Tuesday, 9 July 2013

එරිකෝ හන්ටර් - The Flying man 7 ( End )




රාත්‍රී ආහාරයට කාමරය තුලම රැදුන එරිකෝත් සිම්රනුත් විලියම්ස් පවුලේ අභිරහස ගැන බොහෝ දුරට කතා කරන්නට විය.. තවමත් තේරුම් ගන්නට නොහැකිව ඉතිරිව තිබූ බොහෝමයක් දේවල් ගැන එරිකෝගේ හිතේ රැදුන අසතුට හොදින්ම තේරුම් ගන්නට සිම්රන්ට එතරම්ම අපහසුවක් නොවීය..  මැදියමත් පසු වන තුරාම බොහෝමයක් දේවල් ගැන කතා කරමින් උන් ඔවුන්ට නින්දට යාමට වුවමනාවක් නොතිබුනේ හිත නොසංසුන් කරමින් තිබූ අභිරහස නිසාවෙන්ය..

" සිම්රන් එරික් කියපු දේවල් විශ්වාස කරනවද?"

" විශ්වාසයිම කියන්නත් බෑ එරිකෝ.. ඒත් එරික් කියපු සමහර දේවල් වැරදී කියලා ඔප්පු කරන්න පුළුවන් කමක් අපි ලගත් නැහැනේ.. කොටින්ම එරික් එදා අයර්ලන්තයේ හිටියා කියන එක ඔයා වුනත් කලින්ම කියපු දෙයක්නේ.. ඒ හන්දා මට හිතෙන්නේ එරික් කියන්නේ ඇත්ත කියලා.."

" ඒත් සිම්රන් එරික් මේ දේවල් කරපු කෙනා ගැන දන්නවා වෙන්න බැරිද? පුංචිම හරි දේකින් එරික් ඒ කෙනාව උදවුකලා වෙන්න බැරිද? ඒ දේවල් බැරි වෙලාවත් එලියට ඒවි කියන සැකේ නිසා එරික් මේ විදිහට අපිත් එක්ක ඇවිත් කතා කලා වෙන්න බැරිද?"

ඇද මත හාන්සි වී හිදිමින් එරිකෝගේ කතාවට ඇහුම්කන් දෙමින් උන් ඈ ඉන් නැගිටුනේ ඇය කිසිවිටකත් එවැනි තර්කයක් ඔහුගෙන් බලාපොරොත්තු නොවූ නිසාවෙන්ය..

" එරිකෝ මේ ප්‍රශ්ණය ගැන කොයි විදිහට හිතනවද කියන එක මට තේරුම් ගන්න බෑ.. ඒත් ඇත්තටම මට එරික් ගැන එහෙම දෙයක් හිතා ගන්න බෑ.."

" හ්ම්ම්.. මට එහෙම හිතෙනවා සිම්රන්..  කෙනෙක් හුඟාක් ව්වෘත වෙන්නේ තමන් නිවැරදී කියලා ඕනවට වඩා ඔප්පු කරලා පෙන්නන්න ඕන උනාම කියලා මට හිතෙනවා.. එහෙනම් ඇයි එරික් එයා නිවැරදී කියලා මේ තරම්ම ඔප්පු කරලා පෙන්නන්න හදන්නේ? සමහරවිට මගේ මේ තර්කය සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.. ඒත් මට මගේ ඒ අදහසත් බැහැර කරන්න අමාරුයි.."

" මට නම් එහෙම හිතෙන්නේ නෑ එරිකෝ.. මම ගොඩ නගන්න උත්සාහ කරන විසදුම අතරේ මට එහෙම දෙයක් හිතා ගන්න අමාරුයි.. අනික එරික් නිවැරදී කියලා ඔප්පු කරන්න සංදර්ශණය වගේම වික්ටෝරියාත් හොද සාක්ෂියක්.. හැබැයි කවුරු නමුත් එරික්ගේ දැනුම මේ අපරාධ වලට පාවිච්චි කරා කියන එකනම් මට හොදටම විශ්වාසයි.."

" ඔවු සිම්රන් ඒක ඇත්ත.. මේ හැම මරණයකම අවසානයේ කිසිම සාක්ෂියක් ඉතිරි නොවුනේ අන්න ඒ හන්දා තමයි.. ප්‍රාන්ත පොලීසිය වුනත් සුළු සිද්ධියක් හේතු කර ගෙන මයිකල්ව අත් අඩංගුවට ගන්න පෙලඹුන එක සාදාරණයි කියලා මට හිතෙනවා.. මොකද ඒ අවස්ථාවේ තියෙන ප්‍රභලම සාක්ෂිය ඒක නිසා.."

"හොදයි එරිකෝ, අපි ඊළගට මොකද කරන්නේ?"

" අපි හෙට උදේට එරික් එක්ක කතාවුන විදිහටම අපේ කටයුතු කරමු.. මම හිතන විදිහ හරිනම් අපිට හෙට නියම අපරාධකාරයා හොයා ගන්න අමාරු වෙන එකක් නෑ සිම්රන්.."

" මේ පවුලේ කෙනෙක්ම එරික්ගේ දැනුම යොදාගෙන ඒ දේවල් ඉගෙන ගෙන මේ හැම මරණයක්ම කලානම් අපිට සැක කරන්න වෙන අය අතරට ආයෙම මයිකල්වත් ගන්න වෙනවා නේද? එහෙම බලද්දී හෙට ඔයා කරන්න යන දේ සම්පූර්ණයි කියලා හිතන්න බෑ නේද එරිකෝ?"

