Monday, 29 April 2013

ප්ලාස්ටික් තුවක්කුව



උපන්දිනේ දවස එනකන් හිතේ තිබුනේ පුදුමම බලාපොරොත්තු ගොන්නක්.. කලින් දවසේ රෑ නින්දට යනකන් ගෙවුන පැය ගාන දැනුනේ හරියට මහා ලොකු කාලයක් වගේ.. සැරින් සැරේ ඇහැරිලා ඒ මේ අත පෙරලි පෙරලි අඬ නින්දෙන් ගෙවුන රැය පුරාම හිතේ තිබුනේ එකම එක දෙයක් විතරමයි.. ඒ හෙට හම්බුවෙන තෑගි ගැන.. වෙන අයට වගේ ලොකු පාර්ටියක් ගන්න, නෑදෑයෝ වට කරන් ටික වෙලාවකට හරි ඉන්න වාසනාව නැති උනත් අම්මයි අක්කයි අයියයි එක්ක ගෙවෙන දවසේ කියා ගන්න බැරි අපූරු සතුටක් තිබුනා..

ඒත් අවුරුද්දක් මුලම උපන්දිනේ ලබන එකේ අවාසියක් නොතිබුනාම නෙමෙයි කියලා තේරුම් ගන්න ඒ වයස හුඟාක්ම පොඩි නැහැ කියලා දැනුනා.. ප්‍රශ්ණ කියන දේවල් අම්මගෙයි තාත්තගෙයි ජීවිත වහගත්ත මුල්ම කාලේ අපිට ගෙවෙන හැම දවසක්ම එක වගේ.. ජනේරුවයි උපන්දිනෙයි කියලා වෙන වෙනම වියදම් කරන්න පුළුවන් කමක් තාත්තට රට හිටියා උනත් තිබුනේ නෑ.. ඒ දවස් වල හරි හැටි නොදැනුනත් ජීවිතේ හුඟාක් අමාරුකම් තිබුනා.. එහෙම ඉද්දී උපන්දිනයක් කියන්නේ සමරන්න පුළුවන් දෙයක්ද?

ඒ වුනත් හිතේ බලාපොරොත්තු ගොඩ ගැහෙන්න ඔය කිසිම භාදකයකින් වැඩක් නෑ.. විශේෂයෙන් පොඩි කාලෙදි.. අළුත් අවුරුද්දේ අළුත් පාසල් වාරෙට ඕන දේවල් හදලා ඒ අඩුපාඩු හදලා දෙද්දී හුඟක් වෙලාවට තාත්තගෙන් ලැබෙන්න තියෙන තෑග්ග අඩු වෙලාම යනවා.. ඒ සපුරපු අඩුපාඩුම උපන්දින තෑග්ග කියලා හිතා ගත්ත අවුරුද්දක් දෙකක් ඒ පුංචි කාලේ නොතිබුනාම නෙමෙයි.. මං ආසම කෑමක් හදලා දෙන එක ඇරෙන්න හුඟක් වෙලාවට අම්මට මං වෙනුවෙන් දෙයක් අරන් දෙන්න පුළුවං කමක් තිබුනේ නෑ.. ලොකු වෙද්දි මඟ ඇරුනත් පුංචි කාලේ මඟ නොඇරෙන උපන්දින කේක් එක වත් ඒ දවස් වල නොලැබුනත් හිතේ මහ ලොකු දුකක් තිබුනේ නැතත් පුංච් අඩුවක් නොදැනුනාම නෙමෙයි..

මේ හැම දෙයක්ම අත ඇරෙද්දී පුංචිම බලාපොරොත්තුවක් ඉතුරු වුනේ අයියා ලග.. අපේ වයස් වල පරතරය එක්ක මට දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන කාලේ වෙද්දි අයියා ඉස්කෝලෙන් අයින් වෙලත් ඉවරයි.. වැඩි රස්තියාදුවක් නැතුවම එයාට රස්සාවකුත් හම්බුනා.. ඒක ලොකුද පොඩිද කියන්න තියා රස්සාව කරන තැනවත් හරියට කියන්න දැනන් නොහිටිය මට අයියගේ රස්සාව මහ ලොකු එකක්.. උපන්දිනේට තෑග්ගක් අරන් දෙන්න එයාට අමතක වෙන්නේ නෑ.. මට, අක්කට, අම්මට තාත්තට බැරි වුනත් අයියගෙන් තෑග්ගක් නොලැබී යන්නේ නෑ.. ඉතින් හිතේ ඉතුරු වුනේ පුංචිම පුංචි බලාපොරොත්තුවක්..

අවුරුද්දක් ඇවිත් පළවෙනි දවස ගෙවිලා යද්දි පහුවදා ගැන හිතේ ඉතුරු වෙන පුංචිම පුංචි බලාපොරොත්තුවත් එක්ක දවස පටන් ගත්තේ හුඟාක් සතුටින්.. ඒ එකොලොස්වෙනි නැත්නම් දොලොස්වෙනි උපන්දිනේ.. කවදත් උපන්දිනේ දවසටම ඉස්කෝලේ අළුතින් පටන් ගත්තත් එදා සතියේ අවසානයක් උන නිසාද කොහේද එදා ඉස්කොලේ තිබුනේ නෑ.. ඒ හන්දම ඇහැරෙද්දී දවල් වෙලා.. ගෙදර ටෙලිෆෝන් එකක්වත් නොතිබුන ඒ දවස් වල තාත්තා උපන්දිනේට සුභ පතලා එවලා තිබුන කාඩ් එකයි ලියුමයි හම්බුවුනා සතියකටත් කලින්ම.. උපන්දිනේ දවස වෙද්දි තාත්තා එවපු කාඩ් එක ලැබුනා කියලා ලොකු අකුරින් ලියලා දුන්න පුංචි ලියුම් කෑල්ලත් එක්ක අම්මා එයාගේ ලියුම තැපැල් කරලත් ඉවරයි..

උදේ ඇහැරෙන්න පරක්කු වුන හන්දම උදේම තෑග්ගක් ගන්න අයියා ගෙදර හිටියේ නෑ.. අම්මයි අක්කයි එක්කම ගෙවුන උදේ වරුවේ බලාගෙන හිටියේ අයියා කොයි වෙලේද ගෙදර එන්නේ කිය කිය.. එන්න කියලා නෑදෑයෙක්වත් නොහිටිය අපිට අමුතුවෙන් මහා හුඟක් දේවල් හදන්න කවදාවත්ම ඕන උනේ නෑ.. උදේ දවල් සාමාන්‍ය විදිහට ගෙවිලා යද්දි උපන්දිනේ බවවත් වෙලාවකට මතකයේ තියෙන්නේ නැති තරම්..

කවදත් අම්මා උපන්දිනේ දවසට හොදට හදන බත් ටික කාලා කරන්න දෙය නැතුව ඔහේ එලියට වෙලා බලාගෙන ඉද්දි ඈතින් දැක්කේ අයියා එනවා.. එදා වෙනදට වැඩිය වේලස්සන.. එවෙලේ හිතට ආව සතුට කොයි තරම්ද කියලා තාමත් හොදටම මතකයි.. පාර ගාවට දුවන් ගියෙත් ඒ හන්දම වෙන්න ඇති.. හිතේ පුංචිම හරි තෑග්ගක බලාපොරොත්තුවක් තිබුනේ නෑ කියන්නේ නෑ.. හිත යට ඒ ගැන පොඩි ආසාවක් තිබුනා.. දුඹුරු පාට කොලෙන් ඔතපු ටිකක් ලොකු තෑග්ගක් මගේ අතට දීලා අයියා මගේ කරටත් අත දාගෙන පාරට වඩා ටිකක් පහලින් තිබුන ගෙදර පල්ලම බැහැගෙන එද්දි හිතේ තිබුනේ කියා ගන්න බැරි සතුටක්.. ඒ තෑග්ග මොකද්ද කියලා බලන්න ලොකු ආසාවක්..

