Wednesday, 29 May 2013

වාදකයා ( කෙටි කතාව )





නගරේ කලබලකාරි බව අතරේ උනත් උදේට ඇහෙන වයලීන හඬ හොදින් අහගෙන ඉද්දි හිතට දැනෙන්නේ අමුතුම සැහැල්ලුවක්.. නිදහසේ සිතුවිල්ලක හිත ඔහේ පාවෙලා යනවා වගේ දැනෙන තරමටම හඬ සංවේදියි.. බොහොම ලග පාත මාවතක ඇහෙන හඬ මේ තට්ටු නිවාස සංකීර්ණය අසලම වගේ උනත් කවදාවත්ම මම වාදකයාව දැක්කේ නෑ.. හැමදාම උදේට ඇහැරුන ගමන් ඇද උඩට වෙලා සංගීතයට ඇහුම් කන් දුන්නට සංගීතය පස්සේ හොයාගෙන ගිහින් වාදකයා දකින්න වුවමනා නොවුනේ ඇයි කියන්න තේරුම් ගන්න බෑ.. සංගීතය ඇහුන මුල්ම දවස් ටිකේ ජනේලේ  ලගට ගිහින් පාර සෝදිසි කරන්න විතරක් මගේ උනන්දුව සීමා උන එක ගැන මම පුදුම නොවෙන්නේ මෙච්චර දවසකට දෙයක් පස්සේ ගිහින් හොයන්න තරම් වුවමනාවක්  නොතිබුන නිසා වෙන්න ඇති..

ලගින් දැකලා අහලා රසවිදින්න වුවමනාවක් නොවුනත් උදේම ඇහෙන සංගීතය ඇද උඩ ඉදන්ම අහන්න පුරුදු වුනා.. නිතරම වැයුනේ එකම සංගීතය උනත් ඒක අහන් ඉන්න එපා උනේ නෑ.. ඒක ඔහුගේම නිර්මාණයක් වෙන්න ඇති.. මම එහෙම හිතුවා.. ඉද හිට වැයෙන ජනප්‍රිය ගීත වලට වැඩිය හිත ගිහින් නතර වෙන්නේ ඔහුගෙන්ම විතරක් ඇහෙන සංගීතයට.. හිත ඇතුලටම කා වදින්න මොකද්දෝ වේදනාවක් සංගීතය දිගේ නිතරම මුහු වෙලා ආවා.. තේරුම් ගන්න බැරි උනත් හැගීම මොකද්ද කියලා හැමදාම උදේම මම සංගීතය ආසාවෙන් අහන්න පුරුදු උනා..

උදේ අට, අටහාමාර වෙද්දී වැඩට යන්න ලෑස්ති වෙලා කලබලෙන් එලියට එද්දි සංගීතය යන්තමින් ඇහුනත් පස්සේ යන්න වෙලාවෙනම් හිත කොහොමත්ම උනන්දු නෑ.. කලබලකාරි නගරයේ කලබලකාරී රැකියාවක ජීවිතේ හිර වෙලා වගේ කියලා දැනුනත් ගැලවෙන්න බැරි තරම්ම මේ ජීවිතේට හිර වෙලා.. හැමවෙලේම හොයන් යන්න ආස කරපු විවිධත්වය ජීවිතේට හුඟාක් ලං වෙලා උනත් තේරුම් ගන්න බැරි තරම් තනිකම නිතරම හිතට දැනෙන්නේ ඇයි කියන්න වෙලාවකට තේරෙන්නේ නෑ.. කුරියර් සර්විස් එකේ බෑග් එකත් එල්ලගෙන පොඩි බයිසිකලේ නැගලා යන ජීවිතේ අපූර්වත්වයක් නෑ කියලා කියන්නමත් බෑ.. මම හැමදාම ආසකලේ එක තැනක ඉදන් නොකරන රස්සාවකට.. තත්වක කොහොම වුනත් අන්තිමේ මම ආස කරපුම රස්සාව ලැබුනත් හැම තැනම දුවන හිතට තවමත් දැනෙන මදිකම හරියටම තේරුම් ගන්න අමාරුයි..

වෙනදා වගේම දවල් වෙනකන් බයිසිකලේ නැගලා ගිය ගමන විවිධාකාරයි.. වෙනස් මුහුණු වෙනස් තැන් වල නතර වෙන හැම මොහොතක්ම ජීවිතේට අළුත් අත්දැකිමක් අළුත් හමුවීමක් එක් කරද්දි හිත සතුටින් බව දැනෙනවා.. දහවලත් ගෙවිලා ඉවර වෙන්න ලං වෙද්දී ඉතුරු උන අන්තිම පාර්සලයත් අරගෙන නගරාසන්නයේම තිබුන ලිපිනයකට ආවේ හවස් වරුවේ මොනවද කරන්නේ කියන එක ගැන හිතන ගමන්ම.. ලගින්ම හිතවත් වුන යාළුවෙක්වත් නැති ජීවිතේට තනිකමක් ඉදලා හිටලා දැනුනත් හැම වෙලේම මම ඒ තනිකමට පුරුදු වුනා..