" සිම්රන්ගේ තර්කය හරි.. ඒත් මම මයිකල් ගැන තියෙන සැකය හිතින් අයින් කර ගන්න හේතු කීපයක්ම තියෙනවා.. සිම්රන් ඔහුව ආයෙම සැක කරන්න හේතුවක් කර ගන්නේ ඔහු එරික්ගෙන් හැම දෙයක්ම හොදින්ම ඉගෙන ගත්තු එකම කෙනා නිසා වුනාට දැනටමත් ලන්ඩන් වල හිර ගෙදර ඉන්න කෙනෙක්ටදේ අපි අද උදේ දැක්ක විදිහේ අඩි සළකුණක් තියලා යන එක කරන්න පුළුවන් දෙයක්ද?"

" ඔවු ඒකත් ඇත්ත එරිකෝ.."

" හෙට මේ හැම දෙයක්ම විසදන්න පුළුවන් කියලා මට විශ්වාසයි සිම්රන්.."

හිදගෙන හිදි දිගු පුටුවේම හාන්සි වෙමින් ඇස් පියා ගන්නට එරිකෝ සැරසුනේ නින්දක් ලගකවත් නොමැති බව හොදින්ම දැනගෙනය..

..............................

යාන්තමින් හිරු එළිය වැටී එත්ම වේලාසනින්ම අවදි වුන එරිකෝ සුපුරුදු පරිදිම අන්තර්ජාලයේ සැරිසරමින් එදිනෙදා සිදුවීම් ගැන තොරතුරු සොයන්නට වීය.. නමුත් වෙනදා මෙන්ම ඒ ගැන බොහෝ උනන්දුවක් ඔහුගේ සිතේ ඇති නොවුනේ එරික් තුලින් බලාපොරොත්තු තබා උන් අවසානය ඔහුගෙන් ලැබේවියි යන බලාපොරොත්තුව හිතේ රැදුනු නිසාවෙන්ය..  හෝරා දෙකක් පමණ විසදන්නට ආසන්නව තිබු අභිරහස ගැනත් අතරින් පතර අන්තර්ජාලය අතරත් රැදෙමින් තිබුන එරිකෝගේ හිත ඒ හැම හැම දෙයකින්ම මිදුනේ සිම්රන්ගේ කටහඬත් සමඟින්ය..

" ගුඩ් මෝර්නින්ග් එරිකෝ.. ඔයාටනම් මුළු රෑම නින්ද ගිහින් නෑ වගේ?"

" ඇත්තෙන්ම නැහැ සිම්රන්.. මේ ප්‍රශ්ණේ ඔළුවේ තියෙනකන් නිදහසේ නිදා ගන්න මට බැරි බව සිම්රන් දන්නවනේ.."

" එරික් අපිට වුවමනා දේ ඒ විදිහටම කරයි නේද?"

" ඇයි සිම්රන් එහෙම ඇහුවේ?"

" නැහැ.. අපි ඔහු ගැන සැකයක් ගොඩ නගන් එද්දීම ඔහුම ඇවිත් වුවමනාවටත් වැඩිය අපිට විවෘත වුන නිසා.."

" කියන්න බැහැ සිම්රන්.. අපි බලමු.."

ඔවුන්ගේ කතාවට භාදාවෙමින් කාමරයේ දොර අසලින් ජෝර්ජ්ගේ හඬ ඇසුනේ කලින් දා රාත්‍රීයේ කතා වූ පරිදිම වැඩ්මිලර් පවුලේ අය සමග ටික වේලාවක් ගත කරන්නට එරික් කාලය සූදානම් කර තිබූ හඟවමින්ය.. මද වේලාවක් සිම්රන් හා කතාකරමින් උන් ඔහු නික්ම යන තුරු එරිකෝ නිහඬවම බලාගෙන සිටියේය..

" තව ටිකකින් රිචර්ඩ්ගේ කාර්‍‍යාල කාමරයට එන්න කිවුවා.."

එරිකෝ කිසිවක් නොකියාම පරිඝණකය තුලම සිත යොමන්නට උත්සාහ කලත් දුහුල් රාත්‍රී ඇදුමින් සැරසී හිදි සිම්රන් ඔහුගේ සිත නොදැනිම ඈට නතුකර ගත්තාය..

වැඩි වේලාවක් නොගෙනම කාමරයෙන් පිටත් වුන ඔවුන් රිචර්ඩ්ගේ කාර්‍යාල කාමරයට එන විටත් වැඩ්මිලර් පවුලේ හැමෝම වාගේ එරික් සමග කතාබහේ යෙදෙමින් සිටියේය..

" එන්න මිස්ටර් එරිකෝ හැමදාම වගේ ඔබ එන්නේ කියපු වෙලාවට ටිකක් හරි පහු වෙලා.."

රිචර්ඩ්ගේ කතාව එරිකෝට නොරිස්සුම් බවක් ඇති කලත් ඒ බවක් නොපෙන්නන්නට උත්සාහ කල ඔහු, ඔහුට වුවමන හැම දෙයක්ම නිවැරදිව තිබේදැයි යන්න බැලීමට කාලය ගත කලේය.. තම සුපුරුදූ සුවපහසු අසුනේම හිදගෙන සිටි රිචර්ඩ් අසලම පවුලේ අනිත් අය සිටියදී කුඩා ගිණි උදුන අසලට වී හිදි එරික් ඔහුගේ අතෙහි වූ පොතකට අවදානය යොමා ගෙන සිටියේ එරිකෝ ආ බවක්වත් නොදැනෙන පරිද්දෙන්ය..

