Wednesday, 30 October 2013

මළවුන්ගේ රාත්‍රිය



රාත්‍රියේ තිබුන නිහැඩියාවට හිත කොහෙත්ම ඇළුම් කරන්නේ නැති තරම්.. නිහැඬියාව රජකලත් අඳුර මකාගෙන යන්න දැල් වුන පහන් එළි අතරේ හිතට කිසිම තනිකමක් කොහෙත්තම දැනුනේ නෑ.. වෙලාව රෑ අටට කිට්ටු ඇති.. රෑ අදුර හොදින්ම හුරු පුරුදු වට පිටාවේ වෙනසක් හිතට නොදැනුනත් අරමුණක් නැතුව ඇවිදන් එක එක එක විදිහක වදයක් වුනා.. ඉදලා හිටලා ඇහෙන බස්සන්ගේ සද්දේ එක්ක අතුරු පාර දිගේ ආව ගමන වෙනදට වැඩිය ටිකක් වෙනස් විදිහට දැනුනේ අද දවසේ තියෙන විශේෂත්වය නිසා වෙන්න ඇති..

ඒත් හුඟක් දේවල් මිනිස්සු හිතින් මවා ගත්ත දේවල් විතරක්මයි කියලා දැනෙනවා.. කාලයත් එක්ක සමහරක් සම්ප්‍රදායන්ට තමන්ගේ ජීවිතෙන් ඈත් වෙලා යන්න දෙන්න සමහරක් තාමත් බයයි.. ඒ අයට අදත් අනිත් විශේෂ දවස් වගේම හුඟක් වැදගත් දවසක්..

" ස්ටුවර්ට්, වැඩිය දවල් වෙන්න කලින් කනත්තට යන්න ලෑස්ති වෙන්න ඕන.."

" ඒ මොකටද?"

" අද මළවුන්ගේ දවස.. හැම අවුරුද්ද්ම වගේ ස්ටුවර්ට්ම තාත්තගේ සොහොනටත් ඉටිපන්දම පත්තු කරන්න.."

හරිහැටි සුද්ද නොකරපු සොහොන් කොත ලග ඉදගෙන ඒ දිහා බලාගෙන ඉද්දී විකාර දේවල් ඔළුවට එන එක නවත්ත ගන්න කොහොමවත්ම බැරි වුනා.. ඇත්තටම එදාට මළවුන් ඒ ලෝකෙන් නැඟිටලා එනවනම් තාත්තා මැරුණ විදිහ ගැන ඇත්ත හැම දෙයක්ම මේ ලොකෙට කියාවි.. ඒ නිසා, ඒ ගැන බයෙන්ද මන්දා අවුරුද්දේ එකම එක දවසකට විතරක් ලොරේනා මේ විදිහට තාත්තගේ සොහොන් කොතට එන්නේ..

දවල් තාත්තගේ සොහොන් කොත ලග ගවුවේ හරිම උදාසීන කාලයක්.. බොරුවට මවාගත්ත දුකක් එක්ක අමාරුවෙන් ඇස් වලින් එලියට දාපු ලොරේනාගේ කඳුළු බ්ංදු දෙක තුන දිහා බලා ඉදලම දවාල ගෙවුනේ කිසිම වැදගැම්මකට නැතුව.. රෑ මෙහෙම හරි යාළුවෝ එක්ක යන්න සෙට් නොවුනනම් හෙට වෙනකම්ම ඒ මුසල කම යන්නේ නැතුව තියෙන්න ඉඩ තිබුනා..

හැම ගෙදරකම මළවුන්ගේ දවස සමරන්න සරසපු සැරසිළි.. එක අතකින් ඒක විකාරයක් වගේ.. මළවුන්ගේ දිනට උත්සවයක්ද?  සමහරක් දේවල් වෙනස්  වෙලා තියෙන හැටි ඈත ඉදන් බලාගෙන ඉද්දී තේරුම් ගන්න හුඟක් අමරු දෙයක්.. ඒ වුනත් මළවුන්ගේ දිනේ දවසේ නගරේ ඉදිවෙන පොළට යන්න මම හුඟක් කැමතියි.. ඒ ඇයි කියන්න දන්නේ නෑ.. ඒත් එතනදි ලැබෙන නිදහස අනික් හැම දේකටම වැඩිය වටිනවා කියලා හිතට දැනෙනවා..

