණ හරියට දැක්කේ ඒ වෙලාවේ මම.. කාලයත් එක්ක අවපැහැ ගැන්වුනා වුනත් ලා දුඹුරු පාට ඇස් වල මොකද්දෝ මන්දා අමුතු කතාවක් තිබුනා.. වියපත් වුනත් මං වගේම රස්තියාදුකාර පෙනුමෙන් හිටිය ඔහුගෙන් මම එක මොහොතකට මාවම දැක්කා..

" මොකද්ද මේ චිත්‍රයේ කතාව?"

ඔහු හදිසියේම වගේ මගෙන් ඇහුවා.. ඒ තියුණු ඇස් වලින් කෙලින්ම බලාගෙන හිටියේ මං දිහා.. ඇත්තටම මම එක මොහොතකට ගොළු වුනා..

" මුකුත් නෑ.. මට නිකන් හිතිලා ඇන්දා.."

" ඔබ ඇයව දැකලා තියෙනවද?"

ඔහු ආයෙම චිත්‍රය දිහා බලන ගමන් මගෙන් ඇහුවා.. ඔහු ඉන්නේ චිත්‍රයට ආසාවෙන්.. හරියටම මං වගේම.. ඒත් මේක මගේ..

" හැහැ, මගේ හිතේ ඇදුන දෙයක් විතරයි.."

" හිතේ ඇදුන රූපයක් මේ විදිහටම අදින්න පුළුවන් වෙන්නේ ඒ කෙනා ඇත්තටම දැකලනම් විතරයි.."

" ඔබට මනස්ගාත.."

" බලන්න ඒ ඇස් දිහා.."

ඔහුගේ මානය දිගේ මම ඒ ඇස් දිහා බලන්න උත්සාහ කලා..

" ඒවයේ වේදනාවක්.."

මගෙන් ඉබේම වගේ පිටවුනා.. ඔහු මගේ වචන වලට හිනා වුනා..

" නෑ, ඒ බලාපොරොත්තුවක්.. කවුරුහරි කෙනෙක් වෙනුවෙන් මඟබලාගෙන ඉදීමක්.. ඔබ, ඔබේ චිත්‍රය ගැන හරි දැනීමක් නෑ.."

ඔහුගේ වචන වල තිබුනේ අපහාසයක්.. ඔහු දිහා නොබලම මම චිත්‍රය දිහා බලාගෙන උත්සාහ කලා.. ඒත් ඔහු ගැන ඇති වුන හැඟීමත් එක්ක මට ඒක කර ගන්න බැරි වුනා..

" මම ඔබට කියන්නම් කතාවක්.."

චිත්‍රය ලගින් ඈත් වුන ඔහු ඒ බිත්තිය ලගම තිබුන බංකුවක කොළරොඬු අතින් පිහදාලා දාලා එතනින් වාඩි වුනේ ඔහුගේ වයසත් එක්ක තවත් වෙලා එකම විදිහට ඉන්න එක අපහසුවක් බව තේරුම් අරගෙන..

" මොකද්ද?"

මම ඔහුගේ ඉස්සරහින්ම බිත්තියට හේත්තු වෙන ගමන් ඇහුවා.. විනාඩියක විතර නිහැඬියාවට පස්සේ ඔහු ඔහුගේ කතාව පටන් ගත්තා..

" මේක හුඟක් කාලෙකට කලින් සිද්ද වුන දෙයක්.. මේ නගරය මේ
විදිහට වෙනස් වෙන්න කලින්.. එතකොට නගරයේ හැමෝම ආවේ ගියේ මෙතනට.. අද වගේ මෙතන පාළුවෙලා තිබුනේ නෑ.. ඔය ලමයා ඔය හේත්තු වෙලා ඉන්න තැන දිගටම තිබුනේ පොඩි ලෑලි කඩ.. කෑම බීම, පත්තර, හැම දෙයක්ම මෙතන තිබුනා.. මිනිස්සු නිතරම ආවා ගියා.. හැබැයි ඒත් එතකොට මේක පුංචි ගමක්.. දැන් තරම්ම ගොඩක් මිනිස්සු නොහිටියට ඉන්න හැම කෙනෙක්ම වගේ හැමෝම අඳුරනවා.. ඒ අතරින් විශේෂ කෙනෙක් හිටියා.. කැත්‍රීන්.. කැත්‍රීන් තමයි නගරයේ හිටපු ලස්සනම කෙල්ල.. හුඟක් දෙනෙක් එයාට ආදරේ කලා.. හුඟක් කොල්ලෝ නිතරම කැත්‍රීන් ගැන හීන දැක්කා.. ඈ හරියට කුමාරිකාවක් වගේ.. ඇයට පෙම්වතෙක් හිටියා.. නිතර අහන විදියේ පරිසර දෙකක ආදරයක් නෙමෙයි ඒක.. ඔවුන්ගෙ ආදර කතාව ගමේ හැමෝම වගේ දැනන් හිටියා.. හැමෝම බලාගෙන හිටියේ ඔවුන්ගේ විවාහය වෙනකන්.."

