Monday, 25 March 2013

එරිකෝ හන්ටර් - Psycho Photographer 4

දිගු පුටුව මත හිදගෙන සිම්රන් ගෙනවිත් දුන් ලියුම් කවරය දෙස බලා උන් එරිකෝ කිසිවක් කියා ගන්නට නොහැකිව ඈ දෙස මොහොතක් බලාගෙන සිටියේය... ඈ හමු වුන කෙටි කලෙට කෙදිනකවත් ඈ තුලින් දැක නොතිබුන පරාජී හැගීමක් ඇගෙන් දැක ගනන්නට වීම එරිකෝගේ හිතට වේදනාවක් ගෙන දෙන්නක් විය.. අතට ගත් ලියුම් කවරය විවර නොකරම පසෙකින් තැබූ එරිකෝ ගිණි උදුන සමීපයේ උන් ඈ අසලට විත් නැවතුනේ කවදාවත් නැති නිහැඬියාවක් ඈ තුල රැදී තිබුන නිසාවෙනි..



හැමදෙයක්ම ඉක්මනට විසදමු සිම්රන්..”



ඔවු එරිකෝ..”



බලාපොරොත්තු නොවුන සිදුවීම් පෙලක් ඈ වටා සිදුවෙමින් තිබියදී ඈ මොහොතකට අහම්බෙන් මෙන් ගමන් කරන්නට ඇරඹි මාවත ගැන නොසතුටක් සිතුනමුත් එය එරිකෝට පෙනෙන්නට නොදී සඟවා ගන්නට තරම් ඈ ශක්තිමත් වූවාය..



ඔයාට කියන්න විස්තර හුඟාක් තියෙනවා..”



ඒ මොනවද?”



ඈ ලගම වූ අසුනක හිදගත් එරිකෝ උදෑසන සිට සිදුවූ මෙන්ම ඔහු දුටු සෑම දෙයක්ම එකින් එක ඈට විස්තර කරන්නට විය.. විසදන්නට ආ අපරාද පරීක්ෂණය දැන් තමන්ගේම එකක් සේ දැනෙද්දී ඈ හැම දෙයක්ම හොද අවදානයකින් අසාගෙන සිටියාය..



එතකොට ඔයා කියන විදිහට එවෙලේ මිසිස් කැති ලග තිබුනෙත් මේ වගේම ලියුම් කවරයක්..”



ඔවු.. ඒත්, සිම්රන්ට මේ ලියුම ලැබුනා කියන වෙලාවත් එක්ක මේක මිසිස් කැතී ලග තිබුන එකම කියලා අපිට හිතන්න බැරි වෙනවා..”



ඒක එයාගේ පිටපතක් වෙන්න බැරිද?”



පුළුවන්.. ඒත් ඒ වගේ දෙයක් ලග තියාගෙන කිසිම කෙනෙක් එහෙම නිදහසේ හැසිරෙන්නේ නෑ.. ඒත් මම මිසිස් කැතීව දැක්ක විදිහටනම් එහෙම දෙයක් ගැන දැනගෙන හිටිය බවක් තේරුණේ නෑ..”



අපි ඊළගට මොකද කරන්නේ?”



අපි මිසිස් කැතී ගැනයි හැරල් ගැනයි තව ටිකක් අවදානයෙන් ඉමු.. අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් මේක අවසන් කරන්න බැරි වෙයි සිම්රන්..”



වෙනදා නිතරම දකින්නට තිබුන සිනාමුසු මුහුණ ඇගෙන් තරමක් ඈත්ව තිබුනත් එරිකෝට එය පෙනෙන්නට ඉඩ නොතබාම ඈ ඇගේ චායාරූප හා ලැබුන ලිපිය කීපවරක්ම කියවන්නට වූයේ කුමක් හෝ හෝඩුවාවක් ලැබේවියි අරමුනිණි.. සිම්රන්ගේ හුදෙකලාවට ඉඩ දුන් එරිකෝ ගෙවත්තට වී තම සිතුවිළි අතරම තනි වුනේ ඉක්මනින්ම හැම දෙයක්ම විසදා දැමිය යුතු වූ හෙයිනි..



හැරල් වෙතත් කැතී මහත්මිය වෙතත් ඔවුන් ගැන සැක කරන්නට තරම් හේතු උන කරුණු දිගේ එරිකෝගේ හිත තනිවම දුවන්නට විය.. එකිනෙක හා බැදුන යදම් පුරුක් දිගේ හැම දෙයක්ම හිතින් ගලපාගෙන ආමුත් එක් අඩුවක් හැම වෙලාවකම එරිකෝගේ හිතට දැනෙන්නට විය.. ඒ කවුරුන් විය හැකිදැයි නිතරම එරිකෝ ඔහුගේ හිතින්ම ඇසුවත් සැකය හැර වෙන කිසිවක් ඔහුගේ හිත තුල ඉතිරි නොවීය..



…..........................................



දින කීපයක් යන තුරුම පැවති නිහඬතාව එරිකෝගේත් සිම්රන්ගේත් හිත් වල නොසන්සුන් බව බොහෝ සෙයින් වැඩි කලේය.. චායාරූප හා ලැබුන ලිපියට අමතරව වෙනත් කිසිම යමක් ගෙවුන දින කීපයේම නොලැබීම එරිකෝගේ හිතට තවත් කුතුහලයක් විය.. හැරල් හා බැදි මිතුදම ගෙවුන දින වල වැඩි කරගන්නට සමත් වුන එරිකෝට තමන් සිතූ තරම් කැතී මහත්මිය හා සුහද වන්නට නොලැබීම කනස්සලට හේතුවක් විය..



සැදෑවට ලං වෙමින් තිබූ මොහොතක නිවස ඉදිරියේ වූ මාවත දිගේ සිතුවිළි අතරේ තනිවෙමින් ඇවිදන් ආ එරිකෝට කැතී මහත්මියව ඇගේ නිවස ඉදිරියේදි මුණ ගැහුනේ අහම්බෙන් මෙනි..



සුභ සන්ද්‍යාවක් මිස්ටර් රිචර්ඩ්..”



අහ් මිසිස් කැතී.. සුභ සන්ද්‍යාවක්.. මම එක පාරම දැක්කේ නෑ..”



මට හිතුනා.. කොහොමත් මිස්ටර් රිචර්ඩ් ආපු දවස් වලට වඩා වෙනස්.. ඔය ගෙදරට ආව හැමෝටම වගේ මිස්ටර් රිචර්ඩ්ටත් ටික දවසකින් සතුට නැති වෙලා ගිහින් වගේ..”



මොහොතකින් එරිකෝගේ හිතේ හොල්මන් කල සිතුවිලි පහව යන්නට තරම් ඇගේ කතාව ප්‍රමාණවත් විය.. එරිකෝ ඈ දෙස බැළුවේ ඈ කී කිසිවක් තේරුම් ගැනීමට නොහැකි පරිද්දෙනි..



ඇයි මිසිස් කැතී එහෙම කිවුවේ..”



