Thursday, 23 January 2014

ඇය තවම කන්‍යාවියක්



මඟුල් ගෙදර කළබලකාරිත්වයෙන් තාම හිත පිරිලා වගේ.. කෑම් බීම් නැටුම් එක්ක එන ඝෝෂාව අතරෙම හිතට ගතට දැනෙන තෙහෙට්ටුව අනිත් අයටනම් දැනෙනවද කියලත් සැකයි.. පිටත් වෙන නැකත වෙනකන් හිතේ තිබුනේ එතනින් ඈත් වෙලා යන්න ඕන කමක්.. ඒ බව හොදටම දැනුනේ වාහනේට නැඟලා පහසුවට සීට් එකේ ඉදගනිද්දී.. මං ලඟින්ම ඇයත් වාඩි වෙලා සිට් එක් පිටිපස්සට හොදට හේත්තුවෙලා ඉදගත්තේ මට දැනුනා වගේම මහන්සියක් ඇයටත් දැනුන නිසා වෙන්න ඇති..

" මහන්සිද?"

" හ්ම්ම්.."

කඳුළු පිරිලා තිබුන ඇස් දෙක යන්තමට වගේ උස්සලා බලලා කෙටියෙන් දුන්න උත්තරේට මම ආස වුනා.. ඒ, ඒ වෙලාවේ ඇගේ මුහුණේ ඇදුන ඉරියවු වලට.. එක අතකින් මල් කළඹත් අතේ තියාගෙන ටිකක් දුර එනකන්ම ජනේලෙන් එහා පැත්ත බලන් ආව ඇගේ අනික් අත උඩින් හෙමීට මම අත තියා ගත්තේ දැන් මගේම කියලා ආදරයක් මගේ ලෝකෙට ඇවිත් කියන පුංචි සතුට හිතේ තියාගෙන..

ගෙවුව පැය එකහාමාර හිතට හුඟක්ම වදයක්.. එක දිගටම ආව ගමනේ ඉවරයක් දකිනක හිතට තිබුනේ සෑහෙන නොසන්සුං කමක්.. ඒ තරම්ම කතාවක් නොකරපු ඈ දිහා බලාගෙන එන ගමනෙත් හැංගිච්ච පුංචි සුන්දරත්වයක් තිබුනා.. ඒක එයාට තේරෙන්න නැතුව ඇති සමහරවිට.. ඒ හන්දා මම ඒ සුන්දරත්වය හිතේ හැටියට හොදට විඳගත්තා..

යන්තමින් හීතල රාත්‍රියේ තානායම අවසර ලද හැඟීම් වලට අත වනනවා වගෙයි දැනුනේ.. ටිකකට කලින් දැනුන මහන්සියවත් නොසංසුන්කමවත් දැන් දැනෙන්නේ නැති තරම්.. හිතට දැනුනේ හරියට අළුත් හැඟීමකින් පිරිලා වගේ.. තැනින් තැන රෝස මල් ඇතිරුව යහන ඇය එනකන් මග බලාගෙන.. මහන්සියෙන් ගෙවුන හෝරා ගානට වැඩිය නොඉවසිල්ලෙන් ගෙවෙන විනාඩිය දෙක දැනෙන්නේ මහා ලොකු කාලයක් වගේ..

හදිස්සියෙම සවනතට වැටුන සුපුරුදු සංගීතයට කල්පනාව බිඳිලා කලබලෙන් ෆෝන් එක හෙවුවේ වෙනදා කොයි වෙලේත් ලගම තියාගන්න එක අද ඒ තරම්ම වුවමනාවක් නොවුන හන්දා.. හෝටලේට ඇව්ල්ලත් ෆෝන් එක තාම බෑග් එකේ..

" මොකෝ යකෝ, ආන්සර් කරන්න පරක්කු.. උඹ දැන්මම වැඩද?"

" ෆෝන් එක තියපං අදවත් බාල්දි නොදා.."

"හරි හරි තියන්නම්.. උඹට බලපුවා මතක ඇතිනේ.. මෙච්චර දවසක් ඉවසන් හිටියට අද ඉදන් එහෙම ඕන නෑ පුතෝ.."

වෙඩින් එක ඉවර වෙලත් උන් තාමත් බොනවද කොහේද.. එහෙම හිතන ගමන් ෆෝන් එක කට් කරද්දී වොශ් රූම් එකෙන් එළියට ආව ඇය හෙමින් ඇවිත් නතර වුනේ මං ලග..

" අපි ටිකක් කතාකරමුද?"

එයා  එහෙම කියද්දී ඒ මුණේ තිබුනේ මහා බැරෑරුම් බවක්.. හරියට ප්‍රෙහෙලිකාවක් වගේ..

" හා, කියන්න.."

" අපි මේ දේවල් ගැන තව ටික කාලෙකින් හිතමුද.. ප්ලීස් මං ගැන වැරදියට හිතන්න එපා.."

අමාරුවෙන් වචන ගලපගෙන එයා කියන්න හදන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නෙමෙයි.. ඒත් හිත ඒ ඇයි කියලා අහන්න ඕන කියලා කිවුවත් ඒ ගැන අහන්න පුළුවන් තරම් හයියක් ඒ වෙලාවේ හිතට ආවේ නෑ..

" ඇයි මම මෙහෙම කියන්නේ කියලා ඔයා හිතනවා ඇති.. ඔයා හොද කෙනෙක්.. ඔයා ගැන ආදරයක් නැතුව නෙමෙයි.. ඒත් සෙක්ස් කියන දේ මගේ හිතට මම දන්න දවසේ ඉදන් දැනුනේ මහා වදයක් විදිහට.. තාමත් එහෙමයි.. වැරදියට හිතන්න එපා.. මම තාම කන්‍යාවියක්.. ඔයාට ඕනමනම් අද ඒක බලාගන්න පුළුවන්.. ඒත්, ඔයා එක්ක කැමැත්තෙන් ආසාවෙන් ඉන්න මට බැරි වේවි.. මට ටිකක් කල් දෙන්න.. මම හිතනවා මට පුළුවන් වෙනස් වෙන්න.."

ආදරේ කරලා කසාද බඳිනවට වැඩිය ප්‍රොපෝසල් එකකින් කසාද බඳිද්දී තමන්ගේ සහකාරිය ගැන හරි හැටි තේරුම් ගන්න අමාරුයි කියලා කියපු කතාව ඇත්ත.. මීට කලින් අපිට මේ ගැන කතා කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. බඳින්න කලින් අපි තනියම කොයි තරම් නම් හම්බුනාද? ඒත් අපිට මේ වගේ කතා බහකට ඒ කිසිම වෙලාවකවත් ඉඩක් ලැබුනේ නෑ කියලා හොදටම විශ්වාසයි.. ඒත් අපි ආදරේ කලා.. ඒ දැනුන හැඟීම බොරුවක් නෙමෙයි කියන්න මට හොදටම විශ්වාසයි..

" ඔයා ඇයි කල්පනා කරන්නේ?"

