Wednesday, 30 October 2013

මළවුන්ගේ රාත්‍රිය



රාත්‍රියේ තිබුන නිහැඩියාවට හිත කොහෙත්ම ඇළුම් කරන්නේ නැති තරම්.. නිහැඬියාව රජකලත් අඳුර මකාගෙන යන්න දැල් වුන පහන් එළි අතරේ හිතට කිසිම තනිකමක් කොහෙත්තම දැනුනේ නෑ.. වෙලාව රෑ අටට කිට්ටු ඇති.. රෑ අදුර හොදින්ම හුරු පුරුදු වට පිටාවේ වෙනසක් හිතට නොදැනුනත් අරමුණක් නැතුව ඇවිදන් එක එක එක විදිහක වදයක් වුනා.. ඉදලා හිටලා ඇහෙන බස්සන්ගේ සද්දේ එක්ක අතුරු පාර දිගේ ආව ගමන වෙනදට වැඩිය ටිකක් වෙනස් විදිහට දැනුනේ අද දවසේ තියෙන විශේෂත්වය නිසා වෙන්න ඇති..

ඒත් හුඟක් දේවල් මිනිස්සු හිතින් මවා ගත්ත දේවල් විතරක්මයි කියලා දැනෙනවා.. කාලයත් එක්ක සමහරක් සම්ප්‍රදායන්ට තමන්ගේ ජීවිතෙන් ඈත් වෙලා යන්න දෙන්න සමහරක් තාමත් බයයි.. ඒ අයට අදත් අනිත් විශේෂ දවස් වගේම හුඟක් වැදගත් දවසක්..

" ස්ටුවර්ට්, වැඩිය දවල් වෙන්න කලින් කනත්තට යන්න ලෑස්ති වෙන්න ඕන.."

" ඒ මොකටද?"

" අද මළවුන්ගේ දවස.. හැම අවුරුද්ද්ම වගේ ස්ටුවර්ට්ම තාත්තගේ සොහොනටත් ඉටිපන්දම පත්තු කරන්න.."

හරිහැටි සුද්ද නොකරපු සොහොන් කොත ලග ඉදගෙන ඒ දිහා බලාගෙන ඉද්දී විකාර දේවල් ඔළුවට එන එක නවත්ත ගන්න කොහොමවත්ම බැරි වුනා.. ඇත්තටම එදාට මළවුන් ඒ ලෝකෙන් නැඟිටලා එනවනම් තාත්තා මැරුණ විදිහ ගැන ඇත්ත හැම දෙයක්ම මේ ලොකෙට කියාවි.. ඒ නිසා, ඒ ගැන බයෙන්ද මන්දා අවුරුද්දේ එකම එක දවසකට විතරක් ලොරේනා මේ විදිහට තාත්තගේ සොහොන් කොතට එන්නේ..

දවල් තාත්තගේ සොහොන් කොත ලග ගවුවේ හරිම උදාසීන කාලයක්.. බොරුවට මවාගත්ත දුකක් එක්ක අමාරුවෙන් ඇස් වලින් එලියට දාපු ලොරේනාගේ කඳුළු බ්ංදු දෙක තුන දිහා බලා ඉදලම දවාල ගෙවුනේ කිසිම වැදගැම්මකට නැතුව.. රෑ මෙහෙම හරි යාළුවෝ එක්ක යන්න සෙට් නොවුනනම් හෙට වෙනකම්ම ඒ මුසල කම යන්නේ නැතුව තියෙන්න ඉඩ තිබුනා..

හැම ගෙදරකම මළවුන්ගේ දවස සමරන්න සරසපු සැරසිළි.. එක අතකින් ඒක විකාරයක් වගේ.. මළවුන්ගේ දිනට උත්සවයක්ද?  සමහරක් දේවල් වෙනස්  වෙලා තියෙන හැටි ඈත ඉදන් බලාගෙන ඉද්දී තේරුම් ගන්න හුඟක් අමරු දෙයක්.. ඒ වුනත් මළවුන්ගේ දිනේ දවසේ නගරේ ඉදිවෙන පොළට යන්න මම හුඟක් කැමතියි.. ඒ ඇයි කියන්න දන්නේ නෑ.. ඒත් එතනදි ලැබෙන නිදහස අනික් හැම දේකටම වැඩිය වටිනවා කියලා හිතට දැනෙනවා..