විකාර හිත හිත ඉද්දී වෙලාව නමයට කිට්ටු වෙලා.. දැන් නම් අනිවාර්යෙන්ම යාළුවෝ ටික පොළ ලගට සෙට් වෙලා ඇති.. ටිකක් ඉක්මනින් යන්න හද්දදිම වගේ පිටිපස්සෙන් ඇහුනේ අඩි සද්දයක්.. ටිකක් හැරිලා බලද්දී ලේ තැවරුන සුදු ගවොමක් ඇද ගත්ත ලස්සන කෙල්ලෙක් කළුපාට කරපු ඇස් වලින් මන් දිහාම බලාගෙන හිටියා.. වෙන කෙනෙක්ටනම් ඒක හොදටම බය වෙන්න හේතුවක්.. ඒත් අද මළවුන්ගේ දවස..

" පොළට යන ගමන්ද?"

" ඔවු, හිතුවට වැඩිය ටිකක් රෑ වුනා.. ඈතින් ඔයාව දැක්ක හන්දා ටිකක් ඉක්මන් කරලා ආවා.."

" ඇදුම ලස්සනයි.. අද මළවුන්ගේ දවස නොවුනනම් ඔහොම ඇදන් ඉද්දී ඕනම කෙනෙක් බය වෙනවා.."

" ඇයි ඔයා බය වුනේ නැද්ද?"

" නැහැ.."

" එහෙනම් හොදයි?"

" අපි යමුද?"

" හරි.. මම ජෙනිෆර්.."

" මම ස්ටුවර්ට්.."

කම්මැලි කමේ ඇවිදන් ආව ගමනට අතර මඟින් හරි මේ වගේ ලස්සන කෙල්ලෙක් සෙට් වුන එක ගැන හිතට ආවේ පොඩි සතුටක්.. ඇය හුඟක්ම විනෝදකාමීයි.. කතා බහ අතරේ ඉදලා හිටලා මගේ අතින් අල්ලද්දී දැනුන සීතලට පුදුමත් හිතුනා.. තාම නොවැම්බර් පටන් ගත්තා විතරයි.. ඒ තරම්ම හීතලක් නැති වුනත් ටිකක් විතර ඇග පේන්න ඇදලා හිටපු සුදු ගවොම හන්දා ටිකක් විතර සීතල දැනෙනවා ඇති..

" මගේ ජර්සි එක දෙන්නද? ඔයාට ටිකක් හීතලයි වගේ.."

" අහ්, කමක් නැහැ.. මට ඒක පුරුදුයි.."

ඒ ඇස් වල දිලිසෙන ගතියට මගේ හිත ආස කලා.. බලාගෙන ඉන්න ආස කලත් ඒකට ඒ තරම්ම වෙලාවක් තිබුනේ නෑ..

" ස්ටුවර්ට්, මළවුන් ගැන එච්චරම විශ්වාස කරන්නේ නැහැ නේද?"

" ඔවු, කොහොමද දැන ගත්තේ.."

" නිකන්.. ඔයාගේ හැසිරීමෙන්.."

" මට ඒ ගැන කවදාවත්ම විශ්වාසයක් තිබුනේ නෑ.. ඔය විදිහේ අතරමැදි ලෝකයක් තියෙන්න විදිහක් නැහැ.. ඒ හන්දා මේ හැම දෙයක්ම බොරුවක් විතරයි.."

" හ්ම්ම්.. මම කැමතියි ඔයා හිතන විදිහට.."