නෑ මිස්ටර් රිචර්ඩ්, කාලයක් තිස්සේ ඔය ගෙදරට නවතින්න එන හුඟාක් අයව මම දැකලා තියෙනවා.. ඒ එන කවුරුවත් වැඩි කාලයක් රැදෙන්නේ නෑ.. හුඟක් වෙලාවට එන අය ආයෙම මෙහෙන් ඉක්මනට යන්න යන්නේ එයාලගේ සම්බන්දකමුත් අත ඇරලම..”



එහෙම වෙන්න මොකක් හරි ලොකු හේතුවක් තියෙනවද?”



ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ මිස්‍ටර් රිචර්ඩ්.. ඒත් ඔබලටත් ප්‍රශ්ණ ඇති වෙලා වෙන් වෙන්න කලින් මෙහෙන් ගියොත් හොදයි කියලා මට හිතෙනවා..ඔය ගෙයි යක්ෂයෙක් ජීවත් වෙනවා..”



යක්ෂයෙක්.. මම ඒ දේවල් විශ්වාස කරන්නේ නෑ මිසිස් කැතී..”



මිස්ටර් රිචර්ඩ් ඉක්මනටම මම කියන දේ විශ්වාස කරාවි..”



වැඩි කතා බහකට එරිකෝ හා නොරැදුන කැතී මහත්මිය මාවත දිගේ ඇවිදන් යන දෙස එරිකෝ මදක් බලා සිටියේය.. යක්ෂයාගේ කතාව සම්පූර්ණයෙන්ම හිතින් බැහැර කලත් ඈ කී අනෙක් කාරණා ගැන නොසිතා ඉන්නට එරිකෝට නොහැකි විය.. පින්තූර හා සම්බණ්ද කුමක් හෝ දෙයක් ඈ දන්නවාදැයි කල්පනා කරමින් එරිකෝ නිවසට පැමිනෙද්දී ලෝරන්ස් මහත්මිය සිම්රන් සමග සිටිම බලාපොරොත්තු නොවූවක් වුවත් ඇගෙන් දැන ගන්නට බොහෝ දේ තිබුන නිසාම එය එරිකෝට පහසුවක් විය..



මිස්ටර් එරිකෝ.. තාම මේ දේ කරන්නේ කවුද කියන එක හොයා ගන්න බැරි උනාද?”



නැත්තෙමත් නෑ මිසිස් ලෝරන්ස්.. ඒත් තාම හරියටම ඒක ඔප්පු කර ගන්න බැරුව ඉන්නේ..”



කවුද මිස්ටර් එරිකො ඒ අපි හැමෝටම වදයක් උන මිනිහා?”



ඒක කියන්න දැන්ම ඉක්මන් වැඩියි මිසිස් ලෝරන්ස්.. මට ඊට කලින් දැන ගන්න දෙයක් තියෙනවා..”



අහන්න මිස්ටර් එරිකෝ..”



බිත්තියේ වූ ඔරලෝසුව දෙසත් සිම්රන් දෙසත් මොහොතක් බැලූ ඈ ඊට එකග වූවත් ඇය ඊට අකමැති බව මුහුණින් හොදටම පෙනෙන්නට විය..



මෙහේ කලින් නැවතිලා හිටිය අයට ඇරෙන්න වෙන කාටද මේ ප්‍රශ්ණෙම තිබුනේ?”



මාත් එක්ක ගමේ ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්ණය තියෙනවා..”



ගමේ වෙන කාටද?”



මිස්ටර් හැරල්ට, මිසිස් වෝනර්ට, එතකොට මිස්ටර් ජෝර්ජ්ට.. ඔවුන් ටික දවසකට කලින් මෙහෙන් ගියෙත් මේ ප්‍රශ්ණේ නිසාමයි..”



මේ ගෙදර කුලියට ආව හැමෝටම මේ ප්‍රශ්ණය ආවද?”



දන්න තරමින් නෑ.. කලින් හිටිය අය නිසා මේක දැන ගන්නකම් මම හිතන් හිටියේ මට විතරයි මේ ප්‍රශ්ණේ තියෙන්නේ කියලා..”



මිසිස් ලෝරන්ස්ගේ අකමැත්තක් නැත්නම් අපිට ඒ පින්තූර බලන්න පුළුවන්ද?”



ඒකනම් කරන්න බැහැ මිස්‍ටර් එරිකෝ.. ඒක මගේ පෞද්ගලිකත්වයට ප්‍රශ්ණයක්..”



ඔබ අකමැති පෞද්ගලිකත්වය නිසාද එහෙමත් නැත්නම් ඇත්තටම එහෙම පින්තූර නැති නිසාද?”



ඈ මොහොතක් එරිකෝ දෙස බලා සිටියේ පුදුමයෙනි.. ඈ මෙන්ම සිම්රන්ද හදිසියේම එරිකෝ ඇසු දෙයින් පුදුම වූ බව හොදින්ම පෙනෙන්නට විය..



ඇයි මිස්ටර් එරිකෝ එහෙම කතාවක් කිවුවේ?”



මිසිස් ලොරන්ස් ඔබ පිළිගන්න කැමතිද ගමේ හුඟාක් අයට මේ ප්‍රශ්ණේ තියෙනවා කියලා ඔබ මුල ඉදන්ම අපිට බොරු කිවුව බව..”



ඈ කිසිවක් කියා ගත නොහැකිව දිගටම කල්පනා කරන්නට විය.. ඈ ඇගේ දෙනෙත් ඔහුගෙන් සගවා ගන්නට උත්සාහ කරන බව එරිකෝට හොදින්ම තේරුම් ගියේය..



මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ මිසිස් ලෝරන්ස්.. ඔබට තියා ගමේ වෙන කාටවත් මේ ප්‍රශ්ණය නෑ.. දිගටම මේ ගෙදර කුලියට ආව අයට විතරයි මේ ප්‍රශ්ණය තිබුනේ.. ඔබයි ඔවුන්ගේ පින්තූර අරන් ඔවුන්ව අපහසුතාවට පත් කරලා මුදල් ගත්තේ.. මම හරි නේද?”



නැහැ ඒක බොරුවක්..”



පැවතුන නිහැඬියාව බිදිමින් ඈ පිළිතුරු දුන්නේ ඉහළ හඬිනි.. ඒ ඇගේ කෝපය අතරිනි.. එරිකෝගේ ප්‍රශ්ණ වලින් ඈ කලබල වූ බව ඇගේ හැසිරීමෙන් තේරුම් ගන්නට ඔවුන්ට අපහසු නොවීය..



මේක කරන්නේ ඔබයි කියලා ගමේ කීප දෙනෙක් ඔබව සැක කලා.. ඔබ මෙච්චර දුර ඉදලා මාවම හොයාගෙන ආවේ මේකට වෙන කාව හරි අහු කරන්න ඔබේ හිතේ තිබුන යටි අරමූණ නිසා.. ඔබට ඕන උනේ මිසිස් කැතීව මේකට වැරදිකාරයා කරන්න.. මිසිස් කැතීගේ වෙනස් හැසිරීම එක්ක ඔබට ඒක කරන්න පහසු වෙයි කියලයි ඔබ හිතුවේ.. හැරල්ගෙන් කැමරා ගැන ඔබ ඉගෙන ගත්තෙත් ඒ නිසාමයි.. අනික මේ ගෙදරට කුළියට එන අයට ඇරෙන්න ඇතුළු වෙන්න ඉඩ තියෙන්නේ ඔබට විතරයි.. එදා සාදය දවසේ අපි හැමෝටම හොරෙන් මේ ගෙදරට ඇවිත් ආයෙම වතාවක් කැමරාවක් සවි කලෙත් ඔබමයි..”