විකාර හිත හිත ඉද්දී වෙලාව නමයට කිට්ටු වෙලා.. දැන් නම් අනිවාර්යෙන්ම යාළුවෝ ටික පොළ ලගට සෙට් වෙලා ඇති.. ටිකක් ඉක්මනින් යන්න හද්දදිම වගේ පිටිපස්සෙන් ඇහුනේ අඩි සද්දයක්.. ටිකක් හැරිලා බලද්දී ලේ තැවරුන සුදු ගවොමක් ඇද ගත්ත ලස්සන කෙල්ලෙක් කළුපාට කරපු ඇස් වලින් මන් දිහාම බලාගෙන හිටියා.. වෙන කෙනෙක්ටනම් ඒක හොදටම බය වෙන්න හේතුවක්.. ඒත් අද මළවුන්ගේ දවස..

" පොළට යන ගමන්ද?"

" ඔවු, හිතුවට වැඩිය ටිකක් රෑ වුනා.. ඈතින් ඔයාව දැක්ක හන්දා ටිකක් ඉක්මන් කරලා ආවා.."

" ඇදුම ලස්සනයි.. අද මළවුන්ගේ දවස නොවුනනම් ඔහොම ඇදන් ඉද්දී ඕනම කෙනෙක් බය වෙනවා.."

" ඇයි ඔයා බය වුනේ නැද්ද?"

" නැහැ.."

" එහෙනම් හොදයි?"

" අපි යමුද?"

" හරි.. මම ජෙනිෆර්.."

" මම ස්ටුවර්ට්.."

කම්මැලි කමේ ඇවිදන් ආව ගමනට අතර මඟින් හරි මේ වගේ ලස්සන කෙල්ලෙක් සෙට් වුන එක ගැන හිතට ආවේ පොඩි සතුටක්.. ඇය හුඟක්ම විනෝදකාමීයි.. කතා බහ අතරේ ඉදලා හිටලා මගේ අතින් අල්ලද්දී දැනුන සීතලට පුදුමත් හිතුනා.. තාම නොවැම්බර් පටන් ගත්තා විතරයි.. ඒ තරම්ම හීතලක් නැති වුනත් ටිකක් විතර ඇග පේන්න ඇදලා හිටපු සුදු ගවොම හන්දා ටිකක් විතර සීතල දැනෙනවා ඇති..

" මගේ ජර්සි එක දෙන්නද? ඔයාට ටිකක් හීතලයි වගේ.."

" අහ්, කමක් නැහැ.. මට ඒක පුරුදුයි.."

ඒ ඇස් වල දිලිසෙන ගතියට මගේ හිත ආස කලා.. බලාගෙන ඉන්න ආස කලත් ඒකට ඒ තරම්ම වෙලාවක් තිබුනේ නෑ..

" ස්ටුවර්ට්, මළවුන් ගැන එච්චරම විශ්වාස කරන්නේ නැහැ නේද?"

" ඔවු, කොහොමද දැන ගත්තේ.."

" නිකන්.. ඔයාගේ හැසිරීමෙන්.."

" මට ඒ ගැන කවදාවත්ම විශ්වාසයක් තිබුනේ නෑ.. ඔය විදිහේ අතරමැදි ලෝකයක් තියෙන්න විදිහක් නැහැ.. ඒ හන්දා මේ හැම දෙයක්ම බොරුවක් විතරයි.."

" හ්ම්ම්.. මම කැමතියි ඔයා හිතන විදිහට.."