" නැහැ මුකුත් නැහැ.. මම එහෙනම් අර පුටුවට යන්නම්.. ඔයා මෙතන නිදා ගන්න.."

" එපා.."

ඇදෙන් නැඟිටින්න හදද්දී එයා මාව නැවැත්තුවේ ඒ මේ දවස් ගානට අපි දෙන්නටම දැනුන ආදරේ නිසා කියලා මට හොදටම විශ්වාසයි..

" ඔයා ඇදේම ඉන්න.. ඒ දේ නැති වුනත් අපිට එකට මෙතන ඉන්න පුළුවන් නේද?"

" ඔවු පුළුවන්.. මම හිතුවේ ඒක ඔයාට අපහසුවෙක් වේවි කියලා.."

" මට සමාවෙන්න.."

" නැහැ.. අකමැත්තෙන් මාත් එක්ක නොයිද මේ ගැන කිවුව එක ගැන මම සතුටුයි.. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා.. ඔයාගේ හිත නිදහස් වුන දවසට ඒ හැඟීම මට තේරේවි.."

ඒ ඇස් වල අමුතුම නිදහස් බවක් මට දැනුනා.. ඒ දිහා හොදට බලාගෙනම නළලට වගේම දෙතොලටත් හාදුවක් දුන්නේ මීට කලින් වුනත් ඒ දේට අකමැත්තක් ඇගේ තිබුනේ නැති හන්දා.. වෙනදා වගේම අදත් ඒකට ඇය අකමැති වුනේ නැහැ.. පැත්තකින් තිබුන ෆෝන් එක දෙතුන් පාරක්ම වයිබ්‍රේට වෙද්දී ඒක කාගෙන්ද කියලා හිතාගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් වුනේ නැහැ..

" අඩෝ, ගානට වැඩේ කරපං.."

හුඟක් කල් බලාගෙන හිටපු පුංචි ආසාවකට තව ටිකක් කල් බලාගෙන ඉන්න වෙනවා කියලා හිතට දැනුනත් එයත් එක්ක තරහවක් හිතට පොඩ්ඩක්වත් ආවේ නැහැ.. එක පැත්තකින් එයා සාධාරණයි.. මගේ අනිත් යාළුවෝ වගේම අපි දෙන්නත් ආදරේ කරලා කසාද බැන්ඳනම් අද අපි දෙන්නටම නිදි නැති රැයක් වෙන්න තිබුනා.. අඹු සැමියෝ වුනත් අපි අතරේ තාම පුංචි දුරක් රැදිලා ඇති..

කල්පනාව අතරෙම ඉද්දී යාන්තමින් ඇහුන හීන් කෙඳිරිල්ල එක්ක මම එයා දිහා බැළුවේ නින්ද අහලකවත් නොතිබුන හන්දම.. මැදියමත් එක්ක නුවර එළියේ දැනුන සීතල එයාට තාම දරා ගන්න බැහැ වගෙයි.. මේ හීතලටත් මෙහෙමනම් ජර්මනියෙදි වින්ටර් එකට කොහොම ඉදියිද කියලා මට හිතුනා..

වෙන කරන්න දෙයක් නොහිතුන හන්දම හෙමීට කොට්ටේ අතරින් අත දාලා මගේ ලඟට ලං කර ගත්තේ තරමක හරි උණුසුමක් දෙන්න මට පුළුවන් බව දන්න නිසා.. ඒත් ඒ එක්කම වගේ එයා නින්දෙන් ඇහැරුනේ බය වුන ඇස් දෙක ලොකු කරන් මගේ දිහා බලාගෙනම..

" බය වෙන්න එපා.. ඔයාට හීතලක් දැනුන බව තේරුණා.. ඒකයි ලගට ගත්තේ.. මෙහෙම නිදා ගන්න.. හීතලක් දැනෙන එකක් නෑ.."

" හා.."

ආදරය විවාහය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි කියන එක ටික දවසකින් එයාට තේරේවි.. එදාට ඒ හිත වෙනස් වේවි.. මට අයිති වුනත් අකමැත්තෙන් ලබන දේට වැඩිය කාලයක් ගෙවිලා හරි කැමැත්තෙන් ලැබෙන දේ හිත හුඟක් සතුටු කරන බව මම දන්නවා.. මොකද ඔයාගේ ආදරෙත් මට ලැබුනේ එහෙමනේ.. 







95 comments:

  1. //ආදරය විවාහය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි කියන එක ටික දවසකින් එයාට තේරේවි.. //
    මේක දැක්කාම නිර්මාණ කීප්යක් මතක් වුණා,
    ජයන්තගේ සමණළ සංධ්වනිය සහ ද රීඩර් චිත්‍රපටිය,
    සුනිල් ආරියරත්නගේ ප්‍රේමය නම් සඳ එළිය සේ ගීතය සහ සුචරිත ගම්ලත්ගේ ඒ ගීතය පිළිබඳ විචාරය.
    හැබැයි මටනම් හිතේන්නේ ඔය සහ ඒකෙන් පස්සේ තියෙන කෘති නිවැරැදී කියලා.

    ReplyDelete
    Replies
    1. ද රීඩර්, මට නම මතකයි ඒත් බැළුවද කියන එක ගැන හරි කල්පනාවක් නෑ.. සුනිල් ආරියරත්නයන්ගේ ගීතයට මාත් හුඟක් ආසයි..

      මේ ගැන ඉතින් එකිනෙකාගේ අදහස් විවිධයි..

      Delete
  2. මම මේ කතාව කියවලා කමෙන්ට් කරන්න ඕන මොනවද කියලා ටිකක් හිතුවා... හිතුවේ මගේ අදහස කොතනින් පටං ගන්ඩද කියලා.

    මගේ අදහස නං විවහා වෙනවා කියන්නේ ආදරය සෙනෙහස ආරක්ෂාව වගේ නානාප්‍රකාර දේවල් ලබා දෙනවා වගේම තමන්ගේ සහකාරයාට/ සහකරුට ලිංගික ජීවිතයත් ලබා දෙන්ඩ පොරොන්දු වීමක්. ඒක ඒ කෙනාගෙන් ඉටු වෙන්නේ නැත්නම් එතන අසාර්ථකත්වයක් මම දකිනවා.

    තමන්ට හදාගන්ඩ කොතන හරි අඩුපාඩුවක් තියෙනවා නං එතන නිවැරදි කරගෙන විවහා ජීවිතයට එලඹෙන එක තමයි කරන්ඩ ඕන හොඳම දේ. එහෙම නැතුව මේ විදිහට දෙන්නගේම ජීවිතය අසාර්තකත්වයට වැටෙනවා.

    අපි හිතමු මේ ගෑනු කෙනාට ඒ ජීවිතයට හැඩ ගැහෙන්ඩ අවුරුද්දක් ගියා කියලා. එතකන් හිතේ තියෙන ආසාවල් යටපත් කරගෙන ඉන්ඩ ඕනද කියන එක ප්‍රශ්නයක්.. කල් යද්දි එයාටම හිතෙයි මේ මොන කරදරයක්ද කියලා. එතනින් මේ පවුල බිදී යන්ඩ පටන් ගනියි.