නිරුත්තර වූ ඇය එරිකෝ දෙස බලා සිටිනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් පවසන්නට උත්සාහ නොකලේය.. හිදගෙන උන් පුටුවෙන් නැගිටුනු ඇය නිවසින් පිටව යන්නට සැරසෙද්දී එරිකෝ නැවතත් සිය හඬ අවදි කලේය..



මිසිස් ලෝරන්ස් දැන් මෙතනින් පිටවෙලා ගියත් මට ඔබයි මේ හැමදේම කලේ කියලා සාක්ෂි ඇතුව නීතිය ඉදිරියේ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.. ඒ නිසා ඔබම මේ හැම දෙයක් ගැනම අපිට හරියට විස්තර කරනවනම් හොදයි කියලා මම හිතනවා..”



නිවසේ ඉදිරිපස දොර ලගට විත් නැවතුන ඇය ඇගේ කේන්තිය මදක් මැඩගන්නට උත්සාහ කලාය.. නමුත් ඊට අපොහොසත් උන ඈ එරිකෝ දෙසට විත් කෑ ගසන්නට වූයේ ඇගේ සැබෑ ස්වරූපය ඉස්මතු කරමින්ය..



ඔවු, මම තමයි ඒ හැමදේම කලේ.. උඹලට බොරු කියලා මෙහේ ගෙන්න ගත්තෙත් මම..”



ඒ ඇයි?”



සල්ලි එරිකෝ සල්ලි.. මේ වගේ දේවල් වලට ඕන තරම් සල්ලි දෙන්න බලාගෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඒක මම දැන ගත්තේ හැරල්ගෙන්.. හැරල් පත්තර්ට ගත්ත පින්තූර වලට සල්ලි ඕනම ගානක් දීලා අර ගන්න ලෑස්ති පිට ඕන තරම් මිනිස්සු හැරල්ව හොයාගෙන ආවා..”



ඒ හන්දා ඔබ හැරල්ගෙනම් කැමරා ගැන ඉගෙන ගෙන ගෙදරට කුලියට එන අයගෙ පින්තුර අරන් ඔවුන්ගෙන් කප්පම් අරන් යැපෙන්න පටන් ගත්තා.. ඒ ඔබේ තිබුන ණය බර නිසා මම හරි නේද?”



ඔවු.. මගේ සැමියා ජීවතුන් අතර ඉද්දී ගත්ත ණය වලට අන්තිමේ හිර උනේ මම.. ඔහුගෙන් කියලා ලැබෙන්න ආදායමක් තිබුනේ නෑ.. ඉතින් මට මේක කරන්න සිද්ද උනා.. ඒත් එරිකොට මේ දේවල් ඔප්පු කරන්න සාක්ෂි නෑ කියලා මම දන්නවා.. එරිකොට බෑ මාව නිතිය ඉදිරියේ වරදකාරයෙක් කරන්න..”



හ්ම්ම්.. මිසිස් ලෝරන්ස් හරි.. මට තිබුනේ සැකයක් විතරයි.. ඔප්පු කරන්න සාක්ෂි මම මෙහේ හිටපු හැම දවසකම වගේ හෙවුවා.. ඒත් වාසනාවකට වගේ මට ටිකකට කලින් ඒ හැම දෙයක්ම හම්බුනා..”



නෑ වෙන්න බෑ.. මම කිසිම සක්ෂියක් ඉතුරු කලේ නෑ..”



ඇත්ත.. මේක ඇරෙන්න..”



ලෝරන්ස් මහත්මිය මවිත කරමින් එරිකෝ ඔහුගේ ජංගම දුරකතයේ සටහන් වූ ඇගේ හඬ පටය ඈටම අසන්නට දුන්නේ ඇගේ කේන්තියත් ආවේගයත් මොහොතින් ඈටම අමතක කරවමිනි.. බලාපොරොත්තු නොවුන අයුරින් ඈ අතින්ම ඇගේ අපරාධයන්හී සාක්ෂිකරුවකු වීම දරා ගත නොහැක්කක් වුවත් ඈට කරන්නට කිසිවක් ඉතිරි නොවිනි...



සිම්රන් ප්‍රාන්ත පොලීසියට කතා කරන්න.. අපරාධය ගැන එක්කම අපරාධකාරයා ගැනත් පොලීසිය දැනුවත් කරන්න තියෙනවා..”



කේන්තියත් ආවේගයත් පහව ගිය ඈ මළාණික වූ පෙනුමකින් ඔවුන් දෙස බලා සිටියදි සිම්රන් ප්‍රාන්ත පොලීසියට ඇමතුමක් ගෙන සියල්ල ඔවුන්ට පැහැදිළි කලාය..



මිසිස් ලෝර්න්ස් මට එක දෙයක් කියන්න.. ඇයි ඔබ අපිවම හොයාගෙන ආවේ?”



ටික වේලාවක් රැදුන නිහැඬියාව අතරින් සිහින් හඬකින් කතවා පටන් ගත් ඈ හැම දෙයක්ම පවසන තුරු එරිකෝත් සිම්රනුත් බලා සිටියේය...



කලින් මෙහේ කුලියට හිටිය අය ඇරෙන්න අනිත් හැමෝම මගේ තර්ජනයට බය උනා.. ඒත් කලින් හිටිය තරුණ යුවල මේ දේවල් එච්චරම ගනන් ගත්ත අය නෙමෙයි... ඒ නිසා මට ඔවුන්ගේ පින්තූර හැමෝටම දීලා ඔවුන්ව බය කරන්න උනා.. ඒත් හැරල් එක්ක මගේ තිබුන කිට්ටු සම්බණ්දය නිසා හැරල්ට ටිකක් විතර මේ දේවල් ගැන ඉව වැටුනා.. හැරල් කීප වතාවක්ම මගෙන් මේ ගැන ඇහුවා.. මම ඔහුටත් කිවුවේ ඔබලට කිවුවා වගේම මගෙත් පින්තූර එවාලා තියෙනවා කියලා.. ඒත් ඒක ඔහු ඒ තරම්ම විශ්වාස කරපු බවක් පේන්න තිබුනේ නෑ.. ඒ අතර තමයි මට ලන්ඩන් වල ඉන්න මගේ හිතවතෙක්ගෙන් ඔබ ගැන අහන්න ලැබුනේ.. මමම ඇවිත් ඔබට මේදේ කියලා ටික කාලෙකට හරි මේ ගැන හොයන්න කෙනෙක් මෙහේ නවත්ත ගන්න මට ඕන උනා.. ඒත් ඊට කලින් මම මගේ හැම සාක්ෂියක්ම හැංගුවා.. මේ ගෙදර තිබුන හැම කැමරාවක්ම අයින් කලා.. මම බලාපොරොත්තු උනේ මේ දේ කරන්නේ කවුද කියන එක ඔබලාට හොයා ගන්න අමාරු කරලා ඔබලාව යවා ගන්න.. ඒත් මම නොහිතපු විදිහට මිසිස් කැතී ගැන ඔබලා සැක කරන බව ඔබලගේ කතා බහ හොරෙන් අහන් ඉද්දී මට තේරුණා.. ඒක මට වාසියක් උනා.. ඉතින් ඇයව මේකට වරදකාරයා කරන්න හිතාගෙන ඊට පස්සේ මම සැළසුම් ඇන්දා..”