" ගුඩ් මෝර්නින්ග් එරික්, ඔබ සූදානමින් වගේ.."

" කොච්චර සූදානම් වුනත් හැම වෙලාවකම හිතේ කුතුහලයක් තියෙනවා එරිකෝ..  හිතේ පුංචිම හරි නොසංසුන් කමක් ඇති ලොකූ වැරැද්දක් වෙන්න.."

" අද එහෙම වෙන්න ඉඩක් නැහැනේ එරික්.. ඉන්නේ අපි විතරනේ.."

" කුතුහලයයි නොසංසුංකමයි ඇති වෙන්න ඉන්නෙ කවුද කියන එක වැදගත් නෑ එරිකෝ.. මට දැනෙන්නේ හැම මොහොතක්ම එක වගේ.."

" මිස්‍ටර් එරිකෝ, මට ඔබත් එක්ක ටිකක් කතා කරන්න ඕන.."

එරික් සමග තිබු කතාබහ අතර තුරේ ගිණි උදුන අසලට ආ ලොරේන් වැඩ්මිලර් වලවුවේ ගෙවුන දවස් කිහිපයේ පළමු වතාවට එරිකෝ සමඟ කතාකිරීමට පැමිණිම ඔහුගේ සිතට පුදුමයක් විය.. පවුලේ හැමෝගෙන්ම ඈත්ව කාමරයේ එක් කෙලවරකට වන්නට තිබුන ජනේලය අසළට ගිය ඈ එරිකෝ සමග කතාකලේ බොහෝම සිහින් හඬකින්ය..

" මිස්ටර් එරිකෝ, මම හොදින්ම දන්නවා මයිකල් නිවැරදී කියලා.. ඔබ සමහර විට දන්නවා වුනත් නැතත් මේ පවුලෙම අය එකතු වෙලා මයිකල්ව ඒකට අහු කරා.. ඒක මයිකල්ට වුනත් හොදින්ම තේරුණ දෙයක්.. ඒත් අපිට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නෑ.. එයාගේ නිහඬ බව හන්දා අන්තිමේ මේ වරදට නිකම්ම වැරදි කාරයා වුනේ මයිකල්.. ප්ලීස් මිස්ටර් එරිකෝ, මම හිතනවා ඔබට මයිකල් වෙනුවෙන් සාධාරනයක් කරන්න පුළුවන් කියලා.."

" මයිකල් නිවැරදී ලොරේන්.. ඒකේ සැකයක් නෑ.. ඒත් හරියටම කවුද මේ හැමදෙයක්ම කලේ කියන දේ හොයා ගන්න තව ටික කාලයක් ඕන.."

" මිස්ටර් එරිකෝ, ඇවිත් ඉදගන්න.. හැමදේම ලෑස්තියි.."

තවත් බොහො දේ කියන්නට හිතේ තිබෙන බව ලොරේන්ගේ මුහුණින් හොදින්ම පෙනෙන්නට වූවත් ඊට අවස්ථාවක් නොමැති වීම ගැන ලොරේන්ගේ මෙන්ම එරිකෝගේ හිතේද පසුතැවීමක් එක් කලත් අකමැත්තෙන් වුවද කතාබහට සමුදී වැඩ්මිලර් පවුලේ අය සමග එක් වුනේ එරිකෝට වුවමනා කර තිබූ අවසන් නිගමන කිහිපයට එලඹිමේ අරමුණිනි..

එරිකෝත් සිම්රනුත් වැඩ්මිලර් පවුලේ අයට පිටුපසින් තිබූ අසුන් වල හිද ගත්තේ ඔවුන් ගැන හොද අවදානයක් ලබා දීමට පහසු වෙන පරිද්දෙන්ය.. කාමරයේ දොර අසළින්ම  රැදී සිටි ජෝර්ජ් වැඩ්මිලර් පවුලේ අයගේ අවශ්‍යතාද සපුරමින් එරික්ගේ හැකියාවන් දෙස බලාගෙන සිටියේය.. වැඩ්මිලර් පවුලේ අය සමග රැදුනත් නිතරම එරිකෝ දෙස බලමින් වුන් ලොරේන් හට එරිකෝට පවසන්නට බොහෝ දේ ඇති බවක් ඇගේ මුහුණින් හොදින්ම පෙනෙන්නට තිබුනාය..

පවුලේ අය සමග ගෙවෙමින් තිබුන කාලය ලොරේන්ට හැරෙන්නට අනික් හැමෝගේම සිත් වලට සතුටක් ගෙන එමින් තිබුන බව හොදින්ම පෙනෙන්නට විය. එරික්ගෙන් ඉගෙන ගත් ඇතැම් දේවල් හොදින් ප්‍රගුණ කර තිබු රිචර්ඩ් හොද මැජික් ශිල්පියෙකුගේ හැකියාවන් එරික් තරමටම පෙන්වන්නට සමත් වීම එරිකෝගේ සැකය ඔහු වෙතට තවත් ඇද ගන්නට හේතුකාරණා විය.. සතුට අතරින් ගෙවී ගිය හෝරාවක පමණ කාලය අවසානයේ හිදගෙන වුන් අසුනෙන් නැගිටුන එරිකෝ එතෙක් වේලා ඔහුගේ රැදුන නිහැඬියාව බිද දමමින් තමන් බලාපොරොත්තු වූ අරමුණට ඉටුකර ගන්නට පළමු පියවර තැබීය..