අන්තිම පාර්සලෙත් අතට අරගෙන නිවාස සංකීර්ණයට ඇතුළු වෙද්දී බලාපොරොත්තු නැති හැඟිමක හිත එක පාරම නතරවෙලා ගියේ බලාපොරොත්තු නැති විදිහට.. ඔවු.. ඒ, ඒ සංගීතයමයි.. හිතට හුඟක් තදින් ලං වුන ඒ සංගීතය ඇහෙන ඕනම තැනකදි අදුරගන්න පුළුවන් වෙන තරමට හිතට ඒ සංගීතයේ සොදුරු බව මුහු වෙලා ඉවර බව මේ දැනුනේ පළවෙනි වතාවට.. නිවාස සංකීර්ණේ මට වුවමනා කරන අංකය හොයන් පඩිපෙල නඟින අතර වාරයේ හිත ඇදිලා ගියේ ඒ සංගීතයට.. ටිකින් ටික ලඟින්ම ඇහෙන සංගීතය මග ඇරලා යන්න හිත ඉඩ නොදුන්නත් පුදුමයකට වගේ මම හොයන් ආව නිවසින්ම ඒ සංගීතය ඇහෙද්දී හිත කවදාවත් නැතුව වේගයෙන් ගැහෙන්න අර ගත්තා..

හැමදාම උදේට අහම්බෙන් ඇහෙන සංගීතය හුඟාක් ලගින් ඇහෙද්දී මම ඊළගට මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව වගේ ගල් ගැහිලා දොර ලගට වෙලා කොච්චර වෙලා හිටියද කියලා මමවත් දන්නේ නෑ.. අන්තිමේ අකමැත්තෙන් වුනත් ගෙදර සීනුව නාද කලේ ඒ සංගීතය නවතින බව දැන දැනම.. අද මම අවසානයේ ඔහුව දකීවි.. හිතට ආවේ ඒ සිතුවිල්ල විතරක්මයි..

.......................................

අපි මුලින්ම එකින් එක්කෙනා අදුන ගත්තෙ කැම්පස් එකේදි. මට මතකයි එයාව දැකපු මුල්ම දවස. එදා එයාගේ ඇස් නිල් පාටින් තිබුනා කවදටත් වැඩිය. කැරලි ගැහිච්ච දුඹුරු කොණ්ඩේයි වෙල්වට් වගේ දිලිසුණ හාමේ පාටයි නිසා අනික් ළමයි අතරින් එයා කැපිලා පෙනුනා. මට දැනුනා ඒ ඇස් වලින් කියන්න හදපු කතාව. හරි අපුරුවට මාර්කෝ ඇස් වලින් මගේ හදවත එකපාරින්ම පුච්චලා අළු කරලා දැම්මා. වචන වලින් කියන්න බැරි ගොඩක් දෙවල් කතා කරන ඒ ඇස් දෙකෙන් මට දැනුනා. මාර්කෝගේ හීනාව ඇත්තටම සිත් ඇදගන්න සුළුයි. හරියට වහා ගිණි ඇවිලෙන සුළුයි වගේ. එයා හරියට හිත ඇදලා ගන්න කාන්දමක් වගේ කියලයි මට හිතුනේ. මම පුළුවන් තරම් ඒ ඇස් වලට වහාන් වෙලා ඉන්න උත්සහා කලා. මට බය හිතුනා මට ආදරයක් ඇති වෙයි කියලා.

එයාට ඔනේ උනේ පියානෝ වාදකයෙක් වෙන්න. හරිම පුදුම හැකියාවක් එයාට තිබුනේ. ඉගනගන්න වගේම උයන්නත් පුදුම දක්ෂයෙක්. එයා වැඩියෙන්ම හදන්න දැනන් හිටියේ එයා කන්න ආසම පීත්සා. ගොල්ෆ්, බේස් බොල් වගේම පියානෝ, වයලීන් වලටත් තිබුන හැකියාව ඇත්තටම පුදුමසහාගතයි. සමහරදාට එයා මැදියම් රෑ පහුවෙනකනුත් පියානෝ ප්ලේ කලා. එයා එකෙන් ගොඩක් විනෝද උනා. එයා වැඩියෙන්ම කැමති උනේ මගේ තනිකම තනුවටයි. හේතුවක් නැතුව එයා ඒ සංගිත කණ්ඩයට පුදුම ඇල්මක් පෙන්නුවා.

එයා කොයිම වේලාවකවත් තනියම හිටියේ නැ. හැම වේලේම එයාගේ වටේ කැරකෙන ගැනු ළමයිගෙන් නම් මර්කෝට අඩුවක් තිබුනේ නැ. සමහර විට ඒ නිසා එයාට තිබුන අඩුව අමතක වෙන්න ලේසි වෙන්න ඇති. එත් සමහර වේලාවට මට ඊරිසියා හිතුනා. ඒ වේලාවට මම එයාත් එක්ක රණ්ඩු කලා හරියට අවුරුදු දහසයේ පුංචි කෙල්ලක් වගේ. එතකොට එයා කලේ එයාගේ හරි සිනිදු අත්වලින් මාව ආදරේන් ස්පර්ශ කලා. එතකොට මගේ බොරු කෙන්තිය නිවිලා ගියා. එයාට ලැජ්ජාවයි බයයි තිබුනෙම නෑ. ළමයි පිරුණ කොරිඩෝවක උනත් එයා මාව ස්පර්ශ කරන්න පසුබට උනේ නෑ. ඒ නිසා මම කොයිම වේලාවකවත් මාර්කෝ පෙන්න ඉද්දි පංතියෙන් එළියට යන්න උත්සුක වුනේ නෑ. එයාගේ මේ වගේ කමකට නැති හැසිරිම් මාව කම්පාවට පත් කලා. එත් මම තෙරුම් ගන්න උත්සා කලා එයාව.