ගේ ඇතුලට ආව මම එහෙමම සාලේ බිම දිගාවුනේ අයියා දුන්න තෑග්ගත් එක්ක.. හෙමින් සීරුවට කොලේ ගලවලා බලන්න පුරුද්දක් ඒ කාලේ තිබුනේ නැති හින්දමද කොහේද එහෙන් මෙහෙන් හදිස්සියට බිම තියාගෙනම තෑග්ග ඇරලා බැලුවේ.. ඒ මම කවදාවත්ම බලාපොරොත්තු නොවුන විදිහේ තෑග්ගක්.. ඒකේ තිබුනේ ලොකු  සෙල්ලම් තුවක්කුක්.. ඊට කලින් මගේ ලග ඕන තරම් සෙල්ලම් තුවක්කු තිබුනත් මගේ උසින් භාගයක් විතර උසට තිබ්බ මේ තුවක්කුවට අනිත් හැම එකකටම වැඩිය මං දැකපු ගමන්ම ආසා කරන්න ගත්තා.. 


සාලේ තියන් බලපු තුවක්කුව අරන් මම දිවුවේ මගේ කාමරේට.. මගේ කිවුවට එතකොට මම නිදා ගත්තේ අම්මා එක්ක.. මං ආසම තුවක්කුවක් ලැබුනත් සෙල්ලං කරන්න ඉන්නේ මං විතරයි නේද කියලා මතක් වුනේ කාමරේට ගියාම.. තුවක්කුව ගෙනත් දුන්නට අයියා කීයටවත් මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නෑ කියලා මම දන්නවා.. අක්කත් එහෙමයි.. ඒත් බලාපොරොත්තු නැති විදිහට හම්බුන අළුත් තුවක්කුවෙන් සෙල්ලන් නොකර ඉන්න හිත කොහොමවත්ම ඉඩක් දෙන්නේ නෑ..

දහවල පහුවෙලා හෙමීට ඉරත් බැහැගෙන යන්න පටන් අරන් තියෙද්දි කාමරේ ජනේලෙන් යාන්තම් එළිය පෙනෙද්දී හිත තවත් බිත්ති හතරක් අස්සේ හිර කරන් ඉන්නන් පුළුවන් කමක් තිබුනේ නෑ.. ජනෙල් උළුවස්සත්ත් එළිමහනත් අතරේ  හිතින් මැවුන හුඟාක් දේවල් එහා මෙහා යන්න පටන් ගත්තේ හිත ආස කරන වෙනමම ලෝකයක් මවාගෙන.. ඇද ගාවම තිබුන ජනේලෙට ඇද උඩට නැගලා ලංවෙලා තුවක්කුව ජනෙල් පඩිය උඩින් තියා ගත්තේ අයියා ඉන්න වෙලාවට විතරක් ටීවී එකේ බලන ඒවයේ ඉන්න තුවක්කු අතට ගත්ත මිනිස්සු වගේ.. උඩට ඉස්සිලා තිබුන පුංචි ප්ලාස්ටික් කොටු කෑල්ල ලගින් ඇහැ තියා ගෙන හුඟක් වෙලා බලාගෙන ඉන්න ඇති.. ඒ, ඉලක්කයක් එනකන්..

විනාඩි දෙක තුනක් උනත් දැනෙන්නේ මහා ලොකු කාලයක් වගේ වෙලාවට.. අතේ දෙවනි ඇඟිල්ල වෙඩි තියන්න කොටුව ඇතුලේ තියෙන ඇදවුන ප්ලාස්ටික් කෑල්ල ලග තියාගෙන මහා ලොකු කාලයක් වගේ දැනෙන පුංචි විනාඩි කීපයක්ම ගෙවලා දාන්න ඇති.. හදිස්සියේම ඉලක්කය අතරින් පියාඹලා ආවේ කුරුල්ලෙක්.. තවත් බලාගෙන ඉන්නේ නැතුවම අතේ දෙවනි ඇගිල්ල ප්ලාස්ටික් කෑල්ල අතරේ හුඟක් වෙලා තද කරන් හිටියේ තුවක්කුවෙන් පිට වුන හඬට නැවතිල්ලක් නොදීම.. ජනේලය ඉස්සරහින් පියාඹලා ගිය කුරුල්ලෝ සමනල්ලු කී දෙනෙක්නම් මගේ ඉලක්කය වෙන්න ඇතිද?

කාමරේ ජනේලේ ලගට වෙලා ඉවරයක් නැතුව තුවක්කුව සද්ද කරද්දී ඊට ටිකක් ඉස්සරහින් තිබුන ජෑම් ගස් හෙවනට හිත ඇදිලා ගියේ පුදුම විදිහට.. බිම තිබුන වැළි පොළවයි පොල් ගහේ මුල් නිසා තැනින් තැන උස් උන බිමත් එක්ක ටිකක් උසට හැදුන ජෑම් ගහ යට මට එවෙලේ පෙනුනේ මේ ලෝකේ සෙල්ලම් කරන්න තියෙන හොදම තැන විදිහට.. ජනේලේ ලගින් එහාට වෙලා ඇදෙන් බිමට පැනලා කෙලින්ම දුවගෙන ගියේ ජෑම් ගහ යටට.. වැඩිය උස නැති ජෑම් ගහේ කරුවකට මගේ තුවක්කුව තියා ගත්තම මම තරම් කෙනෙක් තවත් නෑ.. ඒ මේ අතට ඉලක්ක අරගෙන නැවතිල්ලක් නැතුව සද්ද උන මගේ තුවක්කුව හිත හුඟක් කාලෙකින් ලබපු ලොකු සතුටක දුරකට අරං ගියා..

එදා කොච්චර වෙලානම් මම ජෑම් ගහ යට ඉන්න ඇත්ද? ඊට පහුවදා ඉදන් දවස් කීයක් නම් ඒ ජෑම් ගහ යට හෙවෙනේ ගෙවෙන්න ඇත්ද? දූවිල්ලක්වත් වදින්නේ නැති වෙන්න පරිස්සම් කරපු ප්ලාස්ටික් තුවක්කුව තාමත් හිතේ තැනක අහම්බෙන් උනත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් අපූරුම මතකයක් ඉතිරි කරලා ගිහින් කියන එක වෙලාවකට හිතා ගන්නත් බැරි තරම්..


විශේෂයි : හදිසියේ මේ කතාව මතක් උනේ පුංචි සිද්දියක් එක්ක.. මේ ලගදි දවසක් අපි මල් කඩද්දි එයාලගේ අල්ලපු ගෙදර පොඩි එකා අළුතින් හම්බුන බයිසිකලේ හෝන් එක එක දිහටම ගගහා එලියේ සෙල්ලම.. ඇත්තටම ඒ හෝන් එකේ සද්දෙ නම් ටිකක් අහන් ඉද්දී එපා වෙන එකක්.. මං කියන දේවත් හරියට ඇහෙන්නේ නෑ කියලා එයාට ටිකක් කේන්ති ගියා උනාට කොල්ලො අපිට පොඩි කාලේ දෙයක් හම්බුනාම ඔහොම තමයි ඉතින්.. අල්ලපු ගෙදර අළුතින් බයිසිකලේ හම්බුන කොල්ලගෙයි පුංචි කාලේ තුවක්කුව හම්බුන මගෙයි වැඩි වෙනසක් නෑ නේද? පොඩි කාලේ විතරක් නෙමෙයි දැනටත් අපි කාටත් අළුතින් දෙයක් ලැබෙද්දි සතුට වැඩියි.. වෙනසකට තියෙන්නේ පොඩි කාලේ වගේ අපි ඒ සතුටට වැඩියෙන් කෑ ගහලා දඟලලා පෙන්නනේ යන්නේ නැති එක..



Thursday, 25 April 2013

ආදරණීය මහී නුඹට





ඇවිත් නතරව

අහම්බෙන් වගේ දවසක

අකුරු අතර රැදි මතකයක්

ජීවිතේ පතුලටම

පසුපසම එලවමින්

කියවන්නට සිත් බැද

එක් වුන කවක්

ආදරණිය මහී නම් නුඹ..