" එරික්, අපිට ඔබේ පාවෙන හැකියාව ගැන රහසත් කියලා දෙන්න බැරිද?"

" ඒක හුඟක් සංකීර්ණ දෙයක් එරිකෝ.. මම හිතන්නේ නෑ ඒක එහෙම ලේසියෙන් කියලා දෙන්න පුළුවන් වෙයි කියලා.."

"එහෙම කියන්න එපා එරික්, ඔයා කලින් දවස් වල කියලා දීපු දේවල් වලින් ඔයාගේ නැණ්දම්මා නම් අපිටත් වැඩිය ඒක හොදටම ඉගෙන ගෙන.."

" එහෙමනම් මිසිස් ස්ටෙලාට පුළුවන්නේ අපිට ඒක කරලා පෙන්නන්න.."

" මේ රිචර්ඩ්ගේ බොරු මිස්ටර් එරිකෝ.. තවම මට එයා තරම්වත් හොදට උඩට එසවෙන්න බැහැ.."

" ඒ කියන්නේ ඔබලා දෙන්නාටම යම් තරමකට හරි ඒ දේ පුළුවන් කියන එක.. අනිත් දේවල් දැක්කා වගේම අපි ඒකත් බලමු නේද එරික්.."

එරිකෝගේ යෝජනාවට ස්ටෙලාගේත් රිචර්ඩ්ගේත් අකමැත්ත සතුට අතරින් වෙනස් වුන මුහුණු වලින් හොදින්ම පෙනෙන්නට වුවත් හැමෝගේම පෙරැත්ත නිසාම හිදගෙන සිටි අසුන් වලින් නැගිට ගිණි උදුන අසලට විත් එරික්ගේ සමිපයේ සිට ගත් ඔවුන් එරික්ගේ මඟ පෙන්වීම් අතරේ ඔහුත් සමඟම ඉහලට එසවෙන්නට උත්සාහ දැරීය..

පළපුරුද්ද නිසාම ඉක්මනින්ම පොලවෙන් මදක්  ඉහලට එසවුන එරික් බොහෝ වේලාවක් එලෙසම රැදී සිටියදී යම් තරමකින් වත් එසවෙන්නට නොහැකිවුන රිචර්ඩ් උත්සාහට අත්හැර දමද්දී ස්ටෙලා කෙමෙන් කෙමෙන් ඉහලට එසවුනේ පවුලේ හැමදෙනෙක්වම මවිතයටද පත් කරමිනි.. කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දෙය ගැන එරික් සතුටට පත් වෙද්දී එරිකෝගේ හිතේ මැවුනේ ඊට වෙනස්ම වූ හැඟීමක්ය..

" මිසිස් ස්ටෙලා, ඔබට කොච්චර කාලයක් ඉදන් මේ දේ කරන්න පුළුවන්ද?"

" ටික කාලයක් මිස්ටර් එරිකෝ.. ඒත් මට තාම එරික්ට වගේ හුඟක් වෙලා ඉහල රැදෙන්න අමාරුයි.."

" හ්ම්ම්, ඒ හන්දයි ඔබ ටික වෙලාවකින් පොළවේ අඩිය තියලා ආයෙම ගමන් කරන්න උත්සාහ කරන්නේ.."

" ඔවු මිස්ටර් එරිකෝ.. මම හිතන්නේ මට එරික් සංදර්ශණයේදි කරනවා වගේ එක දිගට ගොඩක් දුර ඒ විදිහට යන්නනම් තව ගොඩක් මහන්සි වෙන්න වේවි.."

" ඔය දන්න ටිකෙන්ම මිසිස් ස්ටෙලා හුඟාක් ප්‍රයෝජන අරන් තියෙන එකේ මම හිතන්නේ නෑ තව දුරටත් ඒ ගැන මහන්සි වෙන එකේ වැදගත් කමක් තියෙයි කියලා.."

කාමරයේ සිටි හැම කෙනෙක්ම එක වරෙම එරිකෝ දෙස බලා හිදියේ ඔහු කියූ දෙය තේරුම් ගන්නට නොහැකී වූ නිසාවෙන්ය.. කිසිවක් නොකියාම එරිකෝ දෙස කේන්තියෙන් මෙන් බලා හිදි ස්ටෙලා පිළිතුරක් දීමට බොහෝ වේලාවක් අර ගත්තාය..

" මිස්ටර් එරිකෝ මොකද්ද කියන්නේ කියන එක මට තේරෙන්නේ නෑ.."

" හරි අපි මෙහෙම කියමුකෝ.. විලියම්ස් පවුලේ මරණයන් එක්ක මිසිස් ස්ටෙලා මේ දැන කරලා පෙන්නපු දේ බැදිලා තියෙනවා කියලා.."

" මිස්ටර් එරිකෝ ඔබ හොද සිහියෙන්ද ඉන්නේ? දැන් නම් ඔබ ඔබේ සීමාව පන්නලා යන්නවා.."