...................................

කවදාවත්ම නැතුව හිත හුඟාක් ගැහෙන බව දැනුනා.. ඒක අමුතුම හැඟීමක්.. බලාපොරොත්තු උනා වගේම නතර වුන සංගීතය ගැන හිතේ ඇති වුනේ දුකක් උනත් ඔහුව දකින්න ලැබෙන එක ගැන හිත ඇත්තටම හුඟාක් සතුටු උනා.. ඒ නිසාම වෙන්න ඇති හිත වෙනදටත් වැඩිය ගැහෙන බව දැනුනේ..

" කවුද?"

ඇහුනේ සංගීතය තරම්ම මිහිරි කටහඬක්.. ටික වෙලාවකට මාව ගොළුවෙලා ගියා බව දැනුනේ ආයෙම වතාවක් ඒ කටහඬ මට ඇහෙද්දී..

" සිංඤ්ඤෝරා ග්‍රාස්සියා.. ඔබට පාර්සලයක් තියෙනවා.."

මොහොතින් අඟුළු විවර වුන දොර ලග ඉදන් මං දිහා බලාගෙන හිටියේ මැදිවියේ කන්තාවක්.. වචනයට පෙරලන්න බැරි අමුතුම ලස්සනක් තවමත් ඇය ලග ඉතිරි වෙලා තිබුනා.. ඇගේ නමට තිබුන පාර්සලය මම ඇයට දෙද්දී තවමත් ඇය අතේ තියාගෙන හිටිය වයලීනය පැත්තකින් තියද්දී මගේ හිතට ලං වුන ඒ සංගීතය මැවුනේ ඇගේ අතින් කියලා තේරෙද්දී මම එක මොහොතකට පුදුම වුනා.. ඒ මම බලාපොරොත්තු උනේ වාදකයෙක් නිසා වෙන්න ඇති..

" සිංඤ්ඤෝරාද වයිලීනය වාදනය කලේ?"

" ඔවු.. ඇයි?"

" නැහැ මම ටික වෙලාවක් එලියේ ඉදන් අහගෙන හිටියා.. ඇත්තටම ඒ සංගීතය ලස්සනයි.."

" අහ්.. බොහොම ස්තූතියි.."

අත්සන් කරලා ඉවර වුන රිසිට් එක ඇය මට ආයෙම බාර දෙද්දී ආපහු හැරිලා යන්න බැරි තරම් හැඟීමක් හිතට ආවේ ඇයි කියන්න මට තේරෙන්නේ නෑ.. හිතට එක දෙයක් විතරක් වුවමනා බව තේරුණා.. ඒ ඇගේ සංගීතය අහන්න.. ඒත් අකමැත්තෙන් වුනත් ඇයට සමුදුන්නේ ආයෙම හෙට උදේම ඒ සංගීතය අහන්න ලැබෙන බව හොදින්ම දන්න නිසා..

රෑ නින්ද පුරාවටම තිබුනේ බලාපොරොත්තුවක අමුතුම හැඟීමක්.. වෙනදා අහම්බෙන් අහපු සංගීතය අහන්න හිත ඇතුලේ තැනක තිබුනේ කලින් කවදාවත් නොතිබුන තරමේ ආශාවක්.. ඒ ආශාව බලාපොරොත්තුව නිසාමද කොහෙද වෙනදටත් කලින් මගේ ලගට ආව නින්ද උදේ බලාපොරොත්තු වුන සංගීතය ඇහෙනකම්ම කාලය මගෙන් හොරාගෙන තිබුනේ වෙනදට දැනෙන නොසංසුන් කම මගෙන් හුඟක් ඈතට අරන් යන ගමන්ම.. වෙනදට වඩා ඉක්මනය ලෑස්තිවෙලා ඇහෙන සංගීතය දිගේ ඇයව හොයාගෙන ආවේ වෙනද වගේ ඇද උඩට වෙලා ඉන්න හිත කොහොමවත්ම ඉඩ නොදුන්න නිසා.. නිවාස සංකීර්ණයෙන් පිටත කලබලකාරීබව අතරේ ඇයව හොයාගන්න එක පහසු දෙයක් නොවුනත් හිතේ අරමුණ ඊට හරි ඉක්මනට මග කියලා දුන්නා.. රෝම කොලොසියම් එක කිට්ටුවම තිබුන තණ පිට්ටනියේ තැනක වාඩි වෙලා හිටපු ඇය දිහා පාරෙන් එහා පැත්තේ මෙට්‍රෝ එක ලගට වෙලා හුඟාක් වෙලා බලාගෙන ඉන්න ඇති.. කාලය යනව දැනුනෙවත් නෑ.. ඒගැන දැන ගන්න මට උනන්දුවක් තිබුනෙත් නෑ..