" කවුද ඒ ආදරවන්තයා?"

ඔහු කතාවට මද විවේකයක් දුන් සැනින් මම ඇහුවා..

" ලූකස්, ගමේ හිටිය ශක්තිවත්ම තරුණයා.. ලූකස් එක්ක හැමෝම සුහදයි.. මේ ගමේ ලූකස් නොදන්න අස්සක් මුල්ලක් නොතිබුන තරම්.. ලූකස්ට මේ ගම එයාගේ ජීවිතේ වගේ.."

" ඉතින් ඔවුන් බැන්ඳද?"

මට ඕන වුනේ කතාව උඩින් පල්ලෙන් අහගෙන ඔහුව ඉක්මනින්ම යවා ගන්න.. එතකොට මට නිදහසේ මෙතනට වෙලා ඉන්න පුළුවන් නිසා..

" ඒක මහා අවාසනාවන්ත කාලයක්.. හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්ත කාලය.. දියුණු නගර වල මිනිස්සු මෙහේ එන්න යන්න ගත්තා.. ඒකේ හොද වගේම නරකත් තිබුනා.. නරක දේ බලපෑවේ ලූකස්ට.."

" ඇයි?"

ඔහු ටිකක් අමාරුවෙන් වගේ වාඩිවෙලා හිටපු බංකුවෙන් නැගිටින්න උත්සාහ කලා.. ඒත් බැරි වුන තැන ටිකක් එහා මෙහා වෙලා ඔහු ආයෙම කතාවට වැටුනා..

" ලුකස්ට හමුදාවට යන්න ඕන වුනා.. ගමේ හැමෝම වගේ එකට විරුද්ධ වුනා.. විශේෂයෙන්ම කැත්‍රීන්..විවාහය ලග නිසා ඇයට ඕන වුනේ ඔහුව ලග තිය ගන්න.. ඒත් ලූකස් ඒ වෙලාවේ ටිකක් හිතුවක්කාර වුනා.. කැත්‍රීන්ගේ අකමැත්තෙන් වුනත් ලූකස් අන්තිමේ කැලිෆෝනියා වලට පිටත් වුනා.."

" ඊට පස්සෙ?"

අකමැත්තෙන් වුනත් අහන්න පටන් ගත්ත කතාව මේ වෙද්දී මටත් නොදැනිම හිතට වැදිලා.. ඔහුගේ වෙවුලන කටහඬින් කතාවේ අවසානය වෙනකන් බලාගෙන ඉන්න බැරි තැනටම හිත දැන් ඇවිල්ලා..

" මේ බස් ස්ටෑන්ඩ් එකේදී ලූකස් පිටත් වෙන්න කලින් කැත්‍රීන් එක්ක ආවා.. හුඟක් වෙලා ඔවුන් ආදරෙන් කතා කරන්න ඇති.. කියන්න දේවල් හුඟක් තිබුන නිසා.. ඔවුන්ගේ ඒ දිගු හාදුව දිහා හැමෝම වගේ බලාගෙන හිටියා.. හැබැයි ඒ වෙනදා වගේ නෙමෙයි.. දුකින්.. කාලය ඔහේ ගෙවිලා ගියා.. කැත්‍රීන්ගේ විවාහය කල් ගියා.. දෙවතාවක්ම.."

" ඇයි ලූකස් ආවේ නැද්ද?"

" නැහැ.."

" ඇයි?"