එදා සාදය ඔබට ඒකට වාසියක් උනා.. අපේ අවදානය අනික් අය ලග තියෙද්දි ඔබ එදා ඇවිත් සිම්රන්ගේ කාමරේ කැමරාවක් හොරෙන් සවි කලා..”



හ්ම්ම් ඔවු..”



ඒ වගේම මිසිස් කැතීගේ අතට අපිට එවුවා වගේම ලියුම් කවරයක් දුන්නා.. ඔබ ඒක කලේ ඇය ගෙදරින් පිටතට එන වෙලාවක් බලාගෙන ඉදලා.. මොකද ඔබ දැනන් හිටියා ඇය අසල්වැසි ගෙවල් ගැන අවදානෙන් ඉදලා ආයෙම ඇගේ ගෙදරට යද්දි ටිකක් කල් වේලා යන බව.. ඒ කාලය ඇතුලත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් ඇයව ඒ ලියුම් කවරය එක්ක දකියි කියලා ඔබ බලාපොරොත්තු උනා..”



ඔවු.. හැම දෙයක්ම මම බලාපොරොත්තු වුන විදිහටම උනා..”



ඒත් ඔබට ඒක වසන් කරන් ඉන්න බැරි උනා.. සිම්රන්ගේ පින්තූර නොගත්තනම් මේක තාමත් අභිරහසක් වෙන්න ඉඩ තිබුනා..”



ඔවුන්ගේ කතාව මොහොතකට නතර වූයේ ප්‍රාන්ත පොලීසියේ නිල ර‍ථයක් ගෙමිදුලේ නවත්වන හඩිනි.. ඉන් නික්මුන් පොලිස් නිලදාරින් එරිකෝ නැවතී හිදි නිවසට ආ පසු සිදුවූ හැම දෙයක්ම එකින් එක ඔවුන්ට පැහැදිළි කල එරිකෝ ඇගේ නිවස පරීක්ෂාකර බලන මෙන්ද ඉල්ලීය.. පොලිස් කාන්තාව ඈ පොලිස් නිල රථයට නංවා ගනිද්දී ගමේ හැමෝම ඈ දෙස බලාගෙන සිටියේ සිදුවන කිසිම දෙයක් ගැන හරි හැටි දැන නොසිටි හෙයිනි..



පොලිස් නිල රථ පිටව යන දෙස බලා හිදි එරිකෝ නිවසට විත් තම සුපුරුදු දිගු පුටුවෙහි හිද ගනිද්දි සිම්රන් ඔහු ලගට විත් හිද ගත්තේ ප්‍රශ්ණ බොහෝමයකට පිළිතුරු අපේක්ෂාවෙන් බව එරිකෝට තේරුම් ගියේය..



එරිකෝ, ඔයාට කොහොමද මිසිස් ලොරන්ස් ගැන සැක හිතුනේ?”



මම හිතුවා සිම්රන් ඒ ගැන අහයි කියලා.. ඇත්තටම මට මෙහේ ඇවිත් ටික දවසක් යනකම් මිසිස් ලෝරන්ස් ගැන කිසිම සැකයක් තිබුනේ නෑ... මම හිතුවේ ඇයත් මේ අපරාධය නිසා දුක් විදින කෙනෙක් කියලා.. ඒත් මිසිස් ලෝරන්ස් ගැන මට මුලින්ම සැක හිතුනේ සාදය දවසෙදි.. ගමේ කාටවත් මිසිස් ලෝරන්ස් කිවුව විදිහේ ප්‍රශ්ණයක් නෑ කියලා ඔවුන් එක්ක කතා කරද්දිම තේරුණා.. අනික මිසිස් ලෝරන්ස්ගෙන් සිම්රන් පින්තූර ගැන අහපු වෙලාවේ කලින් හිටිය අයගේ පින්තූර ඉක්මනට පෙන්නුවේ ඇයි කියන එක ගැන මට එවෙලෙම සැකයක් ආවා..”



ඒත් මිසිස් ලෝරන්ස්ට එහෙම කරන්න උවමනා වෙන හේතුවක් පේන්න තිබුනේ නෑනේ එරිකෝ..”



ඒක ඇත්ත සිම්රන්.. ඒත් ඇය කියපු කාරණාව ඇත්ත.. හැරල් කරන දේවල් එක්ක ඔහුට ලැබෙන මුදල් දැක්කම මිසිස් ලෝරන්ස්ට එහෙම හිතෙන්න ඇති.. අනික් දේ තමයි හැරල් ගැනත් මිසිස් ලෝරන්ස් කියපු දේවල් බොරු.. හැරල්ට කිසිම වන්දියක් ගෙවන්න වෙලා රස්සාවෙන් අයින් වෙන්න සිද්ද වෙලා නෑ..”



හ්ම්ම්.. එතකොට මිසිස් කැති?”



අහ්.. මිසිස් කැති ගැන හිතන්න දෙයක් නෑ සිම්රන්.. ගොඩක් වයසකය අයට ඔය නේබර්හුඩ් වොචර් වැඩේ හම්බුනාම ඔවුන් අනිත් අයගේ පෞද්ගලික දේවල් පවා හොයන්න පෙලබෙනවා... ඒකයි මිසිස් කැතීටත් උනේ?”



ඒත් එයාගේ අසාමාන්‍ය හැසිරීම, එතකොට එරිකොම දැක්ක විදිහට මිස්ටර් ජෝර්ජ්ගේ ගෙවත්තේ නිතරම ගැවසුන එක, එදා රෑ ජනේලෙන් මගේ කාමරය දිහා බලන් හිටිය එක?”



මිසිස් කැති මල් ගැන හුඟාක් උනන්දු කෙනෙක්.. ඕනම තැනකට යන්න අවසරය තියෙන හන්දා මිසිසි කැතී නිතරම කරන්නේ අනිත් අයගේ ගෙවතු වල තියෙන මල් ගැන උනන්දු වෙන එක.. කවුරුවත් නැති නම් ඒවා එයා අරන් එනවා.. ඒක ඉතින් ඒ තරම්ම දඬුවම් දෙන්න වරදක් නෙමෙයි.. ඒත් මිසිස් කැතිගේ ඒ හැසිරීම මිසිස් ලෝරන්ස්ට වාසියක් උනා.. මිසිස් කැති නිතරම අපේ ගේ හරියට ආවේත් ඒ හන්දම තමයි.. මම දැක්කා මේ ගෙදර පිටි පස්සට වෙන්න ගෝස්ට් ඕර්කිඩ් මල් තියෙනවා.. මිසිස් කැති ආවේ ඒකට.. ඒ මල් දුර්ලභයි..”



එතකොට මිසිස් ලෝරන්ස් ගත්ත මගේ පින්තූර වලට මොනවා වෙයිද?”