කලින් අවුරුදු වල වගේම පොළ හුඟක් ලොකුවට සංවිදානය කරලා.. ගේට්ටුව ගාවටම වෙලා පාර දිහා බල බල හිටපු යාළුවෝ සෙට් එකට මගේ පරක්කුව හොදටම දැනිලා කියන එක උන්ගේ හැසිරීමෙන්ම පේන්න තිබුනා.. ඒත් උන්ට මගේ පරක්කුවට වැඩිය දැන ගන්න ඕන වුනේ මාත් එක්ක ආවේ කවුද කියන එක ගැන.. ජෝර්ජ් හැමදාම වගේ ඉස්සර වෙලා ජෙනිෆර්ව පිළිගත්තත් ඇගෙන් දැනුන සීතලට ජෝර්ජ් කැමති වුනේ නෑ කියන එක උගේ මූණ බැළුවම හොදටම තේරුණා..

ලස්සන විසිතුරු බඩු, ඇදුම් පැළදුම්, ආභරණ පිරුණ කඩවල් වලින් පොල පිරිලා තිබුනා.. සමහරක් දේවල් වලට අපේ හිත එච්චරම ඇදිලා නොගියත් ජෙනිෆර් ඒ හැම තැනකම නතර වෙන්න අමතක කලේ නෑ..

" මෙය පළවෙනි පාරද බං පොළකට ඇවිත් තියෙන්නේ.."

" කටවහන් හිටපං ජෝර්ජ්.."

කොහොම වුනත් ජෝර්ජ් කියපු දේ ඇත්තක්ද කියලත් එක වෙලාවකට මට හිතුනා.. අපි හැමෝගෙම ඕන කම තිබුනේ පුංචි කැසිනෝ එකට යන්න.. හැම අවුරුද්දකම සෙල්ලම් කරලා මොනවම හරි දිනාගෙන යන එක අපේ පුරුද්දක්.. අන්තිමට ලැබෙන්නේ වියදම් කලාට වැඩිය අඩුවෙන් වටින දෙයක් වුනත් කන්න විතරක් සල්ලි ඉතුරු කරන් අපි අනිත් ඔක්කොම සල්ලි වියදම් කලේ සෙල්ලමට.. ඒක එක විදිහක අමුතු අත්දැකීමක්..

" අපි අර ඇදුම් ටිකත් බලලා එමුද?"

බෑ කියන්න බැරි වුන හන්දම යාළුවෝ ටික කැසිනෝ එක තියෙන පැත්තට යවලා මම ටිකකට ජෙනිෆර් එක්ක ආවේ එයාට ඕන කරපු ඒවා බලන්න..

" ඔයාගේ යාළුවෝ නැද්ද?"

" මම හිතන්නේ ඒ ගොල්ල මම එන්න කලින් ගිහිල්ලා.. මමනේ පරක්කු වුනේ.."

" හ්ම්ම්.."

" එක දිගට ගොඩක් වෙලා නිදාගන්න එක මට දැන් පුරුද්දක් වෙලා.. ඒ හන්දා ඇහැරෙද්දී මගේ අනිත් යාළුවෝ ඇවිල්ලත් ඉවරයි.."

ජෙනිෆර්ගේ කතාවට ඉබේට වගේ හිනාවක් ආවත් ඒකට එයාගේ කැමැත්තක් තිබුනේ නෑ කියලා ජෙනිෆර්ගේ මූණේන්ම පේන්න තිබුනා.. වැඩිය මුකුත්ම කියන්න නොගිය මම ඒ දිහා බලාගෙන ඉද්දී ඒ ඇස් වල කවදාවත් මම කලින් නොදැක්ක අමුත්තක් පේන්න ගත්තා.. ඒ ඇස් රතු පාටයි.. මොනාවුනත් ජෙනිෆර් හැලෝවීන් එකට හොදටම ලෑස්ති වෙලා ඇවිත් තියෙන්නේ..

" ඔයාගේ හැලෝවීන් පාර්ටි එක තියෙන තැන ඔයාට වැරදුනාවත්ද?"