" සමහරක් කතාවල අපි නොදන්න, අපිට උත්තර දෙන්න බැරි තැන් ගොඩයි ළමයෝ.. මේකත් අන්න ඒ වගේ කතාවක්.."

" එතකොට කැත්‍රීන්?"

" ඕනම කෙනෙක්ට බලාගෙන ඉන්න, ඉවසන් ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා.. ඇයත් සමාන්‍ය කෙල්ලෙක් විතරයි.."

ඔහු මේ වතාවෙනම් වාඩි වෙලා හිටිය බංකුවෙන් කොහොම හරි අමාරුවෙන් නැගිට්ටා.. අතේ තිබුන දිරා ගිය ලී කෑල්ලට වාරු වෙමින් චිත්‍රය ලග ආයෙම මොහොතක් නැවතුන ඔහු ආයෙම මගේ දිහාට හැරුනා..

" ඔය ලමයා හොදට මේ චිත්‍රෙ ඉවර කරලා.."

ඔහු හෙමින් හෙමින් යන්න පිටත් වුනා.. වැහැරී ගිය ගතට පරණ වුන කඹාය තරමක් තුරුළු කර ගනිමින් අමාරුවෙන් ඔහු මං හිටිය තැනින් යන්න පිටත් වුනා..

" ඇයි ඔබ මට මේ කතාව කිවුවේ?"

ඔහු වැඩිය දුරකට යන්න කලින් මම ඇහුවා..

" ඒක ඔබේ චිත්‍රයට හොද පසුබිම් කතාවක් වේවි.."

ඒක ඇත්තටම මගේ ප්‍රශ්ණයට මම බලාපොරොත්තු වුන උත්තරේ නෙමෙයි.. මේක ඇත්තම කතාවක්ද? කැත්‍රීන්, ලූකස්, ඇත්තටම ජීවත් වුන අයද? එහෙම නැත්නම් මේක ඔහුගේ වයසත් එක්ක මනසේ මැවුන විකාරයක්ද?

" ඔබේ නම මොකද්ද?"

මම ඔහු තවත් ඈතට යන්න කලියෙන් ඇහුවා.. ඒත් ඔහු නිහඩයි.. ආයෙම වතාවක් හයියෙන් කෑ ගැහුවත් ඔහුගෙන් කිසිම පිළිතුරක් ලැබුනේ නෑ..

මට දැනුනේ මහා හිස් බවක්.. හැම දෙයක් අතරෙම අතරමං වුනා වගේ හැඟීමක්.. ඔහුගේ වචන වල තිබුනේ නිකන්ම නිකන් මනස්ගාතයක් විතරද? නැත්නම් මම කියපු බොරුව ඔහු දන්නවා වත්ද? ඇත්ත මේ චිත්‍රය මගේ නෙමෙයි.. මම කලේ කාලයත් එක්ක පරණ වෙලා ගිය ඒ චිත්‍රෙට ආයෙම වතවක් පණ දුන්න එක.. ඒක වැරදි නෑ.. මම දන්නවා.. ඒත් ඔහු ඒක ගැන දන්නවා වෙන්න පුළුවන්ද?

මගේ හිත මාත් එක්කම තර්ක කරන්න ගත්තා.. චිත්‍රේ දිහාත්, ඔහු කිවුව බලාපොරොත්තුවේ දෑස් දිහාත් බලාගෙන ඉන්න උත්සාහ කලත් මගේ හිත ඒකට ඉඩක් දුන්නේ නෑ.. මහා හිස්කමක් මගේ හිත වහගෙන.. ඔවු, මම වැරදියි.. ඒක ආත්මාර්ථකාමී හැඟීමක්.. මට ඕන වුනේ ඒ චිත්‍රේ මම විතරක්ම රස විඳින්න.. ඒත් ඔහුගේ වචන මගේ ඒ හැඟීම මගෙන්ම ඈතකට උදුරගෙන ගිහින්.. හිතේ ඉතුරු බලාපොරොත්තු කඩවුන හැඟීමක් විතරයි..

