Friday, 29 November 2013

ඉතාලි හොල්මන



හොල්මන් ගැන හුඟ දෙනෙක්ගේ අදහස විවිධාකාර එකක් වේවි.. කෙනෙක් කියාවි හොල්මන් කියලා දෙයක් නැහැ ඒක නිකන්ම නිකන් හිතේ මැවෙන දෙයක් විතරයි කියලා.. තව කෙනෙක් කියාවි හොල්මන් කියලා දෙයක් අපි අතරම තියෙනවා අපි ඒවා දැකලා අත් විදලා තියෙනවා කියලා.. විවිධාකාරයේ හොල්මන් එහෙමත් නැත්නම් ආත්මයන් අපි අතර සැරිසරනවා කියලා සමහර විද්ඥ්ඥයෝ පවා කියලා තියෙනවා..

මේ කියන්න යන කතාවට එන්න කලියෙන් මම කියන්නම් මම පොඩි එකා කාලේ හොල්මන් ගැන දක්වපු ප්‍රතිචාරය මොන වගේ එකක්ද කියලා.. ආයේ ඉතින් මොනවා කියන්නද.. මම පට්ටම බයයි.. මම පොඩි එකා කාලේ ඒ කියන්නේ සිස්සත්තේ ලියන්න කලින් විතර වගේ තමයි අපේ ගෙදරට ටීවී එකක් ගෙනාවේ.. ඒ දවස් වල ඉතින් ඔය මැජික් පෙට්ටිය ගාවින් හෙල්ලෙන්නෙම නැහැනේ..

ස්වර්ණවාහිනි චැනල් එක එන්න කලින් ඒක තිබුනේ වෙන නමකින් මට මතක හැටියට.. හැබැයි මට ඕක එච්චරම මතක නෑ.. ඉතින් ඕකේ රෑට ඉස්සර යනවා රෙස්ලින්ග්.. මම ඇවිත් අනාදිමත් කාලයක ඉදන් රෙස්ලින්ග් රසිකයෙක් හන්දා අනිවා ඕක බලනවම තමයි.. වැඩේ තියෙන්නේ ඕක නෙමෙයි.. හැම සඳුදම රෑට ඕක ඉවර වුනාම පටන් ගන්නේ හොල්මන් ෆිල්ම් එකක් වෙන එක..

ඔය පොඩි එකා සන්දියේ මම නිදා ගත්තේ තනියම නෙමෙයිනේ.. අන්න ඒක තමයි මෙතන තිබුන ලොකුම අවුල.. හොල්මන් වලට මම බය වුනාට රෙස්ලින් ඉවර වෙලා නිදාගන්න විදිහකුත් නෑ.. ඇයි තනියම නිදියන්න බයයිනේ.. දැන් ඉතින් මක්කැයි කරන්නේ.. මම හාන්සි වෙන්නේ බිම.. වාඩි වෙලා ඇස් දෙකත් පියාගෙන ඔහේ ඉන්නවා.. ගොඩක් දවස් වලට පහුවදාට ඇහැරෙන්නේ ඇද උඩ.. එහෙම නොවෙන දවස් වලට තමයි ඉතින් ගේම..

හොල්මන් ෆිල්ම් වල රූපෙට වැඩිය බය හිතෙන්නේ සද්දෙට.. මොන කෙහෙල් මලකට සද්දේ දාලා බය කරනවද මන්දා.. ඇස් පියන් හිටියත් ඉතින් අර සද්දේ ඇහෙද්දී ඉන්නම බෑ.. ඔක්කොටම වැඩිය අවුල කියන්නේ ඉතින් කොච්චර බය වුනත් යන්තන් ඇහැ පොඩ්ඩක් හරි ඇරලා හරි අරක බලන්න හිතෙන එක.. බිම ඉන්න එකේ හෙමීට පුටුව ගාවට ගිහින් පුටුවේ කකුල් අස්සෙන් හොරෙන් තමයි බලන්න ඕන වුනාම බලන්නේ.. ඒකත් ලාවට ඇස් ඇරලා.. හෙහ්, හිතා ගන්නකෝ ඉතින්.. ඔන්න ඔහොමලු ඉතිහාසය..