ටිකක් වෙලා ජෙනිෆර් දිහා බලාගෙන හිටපු මම ඒ වගේ ප්‍රශ්ණයක් ඒ වෙලාවේ අහාවි කියලා ජෙනිෆර් කොහෙත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.. ඒක ජෙනිෆර්ගේ මුණෙන්ම පේන්න තිබුනා..

" ඇයි ඔයා එහම් ඇහුවේ?"

" නැහැ.. ඔයා වගේ ඇදගෙන කවුරුවත් මෙතනට ඇවිත් නැති නිසා.. මේක පොළක්නේ.. මම හිතන්නේ ඔයාට පාර්ටි එක වැරදිලා.."

" සමහරවිට වෙන්න ඇති.. ඒත්, මට මෙතන හොදයි වගේ.. ඔයාගේ යාළුවොත් ඉන්නවනේ.. අනික කෝමත් තව ටිකකින් මට යන්න වෙනවා.. ඒ හන්දා මෙහෙම ඉමු.."

" හරි, එහෙනම් අපි මොනවා හරි කමුද?"

" හ්ම්ම්, බැහැ.. අපි ටිකක් ඇවිදිමුද?"

වෙනදට හම්බුවෙන කෙල්ලන්ට වඩා ජෙනිෆර්ගේ හැසිරීම හුඟක් වෙනස්.. ඒත් මගේ ඒකට කැමැත්තක් තිබුනා.. ජෙනිෆර් එක්ක යද්දී හැමෝම වගේ බැළුවේ මගේ දිහා.. ඒක එක අතකට දැනුනේ ආඬම්බරයක් විදිහට.. ඇත්ත්ටම ජෙනිෆර් ලස්සනයි.. ඒත් හැමෝම ඒ ලස්සන දිහා බලනවද එහෙමත් නැත්නම් මෙතනට කොහෙත්තම නොගැලපුන ජෙනිෆර්ගේ ඇදුම දිහා බලනවද කියලා මට හිතා ගන්න බැරි වුනා.. ඒත් අපි කතා කර කරම පොළේ හැම තැනකම වගේ ඇවිද්දා..

" මම ඔයාව ගේ ලඟින් ඇරලවන්නද? කොහොමත් අපි යන්නෙ එකම පාරෙනේ.."

" අපේ පාරවල් නම් හුඟක් වෙනස්.. ඒත් කමක් නැහැ.. අපි යමු පුළුවන් තරම් දුරකට.."

යාළුවෝ සෙට් එකෙන් ඉක්මනට ඈත් වෙලා කම්මැලි කමින් ආව පාර දිගේ එද්දි දැනුනට වඩා උද්‍යොගයකින් ආයෙම ආවේ ජෙනිෆර් එක්ක ගෙවුන කාලය ඇත්තටම ලස්සන හන්දා.. ජෙනිෆර්ට තිබුනේ පිස්සු විකාර අදහස්.. මම හිතන දේවල් වලට වැඩිය ජෙනිෆර් හිතන විදිහ සෑහෙන්න වෙනස් වුනත් අපේ කතාබහ නීරස එකක් වුනේ නෑ..

" ස්ටුවර්ට්, හිතන දේවල් එක පාරම වෙනස් වුනොත් ඔයාට කොයි විදිහට ඒක දැනෙයිද?"

එක පාරම ජෙනිෆර් අහපු දේ තේරුම් ගන්න පුළුවන් වුනේ නෑ.. මම එයා දිහා බැළුවා.. මගෙන් උත්තරයක් බලාගෙන මං දිහා බලාගෙන හිටපු ඇස් කලින් වගේම දිළිසුනා..

" හරි අමාරු ප්‍රශ්ණ ඕන නෑ.. මම හිතන්නේ අපි සමුගන්න වෙලාව ඇවිත්.."

" මෙතන?"

අඳුරින් තිබුන තැනක එක පාරම ජෙනිෆර් එහෙම කියද්දී හිතට දැනුනේ කුතුහළයක්..

" හා හා, බය වෙන්න එපා.. අර තියෙන්නේ මගේ ගෙදර.. අද කවුරුවත් නෑ.. ඒකයි ගෙදර කළුවර.. යමු ගේ ලගටම.."

