Thursday, 13 February 2014

සිල් ඇත්තෝ



පරිසරය කවදත් වගේම නිස්කලංකයි.. ඒ නිහැඬියාවට නිස්කලංක බවට ඕන කෙනෙකුගේ හිතක් ලේසියෙන්ම ඇද ගන්න පුළුවන් ඇති.. පොඩි එවුන් ටික කෑ ගගහා සෙල්ලම් කරන පුරං වෙච්ච කුඹුරු යාය ලඟ ඇරෙන්න අනික් හැම තැනක්ම හුඟක්ම නිස්කලංකයි.. එක දිගටම හුඟක් වෙලා තිබුන පොඩි වුන්ගේ කෑ ගැහිල්ල එකා දෙන්නා ගානේ සද්දේ අඩුවෙලා ගිහින් නිහැඬියාවක් වුනේ පුරන් කුඹුරයි එහා පැත්තේ අස්වද්දපු කුඹුරයි අතරින් වුන ගුරු පාරින් දැකපු තැඹිලි පාට සිවුර හන්දා..

සිවුර අතරින් පාත්තරේ වහගෙන කකුලට සෙරෙප්පු දෙකක්වත් නැතුව ඇවිදන් යන හාමුදුරුවෝ දිහා පොඩිවුන් ටික බලාගෙන හිටියේ කට ඇරගෙන.. ඒ මේ ගමේ හුඟක් කාලෙකට එහම දෙයක් උන් දැකලා නොතිබුන හන්දා.. යාන්තමින් වතුර ගලාගෙන ගියපු පොඩි ඇල පාරේ බෝක්කුව ලඟ මොහොතකට නතර වුන හාමුදුරුවෝ සෙල්ලමයි කෑගැහිල්ලයි නතර වුන පොඩිවුන් ටික දිහා හිස ඔසවලා බැලුවේ උන් පුදුමයෙන් පාර දිහා බලාගෙන ඉන්න බව උන්වහන්සෙට දැනුන හන්දා.. එක විනාඩියටක දෙකකට පොඩි උන්ගෙයි උන්වහන්සේගෙයි ඇස් එකි නෙකා දිහා බලාගෙන ඉන්න ඇති.. සමහරක් කොල්ලෝ බය වෙලා වගේ දුවද්දී සමහරක් එතනම නැවතුනේ උන් වහන්සේගේ සිල්වත් කම උන්ව තදින්ම අල්ල ගත්ත නිසා..

ඒ ගෙවුන විනාඩිය දෙක පොඩි උන්ට නම් මහා කාලයක් වගේ දැනෙන්න ඇති.. ආයෙම පුරුදුවිදිහටම ආ මග දිහාවට හැරුනු උන්වහන්සේ ඒ සිල්වත් ගමන ආයෙම පටන් ගත්තේ ඉතුරු වෙලා හිටපු කොල්ලෝ ඒ දිහාම බලාගෙන ඉද්දී.. පොඩි කුඹුරු යාය ඉවර වෙලා ඒ ලගම තිබුන රබර් වත්තේ මහ ගස් අතරින් පාර හංගිලා යනකන්ම කිසිම සද්දයක් නැතුව බලාගෙන හිටියේ අතර මං වෙලා වගේ..

" කවුද බං ඒ?"

" දන්නේ නෑ.. අපි ගිහින් බලමු.."

" මට බෑ මම අම්මට ගිහින් කියන්නම්.."

" ඕන එකක්.. මම යනවා.."

කොල්ලෝ නඬේ සමහරක් උන් නතර වෙද්දී සමහරක්ට ඒ කවුද කියන එක ගැන දැන ගන්න හිතේ තිබුනේ ලොකු ඕනකමන්.. උන්වහසේගේ අඩි පාරෙම ඊට වඩා හුඟක් දුරින් සද්ද නැතුව ඇවිදන් ආව කොල්ලෝ දෙතුන් දෙනා ගැන උන්වහන්සේට නොදැනුනාම නෙමෙයි.. මොහොතකටවත් නතර නොවුන ඒ පියවර පිටු පස්සෙම පොඩි වුන් ටිකත් කවදාවත් නැති තරම් නිහැඬියාවකින් ඒ පිටිපස්සෙන්ම ආවේ වෙනදා වගේ කියවන්න , කෑ ගහන්න දේවල් නැතුවම නෙමෙයි..