එතකොට වර්ථමානය? ඒකෙත් ඉතින් වැඩි වෙනසක් කියලා නෑ.. කවුරු හරි ලග පාත ඉන්නවනම් ඉතින් බලනවා.. නැත්නම් ඉතින් මලාට තනියම නම් හොල්මන් එකක් තියා හොල්මන් නමක් ගෑවිච්ච එකක් වත් බලන්නේ නෑ.. ඇයි ඉතින් වැඩි හරියක් ඉන්නේ තනියමනේ..

හරි අතීතය හා වර්ථමානය ඔහොම තියෙද්දී මේ ලගදී මරු කතාවක් අහන්න ලැබුනා.. දැන් ඔය මාත් එක්ක ගෙදර ඉන්න අංකල් ජොන්සන් ගැන දන්නවනේ..  අංකල් ජොන්සන්ගේ ලොකු පුත්‍ර රත්නය ඉන්නේ කතානියා වලම අපිට ටිකක් විතර ඈතින්.. පවුල් පන්සල් වෙලා ළමයත් එක්ක තමයි ඉන්නේ.. මේ ලගදි දෙවනි ළමයත් හම්බුවෙන්න ලගයි කියලා පවුල ලංකාවට ගිය හන්දා හිටි ගමන් රෑට පුතන්ඩියා කඩන් පාත් වෙන්නේ අපේ ගෙදරට තමයි.. ඒ ඉතින් වැඩිකරම ඌ උයන්න කම්මැලියා හන්දා..

ඉතින් ඔහොම ආපු වෙලාවක අපි කතාවක් දාගෙන ඉද්දී තමයි ඌ අද මේ කියන්න යන කතාව අපිත් එක්ක කිවුවේ.. උන්ගේ ගෙදර හොල්මනක් ඉන්නවලු.. අපි ඉතින් කියපු ගමන් එක පාරම විශ්වාස කලේ නෑ..

" අනේ පලයං බං යන්න.. උඹට ඔය ගෑණි නැති සාංකාව.."  මම කිවුවා..

" නැහැ බං.. අහපංකෝ කියන දේ.." ඌ සීන් කෝන් එක ඉස්තර කරන්න ගත්තා..

" මෙහෙමයි, එයාලා ඉද්දිත් එයාලට ඕක දැනිලා තියෙනවා.. දෙතුන් පාරක්ම දුව දැකලා තියෙනවා කවුද කෙනෙක් ගෙදර ඉන්නවා කියලා.. අපිට කතාකරලා පෙන්නුවා.. ඒත් අපිට පේන්නේ නෑ.. ඊට පස්සේ කීප වතාවක්ම නිදියන් ඉද්දී වයිෆ්ගේ කකුලෙන් කවුරු හරි අදිනවා කියලා දැනිලා තියෙනවා.. සමහර වෙලාවට දවල්ට නිදාගෙන ඉද්දී ඇදට ඇවිත් ගොඩ වෙනවා වගේ දැනිලත් තියෙනවලු එයාට.."

" ඉතින් උඹ දැක්කේ නැද්ද?" 

" නෑ බං.. ඒ දෙන්නා යනකන් මට නම් කිසිම දෙයක් දැනුනේ නෑ.."

" ඇයි දැන් නැති වුනාම මොකද වුනේ?"

" ගෙදර මාත් එක්ක කවුරු හරි ඉන්නවා වගේ දැනෙනවා.. දවසක් ලාවට සුදු චායාවක් වගේ එකක් දැක්කා.. ඒත් හරියට මොකද්ද කියලා කියන්න බෑ.. මම වහන දොරවල් උදේට ඇරලා.."