කලින් අවුරුදු වල වගේම පොළ හුඟක් ලොකුවට සංවිදානය කරලා.. ගේට්ටුව ගාවටම වෙලා පාර දිහා බල බල හිටපු යාළුවෝ සෙට් එකට මගේ පරක්කුව හොදටම දැනිලා කියන එක උන්ගේ හැසිරීමෙන්ම පේන්න තිබුනා.. ඒත් උන්ට මගේ පරක්කුවට වැඩිය දැන ගන්න ඕන වුනේ මාත් එක්ක ආවේ කවුද කියන එක ගැන.. ජෝර්ජ් හැමදාම වගේ ඉස්සර වෙලා ජෙනිෆර්ව පිළිගත්තත් ඇගෙන් දැනුන සීතලට ජෝර්ජ් කැමති වුනේ නෑ කියන එක උගේ මූණ බැළුවම හොදටම තේරුණා..

ලස්සන විසිතුරු බඩු, ඇදුම් පැළදුම්, ආභරණ පිරුණ කඩවල් වලින් පොල පිරිලා තිබුනා.. සමහරක් දේවල් වලට අපේ හිත එච්චරම ඇදිලා නොගියත් ජෙනිෆර් ඒ හැම තැනකම නතර වෙන්න අමතක කලේ නෑ..

" මෙය පළවෙනි පාරද බං පොළකට ඇවිත් තියෙන්නේ.."

" කටවහන් හිටපං ජෝර්ජ්.."

කොහොම වුනත් ජෝර්ජ් කියපු දේ ඇත්තක්ද කියලත් එක වෙලාවකට මට හිතුනා.. අපි හැමෝගෙම ඕන කම තිබුනේ පුංචි කැසිනෝ එකට යන්න.. හැම අවුරුද්දකම සෙල්ලම් කරලා මොනවම හරි දිනාගෙන යන එක අපේ පුරුද්දක්.. අන්තිමට ලැබෙන්නේ වියදම් කලාට වැඩිය අඩුවෙන් වටින දෙයක් වුනත් කන්න විතරක් සල්ලි ඉතුරු කරන් අපි අනිත් ඔක්කොම සල්ලි වියදම් කලේ සෙල්ලමට.. ඒක එක විදිහක අමුතු අත්දැකීමක්..

" අපි අර ඇදුම් ටිකත් බලලා එමුද?"

බෑ කියන්න බැරි වුන හන්දම යාළුවෝ ටික කැසිනෝ එක තියෙන පැත්තට යවලා මම ටිකකට ජෙනිෆර් එක්ක ආවේ එයාට ඕන කරපු ඒවා බලන්න..

" ඔයාගේ යාළුවෝ නැද්ද?"

" මම හිතන්නේ ඒ ගොල්ල මම එන්න කලින් ගිහිල්ලා.. මමනේ පරක්කු වුනේ.."

" හ්ම්ම්.."

" එක දිගට ගොඩක් වෙලා නිදාගන්න එක මට දැන් පුරුද්දක් වෙලා.. ඒ හන්දා ඇහැරෙද්දී මගේ අනිත් යාළුවෝ ඇවිල්ලත් ඉවරයි.."

ජෙනිෆර්ගේ කතාවට ඉබේට වගේ හිනාවක් ආවත් ඒකට එයාගේ කැමැත්තක් තිබුනේ නෑ කියලා ජෙනිෆර්ගේ මූණේන්ම පේන්න තිබුනා.. වැඩිය මුකුත්ම කියන්න නොගිය මම ඒ දිහා බලාගෙන ඉද්දී ඒ ඇස් වල කවදාවත් මම කලින් නොදැක්ක අමුත්තක් පේන්න ගත්තා.. ඒ ඇස් රතු පාටයි.. මොනාවුනත් ජෙනිෆර් හැලෝවීන් එකට හොදටම ලෑස්ති වෙලා ඇවිත් තියෙන්නේ..

" ඔයාගේ හැලෝවීන් පාර්ටි එක තියෙන තැන ඔයාට වැරදුනාවත්ද?"

ටිකක් වෙලා ජෙනිෆර් දිහා බලාගෙන හිටපු මම ඒ වගේ ප්‍රශ්ණයක් ඒ වෙලාවේ අහාවි කියලා ජෙනිෆර් කොහෙත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.. ඒක ජෙනිෆර්ගේ මුණෙන්ම පේන්න තිබුනා..

