Monday, 30 September 2013

සසළ සිතුම් ( කෙටි කතාව )



හැමදාම යාන්තමින් ඇහුන හීන් සුසුම් හඬ දවසින් දවස වැඩිපුර ඇහෙද්දී හිතට දැනුනේ කවදාවත් නොවිදපු තරමේ නොසන්සුං කමක්.. අළුත් තැනක පරිසරයට හුරුවෙන එක ටිකක් විතර අමාරු දෙයක් වුනත් ලංකාව වටේ හුඟක් තැන් වල ඇවිදපු මට මේ හැඟීම කවදාවත් නොවින්ද නුහුරු එකක් වුනා.. ඇත්තටම ඒ හඬ මොකද්ද? හිතට නිතරම එන ප්‍රශ්ණය ඒක වුනත් විමතිය ඇරෙන්න අවසානයේ වෙන කිසිම දෙයක් හිතට එකතුකර ගන්න කවදාවත්ම මට පුළුවන් වුනේ නෑ.. පස්සෙන් දුවලා යන්න සැකය මග හැරව ගන්න කියලා හිතට එන හැඟීම් වල කෙලවරක් නොතිබුනත්  නිතරම හිත එකම තැන බැදලා තියා ගන්න හැඟීමක් මං ලගම හිර වෙලා තියෙනවා කියලා මේ ගෙවුන දවස් කීපයට නිතරම හිතට දැනුනා.. ඒත් ඒක මොකද්ද කියලා කියන්න හරියටම මමත් තාම දන්නේ නෑ..

 වෙලාව පාන්දර දෙකහා මාරට විතර ඇති.. යාන්තමින්වත් අහලකටවත් ආව නැති නින්දක් එක්ක සයනය මත පොර බැදිල්ල හිතට එකතු කලේ විඩාවක් විතරක්මයි.. ඒ කොයි වෙලේ හරි පුරුදු විදිහට සුසුම් හඬ  ආයෙම ඇහෙන්න පටන් ගනී කියලා හිත හොදාකාරවම දන්න නිසා.. කාමරේ බිත්තී ඔරලෝසුවේ තත්පර කටුවේ සද්දය එවෙලේ තිබුන නිහඬ පාළු ගතිය කපාගෙන යන තරමටම තීව්‍ර එකක් වුනා.. විශාල බංගලාවක මම තනිවෙලා නැති වුනත් සොභා දහමත් එක්ක අවට හැදුන පරිසරය මගේ හිතට ගෙනාවේ ඒ වගේ හැඟීමක්..

සුපුරුදු වෙලාව හෙමින් ගෙවෙමින් තිබුනා.. වෙනදට මේ වෙද්දී කිහිප වතාවක් ඇහෙන හිත කීරි ගස්සන සුසුම් හඬ අද පළවෙනි වතාවට ඇහෙන්නේ නැතුව ගිය එක හිතට ගෙනාවේ විමතියට එහා ගිය කුතුහළයක් වුන එක උදාවෙන්න ඉතුරු වෙලා තිබුන හෝරා දෙක තුනෙත් නින්ද අහිමි කරන්න පුළුවන් වුනේ කොහොමද කියන්න මටත් හිතා ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. අදුරට හුරු වුන දෑස් වලින් ලඟින්ම දැක්ක මදුරු දැල දිගේ කළුවරේ හැංඟුන ඉහල දිහා බලාගෙන ඉතුරු පැය ගාන ගෙවුනේ ගොඩාක්ම හෙමින්..

" මහත්තයට රෑ හරියට නින්ද ගිහින් නෑ වගේ.. ඊයෙත් මනස්ගාත ඔළුවට ආවද?"

" මනස්ගාත ඔළුවට එන්නවත් එහෙම දෙයක් නොවුන එක ගැනයි මම මේ හිතන්නේ.."

" මට නම් තේරෙන්නේ නෑ මහත්තයා මේ මොනවා කියනවද කියලා.."

" නෑ සිරිපාල, මේ දවස් ටිකේම ඇහුන සද්ද ඊයේ ඇහුනේ නෑ.. මට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා.. ඒක එහෙම වෙන්නත් මොකක් හරි හේතුවක් ඇති.."

ඔහු මං දිහා බලාගෙන හිටියේ මම උන්මත්තක සිතුවිලි වලට පණ දෙන්න අසාර්ථක උත්සාහයක් දරනවා වගේ හැඟීමකින් වුනත් මට දක්වපු ගෞරවය හින්දම ඒ හැම දෙයක්ම ඔහුගේ හිතේම හැංඟුනා කියන එක ඒ ඇස් වලින් තේරුම් ගන්න එච්චරම අමාරු දෙයක් වුනේ නෑ..

" මහත්තයා ඕවා ගැන එච්චරම හිතන්න එපා.. ටික දවසක් යද්දී ඇරිලා යාවි.."