මූ ඉතින් වැරදිලාවත් බොන්නේ වත් නැති එකෙක් හන්දා ඉතින් කියන දේ ගැන ටිකක් හිතන්නම වෙනවනේ.. මොකද නැත්නම් වෙරි මර ගාතේ කියලවත් බැනලා නිකන් ඉන්න පුළුවන්.. ඒත් එහෙමමත් නැහැනේ..

" මගේ ලැප් ටොප් එක කැඩෙන්න කලින් හැමදාම වගේ හවසට අපි පිරිත් දානවනේ ගෙදර.. අන්න එදාට නම් කිසිම අවුලක් නෑ.. දැන් ඒකත් නැති හන්දා මේ දේවල් දැනෙනවා වැඩියි.."

මොන භූතයත් හොල්මනත් බුදුගුණ වලට බයයි කියන එකනම් ඇත්ත කියලා හිතුනා.. නැත්නම් ඉතින් මේ යුරෝපේ හොල්මනකට පිරිත් තේරෙනවද? ඒවායෙත් අපිට නොදැනෙන නොහිතන තරමේ බලයක් තියෙනවා කියලා හිතට දැනෙන්නෙත් මේ වගේ වෙලාවට..

කොහොම හරි අරූ ගියාට පස්සෙත් අංකල්ගෙයි මගෙයි කතාව ඕක ගැන.. මේකා කියන්නේ ඇත්තක් වෙන්න පුළුවන්ද? හොල්මන් කියන දේ ගැන මගේ හිතේ නම් තාමත් තියෙන්නේ මධ්‍යස්ථ මතයක්.. ඒ හන්දා ඉතින් කිසිම දෙයක් පිළිගන්න කැමැත්තක් එක පාරම මගේ හිතේ නෑ..

" මේ, අපි වෙලාවක ගිහින් නයිටක් ගහලා බලමුද? මාත් තාම හොල්මනක් දැකලම නෑ.."

ටීවි එක බලාගෙන ඉද්දී අංකල් ජොන්සන් ඉදගෙන කියනවා.. ඔන්න දැන් මාව ආයේම යන්නේ අර පුටුව අස්සේ හැංගිලා හොල්මන් ෆිල්ම් බලපු පොඩි කාලෙට.. ආසයි බයයි.. හොල්මන් කියන දේ ඇත්තක්මනම් ඒක මුණට මුන ගැහෙන එක එච්චර හොද දෙයකුත් නෙමෙයි නේ.. ඒත් ඉතින් කුතුහලය.. මට මතක් වෙන්නේ යාමය බ්ලොග් එකට අමිල මලයා ලියපු කතා.. ඒවායේ හැටියටනම් මිනිස්සු බය වුනාට ඒ ආත්ම කාටවත් කරදරයක් නම් කරලා නෑ.. ඒත් ඉතින් හැම ආත්මයක්ම එහෙමයි කියලා කියන්න පුළුවන්ද?

" හරි අංකල්, මේ වීකෙන්ඩ් එකේ යමු.."

ඕන කෙහෙල්මලක් කියලා මාත් කිවුවා.. හොල්මන් කියන දේට බය වෙන්න හරි බය නොවී ඉන්න හරි අනුන් කියන දේ හැමදාම අහන් ඉන්නේ නැතුව අවස්ථාව ආපු වෙලේ පොඩ්ඩක් ඒක ගැන බලන්න ඕන.. දැන් ඉතින් ඔහොම හිතුවට හිතට පොඩි බයක් නැත්තෙමත් නෑ ඉතින්..

ඇත්තටම අංකල්ගේ කොළුවා කියන විදිහට ඒ ගෙදර හොල්මනක් ඉන්නවද? නැද්ද? ඒක ගැන දැන ගන්න ඉතින් දවසක් එහේ නිදා ගන්නම වෙනවා.. ඉතින් ඒ හන්දා මමයි අංකලුයි හෙටයි අනිද්දයි එහේ ගිහින් නවතිනවා.. හෆ්ෆේ බෝම අමාරුවෙන් සඳවතී පර්මිශන් දුන්නා.. ඇත්තටම හොල්මනක් ඉන්නවද නැද්ද කියන එක ගැන සඳුදට සවිස්තර වාර්‍තාවක් දෙන්නම්.. එතකන්, විශ් මී ගුඩ් ලක්..