" ඇයි ඔයා එහම් ඇහුවේ?"

" නැහැ.. ඔයා වගේ ඇදගෙන කවුරුවත් මෙතනට ඇවිත් නැති නිසා.. මේක පොළක්නේ.. මම හිතන්නේ ඔයාට පාර්ටි එක වැරදිලා.."

" සමහරවිට වෙන්න ඇති.. ඒත්, මට මෙතන හොදයි වගේ.. ඔයාගේ යාළුවොත් ඉන්නවනේ.. අනික කෝමත් තව ටිකකින් මට යන්න වෙනවා.. ඒ හන්දා මෙහෙම ඉමු.."

" හරි, එහෙනම් අපි මොනවා හරි කමුද?"

" හ්ම්ම්, බැහැ.. අපි ටිකක් ඇවිදිමුද?"

වෙනදට හම්බුවෙන කෙල්ලන්ට වඩා ජෙනිෆර්ගේ හැසිරීම හුඟක් වෙනස්.. ඒත් මගේ ඒකට කැමැත්තක් තිබුනා.. ජෙනිෆර් එක්ක යද්දී හැමෝම වගේ බැළුවේ මගේ දිහා.. ඒක එක අතකට දැනුනේ ආඬම්බරයක් විදිහට.. ඇත්ත්ටම ජෙනිෆර් ලස්සනයි.. ඒත් හැමෝම ඒ ලස්සන දිහා බලනවද එහෙමත් නැත්නම් මෙතනට කොහෙත්තම නොගැලපුන ජෙනිෆර්ගේ ඇදුම දිහා බලනවද කියලා මට හිතා ගන්න බැරි වුනා.. ඒත් අපි කතා කර කරම පොළේ හැම තැනකම වගේ ඇවිද්දා..

" මම ඔයාව ගේ ලඟින් ඇරලවන්නද? කොහොමත් අපි යන්නෙ එකම පාරෙනේ.."

" අපේ පාරවල් නම් හුඟක් වෙනස්.. ඒත් කමක් නැහැ.. අපි යමු පුළුවන් තරම් දුරකට.."

යාළුවෝ සෙට් එකෙන් ඉක්මනට ඈත් වෙලා කම්මැලි කමින් ආව පාර දිගේ එද්දි දැනුනට වඩා උද්‍යොගයකින් ආයෙම ආවේ ජෙනිෆර් එක්ක ගෙවුන කාලය ඇත්තටම ලස්සන හන්දා.. ජෙනිෆර්ට තිබුනේ පිස්සු විකාර අදහස්.. මම හිතන දේවල් වලට වැඩිය ජෙනිෆර් හිතන විදිහ සෑහෙන්න වෙනස් වුනත් අපේ කතාබහ නීරස එකක් වුනේ නෑ..

" ස්ටුවර්ට්, හිතන දේවල් එක පාරම වෙනස් වුනොත් ඔයාට කොයි විදිහට ඒක දැනෙයිද?"

එක පාරම ජෙනිෆර් අහපු දේ තේරුම් ගන්න පුළුවන් වුනේ නෑ.. මම එයා දිහා බැළුවා.. මගෙන් උත්තරයක් බලාගෙන මං දිහා බලාගෙන හිටපු ඇස් කලින් වගේම දිළිසුනා..

" හරි අමාරු ප්‍රශ්ණ ඕන නෑ.. මම හිතන්නේ අපි සමුගන්න වෙලාව ඇවිත්.."

" මෙතන?"

අඳුරින් තිබුන තැනක එක පාරම ජෙනිෆර් එහෙම කියද්දී හිතට දැනුනේ කුතුහළයක්..

" හා හා, බය වෙන්න එපා.. අර තියෙන්නේ මගේ ගෙදර.. අද කවුරුවත් නෑ.. ඒකයි ගෙදර කළුවර.. යමු ගේ ලගටම.."

