Thursday, 4 July 2013

එරිකෝ හන්ටර් - The Flying Man 6



රාත්‍රී දහයට ලංවෙමින් තිබියදී වැඩ්මිලර් වලවුවේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වුන වාහනය හෙමින් දොරටුව අසලට එන තුරුම එරිකෝගේ හිතේ රැදුනේ තරමක නොසන්සුන් බවකි.. කලින් හැම අවස්ථාවකම මෙන් වාහනය ඇවිත් නතර වන විට නිවසේ ඉදිරියට පැමිණෙන ජෝර්ජ් අද නොමැති වීම එරිකෝගේ හිතට සහනයක් විය.. කලබලයෙන් මෙන් වාහනයෙන් නික්මුන ඔවුන් නිවස තුලට ආවේ රියැදුරුගේ රාත්‍රී සුභපැතුමට පිළිතුරක්ද නොදෙමිනි..

ආලින්දය දිගේ ටික දුරක් ඇවිදන් ආ ඔවුන් වැඩ්මිලර් පවුලේ අයගේ කාමර තිබු කොරිඩෝව ලග මොහොතක් නතර වී කාමර දෙස බොහෝ අවදානයෙන් බලාගෙන සිටියේ එරික්ගේ කාමරය කුමක්දැයි සොයාගැනීමට තිබූ අපහසුව නිසාවෙනි.. ඉහල මාලයේ තිබූ අමුත්තන්ගේ කාමර වලට වඩා එකි නෙකට බොහෝම කිට්ටුවෙන් තිබුන ඔවුන්ගේ පෞද්ගලික කාමර නිසාවෙන් ඒවාට පිවිසී වැඩි කාලයක් ගත කිරීම අපහසු බව එරිකෝට හැඟුනි..

" එරිකෝ අපි කොහොම්ද එරික්ගේ කාමරේ හරියටම හොයාගන්නේ.. අනිත් එක මේ හැම එකක්ම අඟුළු දාලා තියෙන්නේ.."

" ඔවු සිම්රන්, ඒක ඔයා මට බාර දෙන්න.. ඔයාට පුළුවන්නම් දැන් ගිහින් ජෝර්ජ්ව හොයා ගන්න.."

" ජෝර්ජ්ව හොයා ගන්න? මම හිතුවේ අපි ඔහුව මඟහරිනවා කියලා.."

" ඒකම තමයි සිම්රන් වෙන්න ඕන.. ඒත් බැරිවෙලාවත් ජෝර්ජ්ට සැකයක් ඇති වුනොත් මේ දේ හරියට කරන්න වෙන්නේ නෑ.."

" හරි එරිකෝ එහෙනම් මම යන්නම්.."

කොරිඩෝවට ඈතින් වූ මුළුතැන්ගෙය දෙසට ඇවිදන් යන සිම්රන් දෙස බලා උන් එරිකෝ ඔහුගේ සාක්කුවේ තිබූ කුඩා යතුරු කිහිපයකින් කාමර වල දොරවල් විවර කරන්නට උත්සාහ දැරීය.. අසාර්ථක උත්සාහයන් කිහිපයකට පසුව විවර වුන එක් දොරකින් කාමරයට ඇතුළු වුවත් එය එරික්ගේ නොවන බව හැගෙන්නට එරිකෝට වැඩි වේලාවක් ගත නොවීය..

ශබ්දයක් නොනැගෙන පරිද්දෙන් ඉන් නික්මුන එරිකෝ අනෙක් කාමර වල දොරඟුළුද සෙමින් පරීක්ශා කරන්නට විය.. තෙවන වර ඇතුළු වුන කාමරය එරික්ගේ බව හඳුනා ගන්නට එහි බිත්ති පුරා රදවා තිබූ ඔහුගේ සංදර්ශණ වල ඡායාරූප ප්‍රමාණවත් විය.. එතරම්ම කාලයක් ඉතිරි වී නැති බව දැනුන මුත් සීරුවෙන් තම නිරීක්ෂණයන් ඇරඹු එරිකෝ කාමරය පුරාවට එල්ලා තිබූ ඡායාරූප දෙස හා කාමරයේ පසෙකින් වූ පොත් රාක්කය දෙස හොදින් අවදානය යොමු කලේය.. මැජික් ශිල්පය ගැන ලියවුන බොහෝමයක් පොත් අතර අහම්බෙන් මෙන් හසු වුන පුද්ගල බන්ධනය පිළිබද වූ පොත එරිකෝගේ හිත වැඩි වශයෙන් ඇද ගන්නට සමත් විය..