    නමුත් මම කියන්නේ නෑ විවහය කියන්නේ ලිංගික ජීවිතය මතම තියෙන දෙයක් කියලා. විවහය කියන පැකේජ් එක ඇතුලේ සෙක්ස් කියන ෆීචර් එක තියෙනවා. ඒ නිසා කවුරුත් කැමතියි කම්ප්ලීට් පැකේජ් එකක් ගන්ඩ ! :)

    තව එකක් ලිංගිකත්වය කුණුහරුපයක් කියලා හිතන මිනිස්සු ඉන්න ලංකාව වගේ රටක මේ වාගේ ගෑනු/පිරිමි අය ඉන්න එක පුදුමයක් නෙමේ.

    මට හිතුන දේ මම කිව්වා.. මම වැරදි නම් වැරැද්ද පෙන්නලා දෙන්න. :)

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++

      අයියගේ අදහස එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි..

      මෙහෙමයි, ආදර සම්බණ්දයක නොහිටිය කෙනෙක්ට එක පාරම යෝජිත විවාහකයක් වුනාම ඒ දේට යොමු වෙන්න තියෙන ඉඩ සමහර වෙලාවට අඩුයි.. හැබැයි ගොඩක් දෙනෙක් ඕක කියන්න බයයි.. සැමියට ඕන දේ දිලා නිකන් ඉන්නවා.. එක පැත්තකින් බලද්දී ඒකෙ හරි සතුටක් පිරිමියා ලබන්නෙත් නෑ..

      හැබැයි ඉතින් අයිය කියන්න වගේ ඒකට හැඩගැහෙන්න හුඟක් කල් ඉන්න එක පිරිමියට කරන අසාධාරණයක්.. දැන් මේ කතාවේ වගේ කා එක්කවත් සෙක්ස් නොකරපු කොල්ලෙක් නම් ඌට ඒක මානසිකව වදිනවා තමයි හුඟක්.. ඇයි ඉතින් බැඳලත් ඒක ලැබෙන්නේ නැත්තන්ම් මොකටද කියන එක හිතෙනවනේ..

      ලිංගිකත්වය කුණුහරපයක් වත් ලැජ්ජා විය යුතු දෙයක් වත් නෙමෙයි.. එකම දේ ඒ දිහා නිරවුල් මනසින් බලන්න පුරුදු වෙන එකයි..

      Delete
    2. යෝජිත විවහා වලදි මේ තත්වය ගොඩක් වැඩියි. ආදර සම්බන්ධතාවයකින් බැන්දත් දෙන්නා ඒ දෙවල් මුලදි කතා කරගෙන විසද ගත්තේ නැත්තං ඒත් මේ විදිහමයි ඉන්න වෙන්නේ.

      ඒ වගේම තමයි කොට්ට පේලියකින් දෙපැත්තට වෙලා ඇය/ඔහු හැඩගැහෙනකන් බලං ඉදලා නං හරි යන්නේ නෑ පුතෝ..

      මේකත් පිනන්ඩ ඉගෙන ගන්නවා වාගේ තමා. වතුරට බහින්ඩම ඕන ඉගෙන ගන්ඩ. හික්ස් :)

      වෙනදා වගේම කතාව ලස්සනයි කිව්වේ නෑ. ඒක ඉතිං ආයේ ආයේ කියන්ඩ ඕන නෑනේ. කොහොමත් මලයා ලියන කතා ලස්සනයි නෙහ්.

      Delete
    3. ඇත්ත කතාව ඔබත් එක්ක මමත් එකගයි

      Delete
    4. මධුරංග අයියේ, අයියා මේ ගැන සෑහෙන අවබෝදයක ඉන්න පාටයි.. කෝම නමුත් කියපු දේවල් ඇත්ත.. විවාහය මොන විදිහක එකක් වුනත් මේ දේට මුණ දෙන්නම වෙනවා.. එහෙම නැත්නම් ඉතින් ජීවිත දෙකක් හිතින් දුක් විදිනවා..

      ලංකාව ඉන්න සංස්කෘතික රාමුව හන්දා තමයි හුඟක් වෙලාවට මේක වෙන්නේ.. හැබැයි ඉතින් දැන් නම් කාලේ වෙනස් වෙලා.. ඒ හන්දා මේ අවුල් ඇති කියලා මං නම් හිතන්නේ නෑ..

      Delete
    5. මේ කතාවෙ දෙන්නට නං අවුරුද්දක් තියා තව දවස් දෙකක්වත් ඔහොම ඉන්න වෙන්නෙ නෑ.. ඒක ෂුවර්... හි හි....

      Delete
    6. හරි හැටි හැඟීම තේරුම් ගනිද්දී කීයටවත් ඈත් වෙලා ඉන්න බෑනේ හිරූ අක්කේ..

      Delete
    7. //විවහය කියන පැකේජ් එක ඇතුලේ සෙක්ස් කියන ෆීචර් එක තියෙනවා. ඒ නිසා කවුරුත් කැමතියි කම්ප්ලීට් පැකේජ් එකක් ගන්ඩ !//
      එල කතාව. ලයික් හොඳේ...

      Delete
    8. මධුරංග අයියත් දැන් දැන් එල කතා කියනවා බස්සියේ..

      Delete
    9. මධුරංගගෙ එල කතාවලට හේතුව සුදුනෝනා මයෙ හිතේ :)

      Delete
    10. නැතුව නැතුව.. අපිටත් ඒක තේරිලා තියෙන්නේ..

      Delete
    11. මේ පැකෙජ් කතාව චිත්‍රපටයක තිබුණා මතකයි ...

      Delete
  3. ?????????????????????????????????????????????????????????????
    කියන්න කිසිම දෙයක් නෑ ලෙසටම ලියලා ,ගොඩක් කාලෙකට පස්සෙ මේ වගේ පොස්ටුවක් කියේව්වෙ ..නියමයි

    ReplyDelete
    Replies
    1. විවාහය තුල ලිංගිකත්වයට සම්පූර්ණ ඉඩ නැති වුණත් ඒ දේ මත විවාහය රදා පැවතිමට ශක්තියක් වෙනවා ..ඕන් මේ දේවල් වලට නම් අත්දැකීම් නෑ හැක් හැක්

      Delete
    2. අත්දැකීම් නැති වුනත් මචං දැනන් ඉන්න එකම වටිනවනේ.. බැදීමක් ඉස්සරහට යන්න මේ දේ ඇත්තටම වැදගත්.. ඒක දිහා හරි විදිහට දකින්න ඕන..

      Delete
  4. ලස්සනයි ..." අකමැත්තෙන් ලබන දේට වැඩිය කාලයක් ගෙවිලා හරි කැමැත්තෙන් ලැබෙන දේ හිත හුඟක් සතුටු කරන බව මම දන්නවා.." ^_^

    ReplyDelete
    Replies
    1. දෙන්නගෙම හිත් වල කැමැත්තෙන් ලබන දේ රසය වැඩියි..