එක මොහොතකට හිතාගෙන හිටපු දේවල් හැම එකක්ම වෙනස් වෙන්න ගත්තත් ජෙනිෆර් හිනා වෙලා කියපු දෙයින් ඒ හැම එකක්ම වෙනස් වෙලා ගියා.. අඳුරින් තිබුන ගෙදර ජෙනිෆර් ඇතුළු වෙලා පහන් දල්වද්දී පාරට කලින්ට වඩා හොදට පේන්න වුනා..

" අපි ආයෙම මුණගැහෙයිද?"

" හ්ම්ම්, සමහර විට.. ඔයාට එන්න පුළුවන්  වුනොත්.."

" මම එන්නම්.."

" එහෙනම් ස්ටුවර්ට්, සුභ රාත්‍රියක්.."

" සුභ රාත්‍රියක් ජෙනිෆර්.."

හැම දෙයක් ගැනම වෙනස් විදිහට හිතපු ජෙනිෆර්ගේ හමුවීමත් හිතා ගන්න බැරි තරම් පුදුමයක් වගේ.. ගෙදරින් පිට වෙලා පාරට එනකම්ම හිතුනේ ජෙනිෆර් කියපු හුඟක් දේවල් ගැන.. අදහස් වෙනස් වුනත් නිතරම මුණගැහිලා කතා කරන්න ඕන කමක් හිතට එක පාරම ආවේ ඇයිද කියන්න තේරුම් ගන්න බැහැ..

" ස්ටුවර්ට්.."

කල්පනාවත් එක්කම ආයෙම හැරිලා බලද්දී හිත පොඩ්ඩක් ගැස්සුනේ බලාපොරොත්තු නොවුන විදිහට ජෙනිෆර් ආයෙම මගේ ලග හිටපු නිසා.. ලයිට් එළි දැල්වුන ගෙදර ආයෙම අඳුරට ගිහින්..

" ඉස්සෙල්ලම දකිද්දී බය නොවුන කෙනා දැන් බය වෙනවා.."

ජෙනිෆර් කිවුවේ හිනා වෙන ගමන්..

" නැහැ, ආයෙම ඔයාව මෙහෙම දකියි කියලා බලාපොරොත්තු වුනේ නැහැ.."

දෑස් වලින් කෙලිනම් මං දිහා බලාගෙන හිටපු ජෙනිෆර් මම තව දෙයක් කියන්න කලින්ම මගේ තොල් සිප ගත්තේ මගේ ආදරවන්තිය වගේ..  බලාපොරොත්තු නොවුන වෙලාවක ලැබුන ජෙනිෆර්ගේ හාදුවට හිත ඇදිලා ගියේ ඉබේම වගේ.. ඒ වින්දනයට දෑස් මොහොතකට පිය වෙන්න ඇති..

විනාඩියක් දෙකක් ඔහේ ගෙවෙන්න ඇති.. ජෙනිෆර්ගෙන් ඈත් වෙන්න හිතක් නොවුනත් ඒ දෑස් තව පාරක් දකින්න ඇස් අරිද්දී හිත ගැස්සිලා ගියේ මම බලාපොරොත්තු නොවුන විදිහට..

" මම?"

ජෙනිෆර්ගේ පිටිපස්සෙන් මම දැක්කේ මාවම.. ඒත්, වැඩි දෙයක් හිතා ගන්න කලින්ම මගේ ඇස් ඉස්සරහා මතු වුනේ ලොකු එළියක්.. කවුද මේ ජෙනිෆර්? ජෙනිෆර්ගේ හාදුවෙන් මිදුන මම ඇයව මගෙන් ඈතට තල්ලු කලේ වෙන කිසිම දෙයක් නොහිතම.. ඒ මොහොතෙම වගේ ඈතින් මතු වුන එළිය මට ලං වෙලා ඉවරයි..

................................

" ස්ටුවර්ට්, ඇයි හැමදාම එකම මතකය ආයෙම අළුත් කර ගන්නේ?"