පොත් රාක්කය අසලම පසෙකින් තබා තිබු එරික් ලද සම්මාන සමුහය  එරිකෝ බොහෝ ඕනෑ කමින් පරික්ෂා කලේය.. වසර ගනනාවක හිද විවිධ අංගයන් සදහා ඔහුට ලැබුන සම්මාන ඔහුගේ දක්ශතාව ගැන තව දුරටත් තහවුරු කරන්නට සමත් වීය.. ඉතිරිව තිබුන කෙටි කාලයේ අනෙකුත් දේ ගැන හොද අවදානයක් යෙදුවත් වැදගත් වේ  යැයි සිතිය හැකි දෙයක් හොයාගන්නට අපොහොසත් වීම එරිකෝගේ හිතට කණස්සල්ලක් විය.. එරික්ගේ දෑත් වල නිතරම රැදුන අත්වැසුම් පවා එරිකෝට අවශ්‍ය වූ පරිද්දෙන් සොයා ගන්නට නොහැකී වීම ඔහුගේ බලාපොරොත්තු කඩ කරන්නක් විය..

වැඩි වේලාවක් නොරැඳිම කාමරයෙන් පිටත් වුන එරිකෝ කොරිඩෝව දිගේ ඇවිදන් යමින් සිම්රන්ව සොයන්නට වූයේ අසම්පූර්ණව වුවත් ඔහු සිතා සිටි කාරණාව නිමාවූ නිසාවෙන්ය.. කොරිඩෝවේ ඈත කෙලවරින් කලබලයෙන් මෙන් එමින් සිටි සිම්රන්ගේ මුහුණේ තිබුන කුතුහලයෙන් යුතු පෙනුම ඈත තියාම හොදින්ම දැක ගන්නට එරිකෝට පුළුවන් විය..

" ඇයි සිම්රන් මොකද උනේ?"

" නැහැ එරිකෝ.. ජෝර්ජ් අහපු සමහර දේවල් වලට මට දෙන්න උත්තරත් නැති වුනා.. මිනිහත් හොද ඔයා වගේම රහස් පරීක්ශණ වැඩ වලට.."

" ඉතින් ඔයා කියපු දේවල් මිනිහා පිළිගත්තද?"

" මම කිවුවා ඔයාට ටිකක් සනීප මදී ඒ හන්දා කෝපි එකක් ඉල්ලන්න ආවේ කියලා.. ඒ හන්දා අපි ඉක්මනට කාමරේට යමු.. තව ටිකකින් ජෝර්ජ් එන්න පුළුවන් ඔයාට කෝපි අරන්.."

" ඒක හොදයි අපිට කතා කරන්න තියෙන දේවල් කෝපි එක්ක බොන ගමන්ම කතා කරන්න ලැබෙන එක.."

" එරිකොට ඕන කරපු දේවල් හම්බුනාද?"

ඉහල මාලයේ පඩිපෙල නඟිමින් උන් එරිකෝ ඊට පිළිතුරක් දීමට කාලය වැය නොකරම ඔවුන්ට වෙන් කර තිබූ කාමරය වෙත ගිය එරිකෝ දොරත් හොදින් වසාගෙන කාමරයේ පසෙක වූ පුටුවෙහි හිද ගත්තේ සිම්රන්ට හැම දෙයක්ම විස්තර කිරීමේ අරමුණිනි..