ඒ ගැන බය වෙන්න එපා සිම්රන්.. ඒවා ප්‍රසිද්ධ නොවෙන්න මම හැම දෙයක්ම කරන්නම්.. අපිට එවපු එක ඇරෙන්න මිසිස් ලෝරන්ස් ලග මුල් පිටපත් ඇති.. අපි ඒවා අපේ ලගට ගමු..”



එරිකෝ වාඩි වී උන් දිගු පුටුව ආසන්නයේ වූ කුඩා ටීපෝව මත තවමත් තබා තිබුන ලියුම් කවරය එරිකෝ අතට ගත්තේ සිම්රන් දෙස බලමින් සිනහවක්ද පාමිනි.. ඒ සිනහව හදුන ගත් සිම්රන් ඉක්මනින් එරිකෝ අතින් එය රැගෙන ඇගේ කාමරය දෙසට යන්නට වූවාය..



ඔය මොකද කරන්නේ?”



ඔයාට මේක බලන්න ඕන නෑ..”



ඕක මේ නඬුවේ ලොකු සාක්ෂියක්..”



හා හා.. ඒ උනාට මේක මම ඇරෙන්න වෙන කවුරුවත් බලන්නේ නෑ..”



සිම්රන්ගේ කතාවට එරිකෝගේ මුවගට සිනහවක් නැගෙද්දී එරිකෝ ආලින්දයේ තැනින් තැන තිබු තම ලිපි ලේඛන සකසන්නට වූයේ නැවත ලන්ඩනයේ තම සුපුරුදු නිවසට යාමට කාලය එලබි නිසාවෙනි..




නිමි..


Friday, 22 March 2013

එරිකෝ හන්ටර් - Phycho Photographer 3

සැදෑවට වඩා රාත්‍රිය උදාවත්ම ම්හිදුමත් ඒ සමඟම ආ සීතලත් හෙමින් වැඩි වන්නට පටන් ගත්තද ඉන් සාදයටනම් කිසිම ගැටළුවක් ඇති වුන බවක් පෙනෙන්නට නොවීය.. ලන්ඩනය පුරා රැදුන අධික සීතලට වඩා නෝර්විච්හි රාත්‍රියෙහි රැදි සීතල එරිකෝටත් සිම්රන්ටත් තදින්ම දැනෙන්නක් නොවීය.. සිම්රන්ගේත් මිසිස් ලෝරන්ස්ගේත් කෙටි ආරාධනාවට යාබද නිවෙස් වල සිටි බොහෝ දෙනා රාත්‍රි සාදයට පැමින්ද්දී ඊට නොආවේ කීප දෙනක් පමණි..



තම අළුත් අසල්වැසියා හදුනා ගන්නට ඔවුන් තුල වූයේ මහත් උනන්දුවකි.. අසල්වැසි නිවෙස් අතර ඔවුන්ගේ හිත් පුරා පිළිලයක්ව දිවෙන ප්‍රශ්ණයක් තියේද යන්නවත් ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට නොවීය.. ඔවුන් වචනයකින්වත් ඒ බවක් ඇඟවූයේද නැත..



එතකොට මිස්‍ටර් රිචර්ඩ් හුඟාක් කල් මෙහේ නැවතිලා ඉන්නවද?”



නැහැ මිසිස් වෝනර්.. මේ ස්භාවික පරිසරය ගැන මම මට වුවමනා තරමට ඉගෙන ගත්තම මම මීට වඩා වෙනස් පැත්තකට යනවා.. සමහර විට ඒක සතියක් දෙකක් වෙන්නත් පුළුවන් ඊට වැඩි වෙන්නත් පුළුවන්..”



එහෙමනම් මිස්ටර් රිචර්ඩ්ගෙන් අපිටත් හුඟාක් දේවල් දැන ගන්න පුළුවන්..”



ඔවු අනිවාර්යෙන්ම.. අනික මටත් ගොඩක් දේවල් තියේවි දැන ගන්න..”



හැම කෙනෙක්ම හා සුහදව කතාබස් කරන අතරේ ඔවුන්ගේ හැසිරීම් දෙස ඕනෑකමින් බලා ඉන්නට අමතක නොකල එරිකෝ උනන්දු වූයේ කැතී මහත්මිය සමග කෙසේ හෝ කතාබස් කිරීමටය.. නමුත් සාදයේ හැම තැනකම ඈ සෙවුමුත් ඇය නොමැති වීම එරිකෝගේ හිතට කුතුහලයක් විය..



සිම්රන්, මිසිස් කැතී ආවේ නැද්ද?”



ආවා.. මිසිස් ලෝරන්ස් එක්ක කතාකරනවා මම දැක්කා..”



හ්ම්ම්.. ඒත් දැන් නැහැනේ.. වේලස්සන යනවා කිවුවද?”



එහෙමනම් කිවුවේ නෑ.. සමහරවිට මිසිස් ලෝරන්ස්ගේ ගෙදරට යන්න ඇති..”



බොහෝ වේලාවක සිට කැතී මහත්මිය සාදයේ නොමැති වීම එරිකෝට ප්‍රශ්ණයක් විය.. ලෝරන්ස් මහත්මියත් අනෙක් අමුත්තනුත් හැම දෙනාමත් ගෙවත්තේ අසුන්ගෙන සිටියදී කැතී මහත්මිය පමණක් එහි නොවීම එරිකෝගේ කුතුහලය තවත් වැඩි කරන්නක් විය.. කාටවත් නොදැනෙන්නට සාදයෙන් පිටවුන එරිකෝ මාවතට එලබ කැතී මහත්මියගේ නිවස දෙස බැළුවේ ඇය කාටවත් නොකියාම නිවසට ගියාදැයි දැන ගැනීමටය.. ඒත් අදුර රජයමින් තිබුන කැති මහත්මියගේ නිවස ඇය එහි ආ බවක් නොපෙන්නුවේය..



ඇය කොහේද ගියේ?”



එරිකෝ තමන්ගේම සිතින් ප්‍රශ්ණ කරමින් නැවතත් සාදයට එන්නට අපසු හැරෙද්දී ඔවුන් නැවතී උන් නිවස ලග සිට මාවතට වැටී තිබුන කෙටි බොරළු පාර අතරින් හදිසියේම කැති මහත්මිය එනු දැකිම එරිකෝ බලාපොරොත්තු නොවුන සිදූවිමක් විය.. ඔහු මදක් පුදුමයෙන් ඈ දෙස බලා සිටියේය..



මිස්ටර් රිචර්ඩ් අපේ නේබර්හුඩ් වොචර් වැඩේට සුදුසුයි වගේ..”



ඇයි මිසිස් කැති එහෙම කිවුවේ?”



නෑ අවට ගැන හොදට සැළකිලිමත් නිසා..”



අහ් නෑ.. මම මේ සිගරට්ටුවක් දල්ව ගත්ත නිසා සාදයෙන් ටිකක් එහාට ආවේ.. මිසිස් කැතිව මම සාදයේ දැක්කේ නෑනේ ටික වෙලාවකින්..”



දැන් නේබර්හුඩ් වොචර් මම බව මිස්ටර් රිචඩ් දන්නේ නැතුව ඇති මම හිතන්නේ... හැමෝම ඉන්නේ මෙතන හන්දා ඒ ගැනත් මම බලන්න ඕනනේ..”