ඉසබෙල්ගේ කටහඬට මතකයෙන් ඈතට ගිය මම ආයෙම ආවේ අපිට ලැබුන කාලය තව එක පාරකට ඉවර වෙන්න ලඟයි කියලා කියන ගමන්ම.. තාමත් ජෙනිෆර්ගේ ගේ එදා වගේම අඳුරුයි..

" මම කැමතියි එදා ඒ මතකයට.."

"  ඒත් ඇයි ඔයා ඒක ගැන හිතලා ආත්මය වේදනාවක් කර ගන්නේ.. එදා ඔයා නිසා ජෙනිෆර් බේරුණා.. ඒ මදිද?"

" එදා ඒ දේ වෙනස් වුනානම් කියලා හිතුනා.. එහෙනම් අද මට මෙහෙම ඇවිත් බලන්න කවුරුවත් නැහැ.. මට නිදහසේ ඉන්න තිබුනා.."

" යමු.. අපේ වෙලාව හරි.."

" අදත් ගියේ තාත්තව බලන්නද?"

" ඔවු ස්ටුවර්ට්.."

" හ්ම්ම්.. අපි යමු.."





...........................

නිමි..

Monday, 28 October 2013

පිහාටු සිඳ ගත් සුරදුතයා









ජිවිතෙත් හරියට වැස්ස වගේ. වේලාවකට අපි බලන් ඉන්නෙ වහිනකන්. වේලාවකට ඒ වැස්සම මහ කරදරයක් වගේ දැනේනවා.  වැස්සට මම හුඟක්ම ආස දෙයක් වුනත් ගොඩක් හයියෙන් වහින වෙලාවට විදුළි කොටනවට මම කොහෙත්ම ආසා නෑ.. මොහොතකින් දෑස් අතරින් විහිදෙන එළිය ඇත්තටම හුඟක්ම වදයක්..

" ඇයි මේ ඇස් පියාගෙන?"

" මට විදුළි කොටන දිහා බලාගෙන ඉන්න බෑ.. ඒකයි.."

" හ්ම්ම්, ඇයි?"

" දන්නේ නෑ.. පොඩි කාලේ ඉදන්ම විදුළි  කොටනවා දැක්කම මගේ ඔළුවේ කැක්කුම එනවා.."

" මට නම් කවදාවත් එහෙම දැනිලා නැ.. කෝ දැනුත් එහෙමද?"

" හ්ම්ම්.."

" එන්න එහෙනම් මගේ ලඟට.."

හුඟක් තදින් ඇස් දෙක පියාගෙන ඔය පපුවට තුරුළු උනාම හැම දෙයක්ම එක මොහොතකින් අමතක වෙලත් ඉවරයි.. ඒ හිටපු විනාඩි ගානට කොච්චර විදුළි කෙටුවත් ඒක ගැන ගානක්වත් වුනේ නෑ..

" දන්නවද?"

" මොකද්ද?"

" ඔයා ඒන්ජල් කෙනෙක්ම තමයි.."

" හෙහ්, මොකද මේ එක පාරම?"

" නැහැ ඔයා එහෙමයි කියලා හිතන්න තව දෙයක් එකතු වුනා.."

" මොකද්ද?"

" ඇයි ඔයා විදුළි කොටනවා දකින්න ආස නෑ කියන එක.."

" ඒ කොහොමද?"

" ඇයි ඔයාට අමතකද මම ඔයාට කියපු කතාව.. ඔයා ඉපදෙන්න ඇත්තේ ඒන්ජල් කෙනෙක් විදිහට දිව්‍යලෝකේ.. ඒ කාලේ ඔයා හරි හුරතලේට ඉන්න ඇති.. හැබැයි දැන් වගේම දඟත් ඇති.. පොඩි කාලේ මොකක් හරි ලොකු දඟ වැඩක් කරලා සියුස් දෙවියෝ ඔයාට දඬුවම් දීලා ඔයාගේ ඒන්ජල් කම අරන් ඔයාව මනුස්ස ලෝකෙට එවන්න ඇති.."