අක්කර ගානක් ලොකු රබර් වත්තේ මායිම පනිනකොට ගමේ පොඩි වුන් ටික ඇරුනම වැඩිහිටියෝ දෙතුන් දෙනෙක්ම උන්වහන්සේව දැකලයි තිබුනේ.. කාගෙත් හිතේ කුතුහලය තිබුනත් ඒක විසඳගන්න පුළුවන් හයියක් ඒ වෙද්දී කා ලඟවත් තිබුනේ නැහැ.. රබර් වත්ත මායිමේ ගෙවල් තුන හතරක් පහුවෙද්දී තිබුන කඩපිලේ හිටපු කීප දෙනාටත් ඈත තියාම දැකපු මේ දර්ශණය කුතුහලයක් වුනා..

" මුදලාලි අර බලන්නකෝ.."

කඩේ හිටපු හැම දෙනාම ගුරු පාර දිහා විපරමෙන් බලද්දී එකිනෙකා අතරේ කතා බහ ටිකින් ටික දුර ඇදිලා ගියා.. මේ වගේ දේවල් වලට කතා කරන්න ගමේ උන්ට තිබුනේ පුදුම ඕන කමක්..

" හාමුදුරු කෙනෙක් නේද?"

" හ්ම්ම්, ඒක තමයි මාත් බැලුවේ.."

" කලින් වතාවේ වගේද දන්නේ නෑ.."

" කටවහන් හිටපන් පියදාස.. කට තිබුන පලියට දොඬවන්න එපා.."

මෝඩ කමට කියෙවුවා වුනත් පියදාස කියපු කතාව අහක දාන්න බැරි බව කඩේ හිටිය හැමෝම වගේ දැනන් හිටියා.. ඒත් ඉක්මන් වෙන්න කාටවත් වුවමනාවක් තිබුනේ නෑ..

" මහ විහාරෙට තව ගොඩක් දුරද?"

කඩේ ඉස්සරහම නතර වුන උන්වහන්සේ කඩේ දිහා බලාගෙන විමසද්දී උන්වහන්සේ ලගට ඇවිත් උත්තර දෙන එක සිරිත වුනත් හැමෝම කලේ වාඩිවෙලා හිටපු තැනින් යන්තම් නැඟිට්ට එක විතරයි.. ඒත් කවුරුවත් උත්තරයක් දෙන්න උනන්දු නොවෙද්දී මුදලාලිම එළියට ඇවිත් කතා කලේ උන්වහන්සේට පිටි පාන්න බැරි වුන නිසා..

" ඒ තරම්ම දුර නැහැ අපේ හාමුදුරුවනේ.. මේ පාර දිගේම ඉස්සරහට යද්දී ඉස්කෝලේ හම්බුවෙනවා.. ඉස්කෝලේ පහුවෙලා ටිකක් දුර ගිය ගමන් පන්සල.."

" හොදයි, මම ගිහින් එන්නම්.."

" අවසරයි හාමුදුරුවනේ.. ඉන්න මම මේ කොල්ලෙක් එවන්නම් ඔබ වහන්සේට මඟ පෙන්නන්න.."

වෙල් යාය ලග ඉදන්ම උන්වහසේ පස්සෙන් ආව කොල්ලො ටික ඒ වෙද්දී කඩේ පඩි දෙකක් උඩින් තිබුන කණ්ඩියේ වාඩි වෙලත් ඉවරයි.. මහ එවුන් වගේ වෙන දේවල් ගන අනාවැකි දකින්න දැනගෙන හිටියේ නැති උන්ට ඕන වුනේ වෙන්නේ මොකද්ද කියලා හැමදේම දැන ගන්න විතරයි..

" ඒ ජගත්, මෙහෙ වරෙන්.. හාමුදුරුවොත් එක්ක පන්සලට ගිහින් ආයෙම කඩේට වරෙන්.. මම උඹලට ආවම හුළං විස්කෝත්තක් දෙන්නම්.."

විස්කෝතුවේ රහට වහ වැටිච්ච පොඩි එවුන් එකා පිටි පස්සේ එකා උන්වහන්සේ පස්සෙන් යද්දී ජගත් විතරක් උන්වහසේ එක්ක මොනවදෝ කතා කර කර යන හැටි කඩේ හිටිය මහ එවුන් ටික බලාගෙන හිටියේ උකුසු ඇහින්..