අහ් ඔවු ඒක ඇත්ත.. මිසිස් කැතී වගේ කෙනෙක් මේ ලගම ඉන්න එක මට ගොඩාක් වැදගත් වේවි..”



ඉක්මනින් කතාව මඟ හැර ආයෙම සාදය දෙසට පිය මැන්න කැතී මහත්මිය නවතාගන්නට එරිකෝ ඔහු ඈ ගැන දන්නා බව හඟවන්නට උත්සාහ ගත්තේය..



ඒ ඇයි?”



මිසිස් කැති ගිය පාර හරිත ප්‍රදර්ශණේ දෙවනියා උන බව මම කියවලා තිබුනා.. ඒකයි..”



අහ් මම හුඟාක් කල් ඉදන් ඒකට යනවා.. ඒත් ජයග්‍රහණයක් ලැබුනේ කලින් වතාවේ තමයි..”



මට පුළුවන්ද වෙලාවක මිසිස් කැතිගේ ගෙවත්තට එන්න?”



හ්ම්ම්.. හවස් වරුවක එන්න.. මිස්ටර් රිචර්ඩ් මට සමාවෙන්න.. මම සාදයට යන්න ඕන..”



අහ් ඔවු ඔවු මිසිස් කැතී.. අපි වෙලාවක හමුවෙලා කතා කරමු..”



වැඩි වේලා රැදෙන්නට වුවමනාවක් නොකල ඇය සාදය දෙසට ඉක්මනින් ඇවිදන් යන දෙස එරිකෝ උවමනාවෙන් බලා සිටියේය.. තමන් නැවතී උන් නිවස දෙස මදක් බලාසිටි ඔහු ඒ දෙසට හෙමින් පියනගන්නට වූයේ ලෝරන්ස් මහත්මියගේ සහ තමන්ගේ නිවෙස් හැරෙන්න වෙන නිවසකට ඒ මාවත දිගේ යා නොහැකී වූ නිසාවෙනි.. නිවස දෙසට වන්නට වූ මාවත දිගේ ටික දුරක් ඇවිදන් ගිය එරිකෝ සාදය නිසා මැකුන අදුර අතරින් නිවෙස අවට දෙස බලන්නට විය.. සිම්රන්ගේ කාමරය අසලම වූ ජනේලය ලග වැවී තිබුන කුඩා මල් පාත්තියේ තැනින් තැන පොඩිවී ගිය සළකුණු එරිකෝගේ දෑසට නතුවන්නට වැඩි වේලාවක් නොගියේය...



ඔයා මොකද මෙතන කරන්නේ? හැමෝම ඔයා කෝ අහනවා..”



අහ් සිම්රන්.. නෑ මම මිසිස් කැති හොයද්දී එයා අපේ ගේ පැත්තේ ඉදන් එනවා මම දැක්කා.. ඒකයි මම බැළුවේ..”



ටික වේලාවකට කලින් සිදුවූ සෑම දෙයක්ම සිම්රන්ට පැවසූ එරිකෝ ජනේලට අසල පොඩිවී ගිය මල් පාත්තිය ඈට පෙන්වීය..



ඕක කලින් උන දෙයක් වෙන්න බැරිද?”



බෑ සිම්රන්.. එහෙම උනානම් ඔය මල් මීට වඩා මළානික වෙලා තියෙන්න ඕන.. ඒත් ඒවා තාම අළුත්..”



හරි අපි දැනට සාදයට යමු.. නැත්නම් ඔවුන් සැක හිතයි..”



ඇගේ පෙරැත්ත නිසාම ආයෙමත් සාදයට ආ එරිකෝගේ දෑස් නිතරම රැදුනේ කැතී මහත්මිය ලගමය.. ඈ කරන කියන හැම දෙයක් දෙසම බොහොම ඕනෑකමින් බලා සිටියත් අනික් හැම කෙනෙක් ගැනමත් අවදානයෙන් සිටින්නට ඔහු අමතක නොකලේය.. ඒ අතර එරිකෝගේ දෑස යොමුවූයේ සාදයේ චායාරූප ගනිමින් උන් අසල්වැසියා වෙතටය.. සාදය පටන් ගනිද්දී ඔහු අත කැමරාවක් නොතිබුන බව මතකට නැගුන එරිකෝ ඔහු හා කතා කරන්නට මත්තෙන් ඔහුගේ හැකියාව දෙස මොහොතක් බලා සිටියේය.. කැමරාව ඔහුට ආගන්තුක නැති බව වටහා ගන්නට එරිකෝට වැඩි වේලාවක් නොගියේය..



මිස්ටර් රිචර්ඩ්ගේ සාදයේ පින්තූර ගත්තට කමක් නෑනේද මම?”



ඈතින් හිද එරිකෝගේ චායාරූපයක්ද ගනිමින් එරිකෝ සමිපයට ආ ඔහුම කතාවට මුල පිරිම එරොකෝ බලාපොරොත්තු වූ පරිද්දෙන්ම සිදුවිය..



අකමැති වෙන්නේ මොකටද?”



මම හැරල්.. මම මාද්‍යවේදියෙක්... ඉතින් නිතරම වගේ කැමරාවත් එක්කම තමයි මම හැමතැනම යන්නේ..”



අහ්, ඉතින් මිස්ටර් හැරල්ගේ මාධ්‍ය වැඩ වලට මේ සාදයේ පින්තූර වලින් ප්‍රයෝජනයක් නම් වෙන එකක් නෑ..”



ඔවු රිචර්ඩ්.. ඒත් මේ මගේ පෞද්ගලික එකතු වලට.. මම හැම තැනම ගොඩක් කල් රැදෙන්නේ නැති හන්ද ඒ හමුවෙන අය මෙහෙම හරි මතකේ තියා ගන්න කැමති..”



එහෙමනම් හැරල්ත් මං වගේම තමයි.. ගොඩක් කල් ඉදන්ද හැරල් මෙහේ පදිංචි?”



නැහැ රිචර්ඩ්.. දැන් මාස හයක් වගේ ඉදන්.. මටත් රිචර්ඩ් වගේ තමයි.. එක නවාතැනක් නැහැ..”



මේ ජීවිතෙත් සුන්දරයි හැරල්..”



ඔවු ඔවු.. ඇයි නැත්තේ..”



හැරල් කැමරාව ගැන ටිකක් කියන්නකෝ.. මාත් මගේ වැඩ වලදි අත්‍යාවශ්‍යම පින්තූරයක් ගන්නවා ඇරෙන්න කැමරාවක් පාවිච්චි වෙන්නෙම නෑ.. ඒත් කැමති දැන ගන්න..”



හරි මම කියන්නම්..”



කැමරාව ගැන දැන ගැනීමට වඩා එරිකෝගේ හිත උනන්දු වූයේ ඔහු සැබෑවටම ඒ ගැන දන්නා අයෙක්දැයි දැන ගැනීමටය.. එරිකෝ බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ඔහු සතු මනා හැකීයාව එරිකෝට ඔහු කැමරාව විස්තර කර දුන් අයුරෙන්ම දැනගන්නට හැකි විය..



හැරල් මයික්‍රෝ කැමරා ගැන දන්නේ මොනවද?”