අවුරුදු දහයක ගුරු ජීවිතේ කවදාවත් නොවිදි තරම් වෙනස්ම හැඟීමක් හිත අස්සට හොල්මන් කරමින් තියෙද්දී ගෙවෙන දවස සම්පූර්ණයෙන්ම දැනුනේ මායාවක්  වගේ.. කොයි තරම් කළබල පරිසරයක වුනත් ඔරලෝසුවේ තත්පර  කටුවේ හඬ හිත ගැහෙන රාවයත් එක්ක මුසුව ඇහෙද්දී මේ හැම දෙයක්ම ජීවිතේ කොටසක් වගේම දැනෙන්න අරන් තියෙන එක එක අතකට දැනුනේ මහා වේදනාවක් විදිහට..

" උඹට පිස්සු බං.. සමහරවිට උඹට ඔය ඇහෙන්නේ උඹලගේ ගෙදරම කෙනෙක්ගේ සද්දේ වෙන්න ඇති රහල්.."

" ඒ බංගලාවටම ඉන්නේ මායි සිරිපාලයි විතරයි.. ඉතින් කොහොමද එහෙම දෙයක් වෙන්නේ?"

" සමහරවිට ඔය සිරිපාලම වෙන්න බැරි නැද්ද?"

" නැහැ.. ඒක ගෑණු කටහඬක්.."

" මම හිතන්නේ උඹ නිවාඬුවක් ගත්තනම් හොදයි වගේ.. මේ මාරුවීම අරන් එන්න කලින් වුනත් උඹ නිවාඩුවක් අරන් තිබුනේ නෑ කියලා අපිත් එක්ක කිවුවනේ.."

හිත පුරාම අඳුරු වළාවක් වගේ වහගත්ත හරි හැටි තේරුම් ගන්න බැරි ප්‍රශ්ණයක් එක්ක විවේකයක් නිදහසක් කියන්නේ මොහොතකටවත් ලබන්න බැරි දෙයක් කියන එක හොදටම විශ්වාසයි.. මායාවක් වුනත් එක තැනකදි හැම දෙයක්ම නිරවුල් වෙලා පැහැදිළි වෙලා යන්නේ හුඟක් හෙමින් ගලාබහින දිය පාරක් වගේ.. ඒත් මේ මායාවකට හුඟාක් එහා ගිය දෙයක්.. ඒත් ඒක තේරුමක් නැති සිතුවිළි ගොඩක පැටළුන හුදු මනස්ගාතයක් විතරක්ම වෙන්න පුළුවන් එක සිතුවිල්ලක් විතරක් වුනොත් අවසානයේ මේ හිත නතර වෙන තැන ගැන බුද්ධි මට්ටම කොයිතරම් ඉහල වුනත් කාටවත්ම හරි හැටි කියා ගන්න බැරි වේවි.. ඒත් ඒක ඒ වගේ සිතුවිල්ලක් නෙමෙයි කියන්න මේ හිතට හොදටම ව්ශ්වාසයි..

රස්නයේ ඒ තරම්ම වෙනසක් නොදැනෙන සීතල දහවලට හැඟීම් අපිටත් හොරෙන් අපෙන් ඈතට හුඟාක් අරගෙන යන්න පුළුවන් කියලා දැනුනේ බණ්ඩාරවෙල වතුයාය අතරේ ගෙවපු මේ දවස් කීපයට.. කාලයකට කලියෙන් මේ පරිසරයට හිත හුඟක් ආස කලා.. මේ තරම් ලඟින් හුඟක් කල් විදින්න පුළුවන් වේවි කියලා ඉස්සර නොහිතුනත් අද ඒ ඇල්ම හෙමිහිට නැති වෙලා යන්න පටන් අරන්.. කුඩාවට උස්වුන කඳු පෙලක අතරම මැදි වුන බංගලාව ඈත ඉදන් බලද්දී එය වසාගෙන තිබුන රූස්ස ගස් එක්කම මහා ගුප්ත බවක් එකතු වෙලා කියලා බැළු බැල්මටම පේන්න තියෙනවා..

" ඔය පාළු තැන් වල නතර වෙන්න එපා රහල්.. මේ ලගම තැනක් හොයා ගන්නකන් මාත් එක්ක මගේ ක්වාටස් එකේම ඉන්න.."

" නැහැ සර්.. එතන ඒ තරම්ම කරදරයක් නැහැ.. ඒ නිදහස මගේ ලියන දේවල් වලටත් පහසුවක් වේවිනේ.."

" මන්දා.. ඒත් රහල්ට ඔතන ඉක්මනටම එපා නොවුනොත් තමයි පුදුමේ.."