මම ආයෙම එන්න හැරුනා.. හිත දහ අතේ දුවන්න අරන්.. මොහොතකට වගේ මගේ ඇස් නතර වුනේ ඔහු වාඩි වෙලා හිටිය බංකුව දිහාවට.. බංකුව පුරා බැදුන දුඹුරු පාට දූවිලී අතරේ ඒ සුදූ පාට කඩ්දාසිය නොපෙනී තියෙන එක නතර කරන්න විදිහක් නෑ.. හැම දෙයක්ම අත ඇරලා හිත දුවන් ආවේ එතනට.. මේක අනිවාර්‍යෙන්ම ඔහුගේ.. අතට ගනිද්දිම ඒක ෆොටෝ එකක් කියලා හොදින්ම තේරුනා..

" මොනවා.."

මට ඉබේම කියවුනේ ඒ වචනේ විතරයි.. මම ආයෙම බිත්තියේ තිබුන චිත්‍රේ දිහා බැලූවා.. ඔවු, ඒ කැත්‍රීන්.. එතකොට ඔහු ලූකස්ද?



නිමි..


88 comments:

  1. අමුතුම ආරෙක කතාවක්!!!

    එන්ට එන්ටම දිනේශ්ගේ කතා ලස්සණ වෙනවා. බටහිර ලේඛකයෙක්ගේ හුරුවක් පේන්ටත් තියෙනවා. අර මහලු පුද්ගලයා ගැන කියවද්දි, මොකක්දෝ කෙටි කතාවක් මතක් උණත් කතාවේ නම මතකයට එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. "බටහිර ලේඛකයෙක්ගේ හුරුවක් පේන්ටත් තියෙනවා." මමත් කියන්න ගියේ ඕකම යි

      Delete
    2. බටහිර ආරට යන කතාමනේ ගොඩක් ලියලා තියෙන්නේ.

      Delete
    3. පොඩ්ඩි අක්කේ, මතක් වුන කෙටි කතාව කොම හරි මතක් කරලා ඇවිත් කියල යන්ට හොදේ..මේක මේ නිකන් ඔළුවට ආව අදහසක් විතරයි.. වැඩිය හිතුවෙත් නෑ ලියලා දැම්මා..

      Delete
    4. ඉවාන්, මට දැන් ටිකක් හුරු ඒ පරිසරයනේ මචං..

      Delete
    5. මධුරංග, අයියා ඉතින් සෑහෙන විරෝධයනේ මට ඔන්න ඔය කාරණාවට.. ^_^

      Delete
    6. ඔව් දිනේෂ් කාලයක් එහෙම ඉන්නකොට ඒ පරිසරය තමයි වැඩියම ඇස ගැටෙන්නේ ..ඉතින් දිනේෂ් ලංකාව පසුබිම් කල කතා වලට වඩා මෙවැනි දේවල් ලිවිම ස්වාභාවිකයි. නේ ..

      Delete
    7. ඒකනේ බින්දි අක්කේ.. බ්ලොග් එකේ මුල්ම කාලේ ඉතින් මම ලියපු හැම දෙයක්ම වෙනස්.. ඒත් දැන් දැන් ලියන හුඟක් දේවල් නිරායාසයෙන්ම යැවෙන්නේ මේ පැත්තට.. එකේ හොද නරක ඉතින් දන්නේ කියවන අය තමයි..

      Delete
  2. නියම නිර්මානයක් අයියෙ :)

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මලයෝ..

      Delete
  3. ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මෙය පරිවර්තනයක්ද? ඇත්තෙන්ම ඒකාංගික ටෙලි නාට්‍යයකට හෝ කෙටි චිත්‍රපටියකට බොහොම සුදුසු කතාවක්. ස්තුතියි දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. නැහැ විචාරකතුමනි.. මේක මේ මගේ ඔළුවට ආව දෙයක් විතරයි.. ශෛලිය එක්ක එහෙම හිතෙනවා වෙන්න පුළුවන්.. ස්තූතියි කියන්න ඕන මමයි හරිනම්..