සම්මතේ සීමාවෙන්

පැනගිහින් දුර ඈත

තනාගත් හිතක්

හැමෝගෙන්ම වෙනස්ව

නිදහසේ හැසිරූ පන්හිදක්

බැදෙමින් හිත් අතර

ආදරයෙන් හුඟක්

අකුරු කරා

ආදරණිය මහී නමට..



යන්න බොහෝ දුරක

පාරමී පිරුව  හිතක

තවරගෙන වර්ණ ආදරෙන් ලගට

අතර මගක තනිකර

සැඟව යන නුඹෙ හිතට

ලියාතබන්නම්

අහිංසක මතකයක්

ආදරණිය මහී නමට..



හමුවෙමු ආයෙ දවසක

නිදහසේ ජීවිතයක

ඉගිල්ලෙන්න ආයෙ පෙර සේම

පියාපත් ලද පන්හිදට

බලාහිදින්නම් එන තුරුම

ආදරණිය මහී නුඹ..

හී ජීවිතේට ලං වුම අකුරු රන්හුඟක් අමාරුයි.. යන්න එපා කිලා කියන්හිතුත් මුණ එක්බැළුම එහෙරන්හිතක් නැහැ.. හී යෙරෙන් අකුරු කන් ලාගෙන ඉන්වා.. සුපැතුම්..

Monday, 22 April 2013

Room Number 13 ( කෙටි කතාව )

කාමරය පුරා රැඳුන පුස් ගඳ ඉවසා සිටිය නොහැක්කක් විය.. දෑස් ආවරණය කර ඇත්දැයි හිතෙන තරමටම හාත්පස රැදි අඳුර හිතේ ගැස්ම තව තවත් වැඩි කරන්නක් විය.. හිස මුදුනින් විත් නළල අතරින් ගලා වැටුනේ දහඩිය බිදක්ද ලේ බිදක්ද යන්න තේරුම් ගන්නට නොහැකි වුවත් හිස පුපුරා යන තරම් දැනුන වේදනාවත් සමගම රැදුන හිසේ කැක්කුම ගෙවුන හෝරා කීපය අතර බොහෝ දේ සිදුවන්නට ඇති බව මගේ සිතට ඒත්තු ගැන්වීය.. හුළං පොදක්වත් හමා නොඑන කළුවර වටපිටාවේ ටිකින් ටික ඉවසා ගත නොහැකි තරමට නාසයට දැනුන දුඟද කුමක්දැයි සිතා ගන්නට නොහැකි මුත් ඉන් තව තවත් වැඩි වුන හිසේ කැක්කුම ඉවසා ගත නොහැකි තරමටම රිදුම් දෙන්නට විය.. හෝරා කීපයකට පෙර මතකය අවදි කරන්නට උත්සාහ කරමුත් මත් වුන දෑස් අතර රැදි සමාජ ශාලාවේ එලි අතරින් එහාට මතකට ගෙන යන්නට නොහැකි විය..

කාලයේ නිනවුවක් නොමැතිව අදුර අතරම රැදි කාලයේ දෑත් බැදි යදම් වලින් ගැලවෙන්නට දැරූ අසාර්ථක උත්සාහය දෑත හිරි වට්ටමින් නවතා දමද්දි, පා ඇඟිළි වත් සෙලවිය නොහැකි තරමටම ගල් ගැසුන දෙපා යුග දෙපා අහිමි වූවක් මෙන් දැනෙන්නට විය.. මම කොහොමද මෙතනට ආවේ? හිතේ නිතරම දෝංකාර දුන් එකම ප්‍රශ්ණය එයම වෙද්දි පිළිතුරක් නොමැතිව හමා ගිය සිතුවිළි බොහෝ තැන් වල නතර වන්නට විය.. හැම දෙයක්ම සියුම් හඬක් වුව ඇසෙන තරමටම නිස්කලංක මොහොතක හිටිහැටියේම ක්‍රියාත්මක වුන රේඩියෝවක හඩ මේ අඳුර අතර හෝ ඉන් පිටත මා තව දුරටත් තනි නොමැති බැව් හැඟවීය..

“ කවුද ඉන්නේ?”

කීප වරක්ම උත්සාහ කර ඉහල හඬින් ඇමතුවද ඊට පිළිතුරක් නොවිනි.. වෙහෙස සමගම දැනුන පිපාසය, හඬත් හිතේ සවියත් බාල කරද්දී යාන්තමින් පිය වෙන්නට ආ දෑස අපහසුවෙන් අවදිව තබා ගත්තේ සිදුවනා දෙයක කුමක් හෝ දෙයක් දැන ගැනීමට තිබූ වුවමනාව හෙයිනි.. නිදිමතට වැඩිය දෑස් වල වේදනාව දෑස් පියන් මොහොතින් මොහොත අඩවන් කරද්දී ලී කොරිඩෝවක් දිගේ නැගුන පා හඬ මා අසලටම විත් කෙමෙන් නතර විය.. හිත ගැහෙන හඬ ඇහෙන තරමටම රැදුන නිහැඩියාව බිදින්නට මා අසලට ආ කවුරුන්ට වුවත් වුවමනාවක් නොතිබුනද මටද යමක් පවසන්නට තරම් හැකියාවක් නොතිබුනි.. ලී කොරිඩෝව අතරින් සිහින් හඬක්  නංවමින් කවුරුන් හෝ එහා මෙහා යන හඬ ඇසෙද්දී තව දුරටත් මා සිටින්නේ අඳුරේ නොවන බව තේරුම් ගන්නට අපහසු නොවිනි..

“ උඹ සිහියෙන් ඉන්නේ කියලා දන්නවා.. ඒ වගේම දැන් උඹ හිතන්නේ මොකද්ද කියලත් මම දන්නවා..”

නිහැඬියාව බිදිමින් ඇසුන හඬ ආගන්තුක එකක් විය.. එය පිරිමි කටහඬක් වුවද මින් පෙර අසා ඇති බවක් මතකයට නොආවේය.. ලී කොරිඩොවේ සිහින් කෙදිරිය ඔහු මා ලගටම ආ බව හැඟවූවත් ඔහු තව මොහොතක් නිහඬ විය.. හෙමින් උස් පහත් වෙන හුස්ම හඬ ඔහුගේ වගේම මගෙත් හොදින්ම ඇසෙද්දි දෑස් වටා බැද තිබු රෙදි පට ලිහා දැමුවත් එකවරෙම ආලෝකයට විවර කර නොහැකි වූ දෑස් මම තව මොහොතක් වසා ගන්නට තැත් කලෙමි..

“ මේ බලපං මං දිහා..”

මුහුණ හරහා එල්ල වුන පහර වේදනාකාරි විය.. බොහෝ වෙලාවක් දෑස් බැදි රෙදි පටෙහි වූ අඳුරට හුරු වුන දෑස අමාරුවෙන් විවර කරමින් මා සිටිනා වටපිටාව බලන්නට උත්සාහ කලෙමි.. කාමරයෙහි කුමක් හො හුරු පුරුදු බවක් දැනුනත් එය හිතා ගන්නට තරම් මානසිකත්වයක් මා තුල නොවූයේ මා පසු පස සිටින්නේ කවුරුන්දැයි දැන ගැනීමට මා සිත උනන්දු වූ නිසාය..

“ හොදට බලපං.. උඹට මතකද මේ තැන.. මම හිතන්නේ නෑ උඹට අමතක වෙලා ඇති කියලා..”

වේදනා දෙන හිස තදින් අල්ලා ගත් ඔහු කාමරයේ වටපිටාව පෙනෙන්නට වේගයෙන් සොලවද්දි හිසට දැනුන වේදනාව ඉවසා ගත නොහැකි විය..

“ උඹ කවුද?”