කඳු පෙල අතරින් ඉහලට නඟින්න ඉදිවුන පුංචි පඩි පෙල අද්දරදි ටික දවසකට කලින් ඇහුන වචන හිත ලඟ දෝංකාර දෙනවා වගේ හැඟීමක් හිතට නිතරම දැනෙන්න වුනා.. ඒ කතාව හිතින් ඈත් කරන්න හුඟක් අමාරු වුනත් හුගක් දේවල් වලට කාලය හිතුවටත් වැඩිය හරස් වෙලා ඉවරයි.. ඒ තරම්ම උනන්දුවක් නොදැනුන හින්දම පඩි පෙල ගාවට වෙලා බංගලාව දිහා බලාගෙන ඉද්දී කල්පනාව හැම දෙයක් අතරෙම හරි ඉක්මනට දුවලා ආයෙම එකම තැනක නතර වෙන්නේ මහ මූසල බවකුත් අරගෙනම..

" අපේ ඉස්කෝලේ මහත්තයාගේ මූණ නම් එච්චරම හොද නැති පාටයි.."

හිතේ හොල්මන් කරන හැඟීම් නිසාම ලගින්ම කටහඬක් ඇහෙද්දි දැනෙන්නේ වෙනදට වැඩිය තිගැස්මක්.. දැන් වුනත් එහෙමයි.. මේ මනුස්සයා කොයි වෙලාවේ මගේ ලගට ආවද කොයිතරම් වෙලාවක් මට කතා කරන්න උත්සාහ කලාද කියලා මම කියන්න දන්නේ නෑ.. ඒත් ඒ කටහඬට මොහොතකට බය වුන මගේ මුහුණ දිහා ඈ බලාගෙන හිටියේ පුදුමයෙන් කියන එක ඒ ඇස් වලින් හොදින්ම පේන්න තිබුනා..

" ඉස්කෝලේ මහත්තයාට කරදරයක් කලානම් සමාවෙන්න.. මම මේ බර කල්පනාවක ඉන්නවා ඈත තියාම දැක්ක නිසයි ටිකක් කතා කලේ.."

" අහ් ඔවු, මම වෙන කල්පනාවක හිටියේ.."

බොහෝ දෙනෙක් විශ්වාස නොකරන සමහරක් හැඟීම් කා එක්කවත් බෙදා නොගෙන ඉන්න එක සමහරක් වෙලාවට හිතට නිදහසක් කියන එක මම දැනගෙන හිටියා.. ඒත් මගේ කෙටි පිළිතුරු වලින් සෑහීමකට පත් නොවුන ඈ මගේ දිහා බලාගෙන හිටියේ වෙනස්ම හැඟිමකින් කියන එක ටික වෙලාවක් යද්දී තේරුම් ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් වුනේ නෑ..

" මට මහත්තයට කියන්න දෙයක් තියෙනවා.."

" මොකද්ද?"

" මේ ගෙදර කලින් නතර වුන හැම මහත්තයෙක්ම ආයෙම යන්නේ ගියේ අසනීප වෙලා එහෙමත් නැත්නම් ඔළුව හොදටම අවුල් කරගෙන.. මට පේන්නේ මහත්තයටත් ඒ දේම වෙන්න යනවා වගෙයි.. මහත්තයා දැන්ම මෙහෙන් යන්න.. මෙතන මහත්තයට ඉන්න හොද තැනක් නෙමෙයි.."

" ඒ ඇයි?"

" කටකතා පණ තියෙන දේවල් වගේ ඉගිල්ලුනාට මහත්තයෝ සමහරක් දේවල් ඇත්ත කියන්න මාත් හරියට දන්නේ නෑ.. ඒත් දන්නේ ටික කාලෙකින් මහත්තයටත් මේ හැම දෙයක්ම ප්‍රශ්ණයක් වේවි කියලා හිතට දැනෙන නිසා.."

බැරෑරුම් වුනත් ඒ වචන අස්සේ හුඟාක් ලොකු දෙයක් හැංගිලා තියෙනවා කියන එක තේරුම් ගන්න අපහසුවක් නොවුනත්, හුඟක් දෙනෙක් වද වෙන්නේ මොකක් නිසාද කියන එක තාමත් මට ප්‍රෙහෙලිකාවක්.. පඩිපෙල ලග වාඩි වෙලා ඉන්න එක ටිකක් වෙලා යද්දීම අනික් හැමදේම වගේම එපා වුන හින්දම බංගලාවේ කාමරය දිහාට ආවේ හරියට ගෙනියන්න බැරි බරක් අරගෙන එනවා වගේ.. ඒ තරමට හිත හුඟක් දේවල් වලින් පිරිලා..

නිදහසක් බලාපොරොත්තුවෙන් ආව කාමරේ හුළඟකින් හැම දෙයක්ම විසිරිලා ගිහින් වගේ අවුල් වෙලා තියෙනවා දැක්කම හිතේ රැදිලා තිබුන හැම දෙයක්ම පරද්දගෙන මේ කාමරේ ඇතුලේ නිතරම රැදුන ඒ මූසල බව හිත ලගට දුව ගෙන ආවා..

" මේ දේ කවුරු කරන්න ඇත්ද?"