" මොකද්ද මුදලාලි පොඩි එවුන්ට හුළං විස්කෝතුත් දීලා පස්සෙන් යනවන්න තරම් තියෙන උවමනාව.. ඔය පාර කිව්වම පන්සලට වඩින්නේ නැතැයි.. අනික ඒක පාළුවට ගිහින් කියලා දැන ගත්තම ආ පයින්ම ආයෙම වඩීවි.."

" මේ පියදාස, උඹට තියෙන්නේ කටක්ද නැත්නම් වක්කඩක්ද?"

" එහෙම කියන්න එපා මුදලාලි.. කලින් වතාවල් වල වෙච්ච දේවල් එහෙම ඉක්මනට අමතක කරන්න කියලද කියන්නේ අපිට එතකොට.."

" හැමදාම එකම දේ වෙන්නේ නෑ ගජධීර.. අපි මොකද වෙන්නේ කියලා බලමු.."

" එහෙම බලන් ඉද්දී කලින් සැරේ වගේ විහාරේ පරණ පිළිම ටික ආවාසගෙට වැඩම කරලා තියේවි.."

පන්සල මායිමේම හිටපු පියදාසට කවදත් පන්සලේ දේවල් බොහොම ඉක්මනට ඉව වැටුනා.. හුඟක් දේවල් ගැන පියදාස ඔක්කොටම කලින් සැක කරපු දේවල් බොහෝමයක් හරි ගිහින් තිබුන හන්දා ගමේ කවුරු වුනත් පියදාස කියන දේවල් තර්ක කරන්න ගියේ නෑ..

" හරි අපි බලමුකෝ.. අපි තාම දන්නේ නැහැනේ උන්වහන්සේ ආවේ මෙහේ නතර වෙලා ඉන්නමද කියලා.."

කතාබහ අතරෙම සැරින් සැරේ පාර දිහාවට ඇහැ යොමුකල මුදලාලිගේ ඕන කම තිබුනේ කොල්ලෝ රෑන එනවද කියලා දැන ගන්න එක..

" අහ්, අර එන්නේ අරුං ටික ගියාට වැඩියම වේගෙන්.. බලමු උන්ගෙන් අහලා.."

පිම්මේ දුවන් ආව පොඩි එවුන් ටික කෙලින්ම නතර වුනේ ලොකු විස්කෝතු බෝලත් තිබුන ලෑල්ල ලග.. උන්ගේ හිත තිබුනේ දෙනවාය කියලා කියපු හුළං විස්කෝතු ලග..

" ඉතින් කියපං, මොකද වුනේ කියලා.."

" අපි හාමුදුරුවන්ව පන්සලට ගිහින් ඇරලලා මේ පිම්මේ දුවන් එන ගමන්.."

" යකෝ, ගිය ගමන් ආවේ බැලුවේ නැද්ද හාමුදුරුවෝ මොකද කරන්නේ කියලා.."

" විහාරෙයි බෝ මළුවයි ලග ටිකක් බලාගෙන ඉදලා ධර්ම ශාලාවේ බංකුවක් උඩ හාන්සි වුනා.. ඒ ගමන්ම අපි එන්න ආවා.."

" හාන්සිවුනා නෙමෙයි බූරුවෝ, සැතපුනා.."

ඊට වැඩිය දෙයක් උන්ගෙන් අහලා දැන ගන්න බෑ කියලා තේරුණ මුදලාලි කඩේ හිටිය අනික් මහ එවුන් දිහාවට හැරුනේ දෙයක් කියන්න වුනත් ජගත් නිසා ඒක පොඩි වෙලාවකට නතර වුනා..

" මුදලාලි මාමේ, කෝ දෙනවයි කියපු විස්කෝතු.."

" තොපි ඉතින් මෙහෙම වැඩක් වත් කරන්නේ මොනවා හරි ලැබෙනවනම් තමයි.. ඉදා, අරං පල.."

උන් දිහාවට දික් කරපු විස්කෝතුත් අරගෙන කෑ ගහගෙන කඩෙන් එළියට පැනලා දිවුව පොඩි එවුන් ටික ගිහින් ටිකක් නිදහස් වෙනකන් බලාගෙන හිටපු හැමෝම ඊළගට හැරුනේ මුදලාලි දිහාවට..