වේදනාව අතරින් අමාරුවෙන් මම වචන අමුණන්නට වීමි.. ඒත් ඔහුට ඒ බව නොදැනුනාක් මෙන් හුඟාක් වෙලා හිසේ කෙස් අතරින් අල්ලා ගෙන කාමරය වටා ගෙන ගිය ඔහු හිසට තදින් එල්ල කල පහර තිබුන වේදනාව තවත් වැඩි කරන්නට විය..

“ හරියටම මීට අවුරුද්දකට කලින් උඹයි උඹේ යාළුවොයි එකතු වෙලා කරපු දේ උඹට හොදටම මතක ඇති.. හොදට අහපං.. තාමත් ඒ විලාපය මේ බිත්ති අතර දෝංකාර දෙනවා..”

සියල්ලක්ම මොහොතින් දෑස් අද්දර හෙමින් මැවෙන්නට පටන් ගත්තේ ඒ බේබදු රැයේ හැම තත්පරයක්ම මතකයට නංවමිනි.. හිත ආශාවෙන් මත් කල ඒ හිනාව, ඒ මුහුණ මොහොතකින් සියල්ල මතක් කරන්නට සමත් විය.. මේ එදා රැය ගෙවුන කාමරයම බව මතකයට නැගෙන්නට ගෙවුනේ තත්පර කිහිපයක් පමණකි.. අවසානයේ ඈ වැතිර වුන් තැන සළකුණු කල සුදු පැහැ රේඛා තවමත් ලී පොළව මත මැකි නොගොස් තිබුනි..

මා බැද තබා හුන් පුටුව ඉදිරියටම පුටුවක් ඇදගත් ඔහු මා ඉදිරියේම වාඩි වූ‍යේ වෛරී බැල්මක් මා වෙතට හෙලමිනි.. ඔහුගේ අරමුණු හදුනා ගන්නට එතරම්ම අපහසුවක් නොවිනි..

“ උඹ කවුද?


 …........................................

“ ග්ලෙන්, ජෙනිෆර්ගේ මරණය ගැන අළුතින් යමක් හොයා ගන්න පුළුවන් වුනාද?”

“ නැහැ සර්.. තාමත් හැමදේම පටන් ගත්ත තැනම..”

තම කාර්‍යාලයේ ලිපි ලේඛණ අතර සිරව වුන් ඔහු මදක් ඉන් මිදි පිළිතුරු දුන්නද වඩා යමක් කීමට තරම් උනන්දුවක් ඔහු තුල  නොවිනි..

“ මට තේරෙනවා ග්ලෙන්.. ඔබට මේක තාම දරා ගන්න අමාරුයි.. ඔබ උසස් පොලිස් නිළධාරියෙක්.. අපි තව ටිකක් විධිමත්ව මේ ගැන පරීක්ෂණ කරමු..”

“ හොදමයි සර්..”

“ ජෙනිෆර්ගේ සිරුරත් එක්ක අපිට හම්බුන දේවල් වල ඩී.එන්.ඒ රිපෝට්ස් වල හැටියට අපිට එක සැක කාරයෙක් ඉන්නවා ග්ලෙන්.. ඔහුත් ඒ හෝටලේමයි වැඩ කරන්නේ..”

“ මම ඒ ෆයිල් එක ගැන බැලූවා සර්.. මම ඊයේම ගියා ඔහුව මුණ ගැහෙන්න.. ඒත් ඔහු සතියක් වෙලේ ඉදන් නොදන්වාම සේවයට ඇවිත් නැහැ.. ඔහු නිවසෙත් නැහැ..”

“ එහෙනම් මෙතන අපි නොදන්න යමක් සිද්ද වෙනවා ග්ලෙන්..”

“ මටත් එහෙම හිතෙනවා සර්..”

“ හරි එහෙනම් ඒ ගැන ටිකක් අවදානෙන් ඉන්න..”

රාජකාරි ලිපි අතරට අවදානය යොමන්නට උත්සාහ කල ඔහුට ඇගේ මතකන් ඊට බාධා කරන්නට විය.. ගෙවුන වසර පුරාවට ඈ තනි වුන එකම එක මොහොත ඇයව තමන්ගෙන් මෙතරම්ම දුරක් අරගෙන යාවියි ඔහු මොහොතකටවත් නොසිතුවේය.. ඇය එදා තනි නොවුනානම් යැයි ඔහුට සිතුන වාර ගණන අනන්තය.. ඒ සැදෑව තරම් කුරිරු මොහොතක් ජීවිතේකට තවත් ලං වෙන්න පුළුවන්දැයි ගොඩනැගිලි අතරින් ඈත බලාගෙන ඔහු මොහොතක් කල්පනා කලේය..

“ ජෙනිෆර්ට මොකද වුනේ?”

….........................................

“ උඹලට කොහොමද ජෙනිෆර්ව හම්බුනේ?”

මා ඉදිරියේ වූ පුටුවෙහි යලින්  හිදගනිමින් ඔහු කතාවට මුළ පිරුවේ තම සුපුරුදු රෞද්‍ර පෙනුම මුහුණට මවා ගනිමිනි.. මින් පෙර කොහේදී හෝ මා ඔහු දැක ඇති බවක් සිතුනත් ඔහු ගැන කිසිවක් මතකට නංවා ගැනිමට පුළුවන් කමක් මා සතු නොවීය.. ඔහු අත වූ සැත්කම් පිහියත් දෑතට දමා ගෙන වුන් රබර් අත් වැසුම් යුගලත් හිතට ගෙනාවේ යහපත් නොවුන සිතුවිල්ලකි..

“ මොනවද බලං ඉන්නේ කතා කරපං..”

නිහැඬියාව බිදිමින් ඉහල හඬින් කෑ ගසූ ඔහු දෙස එක එල්ලේ බලන්නට පුළුවන් කමක් මට නොවිනි.. ඒ හඬෙහි ඒ කේන්තියෙහි ඈ කෙරෙහි වූ ලොකු බැදීමක් ඇති බව තේරුම් ගන්න තරම් හැකියාවක් තිබුන අතරම එය කුමක්දැයි පමණක් මට නොහැඟිනි.. ඔහුගේ මුහුණේ කේන්තිය ටිකින් ටික වැඩි වත්ම මම අමාරුවෙන් වුව වචන එකින් එක අමුණන්නට වීමි..

“ මේ හැම දෙයක්ම අහම්බෙන් සිද්ද වුන දේවල්.. එවෙලේ මම නයිට් ක්ලබ් එකෙන් එලියට එන ගමන් හිටියේ.. එතකොටයි ඔය කියන කෙනාව මම දැක්කේ.. ලස්සන නිසාත් ඒ වගේ තැනක තනියම හිටිය නිසත්  මම හිතුවේ ගණිකාවක් කියලා.. මමත් හිටියේ අඩ සිහියෙන්.. ඒ නිසාම මට ඇයව එවෙලේ ලබා ගන්න වුවමනා වුනා.. ඇය මාව මඟහරිද්දියි තේරුණේ ඇය මම හිතපු විදිහේ කෙනෙක් නෙමෙයි කියලා.. ඒත් මට ආසාව පාලනය කර ගන්න බැරි වුනා.. මම ඇයට බලපෑම් කලා.. එවෙලේ ඒ වට පිටාව පාළු එකක් වුන නිසා මට ඒ දේ තවත් පහසු වුනා..”

එක එල්ලේ බලන්නට අපොහොසත් වුන ඔහුගේ දෑස් වල රත් පැහැ අතරම සියුම් කඳුළු බිදුවක්  විදුළි එළියෙන් දිදුලන බව යාන්තමින් පෙනුනත් එදෙස බලන්නට මට නොහැකි විය..

“ මාව මඟ හැරලා යන්න උත්සාහ කලාට ඇය මේ පැත්තට ටිකක් ආගන්තුක බව ඒ හැසිරීමෙන්ම පෙනුන එක මට වාසියක් වුනා.. ඒ හන්දම මම ඇයව ලුහු බැන්ඳා.. කලබලේට ඇය පාරේ ආව යතුරු පැදියක හැප්පුනා.. ඇයගේ ජීවිතේට අනතුරක් නොවුනත් ඒකෙන් ඇය සිහි නැති වුනා.. ඒ යතුරුපැදියේ හිටියේ මම තරමක් දන්න කෙනෙක්.. මම ඔහුගේ උදවු එක්කම ඇයව මේ කාමරයට අරන් ආවා..”