හිත මගෙන්ම ඇහුවත් ප්‍රාණයක් නැති දේවල් ගැන විස්වාසය හිතෙන තරමට හිත මේ ගෙවුන දවස් ටිකට බොහෝමයක් වෙනස් වෙලා.. ඒත් මෙහෙම දෙයක් වුනේ ඇයි.. හිත තේරුමක් නැති ප්‍රශ්ණ දිගේ ඔහේ දුවන්න හදද්දී යතාර්ථය ලගට හිත අරන් නතර කර ගෙන හැම දෙයක්ම නිරවුල්ව දකින්න බැරි වෙන තරමටම මොළය වෙනස් වෙලා ගිහින්..

" ඇයි එයා මෙහෙම කලේ.. මොනවද මගෙන් එයාට ඕන කරන්නේ?"

නොපෙනෙන හඬ විතරක් ඇහෙන ඈ දකින්න කතා කරන්න මම උත්සාහ කලා.. අවුල්ව ගිය කාමරේ අතරේ අතරින් ඇවිදින ගමන් ඇස් වලට පේන බොහෝමයක් දේවල් අතරේ හැංගුන ඈ දකීවියි කියලා මගේ හිත විශ්වාස කලා.. පොඩි වෙලවක් වුනත් හිතට දැනුනේ හුඟාක් ලොකු කාලයක් වගේ.. වෙනදා වගේම කාමරේ නිහැඬියාව අතරින් ඇහුනේ ඔරලෝසුවේ සද්දේ විතරයි.. ඒත් මම බලාපොරොත්තු වුන දේ ඒක නෙමෙයි..

" ඔයා කවුද? මට ඔයා එක්ක කතා කරන්න ඕන.. "

කීප සැරයක්ම කතා කලත් හරි උත්තරයක් නොලැබෙද්දී මගේ හඬ මටත් නොදැනිම කෑ ගැහිල්ලක් වුනේ දවස් ගානක් හිතේ තද කරන් හිටපු ආවේගයට.. ඒත් ඒ කේන්තියෙන් පලක් නොවෙන බව දැනන් හිටියා වුනත් හිතට දැනුන අවිවේකි කම හින්දම තවත් වෙලා ඉවසන් ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ මට.. මම ඈට කෑ ගැහුවා..

" මහත්තයා මොකද වුනේ? මම මේ සද්දෙට දුවන් ආවේ.."

මගේ ඔළුව තරමටම අවුල් වෙලා ගිය කාමරය දිහා ඔහු බලාගෙන හිටියේ වචනයක්වත් කතා නොකර.. හිතේ නොසන්සුං කමට හැම දෙයක්ම විසුරවලා දැම්මේ මමයි කියලා ඔහු හිතනවා වගේ හැඟීමකින් මං දිහා බලාගෙන හිටියේ වචනයක්වත් කතා නොකරම..

" මහත්තයා ටිකක් එළියට යන්න.. මම කාමරේ අස් කරලා තියන්නම්.."

" බැහැ.. මට එයාට කතා කරන්න ඕන.."

" කාටද? මොනවද?"

" එයාට, මේ හැම දෙයක්ම කලේ එයා කියලා මම දන්නවා.. මට දැන ගන්න ඕන ඇයි කියලා.."

කිසිම දවසක කෝපයක් නොදැක්ක ඔහුගේ මුහුණේ මං වෙනුවෙන් තරහවක් මතු වෙන හැටි මට හොදින්ම පෙනුන වුනත් ඔහු වචනයක්වත් කතා කලේ නෑ.. මාව අතින් අල්ලගෙන කාමරෙන් එළියට අරන් ඇවිත් සාලේ පුටුවක ඉන්දවපු ඔහු මගේ ඔළුවට අත තියාගෙන මොනවද ගාථා වගයක් කියන්න ගනිද්දි මට පුදුමත් හිතුනා.. මට ඒක නවත්තන්න ඕන වුනා.. මොකද ඊට වඩා මට වුවමනා වුනේ ඇය කවුද කියන එක දැන ගන්න වුනත් ඔහුගෙන් මට ඊට ඉඩක් ලැබුනේ නෑ.. මිනිත්තු කීපයක් ගතවෙද්දී දෑස් ඉබේටම වගේ අඬවන් වුනේ හිත හුඟාක් නිසංසල කර ගෙන..

................................

නින්දෙන් ඇහැරෙද්දී රෑ කළුවරත් හෙමින් වැටෙන්න පටන් අරන්.. සතියකට විතර පස්සේ නිදහසේ දෑස් පියවුන නිසාද කොහේද හිතට දැනුනේ හුඟාක් ලොකු වෙනසක්.. සනීපයක්.. අවුල් වෙලා ගිහින් තිබුන කාමරයේ හැම දෙයක්ම පිළිවෙලයි.. සංසුන්.. ඒත් මගේ හිත?