එක මොහොතකට හිතාගෙන හිටපු දේවල් හැම එකක්ම වෙනස් වෙන්න ගත්තත් ජෙනිෆර් හිනා වෙලා කියපු දෙයින් ඒ හැම එකක්ම වෙනස් වෙලා ගියා.. අඳුරින් තිබුන ගෙදර ජෙනිෆර් ඇතුළු වෙලා පහන් දල්වද්දී පාරට කලින්ට වඩා හොදට පේන්න වුනා..

" අපි ආයෙම මුණගැහෙයිද?"

" හ්ම්ම්, සමහර විට.. ඔයාට එන්න පුළුවන්  වුනොත්.."

" මම එන්නම්.."

" එහෙනම් ස්ටුවර්ට්, සුභ රාත්‍රියක්.."

" සුභ රාත්‍රියක් ජෙනිෆර්.."

හැම දෙයක් ගැනම වෙනස් විදිහට හිතපු ජෙනිෆර්ගේ හමුවීමත් හිතා ගන්න බැරි තරම් පුදුමයක් වගේ.. ගෙදරින් පිට වෙලා පාරට එනකම්ම හිතුනේ ජෙනිෆර් කියපු හුඟක් දේවල් ගැන.. අදහස් වෙනස් වුනත් නිතරම මුණගැහිලා කතා කරන්න ඕන කමක් හිතට එක පාරම ආවේ ඇයිද කියන්න තේරුම් ගන්න බැහැ..

" ස්ටුවර්ට්.."

කල්පනාවත් එක්කම ආයෙම හැරිලා බලද්දී හිත පොඩ්ඩක් ගැස්සුනේ බලාපොරොත්තු නොවුන විදිහට ජෙනිෆර් ආයෙම මගේ ලග හිටපු නිසා.. ලයිට් එළි දැල්වුන ගෙදර ආයෙම අඳුරට ගිහින්..

" ඉස්සෙල්ලම දකිද්දී බය නොවුන කෙනා දැන් බය වෙනවා.."

ජෙනිෆර් කිවුවේ හිනා වෙන ගමන්..

" නැහැ, ආයෙම ඔයාව මෙහෙම දකියි කියලා බලාපොරොත්තු වුනේ නැහැ.."

දෑස් වලින් කෙලිනම් මං දිහා බලාගෙන හිටපු ජෙනිෆර් මම තව දෙයක් කියන්න කලින්ම මගේ තොල් සිප ගත්තේ මගේ ආදරවන්තිය වගේ..  බලාපොරොත්තු නොවුන වෙලාවක ලැබුන ජෙනිෆර්ගේ හාදුවට හිත ඇදිලා ගියේ ඉබේම වගේ.. ඒ වින්දනයට දෑස් මොහොතකට පිය වෙන්න ඇති..

විනාඩියක් දෙකක් ඔහේ ගෙවෙන්න ඇති.. ජෙනිෆර්ගෙන් ඈත් වෙන්න හිතක් නොවුනත් ඒ දෑස් තව පාරක් දකින්න ඇස් අරිද්දී හිත ගැස්සිලා ගියේ මම බලාපොරොත්තු නොවුන විදිහට..

" මම?"

ජෙනිෆර්ගේ පිටිපස්සෙන් මම දැක්කේ මාවම.. ඒත්, වැඩි දෙයක් හිතා ගන්න කලින්ම මගේ ඇස් ඉස්සරහා මතු වුනේ ලොකු එළියක්.. කවුද මේ ජෙනිෆර්? ජෙනිෆර්ගේ හාදුවෙන් මිදුන මම ඇයව මගෙන් ඈතට තල්ලු කලේ වෙන කිසිම දෙයක් නොහිතම.. ඒ මොහොතෙම වගේ ඈතින් මතු වුන එළිය මට ලං වෙලා ඉවරයි..

................................

" ස්ටුවර්ට්, ඇයි හැමදාම එකම මතකය ආයෙම අළුත් කර ගන්නේ?"

ඉසබෙල්ගේ කටහඬට මතකයෙන් ඈතට ගිය මම ආයෙම ආවේ අපිට ලැබුන කාලය තව එක පාරකට ඉවර වෙන්න ලඟයි කියලා කියන ගමන්ම.. තාමත් ජෙනිෆර්ගේ ගේ එදා වගේම අඳුරුයි..