හිදගෙන වුන් පුටුව පසුපසට පෙරලෙන තරම් වේගයෙන් නැගිටුන ඔහු මා ලගට විත් අතැති වූ සැත්කම් පිහිය ගෙල ලගට ලං කරද්දි මීලග මොහොතේ සිදුවන දේ ගැන සිතා ගන්නට මම අසමත් නොවිමි.. ඉබේම දෑස් තද කර ගත්තේ ඒ වේදනාවට මුහුණ දීමේ අදහසින් වුවත් හිත තැති ගත් කිසිවක් සිදු නොවී ඔහු මගෙන් ඈත් වීම හිතට සහනයක් ගෙනෙන්නක් විය.. මා පිටු පසට ආ ඔහු, මා ගැට ගසා තිබු පුටුව ඔහුගේ පැත්තට හැරවූයෙන් මා පසු පසින් වූ දෑ දැක ගන්නට මට හැකි විය..

දිගු මේසයක් මත තබා තිබුන තියුණු සැත්කම් උපකරණ සියලම මසිතෙහි වූ හද හැස්ම මොහොතකින් තව වැඩි කරන්නට සමත් විය..  ඔහුගේ දෑස් වල වූ තියුණු බැල්මත් මුවගෙහි වූ සිනහවත් ඉදිරි මොහොත ගැන මනාවට කියා පෑවේය.. හිදගෙන වුන් පුටුවේ පිටුපසට ගැට ගසා තිබූ දෑත යදම් වලින් මොහොතට ලිහෙද්දී සනීපයකට වඩා වැඩි වේදනාවක් දැනෙන්නට වූයේ යදම් වලට සිරවූ තැන් වලින් නොනවත්වා ගලන්නට ගත් රුධිරය නිසාවෙනි.. නැගිටින්නට උත්සාහ කලද වාරු නැති වෙන තරමටම හිරි වැටුන දෙපා එක් පියවරක්වත් තබාගත නොහැකිව වාරු නැති සිරුර බිම ඇද වැටෙද්දී ලී පොළවෙන් නැගුන පුස් ගද නාසයට හොදින්ම දැනෙන්නට විය..

ලී පොළව මතුපිට වේලි ගිය ලේ පැල්ලමේ සුවද දරාගත නොහැකිව මුවගට ආ වමනය ඒ ලී පොළව මතම මුදා හරිද්දි යටි බඩ දෙසට එල්ල වුන පා පහර දැනෙන නොදැනෙන තරමටම මුළු සිරුරම ඒ වන විටත් හිරි වැටී ගොස් අවසානය.. එක් අතක වූ යදම් යුගලේ අනික් කෙලවරින් උස්සා මේසය මතට තල්ලු කල ඔහු මේ ගෙවුන හොරා කීපයට මා කොතරම් නම් දුර්වලයෙක් වී ඇත්දයි ඔහු මා ඇද දැමු අයුරින්ම මට මෙන්ම් ඔහුටත් හැඟුන බව ඔහු තුලින් දකින්නට හැකි විය..

“ මේ දේවල් උබ කලේ තනියම නෙමෙයි.. කියපං, කවුද උඹත් එක්ක හිටිය අනිත් උන් ?”

….....................................

ලිපි ගොණු අතර නිතරම තනි වී හිදි ඔහුට ඒ රැයේ ඔහු හා හිදි ඉතිරි සිවු දෙනා ගැන එකදු හෝ තොරතුරක් හොයා ගන්නට බොහෝසෙයින් වුවමනා විය.. අතර දමා ගිය එකදු සාක්ෂියක්වත් නොමැතිව ඒ කිසිවක් ගැන සොයා ගැනීම අපහසු කාර්‍යක් බව හොදින්ම දැන සිටි ඔහුට හෝටල් සේවකයා සොයා ගැනීම හැරෙන්නට වෙන මඟක් සිතා ගත නොහැකි විය.. ඒත් හදිසියේම ඔහුට සිදු වූයේ කුමක්ද යන්න ඇගේ මරණය තව තවත් ගැටළු රාශියක් අතර සිර කරන්නක් පමණක්ම විය..

“ ග්ලෙන් අපිට තව සැක කාරයෝ කීප දෙනක් ඉන්න ඕන නේද?”

“ ඔවු සර්, ඒත් අපිට හෝටල් සේවකයා ඇරෙන්න වෙන කාගෙවත් ඩී.එන්.ඒ එකක් හොයා ගන්න බෑ..”

“ ඒත් මරණ පරීක්ෂනේ තියෙන්නේ කිප දෙනෙක් එකතු වෙලා කරපු දෙයක් කියලා නේද?”

“ ඔවු සර්.. අපිට ඒ ගැන දැන ගන්නනම් ඉස්සෙල්ලම හෝටල් සේවකයා හොයා ගන්න වෙනවා.. අපිට ඔහු ගැන විස්තර ලැබෙනවත් එක්කම ඔහුත් එකපාරම අතුරුදහන් වෙන එක මේ ප්‍රශ්ණේ තවත් අභිරහසක් කරනවා.. අපිට මේ හැම දේටම කලින් ඔහුව හොයා ගන්න වෙනවා..”

“ ග්ලෙන්, අනිත් හැම කේස් එකකටම වැඩිය මේක ග්ලෙන්ගේ පෞද්ගලික ජීවිතේට හුඟාක් සම්බන්දයි කියලා ඉක්මන් වෙලා තීරණ ගන්න යන්න එපා.. අපි හිතන කෙනා වැරදි කාරයා නොවෙන්නත් පුළුවන්..”

“ තේරුණා සර්..”

කාටත් වඩා අපරාධකාරයා කවුරුන්දැයි සොයා ගැනීමේ වුවමනාව ඔහුට තදින්ම දැනුනේ ඇගේ නිසළ සිරුර දෙස මුලින්ම බලා හිදි මොහොතේය.. මුහුණ පුරා රැදුන තුවාල පැල්ලමුත් සිරුර පුරාවට රැදුන රුධිරයත් අමතක කරන්නට තරම් පුළුවන් කමක් ඔහු තුල නොවීය.. නිතර හිත ලඟ හොල්මන් කරන ඇගේ රුව අමතක කරන්නට පුළුවන් කමක් ඔහු තුල නොවීය..

......................................

“ කියපං උඹ එක්ක වෙන කවුද හිටියේ?”

නිහැඬියාවට මොහොතක්වත් අකමැති වුන වේගයෙන් මේසය මතට තල්ලු කල මා හට එල්ල කල පහර කීපය නොදැනෙන තරමටම ගත රිදුම් අතර වේදනා දෙන්නට විය.. ඔහුගේ ශක්තියෙන්ම මේසය මත දිගා කරන තුරුම හිදි මට ඊළගට කුමක් සිදුවේදැයි යන්න ගැන කිසිදු අවබෝදයක් නොවීය... මේසයේ කෙලවර යකඩින් සාදා තිබුන ගාන්චු අතර නැවත සිරවුන අත් පා මා ඔහුටම නතුවුන බව පමනක් මට හැගවීය..

“ ඉතිං කියපං උඹ එක්ක එවෙලේ වෙන කවුද හිටියේ?”

“ මට වතුර ටිකක්..”