" පන්සටලට වැඩලා ධර්ම ශාලාවෙම සැතපුනේ තව කොහේ හරි පන්සලකට වඩින ගමන් ගිමන් හරින්නද දන්නේ නෑ.."

" ඒකත් කියන්න බෑ තමයි හැබැයි.. අපි මෙහේ නිකන් කල්පනා කරාට.."

" ඒත් ඉතින් නතර වෙලා පන්සල බලාගන්න වැඩියා වෙන්නත් බැරි නෑ නේද?"

" එහෙනම් ඉතින් ධර්ම ශාලාවේ සැතපෙන්නේ අහවල් එකකටද.. ආවාසේ තියෙන්නේ.."

" හරිනේ, අවාසගේ වහලා අපි යතුරු තිබ්බේ වෙද මහත්තයලගේ ගෙදරනේ.. ඉතින් කොහොමද උන්වහන්සේ ආවාසයට වඩින්නේ.."

කඩේ  වාඩිවෙලා හිටපු හැමෝම කියන දේවල් අහගෙන හිටපු මුදලාලිට ඒ ගැන මතක් වුනේ අවුරුදු තුනකට කලින් වහලා දාපු ආවාස ගේ ඊට පස්සේ අරින්න උවමනාවක් වුනේ නැති හන්දා..

" පරක්කු කරලා හරි යන්නේ නෑ.. විගහට ගිහින් වෙද මහත්තයගෙන් යතුර ඉල්ලන් පන්සල දිහාවට ගිහින් එන එක හොදයි වගේ.."

" මුදලාලි කලබල නැතුව ඉන්න.. හවස් වෙද්දී බැරිම තැන ආයෙම වෙන කොහාට හරි වඩීවි.."

" අනේ මේ පියදාස, මගෙන් මුකුත් අහගන්නේ නැතුව ගත්ත බඩු වලට සල්ලි දීලා පලයං යන්න.. කොලුවෝ, කඩේ බලා ගනින්.. මම යනවා වෙද මහත්තයලගේ දිහාවට.."

කඩේ මායිමටම වෙන්න තිබුන නියර දිගේ පල්ලම් බැහැලා යන මුදලාලි දිහා හැමෝම බලාගෙන හිටියා මිසක් කවුරුවත් වචනයක්වත් කියන්න උනන්දු වුනේ නෑ..

............................

රබර් යාය අතරින් තිබුන කෙටි පාරවල් වලින් ඉක්මනට වෙද මහත්තයලගේ ගෙවල් පැත්තට ආව මුදලාලිගේ හදිස්සිය ඈත තියාම තේරුම් ගන්න පුළුවන් වුනේ හරියටම ලෙඩක් අඳුන ගන්නවා වගේ..

" මොකද ජයවීර මුදලාලි මේ හදිස්සියෙම? අසනීපයක් කියලනම් පේන්නේ නෑ.."

" දෙයියනේ කියලා කිසිම අසනීපයක් නම් නැහැ වෙද මහත්තයෝ.. ඒත් වැදගත් කාරණාවක් කියන්න කියලා.."

" හා, ඔය දුවන් ආව මහන්සි යන්න බෙලි මල් එකක් බොන ගමන්ම කාරණාව කිව්වනම්.."

වෙද ගෙදර මිදුලේ බෙහෙත් කොටමින් වුන් කොලුවව බෙලිමල් කෝප්පයක් ගේන්නට යැවූ වෙද මහත්මයා හන්සි පුටුවේ දිගා වුනේ ජයවීර මුදලාලිගේ හදිසි කාරණාව අහන්න සූදානම් වෙන ගමන්..

" වෙද මහත්තයෝ, අද අපේ පන්නසලට අළුතින් හාමුදුරුවෝ කෙනෙක් වැඩියා.. ආරංවිද?"

" හ්ම්ම්, මටත් එහෙන් මෙහෙන් ආරංචි වුනා.."

" උන්වහන්සේ ධර්මශාලාවේ සැතපිලා ඉන්නවලු.. ආවාසේ යතුරත් තියෙන්නේ වෙද මහත්තයා ලඟනේ.. අපි දැන් මොකද කරන්නේ?"