" නැහැ සිම්රන්.. දැන් නම් මම බලාපොරොත්තු වුන හැම දෙයක්ම කර ගන්න බැරි වුනා.."

" ඇයි එරිකෝ දැන්නම් කිවුවේ?"

" ඔවු සිම්රන්.. ඒත් අපි දැන් ඉන්නේ තවත් ප්‍රශ්ණේක.."

" ඒ මොකද්ද?"

" සිම්රන්ට මතකද මම වාහනේ යද්දී රියැදුරාගෙන් අහපු දේවල්.. ඔහු කියපු දේවල් හොදට මතකනම් අපි විලියම්ස්ලගේ ගෙදර ගිය වෙලේ ඒ ගැන පොලීසියට දන්වන්න ඒ අහල පහල කවුරුවත්ම හිටියේ නෑ කියන එක ඔහුගේ කතාවෙන් හොදටම පැහැදිළි වුනා.."

" ඔවු, ඒක මට මතකයි.. මම හිතන්නේ ඔහුම වෙන්න ඇති මේ ගැන කියන්න ඇත්තේ.."

" නැහැ සිම්රන්.. මටත් ඒ ගැන දැන ගන්න තිබුන වුවමනාව නිසා තමයි මම වාහනෙන් බැස්ස වෙලාවේ මට ඉක්මනට යන්න වුවමනා වුනොත් කියලා ඔහුගෙන් ජංගම දුරකථනයේ අංකය ඉල්ලුවේ.. ඒත් මට ඔහු ගැන සැකයක් තියා ගන්න වුවමනා නෑ කියලා ඔප්පු වුනේ ඔහුට දුරකථනයක්වත් නෑ කියලා කියපු වෙලාවේ.."

" ඒත් ඔහු බොරුවක් කිවුවා වෙන්න බැරිද?"

" මම හිතන්නේ නෑ සිම්රන්.. මොකද මම ඒ ගැන ඇහුවේ වෙනමම අවස්ථාවක හන්දා ඒ ගැන සැකයක් ඔහුට එයි කියලා හිතන්න අමාරුයි.."

" එතකොට අපි ගැන පැමිණිල්ල කලේ කවුද?"

" වැඩ්මිලර් පවුලෙම කෙනෙක් සිම්රන්.."

" ඒ කියන්නේ රිචර්ඩ්ද? එරිකෝ කොහොමද එහෙම කියන්නේ?"

" මේ පවුලෙ අය ඇරෙන්න අපි විලියම්ලගේ ගෙදර ගිය බව වෙන කවුරුවත් දන්නේ නෑ.. අනික රියැදුරා කියපු දේවල් එක්ක අපි නොදන්න කෙනෙක් ඒක කලා කියලා හිතන්න බෑ සිම්රන්.. ඒත් ඒ රිචර්ඩ්මයි කියන්න අපිට බෑ.. මොකද අපි එහේ ගිය බව මේ ගෙදර හැම කෙනෙක්ම වගේ දන්නවා.. කොටින්ම ජෝර්ජ් උනත්.. ඒ හන්දා ඒකට අපේ සැකය හැමෝටම වෙන් කරන්න වෙනවා.."

" හුඟක් දේවල් පැහැදිළි කරන්න තාමත් අමාරුයි කියලා හිතෙනවා.."

එරිකෝ පිළිතුරක් දෙන්නට සැරසෙත්ම ඔවුන් රැදී සිටි කාමරයේ දොර අසලින් ජෝර්ජ්ගේ කටහඬ ඇසුන නිසාම නිහඬ වුන එරිකෝ ඇදට විත් ඔහුගේ දෑස මොහොතකට පියා ගනිද්දි සිම්රන් දොර අසලට පැමිණියේ ජෝර්ජ් කෝපී සාදාගෙන ආ බව ඈ හොදින්ම දැන සිටි නිසාවෙනි..

" මිස්ටර් එරිකෝට දැන් කොහොමද?"

" දැනටනම් නිදි ජෝර්ජ්.. මම මේක එයාට දෙන්නම්.. සංදර්ශණයට ගිය අය ආවද ජෝර්ජ්?"