      Delete
  5. ඇත්තටම බොක්කටම වැදුනා... කියන්න දෙයක් හිතාගන්නවත් බෑ.... ආදරය සෙනෙහස බැදීම් සතුට ලිංගිකත්වය කියන සාධක ඔක්කොම තියෙන්න ඕන සාර්තක ජීවිතයකට....

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම ඕන.. ඒක නෑ කියන්න කාටවත් බෑ.. හැමදේම බැලන්ස් එකේ යන්න ඕන..

      Delete
  6. යෝජිත විවාහ වලින් විවාහ වූ අයට ඇතිවෙන ප්‍රශ්නයක් ලස්සනට කතාවෙ විස්තර කරල තියනවා...ඇත්තටම හැමෝටම මෙහෙම හිතන්න පුලුවන් උනානම් ගොඩක් අයගෙ විවාහ දිවිය සාර්ථක කරගන්න පුලුවන් නේද අයියෙ..හැබැයි ඉතින් කාලයක් බලන් ඉදල බැන්ද දවසට වැඩේ කරගන්න බැරිඋනාම හිතේ අවුලක් ඇති වෙන එකත් නවත්තන්න බෑ අපි කවුරුත් මිනිස්සුනෙ :D

    ReplyDelete
    Replies
    1. අනිවා, කාට වුනත් ඒ වෙලාවට අවුලක් එනවා.. ඒක සාමාන්‍ය දෙයක්.. ඒක නවත්තන්න බෑ ඉතින්.. හොදම දේ වැඩි කල් නොගෙන කතාබහ කරලා විසදගන්න එක..

      Delete
  7. මේ වගේ සිංහල ෆිල්ම් එකක් තිබ්බා ටිකක පරණ. එකේ ඉන්නේ රවින්ද්‍ර රන්දෙණිය. එයා බඳින්නේ ප්‍රපොස්ල් එකකින් නිළිය මට මතක නෑ. බැඳලා තියෙන්නේ ගෙදරට තියෙන උවමනාව නිසා බෝය් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉද්දි . මධුසමය දවසේ රෑ සිද්ධිය කිව්වම දෙන්නා සෙක්ස් නැතිව මාස තුනක් ඉඳලා හස්බන්ඩ් රට යනවා. කෙල්ල ආපහු පරණ පෙම්වතා ගාවට යනවා. එත් බැන්දට පස්සේ තමයි තමුන්ගේ පෙම්වතාගේ සැබෑ ස්වරූපය පෙන්නේ. නොදැන බැන්ද මනුස්සයා තමුන්ගන තේරුම් ගත්ත හැටි මතක් වෙනවා...අහම්බෙන් ඔහු ආපහු හම්බ වෙනවා. දෙන්නා ආපහු එක්වෙන්න තීරණය කරනවා. එත් බඳින්න කලින් දවසේ ඔහු රිය අනතුරකින් සදාකාලික ඇබ්බගාථ වෙනවා. එත් ඒ දෙන්න ආපහු විවාහ වෙනවා. මේ චිත්‍රපටියේ නම මට මතක නෑ සමහර විට අපේ "අරූ" අයියට මතක ඇති.
    මගෙනම් මතය මේ හැමදේම සමබරව තියෙන්න ඕනේ විවාහ ජීවිතය ඇතුලේ

    ReplyDelete
    Replies
    1. සිරිමැදුර නේද ?

      Delete
    2. ඉවාන්, මටත් ෆිල්ම් එකක ඔය වගේ කොටසක් නම් මතකයි.. ඒත් හරියටම ශුවර් නෑ.. ඒකේ අනතුර වුනේ හැබැයි බැඳලා යද්දී.. නම නම් මතක නෑ මටත්..

      විවාහ ජීවිතේ කියන්නේ හැමදේම බැලන්ස් කරන්න යන්න ඕන ගමනක් මචං.. ඉස්සරහට ඉතින් අපිටත් ඕන වෙනවනේ..

      Delete
    3. සුදීක අයියේ, මන්දා මටනම් මතක නෑ.. අපේ රත්නායක අයියා මේ පැත්තේ ගොඩවුනොත් හරියට දැන ගන්න ලැබෙයි මං හිතන්නේ..

      Delete
  8. යෝජිත වුනත්,ප්‍රේම සම්බන්ධයක් මත වුනත් විවාහා වෙන්න පෙර දෙන්නට දෙන්න නිවැරදි ලෙස වටහා,අදුරගෙන ඉන්න ඕනේ.මෙතනදී දෙන්න ඇසුරු කරලා තිබුණත් දෙන්නාට දෙන්න එකිනෙකා ගැන වටහාගෙන නැති එකයි ලොකුම කේස් එක මට හිතෙන විදියට.

    ReplyDelete
    Replies
    1. ඔවු, මේකනේ යාළු වෙන උන් නම් ඕක කිසි ගානක් නෑ.. ඕපන් කතා කරනවා.. ඒක හැටියක්.. ඒත් යෝජනාවකදී ඔය ගැන කතා කරන්න ලැජ්ජාව කියන එක දෙන්නා අස්සට රිංගනවනේ.. අන්න එතකොට තමයි මෙහෙම දේවල් වෙන්න ඉඩ තියෙන්නේ.. බැන්දට පස්සේ වුනත් ඉක්මනින්ම ඒක කතාබහ කර ගන්න එක එතරම්ම අවුලක් නෙමෙයි..

      Delete
  9. නිර්මාණය නම් 100%ක්ම සාර්ථකයි දිනේශ්. හිතන්න දෙයක් ඉතිරි කරලා තියෙනවා.

    ඇත්තටම හිතේ සතුටත් දෙදෙනාගෙම එකඟතාවයත් නැතුව බොරුවට දැගුලුවට ඒක නියම සතුට නෙමේ කියන එක හොදට පෙන්නලා තියෙනවා.

    ඒත් මම හිතන්නෙ ආදර‍ය සහ විවාහය සාර්ථක කරන එකම සාධකය ලිංගිකත්වය නොවූවාට ප්‍රබල සාධකයක් කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔවු මචං.. නිකන් එක්කෙනෙක් විතරක් සතුටු වෙන එක විවාහයෙන් වැඩක් නැහැනේ.. කල් අරන් හරි දෙන්නගෙම ඕන කමට දෙයක් වෙන එක තමයි වටින්නේ..

      හැමදෙයක්ම බැලන්ස් කරන එක සාධකයක් විතරයි ඕක..

      Delete
  10. ආදරය ශක්තිමත් නම් එතනට ‍මෙහෙම ප්‍රශ්න බලපානවා අඩුයි...

    ReplyDelete
    Replies
    1. ඔවු, මේ කතාවෙදි වගේ.. කෙල්ලට ඕන කරන කාලය දෙන්න පුළුවන්නම් කොල්ලට ප්‍රශ්ණයක් නෑ..