" කෝක වුනත් අපි මෙහෙම පැත්තකට වෙලා ඉන්න එක හරි මදි ජයවීර මුදලාලි.. දායක සභාව රැස් වෙනකන් ඉන්නේ නැතුව අපි යමු පන්සලට.."

හාන්සි පුටුවෙන් නැගිටුන වෙද මහත්තයා පුටු ඇන්දට දමා තිබු බැනියම ගෙන හැද ගත්තේ පන්සලට යාම ප්‍රමාද කල යුත්තක් නොවන නිසාවෙනි..

" කොලුවෝ, තව බෙලිමල් ටිකක් ලෑස්ති කරන් අරන් වරෙන් පන්සලට ගෙනියන්න.. මොනා වුනත් උන්වහන්සෙට මහන්සිත් ඇති නොවැ.. ගිලන්පස ටිකක් වත් අරන් ගිහින් අනික් දේවල් කතා කර ගන්න බැරිය.."

වැඩි වේලාවක් ගත නොකරම පන්සල දිහාවට ආව ඔවුන්ට අතර මඟදී තවත් ගමේ කිහිප දෙනෙක් එකතු වුනේ ආරංචිය ගම පුරාවටම යන්න ඒ තරම්ම වෙලාවක් ගත නොවී තිබුන  හෙයිනි..  අවාසගෙයි පිටුපස දණහිස තරම් උසට වැවි තිබුන වල් පැල ගලවමින් හිටි උන්වහන්සේ දෙස ඔවුන් මොහොතක් නැවතී බලාගෙන සිටියේ තීරණයක් ගන්නට නොහැකිවය..

" අවසරයි අපේ හාමුදුරුවනේ.."

" සුවපත් වේවා! ගමේ අය ආව එක හොදයි.. මම ඒත් කල්පනා කලේ පන්සල ඇයි මෙහෙම කියන එක ගැන කාගෙන්ද දැන ගන්නේ කියලා.."

ගමේ අය එකිනෙකා තම තම මුහුණු දෙස බලාගෙන නිහඬවම බිම බලා ගත්තේ ඊට දෙන්නට පිළිතුරක් නොදත් බැවිනි..

" පන්සලට නායකත්වය දෙන්න කෙනෙක් නැතුව කොහොමද හාමුදුරුවනේ මේවා බලා කියා ගන්නේ?"

" මේක එච්චරම ජරාවාස වෙලා නැහැ.. කලින් වැඩ ඉදපු නායක හාමුදුරුවෝ නැති වුනා කියලා පන්සල අත අරින එක යහපත් දෙයක් නෙමෙයි නේද උපාසක මහත්වරුනි.."

" ඒ කියන්නේ ඔබ වහස්සේ ඒ ඔක්කොම දන්නවද?"

" දන්නවා, ඒ නිසාමයි මම ආවෙත්.. උන් වහන්සෙත් මගේ ගම් පලාතෙමයි.. මහා විහාරෙක වැඩ වාසය කරලා මේ පුංචි ගමේ පන්සලට ආව උන්වහසේව ගමේ දායක මහත්තුරු නිධන් හොරා කියලා එලව ගත්ත විත්තිය මම දන්නවා.. පිටින් පේන දේ ඇත්තමයි කියලා හිතන එකනේ අපි සමහරකගේ මනුස්ස ගතිය.. ඉතින් අපි ඒක කොහොමද වලක්වන්නේ?"

" දැන් ඔබ වහන්සේ මෙහේ නතර වෙනවද?"

" ඔව්, ඒ විතරක් නෙමෙයි මගේ නායක හාමුදුරුවෝ හොරෙක් නෙමෙයි කියන එකත් ඔප්පු කරලා පෙන්නනවා.."

ගමේ එකිනෙකා තමන්ගේ මුහුණු දෙස බලා ගත්තේ කියන්නට යමක් නොවුන නිසාවෙනි.. උන්වහන්සේගේ හඬෙහි වූ ගාම්භීර බව අතරේ ගමේ අය නිහඬ වූවා මිසක එයට අකමැත්තක් නොපෙන්වීය.. තම ඉන පටියේ දමාගෙන වුන් යතුරින් ආවාස ගෙය විවර කල වෙද මහත්මයා උදෑසන හීල් දානයද රැගෙන පැමිනෙන පොරොන්දුවෙන් ගමේ අය සමග පන්සලෙන් නික්ම ගියේ අවිනිශ්චිත බවකින් වුවත් එය පෙන්වන්නට කිසිවෙකුත් උත්සාහ නොකලේය..