බලාපොරොත්තු නොවූ වේලාවක එරිකෝ කියන්නට යන දෙයින් කෝප වුන රිචර්ඩ් එරිකෝට  කෑ ගසන්නට වුවත් ඔහු ඒ ගැන එතරම්ම උනන්දුවක් නොදැක්වීය..

" මිස්ටර් රිචර්ඩ්, මම කරන්නේ මගේ රාජකාරිය.. ඔබලා නිවැරදි නම් ඒක ඔබලාගේ පිලිතුරු වලින්ම ඔප්පු වේවි.. මම වැරදි නම් ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න ඕන වෙලාවක සූදානම්.. ඒ හන්දා දැන් ඔබවත් වෙන කවුරුවත්ම මට බාදා කරන්න එපා.."

එරිකෝගේ ආවේගශීලී කතාබහ ඉදිරියේ කිසිවක් කියන්නට නොගිය රිචර්ඩ් වාඩි වී හිදි පුවටම බර වූයේ ඔහුගේ කතාවට ඇහුම් කන් දීමේ වුවමනාවක්වත් නැති අයුරින්ය.. කාමරය පුරාම ආයෙමත් තරමක නිහැඬියාවක් ඇති වෙද්දී ස්ටෙලා දෙසට හැරුන එරිකෝ ඇගෙන් පිළිතුරු බලාපොරොත්තු විය..

" එහෙමනම් මිස්ටර් එරිකෝ ඔබට මාව විතරක්ම නෙමෙයි නේ සැක කරන්න වෙන්නේ.. තව අයත් ඉන්නවනේ."

" ඔවු මිසිස් ස්ටෙලා තව අය ඉන්නවා.. ඉන්නවාටත් වැඩිය හිටියා කිවුවනම් නිවැරදියි.. මොකද ඒ අයට ඔබට වගේ මේ දේ කරන්න බෑ කියන එක ඔබ හොදටම දන්නවා මම හිතන්නේ.."

"  මේක් නම් විහිළුවක් මිස්ටර් එරිකෝ.. මම හිතන්නේ ඔබට උසාවියෙන් මේකට ලැබුන තීන්දුව පිළිගන්න අකමැති හන්දා ඔබ මේ වගේ කතා මවනවා කියලා.."

" නැහැ මිසිස් ස්ටෙලා ඔබයි මේ ප්‍රශ්ණය මග හරින්න උත්සාහ කරන්නේ.. එරික් ඇරුනම මේ දේ හොදින්ම දන්නේ ඔබ විතරයි කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි.. විලියම්ස් පවුලේ මරණයක් වුන දවසේ ඔබ කිසිම සාක්ෂියක් ඉතුරු නොකලත් අපි ඉස්සෙල්ලාම විලියම්ස්ලගේ ගෙදර යන දවසේ ඔබ එහි සාක්ෂියක් ඉතුරු කරලා ගියා.."

" මම? නැහැ.. මම විලියම්ස්ලගේ ගෙදර ගිහින්ම නැහැ.."

" ඔබ කියන්නේ බොරු මිසිස් ස්ටෙලා.. ඔබ එදා උදේ අපි යන්න කලින් විලියම්ස්ලගේ ගෙදරට ගියා.. මොකද ඔබේ හිතේ සැකයක් තිබුනා මොනාම හරි සාක්ෂියක් එහේ තිබිලා අපිට හමුවේවිද කියලා.. ඒත් ඔබට වැරදුනේ එරික්ගෙන් ඉගෙන ගත්ත දේ හරි හැටි කරන්න බැරි වීම නිසා.. එදා අපි දැක්කේ ඔබේ අඩි සළකුණු.. මට පුළුවන් ඔබේ කමරය පරීක්ෂා කරලා ඒක ඔප්පු කරලා පෙන්නන්න.."

එරිකෝ සමග තමන් නිවැරදියැයි ඔප්පු කිරීමට වාද කරමින් වුන් ඇය හිටි හැටියේම නිහඬ වීම වැඩ්මිලර් පවුලේ හැමෝටම කුතුහලක් විය.. කාමරයේ ජනේලය අසලින් වූ පුටුවක හිදගත් ඇය හිසට අත තබාගෙන කල්පනා කරන්නට වූයේ ඇයට කියන්නට කිසිවක් නොමැති බව හඟවමිනි..

" ස්ටෙලා, මොකද්ද මේ වෙන්නේ? මේ හැම දේකටම වග කියන්න ඕන ඔයාද?"

" නැහැ රිචර්ඩ්, ඔයයි.. ඔයා තමයි මේ හැම දේකටම වග කියන්න ඕන.. ඔයයි වැරදි කාරයා.."

නිහඬවම කල්පනා කරමින් සිටි ස්‍ටෙලා ලගට ආදරයෙන් ලං වුන රිචර්ඩ්
ඇයව සනසමින් ඇය හා කතා කරන්නට උත්සාහ කලත් කෝපයෙන් ඔහු දෙසටම චෝදනා නැගූ ස්ටෙලා දෙස ඔවුන් හැමෝම බලාගෙන සිටියේ විමතියෙනි..

" මම?"

" ඔවු, ඔයා නිසයි මට මේ හැම දෙයක්ම කරන්න වුනේ.. මයිකල් ඔයගෙයි ලවුරාගෙයි ලමයෙක් නොවෙන්න මේ ප්‍රශ්ණ මේ විදිහට ඇති නොවෙන්න තිබුනා රිචර්ඩ්.. ඒ හන්දා ඔයයි මේ හැම දෙයකටම වග කියන්න ඕන.."