" ඔවු දැන් ටික වෙලාවක්.. ඔවුන් ආව ගමන් ඇහුවේ ඔබලා ගැන.. ඔවුන්ට නොකියා ආව එක ගැන මිස්ටර් වැඩ්මිලර් ඉන්නේ අමනාපයෙන්.."

" හරි ජෝර්ජ් අපි ඒ ගැන එයාලා එක්ක කතා කරන්නම්.."

" රෑ කෑම මේසයට එන්න අමාරුනම් කලින්ම කියන්න මිසිස් හන්ටර්..  එකතකොට අපිට පහසුයි.."

" හරි ජෝර්ජ්.. ගොඩක් ස්තූතියි.."

කාමරයේ දොර වසා දැමු සිම්රන් ඇගේ ඇතැති වූ කෝපි කෝප්ප දෙකද සමග නැවත පැමිනෙන අයුරු එරිකෝ බලා සිටියේ සිනාමුසු මුහුණෙනි.. ඔහුට සුපුරුදු පුටුවට ආ එරිකෝ කෝපි කෝප්පයකද රස බලමින් සිම්රන් සමග යලි කතාවට වැටුනේය..

" එරික්ගේ කාමරෙන් වැදගත් තොරතුරක් ලැබුනද එරිකෝ?"

" නෑ සිම්රන්.. මම  බලාපොරොත්තු වුන තරමේ දෙයක් හොය ගන්න බැරි වුනා.. ඒත් එරික් කියන්නේ අපි හිතනවාට වැඩිය දක්ශ‍යෙක්.. ඒක මට හිතුනේ සංදර්ශණය අතරවාරයේමයි.."

" එරික් අන්තිමට කල දේ ඇත්තටම කරපු දෙයක්ද නැත්නම් මවා පෑමක්ද එරිකෝ?"

" නෑ සිම්රන් එරික් ඒක ඇත්තටමයි කලේ.. මම දන්න තරමින් මිනිස්සුන්ගේ හිත හුඟාක් දියුණු කලාම ඒ වගේ දේවල් කරන එක අපහසුවක් නෙමෙයි.. අනික මම එරික්ගේ කාමරේ දැක්ක පොත් පත් වලින්ම තේරුණා ඔහු ඒ ගැන හුඟාක් පරීක්ෂණ කරලා තියෙන බව.. ඒ හන්දම ඔහු ඒ ගැන ප්‍රවීණ තාවයකට ආව කියන එක අපිට පිළිගන්න පුළුවන් සිම්රන්.."

" එහෙනම් එරිකෝ අපි අහම්බෙන් දැක්ක අඩි සළකුණු එරික්ගේ වෙන්න පුළුවන් නේද?"

" මගේ හිතෙත් තියෙන සැකය ඒකම තමයි සිම්රන්.."

" එරික් මේ මිණිමැරුම් වලට සම්බණ්දයි කියලා අපිට හිතන්න පුළුවන් නේද එරිකෝ.. බලන්න විලියම්ස් පවුලේ වුන එකම ඝාතනයකින්වත් මිනිමරුවව හොයා ගන්න පුළුවන් කිසිම සාක්ෂියක් හමුවුනේ නෑ.. ඒ එරික් නිතරම අත්වැසුම් පාවිච්චි කරන නිසා වෙන්න බැරිද? අනිත් දේ කිසිම විදිහක සාක්ෂියක් ඉතුරු කරන්න වුවමනා නැති නිසා එරික් සංදර්ශණයෙදි පෙන්නපු හැකියාව පාවිච්චි කරා වෙන්න බැරිද?"

" ඇත්තටම මම සතුටු වෙනවා සිම්රන්ගේ නිරීක්ෂණයන් ගැන.. ඔවු සිම්රන් අපිට එහෙම හිතන්න තියෙන ඉඩකඩ වැඩී.. ඒත් තාම වැරදිකාරයා එරික්මයි කියලා පිළිගන්න මගේ හිත සූදානම් නැහැ සිම්රන්.."