" අපි මොකද කරන්නේ වෙද මහත්තයා.."

" අපි ටිකක් බලමු.. එතකන් වෙනද වගේම අපේ යුතුකම් ටික කරමු.."

............................

වැට මායිමේ වූ ගස් අතරින් ඉදහිට එබෙමින් පන්සල දෙස බලමින් වුන් පියදාස සිටියේ දෙගිඬියාවෙනි.. තම ඉදිරියට නෙරා ආ බඩද අත ගාමින් මිදුලේ ඒ මේ අත ඇවිද්ද ඔහු හැසිරුනේ ප්‍රශ්ණ ගානකට උත්තර හොයන්නක් මෙන්ය..

" මොකද අද ඔහේට ආව වෙලේ ඉදන් වෙලා තියෙන්නේ?"

" ඇයි යෝදියේ උඹ දන්නේ නැද්ද, පන්සලට තවත් කෙනෙක් ඇවිත්.."

" නෑ.. ඔහේට හොදටම විශ්වාසද?"

" මේක අස්සට වෙලා එක එකාගේ ගින්දර නිවන වෙලා පොඩ්ඩක් එලියට බැහැලා බලපංකෝ.."

කේන්තියෙන් කෑ ගසමින් පියදාස පෙන්වූ දෙස බැලූ මල්කාන්ති, ආවාසගේ පිටුපස අමදිමින් වුන් උන්වහන්සේ දැක පියදාසට මෙන්ම  ඇයටද  කරන්නේ කුමක්දැයි සිතා ගත නොහැකි විය..

" දැන් ඔහේ මොකද්ද කරන්න හිතන් ඉන්නේ?"

" ආවසේ පිටි පස්සෙන් මේ හරියට හවුරු හරි එනවා කියන්නේ මගේ කසිප්පු බැරල් දෙක හංඟන තැන නිකන්ම එළිවෙනවා කියන එක.. එහෙමනම් ඉතින් අපිට කරන්න වෙන්නේ කලින් වතාවේ කරපු දේම තමයි.."

" අනේ මන්දා, ඕවා කරලා ඔහේටයි මටයි යන්න වෙනම අපායක් හදන්න වෙනවා.."

" එතකොට තෝයි මායි දැන් කරන එව්වට දිව්‍ය ලෝකේ යනවා කියලද උඹ හිතන් ඉන්නේ.."


නිමි..



අති විශේෂයි : පහුගිය කාලෙම ලංකාවේ පරිසරයට ගැලපෙන්න කතාවක් ලියන්න කියලා තර්ජන ආවනේ.. විශේෂයෙන් අපේ මධුරංග අයියගෙන්.. ඔන්න ඒ ඉල්ලීමට ඉටු කලා.. හැබැයි අවංකව කියනවනම් දැන් දැන් ලංකාවට වඩා බටහිර පරිසරයකට එඹිලා කතාවක් ලියන එක මට ලේසි වෙලා..



38 comments:

  1. අඩේ අෆ්ෆා සැර කතාවක් ද ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එච්චර සැර නෑ..

      Delete
  2. හොඳ කතාවක්.කියවගෙන යද්දි මොකක්ද කියන්න යන්නෙ කියල හිතාගන්න බැරිවුනා.කුතුහලය ඇතිකරවමින් ලියන්න පුළුවන් එක දක්ෂකමක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යකා.. හුඟ කාලෙකින් මේ කතාවක් ලිවුවේ මාත්..

      Delete
  3. කුතුහලය රඳවගෙන ලියලා තියෙන හැටි අපූරුයි දිනේශ්. ඒත් ඔයාගේ මම කැමතිම අර රහස් පරීක්ෂක කතා. ඔයා දැන් ඉන්නේ වෙනත් පරිසරයක හින්දද කොහෙද ඒ කතා වැඩියෙන් ලස්සණට ලියවෙනවා වගේ. :)

    ReplyDelete
    Replies
    1. ඔවු පොඩ්ඩි අක්කේ.. හුඟක් කතා වලට වෙන්නේ ඒක තමයි.. ඉන්න පරිසරය එක්ක ලියාගෙන යද්දී ලේසියි.. එරිකෝ ටික දවසකට නවත්තලා ඉන්නේ.. බලමුකෝ අපි හෙමීට..