      Delete
  4. මට මතක්වුණා එක්පැත්තකින් හෙමිංවේගේ “මහල්ලා සහ මුහුද“ බටහිර හෝ රුසියානු උරුව කියන්නේ කෙටි කතාවකට මම එක්කරන්න කැමතිම මොඩලයක්. නමුත් බොහෝවිට එවැනි නිර්මාණ අපි අතින් බිහිවුණාම එය කොපිකැට් සංස්කෘතියක් ලෙස වරදවා වටහාගැනීමේ ස්වභාවයක් තිබුණා. උදාහරණයක් විදියට මම මගේ බ්ලොග් එකේ 2010 ලියපු පලවෙනි කෙටි කතාවට මුලින්ම කමෙන්ට් කරපු කෙනා ඇහුවේ සෙන් බෞද්ධ කතාවක සිංහල පරිවර්තනයක්ද කියලා. එක පැත්තකින් අපි සාර්ථකයි කියලා හිතුනා එහෙම කියද්දි. කොහොම වුනත් හොඳ නිර්මාණයක් මචං

    ReplyDelete
    Replies
    1. මේ අදහස එක්ක මාත් එකඟයි ජනා.. මට හුඟක් වෙලාවට ඔය විදිහේ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.. උඹ කිවුවත් වගේ ඒක එක අතකින් බලද්දී අවුලකුත් නෑ.. උපුටනයක් හරි පරිවර්ථනයක් හරි නොවන බව ලියන අපි දන්නවනේ මචං.. හෙහ්, උඹයි මමයි කියන්නේ ඉතින් එකම සෑම්පලේ තමයිනේ..

      Delete
  5. නිර්මාණය ගැන නම් කතා දෙකක් නෑ දිනේශ්. විදේශීය ලෙස කතා නිර්මාණයට දිනේශ්ට තියෙන්නෙ උපන්ගෙයි දක්ෂකමක්.

    මාත් ආසයි හුදකලාවට නම්.

    ReplyDelete
    Replies
    1. උපන්ගෙයිමත් නෙමෙයි ප්‍රියා.. මගේ මුල්ම ඒවා නිදහස් වෙලාවක කියවන්න.. ඒවයේ තියෙන්නේ ලංකාවේ පරිසරය.. මෑතක ඉදන් තමයි මට ටිකක් වෙනස් වෙන්න ඕන කියලා හිතුනේ..

      හුදෙකලාවට මම කවදත් ආසයි.. දැනුත් ඉතින් ඉන්නේ එහෙමනේ..

      Delete
  6. අති විශිෂ්ටයි දිනේෂ් ...ඒ කතාව කියවද්දී අර ඔබ කියන අසහනකාරී ස්වභාවය හොඳින්ම හිතට දැනුනා...මොහොතකට මං ලූකස් වුනා ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ කතාවේ ප්‍රධාන චරිතට ලූකස් තමයි.. හැබැයි මම හිතුවෙම ඒක නොදැනේවි කියලා කාටවත්ම..

      Delete
  7. හප්පා.....මේකෙ තියෙන පාලු ගතිය.......

    ReplyDelete
    Replies
    1. හෙහ්, පාලුවත් එක වෙලාවකට මිහිරක් නේ..

      Delete
  8. ඒ කියන්නේ ලූකස් ගොයියා ඇන්ද චිත්‍රෙ තමයි ඒක ඈ..මරු ශෛලිය

    ReplyDelete
    Replies
    1. ඔවු, ඒක ලූකස්ගේ චිත්‍රය.. කතාවේ අනික් චරිතයට ඒක තමන්ගේ කර ගන්න ඕන වුනාට ඒකේ නියම අයිති කාරයා ලූකස්..

      Delete
  9. නොසිතූ හමු වීමක්..

    බස් ස්ටෑන්ඩ් එකේ රූප පෙල හෙම මැවිල පෙනුන මට. ලස්සන කතාවක් දිනේෂ්.. හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. අපිට වුනත් මේ වගේ නොසිතූ අහඹු හමුවීම් නම් ඕන තරම් වෙලා ඇති නේ චන්දන.. හැබැයි වෙනසකට තියෙන්නේ ඒක සුවිශේෂි නැති එක මේ කතාවේ වගේ..

      Delete
  10. ලස්සන කතාවක්... :)
    මම නම් හුදකලා වෙලා මූඩ් ගහන්න ඕන කියලා හිතුනම කරන්නේ එඩේරමුල්ලෙන් උදේ 8ට තියෙන පුත්තලම් කෝච්චියේ එල්ලෙන එක.. ඒකේ නිස්කලංකව මූඩ් ගහගෙන ගියෑකි.. සෙනගත් අඩුයි නෙව. :)

    ඒ කෝච්චියේ ගිහින්... ආයෙම ඒකේ එනවා. :)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ නියම අදහස්.. මගේ හුදෙකලාව තමයි ඉතින් මොනා හරි දෙයක් ලියලා දාන එක.. හරියට මෙන්න මේ වගේ.. ඒ වෙලාවට හුදෙකලාවත් එක්ක අමුතු නිදහසක් දන්නෙම නැතුව ඇවිත්..