" ඒ ඇයි එරිකෝ.. අපිට ප්‍රමාණවත් තරම් සාදක තියෙනවනේ.."

" නැහැ සිම්රන්.. එරික්ගේ කාමරේට ගිය වෙලාවේ ඔහුගේ හැම සංදර්ශණයකම පුවත්පත් වල ගිය විස්තර එකතු කරලා හදපු සමරු සටහන මම දැක්කා.. විලියම්ස් පවුලේ මරණ හැම එකක්ම වුන දවස වෙද්දී එරික් ඉදලා තියෙන්නේ අයර්ලන්තයේ සංචාරයක.. ව්ලියම්ස් පවුලේ මරණයන් වුන දවසට පස්සේ දවසේ එරික් සංදර්ශණයක් කරලා තියෙනවා අයර්ලන්තයේ.."

" ඒත් මරණයන් වෙන්නේ සංදර්ශණයට කලින් දවසේ නිසා අපිට ඒත් එරික්ව සැක කරන්න තියෙන ඉඩ  ඇහිරෙනවා සිම්රන්.."

" ඔවු එරිකෝ ඒත් බර්මින්හැම් වල ඉදන් අයර්ලන්තයට යන එන ඒ තරම්ම කාලයක් ගත වෙන දෙයක් නෙමෙයි නේද? ඒහන්දා එරික් එතනත් සාක්ෂියක් ඉතුරු නොකර මේ හැම දෙයක්ම සැළසුම් කරා වෙන්න පුළුවන් නේද?"

" ඒ හැම දේකට චෝදනාව නගන්න කලින් අපි ඒ ගැන එරික්ගෙන්ම දැන ගන්න එක හොදයි සිම්රන්.."

" හ්ම්ම්, ඒත් ඒක කොහොමද කරන්නේ?"

" සිම්රන් අපි තව ටිකකින් වැඩ්මිලර් පවුලේ අය එක්කම රෑ කෑම මේසයට යමු.. බොහෝ දුරට එරික් එතන ඉන්න පුළුවන්.. එ හෙම වුනොත් අපිට පහසුයි.."

" හරි එරිකෝ.."

කතාබහ අතරෙම නැවතත් ජෝජ්ගේ කටහඬ ඔවුන් සිටි කාමරයේ දොර අසලින් අසීම දැන් හුරු පුරුදු නිසාම දොර අසලට ගිය සිම්රන් ඔහු සමග කතාබහන් නැතුව බලා හිදිනු දැකීම එරිකෝට ගැටළුවක් විය..

" ම්ස්ටර් එරික්ට සර් එක්ක ටිකක් කතා කරන්න වුවමනායිලු.. ඔබලාට ඒ සදහා විවේකයක් තියෙනවද?"

බලාපොරොත්තු නොවුන වෙලාවක එරික්ගේ පැමිණිම පුදුමයක් වුවත් එරිකෝ තරමක් එයට කැමත්තක් දක්වන්නට වූයේ ඔහුට වුවමනා දේවල් නිදහසේ දැන ගැනීමට ලැබෙන ඉඩ ගැනඔහුට ඇති වුන හැගීම නිසාවෙන්ය..

" එන්න එරික්.. ඇයි හදිස්සියෙම?"

කාමරය තුලට කැදවාගෙන ආ ඔහුට අසුනක් පිළිගන්නවමින් ඔහු සමගම හිද ගත් එරිකෝ ඔහුගේ අතැති වූ කෝපි කෝප්පය රස විද නිමා කරන්නට විය..

" මිස්ටර් එරිකෝ මාව විලියම්ස් පවුලේ මරණ වලට සැක කරනවා නේද?"

එක වරෙම ඔහු ඇසූ දෙය එරිකෝ කිසිසේත්ම බලාපොරොත්තු නොවූවක් වූ නිසාම ඊට පිළිතුරක් දෙන්නට මද වේලාවක් ගන්නට එරිකෝට සිදුවිය..