මැදිවියත් නික්මෙන්න ලං වෙලා තිබුනා උනත් ඇගේ තිබුන අමුතුම ලස්සනක්.. බලාගෙන ඉන්න ආස හිතෙන පෙනුමක්.. සංගීතයට වගේම ඒ පෙනුමටත් හිත ඇදිලා යන්නේ නෑ කියනවනම් ඒක ඇත්තටම බොරුවක්.. නොදැක අහන් හිටපු සංගීතයට වගේම මම දැන් ඇගේ පෙනුමටත් හිතින් ලං වෙන්න පටන් අරන්.. ඇගේ වාදනයට හිත ගිය එකම කෙනා මම විතරක්ම නෙමෙයි කියලා දැනෙද්දී හිතට යම් තරමක ඉරිසියාවක් ආවේ ඇය වාදනය නතරකරායින් පස්සේ ඇය ලගට කතාකරන්න ආව අය දැක්කම.. දුවලා ගිහින් ඈට ලං වෙල කතා කරන්න මගේ හිතත් ආස වුනත් මොකද්දෝ ආඬම්බර කමක් හිත ඇදලා අරන් නවත්තන් ඉන්නවා වගේ මට දැනුනා..

වෙනදට ඇගේ සංගීතය අහලා ඉවර වෙද්දී කලබලෙන් ලෑස්තිවෙන මම අද තවමත් මෙතන හිටගෙන.. අද මම යන්නේ නෑ.. හිතට කොහෙන්දෝ ආව දඬබ්බර හැගීමක් මාව එතනම නතර කර ගනිද්දී ඇය ආයෙමත් ඇගේ වාදනය පටන් අරගෙනත් ඉවරයි.. ඇයට වශී වුන අය ඇයට වට කර ගනිද්දි ඈත ඉදන් ඇගේ සුන්දරත්වය වින්ද මට මං ඇහිරෙද්දී හිත යටට ආවේ පුදුමාකාර කේන්තියක්.. මම ටිකක් ඈට ලං වුනා.. ඒ සංගීතයට වඩා මම ඇගේ සුන්දරත්වයට කලින්ට වඩා ආදරේ කරන්න පටන් අරන් තිබුන නිසා.. ඈට පෙනෙන මානයක ඉදන් ඈ දිහා බලාගෙන ඉද්දි ඒ ඇස් වල ලස්සනත් හොදින් දකින්න පුළුවන් වුනා.. ඒ ඇස් දිහා කොච්චර වෙලා බලාගෙන හිටියද කියන්න මමවත් හරියට දන්නේ නෑ.. ඒත් එක පාරම ඒ ඇස් මං දිහාවට යොමුවෙද්දි හිතට ගල් ගැහුනා වගේ හැගීමක් ඇවිත් ලැජ්ජාවෙන් වගේ එතනින් නික්මිලා යන්න හිතුනත් ඒ කතා කරන ඇස් මාව තදින්ම අල්ලලා නතර කර ගත්තා..

ඊට පස්සේ කොච්චර වෙලා ගෙවුනද කියලා මට කිසිම මතකයක් නෑ.. ඒ වාදනය ඉවර වෙනකම්ම හුඟක් වෙලා බලන් හිටපු කාලය ඇත්තටම හුඟක් සුන්දරයි කියලා හිතට හැම මොහොතකම දැනුනේ ඉබේටම වගේ.. වාදනය නතර කරපු ඇය ආවේ මගේ ලගට.. ඇය මගේ ඉස්සරහට එද්දී දැනුනේ කියාගන්න බැරි අමුතුම හැඟීමක්.. දුවලා ගිහින්  හැංගෙන්න තරම් හිත කියන අමුතුම හැඟීමක් ඒක..

" ඔබ නේද ඊයේ කුරියර් එක අරං ආවේ?"

" ඔවු සිංඤ්ඤෝරා.."

" මට නම කියලා කතා කරන්න.. මගේ නම දන්නවනේ?"

" ඔවු.."

ඇය මං දිහා බලාගෙන හිටියේ ඇයට මාව අදුන්වලා දෙනතුරු කියන එකවත් නොදැනිම මම බලාගෙන හිටියේ ඇගේ ඇස් දෙක දිහා.. ඇත්තටම ඒක හුඟක් වෙලා බලාගෙන ඉන්න ආස හිතෙන විදිහේ ඇස් දෙකක්..

" මම ලියෙන්.."

කල්පනාවෙන් මිදිලා මම කලබලෙන් වගේ ඇයට මාව අදුන්නලා දුන්නා.. හුඟක් දවස් ඉදන් ඇගේ සංගීතය මිහිර විදපු හැටි ගැන එක දිගට කියන් යද්දී ඇය සිනහමුසු මුහුණින් මගේ හැම කතාවක්ම අහගෙන හිටියා..

" එහෙනම් ලියෙන් මගේ හොද රසිකාවියක්.."

" ඔවු.. ඒ වගේම මම කැමති ඔබෙන් සංගීතය ඉගෙන ගන්න.."

..................................