බොහෝ වේලාවක් පුරා රැදුන අපහසුව අතරින් යාන්තමින් වචන ඇමිණුවේ ඔහුගේ උවමනාව හමුවේ කතා කරන්නටවත් සවියක් වුවමනා වූ නිසාවෙනි.. කිසිදු හැගීමකින් තොරව මා දෙසම බලා හිදි ඔහු කාමරයේ පසෙක වූ අඳුර අතරේ මොහොතකට නොපෙනී යන තුරු බලා හිදි මම දිගු හුස්මක්ද සමඟින් දෑස පියා ගත්තාටත් වඩා දැනුන වෙහෙසටම ඉබේටම දෑස මටත් නොදැනිම පියවුනි.. මුහුණට වැටුන වතුර පොදින් දෑස් යලි විවර වෙන තුරුම කොතරම් වේලාවක් අසිහියෙන් සිටියාද යන්න  මටත් වඩා ඔහු දන්නවා විය යුතුය.. ගෙවුන හෝරා දෙක තුනටම මොහොතකටවත් වෙනස් නොවුන ඔහුගේ රෞද්‍ර පෙනුම හිතේ තදින් ලියවුන පලිගැනිමේ ආශාව හොදින්ම කියා පෑවේය..

යාන්තමින් දෙතොල් තෙමෙන්නට පමණ ලැබුන වතුර පොද ගතේ වෙහෙසටවත් පිපාසයටවත් ප්‍රමාණවත් නොවුනත් ඔහුගේ ඊළග ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නට තරම් සෑහෙන බව ඔහු සිතන්නට ඇත.. යාන්තමින්වත් සෙලවෙන්නට නොහැකි තරමට මේසය මත වූ යදම් වල සිර වුන මා ලගට අසල තිබූ පුටුවක්ද ගෙන මා අසලටම විත් හිද ගත්තේ ඉතිරි හැම දෙයක්ම දැන ගැනීමේ අරමුණිනි..

“ මමයි මගේ යාළුවයි ඇයව මෙහෙට ගෙනෙද්දි එයාට සිහිය තිබුනේ නෑ.. මගේ යාළුවට වඩා මම හිටියේ බීමතින්.. මගේ යාළුවට ඕන වුනා ඇයට ආයෙම සිහිය එනකන් තව ටිකක් බොන්න.. මාත් ඒකට කැමති වුනා.. ඇයත් මමත් කාමරේ තනිකරලා ගිය ඔහු ආයෙම ආවේ තව ඔහුගේ යාළුවෝ තුන් දෙනක් එක්ක.. ඒ එක්කම අපි හැමෝටම ඇති වෙන්න බොන්නත් ගෙනත් තිබුනා.. ටික වෙලාවකින් ඇයට සිහිය එද්දි අපි හැමෝම හිටියේ හොද සිහියෙන් නෙමෙයි.. හැමෝටම ඇයව ඕන වුනා.. ඈය ගැන ආශාවක් ඇති වුනා..”

“ ඇති.. නවත්ත ගනින් ඕක..”

කේන්තියෙන් රත් පැහැ වුන දෑස් තුලට එබෙන්නට තරම් ශක්තියක් මා සිත තුල නොවූයෙන් ඔහුගෙන් වෙනතකට දෑස් ගන්නට උත්සාහ කලත් මුහුණ ඔහු දෙසටම හරවාගෙන දිගු මේසය ලගම තිබූ උපකරණ අතරට දෑත ගෙන ගිය ඔහු කෙලවර තදින් උල් වූ අඩුවක් අතට ගත්තේ ගැහෙමින් තිබු මසිත තවත් වේගවත් කරමිනි.. ඔහුගේ අරමුණ කුමක් වුවත් තවත් වේදනාකාරි හැගීමකට මුහුණ දෙන්නට මම ඔහු දෙසම හොදින්  බලා සිටියෙමි..

මුහුණේ රැදුන තේරුම් ගන්නට නොහැකි සිනහව දකින්නට උත්සාහ නොකල මම වාඩිවී වුන් පුටුවෙන් නැගිටුන ඔහු ගමන් කරන දෙස බලා සිටියේ ඔහුගේ හැසිරීම තේරුම් ගන්නටය.. මා ගැට ගසා වුන් මේසය පහලට ආ ඔහු මා දෙස බලා සිනාසුනේ ගොඳුරක් තමන් නතු කර ගත් ලේ පිපාසිතයෙකු විලසිනි..

“ උඹත් එක්ක හිටපු උන්ගේ නම් කියපං..”

“ මම දන්නේ මාත් එක්ක වාහනේ ආව කෙනාගේ නම විතරයි.. අනික් අය මම දැක්කෙත් එවෙලේ..”

මගේ මුවින් පිටවුනේ සත්‍ය වුවද එය පිළිගන්නට පුළුවන් මානසිකත්වයක් ඔහු තුල වූ බවක් පෙනෙන්නට නොවීය.. විලංඟු වලට සිර වුන දෙපා ලග නැවතුන ඔහු පා ඇඟිලි අතර ඔහු අතැති වූ අඬුව ලං කරත්ම හිත පුරා ඇදී ගිය හිරිවැටුම මීළග මොහොතේ සිදුවන්නට යන දේ ගැන ඉඟියක් ගෙනාවේ මා අතින් වුන වරද සිහියට නංවමිනි..

“ උඹලා කරපු දේට උඹලගේ විදිහටම දඬුවම් ලැබෙන්න ඕන..”

…......................................

උදෑසන තම කාර්‍යාල කාමරය මත තවමත් ඇල්වෙමින් තිබුන කෝපි කෝප්පය දෙස බලා වුන් ග්ලෙන් පසෙකින් වූ ජෙනිෆර්ගේ මරණය ගැන වූ වාර්ථාවේ පිටු ඒ මේ අත පෙරළමින් සිටියේ දිනපතාම වුවමනාවෙන් කියවූ එහි තවත් සොයාගන්නට හෝඩුවාවක් නොවූ බැවිනි.. ලෙයින් නැහැවුන ඇගේ ඇගේ මුහුණ දෙස බලා හිදිත්ම නැඟුන කඳුළ ඔහුට හැමදාකම මෙන්ම සඟවාගන්නට නොහැකි විය..

“ ග්ලෙන්, හෝටල් සේවකයව මරලා දාලා කියලා මේ දැන් පණිවිඬයක් ආවා..”

ඔහුගේ මුහුණෙහි රැදුන බලාපොරොත්තු කඩ වුන හැගීම තේරුම් ගන්නට සමත් කිසිවෙකු ඒ මොහොතේ එතැන නොසිටි තරම්ය.. හැමදෙයක්ම විසදාගන්නට අවසානයේ ඉතිරි වුන එකම බලාපොරොත්තුවත් ගිලිහෙද්දි වාර්ථාවක පිටු අතරට පමණක් හැම දෙයක්ම සීමා කරන්නට වීම ඔහුගේ හිතට පිළිගත නොහැක්කක් විය..

හෝටලය අසළ ජීප් රිය නවතින තුරුම නිමාවක් නැති සිතුවිලි ගොන්නක පැටලී වුන් ඔහුට ඇය ගැන වූ මතකය නිරන්තරයෙන් සිහි වෙන්නට වූයේ ඇයට සාධාරණයක් ඉටු කරන්නට නොහැකී වූවායැයි යන සිතුවිල්ල ඔහුට වද දුන් නිසාවෙන්ය..

“ ග්ලෙන්, මට යමක් කියන්න තියෙනවා.. ඔහුගේ මරණය වෙලා තියෙන්නෙත් ජෙනිෆර්ගේ මරණය සිද්දවුන 13 කාමරේමයි..”

සිතුවිළි වලින් මිදි ඔහුව පියවි ලෝකයට ගේන්නට ඒ වචන ටික සමත් විය..හෝටලේ පියගැට පෙල නගින අතර වාරයේ මාස ගණනකට පෙරාතුව ඇගේ නිසළ සිරුර හමුවූ අයුරු ඔහුට සිහියට නැගෙන්නට විය.. අදුරු වී ගිය කාමරය පුරාවට තවමත් ඇගේ සුවද ඉදහිට හමා ආවේ ඔහුගේ සිත ඈය තදින්ම බැදි තිබුන හෙයිනි..