Wednesday, 27 November 2013

අමතක කරන්න නුඹ මාව




උදෑසන කොයි තරම් නම් ලස්සනද? යාන්තමට පායගෙන එන හිරු කිරණක පුංචි එළියක් අතට වැටිලා, ඒ එළියත් එක්ක විනෝද වෙද්දී හිතට අමුතු හැඟීමක් එනවා කියලා මට කියලා දුන්නේ ඔයා.. ඒත් මේ වෙනකනම් මට ඒ හැඟීම කොයි වගේද කියලා විඳගන්න වුවමනාවක් වුනේ නැහැ.. ඒ  ඇයි කියන්න මම දන්නේ නෑ.. සමහරවිට ඒ ඔයා නිතරම මගේ ලග හිටපු නිසා වෙන්න ඇති.. ඒත් ඉස්සරහට එහෙම නොවේවි..

" ඇයි ඔයා ඔය වගේ මළානිකව ඉන්නේ?"

" ඒ මගේ හැටි වෙන්න ඇති.."

" නැහැ.. මට හොදටම විශ්වාසයි, ඔයා මේ වගේ නෙමෙයි.."

ඒ ඇස් වල නිතරම මාව වෙනස් විදිහකට දකින්න උත්සාහයක් තිබුනා කියලා ඒ දිහා බලාගෙන හිටපු හැම වෙලාවකම වගේ හිතුනා.. ඒ ලා දුඹුරු පාටට හිත ඉබේම වගේ ආස කලා.. හුඟක්ම..

" ඇයි ඔයා දැන් ඔය විදිහට මං දිහා බලාගෙන ඉන්නේ?"

" ලස්සන හන්දා.."

හුඟක් ප්‍රශ්ණ වලට ඕනවට එපාවට වගේ උත්තර දුන්නා වුනත් ඒ බැඳිම ඈතට ගෙනි යන්න කිසිම දේකට බැරි වුනා.. ඇත්තටම එහෙම නොවුන එක ගැන එදා මම සතුටු වුනත් අද මට ඕන ඈතට යන්න.. ඒත් ඒක මම කොහොම කියලා තේරුම් කරන්නද? ජීවිතේ ගෙවෙන හැම දවසක් ගානෙම හුඟක් දෙනෙක් මගෙන් ඈත් වෙද්දී ඇයි ඔයා විතරක්?

" අපි කොහේ හරි යමුද? හුඟක් දවසකින් නිදහසේ යන්න බැරි උනා.."

" මට ඕවට වෙලාවක් නෑ.. පස්සේ දවසක යමු.."

" ඒත්, ඔයා අද නිවාඬු දවස නේද?"

" හදිස්සි වැඩක්.."

ඒ කටහඬේ තිබුන මළානික කමට හිත යට පුංචි දුකක් ඇති වුනත් ඊට වඩා වේදනාවක් හිත යටින් මම විදිනවා කියලා මොහොතකටවත් ඔයාට නොදැනුනා දෙන්.. ඔයා හැමදාම හීන මැවුවේ හිනාවෙලා ඉන්න.. ඔයා එක්කම මාත් ඒ හීනේ දැක්කා.. ඒ ජීවිතේ ගෙවුන තේරුමක් නැතුව ගෙවුන හුඟක් කාලෙකට පස්සේ.. ඒත් දවසට දෙකට ජීවිතේ මොන තරම් නම් වෙනස් වුනාද?