      Delete
  4. සිරාවටම මට කියන්න දෙයක් හිතා ගන්න බැරි වුනා බන්. නියමෙටම ලියලා තියෙනවා.

    කොහොම උනත් අපි ඕන දෙයක් ගැන පිටින් බලලා තීරණය කරන දේවල් ගොඩක් වෙලේට වරදිනවා දිනේශ්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. අපි හිතන දේවල් හුඟක් වෙලාවට වෙනස් වෙනවා.. එක පාර තීරණය කරන්න අමාරුයි හුඟක් දේවල්..

      Delete
  5. එතකොට පියදාස තමයි සර්පයා.අමාරුයි කිවාත් ඔය ලියලා තියෙන්නේ බං මෙහෙට ගැලපෙන විදියට නියම කතාවක්...

    ReplyDelete
    Replies
    1. හොද මුණ දාන් ඉන්න සර්පයෝ අදුගන්න අමාරුයිනේ බං ගොඩක් වෙලාවට.. වැඩියෙන්ම ප්‍රශ්ණ එන්නෙත් අන්න ඒ අයගෙන්ම තමයි..

      Delete
  6. ආන්න්ද සර්පයා දුටුවාද...?
    හුටා අනෙන්ද නෙමේ දිනේෂ් නේද....?...
    පට්ට කියන්නෙ පටේ පට්ට... සිරාවටම කියන්නෙ අන්තිමේ වෙනකං හිතාගන්න බැරිවුණා මොකද වෙන්නෙ කියල...
    නියමාාාාාාාාාායි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා.. මම සර්පයා දුටුවෙමි.. ඔබටද පෙන්වන්නට උත්සාහ කලෙමි..

      Delete
  7. ගොඩක් සාර්ථකයි දිනේෂ් ..ඔයා කතාව ඇතුලේ අපිට රූප මවාගන්න අපුරුවට තොරතුරු දෙනවා... නියමයි ඊයේ පෙරේද මේ පැත්තේ ආවේ නැහැ ,කියවුවෙත් නැහැ :)

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරෙදා ලියපු එක ගෑල්ලමයි බලලම නෑ.. හෙහ්.. එවුවා ඉතින් එහෙම තමයි..

      Delete
  8. සරල‍යි සුගමයි. ගලාගෙන යන දොළ පාරක් වගේ අපූරු භාෂා හැසිරවීම. මම මේ ෆෝන් එකෙන් කෙටුවෙ. හවසට ආයෙම එනවා දිග comment ටිකත් බලන්න.

    ReplyDelete
    Replies
    1. හා හා, එහෙනම් හවසට එන්නකෝ..

      Delete
    2. ඔන්න දෙවෙනි වතාවටත් ආවා.... දෙවෙනි වතාවටත් කියෙවුවා. ගමේකම, ගමේ පරිසරය අපූරුවට සිත්තම් වෙලා තියෙනව. තව ටිකක් කතාව ඉදිරියට ගියානම් හොඳයි කියලත් හිතුන.

      Delete
    3. තව ඉදිරියට කතාව ගෙනියන එක තේරුමක් නෑ කියලා හිතුනා බස්සියේ.. මේකට මේටික ඇති..

      Delete
  9. එල කතාවක්නේ දිනේෂ් මල්ලි....
    මෙයිට පෙර උඹේ කතාවල් මම කියවල නැද්ද මන්ද...

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ කියවලා නෑ.. කෙටි කතා කියල ලේබල් එකේ තියෙනවා අයියේ කතා නම් ඕන තරම්.. නිවාඩු පාඩු වෙලාවක කියෝලා බලන්න..

      Delete
  10. ඔය තියෙන්නේ ගින්දර වගේ. මට හිතුනේ මේක ගොඩාක් ලොකුවට ගෙනියන්න තිබුණ කතාවක්. මම භාගයක් කියවලා උඩට ගිහින් බැලුවා පලවෙනි කොටස කියලා තිබ්බාද කියලා? ඒත් මේ අවසානෙත් නියමයි

    ReplyDelete
    Replies
    1. මේ ඇති කියලා හිතුනා යක්ෂයෝ.. මම දැන් දිගට යන ඒවා ලියන්න කම්මැලියි නේ..