කරමින් උන් විස්තරය නවත්වමින් හැරල් එරිකෝ දෙස බැලූවේ තරමක් පුදුමයෙනි.. එරිකෝගේන් එවැන්නක් එවෙලේ අසන්නට ලැබේවියි බලාපොරොත්තු නොවුන බවක් ඔහුගේ හැසිරීමෙන් හොදින්ම පෙනෙන්නට විය..



මයික්‍රෝ කැමරා කියන්නේ වෙනමම විශයක් රිචර්ඩ්.. ඒ ගැන නම් මම දන්නේ ටිකයි..”



හැරල් ඒව පාවිච්චි කරල තියෙනවද?”



ඔවු.. ඒත් වැඩියම නෑ.. ඇයි රිචර්ඩ් ඒ ගැන ඇහුවේ?”



නැහැ මට ටික කාලෙකට කලින් මිතුරෙක්ගෙන් මයික්‍රෝ කැමරා එකක් තෑගි ලැබුනා.. ඒකයි මම ඒ ගැන ඇහුවේ..”



කලින්ට වඩා හැරල්ගේ කතාවේ වෙනසක් තිබුන බව තේරුම් ගන්නට ඔහුගේ ඒ මොහොතේ හැසිරීමත් එරිකෝට ප්‍රමාණවත් විය.. මැදියමත් පසුවී තරමක් පමා වන තුරුම පැවති සාදය හමාර කරන්නට කිසිවෙකුටවත් වුවමනාවක් නොතිබීම එරිකෝටද ඔහුගේ වැඩ වලට මහත් පහසුවක් විය.. අසල්වැසි නිවෙස් වල බොහෝ දෙනෙක් හා හුඟාක් ලගින් හිතවත් වුන එරිකෝ ඕනෑම වේලාවක ඔවුන්ගේ ගෙවත්තට පැමිනීමට ඉඩ දෙන තරමටම සාදය නිමා වෙන විට හිතවත්කම වැඩි කර ගත්තේය..



අපි බලාපොරොත්තු උන විදිහටම හැම දේම උනා නේද?”



සාදය නිමා කර නිවසට පැමිනි එරිකෝත් සිම්රනුත් ගතට දැනුන වෙහෙස අතරෙම ආලින්දයේ වූ දිගු පුටු මත හිද ගනිමින් කතාවට වැටුනේ දැනගත් තොරතුරු කතා කිරීමේ අදහසිනි..



ඔවු සිම්රන්.. කලින් හිතන් හිටිය විදිහට වඩා මෙහෙම කරපු එක අපිට වාසියක් උනා..”



මමත් මිසිස් කැතී එක්ක ටිකක් කතා කලා.. එයාගේ කතාවනම් ටිකක් අමුතුයි.. හැමදේම ඉක්මනට මඟ ඇරලා යන්න හදනවා වගේ කතාවෙන් තේරෙන්නේ..”



මටත් ඒකනම් තේරුණා.. කොහොම උනත් මිසිස් කැතී හරි වෙන කෙනෙක් හරි සාදය අතරේ මේ ගෙදර ලගට ආවා..”



ඇයි ඔයා වෙන කෙනෙක් හරි කිවුවේ? ඔයා දැක්කනේ මිසිස් කැතී මේ පැත්තේ ඉදන් එනවා..”



ඔවු ඒක ඇත්ත.. ඒත් අපිට කෙලින්ම මිසිස් කැතීටම ඒකට සැක කරන්න බෑ.. අනික් කාරනේ මිස්ටර් හැරල්.. එයත් ටික වෙලාවක් සාදයේ හිටියේ නෑ..”



අර මාද්‍යවේදියා නේද? මටත් එයා ගැන දැන ගත්ත තොරතුරු එක්ක ටිකක් හැරල් ගැන නම් සැකයක් මතු උනා..”



ඇයි සිම්රන් මොනවද දැන ගත්තේ?”



මිසිස් ලෝරන්ස් කිවුව විදිහට හැරල් කලින් වැඩ කරලා තියෙන්නේ මාසික සඟරාවක.. ඔය ජනප්‍රිය පුද්ගලයන්ගේ හැම තොරතුරක්ම වගේ ලිය වෙන එකක්.. ඒකේ හුඟාක් අයගේ රහස් පින්තූර අරන් තියෙන්නේ හැරල්.. මාස කීපෙකට කලින් එහෙම දේක නඬුවකින් හැරල්ට ලොකු වන්දියක් ඒ අදාල අයට ගෙවන්නත් වෙලා.. සඟරාවට ඒවයින් වෙන පාඩුව නිසා හැරල්ව එතනින් අයින් කරලා.. ඊට පස්සේ තමයි මෙහෙ ඇවිත් තියෙන්නේ..”



හරල් ඒ බවක් මාත් එක්කනම් කිවුවේ නෑ.. ඒත් කැමරාව එක්ක හැරල්ට ඕනම දෙයක් කරන්න පුළුවන් බව නම් කතාවෙන් තේරුණා..”



එහෙමනම් හැරල් අපේ ලොකු සැක කාරයෙක් වෙනවා..”



හ්ම්ම්.. ඔවු සිම්රන්.. හැරල් ගැන අවදානයෙන් ඉන්න එක හොදයි කියලා හිතෙනවා..”



අපි ඊළගට මොකද්ද කරන්නේ?”



හෙට උදේම මම නඟරයට යනවා.. ඒ එන ගමන් හැරල්ව මුණ ගැහෙන්න යනවා.. සිම්රන්ට පුළුවන්නේ මිසිස් කැතී ගැනයි අනිත් වෙන විශේෂ දේවල් ගැනයි අවදානයෙන් ඉන්න..”



පුළුවන්.. එහෙනම් මම දැන් නින්දට යනවා.. හුඟාක් මහන්සියි..”



හරි සිම්රන්.. සුභ රාත්‍රියක්..”



ඇය ඇගේ නිදන කාමරය වෙත යද්දී හිදගෙන උන් දිගු පුටුව මතම දිගා වුන එරිකෝ දෑස් පියා ගත්තේ නිදනට තිබුන වේලාව කොතරම් අඩු වුවත් උදෑසනම අවදි වී සිතාගෙන ඉන්නා වැඩ කිහිපය ඉක්මනින්ම නිමා කිරිමේ අරමුණිනි..



…............................................



යාන්තමින් මිහිදුමෙන් වටවී තිබුන කඳුකර මාවත දිගේ නගරයට උදෑසනින්ම ඒම තරමක් දුශ්කර වුවත් වේලාසනින්ම වැඩ නිමා කර ගැනීමට එරිකෝගේ හිතේ තිබුන වුවමනාව නිසාම නගරයේ කඩ සාප්පු විවෘත වෙන වේලාව වන ව්ට එහි පැමිනෙන්නට එරිකෝට හැකි විය.. ලන්ඩනයට වඩා කාර්ය බහුලත්වයෙන් අඩු වීම එරිකෝගේ වුවමනාව තවත් පහසු කරන්නක් විය.. තම වුවමනාව ඉක්මනින්ම ඉටු කර ගත් එරිකෝ කදුකර මාවත දිගේ යලි ඉහලට නැගුනේ හැරල් හමුවීමේ අරමුණිනි..