" හ්ම්ම්, ඉතින් ඒකෙයි මේකෙයි තියෙන සම්බණ්දේ?"

" ඔයාව එහෙම මනුස්ස ලොකේට එවද්දි හයියෙන් අකුණු කොටන්න ඇති. ඇයි ඉතින් දඬුවමක් නේ. ඒ හින්දා තමයි ඔයාට පිහාටුත් නැත්තෙ.. එදා එහෙම එද්දී ඔයත් ඒක දකින්න ඇති.. ඔයා පොඩි හන්දා ඒක ඔයාගේ ඇස් වලට අමාරු වෙන්න ඇති.. ඒකයි දැනුත් ඔයාට ඒවා දකිද්දී අමාරු වෙන්නේ.."

" ඔයා හොදයි සුරංඟනා කතා ලියන්න.."

" අනේ යන්න.. ඔයා හරි නරකයි.."

ඇත්ත බොරු කොහොම වුනත් අකුණු දිහා බලාගෙන ඉන්නවට වැඩිය පපුවට තුරුළු වෙලා ඉන්න එක හොදයි කියලා හිතුන හන්දම මම ඒ කතාවත් අහගෙන හොදට පපුවට තුරුළු වෙලා හිටියා..

" බබා.."

" ඇයි පණ?"

" ඔයා කිවුවා නේද මේක තව හේතුවක් කියලා.. එතකොට අනිත් හේතු මොනවද?"

" ඔයාගේ ඉවසීම, සමානේ කෙනෙක්ට නම් ඔහොම ඉවසන්න බෑ. මම දැකලාත් නෑ. අනික ඔයාගේ ආදරේ, ඔයා ඒන්ජල් නිසයි ඔයාට මේ තරම්ම ආදරේ කරන්න පුළුවන්.. අනික ඔයාගේ අමුතු ලස්සන ඇස් දෙක, අනික ඔයාට කළු පාට ගැලපෙන්නෙත් නෑ.."

" කළු?"

" ඔවු, හුගක් කොල්ලන්ට කළු ලස්සනට ගැලපෙනවා.. කළු ඇන්දම අමුතු ගතියක් තියෙනවා. ඒත් ඔයට කළු ගැලපෙන්නෙ නෑ.. ඔයා සුදු ඇන්දාම තමා මාරම ගති, ඔයාට සුදු තරම් ගැලපෙන වෙන පාටක් නෑ.. අනික ඔයා ආසත් සුදු පාටටනේ.. ඒන්ජල්ලා සංකේතවත් කරන්නෙත් සුදු පාට වලින්.. දැකලා තියෙනවනේ.."

" හා.. ඒත් ඔයා දන්නවද දෙයක්?"

" මොකද්ද?"

" ඇත්තටම මම ඒන්ජල් කෙනෙක් තමයි.. ඒත් ඔයා හිතනවට වැඩිය කතාව හුඟාක් වෙනස්.."

" ඒ කොහොමද?"

" ඕනම කෙනෙක් ඉපදුනාම ඒ කෙනා වෙනුවෙන් ඒන්ජල් කෙනෙකුත් උපදිනවා.. ඔයා ඉපදෙනකොට මාත් ඉපදුනා.. ඒත් ඔයා පොඩි කාලේ ඉදන්ම හුඟක් නපුරුයි.. ගොඬක් දඟ වැඩ කලා.. ඒ හින්දා දවසක් සියුස් දෙවියෝ මාව ඔයා ලගට එවුවා.. ඔයාට පේන්නම.. ඔයා එක්ක කතා කරන්න පුළුවන් වෙන්නම.. මම ඔයාත් එක්ක ඉද්දි ඔයාව හෙමින් වෙනස් කරද්දී ටිකින් ටික දන්නෙම නැතුව මම ඔයාට ආදරේ කලා.. ඒකට සියුස් දෙවියන්ට හුඟක් කේන්ති ගියා.. එයා මට තෝරගන්න අවස්ථාවක් දුන්නා.. මම ඔයාව තෝර ගත්තා.. ඔයාට නොපෙනුන මගේ හැංඟිලා තිබුන පිහාටු දෙක මම කපා ගත්තා.. ඒකට සියුස් දෙවියන්ට හුඟක් තරහා ගියා.. එයා එයාගේ අකුණු පහරකින් මට ගහලා මාව ඔයා වගේම මනුස්සයෙක් කලා.. එදා ඉදන් අද වෙනකන් අකුණු කොටද්දී මට මතක් වෙන්නේ ඒක.. ඒකයි මට ඒක බලන් ඉන්න අමාරු.."