කාමරෙන් එළියට එන්න හදද්දීම දෙපා පොළවට තදින් අල්ලගෙන වගේ මාව නතර වුනේ ආයෙම ඒ සුසුම් හඬ හෙමින් කාමරයට එපිටින් ඇහෙද්දී.. මගේ හිත දුවලා ගියේ කාමරේ ඔරලෝසුවට.. රෑ හතට කිට්ටුයි.. වෙනදට මැදියමත් පහුවුනාට පස්සේ හිතට වද දෙන සිතුවිළි අද වෙනදටත් කලින් මට වද දෙන්න පටන් අරන්.. ටික වෙලාවකට වුනත් නිදහසේ ලැබුන නින්දේ පහස ඊට වඩා විදගන්න පුළුවන් කමක් තවත් හිත්ට තිබුනේ නෑ.. ආයෙම පුරුදු සිතුවිළි ගොඩ එකින් එක හිතට වද දෙන්න ගත්තා..

සාලයේ කෙළවරකින් කුස්සිය පැත්තට වෙන්න දැල්වුන ලයිට් එකකින් වැටුන පුංචි ආලෝකය ඇරෙන්න අනික් හැම තැනක්ම අදුරෙන් වැහිලා.. ඒත් හැම දෙයක්ම හොදින් හුරු පුරුදු හන්දම අඳුර අතරේ වුනත් ඒ අවට දේවල් දකින එක එච්චරම අමාරුවක් වුනේ නැහැ.. යන්තමට ඇහෙන සුසුම් හඬ ඇහෙන්නේ බංගලාවේ උඩ තට්ටුවෙන් කියන එක හොදටම විශ්වාසයි.. ඒත් මේ බංගලාවේ නවතින්න ඇවිත් ගෙවුන දවස් එකකවත් උඩ තට්ටුවට යන්න පුළුවන් කමක් මට තිබුනේ නෑ.. පුළුවන් කමකට වඩා වුවමනාවක් ආවෙත් නැහැ.. ඒත් දැන් ඒකට හොදම වෙලාව..

සිරිපාල කුස්සියේ කියන එක හොදටම විශ්වාසයි.. සාලය මැදින් අඳුර අතරෙම හෙමීට ඇවිදන් ඇවිත් උඩ තට්ටුවට යන පඩිපෙල ලග මොහොතක් නතර වුනේ හිතේ තියෙන තැති ගැන්ම එන්න එන්නම වැඩි වෙමින් තිබුන හන්දා.. පාළුවයි නිහැඬියාවයි එක්ක මගේ හිත මටම කතා කරන හඬ වෙනදටත් වැඩිය හොදින්ම ඇහුනා.. ඒ එක්කම ඒ සුසුම් හඬ..

ලීයෙන් තැනුන පඩිපෙලේ අත් වැට අල්ලද්දී වෙවුලුව අත හිතේ තියෙන තිගැස්ස්ම කොයි වගේද කියන එක හොදටම තේරුම් කරලා දුන්නා.. පළවෙනි පියවර නගිද්දිම පාළුව අතරින් නැඟුන් ලීයෙහි හඬ මොහොතකට මාව එතනම නතර කලා.. වාසනාවකට වගේ සිරිපාලට කිසිම දෙයක් ඇහුනේ නෑ.. සෙරෙප්පූ දෙක පැත්තකට කරලා ඇගිලි තුඩු වලින් ඉහලට නැඟුනේ ආයෙක කිසිම සද්දයක් නොඇසෙන්න.. ඉහළ හුඟක්ම අඳුරුයි.. ඒත් ආලෝකයක් අරගන්න පුළුවන් කමක් නොතිබුන හන්දම නුපුරුදු අඳුරත් එක්ක පොර බදින්න ටික වෙලාවකට සිද්ද වුනා..

පටු කොරිඩෝව දිගේ ඇවිදන් යද්දී සුසුම් හඬ තවත් ලගින් ඇහුනා.. අපි අතර රැදුන දුරස හුඟාක් අඩුයි කියලා දැනෙද්දී හිතේ ගැස්ම තව තවත් වැඩියෙන් දැනුනා.. යාන්තමින් පිටතින් ආව ආලෝකය හන්දම කොරිඩෝව කෙළවර ටිකක් එළිය වෙලා තිබුනා.. ඒ ගැන හිතට දැනුනේ සතුටක්.. කොරිඩෝව කෙලවර තිබුන පුංචි දොරක් ලග කළු ලෝගුවක් ඇග ලා ගත්ත කවුරු හරි ඉන්න බව ඒ ආලෝකය අතරින් පෙනුනා.. ඒ කවුරු වුනත් කොරිඩෝවේ පිටුපසින් මාත් ඉන්න බව ඒ කෙනාට දැනුනේ නෑ.. ඒ ඇය වෙන්න ඇති.. මට හිතුනා..