එල්ම්ස් හිල් වල තම අසල්වැසි නිවාස අතරින් වූ මාවතේ ටික දුරක් ආ එරිකෝ හදිසියේම වාහනය නතරකලේ අහම්බෙන් මෙන් නෙත ගැටුන සිදුවීමක් නිසාවෙනි.. ඔවුන් නැවති උන් නිවසට ටිකක් දුරින් වූ නිවසක ගෙවත්තේ එබිකම් කරමින් සිටි කැති මහත්මිය දෙස එරිකෝ ඈත සිට බලා සිටියේ ඈට නොදැනෙන පරිද්දෙනි..



ගෙවත්ත පුරා ලස්සනට වවා තිබු මල් ගස් දෙස හොදින් බලමින් තැනින් තැන වූ ජනේලයන්ගෙන් නිවසට එබිකම් කරන කැති මහත්මියගේ හැසිරීම ඕනෑම කෙනෙකුට සැක උපද්දවන්නක් විය.. ඈ අත වූ දුඹුරු පැහැ ලියුම් කවරය හොදින් තමන් වෙතම රදවා ගනිමින් අවට ගැනත් නිවස දෙසත් විටින් ව්ට බලම්න් සිටි ඈ නිවස ඉදිරියෙන් මාවත හා සමව වැටි තිබු ගල් ඇල්ලූ තීරය දිගේ ඇවිදන් ආ ලෝරන්ස් මහත්මිය දැක මදක් කලබල වූ බවක් පෙනෙන්නය විය.. නිවස ඉදිරියේ වූ කුඩා ගේට්ටුව ලග නතර උන ලෝරන්ස් මහත්මිය ඈ හා බොහෝ වේලාවක් කතා කරමින් හිද ඈ එක්කම ආපසු තම නිවස දෙසට යන තුරුම පාරේ ඈතින් නවතාගෙන උන් වාහන‍යේ සිටි එරිකෝ ඔවුන් දෙස බොහොම වුවමනාවෙන් බලාගෙන සිටියේය..



අහම්බෙන් නෙත ගැටුන සිදුවීම අතරේ මදක් කල්පනා කරමින් උන් එරිකෝ ඉන් නික්ම කලින් හිතාගෙන සිටි පරිදිම හැරල්ගේ නිවසට ආවේ ඔහු හා කතා කිරීම වැදගත් යැයි සිතා සිටි හෙයිනි..



ගුඩ් මෝර්නින්ග් හැරල්.. උදේම මම කරදරයක් නෙමෙයිනේ..?”



අහ් නෑ රිචර්ඩ්.. එන්න මම තාම උදේ තේ එක බොන ගමන්.. අපි තේ එක්කක් බොන අතරෙම කතා කරමු..”



එතරම්ම සැප පහසු පෙනුමක් පෙනෙන්නට නොතිබුනද හැරල්ගේ නිවස තුල තිබුනේ වෙනස්ම වූ අපූර්වත්වයකි.. සාම්ප්‍රදායික දේවල් වලට වඩා වෙනස් වූ නිර්මාණ බොහෝමකයක් නිවස තුල වීම එරිකෝගේ හිත ඇද ගන්නට සමත් විය..



ඉතින් රිචර්ඩ් ඇයි හදිස්සියෙම මේ පැත්තේ?”



නෑ හැරල් මට හිතුනා කැමරා ගැන තව ටිකක් ඔබෙන් දැන ගන්න.. මම මං ලග තියෙන මයික්‍රෝ කැමරා එකත් අරගෙනමයි ආවේ..”



එහෙනම් මෙහෙදි මගෙන් කැමරාව ඉගෙන ගන්න දෙවනියා රිචර්ඩ්..”



දෙවනියා.. එහෙනම් හැරල් කලින් උගන්නලා තියෙනවා..”



අහ් ඔවු.. ටික කාලයක් මිසිස් ලෝරන්ස් ආවා මගෙන් මේ වගේම තොරතුරු අහ ගන්න..”



මිසිස් ලෝරන්ස්?”



ඔවු.. මම මෙහේ ඇවිත් ටික කාලෙකින්.. ඒත් එයාගේ වැඩ එක්ක නිතරම එන්න එයාට බැරි උනා..”



හැරල් මම මගේ මයික්‍රෝ කැමරා එක ගෙනාවා.. ඔබට පුළුවන් වෙයිනේ එක ගැනත් ටිකක් බලන්න..”



හැරල්ගේ මුහුණේ ඒ ගැන අකමැත්තක් මැවුන බව එරිකෝට හොදින්ම පෙනෙන්නට විය.. ඒත් ඒ බැවු එරිකෝට දැනෙන්නට ඉඩ නොදී කතාබස් කිරීමට ඔහු වග බලා ගත්තේය..



රිචර්ඩ් අකමැත්තක් නැත්නම් මම ඒ ගැන හෙමීට බලලම කියන්නද? මාත් දැන් හුඟක් කාලෙකින් ඒ ගැන බැළුවේ නෑ... අනිත් කාරනේ මට තව ටිකකින් හමුවීමක් යෙදිලත් තියෙනවා..”



හරි හැරල් ඒකට කමක් නෑ.. එහෙනම් මම ගිහින් වෙන වෙලාවක එන්නම්..”



හැරල්ගේ නිවසින් එළියට එන අතර වාරයේ කැති මහත්මිය රැදී සිටි ඊට නුදුරේම වු නිවස දෙස එරිකෝ මොහොතක් බැළුවේ තවමත් ඇය එහි සිටීදැයි දැන ගැනීමටය..



අර 37 ගෙදර කවුද හැරල් ඉන්නේ?”



අහ් මිස්ටර් ජෝර්ජ්ගේ ගෙදර.. ඔවුන් නිවාඩුවට පුතාලගේ ගෙදර ගියා සතියකට විතර කලින්.. ඉක්මනට ඒවි.. ඇයි රිචර්ඩ්..”



අහ් නෑ කාර්ල්.. පාළු වෙලා වගේ තියෙන නිසා ඇහුවේ.. මම එහෙනම් ඔබට නිවාඩු වෙලාවක ආයෙම එන්නම්..”



හැරල්ගෙන් සමුගත් එරිකෝ නිවසට එන විට සිම්රන් ගේ අසලටම වී නොසන්සුන් මුහුණින් බලා හිදීම එරිකෝට ප්‍රශ්ණයක සේයාවක් බව හොදින්ම වටහා දුන්නේය... ඔහු වාහනයෙන් නික්මෙනත්ම ඔහු ලගට දුව ආ සිම්රන් තැති ගත් මුහුණින් ටික වේලාවක් ඔහු දෙස බලා සිටියේය..



ඇයි සිම්රන් මොකද උනේ?”



කිසිවක් නොකියාම එරිකෝගේ අතින් අල්ලා ගත් ඇය ඔහුව නිවස වෙතට කැදවන් ගියේ කුමකට නමුත් ඈ බියට පත් වූ බව එරිකෝට හඟවමිනි.. ආලින්දයේ තම සුපුරුදු දිගු පුටුව මත එරිකෝ හිද ගනිද්දී ඈ ඔහු අත තැබුවේ දුඹුරු පැහැ ලියුම් කවරයකි..



කවුරු නමුත් ඔවුන් අපෙත් පින්තූර අරන් එරිකෝ..”




.ලි : මේ වර්ණයේ රටා මැවෙන 450වෙනි ලිපියයි..