      Delete
  11. හැබැයි ඉතිං දැං ඉන්න කොල්ලොන්ට ඉවසිල්ලක් නෑ.....මගේ අදහසනම් මේ වගේ සත්ගුණවත් කොල්ලො ඉන්නෙ බොහොම කලාතුරකින්

    ReplyDelete
    Replies
    1. අන්න අන්න, එහෙමම කියන්නත් එපා.. විවාහ වෙනකන්වත් ඉවසන එක මදිද?

      Delete
  12. //ආදරය විවාහය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි කියන එක ටික දවසකින් එයාට තේරේවි.//

    මෙන්න බොක්ක ගැලවෙන ප්‍රකාශ...

    ReplyDelete
    Replies
    1. වැදගත්ම දේ ඒක තමයි මට කියන්න ඕන වුන..

      Delete
  13. මගේ යාලුවෙක් (කාන්තා පාර්ශවය) ලව් එකක් තියෙද්දී ප්‍රපෝසල් එකෙන් බන්දල දුන්නා. අන්තිමට අර පොර ඔය වගේම කථාවක් කියලා. දවස් තුනකින් කෙල්ල ගෙදර. වැඩ බැරි ටාසන්ලා එක්ක ඉන්නේ මොකටද කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මපා කොල්ලෙක් එහෙම කිවුවනම් කෙල්ල ගෙදර එන එක අහන්නත් දෙයක්ද?

      Delete
  14. හිතන්න සහ කතා කරන්න දේවල් ඉතුරු කරලා නියමෙට ලියල තියෙනවා. සෙනෙහස, ලිංගිකත්වය වගේම එකිනෙකට ගෞරවය කිරීම කියන එකත් විවාහයේදී වැදගත් කියල හිතෙනවා. ලිංගික කරනා කෙසේ වෙතත් එක්කෙනෙක් අකමැතෙන්, අපහසුතාවයකින් ඉද්දි කරන දොඩමලුවක්වත් මට නම් මෙලෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. තමන් එක්ක ඉන්න කෙනාව තේරුම් ගන්න එකයි වඩා වැදගත්.. එතකොට හැම දේකටම උත්තර ඉබේම ලැබේවි...

      Delete
    2. කපුගේගේ 'බිරිද මගේ ඔබ' සින්දුව අහුනට පස්සේ ඔන්න අයෙත් මේ කතාව කියවන්න ඕන කියල හිතුන නිසා ඇවිත් කියවල ගියා. :)

      Delete
    3. සතුටුයි ආයෙම වතාවක් ඇවිත් කියවලා ගිය එක ගැන..

      Delete
  15. //ආදරය විවාහය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි කියන එක ටික දවසකින් එයාට තේරේවි.// මෙන්න නියම පිරිමි :)

    අපුරු කතාවක් දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ඔහොම පිරිමිත් ඉන්න බව මතක තියා ගන්න හොදේ.. ^_^

      Delete
  16. දිනේශ්ට මේක තව ටිකක් ලස්සනට ලියන්න තිබ්බ...

    මේක ගොඩක් වෙලාවට වෙන දෙයක් දිනේශ්.. අපි හිතුවෙ නැති උනාට... සමහරුන්ට බූට් කාලා පස්සෙ ප්‍රපෝසල් වලින් බැන්ඳම මේ තත්වෙ එනවා.. කෙල්ලන්ට විශේෂයෙන්... සමහර කොල්ලොත් ඉන්නවා...

    ආදරය, සෙනෙහස, කරුණාව, එකිනෙනා ගැන සොයා බැලීම් වගේ දේවල් එක්ක, විශ්වාසය ගොඩනඟා ගැනීම ගැන පොඩ්ඩක් සැලකිලිමත් උනොත් බොහොම ඉක්මණට දෙන්නගෙ හිත් එකිනෙකා කෙරෙහි බැඳෙනවා... හරිම සිම්පල් දෙයක්.. මේ සිද්ධියෙදි උනත් මේ දෙන්නා අතර තියෙන්නෙ බොහොම පොඩි දුරක් විතරයි... ම්ම්ම්.. දවසක දෙකක දුරක්...

    ///" නැහැ.. අකමැත්තෙන් මාත් එක්ක නොයිද මේ ගැන කිවුව එක ගැන මම සතුටුයි.. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා.. ඔයාගේ හිත නිදහස් වුන දවසට ඒ හැඟීම මට තේරේවි.."///

    ///" බය වෙන්න එපා.. ඔයාට හීතලක් දැනුන බව තේරුණා.. ඒකයි ලගට ගත්තේ.. මෙහෙම නිදා ගන්න.. හීතලක් දැනෙන එකක් නෑ.."///

    මේ වචන ටිකෙන් ඔය දුර හොඳටම අඩු වෙනවා...

    අනිත් එක ඕක ඔය දවසෙම කරන්න ඕනෙ කියලා නීති පොතේ නෑනේ... හි හි

    ReplyDelete
    Replies
    1. වෙන බව දන්නවා හිරු අක්කේ.. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ ගොඩක් දෙනෙක් ඕක හිතේ තියාගෙන ඉන්නවා මිසක කියන්නේ නැති එක.. ඒත් ඒ වෙනස ඇදේ ඉද්දී නොතේරෙනවාමයි කියලා කියන්න බෑනේ ඉතින්.. ( අත්දැකිම් නෑ.. ඒත් එහෙම හිතුනා..)

      නීති පොතේ නෑ කියලානම් දන්නවා ඉතින්..හැබැයි ඉතින් වෙඩින් දවසට කන කට්ට එක්ක හුඟක් දෙනෙක් එදාට ඕක කරන්නේ නෑ කියලානම් මමත් දන්නවා..

      // දිනේශ්ට මේක තව ටිකක් ලස්සනට ලියන්න තිබ්බ...//

      මදිපාඩුවක් දැනුනේ කොතනින්ද මන්දා...

      Delete
  17. මොනව කියන්න ද කියල තේරෙන්නෙ නෑ. හැබැයි ඉතින් එකිනෙකා ගෙ සිතුවිලි අපූරුවට නිරූපණය කළ ලියමනක්. උඩින් කමෙන්ටුවක තියන ගීතය (මමත් ආස ම ගීතයක්) මෙතෙන්ට සම්බන්ධ කරන්න බෑ කියලයි මට නම් හිතෙන්නෙ. ඒ වෙන ම පැත්තක්.

    ReplyDelete
    Replies
    1. ගීතයේ සම්බණ්දය වෙනයි.. එතනදි කතා කරන්නේ විවාහයක් ගැන නෙමෙයි මම හිතන හැටියට..

      Delete
  18. හැමදාමත් වගේ ලස්සනට ලියලා තිවුනා දිනේශ් අයියේ.