" මම කැමතියි එදා ඒ මතකයට.."

"  ඒත් ඇයි ඔයා ඒක ගැන හිතලා ආත්මය වේදනාවක් කර ගන්නේ.. එදා ඔයා නිසා ජෙනිෆර් බේරුණා.. ඒ මදිද?"

" එදා ඒ දේ වෙනස් වුනානම් කියලා හිතුනා.. එහෙනම් අද මට මෙහෙම ඇවිත් බලන්න කවුරුවත් නැහැ.. මට නිදහසේ ඉන්න තිබුනා.."

" යමු.. අපේ වෙලාව හරි.."

" අදත් ගියේ තාත්තව බලන්නද?"

" ඔවු ස්ටුවර්ට්.."

" හ්ම්ම්.. අපි යමු.."





...........................

නිමි..

24 comments:

  1. කියන්න දෙයක් නැතිව කර කැවි කැවි හිටියේ බං.. කතාව නං ලස්සනයි... මට එතැනින් එහාට දෙයක් ඔළුවට එන්නෑ.. නිකං ගල් වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා දේශකයෝ.. ඔන්න ඔහේ වැරැද්දක්වත් කියපංකෝ..

      Delete
  2. මම දිනේශ් මල්ලිගේ ගොඩක් කතා වල දකින වෙනසක් තමයි දිනේශ් මල්ලිගේ කතා වල ගොඩක් වෙලාවට ඉන්නේ ඉංග්‍රීසි චරිත.... බටහිර වටපිටාව... ඒ සිරිත් විරිත්...

    මං කැමතියි අපේ චරිත ජීවත් වෙන අපේ වටපිටාව ගැන අපේ සිරිත් විරිත් ගැන ලියවෙච්ච කතාවකුත් කියවන්න... දවසක එහෙම එකකුත් ලියමුද ? යෝජනාවක් පමණි !

    ReplyDelete
    Replies
    1. මධුරංග අයියා දෙපාරක්ම ඔය ගැන කියපු හන්දා ඔන්න ඊලගට ලියන කතාව ඔයාගේ ඉල්ලීමට තමයි ලියන්නේ.. හරිනේ.. ;)

      Delete
    2. ඔන්න මල් කතා එහෙම නං ලියන්ඩෙපා ඈ.. මේ ජාතියේ කුතුහලය තියෙන සිංහල කතාවක් ලියන්ඩ මලේ !

      ඒ එක්කම පොතේ වැඩේටත් පොඩ්ඩක් මහන්සි වෙමු. පොත ලියා තිබ්බා නං ලංකාවට ආ හැටියෙම ප්‍රින්ට් කරන්ඩ පුලුවන්... :)

      Delete
  3. මේ මළවුන්ගේ මාසය නිසාද මේක දැම්මේ ...!

    ReplyDelete
    Replies
    1. මලවුන්ගේ මාසේ නොවැම්බර් !

      Delete
    2. ඉවාන්, එහෙමම එකක් නෑ බං.. නිකන් ඔළුවට ආව එකක්.. ලිවුවා දැම්මා..

      Delete
    3. ඇනෝ, මතක් කිරීම ගැන තුති..

      Delete
    4. අඩේ ඔව් නේද ඇනෝ . සමාවෙන්ට ඕනේ

      Delete
  4. මොන දේ වුනත් මම කියන්න ඔය හැලොවින් පාටි මට නම් මෙලෝ රහක් නැහැ කියල හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං.. මාත් ඒකනම් පිළිගන්නවා.. ඔය ටීනේජර්ස්ලට නම් හොදයි.. මේ අපිට වගේ.. උඹල වගේ තාත්තලා වෙන්න යන අයට තමයි ගැලපෙන්නේ නැත්තේ.. හික්ස්..