" ඒත් ඔයා මේ හැම දෙයක්ම හුඟක් කල් ඉදන්ම දැනන්නේ හිටියේ ස්ටෙලා.."

" ඔවු දැනන් හිටියා.. ඒත් මම බලාපොරොත්තු වුනේ නෑ රිචර්ඩ් අපේ දේපල වලින් වටිනම කොටස මයිකල්ට පවරන්න යාවි කියලා.. මට ඒ දේ බලාගෙන ඉන්න කොහොත්ම බැහැ.. ඒකයි මට මේ වගේ තීරණයක් ගන්න වුනේ.. ඔයයි මාව මේ දේට අසරණ කලේ රිචර්ඩ්.."

නිරුත්තරව අසල තිබු පුටුවකට බර වුන රිචර්ඩ් ඈය දෙස බලාගෙනම කල්පනා කරන්නට වූයේ නොදැනුවත්වම හෝ ඈ ඇතින් සිදුවුන දෙයින් වැඩ්මිලර් පවුලම නාමයට සිදුවුන කැළල ගැනය.. තවමත් තමන් කල දේ හරි යැයි හැඟීමෙන් රිචර්ඩ් දෙස බලා හිදි ඇය වසර ගනනක් ඇගේ හිතේ තිබුන වේදනාව හෙමින් පිට කරමින් සිටියාය..

" මයිකල් මගේ දරුවෙක් නොවුනත් මම කවදාවත් එයාට වෙනස් කමක් කලේ නෑ රිචර්ඩ්.. කාලයක් තිබුනා අපි ළමයෙක් වෙනුවෙන් ගොඩක් බලාගෙන හිටපු.. ඒ අතරේ ඔයා මට මේ දේ කියද්දී හිතට දුකක් ඇති වුනත් මම ඔයා එක්ක කේන්තියක් ගත්තේ නෑ.. ඒත් මයිකල් ඇවිත් ටික කාලයක් යද්දී අපි දෙන්නගෙම කියලා වික්ටොරියා අපි ලගට ආවම ඇත්තටම මම හුඟක් සතුටු වුනා.. ඒත් මම කවදාවත්ම මයිකල්ට වෙනසක් කලේ නෑ.. මයිකල්ගේ අම්මා ලවුරා කියන එක නොදැනෙන්න මම එයාව හොදට බලා ගත්තා.. ඒත් රිචර්ඩ් පස්සේ කාලේ ඔයා ගත්ත හුඟක් තීරණ වලට මගේ කොහෙත්ම කැමැත්තක් තිබුනේ නෑ.. ඒත් මගේ අදහස අහන්න තරම් වුවමනාවක් ඔයාටත් නොතිබුන හන්දා මම කොච්චර අසරණ වුනාද කියන එක ඔයා කොහෙත්ම දන්නේ නෑ.. ඔයා ඒ වගේ තීරණ නොගත්තනම් අද ඔයාට මේ වගේ පසු තැවීමක් ඉතුරු වෙන්නේ නෑ රිචර්ඩ්.."

" මිසිස් ස්ටෙලා ආවේගයයි කේන්තිය එක්ක ඔබ කරපු දේ බලපතර කම ඔබට තාම තේරෙන්නේ නැතුව ඇති.. ඒත් ඔබ හන්දා මයිකල් නිරපරාදේ දුක් විදින්න සිද්ද වුනා කියන එක ඔබ පිළිගන්නවද?"

" මයිකල් මේකට වරදකාරයා වෙයි කියලා මම කොහෙත්ම හිතුවේ නෑ මිස්ටර් එරිකෝ.. මම ඇත්තටම මයිකල්ට ආදරේ කලා.. මට වුවමනා වුනේ හැමදාම ඔහුට අපේ ලගම තියා ගන්න.. මයිකල්ට දේපලින් වැඩි කොටසක් ලැබුනටත් පස්සේ මේ හැම දේකම ඇත්ත දැන ගෙන මයිකල් විලියම්ස්ල ලගට යාවි කියන බය මගේ හිතට ආවා.. ඒකයි මේ හැම දෙයක්ම මම කලේ.. ඒත් අවාසනාවකට වගේ පුංචි දෙයක් හන්දා මයිකල් මේ හැම දෙයකටම වරදකාරයා වෙද්දී ඒ දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් ඉතුරු වුනේ නෑ.."

" එරික්ගේ කාමරේ තිබුණ ඔහු සංදර්ශණ වලට ගත්තු හැම දෙයක්ම වගේ ඔහුගෙන් සොරා ගත්තේ මිසස් ස්ටෙලා මේ හැම දෙයක්ම හොදින්ම සැළසුම් කරාට පස්සේ.. එහෙම නේද?"

" ඔවු.. මට වුවමනා වුනේ කිසිම දෙයක් ගැන සාක්ෂියක් ඉතුරු නොකර ඉන්න.. පළවෙනි වතාවෙදි මම සාර්ථක වුනා.. එරික් සංදර්ශණ වලට ගත්ත අත් වැසුම් සපත්තු හැම එකක්ම මම ඔහුට හොරෙන් අරන් මේ වෙනුවෙන්ම වෙන් කරලා තියා ගත්තා.."