බොරු වැඩක් කියලා ඔයාව මඟ ඇරියත් හැමදාම ඈතින් ඉදන් ඔයා දිහා බලාගෙන ඉන්න එක තරම් වේදනාවක් මං හිතන්නේ නෑ මට මීට කලින් දැනිලා තියෙනවා කියලා.. අඩුම තරමේ මේ අසනීපෙන්වත් ඒ තරම් වේදනාවක් මට දැනුනේ නැතුව ඇති.. හිත හුඟක් අමාරුවෙන් තද කරන් ඔයා දිහා බලාගෙන ඉන්නේ ඔයා එක මොහොතකට හරි මම නැතුව හිනා වෙනවද කියලා දැන ගන්න..

" ඔයා දැන් හුඟක්ම වෙනස් වෙලා.. අනේ ඇයි ඒ?"

" ඔයාට එහෙම දැනෙනවනම් මගෙන් ඈත් වෙන්න.. ඔයා මෙහෙම හැසිරෙන එක මට ඇත්තටම දැන් කරදරයක්.."

ඒ වැටුන කඳුළු බිංදු ලග මේ හිත කොච්චර කඩන් වැටුනද කියලා ඔයාට නොතේරෙන්න ඇති.. බොහොම අමාරුවෙන් හිර කරන් හිටිය කඳුළු එකින් එක ඔයා ඈතට නොපෙනිලා යද්දී මේ ඇස් වලින් වැටුනා කියලා දන්නවනම් ඔයා ආයෙම දුවගෙන ඇවිත් මට තුරුළු වෙනවා කියලා මම හොදටම දන්නවා..

එදා ඔයා ඇඬුව තරමටම ඔයාට හොරෙන් මාත් ඇඬුවා.. හුඟක්.. ඔය ලා දුඹුරු පාට ඇස් කඳුළින් වැහෙද්දී ඒ මතකයත් එක්ක මේ ඇසුත් ඉබේම තෙත් වුනේ හැමදාටම ඔයාට පුදුම විදිහට මම ආදරේ කරපු නිසා.. ඒත් ලග හිටියනම් ඔයාට මීට වැඩිය වේදනාව වැඩියි කියලා මම හොදටම දන්නවා.. ඔයාට ඒ වේදනාව හැමදාටම නොදැනෙනවනම් හොදයි කියලා මම හිතපු බව ඔයාට තේරෙද්දී ඔයාට මාව අමතකත් වෙලා තියෙවි..

" මාව අමතක කරන්න.. ඔයාට ඒක පුළුවන් වේවි.."

හැම දෙයක්ම හීනයක් වගේ.. හුඟාක් දිගු නින්දකට පස්සේ ඇහැරුණා වගේ හැම දෙයක්ම හුඟාක්ම වෙනස් වෙලා ගිහින්.. ඔයාව හොයාගෙන එන්න හිත කිවුවේ මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ කියන එක මට හොදටම දැනුන හන්දා.. ගෙවුන කාලයත් එක්ක ඔයා වෙනස් වෙලා ඇති.. ඔයාව හොයන් එද්දි හිතට ආවේ ඒ ගැඟීම.. ඒක එහෙමනම් සතුටින් ආපහු හැරෙන්න පුළුවන් කියලා මම දැනන් හිටියා..

" ස්නේහා.."

අපිට හොදටම පුරුදු වෙලා තිබුන නවාතැනේ ඈත කෙලවරක බංකුවක ඔයා තනිවෙලා හිටියා.. ඒ ලා දුඹුරු පාට ඇස් තාමත් ඉස්සර වගේම ලස්සනයි.. ඒත්, ඒත් ඒ ඇස් වල ලොකූ බරක් හංඟගෙන කියලා තේරුම් ගන්න එච්චරම අමාරුවක් වුනේ නැහැ..

" ඇයි ඔයා තාමත් මේ විදිහට ඉන්නේ?"

" මම කැමතියි මේ විදිහට.."

" දැන් හුඟක් කල් ගෙවිලා ගිහින්.. ජීවිතේ ඉස්සරහට යන්න ස්නේහා.. එකම තැන නැවතිලා ඉන්න එපා.."

