Monday, 1 July 2013

එරිකෝ හන්ටර් - The Flying Man 5



සන්ද්‍යාවේ බොහෝ වේලාවක් එලිමහනේ කතා කරමින් උන් සිම්රනුත් එරිකෝත් විලියම්ස් පවුලේ අභිරහස විසදන්නට මඟක් පාදන්නට කොතෙකුත් උත්සාහ කලත් ඒ හැම උත්සාහයක්ම ව්‍යාර්ථ වූයේ මයිකල්ගෙන් චෝදනාව ඉවතට ගන්නට තරම් පැහැදිළි සාක්ෂියක් ඔවුන්ට නොතිබුන නිසාය.. සෑම දෙයක්ම කලින් හැමදේම හොදින්ම සැලසුම් කර තිබුන නිසාම එරිකෝගේ තර්කයන් සියල්ලක්ම බිද දමමින් නිතරම සැබෑ අපරාධකාරයා හැම දෙයකින්ම පලා යමින් තිබුන බවක් එරිකෝගේ හිතට නිතරම දැනෙන්නට විය..

යාන්තමින් වැටෙමින් තිබුන වැහි පොද අතරේ වුවද  වැඩ්මිලර් වලවුවට අයිති වතු යායේ බොහෝ දුරක් ඇවිදන් ගිය ඔවුන්ට සන්ද්‍යාව නිමාකරමින් වැටෙමින් තිබුන අඳුර ඔවුන්ගේ කතාබහට බාදා කරමින් තිබුනේය.. එරික්ගේ සංදර්ශණයට කාල වේලා ලං වෙමින් තිබුන නිසාම ආපසු එන්නට හැරුන ඔවුන්ට ඈතින් තිබුන වැඩ්මිලර් වලවුව පෙනුනේ පෙරදා එද්දි දුටු සුන්දරත්වයට වඩා පාළුවට ගිය මුසල පෙනුමකිනි..

" කොයිතරම් වලවු පැලැන්තියක් වුනත් මේ මිනිස්සුන්ගේ ජීවිත වල අසම්පූර්ණ බවක් දැනෙන්නේ නැද්ද එරිකෝ?"

" ඒක වැඩ්මිලර්ට විතරක් නෙමෙයි සිම්රන් හැම වලවු පැලැන්තියකටම පොදු දෙයක්.. මේ පවුල් වල රහසුයි බොරු ගාම්බීර බවයි හන්දයි නිසා මේ හුඟාක් පවුල් කවුරුවත් නොදන්නවා උනාට හිත යටින් ගොඩක් දුක් විදින බව හැමෝම දන්න දෙයක් නෙමෙයි සිම්රන්.."

" හ්ම්ම්.. දැන් එරිකෝ කියන විදිහට මයිකල් නිවැරදි නම් කවුද විලියම්ස් පවුලට මේ දේ කලේ?"

" තාම ඒක ගැන අපිට හරියටම කිසිම දෙයක් කියන්න බෑ සිම්රන්.. අපි ලග දැන් තියෙන්නේ අහම්බෙන් දැක්ක අඩි සළකුණු කීපයක් විතරයි.. ඒකත් මරණයන් වෙලා සෑහෙන කාලකට පස්සේ සටහන් වුන ඒවා.. අඩුම තරමේ පොලිස් වාර්ථාවකවත් වැදගත් වෙයි කියලා හිතෙන එකම හෝඬුවාවක් වත් තිබුනනම් අපිට මේ වෙද්දී මීට වඩා ඉස්සරහින් ඉන්න තිබුනා.. ඒත් දැන් හැම දේම වෙනස්.. අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා අපි ඉන්නේ හුඟාක් පස්සෙන් බව.."

" එතකොට අපිට මයිකල් නිවැරදි කියලා නීතිය ඉදිරියේ ඔප්පු කර ගන්න බැරි නම්?"

" දැනටනම් අපිට ඒ දේ අමාරුයි තමයි සිම්රන්.. ඒත් ඉස්සරහට අපිට මොනවම හරි දෙයක් ලැබෙයි කියලා මට විශ්වාසයි.."