            මාර්කෝ දවසක් හදිසියෙම මගේ ලගට ආවා. එයාට ඔනේ වෙලා තිබුනේ මගේන් පෞද්ගලිකව වයලින් වයන්න ඉගන ගන්න. එයා එයාටම ආවේනික වෙච්චි ගීතමය හඬකින් මාව වශි කලා. ටිකෙන් ටික දවසින් දවස මාර්කෝ මාව එයාගේ ග්‍රහණයට නතු කරගත්තා. හරියට මාංශභක්ෂක මලකට දැන දැනම ඇදිලා යන කෘමියෙක් වගේ. අපේ කතාව අරම්භ වෙන්නෙ එතනින්.

මුලදි එයාට වයලීන් ගැන කියලා දෙද්දි එයා උනන්දුවෙන් අහන් හිටියත් පස්සෙ එයාට ඔනේ උනේ ඉක්මනින් වයන්න ඉගන ගන්නයි. ඉගැන්විම් වලින් හෙම්බත් වුනාම අපි සිංදු කිවුවා. ඇත්තටම එයා පියානෝ ප්ලේ කලා මම සිංදු කිවුවා. බඩගිනි උනාම අපි අලුත් අලුත් කැම අත්හදා බැලුවා, හරියට කඩල බැදුමක් අල කරියකට මිශ්‍ර කරන්න පුළුවන්ද වගේ.

කාලයත් එක්ක අපේ ජිවිත වෙනස් උනා. මාර්කෝට මාවත්, මට මාර්කෝවත් නැතිව බැරි වුනා. අපිට නිතරම එකට ඉන්න ඔනේ වුනා. ඉඩ ලැබෙන හැම වෙලාවකම අපි එකට හිටියා හරියට අලුත බැඳපු ජොඩුවක් වගේ. මාර්කෝ දවසක් එයාගේ පොත්, ඇඳුම්, බඩු අරගෙන මගේ ගෙදර නවතින්නම ආවා. එත් මගේ ඉල්ලිම නිසා මාර්තෝ ඒ අදහස අත්ඇරියා. දැනටමත් මුළු විඳ්‍යාලය පුරාම අපි ගැන කටකතා හැදිලා තිබුනා. එහෙම වේලාවක් නොවන්න මාර්කෝගේ අදහසට මම පැනපු ගමන් කැමති වෙන්න ඉඩ තිබුනා.

දන්නෙ නෑ මාර්කෝ ගැන මේ තරම් ආදරයක් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. එත් මම මාර්කෝට ආදරේ කලා. රොමියෝ ජුලියට්ට ආදරේ කලා වගේ, රොස් ජැක්ට ආදරේ කලා වගේ මම මාර්කෝට ආදරේ කලා. එත් මම නිතරම හිතුවා දවසක මගේ පපුව ඩක් ගලා නවති කියලා හරි ඉක්මනට. මට මාර්කෝ ගැන බයක් දැනුනා, මට මම ගැනම දුක හිතුනා..

.........................................

ඇගේ වාදනය දිහා බලාගෙන හිටපු උදෑසනන් කීයක් නම් ගෙවිලා ගියාද.. ඒත් ඇය මගේ ඉල්ලීම හැමදාම මඟහරින්නේ ඇයි කියන එක මට හරියටම තේරුම් ගන්න බැරි වුනා.. හරි උත්තරයක් හැමදාම ඈ ලග තිබුනෙත් නෑ.. ඒ හන්දම මමත් මගේ උත්සාහ එක දවසක්වත් අත ඇරියේ නෑ..

" ඇයි ග්‍රාස්සියා මම එනවට අකමැති?"

" මම කැමතී තනියම ඉන්න.. මේ ආශ්‍රයට එහා යන්න මම කැමති නැහැ.."

ඒක මගේ හිත පිළිගන්න අකමැතිම හේතුවක්.. මට වුවමනා උනේ ඇයට ලං වෙන්න.. ඒක ඇයට දැනුන නිසා ඇය මාව මඟ අරිනවද කියලා මට හිතුනත් මේ පුංචි කතාබහට ඒ තරම් දෙයක් දැනෙන්න විදිහක් නෑ කියලා මම හොදටම දන්නවා.. මමත් මගේ උත්සාහය අත අරින්න කොහෙත්ම කැමති වුනේ නෑ.. තවත් දවස් ගෙවිලා ගියා.. ඒත් ඒ ගෙවෙන හැම දවසක්ම අපේ කතාබහ හුඟාක් දුර අරන් ගියා ඇරෙන්න කවදාකවත් ඇයට මාව මගහැරලා ගන්න වුවමනා උනේ නැහැ.. ඇය මට ටිකින් ටික ලං වෙනවා.. මං හිතින් ඒ ගැන හුඟාක් සතුටු උනා..

දවසක් ඇය මගේ ගෙදර එන්න කැමති වුනා.. එදා මට දැනුනේ මම බලාපොරොත්තු වුන හැම දේම මට ලැබුනා වගේ.. ගෙදර අපිළිවෙලවත් හිතන්නේ නැතුව මම ඇයව ගෙදර එක්කන් ගියේ ඇයට ලං වෙන්න තිබුන ආසාව නිසා.. ඒ බව දැනුනම ඇයට ටිකක් හිනා ගියත් ඇය ඒක එතරම්ම ගානකට ගත්තේ නෑ.. තැන තැන තිබුන ඇදුම් දිහා ඇය ඇය බැලුවේ කාලයක් තිස්සේ ඒ හැම දෙයක්ම පුරුදු කෙනෙක් වගේ හරියට.. මටත් ඒ දේවල් වෙනස් කරන්න වුවමනා උනේ නැහැ..