      Delete
  11. උදෙන්ම කියවලා හවසට එන්නම් කියන්න බැරි උනා :) ඇත්තටම දැන්නම් මටත් හිතෙනවා හුදකලා වෙන්න ,එහෙම උනාම තියුනු ලෙසට ලියන්න පුළුවන් ....ඇත්තටම මම කැමතිම ,මගේ හිතේ මැවුනු දසුන තමා හාමුදුරුවෝ පොඩි උන් දිහා බලන් හිටපු එක......ලස්සනයි මිස්ටර් අවුල් මල්ලී

    ReplyDelete
    Replies
    1. මේ මේ දැන් උයාට ආයි හුදෙකලා වෙන්න ලැබෙන්නේ නෑ හරිද? ඒ හන්දා ඒවා ගැන හිතලා වැඩක් නෑ..

      අවුල් මල්ලී? හා අවුල් අක්කේ..

      Delete
  12. එල ඈ...හැබැයි තව ටිකක් ඉස්සරහට ඕක ගෙනියන්න තිබ්බා...

    ReplyDelete
  13. දිනේෂ් වැඩිය ලියන්නෙ නැති ආකෘතියක කතාවක් වුනත් මට නම් මේක අල්ලල ගියා. අන්තිමට එනකල්ම හිතා ගන්න බැරි වුනා සිද්ධිය මොකක්ද කියල.. ඉඳ හිට හරි මේ විදිහෙ ඒවත් ලියමු.

    ReplyDelete
    Replies
    1. ඔවු චන්දන.. ගොඩක් කාලෙකින් මේ වගේ දෙයක් ගැන හිතුවේ.. බලමු ඉඩකඩ තියෙන විදිහකට ලියන්න...

      Delete
  14. හෙට පෝය දවසට ගැලපෙන ඉතාම හොඳ කතාවක්. අවසානය දක්වාම හිතාගන්න අමාරුයි මොකක්වෙයිද කියලා. ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විචාරකතුමනි..

      Delete
  15. නියමයි කතාව. අන්තිම වෙනකල් කුතුහලයෙන් තමයි කියෙව්වෙ. තව ටිකක් දිග උනා නම් වඩා හොදයි කියල හිතෙන්නවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, මෙහෙමයි ඉතින් තව දික් වෙලා නීරස වෙනවට වැඩිය මේ ප්‍රමාණය හොදයි කියලා හිතෙනවා..

      Delete
  16. රසවත් කථාව මල්ලී! සෑම සිදුවීමක්ම මැවිලා පෙනුනා. ලංකාව අමතක කරන්න එපා. මමත් දැං අවුරැදු 19ක් මෙහේ. ඒත් ගතින් පමණයි. හිතෙන් ලංකාවේ. ජය!!

    ReplyDelete
    Replies
    1. ලංකාව අමතක නෑ අයියේ.. ඒත් හුඟක් වෙලාවට නිර්මාණ කෙරෙද්දී ඉබේම වගේ එන්නේ මෙහේ පරිසරය.. ඒකයි වෙනසකට තියෙන්නේ..

      Delete
  17. මමත් ගොඩ වුනා දිනේෂ්. ගොඩක් කෙටි කතාවල කළු චරිතයක් හැටියට පෙන්වන ගමේ කඩේ මුදලාලි මේකේ එහෙම නොවීච්ච එක කැපී පෙනෙන වෙනසක්.ජය !

    ReplyDelete
  18. කතාවෙ අන්තිමට එනකම් හිතුනෙ නෑ පියදාසයා එහෙම එකක් කරන්න ඇතිය කියලා... මිනිස්සු බොහෝ දෙනෙක් තීරණ ගන්නෙ පිටින් පේන දෙයින් මිස කවුරුවත් ඇත්තටම මොකද උනේ කියලා හොයන අවස්ථා අඩුයිනෙ...

    ReplyDelete
  19. ඔය තියෙන්නේ යසට ලියවිලා

    ReplyDelete
  20. ශා.. මගේ ඉල්ලීමත් ඉටු කරලා. නියමයි කතාව. කුතුහලය නොඅඩුවම වාගේ තියෙන්න ලියලා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්