" පොලීසියට එකම මරණයකින්වත් සැකයක් ඇති කර ගන්න ඇගිලි සළකුණක්වත් ඉතුරු නොවුනේ එහෙනම් ඒ නිසයි කියලා මම හිතපු දේ හරි.. ඇත්තටම ඔබ හැම දෙයක්ම හොදින්ම සැළසුම් කරලා තිබුනා මිසිස් ස්ටෙලා.. මේ මොහොත වෙනකම්ම මයිකල් නිවැරදී කියන දේ මට තේරුණත් ඇත්තටම කවුද වැරදිකාරයා කියන දේ තීරණය කරන්න මටත් අපහසු වෙලා තිබුනේ.. ඒත් එරික් නිසා අද ඒ දේත් පහසු වුනා.."

පවුලේ හැම දෙනෙක්ම වාගේ සිදුවෙමින් තිබු දේවල් ගැන විමතියෙන් බලා ඉදියදී සැනසුම් සුසුමක් හෙලන්නට ලොරේන්ට පමණක් හැකි වූයේ මයිකල් නිවැරදී යන්න ඇගේ හිත හොදින්ම දැන සිටි නිසාවෙන්ය.. හැමෝගේම නිහඬ බව කාමරය පුරාවට රැදෙද්දී වැඩ්මිලර් පවුලේ අයට එහි තනිවෙන්නට ඉඩ හල එරිකෝ ඉන් පිටත් වුනේ බර්මින්හැම් පොලීසියට දුරකථන ඇමතුමක්ද ගනිමින්ය..

" අපි කොහෙත්ම හිතුවේ නැති දෙයක්නේ එරිකෝ වුනේ.. ඔයාට කොහොමද් ස්ටෙලා ගැන සැක හිතුනේ?"

දුරකථන ඇමතුම නිමාකරමින් ඉහල මාලයට යන පඩිපෙන නගිමින් වුන් එරිකෝ අසළට ආ සිම්රන් ඔහුගෙන් ඒ ගැන විමසන්නට වූයේ කිසිම මොහොතක ස්ටෙලා ගැන සැකයක් ඇති බවක් එරිකෝ සදහන් නොකල නිසාවෙනි.. ඇය හා යාන්තමින් සිනා සෙමින් කාමරය වෙතට ගිය එරිකෝ ඇයට සියල්ලක්ම පැහැදිළි කලේය..

" ඇත්තටම මේ වෙනකම්ම මට ස්ටෙලා ගැන සැකයක් තිබුනේ නෑ සිම්රන්.. මම හිතුවේ රිචර්ඩ් මේ හැම දෙයකටම වැරදි කාරයා කියලා.. ඒත් මට ඒකට ඔහුට චෝදනා කරන්න පැහැදිළි සාක්ෂියක් නොතිබුන නිසයි මම එරික්ගෙන් ඊයේ මේ උදවුව ඉල්ලුවේ.. මම ඇත්තටම බලාපොරොත්තු වුනේ රිචර්ඩ් මගේ මේ පරීක්ෂණයෙන් සමත් වෙයි කියලා.. ඒත් වුනේ මම නොහිතපු දෙයක්.. තවත් ඒ ගැන හිතන්න කාලයක් ඉතුරු කරන්න වුවමනාවක් නොතිබුන නිසාමයි මම කෙලින්ම ස්ටෙලාට චෝදනාව එල්ල කලේ.."

" ඒත් එරිකෝ ජෝර්ජ්.. අපි ඔහුවත් මේකට සැක කලානේ.. මතකද එදා අපි ඔහුගේ සපත්තු වල දැක්ක මඩ පැල්ලම්.."

" ඔවු සිම්රන්.. ඒ ගැන හිතේ කුතුහලයක් මට නොතිබුනාම නෙමෙයි.. මොකද ස්ටෙලාට මම එල්ල කරපු චෝදනාව වැරදි නම් අනිවාර්යෙන්ම ඇත්ත අපරාධකාරයා අපි කරපු හැම දෙයක්ම ගැන දැන ගන්නවා.. ඒ වගේම අපිට මේ වලවුවෙනුත් යන්න වෙනවා.."

" එහෙනම් එදා අපි ගැන පොලීසියට දන්වන්න ඇත්තෙත් මිසිස් ස්ටෙලාම තමයි.."

" ඔවු සිම්රන් ඒත් මිසිස් ස්ටෙලාම තමයි.. ඇගේ හිතේ තිබුන බය නිසයි ඇය එදා අපිට කලින් එහෙ ගියේ වගේම අපි ගැන පොලීසියට දැනුම් දුන්නෙත්.. මොකද ඇයට වුවමනා වෙන්න නැහැ අනවශ්‍ය අවදානමක් ගන්න.. ඒත් ඇය කල දේම අපිට පහසුවක් වුනා.."

" ඔයා ඊලගට මොකද කරන්නේ?"

" මම බර්මින්හැම් පොලිසියට හැම දෙයක් ගැනම විස්තර කලා.. වැඩි වෙලාවක් යන්න කලින් ඔවුන් මෙතනට ඒවි.. පොලිස් පරීක්ෂණ ආයෙම පටන් ගන්න නිසා මයිකල්ට නිදහස ලැබේවි.. ස්ටෙලා වරද පිළිඅරන් තියෙන නිසා ඒක ඒ තරම්ම සංකීර්ණ දෙයක් වෙන එකක් නෑ.."