ගලාගිය රුධිරයෙන් තෙත් වුන මේසය මත තවමත් යදමින් බැද තිබුන ඔහුගේ සිරුර  දෙස එක වරෙම බලන්නට පුළුවන් කමක් නොවීය.. අත් පා වල ඇඟිලි වලින් වෙන් කල නියපොතු වලින් තවමත් රුධිරය ගලා එමින් තිබුනේය.. මුහුණ පුරා වූ තුවාළ කැළැල් වලින් අවසාන මොහොත වන තුරුම ඔහු විදි වේදනාව හොදින්ම කියා පෑවේය.. සෑම සිතුවිල්ලක් අතරේම ඔහුගේ සිතට සියුම් සතුටක් ගලා ආවේ ඇතැම් විට නීතියෙන් ඔහුට ලැබෙන්නට පමා වෙන්නට තිබුන දඬුවම කෙසේ හෝ ඔහුට ලැබී තිබුනායයි හැගීමෙනි..

“ ග්ලෙන්, අපි හිතුවට වැඩිය හැම දෙයක්ම සංකීර්ණයි දැන්නම්.. ජෙනිෆර්ගේ මරණය ගැන හොයන්න තිබුන අන්තිම අවස්ථාවත් නැති උනා..”

“ ඔවු සර්.. ඒත් උන් කරපු වරදට උන්ගේ විදිහටම දඬුවම් ලැබුනා.. අනිත් අයටත් එහෙමම වේවි..”

නිසොල්මන් සෑම දෙයක්ම තනිකර කාමරෙන් එළියට ආ ඔහු දිගු හුස්මක් පිට කලේය.. ඒ, කෙසේ හෝ අවසානයේ ඇයට සාධාරාණයක් ඉටු උනි යැයි ඔහුගේ සිතට දැනෙන්නට වූ නිසාවෙන්ය.. 



  
නිමි..

විශේයි : ටිකක් වෙනස් විදිහේ තේමාවකට ලියන්න හිතුනා.. සමහර විට මේක තේරුම් ගන්න අමාරුයි වගේ හැගීමක් කියවලා එන්නත් ඉඩ තියෙනවා.. වර්ණය මෙච්චර කල් ලියවුන රාමුවෙන් ඉස්සරහට එළියට යාවි.. මේ ඒකේ පළවෙනි පියවර නිසා හොද හෝ නරක අවංකම අදහස අදනම් මම හුඟාක් බලාපොරොත්තු වෙනවා.. පෝස්ට් එට අදාමෙන්ට් විරක් පබ්ලිශ් මි..

Tuesday, 9 April 2013

ඉතින් එනු මැන වසන්තය හනිකට




සීතලයි තවම අප්‍රේල් ආවට
හිත හොයන උණුසුම කෝ තව
කම්මැලි කම ඈතක පාවෙන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

ඝණ කබාය වීසි කර පැත්තකට
සැහැල්ලුවෙන් ඔහේ ඇවිද යන්න
හිරු කිරණෙ රශ්මිය හොදින් විද ගන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

පාවෙලා යන සුළං රැල්ලක
මිහිර විදගෙන සිත් සුව විදින්න
කැමරාව අරගෙන නිදහසේ ඇවිදින්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

පිපුන් මල් වල සුවද විදගෙන
ඒ මල් ඵල දරන තුරා හිද
ෆාමසියේ දොඬම් ගහ ආයෙම වනසන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

පාවෙලා ගිය කහ මල් ගවුමෙ හැඩ
ආයෙම හොරැහින් බලන් ඉන්න
ඒ පුරුදු අකීකරු හුළග අරගෙන
ඉතින් එනු මැන වසන්තය හනිකට..

සුන්දරම සෙනසුරාදාවේ රස්තියාදු වෙන්න
රුවැති යුවතියන්ගේ හැඩ බලාගෙන
පොල දිගේ වෙනද වගේම ඇවිදින්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

උණුසුම් වෙලා දහඩිය නැහැ වෙන්න
සිසිල් දිය පොද හොයා දිව යන්න
නිරුවත්වෙරළ ලග මොහොතක් නතර වෙන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

ලග එන උපන්දින වලට
ගිහින් පැත්තක හිද අසිරි විද ගන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

මේ පාර මම නෑ වසන්තයේ මැද
යන්න ඕන මඟ බලන දෑස දැක ගන්න
ඊට කලින්යෙන් සුට්ටක් විනෝද වෙන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

තහනම් වේවි හරි ඉක්මනට මේ හැම
වෙනදා වගේ බැරි වේවි තනියම පිස්සු නටන්න
අවසන් වසන්තයයි මේ තනිකඩව ගෙවෙන
ඉතින් එනු මැන වසන්තය හනිකට..




විශේයි : බැනුම් නොඅහා ඉන්හිතාගෙවිශේයි දාලා චාටුවක් දාන්හිටිමෙලෝ දෙයක් ඔළුට එන්නේ නෑ.. ඔන්න ඔහේ එක්කෝ බැනුම්ම අවා.. 

Thursday, 4 April 2013

මේ දවස් වල මොකද වෙන්නේ?

මේ දවස් වල මොකද වෙන්නේ? හෆ්ෆා ඒකනම් සෑහෙන්න ප්‍රශ්ණයක්.. මේ දවස් වල එක එක එවුවා වෙනවා.. වැඩට යනවා.. ගෙදර එනවා.. ලවු කරනවා.. කනවා බොනවා.. ඔය හැම දෙයක්ම වෙනවා.. හැබැයි එක දෙයක් ඇරෙන්න.. ඒ මොකද්ද? මේ බ්ලොග් ලිවිල්ල.. මේ ලිවිල්ල නතර වෙනකන් බලන් කීප දෙනක් හිටියට අනිත් නිතර දෙවෙලේ එන යන අයට කියන්න ඕනනේ දැන් මොකෝ වැඩිය ලිය වෙන්නේ නැත්තේ කියලා.. නැත්නම් ඉතින් වෙනදට වර්ණයේ සතියට ලිපි තුනක් වැටෙනවාමනේ..

ඇත්තටම මොකෝ ලියන්නේ නැත්තේ.. වෙලාව නැතුවද?

අපෝ නෑ.. වෙලාව ඕන තරම් තියෙනවා..

එහෙනම් මොකද?

මෙකයි කාරණාව.. දැන් බුකියේ රස්තියාදු වෙන කාලේ වෙනදට වැඩිය සෑහෙන වැඩි වෙලා.. දැන් ඉතින් හිතයි කට්ටිය එක්ක චැට් කියලා.. මොන චැට්ද.. අපි මේ ගේම් ගහනවා.. ඉඩ ලැබුන ගමන් දුවලා යන්නේ ගේම් ගහන්න.. ඉස්සර බුකියේ ගේම් ගැහිල්ල තරම් එපා උන එකක් මට තිබ්බේම නෑ.. ඔය ඉදලා හිටලා පූල් ගේම් එකක් ගැහුවට වෙනනම් බුකියේ ගේම් නොගැහුව තරම්.. ඔය බාර්න්බඩී, ෆාර්ම්විල් එහෙම මට පෙන්නන්න බෑ.. ඒකට හරි යන්න දැන් ගේම් දෙකක පදිංචි වෙලාම වගේ ඉන්නේ.. එතකොට දැන් මොනවද ගහන්නේ?



මේක තමයි එකක්.. මේකනම් සිරාවටම ගති.. Criminal Case.. මම කොමත් මේ රහස් පරීක්ෂක සබ්ජට් එකට ඒ කාලේ ඉදන්ම කැමති.. කියෙවුවෙත් ශර්ලොක් හෝම්ස්, අගාතා ක්‍රිස්ටීන්ගේ පොත්.. බැළුවෙත් ඒ වගේම ෆිල්ම්.. ඒ හන්දමද මන්දා දැන් වැඩියෙන් ලියන්න ආසත් මගේ එරිකෝ හන්ටර් එක.. හරි හරි.. මං ගැන කිවුවා ඇති.. ගේම් එක ගැන කියන්නනේ ආවේ..