      Delete
    2. දැන් මේ දෙන්නට මං මොනවද කියන්නේ. උස කර මහත සරි වෙච්ච කෙල්ලෝ දෙන්නෙකුගෙම තාත්තෙත් වුණු මම. යකෝ මලයිනේ මං නං තාමත් ඔය වගේ දේවල් වලට යනවා බං.

      Delete
    3. ඔවු ඔවු නලීන් අයියේ.. මේ කෝරළයට කිවුවට ඉතින් අපිත් තාම එහෙම තමයිලූ.. ඔවුවට නොගිහින් කෝමද ඉතින්..

      Delete
  5. අනේ මට අන්තිම ටික තේරුනේ නැත්තේ මොකෝ?

    මළවුන්ගේ දවසේ අපි ආදරය කරපු අය ඉන්න තැනට ගිහින් වටේ පොඩ්ඩක් සුද්ද කරලා, මලක්, දෙකක් තියලා, ඉටිපන්දමක් පත්තු කරලා එන එක හිත සැනසෙන වැඩක් හැටියට මම නම් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික අරයටත් තේරිලා නෑලුනේ පොඩ්ඩි අක්කේ..

      අන්තිම ටික මෙහෙමයි.. මළවුන්ගේ දවසේ ඔය ආත්ම නැඟිටලා එනවා කියලා මම අහලා තියෙනවා.. ඇත්ත බොරු නොදනී.. ස්ටුවර්ස් කියන්නේ එහම් නැගිටලා ආව ආත්මයක්.. එයා එයාගේ ආසම මතකයට නැත්නම් තැනට ( ජෙනිෆර් ) ගිහින් ඒ මතකය එක්ක ටිකක් වෙලා ඉදලා එනවා.. ඉසබෙල් කියන්නෙත් ඒ වගේම ආත්මයක් විතරයි..

      ඒක ඇත්ත පොඩ්ඩී අක්කේ.. මාත් ඒදේට කැමතියි.. හැලෝවීන් පාටි වලට වැඩිය හොදම දේ ඒක..

      Delete
  6. දිනේෂ් පෙර ආත්මයක වත් යුරෝපීය රටක ජීවත් වෙලා තියෙනවා. නැත්නම් කොහොමද මෙහෙම කතා එක දිගට ගලාගෙන එන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්න ඇති සුදීක අයියේ.. ඒ නැතත් ඉතින් මේ අවුරුදු 6ක ඉතාලි ජීවිතෙත් දැකපු කරපු දේවල් සෑහෙන්න තියෙනවනේ ඉතින්..

      Delete
  7. අන්න දිනෙෂ් අයියා මධු අයියා කියන කතාව මටත් හිතෙනවා.. අයියා ඒ පැත්තෙන් නව කතාවකට වගේ අත ගැහුවොත් නරකද??

    ReplyDelete
    Replies
    1. ලියන්නම් මලයා ලියන්නම්.. ඊලග කතාවෙන් බලමු..

      Delete
  8. //එදා ඔයා නිසා ජෙනිෆර් බේරුනා// මට මේ කෑල්ල තේරුනේ නෑනෙ!

    …කතාව ලස්සනයි අයියා. හොල්මන් කතාවක් කියලා බයෙන් බයෙන් තමයි කියෙවුවෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඉසබෙල් නේ.. එයත් ඉටුවර්ට් වගේම ආත්මයක් විතරයි.. එදා ජෙනිෆර් සිපගන්න වෙලාවේ දකින්නේ අනතුරක්.. ඒකෙන් එදා ජෙනිෆර් බේරෙනවා..

      Delete
  9. අම්මටසිලි..මටනම් සුවර් එකට හිතුන මේක මලගිය කේස් එකක් කියලා. මාත් මේ ටිකේම හිටියේ මලවුන්..අවතාර ආවේස පුනරුප්පත්ති වගේ කේස් ටිකක් එක්ක

    ReplyDelete
  10. හරිනෙ... දැන් වෙලාව 12.00 නිදාගෙන ඉවරයි...
    මං හිතුවෙ ජෙනිෆර් මැරිල කියල. බලද්දි අනිත් පැත්තනෙ

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්