" ඒක නම් ඇත්ත.. සාක්ෂි මත පදනම්ව ස්ටෙලාව වැරදි කාරයා කරන එකනම් ගොඩක් අමාරු දෙයක්.. ඇගේ පාපොච්චාරණය තියෙන නිසා ඒ දේ පහසු වේවි.."

" ස්ටෙලා ඉක්මන් නොවුනානම් මේ ප්‍රශ්ණේ මීට වඩා වෙනස් විදිහකට විසද ගන්න තිබුනා කියලා මට හිතෙනවා සිම්රන්.. ඒත් දැන් ඒ දේවල් වලින් වැඩක් නැහැ.. අපි ආයෙම ලන්ඩන් යන්න සූදානම් වෙමු.. මම ඉන්දියානු සංස්කෘතියේ මංගල්‍යක් තවම දැකලා නැහැනේ.. ඒ හන්දා ඒකට ලෑස්ති වෙන්නත් ඕනනේ.."

" අහ් ඇත්තද? ඒ කාගෙද දන්නේ නෑ.." 


නිමි..



මීලගට එරිකෝ හන්ටර් තුලින්,


විශේෂයී : Courtezan කියන්නේ මොකද්ද කියලා කට්ටිය දන්නවායැයි සිතමි.. ;)

16 comments:

  1. I read all the posts and did not wanted to comment till its end. Perfectly created an interesting story with your great capacity. I really enjoyed the whole story. Excellent Dinesh, it will be a huge loss if you abandon your blog in near future. Well done.

    ReplyDelete
  2. මේක නම් හිතුවෙවත් නැති අවසානයක්. කුතුහලය රඳවාගෙන තියෙන විදිහ, කතාව නිර්මාණය කරල තියෙන විදිහ නියමයි දිනේශ්.ඔයා කලින් ලියපු කතාවලට වඩා මේ කතාව සෑහෙන සංකීර්ණ විදිහට ගොඩ නගල තියෙනව. සුභ පතනව ඔයාගෙ මේ නිර්මාණාත්මක හැකියාවට.

    ReplyDelete
  3. හිතුවෙ නැති අවසානයක්. නියමයි දිනේෂ්. හැමෝගෙම අනුමාන වැරදුන හැඩයි.

    ReplyDelete
  4. හිතුවෙවත් නැති විදියට කතාව ඉවර වුනේ. ස්ටෙලා ගැන සැකයක් හිතුනෙම නෑනේ.. අපුරුයි දිනේෂ් ඔයාගේ හැකියාව... තව තවත් දියුණු කර ගෙන ඉදිරියටත් අපි වෙනුවෙන් ලියන්න... ජය වේවා!

    ReplyDelete
  5. දැන් ඉවරද එතකොට? හයියෝ ..! Great Work

    ReplyDelete
  6. කොහෙන්ද මේ ස්ටෙලා මේකට ආවේ.. සුපිරි ඈ

    ReplyDelete
  7. අවසානය නියමයි. ,එරිකෝ හන්ටර් කතා නැගලා යනවා වගේ. ඊ ළඟ කතාවත් එනකන් බලන් ඉන්නවා.

    ReplyDelete
  8. සමාවෙන්න අයියේ මන් පරක්කු වුණා . කියවන්න බැරි වුනා. මන් දැන් ඉන්න තත්වේ හොද නෑ.. සොරි

    ReplyDelete
  9. රහස් පරීක්ෂක කතාවක තිබිය යුතු සියලුම කරුනුවලින් සම්පූර්න කල නිමාවක් දිනේට හොඳ පරිවර්තන හැකියාවකි තියෙනවා. හොඳ පොතක් පරිවර්තනය කරන්න උත්සාහයක් ගත්තොත් නරකට හිටින එකක් නෑ.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. වර්ණගේ කථා කියවන්න ඕන නිදහස් මනසකින්.නැතිනම් කථාව තේරුම් ගන්න බෑ.මම දවස් හතරක් කියෙව්වා.අද තමයි කථාව තුල හිටියේ.මොකද ආදර කථාවකට ඒහා ගිය එකක් නිසා.

    ReplyDelete
  12. ඔන්න කියවල ඉවර කලා.. ලස්සන කතාව. කියවන අපිව කරකෝලා දාන්න පුලුවන් නියම හැකියාවක් තියනව නෙ දිනේශ් ට.. :) ඊලඟ කතාවෙ දි වෙඩින් එකකුත් තියෙයි වගේ..

    ReplyDelete
  13. නියමයි දිනේෂ් අයියා... එළකිරි වගේ... කතාවනම් දාපු දවසෙම කියෙව්වා කැම්පස් එකේ ලැබ් එකේදී. කමෙන්ට් දාන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ... තව එරිකෝ කතා ටිකක් ලියමු ඈ... සිම්රන්ව බඳින්ඩත් තියෙනවනේ. :P

    ReplyDelete
  14. නියමයි දිනේෂ් අයියා... එළකිරි වගේ... කතාවනම් දාපු දවසෙම කියෙව්වා කැම්පස් එකේ ලැබ් එකේදී. කමෙන්ට් දාන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ... තව එරිකෝ කතා ටිකක් ලියමු ඈ... සිම්රන්ව බඳින්ඩත් තියෙනවනේ එරිකෝට. :P

    ReplyDelete
  15. ලස්සන කතාවක්..කතාව දිගටම කියවන්න ඕන නිසා පරක්කුවෙලා ආවාට සමාවෙන්න හොඳේ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්