මේකෙදි අපිට Grimsboroughහි පොලිස් නිලාදාරියෙක් විදිහට තමයි කටයුතු කරන්න වෙන්නේ.. අපරාදයක් පස්සේ යද්දී අපිට නිතරම සහයට එන්නේ ජෝන්ස්.. ඊට පස්සේ අපි හොයන් එන තොරතුරු සමීක්ෂණය කරන්න අපේ කණ්ඩායමේ තව කීප දෙනෙක්ම ඉන්න.. මේ කට්ටියගේ උදවුවෙන් තමයි මේ ගේම් එක ගහන්න වෙන්නේ.. මේක ෆේස්බුක් ඇප්ලිකේෂන් එකක් උනාට හොද පරිඝණක ක්‍රීඩාවක තියෙන හැම හොද ගුණාංගයක්ම තියෙනවා කියලා කියන්න පුළුවන්.. මම ඉතින් ඉස්සර වරු ගනන් ගේම් ගහපු මනුස්සයනේ..

හැබැයි කොයි දේ කොහොම උනත් මේකේ පොඩි අවුකලට තියෙන්නේ අපේ එනර්ජි බාර් එක ඉක්මනට ඉවර වෙන එක.. එක එක clue හොයන් යන්න අනිවාර්‍යෙන්ම ස්ටාර්ස් ඕන.. මේ ස්ටාර්ස් හොයා ගන්නනම් එනර්ජි ඕන.. ඔන්න ඕක තමා තියෙන අවුල.. එනර්ජි බාර් එක සම්පූර්ණ පිරුනම තියෙන්නෙත් එනර්ජි 110යි.. එක clue එකක් හොයන් යන්න එනර්ජි 20ක් ඕන.. ඉතින් හිතන්න පුළුවන්නේ.. ඊට පස්සේ ඉතින් එනර්ජි බාර් එක පිරෙනකන් ඉන්න ඕන.. හැබැයි ඉතින් අපි ඉක්මනට Level පාස් කරන් යනවනම් එනර්ජිත් ඉක්මනට පිරෙනවා.. හැබැයි ඒක හිතන තරම් ලේසි වැඩකුත් නෙමෙයි.. 




මදාරා මටත් මේක හොයලා දිලා ගේම් එක ගහන්න ගනිද්දි මගේ බුකියේ යාළුවෝ කවුරුවත් නෑ මේක ගහන්න.. අහ් නෑ හිටියා.. අපේ මානවකයයි මකුළු පැංචි හිටියා.. මදාරයි මකුළු පැංචි තමයි මම ගේම් එකක් ගහන්න ගනිද්දි Clue හොයලා වැඩිම ළකුණු අරන් Gold Crown එක අරන් හිටියේ.. හැබැයි ඉතින් දැන් එයාලට ඒක නැති එක වෙනම කතාවක්.. ඊට පස්සේ සෙට් උනේ අපේ ගිම්න් නිවන්නා අයියා.. ගිමන් අයියා නම් දොස්තර කම පැත්තක දාලා මේකම ගහනවද කොහේද.. සෑහෙන ඉක්මනට 3 අපරාධය වෙනකම්ම ඇවිත්.. සතුටුයි ඈ.. ඊට පස්සේ ඕකට මේ ලගදිම අල්ල ගත්තේ අපේ නලිනි චන්දිමා අක්කව.. එයාට ඇන්ග්‍රීබර්ඩ් ගහන්න බෑ කියද්දි මම ලින්ක් එක දීලා එයාවත් මේකට පොළඹවා ගත්තා..

මේක කොච්චර දිගද නම් දන්නේ නෑ.. මට පේන්න තියෙන හැටියට Level 80කුත් අපරාධ 19කුත් තියෙනවා විසදන්න.. ලේසි නෑ වගේ.. අපි දෙන්නම ඉන්නේ තාම 3 වෙනි කේස් එකේ.. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේනම් ඉස්සරහම ඉන්නේ මකුළු පැංචි.. එයා 6 වෙනි කේස් එක දැන් හැන්ඩ්ල් කරන්නේ.. කෝම උනත් ගේම් එකනම් මරු.. වෙලාව යනවා දැනෙන්නේ නෑ.. අර එනර්ජි කේස් එක නැත්නම් තවත් ශෝක්..

ඊට පස්සේ ගහන්නේ මෙන්න මේක.. ඒ තමයි Royal Story.. මේකත් නිකන් Tangled ෆිල්ම් එක වගේ තමයි.. කෙල්ලයි කොල්ලයි ඒ වගේ.. හැබැයි මේකනම් ටිකක් අර බාර්න්බඩී, ෆාර්ම්විල් වගේ තමයි.. වගා කරන්න, සත්තු ඇති කරන්න ගෙවල් හද්දන්න, පාන් පෝරණු දාන්න එක එක වැඩ කෝටියයි.. පැත්තක පීන පීන ඉන්න ඉබ්බෙකුයි, අගුටු මිට්ටෙකුයි, නාකි මන්තර කාරයෙක් වගේ මිනිහෙකුයි එක එක ඒවා කරන්නයි කියලා ඕඩර්ස් දෙනවා.. ඒවා කම්ප්ලීට් කරන්න තමා තියෙන්නේ.. කලින් කිවුව ගේම් එකේ එනර්ජි ඉවර උනාම මේකට පනිනවා.. හැබැයි මේකෙත් ඒ ටිකම තමා.. 



හැබැයි කලින් ගේම් එකේ වගේ මේකේ බුකියේ අපි දන්න කවුරුවත්ම සෙල්ලම් කරන්නේ නෑ.. හෙහ්.. ඉන්නේ අපි දෙන්න විතරයි.. හැබැයි ඒකේ අවුලක් නෑ.. පොඩි අප්සට් එකකට තියෙන්නේ මේකේ නම් අනිවාර්‍යෙන් අනික් යාළුවන්ගෙන් උදවු ඉල්ලනන් වෙලා තියෙන එක.. ඒක ඉතින් ගේම් එකේම එක කොටසක් තමා.. හැබැයි එක යාළුවෙක්ගෙන් දවසට එක පාරලු උදවු ඉල්ලන්න පුළුවන්.. ඕකේ ඉන්නවා පොඩි වහු පැටියෙක්.. ඌ ලොකු වෙන්න තුන් පාරක් කිරි පොවන්න ඕන.. ඒකත් යාළුවන්ගෙන් ඉල්ලගෙන.. ඉතින් අපි දෙන්නා විතරක් ඉන්න ගේම් එකේ අපි අපෙන්ම උදවු ඉල්ලන් ඒකා ලොකු කරන්න දවස් තුනක් ගියේ නෑලු ඉතින්..

ඔන්න ඔහොමයි සිද්ද වෙන්නේ.. දැන් නිදහසක් ලැබුන ගමන් දුවන්නේ ඒකට.. හැබැයි ඒ කොම උනත් බ්ලොග් කියවීමවත් ලිවීමවත් අත ඇරලා නෑ.. කියවීමනම් ඉතින් කට්ටියගේ පෝස්‍ට් දවසක් විතර පහු වෙලාලු කියවන්නේ.. ඒත් ඉතින් කියවනවනේ අමතක නොකර.. එහෙම හොදයිනේ නේ.. ඔය කිවුව දෙකේම එනර්ජි නැති උනාම තමා බ්ලොග් මතක් වෙන්නේ.. ඉතින් ඒ වෙලාවට එක්කො ලියනවා නැත්නම් කියවනවා.. එහේ මෙහේ පැන පැන එරිකෝ හන්ටර් - The Flaying Man එකයි වාදකයා කෙටි කතාවයිත් ලියනවලු.. ඒවා හෙමීට දෙන්නම් හොදේ.. දැන් බිසී නේ සෑහෙන්න.. අහ් අහරේ එනර්ජි පිරිලා ඇති.. මම ගියා එහෙනම්..

හා හා.. දැන් ඉතින් කාට්ටිය කියන්න එපා මුං පොඩි උන් වගේ සෙල්ලම කියලා.. අර මාරයාට බුකියේ පදිංචි වෙලා ඇන්ග්‍රීබ්‍ර්ඩ් ගහන්න පුළුවන්නම් අපි මේවා ගැහුවම මොකෝ වෙන්නේ.. ;-)