පියවර කීපයක දුරක් තියාගෙන ඈ ලගට මම එනකන්ම ඈට කිසිම දෙයක් දැනුනේ නෑ.. ඈ නිසොල්මන්.. හරියට ප්‍රාණයක් නැති දෙයක් වගේ.. හුඟක් වෙලා හිතේ හිර වෙලා තිබුන බය ටිකක් විතර මගෙන් ඈතට යන්න ගිහින්.. ඒත් තවමත් යාන්තමින් දෑත වෙවුලන බව මට හෙමීට දැනෙන්න වුනා.. මෙච්චර වෙලා ඇහුන සුසුම් හඬ දැන් නැති වෙලාම ගිහින්.. සමහරවිට මම ලග බව ඈට දැනුනා වෙන්න ඇති.. ඇඟිලි තුඩු මානෙක දුරකට එන තරම්ම හැම දෙයක්ම තිබුනේ සංසුන්ව.. ඒත් මගේ ඇඟිලි තුඩු ඒ ගතේ දැවටෙන්නත් කලින්ම මං දිහාවට හැරුණ ඇගේ තිබුනේ පියකරු මුහුණක්.. ඊට වඩා ලස්සන අය මීට කලින් දැකලා තිබුනා වුනත් ඇගේ හැමෝටම වඩා වෙනසක් තිබුනා..

" ඔයා කවුද?"

අපි අතර ටික වෙලාවත් තිබුන නිහැඬියාව නැති කරන්න මම උත්සාහ කලා.. ඒත් ඇයට කතා කරන්න වුවමනාවක් තිබුන බවක් පේන්න තිබුනේ නෑ.. නිහඬවම මං දිහා බලාගෙන හිටියා.. ඈ ලස්සනයි.. ඒත් ඇය ගැන දැන ගන්න තියෙන උනන්දුව ඒ හැම දේකටම වැඩියෙන් මට දැනෙන්න වුනා..

" කතා කරන්න.. මම කැමතියි ඔයා ගැන දැන ගන්න.."

මං දිහා තවත් ටික වෙලාවක් බලාගෙන හිටපු ඇය කොරිඩෝවේ ආළොකය වැටුන තීරය දිගේ ටිකක් එහාට ඇවිදන් යන්න වුනා.. මං ඒකට අකමැති වුන නිසාම ඇයට නවත්වන්න උත්සාහ කලත් මට ඇයව අල්ලන්න බැරි උනා.. වළා රොදක් අතරින් අතඟිලි පාවෙලා යන්න වගේ ඇය මගෙන් ගිලිහුනේ ඈ කවුද කියන එක ගැන මට නිහඬවම කියා දෙන ගමන්.. කොරිඩෝවේ ආලෝකය රැදුන අනික් කෙළවර හිටගත්ත ඇය කුඩා කවුළුවෙන් එළිය බලාගෙන හිටියා.. ඇය ගැන දවස් ගානක් පුරාවට හිතේ රැදුන බය දැන්නම් පොඩ්ඩක් වත් නැති තරම්.. ඈ එළියේ බලාගෙන ඉන්න දෙයට වඩා ඇගේ ඇස් දිහා බලන්නයි මට වුවමනා වුනේ.. ඒත් ඒ ඇස් දුකකින් වැහිලා තිබුනා..

" මේ අහන්න, මගෙන් ඔයාට කරදරයක් නෑ.. මට ඕන කතා කරන්න විතරයි.."

වළාවක් වගේ ලග දැවටුන ඈ ලගට මං ලං වෙන්න උත්සාහ කලා.. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට ඇගේ මුහුණ වෙනස් වුනේ හරියට හීනයක් වගේ.. සුන්දරත්වයෙන් මුසුවෙලා තිබුන ඇගේ මුහුණ ක්ශණයකින් විරූපී වුනේ මාව ඈට කරදරයක් විදිහට දැනුන නිසා වෙන්න ඇති.. පියවරක් ආපස්සට ආවත් නොහිතපු විදිහට හුළගේ පා වෙලා වගේ ඇවිත් කොරිඩෝවේ බිම පතිත වුනේ එකේ ලී පොලවේ සද්දෙත් එක්කම.. මා ලගම හිටි ඇය අදුර අතරෙම ඇගේ විරූපී මුහුණ හංගගෙන සැගවෙලා යද්දී වෙදනාවට හෙමිහිට දෑස් පිය වෙලා ගියා..

..............................

හිස පුරාවට දැනුනේ වේදනාවක්.. හිස පුරාවට බැදුන වෙළුම් පටි දිගේ හිස තුලටම වේදනාව තද කරනවා වගේ දැනුනේ.. අමාරුවෙන් නැගිටින්න උත්සාහ කලත් ගත ඒකට වාරුවක් වුනේ නෑ..

" මහත්ත්යා මොකද වුනේ?"

" සිරිපාල මම ඊයේ රෑ ඇයව දැක්කා.."

" කවුද?"

" හැමදාම රෑට අඬනවා ඇහෙන්නේ.. මට ඊයේ රෑ ඇයව මුණ ගැහුනා.."

" මහත්තයා, මහත්තයට තාම හොදටම සනීප නෑ.. ඒ නිසා ටිකක් විවේක ගන්න.. දැන් වත් ඔය මනස්ගාත් අත ඇරලා දාන්න.."