" ඒ කොහොමද එරිකෝ?

" මට එහෙම කියන්න තියෙන්නේ අද උදේ අපි අහම්බෙන් දැක්ක අඩි සළකුණු නිසා සිම්රන්.. කවුරු නමුත් අද විලියම්ස්ලගේ ගෙදර ගියේ අද අපි එහේ යන බව දන්න නිසා.. ඇයි? ඒ තමන්ට ඒ ගෙදර අමතක වුන මොනවම හරි දෙයක් හරි තමන්ගැන සැකයක් එන්න ඉතුරු වුන දෙයක් හරි ඇතිදෝ කියන බය නිසා.. එහෙම බයක් තියෙන කෙනෙක් ආයෙම ඒ බය නිසාම කලබල වෙලා අපිට හෝඩුවාවක් ඉතුරු කරයි කියලා මට විශ්වාසයි සිම්රන්.."

" එහෙමනම් සිම්රන් අපිට සැක කරන්න වෙන්නේ වැඩ්මිලර් වලවුවෙම කෙනෙක්ව නේද? මොකද අපි අද විලියම්ස්ලගේ ගෙදර යන බව දැනන් හිටියේ ඔවුන් විතරයිනේ.."

" ඔවු සිම්රන් අපිට හැමදෙයක්ම පටන් ගන්න වෙන්නේ වැඩ්මිලර් වලවුවෙන්ම තමයි.. ඒත් හිතා ගන්න බැරි මුළු පවුලක්ම මේ විදිහට මරණ්න තරම් හේතු වුන කාරණේ මොකද්ද කියන එක.. හැබැයි විලියම්ස් පවුලට ලගින් හරි නෑදෑ කමක් කියන කවුරුම හරි හිටියනම් අපිට ඒ ගැන පුංචිම හරි හෝඩුවාවක් දැන ගන්න තිබුනා.."

" සමහරවිට අපි සේවකයෝ එක්ක ටිකක් කතා බහ කරානම් ඒ ගැන මොනවම හරි දෙයක් දැන ගන්න පුළුවන් වේවි නේද එරිකෝ?"

" ඔවු සමහර විට.. ඒත් අපි දන්න දේම ඇරෙන්න වෙන කිසිම දෙයක් දැන ගන්න ලැබැයි කියලා මට විශ්වාසයක් නැහැ.. එහෙමනම් අපිට කතා කරන්න වෙන්නේ ජෝර්ජ් එක්ක.. ඒත් ප්‍රධාන සේවකයා වුන ජෝර්ජ්  අපිට ඒ දේවල් කියන්න තියෙන ඉඩ හුඟාක් අඩුයි සිම්රන්.."

" හ්ම්, ඒක ඇත්ත.. අපි එහෙමනම් මොකද්ද මේ ගැන කරන්නේ එරිකෝ?"

" කලින් සැළසුම් කරලා කිසිම දෙයක් ගැන හොයන්න යන්න අමාරුයි සිම්රන්.. අපි හෝඩුවාවල් ලැබෙන විදිහට මේ ගැන පරීක්ෂණ කරන් යමු.. දැනට අපිට තියෙන්නේ අහම්බෙන් දැක්ක සපත්තු අඩි සළකුණු දෙකක් විතරයි.. අපි එතන ඉදන් ඉස්සරහට යමු.."

" ඔය අඩි සළකුණු ගැන අපි පොලීසියට කිවුවනම් පොලීසියේ රස පරීක්ෂණ වාර්ථාවක් අරන් ඒ ගැන තව තොරතුරු හොයා ගන්න පුළුවන් නේද එරිකෝ?"