බලාපොරොත්තූ වුනාට වැඩිය හුඟක් දේවල් තාමත් එහෙමමයි කියලා දැනෙද්දී හිතට දැනුනේ මහා දුකක්.. මට ඕන වුනේ ඔයා හිනා වෙනවා දකින්න.. ඒත් ගෙවුන කාලයත් එක්ක අපේ මතකයත් එක්ක ඔයා හුදෙකලා වෙලා කියලා දැනෙද්දී ආපස්සට දුවලා ගිහින් ආයෙම හැම දෙයක්ම වෙනස් කරන්න ඇත්නම් කියලා හිතෙනවා..

" ඈතට ඇදිලා ගියේ කාලය විතරයි.. මතකය නෙමෙයි.."

කවදාවත්ම නැති තරම් ඔයාට ජීවිතේ බරක් වෙලා කියලා තේරුම් ගන්න ඒ වචන ටිකම ඇති.. ඒත් ඇයි? ඔයාගේ ඉස්සරහා ජීවිතේ කොච්චරනම් ඉතුරු වෙලා තියෙනවද? මටත් එහෙම වුනානම් අද අපි මේ බංකුව ලගම ගොඩක් ආදරෙන් තුරුළු වෙලා ඉන්නවා නේද කියලා හිතෙත්දී අඬන්න පුළුවන් කමක් නැති වුනත් මේ හිත කොයිතරම් නම් වේදනා දුන්නද කියලා මම ඔයාට කොහොම නම් තේරුම් කරන්නද..

ඈත බංකුව කෙළවර ඉදගෙන ඔයා හුඟක් ඈත දිහා බලාගෙන හිටියා.. ඔයා බලන්නේ කොහෙද කියලා හොයන්න මට ඕන කමක් තිබුනේ නෑ.. මම බලාගෙන හිටියේ ඔයාගේ ඇස් දිහා.. හෙමීට තෙත්වෙන ආයෙම බලන් වගේ හංඟගන්න කඳුළු වලින් ඔය ඇස් පිරිලා.. ඔයා දිහාවට අත දික් කරලා ඒ කඳුළු පිහින්න ඕන වුනත් මට ඒක කරන්න පුළුවන් කමක් නෑ.. අපිට නොදැනෙන ඈතකට අපි අපෙන්ම හුඟක්ම ඈත් වෙලා ගිහින්..

" අපි යමු ස්නේහා, පරක්කු වුනොත් ඒකටත් අම්මගෙන් දොස් අහන්න වෙන්නේ මට.."

අපේ මතකය ලියවුන තැනින් ඈතට යන්න ඔයාට ඕන කමක් නැහැ කියලා ඔයාගේ මුණෙන් හොදටම පේන්න තිබුනා.. ඒත් යාළුවගේ බලකිරිල්ලට ඔයා අකමැත්තෙන් වුනත් එතනින් නැගිට්ටේ මං හිටපු දිහා අහම්බෙන් වගේ බලාගෙන.. ඔයාගේ ඇස් දිහා කාලෙකට පස්සේ කෙලින් බලද්දී මේ හිත මොහොතකට ගැස්සුනා.. ටිකින් ටික ඔයා මං ඉන්න තැනට ලං වෙද්දී ගෙවුන කාලය පුරාවට තිබුන බැදීම එකින් එක මතකය අවදි වුනේ අපි ඈත් වෙලා තාම හුඟක් කල් ගෙවිලා නෑ කියලා කියන ගමන්..

එක වචනයක් කතා කරන්න මගේ හිත ආස කලා.. හෙමින් ඔයා මගේ ලගට එද්දී එක විනාඩියට දෙකට ඔයාට කියලා ඉවර කරන්න ඕන හුඟක් දේවල් මේ හිතට ආවා.. ඒත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා දැනුනේ වළාකුලක් වගේ මගේ අතරින් නොදැනීම ඔයා ඔයා පහු වෙලා යද්දී.. ඒත් ඒ හැඟීම ඔයාට දැනුනා කියලා මම දන්නවා.. එක තත්පරයකට ඔයා නැවතිලා ආයෙම බලද්දී හැමදාම වගේ ලස්සන ලා දුඹුරු පාට ඇස් වල ඒක ලස්සනට ලියවිලා තිබුනා..