කාමරේ තනිවුන අපි හුඟක් වෙලා කතා කරන්න ඇති.. එයාගේ ජීවිතේ, එයා ගුරුවරියක් කියන එක වගේ හුඟක් දේවල් මාත් එක්ක කිවුවත් ගොඩක් දේවල් මගේ මතකයේ රැදුනේ නැති තරම්.. ඒ මම නිතර හිටියේ හිත යටින් ඇගේ සුන්දරත්වය විදිමින් නිසා.. කාලය ගෙවුන බවක්වත් දෙන්නටම නොතේරුන තරම්.. ඒත් හදිස්සියෙන්ම වගේ ඇය යන්න හදද්දී හිත කිවුවෙම තව හුඟාක් වෙලා නතර කර ගන්න කියලා..

" ලියෙන් කැමති වෙලාවක එන්න.. මම සංගීතය උගන්නන්නම්.."

ඒ වචන ඇහෙද්දී දැනුනේ හිතේ තිබුන හැම බලාපොරොත්තුවක්ම ඉටු උනා වගේ.. සතුට කොච්චරද කියන එක හරියට ඇයට දැනුනා වගේ හිනා වෙලා මගේ කම්මුල අතගාද්දී ඒ දැනුන සිනිදු පහස කවදාවත් විදලා නැති තරමේ අපූරුම එකක් උනා.. ආස වුනේ ඒ පහසෙම ඉන්න.. ඒත් ඇය යන්න ගියා.. මේ වතාවෙනම් ඇය යන්න ගියාට හිතට ඒ තරම්ම දුකක් දැනුනේ නෑ.. ඒ අදින් පස්සේ ඇයව නිතරම හමුවෙන්න ලැබෙන නිසා..

....................................

මට ඔනේ වුනේ මාර්කෝ ලගදි පුංචි කෙල්ලක් වගේ නිදහසේ ඉන්න. අමුතු මුසල හැඟිම් දැනිච්ච හැම වේලාවකම මම මාර්කෝගේ උණුසුම් පපුවට තුරුල් වුනා. මට දැනුනා මේ ලොකේ තියෙන වඩා සුරක්ෂිතම තැන එතන විතරමයි කියලා.

ගෙවෙන හැම දවසකම මගේ බය ටිකෙන් ටික වැඩි කලා. ඇත්තටම බය උනා පුදුම විදියට දවසක මම නිදාගෙන නැගිටිද්දි මට කාවදාවත්ම එයාව දකින්න බැරි වෙයි කියලා. හිත ඇතුලින් මම අසරණ උනා පිඩාවට පත් වුනා. මගේ මොළේ ස්නායු හරියටම ක්‍රියාත්මක වුනාද කියන්න මට සැකයි. අපි දෙන්නා අතර තිබුන එකම නොගැලපිම මගේ ජිවිතේ ඇතුලතින් අපායක් කලා.

මේ අතරතුර කාලෙද් අපේ විද්‍යාලයට මාර්කෝත් මගෙත් වැඩි කැපවිම නිසා අන්තර් විද්‍යාල තරඟ වලින් සංගිත අංශයෙන් සම්මාන පහක් එක දිගටම ලබා ගන්න හැකි වුනා. ඒ ගැන කතා බහා වැඩි වෙද්දි මාර්කෝ සහ මං ගැන කට කතා හදන්නත් කිසිම කෙනෙක් අමතක කරලා තිබුනේ නෑ. මම මුල්ම දවසේ හිතුවා වගේම අන්තිමට මාර්කෝටවත් මටවත් හරිහමන් ගුරුගොල සම්බන්දයක් ගොඩනගා ගන්න බැරි වුනා.

එත් මාර්කෝ හිතන විදියට එයාට ලැබුන දක්ෂම ගුරුවරිය මම ලු. ඇත්තටම මම ඒ ගැන සතුටු වුනා. එත් අනික් පැත්තෙන් මට ඒ අදහස දැනුනේ මාර්කෝ මට පිහියකින් දමලා අනිනවා වගේ. දෙයියනේ ඒ අදහස් වල අපි අතර තිබුන එකම නොගැලපිම උලුප්පලා පෙන්නුවද කියලා මට සැක හිතුනා. මාර්කෝ ඔයා නොදන්නවා උනාට ඔයාගෙන් මගේ හිත රිදෙන්න පිට වුන එකම දේ ඒ සංඥා ටික විතරමයි අදටත්.

................................