" මනස්ගාත නෙමෙයි සිරිපාල.. මම දන්නවා.. ඇය ඉන්නවා.."

" ඒ කොහොමද?"

" ඊයේ රෑ උඩ තට්ටුවෙදි මම ඇයව දැක්කා.. මම කතා කරන්න උත්සාහ කලා.."

" ඒක වෙන්න බෑ මහත්තයා.."

" බෑ නෙමෙයි සිරිපාල.. එයා මොහොකට හරි බය වෙලා හිටියේ.."

" මහත්තයෝ, මහත්තයා මේ විකාර දේවල් නිසා හොදටම කලබල වෙලා.. අපි යමු දොස්තර කෙනෙක් ලගට.."

" නෑ සිරිපාල.. එහෙම ඕන නෑ.. අපි අද රෑට උඩ තට්ටුවට යමු.. මම සිරිපාලට මම කියන දේ ඇත්ත පෙන්නන්නම්.."

" මහත්තයා මේ ගෙදර උඩ තට්ටුවක් නෑ.."

මොහොතකට නිහඬ වුන හැම දෙයක්ම අතරේ මගේ හිත ගැහෙන හඬ හොදින්න ඇහෙන්න වුනා.. ඒ වුනත් ඔහුගේ කතාව විස්වාස කරන්න පුළුවන් තරම් මානසිකත්වයක් මගේ ලගට ආවේ නැහැ..

" ඒත්.."

" මහත්තයට විශ්වාස නැත්නම් එන්න.. මන් පෙන්නන්නම්.."

ඔහුගේ වාරුවෙන්ම සාලය දිගේ ඇවිදන් යද්දී හිසට දැනුන වේදනාව උල් ආයුධයකින් මොළය තුලට යවනවා වගේ වැඩියෙන් වේදනා දෙන්න වුනා.. අඳුරේ රාත්‍රියේ නැවතුන තැන තිබුනේ පුංචි කාමරයක්.. ඒත් කිසිම ලී පඩි පෙලක් නෑ.. එතකොට මම රෑ ඇවිදන් ගියේ? ඒ හැම දෙයක්ම මට හොදට මතකයි..

" මම රෑ කුස්සියේ උයද්දී සාලෙන් සද්දයක් ඇහිලා එද්දී මහත්තයා මෙතන වැටිලා ඉදියා.. කරුවලේ ඇවිදන් එන්න ගිහින් පය පැට ලෙන්න ඇති.. කෑම මේසේ පුටුවේ ඔළුව වැදිලා තුවාල වෙලා ලේ ගිහින් තිබුනා.. ඒ හන්ද මහත්තයට සිහිය නැති වෙලයි තිබුනේ.."

" ඒත් එහෙම වෙන්න බෑ.. මම ඊයේ ඇයව දැක්කා.. හුඟක් ලගින්.."

" මහත්තයා මම මෙහෙම කියනවට සමාවෙන්න.. මම හිතන්නේ මහත්තයා තේරුම නැති දේයක් ගැන හිතලා  හිත අවුල් කරන්.. අපි යමු දොස්තර කෙනෙක් ලගට.. ඒක හොදයි.."

මං වටේ තියෙන හැම දෙයක්ම කැරකෙනවා වගේ මට දැනුනේ.. එතකොට මේ සිද්දවුන හැම දෙයක්ම මායවක්ද? එහෙමත් නැත්නම් හීනයක්ද? කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිසට දැනුන වේදනාව තවත් වැඩියෙන් දැනෙන්න වුනා.. හරියට ඔළුව පුපුරලා යන්න වගේ.. මම තදින් ඔළුව අල්ලගෙන ලගම තිබුන පුටුවක වාඩි වුනේ කිසිම දෙයක් ගැන හරිහැටි හිතා ගන්න බැරුව..

ගෙවුන දවස් කීපයට සිද්ද වුන හැම දෙයක්ම මට හොදින්ම මතකයි.. හමුවුන හැම දෙයක්ම වගේම ඇගේ සුරූපි මෙන්ම බියකරු මුහුණත් මට හොදටම මතකයි.. ඒත් ඇත්තටම වුනේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරද්දී හිසට දැනෙන වේදනාව තව තවත් වැඩියෙන් දැනෙන්න වුනා ඇරෙන්න කිසිම දේකට පිළිතුරක් හිතා ගන්න මේ හිතට බැරි වුනා..

ඇත්තටම ඒක මායවක්ද? හීනයක්ද? එහෙමත් නැත්නම් පිස්සුවක්ද?



නිමි..






23 comments:

  1. ඇත්තටම ඒක මායාවක්වත් හීනයක්වත් නෙමෙයි මානසික රෝගයක්

    ReplyDelete
    Replies
    1. ඔවු පැතුමෝ.. එහෙම මිනිස්සු උන්නවා.. හිතින් තමගෙම වෙනම ලෝක හදාගෙන ඉන්න.. මේත් ඒවගේ කෙනෙක් තමයි..