      Delete
  11. විශිෂ්ට නිර්මාණයක්.
    පරිවර්ථනයක් වගේ දැනුන .

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කෙන්ජී අයියේ.. පරිවර්ථන ආරට මම දැන් ටිකක් ප්‍රියයි ඇත්තම කියනවනම්..

      Delete
  12. සරල සිදුවීමක් ලස්සනට අකුරු කලා අපිට හිතන්න දෙයක් එක්කම..

    ඊළඟ සැරේ කතාව පබ්ලිෂ් කරන්න කලින් ආපහු දෙතුන් සැරයක් කියවන්න..සමහර දිග වාක්‍ය කෙටි වුනා නම් හොඳයි කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ උපදේශයට ගොඩක් ස්තූතියි රූ අක්කේ.. හරි, ඔන්න මම ඒක ඔළුවට දා ගත්තා.. ආයෙම අඩුපාඩු තිබුනොත් කියලා යන්න.. ඒක මට වටිනවා සෑහෙන්න..

      Delete
  13. කතාව කියෙව්වා හවසට එන්නම්

    ReplyDelete
    Replies
    1. මෙයාට ඉතින් එච්චර හදිස්සියනේ..

      Delete
    2. අද නම් තල කැරලි එපා.. ඒවා හැමදාම කන්න බෑ.. වෙන මොනවහරි ගේන්ඩ..

      Delete
    3. අර ඊයේ පෙරෙදා අපිට පෙන්න පෙන්න කෑව මඤ්ඤං එකක් තිබ්බනම් මරු හැබැයි..

      Delete
    4. වෙනදා වගේම ලස්සනට ලියලා මෙපල් කොලත් තීන්නේ ....

      හා ළමයි කඩචෝරු කන්න නරකයි. මධුවට බිබික්කන් ගෙනාවා දිනේෂ් මඤ්ඤං කන්න හොද නෑ......බොටත් බිබික්කන් හිකිස්......කවුරු හරි ගොහින් කඩෙන් තේ අරන් වරෙල්ලා ;D

      Delete
    5. ආ බං අක්කේ, බොලං ඉද්දී අපි මක්කටෙයි කඩෙන් තේ ගේන්නේ.. අනික මට බිබික්කන් එපා.. :/

      Delete
    6. කඩෙං තේ ඕනැන්නේ නෑ... මං තේ හදන්නං !

      Delete
    7. අනේද කියන්නේ මධු අයියේ.. ඔන්න ඔහේ අපි හදමු..

      Delete
    8. සික් වැඩක් නෑ ඔයා බිබික්කන් කියන සිංහල කේක් ජාතිය කාලා නෑ වගේ එපා කියන්නේ.........මධු අයියා තේ හදහන් මටත් එක්ක...

      Delete
    9. නෑ නෑ මම කලා නෑ.. -_-

      Delete
  14. මම හිතුවෙත් පරිවර්තනයක් කියලා.
    හරිම ලස්සනයි.:)

    ReplyDelete
    Replies
    1. නැත නැත.. මෙය මාගේ නිර්මාණයකි.. තැන්කිවු.. ^_^

      Delete
  15. හුදකලාව තරම් මිහිරක් කොහෙද තියෙන්නෙ දිනේෂ්................

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඒ මිහිර නම් දැන් ඇති අප්පා...:D

      Delete
    2. කුරුටු ගෑ ගී පවුර, ඒකනම් ඇත්ත.. නිර්මාණයකට වගේම නිර්මාණයක යෙදෙන්නටත් හුදෙකලාව කියන්නේ ඉතින් කියා නිම කරන්න බැරි සම්පතක්..

      Delete
    3. මනෝජ්, ඇයි බං බොට අර කතා කරන ඇස් දෙක ඉන්නේ.. දැන් මොන හුදෙකලාවක්ද?

      Delete
    4. ඒ ඇස් මගේ නෙමේ බං දැන්...:(

      Delete
    5. අහ්, හ්ම්ම්..