ඉක්මනට කුරියර් එකේ පාර්සල් ටික බෙදලා ඉවර වුන මම හැමදාම හවසට ගියේ ඇගේ ගෙදරට.. ඇගේ ගෙදර මගේ වගේ නෙමෙයි.. හුඟාක් පිළිවෙලයි.. ඇය ගෙවපු විශ්ව විද්‍යාල ජීවිතේ එක්ක ඒ හුරුව ඇයට ආවා වෙන්න පුළුවන්.. ඒ නැතත් හැමෝම මං වගේම අපිළිවෙලක් නෑ කියලා වෙලාවකට මට නිතරම හිතෙනවා.. මුලින් සංගීතය ගැන විතරක්ම කතා කරන්න තිබුන අපිට ටිකින් ටික කතා කරන්න හුඟක් දේවල් ගොඩනැගෙන්න පටන් ගත්තා.. ඇත්තටම මම ඒකට ආස වුනා.. මොකද මට සංගීතයට වඩා ඕන වුනේ ඇයට ලං වෙන්න නිසා.. ඒ බවත් ඇයට දැනිලද මන්දා කතා කරන්න ගත්තම ඉවරයක් නැතුව ඇයත් ඔහේ කියවගෙන ගියා..

හවස ගෙවිලා යන්නේ කොහොමද කියලවත් දැනෙන්නේ නෑ.. ඒ තරමටම ඇයත් එක්ක ඉන්න කාලය හරිම සුන්දරයි.. අපි සිංදු කිවුවා, නැටුවා, කෑ ගැහුවා.. ඒ හැම දෙයක් අතර්ම මම හුඟක් ආස වුනේ ඇය උයන කෑම වල රහ බලන්න.. කෑම උයද්දි නම් මට ඇයත් එක්ක හැරෙන්න වත් පුළුවන් වුනේ නෑ.. මගේ ජිවිතේ හුඟක් දේවල් ඇය ලගදී ඉබේම වෙනස් වෙන්න අර ගත්තා..

නොදැනුවත්වම මම හිතින් ඇයට ආදරේ කරන්න පටන් අරං බව දැනුනේ දවස් තුනක් එක දිගට මට ඇයව හමුවෙන්න බැරි වුන වෙලාවෙදි.. හරි වැරැද්ද මොකද්ද කියන එක ගැන මට හිතන්න වුවමනා වුනේ නෑ.. මට ඕන වුනේ කොහොම හරි ඇයව ලබා ගන්න.. ආත්මාර්තකාමී හැඟීමුත් එක්ක හිතුවක්කාරකම් එකින් එක මතුවෙද්දී ඇය ගැන තිබුන ආදරේ හුඟක්ම වැඩි වෙලා තිබුනා.. ඒත් හිතේ තිබුනේ එකම එක භයක් විතරමයි.. ඒ ඇය මේ ආදරේ කොහොම තේරුම් ගනීද කියන එක..

පිටින් දැක්ක ගමන් අසම්මතයි කියලා මිනිස්සු කෙලින්ම ඇඟිල්ල දික් කරන ආදර කතාවක් ලියන්න හුඟක් දෙනෙක් කැමති වෙන්නේ නෑ.. ඇයත් එහෙම කෙනෙක් නම්? නිතරම මගේ හිතට වද දුන්න ප්‍රශ්ණය ඒක.. ඒත් ඇගේ හැසිරීම එක්ක ඇය එහෙම නොහිතනවා ඇති කියලා හිත විශ්වාස කලත් නිතරම මම ඒ මාතෘකාවට එන්න බය වුනා.. ඒ භයම ටිකක් අපිව ඈත් කරනවා කියලා දැනෙද්දී මම බලෙන්ම වගේ නිතරම ඇයට ලං වුනා..

" ලියෙන් ලග ඉද්දී මට මගේ අතීතය නිතරම මතක් වෙනවා.."

" ඒ මොකද්ද?"

නිතරම ඇය මොකක් හරි කියන්න උත්සාහ කලත් හැම තිස්සෙම ඒක හංඟගන්නේ මාව ඇයගෙන් ඈතට වෙන් වෙයි කියලා භයෙන් කියලා මට නිතරම දැනුනා.. ඒ හන්දම මම හුඟක් දේවල් ඇගෙන් අහන්න ගියේ නෑ.. ඇත්තටම මට අතීතයෙන් වැඩක් තිබුනේ නෑ.. මට වැදගත් වුනේ වර්ථමානය.. ඇය මාත් එක්ක ගෙවෙන කාලය ගැන හිතනවා ඇරෙන්න මට පහුගිය දේවල් පස්සේ දුවන්න ඇත්තටම වුවමනා වුනේ නැහැ.. ඒත් මේ ආදරය.. මට තවත් මේ ආදරය හංගගෙන ඉන්න වුවමනා වුනේ නෑ.. ගෙවෙන හැම මොහොතක්ම මට දැනුනේ මම තනිවෙලා කියලා.. හුඟාක් තනිවෙලා කියලා..

.....................................

අන්තිමට මම විශ්ව විද්‍යාලෙන් අයින් උනා. ඒ මාර්කෝගේ ඉගනිම කඩාකප්පල් නොවෙන්නයි. එයාගේ අකමැත්ත කොච්චර උනත් මම මගේ තිරණෙ ගැන පොඩ්ඩක්වත් පසුතැවිලි උනේ නැ. දිගින් දිගටම මම එයාගේ ඉගනිමට උදවු කලා. මාර්කෝගේ හීන සැබැ වෙද්දි මම සතුටු උනා ඇත්තටම ඒ හැම හීනයක්ම සැබැ කරගන්න මාර්කෝ ලගින්ම මට ඉන්න ලැබුන නිසා.