    කොයි හැටි වෙතත්, අඳින්න පාන්දර දොළහමාරට නැගිටලා, පාන්දර හතරෙ පහේ ඉඳන් පොටෝ අල්ලලා, ඉන් පස්සෙ අර බර සාරියත් ඇඳන්, උස සපත්තු දෙකත් දාගෙන අමාරුවෙන් පෝරුව උඩ පැයකටත් වඩා හිටගෙන ඉඳලා, නෑදෑයොන්ට කතා කරලා, හවස තුනේ සිට ආයෙත් පොටෝ අයියා කියන කියන තාලෙට මූදු වෙරලෙ උඩ පැනලා. අන්තිමේ නවාතැනට ඇවිත් කොන්ඩ කටු හත් අටසීයක් ගලවලා, කන්ඩිශනර් බෝතලයක් හල හලා යාන්තම් හෙයා ස්ප්‍රේ වලින් ගල් ගැහුනු කොණ්ඩෙ යතා තත්වයට පත් කරගෙන.......

    ඉන් පස්සෙ වැටිලා දෙයියනේ කියලා දොයියනවා ඇරෙන්න ඔය මනාල ජෝඩු සෙක්ස් කොරයිද හැබෑට????

    …(පුලුවන්නම් දැන් බස්සට අනුකම්පා කරහල්ලා... :P)

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා ඔක්කොමත් ශරි බත්තියේ ගල් ගඩොල් ගානට තදවෙච්ච කොන්ඩේ යතා තත්වයට ගන්නවා කියන්නේ හෙනම ගේමක්.......හත්වලාමේ ඔය ඔක්කොම ඉවර කරලා දෙයියනේ කියලා නිදනවා ඇරෙන්ඩ වෙන සැපක් කොයින්දා.... :P

      Delete
    2. බස්සී, හෙහ් දැනට ඉතින් ඔහොම හිතන් ඉදින්කෝ.. මම ඉතින් ඉතුරු හරිය කියන්නේ නෑ..

      හැබැයි කෝම වුනත් කතාව ඇත්ත කියලා පිළිගන්නවා.. මොකද ඒ කන කට්ට එක වෙන සැප ගැන මොන හිතිල්ලක්ද?

      // පුලුවන්නම් දැන් බස්සට අනුකම්පා කරහල්ලා... :P//

      ඌ ගැන අපිට සෑහෙන්න දුකයි.. වෙන මුකුත් නොකියමි..

      Delete
    3. ශානු අක්කේ, නිදාගන්න තියෙන වෙලේ තව මොකට මහන්සි වෙනවද? ඒ වෙහෙස මහන්සිය හන්දා පහුවදාට වැඩේ කල්දාන එක වෙනෙයි.. මෙතන කතාවේ කියන දේ වෙනයි.. ;)

      Delete
    4. ඔය කිව්වට මේ ටික ඉක්මනට ගලවමු කියලා කෑ ගහයි... අපි නොදන්න රන්මිණිතැන්න ටෙලි ගම්මානේ ! :)

      Delete
    5. හෙහ්, අනේද කියන්නේ මධු අයියේ..

      Delete
    6. යේස් මගේ කොන්වකේශන් වලදි සහ බස්සා එක්ක සහභාගි වෙන වෙනත් උත්සව වලදී කොණ්ඩ කටු ටික ගලවලා දෙන්නෙ බස්සා තම‍යි. අපේ අම්මටත් වඩා ඉක්මනට බස්සට පුලුවනි මගෙ කොන්ඩෙ තියෙන කටු හත් අටසීය ගලවන්න මාර ඉක්මනට.

      ‍යනෝ යන්න. ‍යාලු මනමාලියෙක්ට ඇන්දත් කොයි තරම් මාන්සිද හවස් වෙද්දි. වැටිච්චි තැන නින්ද යනව. එහෙනම් මනමාලිට කෝම මහන්සි ඇද්ද. ඔය ශානු අක්කා අත්දැකීමෙන් කියලා තීන්නෙ.

      Delete
    7. ඒ යාළු මනමාලියෙක්ට යනකොට නෙහ්.... මේ ඉතිං තමන්ගේ මංගල්ලේ නේ.
      මොකද කියන්නේ නඟා ඔට්ටුවක් අල්ලමුද ? හික්ස් :)

      අපි බස්සා මලයෑ පැත්තේ...
      කෝ බස්සා මලයා ඉස්සරහට එන්න.. ඔය ඉතිං ඇඹරෙන්නේ නැතුව ඉදහන්කෝ ! :)

      Delete
    8. ඒකටනේ බස්සියේ ඇඩ්‍රිනලීන් තියෙන්නේ.

      Delete
    9. බස්සී, අනේ හොදයි.. බස්සා දැන්ම ඉදන්ම පුරුදු පුහුණු වෙලා තියෙනවා ඒක ගැන සෑහෙන සතුටුයි..

      Delete
    10. මධුරංග අයියේ, අනේද යන්නේ, යාළු මනමාලිට ගියාම අපි කියන කතන්දරේ වෙනවයි.. මාත් බස්සා පැත්තේ..

      Delete
    11. දිනුක, අනේද කියන්නේ බං..

      Delete
  19. මේ කතාව හිතට ගොඩක් ලගයි.....ඇයි කියලා පස්සේ දවසක කියඤ්ඤං....
    "ලෙඩ දුකේදිද,සුව සැපේදිද මම නුඹට විශ්වාස වන්තව ජීවත් වෙමි" කතෝලික අය විවාහ වෙද්දි පල්ලියේදි දෙන මේ පොරොන්දුව මතක් උනා මන් නම් කියන්නේ සැක්ස් කියන්නේ විවාහ ජීවිතේදි එක උත්තරිත මංසන්දියක් විතරයි.....එහෙව් මංසන්දිය ජීවිතේ කර ගන්න ගෑණු/පිරිමි තමා ලිංගික ජිවිතේ අවුල් උන ගමන් විවාහයට ආයුබෝවන් කියලා පෑලදොරෙන් ඇදුම් කඩමළුත් අරන් පැනලා යන්නේ....
    විවාහයකදි දෙන්නෙක් ගැලපෙන්නේ ස්වභාවිකව ,අනික විවාහ වෙන දෙන්නට උදාවෙන හැම දවසක්ම දෙදෙනා ගැනම තේරුම් ගෙන අවබෝධයෙන් ජීවත් විය යුතු දවසක් ඔය දවස දවස එකතු වෙලා මැරෙනකම්ම පුරස්න නැතුව ඉන්ට වසර ගනන් උදා වෙනවා අද්දැකිමෙන් කියන්නේ........

    ප.ලි.

    1.පැණි හද යන්ට දවස් දෙක තුනක්වත් යොදා ගන්ට ඕනා.....(ආදරේ කරපු උන්ට කෙසේ වෙතත් යෝජිත විවාහක උන්ට මේ දවස් දෙක තුන ප්‍රයෝජන වත් වෙයි කතා බහ කරන්න)

    2. පැණි හද දවසටවත් ෆෝන් එක අමතක කරලා ගෙදර දාලා යන්ට\සයිලන්ට් දැම්මත් අවුල් නෑ(මම වගේ ;9 ගොරක යාළුවන්ගෙන් බේරෙන්න පුළුවන් )

    3. පැණි හද යන්න නවාතැන් පොල පුලුවන් තරම් දෙන්නගෙම ගමේ හුලගවත් එන්නේ නැති දුරකට යන්න පුළුවන් නම් පංකාදුයි.