      Delete
  16. කතාව නියමයි අෆ්ෆා ඇත්තටම එතොකොට ඒ ලූකස් නේද? කතාව ඇත්තටම චිත්තරූප මවනවා මටත් අර කිව්ව වගේ බස් හෝල්ට් එක කැත්‍රින්ව එහෙම මැවිලා පෙනුනා...

    ReplyDelete
    Replies
    1. කැත්‍රීන් මොන වගේද? ඇත්තටම මම කැත්‍රීන්ව මවාගන්න උත්සාහ කලා.. මට නම් ටිකක් ඒක අමාරු වුනා බොරු කියන්නේ මොකටද.. එකමයි චිත්‍රයේ ඒ ලස්සන ගැන වැඩියම ලියනොවුනෙත්..

      Delete
  17. හුදකලාව හොඳ කළා නිර්මාණ බිහි වෙන තිඹිරි ගෙය! හරිම අපූරුයි සහෝදරයා

    ReplyDelete
    Replies
    1. අනිවා නාඩියෝ.. අපි උනත් ඉතින් එහෙමමනේ..

      Delete
  18. ලුකස්ට වඩා තනිකමක් මේ චිත්‍රය ඇන්ද කෙනාට තියෙනවා කියලායි බං මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. චිත්‍රය ඇන්දෙනම් ලූකස් තමයි.. කතාවේ අනිත් චරිතය කලේ අවර්ණ වුන චිත්‍රයට ආයෙම පණක් දුන්න එක.. ඔවු, ඔහු කාටත් වැඩිය හුදෙකලාවට ප්‍රිය කරපු කෙනෙක්.. ඒකමනේ බස් ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නේ..

      Delete
  19. ඒ ඒ චරිතයන්ට මාවත් රැගෙන ගියා සාර්ථක නිර්මාණයක් සහෝ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලීන් අයියේ.. කියවා රසවිදීමම සතුටක්..

      Delete
  20. දිනේශ් පහුගිය දවස් ටිකේ ලියපු කථාවලින් හොඳම කථාව තමයි මේ. බටහිර ආරට කථා ලියන්න ඔයාට හොඳ හැකියාවක් තියෙනවා..
    Keep it up :)

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ මම මොනාද අෆ්ෆා ලිවුවේ? ආහ් හරි,මතක් වුනා.. හෙහ්.. තැන්කිවු හොදේ..

      Delete
  21. ගොඩක් ආසාවෙන් කියෙවුවා.ඔබට හරි අපූරු හැකියාවක් තියෙනවා.ඔබ ලියන ආර වෙනස් කරන්න එපා.ජය..!

    ReplyDelete
    Replies
    1. මේ ආරට එන්න හුඟක් උත්සාහ කලා.. අසාර්ථක වුන නිර්මාණ හුඟකට පස්සෙයි මේ ඇගයීම් ලැබෙන්නේ.. වෙනස් නොවී ඉන්න තමයි මගෙත් අදහස..

      Delete
  22. හුදකලාවට තියෙන්නෙ අමුතුම රහක්.

    කතාවනම් මාරයි හොඳේ. මේ ආරට සාර්ථකව ලියන්න පුලුවන් ලේඛකයෝ ලංකාවෙ ඉන්නෙ ඉතාම අඩුවෙන්. ඔබ කතා සාගරයක් නෙව. මේවා එකතු කරලා පොතක් පල කරන්න දිනේශ් අයියේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, පොතේ අයිඩියා එක මේ අවුරුද්දේ කෝම හරි කරන්න තමා බස්සියේ ප්ලෑන් කරන් ඉන්නේ.. බලමුකෝ..

      මේ හුදෙකලාව මට හරි මිහිරියි කියලා කවුද මන්දා කියනවනේ.. ;)

      Delete
  23. හැමදාම වගේ ගින්දර ස්ටෝරියක් ගෙනත් තියෙන්නෙ.... එළ දිනේෂ් අය්ය දිගටම ලියමු
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  24. අමුතුම රහකින් කරලා තියෙන නිර්මාණයක්. මෙය පරිවර්තනයක් නොවීම බොහොම වටිනා කාරනාවක්. කොච්චර දිග උනත් කිසි වෙහෙසක් නැතිව ලොකු උනන්දුවකින් කියවගෙන යාන පුළුවන් උනා.බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අදහසට.. පරිවර්ථන රටාව අර ගත්තා විතරයි.. පරිවර්ථනයක් නොකලෙමි..