" ඒක මේ රාජකාරියේ හැටියක්නේ එරික්, ඔබ විතරක් නෙමෙයි මට මේ ගෙදර හැම කෙනෙක්වම සැකයි.."

" එහෙනම් මම හිතනවා ඔබ මගේ කාමරය වගේම අනික් අයගේ කාමරත් පරීක්ෂා කරන්න ඇති කියලා.."

" නැහැ දැනට පරීක්ෂා කලේ ඔබේ කාමරය විතරයි.. මම දන්නවා ඒක ඔබේ පෞද්ගලිකත්වයට ප්‍රශ්ණයක් කියන එක.. නමුත් මේ රාජකාරියේ හැටියට එහෙම දේවල් කරන්න සිද්ද වෙනවා.. ඒත් ඔබ කොහොමද ඒ ගැන දන්නේ?"

" මම කාමරේ විදුලි පංකාවට යටින් කුඩා කැමරාවක් සවි කරලා තියෙන්නේ.. මම මෙහේ ආවොත් කාමරයෙන් පිටත් වෙන හැම වෙලාවකම ඒක ඔන් කරලයි තියන්නේ.."

" ඇයි මෙහේ එන හැම වෙලාවකම කියලා කිවුවේ?"

" මේක ටිකක් අමුතු වලවුවක් එරිකෝ.. මම මේ පවුලට එකතු වුන කාලයට වඩා දැන් හුඟාක් දේවල් වෙනස් වෙලා.. විශේෂයෙන්ම මෙහේ ඉන්න මිනිස්සු.."

" එරික්ට එහෙම කියන්න මොකක් හරි හේතුවක් තියෙනවද?"

" ඔවු එරිකෝ.. මේ පවුලට එකතු වුන අළුතම මම හිතුවේ මගේ අධ්‍යනයන් වලට හොදම පරිසරය තියෙන්නේ මෙහේ කියලා.. ඒ හින්දම මම රිචර්ඩ්ගේ අවසරයෙන් මට වුවමනා හැමදේම මම මෙහේ අත්හදා බලන්න පුරුදු වුනා.. සමහරක් වෙලාවට රිචර්ඩ් වලවුව පිටුපස තියෙන කුඩා ශාලාව මට ඒ වෙනුවෙන් වෙන් කරලා පවා දුන්නා.. ඒත් ටික දවසක් යද්දි මට තේරුණා මේ දේවල් ගැන උනන්දු වෙන්නේ මම විතරක්ම නෙමෙයි කියන එක.. මේ වලවුවෙම තවත් කවුරු හරි කෙනෙක් මෙගේ ලිපි ලේඛණ පාවිච්චි කරන බව මට දැනුනා.. ඒකයි මම මේ වගේ දෙයක් කරන්න හිතුවේ.."

" ඉතින් එරික් ඒ කවුද කියන එක හොයා ගත්තද?"

" දවස් දෙක තුනක් යනකම්ම ඒ ගැන කිසිම දෙයක් මට හොයාගන්න බැරි වුනා.. ඒත් පස්සේ මම දැක්ක දේවල් ගැන මට හිතා ගන්නවත් බැරි උනා.. රිචර්ඩ් වගේම මයිකලුත් මගේ දේවල් වලට උනන්දුයි කියලා මට තේරුණේ දවසක් ඔවුන් මගේ පොත් රාක්කය අවුස්සනවා වීඩියෝවක සටහන් වෙලා තිබුන නිසා.."

" ඉතින් එරික් ඒ ගැන ඇහුවද?"

" ඔවු, දවසක් මට රිචර්ඩ් මගේ කාමරේ ඉද්දීම හමුවුනා.. එදා ඔහු කිවුවේ මේ දේවල් ඉගෙන ගන්න අසයි කියලා.. රිචර්ඩ් විතරක් නෙමෙයි පවුලේ හැම කෙනෙක්ම වගේම ඒකට ආසයි කියලත් කිවුවා.. ඒ කතාව මම පිළි නොගන්නවා වුනත් අකමැත්තෙන් වගේ මම ඒකට කැමති වුනා.."