ඒත්, ඔයාට පුළුවන් වේවි දවසක මාව අමතක කරලා දාන්න.. මේ හැමදෙයක්ම අතීතයට එකතු කරලා දාන්න.. ඔයාට පුළුවන් වේවි.. එතකන්ම මම ඔයා දිහා ඈත ඉදන් බලන් ඉන්නම්.. ඔයා හිනාවෙන එකම එක දවසක් මට සැනසීම ගේනවා කියලා මම දන්නවා.. එතකන් මම බලාගෙන ඉන්නම්..



Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Safar ye hai tera, ye raastaa teraa

අමතකර දමන්න මා ප්රියේ
මේ ඔබෙන් සමුගැනීමයි මගේ
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව
මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි
ඔබ ජීවත් විය යුතුව තියේ මා නොමැතිව

Hon teri saari shohratein
Hai ye duaa..
Tujh-hi pe saari rehmatein
Hai ye duaa..
Tujhe jeenaa hai mere binaa

මේ ප්‍රශංසාවන් නුඹෙම වේවා
එයයි මාගේ යැදුම
සියළු අනුග්‍රාහයන් නුඹේම වේවා
එයයි මගේ පැතුම
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Tu hi hai kinaara teraa
Tu hi to sahaara teraa
Tu hi hai taraanaa kal kaa
Tu hi to fasaanaa kal kaa
Khud pe yakeen tu karnaa
Ban-na tu apnaa khudaa..

ඔබයි ඔබේම උත්සහය
ඔබයි ඔබේම සහය
හෙට ගයනා ගැයුම ඔබයි
හෙට දවසේ පුවත ඔබයි
විශ්වාස කරන්න ඔබ ගැනම
ඔබ ඔබේම දෙවියන් වන්න

Qhizaan ki shaam hoon main
Tu hai nayee subah
Tujhe jeena hai mere binaa..

ශරත් සෘතුවේ බැස යන්නා වූ සන්ධ්යාව මම යි
උදාවන නැවුම් උදෑසන ඔබයි
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Khilengi jahaan bahaarein sabhi

Mujhey tu wahaan paayega
Rahegi jahaan hamaari vafaa
Mujhey tu wahaan paayega
Milungaa main is tarah vaadaa rahaa
Rahungaa sang main sadaa vaadaa rahaa
Tujhe jeenaa hai mere binaa

වසන්තයේ පිපුණ මල් කොයි බදෝ එහි
ඔබට  හමු වේවී මා
අපේ ආදරය රැඳී ඇත්තා වූ එහි
ඔබට  හමු වේවී මා
මම ඔබව හමුවන්නේමී ඒලෙසින් එය පොරොන්දුවයි මගේ 
මම ඔබ හා සිටින්නෙමී   ලෙසින්  එය පොරොන්දුවයි මගේ
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Bhula dena mujhe

Hai alvida tujhe
Tujhe jeena hai mere bina
Tujhe jeenaa hai, haan meray binaa..




ගීතය : බුලා දෙනා මුජේ
චිත්රපටය : ආශිකී 2 (2013)
පද රචනය: සංජේ මෞසම්
සංගීතය : ජීත් ගන්ගුලි
ගායනය : මුස්තාෆා සාහිඩ්
අධ්යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් භට්
රංගනය : ආදිත් රෝයි කපූර් හා ශ්රද්ධා කපූර්


විශේෂයි - සිංදුවේ සිංහල තේරුම ගත්තේ දුලාන්ගේ හින්දි සිංදු බ්ලොග් එකෙන්..