      Delete
  2. ශිහ් ........ ටිකක් වෙලා හිටියා හොඳ සිහියට එන්න. ඇත්තටම එහෙම දෙකට මුහුණදෙන්න වුනොත් මොනවාවෙයිද ...? උපරිමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් වුනොත් ආයේ මානසිකත්වය ලේසියෙන් හදා ගන්නවා නම් බොරු.. නිතරම ඔය සිද්දිය ඔළුවේ දුවාවි..

      Delete
  3. OMG හොල්මං ද පොල්කොළ කිව්වලු........... මේකට තව ඒ කෙල්ල ගැන විස්තරේකුත් ඇඩ් කලානම් කික් එක වැඩි වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හිතුනා.. ඒත් එහෙම ඕන නෑ කියලා හිතුනා කොර්ලේ.. මොකද ඒක කොල්ලගේ හිතේ තියෙන දෙයක් විතරනේ.. ඉතින් ඒක ඇත්තක් කරන්න කෙල්ල ගැන විස්තර යොදන එක අසාර්ථක වෙයි කියලා හිතුනා.. අපි කෙල්ලව අභිරහස්ක්වම තියමු..

      Delete
  4. නියමයි..කතාව කියවන්න ආස හිතෙනව.කියවන්නාගේ කුතුහලය හොදට අදුනගෙන ලියල තියෙනව ...

    ReplyDelete
    Replies
    1. ටික දවසක ඉදන් වෙනස් කතාවක් ලියන්න ඕන කම තිබුනා.. මේ ඒක තමයි ඉතින්.. තව ඉස්සරහට බලමු වෙනස් විදිහේ කතාත්..

      Delete
  5. කුතුහලය තුලින් කියවන්නාව හොදට ග්‍රහණය කරගෙන තියෙනව. මේ වගේ අද්භූත කතා කියවන්න නම් මාත් ගොඩක් කැමතියි.
    මං අදම තමා මේ පැත්තෙ ගොඩ වැදුනෙේ ඒත් මේ කතාව ආශාවෙන් කියෙවුවා.

    ReplyDelete
    Replies
    1. අද්භූත කතා කියවන්න වගේම ලියන්නත් මම කැමති.. ඉඩක් තියෙනවනම් මම ලියපු Room no 13 කියවන්න.. ඒකත් ටිකක් අද්භූතයි..

      වර්ණයට සාදරයෙන් පිළිගන්නවා.. ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න එන්න..

      Delete
  6. හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. මොකෝ මලයා හ්ම්ම්ම්?

      Delete
  7. අම්බෝ කාලෙකට පස්සේ තමා එන්ඩ උනේ..
    ඒ දවස්වල ලියපු කතා වගේ තමා නියමයි !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා මධු අයියව දැක්ක කල් ඉතින්.. අයිය ඉතින් මාත් එක්ක ඒ කාලේ ඉදන්ම හිටියනේ..

      Delete
  8. එල බං,අන්තිම වෙනකම්ම මුකුත් හිතා ගන්න බැරි ලියලා තියෙනවා.
    කුතුහලය උපරිමයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං.. ඒ බව දැනෙන්න ලියන්නයි වුවමනා කලේ.. ඒක සාර්ථක වුන එක ගැන සතුටුයි මට..

      Delete
  9. කථාවෙ කුතුහලය නම් උපරිම විදිහට තිබුනා. ළඟදි ආයෙත් එරිකෝ හන්ටර්ගෙ කතාවක් ලියන්න අදහසක් නැද්ද දිනේශ්?

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ කට්ටියට එරිකෝ නැතුවම බෑ වගේනේ..

      කතාවක් ලියලා තියෙන්නේ චම්ස්.. මගේ පේජ් එකේ නම් මම ඇඩ් එකකුත් දැම්මා ලගදිම එනවා කියලා.. ලබන සදුදට දානවා.. කියවන්න එන්නෝ.. :)

      Delete
  10. Replies
    1. ඒක හන්දා තමයි ඊයේ රෑ කියවන්න නුදුන්නේ.. නැත්නම් මට ඉන්නත් වෙන්නේ නෑනේ.. ඒ කවුද කියන්න ඉතින් අපි දන්නෙත් නෑ.. ඒක කොල්ලගේ හිතේ මැවෙන එක විකාර සිතුවිළි ටිකක් විතරයි කිවුවනම් තමයි හරි.. ඔයත් වැඩිය මේ ගැන හිතන්න එපා ඒ.. ;)

      Delete
  11. සබ්බේ සත්තා උම්මත්තකා.... මං කතාව තෙරුන් ගත්ත විදියද මංදා!

    ReplyDelete
  12. පරක්කු වෙලා හරි කියවන්න ලැබුනා ඕන් .
    නියම කතාව මේ වගේ අයත් ඕන තරම් ඉන්නවා ඇති අපි අතරත්
    __________
    ස්තුතියි ජය !

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්