" එතකොට එරික් වැඩ්මිලර් පවුලේ අයට මේ දේවල් හැම එකක්ම ගැන කියලා දුන්නද?"

" එහෙම ටික කාලයකින් මේ හැම දෙයක්ම කියලා දෙන්න කොහෙත්ම බැහැ එරිකෝ.. ඒත් මම පොඩි දේවල් කියලා දුන්නා.. මගේ වටිනාම ලිපිලේඛන නිතරම මගේ ලග තියාගෙන මම අනික් දේවල් ඔවුන්ට නිතරම කියවන්න අවසර දුන්නා.."

" ඉතින් ඔවුන් හොද ගෝලයෝ වුනාද?"

" නැහැ එරිකෝ.. මයිකල්ට ඇරෙන්න අනිත් කාටවත් මේ දේවල් දැන ගන්න ඇත්තටම උනන්දුවක් තිබුනේ නෑ කියලා මට තේරුණා.. අනිත් හැමෝටම වැඩිය මයිකල් නිතරම ඉස්සරහින් හිටියා.."

" එතකොට විලියම්ස් පවුලේ මරණ වෙද්දී එරික් කොහේද හිටියේ?"

" විලියම්ස් පවුලේ මරණ ගැන මට ආරව්චිය එද්දී මම හිටියේ අයර්ලන්තයේ.. ඊට පහුවදාම මගේ සංදර්ශණය.. මේ මරණ මට පෞද්ගලිකවම මට ඒ තරම්ම වැදගත් දෙයක් නොවෙන හන්දා මම මගේ සංචාරය ඉවර කරලා එද්දී හිතුවට වඩා හුඟාක් දේවල් මෙහේ වෙනස් වෙලා තිබුනා.."

" ඒ මොනවද?"

" විලියම්ස් පවුලේ මරණ එක්ක වැඩ්මිලර් පවුලේ හුඟාක් ප්‍රශ්ණ ඇති වෙලයි තිබුනේ.. විශේෂයෙන්මෙ රිචර්ඩ් මයිකල් එක්ක හුඟාක් වෙලාවට මේ දේවල් ගැන මත බේද ඇති කර ගන්නවා මම දැකලා තිබුනා.. හුඟක් දෙනෙක් චෝදනා කලේ මයිකල්ට නිසා මයිකල් ඒ ගැන හිටියේ තරහින්.. හැබැයි මයිකල් වැරදි කාරයා කියලා මට නම් හිතෙන්නේ නෑ.."

" ඇයි එරික් එහෙම කියන්නේ?"

" මම දන්න තරමින් මයිකල් විලියම්ස් පවුල එක්ක තිබුනේ හුඟක් කිට්ටු සම්බණ්ධතාවයක්.. සේවකයෝ විදිහටත් වැඩිය හොද යාළුවෝ වගේ මයිකල් ඔවුන්ව ඇසුරු කලේ.. ඉතින් පුංචි සිද්ධියක් නිසා මෙහෙම දෙයක් මයිකල් කරාවියි කියලා මම හිතන්නේ නෑ.."

" එතකොට එරික් කා ගැනද සැක කරන්නේ?"

" එහෙම හරියටම කියන්න බෑ එරිකෝ.. මම දන්නේ මමවත් වික්ටෝරියාවත් මේ කිසිම දෙයකට සම්බන්ධ නෑ කියන එක.. මොකද පහුගිය කාලෙම අපි බර්මින්හැම් වල හිටියේ කෙටි නිවාඩු වලට විතරක් නිසා.. එරිකෝ මගේ කාමරය පරීක්ෂා කරා කියලා මං දැන ගත්ත නිසයි මෙහෙම හරි මම කතා කරන්න ආවේ.. මොකද මම ආයෙම හෙට හවස පිටත් වෙනවා.."