" මට කිවුවට ඔයත් හොද සුරංගනා කතා කාරයෙක්නේ.."

ඔයා නොහිතපු වෙලාවක ඔයාට මුණගැහිලා කවුරුවත් නොදුන්න තරම් ආදරයක් දීලා ඔයාව ඉස්සරට වඩා වෙනස් කරපු මගේ කතාව ඔයා දවසක ඇත්තක් කියලා හිතාවි රත්තරන්..


I search for wings everywhere
I found you
And i'm fall in love with an angel
Finally you gave me wings
Now i'm free like a wind
I feel something new
Sometimes it's maybe Life
After all I'm flying
Not alone
with you my angel .
one thing you have to know
i'm scared.
scared to lose you



අති විශේෂයි : කඩ්ඩෙන් කොටපු පොයම් එක අරයගේ Angel බ්ලොග් එකෙන්.. හෙළුවෙන් වනපු කතාව මගෙන්.. ;)





Friday, 25 October 2013

එයාගේ දිළිසෙන එක




දිළිසුනා නෙත ලග හෙම්හිට
හිරු එළියක්ද හිතුනා මොහොතකට
කල්පනාව අරගෙන මගෙන් දුර ඈතකට
ඈ ගෙන ගියා මාව වෙන ලෝකෙකට..

කලබලය අතරේ ඉදහිට
නෙතු දිව ගියා ඈ ලගට
අතරින් පතර දිළිසුන දෙයට
නෙත ඇළුම් කලා හෙමිහිට..

හිතුනා ලංව දොඬමළු වන්නට
දිළිසෙන එක තව ලඟින් දකින්නට
ඒත් හිත නැවතුනා මොහොතකට දෙකට
හැමෝම නුඹ ලග නුඹේ ආකර්ශනයට..

දුරින් ගෙවුනා නොසන්සුන් මොහොත
දෑස නුඹ ලග ඉදහිට දිළිසෙද්දි වත
කෙටි ගවුම දිගු දෙපා අතර හිත
ඉවත ගනු බැරිව ලත වෙන්නේ මා නෙත..

ඈ කවුද කොහිසිටන් මෙහි ආවද
හිතුවේ නෑ මම ගෙවුන මොහොතට දෙකට
දුරින් හිද රැදෙනු බැරුව හිත
ඕන කලේ දකින්න ඇගේ දිළිසෙන එක..

විදුළි එලි අතර දිළිසෙද්දී තව තව
නුඹ හිනැහුනේ වගක් නැතුව ඒ ගැන
වටපිට බලද්දී නෙතු අරන් නුබෙන් ඈතට
මම විතරක්ම නෙමෙයි බලා හිටියේ නුඹ දෙස..

හඳුනගන්න ලං වෙද්දී නුඹ ලග
හිත රැදුනේ නැහැ කම්මුලට ලද හාදුවට
කතාබහ අතරේ හිත නැවතුනේ හෙමිහිට
ඇගේ දතේ දිළිසුන පියර්සිං එකට..




අති විශේෂයි : මේ ඉන්නේ අපිට අළූතින් ආව දොත්තෝරෙස්සානේ.. මෙයාගේ ඔය දතේ කරාඹුවක් තියෙනවා පේනවා ඇතිනේ ඉතින්... හෙහ්.. උඩම.... උඩ ඉන්නෙ එයා නෙමෙයි හරි.