    4.විවාහයෙන් පස්සේ තනියම දෙන්නත් එක්ක වෙනම ගෙදරක ජීවත් වෙනවා නම් හැම ප්‍රශ්ණයක්ම හීන් සැරේ විසදගන්න පුළුවන්

    (ප.ලි. ය ලිපියට අදාල නැද්ද මන්දා හිතුනා ලියන්න ඔන්න ඔහේ කාගේ හරි දරුවෙක්ට ප්‍රයෝජන වෙයිනේ අෆ්ෆා)

    හැමදාමත් වගේ අපේ මලයා ලියලා තීන සීන් කෝන් එක නියමයි...

    ReplyDelete
    Replies
    1. පස්සේ දවසක කිවුවේ මම ඒ පැත්තේ ආවමද දන්නේ නෑ.. දැන් උයා කියන්න තියන් ඉන්න කතා ගොඩ වැඩියි හොදේ.. ^_^

      විවාහය කියන්නේ කොයි වගේ දෙයක්ද කියන එක දන්නේ බැදපු අය.. මට ඉතින් තාම ඒ ගැන කිසි දෙයක් කියන්න බෑ.. ඒත් මම දකින විදිහ අනුව තමයි හුඟක් දේ ලියන්නේ.. මේ දේ ගැන මම දකින එක පැත්තක් මේක.. මට අනුව, මේ අවස්ථාව වැරදියි.. තේරුම් ගැනිම කියන දේ දෙන්නෙක් අතර මීට වඩා තියෙන්න ඕන කියන හැඟීම මට තියෙනවා.. අඩුගානේ ටික දවසක් හරි පෙම්වතුන් වෙලා ඔවුන් හිටිය හන්දා.. අර ඉස්සර කාලේ වගේ දෙන්නා මුලින් කතා කරන්නේ මඟුල් දා රෑ නෙමෙයි හන්දා..

      ප.ලි.

      1. මට දවස් දෙක තුනක් මදි..

      2. ෆෝන් එක ඔෆ් කරලා සිම් එකත් ගලවනවා..

      3. ඒක දැනටම හිතලා තියෙන්නේ.. මෙහෙම කියන්න බෑ ඉතින්..

      4. අපි ඉතින් ඉන්නේ මෙහෙ තමයි..

      හික්ස්, මේවා ප්‍රයෝජනවත් වෙන්න මේකට දරුවෝ එනවද කියන එකයි ප්‍රශ්ණේ මට..

      Delete
    2. මොකෝ දරුවො එන්නැත්තෙ .
      මම වගේ පොඩි ලම‍යිනුත් කියෝනවා මේ බ්ලොග් එක.

      Delete
    3. අපොයි මෙයාගේ පොඩි.. ඒ හරිය ඕන නෑ ඉතින්..

      Delete
  20. මටනම් හිතෙන්නේ දැං කාලේ නම් බඳින්න ඉස්සර ඕවා ඔක්කොම කරලා විසඳගෙන තියෙන්නේ කියලා. ප්‍රායෝගිකව නැතිවුනත් බහුතරයක් දැන් බය හා ලැජ්ජා නැතිව ඒවා කථා බහ කරලා විසඳා ගන්නවා. එය තමයි විය යුත්තේ. නිකං දේවල් හිතේ තියාගෙන දෙන්නම දුක් වෙනවට වඩා ඕනම දෙයක් කථා බහ කරන්න ශක්තියක් අවබෝධයක් තියෙන්න ඕනේ.
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවු.. කතාබහ කිරීම ඇත්තෙන්ම වැදගත්.. අද නම් සමාජය වෙනස්.. ඒ හන්දා කතාබහට වඩා ප්‍රයෝගික දේවලුත් වෙනවනේ.. නිකන් හිතින් දුන් විඳිනවට වැඩිය එහෙම වෙන එක හොදයි..

      Delete
  21. අපූරු කතාවක්.. :)

    //අකමැත්තෙන් ලබන දේට වැඩිය කාලයක් ගෙවිලා හරි කැමැත්තෙන් ලැබෙන දේ හිත හුඟක් සතුටු කරන බව// සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තේරුම් ගන්න එකයි වරින්නේ චන්දන..

      Delete
  22. ඇත්තට මේ වගේ සීන් එකක් සෙට් වුනොත් මොනා වෙයිද? මෙහෙම කෙල්ලො ඉන්නවද?..

    ReplyDelete
    Replies
    1. කොල්ලෙක් විදිහට එහෙම වෙන්න උත්සාහ කරපං බං.. අන්න එතකොට කෙල්ලෝ අපි ගැන හිතන විදිහ හරි වෙනස් වෙයිනේ..

      Delete
  23. මට පටස් ගාල ඔලුවට ආවෙ ගාර්ෂියා මාර්නේස්ගෙ Love in the time of cholera නවල් එක එතනත් ෆර්මිනා දාසාව ඔය සීන් එකට නම්ම ගන්න උර්බිනෝට මාර දවසක් යනව ටිකෙන් ටික තමා ෆර්මිනාට හැගීම එන්නෙ එ වනකොට ඇය ෆ්ලොරෙන්තීනො අරීසට වඩා උර්බිනෝට කැමති වෙනව...
    කාලයක් එක්ක මේ කතා නායිකාවත් අපේ කතා නායකයට ආදරෙ පිරුණ පැකේජ් එකම දෙන්නැතෑ අහවල් කාරණෙත් එක්කම

    ReplyDelete
    Replies
    1. පොත නම් කියවලා නෑ.. කෝම වුනත් ඒ ඉවසීම තියෙන්න ඕන කියලා හිතන මතයේ මම නම් ඉන්නවා..

      Delete
  24. මාරයි දිනේෂ් අයියේ. ඇත්තටම ජිවිත ගමන පටන් ගද්දිම මේ වගේ අවබෝධයක් ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඕන බං.. එහෙම නැති වුනොත් ඉතින් දෙන්නගෙම ජීවිත අපරාදේ..

      Delete
  25. අපූරු කාතවක් එකිකො තේරුම් ගැනිම තමයි මෙව් අවස්ථාවක සිදුවිය යුතු හොඳම දේ හැබැයි ඒක දෙන්නා අතරේ විසදාගත යුතු ප්‍රශ්ණයක්. කොහොම වුණත් මේවා බොහොම සෘංගාරාත්මක කතා

    ReplyDelete
    Replies
    1. තේරුම් ගැනිම තුලින් ජීවිතය දකින්න උත්සාහ කරන්න ඕන රත්නායක අයියේ.. මාත් දැන් ඒකම තමයි කරන්නේ.. තේරුම් ගන්න..

      Delete
  26. මම නම් මේ කතාවෙන් දැක්කේ වෙනමම පැත්තක්. දිනේශ්ගේ මේ දවස්වල ඔලුව වැඩ කරන හැටි. :)

    කතාව කියලා තියෙන හැටි අපූරුයි. හැමෝම මෙය පිලිගන්න එකක් නෑ. පිරිමි ඇවිත් තියෙන්නේ වෙන ග්‍රහ ලෝකෙන්ලුනේ. පේනවනේ අපේ මධූ කලබල වෙලා තියෙන හැටි.:D

    ReplyDelete
    Replies
    1. වෙනමම පැත්තක් කිවුවේ මොකද මන්දා.. ඔළුවනම් ඉතින් සුද්ද කරලනේ මේ ටිකේ තියෙන්නේ..