      Delete
  25. මේ කතාවේ බටහිර සම්භවය නිසාම , කසුන් කල්හාරගේ සින්දු කීපයක් අහන ගමන් කියෙව්වේ ..... දෙකම මික්ස් වෙලා පට්ට රහක් දැනුනා.

    ඇත්තටම විශිෂ්ට ගණයේ කෙටි කතාවක් අයියේ !
    ජය !

    ReplyDelete
    Replies
    1. උඹත් එහෙනම් මං වගේම තමා.. මාත් බ්ලොග් කියවන වෙලාවට දා ගන්නේ කඩුන්ගේ සිංදු සෙට් එකක් තමයි..

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. හරිම ලස්සනයි අයියා.. මේක ඇත්තටම නිකම් පරිවර්ථනයක් කියවනවා වගේ..
    අපි පරිවර්ථන කියවන වෙලාවෙ මේ වගේ කතාවක් කියවන්න තියෙනව නම් කොච්චර හොදද?
    නරකද පොතක් එහෙම ලියුවොත් අයියෙ?

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. පොතක් කරන්න තමයි හිතාගෙන මඟ බලාගෙන ඉන්නේ නංඟෝ.. බලමුකෝ පුළුවන් ඉක්මනට..

      Delete
  28. මාරම ලස්සනං බං දිනේෂ්.. උඹ මේ අවුරුද්දේ නවත්තනවයි කිව්වේ මෙච්චර හොදට ලියන කතා සැට් එකද? එළවනව උඹව මං.. හැක්. නියමයි බං

    ReplyDelete
    Replies
    1. මේ මම, එහෙම කිවුවද හැබෑටම.. මට මතක නෑ අෆ්ෆා... ^_^

      තැන්ක්ස් හොදේ.. මේ ටිකේ ඉතින් නැඟලා යන කෙටි කතා කාරයා ඔයයි ඉවානුයි නේ.. ;)

      Delete
  29. හරිම නිර්මානශිලියි ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බින්දි අක්කේ..

      Delete
  30. බැලුවා. රසවින්ඳා . නියමයි

    ReplyDelete
    Replies
    1. මට මේ බස්සව අදනේ සෙට් වුනේ.. ඔන්න ඒ පැත්තෙත් රවුමක් දාලා ආව මම..

      Delete
  31. හරිම අපූරුයි. අමුතුම කතාවක්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සෙන්නා අයියේ..

      Delete
  32. මමත් කියන්න හැදුවේ ඒකමයි. කොහෙද මේ සෙන්නා වැඩේ කෑවනේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, අපායට ගියත් ඉස්සර වෙන්න ඕන කියන්නේ ඒකනේ අයියේ..

      Delete
  33. දිනේෂ්.........නැවත නැවතත් කියන්න වෙන්නේ උඹ දක්ෂයෙක් කියලා. දිගටම ලියන්නත් ,නිවැරදිව දකින්නත් තව තවත් ධෛර්ය්‍ය හා ශක්තිය ලැබේවා!!

    ස්ප්‍රේ පේන්ට්ස් නිසා මතක්වුනා banksyව. දන්නවා ඇතිනේ එයා ගැන.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු අරූ අයියේ..

      නැහැනේ.. මම මේ තාම මතක් කරනවා ඒ කවුද කියලා..

      Delete
  34. no words to say.. මෑත කාලෙක කියවපු හොඳම කෙටි කතාව.. (y)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  35. ලස්සන නිර්මාණයක්. පරිවර්තනයක් වගේම ලියලා තිබෙනවා. කිසිම දෙයක් අඩුත් නැතිව වැඩිත් නැතිව. ජය..

    ReplyDelete
  36. ලස්සන නිර්මාණයක්. පරිවර්තනයක් වගේම ලියලා තිබෙනවා. කිසිම දෙයක් අඩුත් නැතිව වැඩිත් නැතිව. ජය..

    ReplyDelete
  37. අති විශිෂ්ඨයි. වෙනනම් කියන්න දෙයක් නෑ

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්