එත්........ දවසක් මාර්කෝ සදහටම සමුදුන්නා අපේ සම්බන්දෙට.

අන්තිමට මට මාර්කෝවත් නැති වුනා. හැමදාටම. හැමදාටම. ඉතිරි වුනේ තනිකම විතරයි.

.......................................

එදත් වෙනදා වගේම අපි සංගීතය පුරුදු වුනා.. ඇත්තටම වයලීනය අතට ගත්තෙත් පැයකටත් වැඩිය අඩු කාලයකට විතරක්මයි.. ඊට පස්සේ සුපුරුදු කතා බහ.. එදා කවදවත් නැතුව අහම්බෙන් වගේ කඩාගෙන වැටුන වැස්ස නිසා වෙනදා වෙලාවට ගෙදර එන්න බැරුව මම එහේම නතර වුනා.. එදානම් හිතට දැනුනේ අමුතුම හැඟීමක්.. හිත යටින් මම ඒ දේට හුඟක් ආස වුනා.. නිතරම හිත යටින් ප්‍රාර්ථනා කලේ මේ වැස්ස නතර වෙන්නනම් එපා කියලා.. ඒ හේතු හුඟාක් හින්දා.. මහ වැස්ස අතරෙනම් දෙන්න එකතු වෙලා හදපු රෑ කෑම කුස්සියේ ඉදන්ම කෑවේ අපිට තවත් අපි දෙන්නා අමුත්තෝ නොවෙන හන්දා..

" ලියෙන් අද මෙහේ ඉන්න.."

හිතේ තැනක හැංගිලා තිබුන අරමුණ ආරාධනාවක් වෙලා ඇහෙද්දී බලාපොරොත්තු හැම දෙයක්ම ඉටු වුනා වගේ දැනෙන්න ගත්තේ ටිකින් ටික මම ඇයට ලං වෙමින් තිබුන හන්දා.. ඒත් මට දැනෙන දේ ඇයටත් දැනෙනවා ඇත්ද? මගේ හිත මගෙන් නිතරම අහන්න ගත්තා.. කොච්චර කියාගන්න ඕන වුනත් නිතරම නතර වෙන හැඟීම් ගැන මටම තිබුනේ මහා කල කිරීමක්..

" ඇයි ලියෙන් කල්පනාවක?"

මට වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා.. මම නතර වුනේ ඇය ලඟ.. පුදුමෙන් වගේ මං දිහා බලාගෙන ඉන්න ඇස් දිහා මම හුඟක් වෙලා බලන් හිටියේ නෑ.. වැඩිය නොහිතම මම ඇයව සිපගත්තා.. විනාඩියක්වත් දිග නැති හාදුවෙන් පස්සේ මම ඇය දිහා බැළුවා.. හිතේ පොඩි බයක් නොතිබුනාම නෙමෙයි.. තාමත් පුදුමයෙන් මං දිහා බලං ඉන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ඇය කිවුවේ නෑ.. මගේ හිතට සතුටක් දැනුනා.. 

................................


ජීවිතේ ගෙවුන හැට් වෙලාවකට හිතා ගන්නත් බෑ.. තිබුන හැම දෙයක්ම කැප කරලා මම මාර්කෝට ආදරේ කලා.. ඒ මාර්කෝ මගේම කියලා මට හිතුන නිසා.. මට ඕන වුනේ මාර්කෝ ලබා ගන්න.. ඒත් අපි අතරේ රැදුන හැම දෙයක්ම කෙටි මතකයට විතරක් ඉතුරු කරලා මාර්කෝ යන්න ගියා.. හැමදාටම.. අන්තිමේ මට ඉතුරු වුනේ කාලයක් පුරාවට මතකයේ රැදුන ගොළු ගෝලයෙක්ගේ අසම්මත ආදර කතාවක් විතරයි..

ඒත් ලියෙන්, ඒ හැම මතකය අතරටම අහම්බෙන් වගේ ඇවිත් නතර වෙලා.. මාර්කෝගේ ආදරණිය මතකය අමතක වෙන තරමටම ලියෙන් මගේ හිතට  ලං වෙලා.. හුඟක් දේවල් ආයෙම වෙනස් වෙලා.. ආදරයක් ඇති වෙන්නේ එක පාරක් විතරයි කියලා කිවුවට ඒ කියපු දේ ගැන සැකයක් මතු වෙන තරමටම ලියෙන් මට ලං වෙලා.. එක අසම්මත ආදරයක කඳුළු එක්ක ජීවිතේ ඇදගෙන යද්දී තවත් අසම්මතම ආදරයක් ඉබේටම වගේ ඇවිත් ලග නතර වෙලා.. මේ ගමනත් ඈත මිදුමෙන් වැහුන මාවතක් වගේ.. අවසානය කොහොම වෙයිද කියලා නොදැනුනත් මේ මාවතේ යන්න හිත අකමැති නැති ගානයි..

................................

නිමි..





විශේෂයි : ආලවන්ත දෙහදක අකුරු සිතුවම   
                                       [ දිනේෂ් සහ මදාරා ]