      හික්ස්, පොඩ්ඩි අක්කගේ කමෙන්ට් එකේ අමුත්තක් තියෙනවා.. කමක් නෑ..මම ප්‍රයිවට් එකේ අහගන්නම්කෝ..

      මධු අයියා ගැන ඉතින් නොදනී.. ^_^

      Delete
  27. //කාලයක් ගෙවිලා හරි කැමැත්තෙන් ලැබෙන දේ හිත හුඟක් සතුටු කරන බව මම දන්නවා.. මොකද ඔයාගේ ආදරෙත් මට ලැබුනේ එහෙමනේ.. // එතන තව කථාවකට යන්න පුලුවන් plot එකක් තියෙනවා කියල හිතුනා.

    කතාව ලස්සනට ලියල තියෙනවා දිනේශ්..

    ReplyDelete
    Replies
    1. අවංකවම කියන්නම් මටනම් එහෙම අදහසක් ආවේ නෑ.. චම්ස්ට ඉඩකඩ තියෙනවනම් ලියන්න ලියලා ආරාධනා කරනවා මම..

      Delete
  28. මං නං හිතන්නේ විවාහය කියන්නේ ලිංගිකත්වයම තමයි.සෙනෙහස කරුණාව ඒකත් එක්ක එන දේවල්.ඒකනේ කෙල්ලොයි කොල්ලොයි බඳින එක සම්මතයක් වෙලා තියෙන්නේ.'අපි සෙක්ස් කරන්නෑ ආදරය සෙනෙහස විතරයි' කියලා කෙල්ලො දෙන්නෙකුට හරි කොල්ලො දෙන්නෙකුට හරි කසාද බඳින්ඩ පුලුවන්ද?එහෙම බැන්දත් ඒත් ඒ උංගේ ලිංගික ආශාව වෙනස් හින්දා නේද?
    කොහොම උනත් කතාව සිරා.

    ලිංගිකත්වය මැජික් එකක් විදිහට පෙන්නනකොට කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලො උනත් ඕක කරන්ඩ බය වෙන එක අරුමයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. හුඟක් දෙනෙක්ට ඕක මැජික් එක්ක තමයි.. ඒ හන්දමයි හුඟක් වෙලාවට වැරදි තීරණ ගැනෙන්නෙත්..

      Delete
  29. කාටද කියන්න පුළුවන් ඇය තවම කන්නියාවක් කියල.ඇය කන්‍යාවක් නොවුණහොත් ඔහුගේ හැගීම් කෙබදු වේද

    ReplyDelete
    Replies
    1. ඇය කන්‍යාවක් තමයි.. මොකද ඒක ඇයගේ වචන වලින්ම ඔප්පු වෙනවනේ..

      Delete
  30. මට මේකට ලියන්න හිතෙන්නේ ශෘංගාරාත්මක දෙයක්

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියමුකෝ වත්සලා අක්කේ..

      Delete
  31. "ආදරය විවාහය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි "

    ලිංගිකත්වයෙන් තොර විවාහයන් තියෙන්නත් බෑ. අනෙක ගැහැනු හා පිරිමි වශයෙන් එකිනෙකා ආදරය කරන්න පෙළඹෙන්නේ ලිංගික ආකර්ෂණය මතයි. ඒකත් හංගන්න බැරි සත්‍ය දෙයක්.

    ReplyDelete
    Replies
    1. විවාහයක් නම් ලිංගිකත්වය තියෙන්නම ඕන.. ඒත් ඒක මතම හැමදේම තියෙනවා කියන එක හිතන්න නරකයි කියලයි මට නම් හිතෙන්නේ..

      Delete
  32. මේක හිතලුවක් නෙමෙයි මලයො...සැබෑ සමාජයෙත් මෙවැනි සිදුවීම් තියෙනවා...සමහරු ගෑණු දැරිවියො කසාද බැදපු ඇතැම් අයගෙ අත්දැකීම්....ලිංගික කාරිය හරිම වේදනාවක් ගෙන දෙනවා වගේ අදහස් වලින් තමන්ගෙ හිතේ අනියත භියක් පුරෝගෙන මධු සමයට පැමිණි අවස්ථා වල මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා කියලා වෛද්‍යවරු දක්වලා තියෙනවා මම කියවලා තියෙනවා...මේ කථාවෙ මේ ස්වාමියා හැසිරුනු ආකාරය කදිමයි...නැතුව හැගීම් වලට වහල් වෙලා තමන්ට අවශ්‍ය දේ බලෙන්ම ගන්න ගියා නම්...ඊළග සතියෙ දෙන්නා වෙන් වෙන්නත් ඉඩ තිබුනා. ලස්සන ලියවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. අන්න ඒ අනියස බිය හන්දා තමයි හුඟක් දේවල් වෙන්නේ.. මුල්ම අවස්ථාවෙදි ඔය බය තියෙනවාම තමයි.. දවස් කීපයක් යද්දී තමන් හිතන් හිටපු දේ වෙනස් කියලා දැන ගත්තම ඒකට තියෙන කැමැත්ත වැඩියි..

      තමන්ට ඕන දේ ලැබෙනවනම් ටිකක් ඉවසන්න පුරුදු වුනාම වරදක් නැහැනේ අයියේ..

      Delete
  33. ආදරය විවාහය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි මම මෙකට හුඟක් එකඟයි

    ReplyDelete
  34. ඒ පිරිමියා ගැන ඇත්තටම ආඩම්බරයි ^_^

    ReplyDelete
  35. 'ආදරය විවාහය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි' නමුත් ඒ ආදරය සම්පූර්න වන්නේද රඳා පවතින්නේද ලිංගිකව එක්වීමෙන් පසු හා එය දෙදෙනාටම තෘප්තිදායක වුනොතින් පමනයි. එය එසේ නොවුනානම් කවදා හෝ දිනක එම පවුල් සංස්තාව බිඳ වැටෙනවා නොඅනුමානයි. එසේත් නොමැතිනම් ලෝකයාට අඟවන්න එකට ජීවත් වෙමින් එම දෙදෙනාම හෝ කෙනෙකුට ආතතතිය වැනි ලෙඩ රෝගවලින් පෙලෙන්න සිදුවෙන බව මගේ අදහසයි. 'අතේ ඇති දේ කටේ දමා ගන්න බැරි එකනම් අපා දුකකි. විඳවීමකි!'

    ReplyDelete
  36. ලිංගිකත්වය ගැන කියන්න මම දන්නේ නෑ,ඒත් මේ කතාවේ වගේ එකිනෙකා අවබෝධ කරගන්න උත්සහ කරනවානම් ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි,ලස්සන කතාවක්

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්