" එරික් විවෘතව මේ ගැන කතා කරන්න ආව එක මම අගය කරනවා.. තව දෙයක් ඔබෙන් මේ දේවල් ඉගෙන ගන්න හැමෝම ආවද?"

" ඔවු හැමෝම වගේ.. වැඩියෙන්ම උනන්දුව තිබුනේ මයිකල්ටයි රිචර්ඩ්ටයි.. ස්ටෙලායි ලොරේනුයි ආවත් ඔවුන් මේක පවුලේ අය එකට ගත කරන වෙලාවක් විදිහට සැලකුවා මිසක් ඒ ගැන ලොකු උනන්දුවක් දැක්කුවේ නෑ.."

" ඔබේ නැති වුනා කිවුව පොත් ආයෙම හම්බුනාද?"

" මේ වෙන තුරුත් නැහැ.. ඒ හුඟක් පොත් තිබුනේ පොලවින් ඉහලට
එසවිලා ගමන් කරන හැටි ගැන.. මට හිතා ගන්න බෑ ඒ දේවල් කාටද වැදගත් වෙන්නේ කියලා.. මොකද ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙන හන්දා.."

" එරික් ඒ දේවල් වැඩ්මිලර් පවුලේ අයට ඉගැන්නුවද?"

" නැහැ.. ඒත් ඒ ගැන දැන ගන්න හැමෝටම වගේ තිබුනේ ලොකු උනන්දුවක්.. කීප වතාවක්ම මම ඒ ගැන සරළව කිවුවා වුනත් වැඩි දෙයක් කියලා දෙන්න කාලයක් මට ආවේ නැහැ.."

" එරික්ගෙන් මට උදවුවක් ඕන.. බර්මින්හැම් වලින් ඔබ ආයෙම පිටත් වෙන්න කලින් වෙනද වගේම පවුලේ අය එක්ක මේ දේවල් ගැන කතා කරන්න වෙලාවක් වෙන් කර ගන්න.. ඒකට මටත් ආරාධනා කරන්න.. මං ඒ වෙලාවට කරන ඉල්ලීම් ඔබට ඉටු කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.."

" හොදයි එරිකෝ.. එහෙනම් හෙට උදේ දහය විතර වෙද්දී ඔබලා දෙන්නම එන්න රිචර්ඩ්ගේ කාර්‍යල කාමරයට.. අපි හුඟක් වෙලාවට එකතු වුනේ එතනදි.. මම එහෙනම් දැන් ඔබලාට සමු දෙන්නම්.. හෙට ගමනට වුවමනා කරන දේවල් සූදානම් කර ගන්න තියෙනවා.."

"හරි එරික්.. ඔබට ගොඩක් ස්තූතියි.. හෙට උදේ අපි මුණ ගැහෙමු.."

එරික් කාමරයෙන් නික්ම යන තුරු බලා හිදි එරිකෝ වාඩි වී හිදි පුටුවට හොදින් බර වෙමින් ඔහු කී දේවල් ගැන ආයෙම වතාවක් හිතන්නට විය..

" එරික් ගැන අපි හිතුව දේවල් එහෙනම් වැරදී නේද එරිකෝ?"

" හ්ම්ම්.."

" එරික් නෙමෙයි නම් කවුද මේ දේවල් කලේ?"

" අපිට ඒ දේවල් හෙට දැන ගන්න පුළුවන් සිම්රන්.."


6 comments:

  1. රිචර්ඩ් කාරයා තමයි ගේම ගහන්නේ....

    ReplyDelete
  2. එරිකෝ හන්ටර් සිංහල බ්ලොග් කියවන්නන් අතර ජනප්‍රියම චරිතයක් වෙලා දැන්.. නියමයි ..

    ReplyDelete
  3. ලබන එකෙන් ඉවර වෙයි වගේ

    ReplyDelete
  4. ම්ම්ම්.... එහෙනම් ඊළගට අවසාන කොටස..... බලමු...

    ReplyDelete
  5. ඊලඟ කොටස අවසන් කොටස වෙයිද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්