" අහම්බෙන් දැක්ක අඩි සළකුණක් ගැන පොලීසිය ඒ තරම්ම උනන්දු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි සිම්රන්.. අනික් දේ තමයි කවුරු නමුත් අද ඒ විහට ආවේ කාටවත් සැකයක් නොහිතෙන්න සාක්ෂි ඉතුරු නොකර යන්න හිතාගෙන.. ඉතින් එහෙම එකේ ඒ ආපු කෙනා නොදැනුවත්වම තිබුන අඩි සළකුණ ගැන අපි උනන්දු වෙනවා කියලා දැන ගත්තම අපිට ඒ කෙනාගෙන් තවත් අතපසු වීමක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.. ඒ හන්දා ඒක ගැන අපි විතරක් දැනගෙන ඉන්න එක හොදයි සිම්රන්.."

" හරි එරිකෝ මට තේරුණා.."

යාන්තමින් වැටුන වැහි පොදත් එක්කම දැනෙමින් තිබුන සීතල ටිකින් ටික වැඩි වත්ම වැහි අඳුර සමග මුහුව සැදෑ අඳුර ඉක්මනින්ම ගලා එමින් තිබුනේය.. එරික්ගේ සංදර්ශණයට කාල වේලා ලං වෙමින් තිබුන නිසාම නැවතත් වලවුවට ඒමට සූදානම් වුන ඔවුන්ගේ ගමන මොහොතකට නැවතුනේ ඈතින් කලබලයෙන් මෙන් ජෝර්ජ් ඔවුන් සොයා එනු දැකිමෙනි..

" ඇයි ජෝර්ජ්?"

" සංදර්ශණයට යන්න වෙලාව හරි නිසා මිස්ටර් විලියම්ස් ඔබලාව හොයනවා.. පරක්කු නොවී අපි යමු.."

" අපිත් මේ එන්න තමයි ජෝර්ජ් හැදුවේ.. කියන්න මිස්‍ටර් විලියම්ස්ට අපි විනාඩි පහෙන් එනවා කියලා.."

" හොදමයි.."

ආ ඉක්මනින්ම නැවතත් වලවුව දෙසට දුවමින් යන ජෝර්ජ් පසුපසින්ම වලවුව දෙසට ඇවිදන් එමින් සිටි ඔවුන්ට ඈතින් ඔවුන් එන තුරු  වැඩ්මිලර් පවුලේ හැම කෙනෙක්ම වාගේ මග බලන් සිටියත් එරික් පමණක් ඔවුන් සමග නොවීය.. සංදර්ශණයට ඔහු වේලාසනම පිටවූවායැයි අනුමානයෙන් ඔවුන් ලගට ආ එරිකෝත් සිම්රනුත් බර්මින්හැම් නගරයේ එරික්ගේ සංදර්ශණය පැවැත්වෙන ශාලාවට යාමට සූදානම් වීය..

" ඔබලා පරක්කුයි මිස්ටර් එරිකෝ.."

" දන්නවා මිස්ටර් වැඩ්මිලර්.. පරීක්ශණය ගැන කතා කරමින් ඉද්දි වෙලාව ගිය බව දැනුනේ නෑ.."

" රාජකාරිය ජීවිතේ හැම දේම නෙමෙයිනේ මිස්ටර් එරිකෝ.. රාජකාරියටම යට වුනාම ජීවිතේ හුඟාක් දේවල් මඟ ඇරෙනවා.."

" මගේ රාජකාරිය තව කෙනෙක්ගේ ජීවිතේ තීරණය කරන දෙයක් වෙද්දී අනිත් දේවල් වලට මම කාලය වෙන් කරන එක බලපාන්නේ මට නෙමෙයි කියලා මිස්ටර් වැඩ්මිලර්ට තේරුම්  ගන්න පුළුවන් කියලා මම හිතනවා.."

මොහොතක නොරිස්සුම් බැල්මක් එරිකෝ වෙත යොමා සිටි ඔහු ඔහුගේ පෞද්ගලික වාහනයේ ඉදිරිපස අසුනට නැගුනේ කා සමඟවත් කිසිවක්ම කතා නොකරමිනි.. වැඩ්මිලර් පවුලේ සැවොම එහි හිදගනිද්දී එරිකෝත් සිම්රනුත් උදෑසන ඔවුන්ට ලැබුන වාහනයේම හිද ගත්තේ උදෑසන සිටි රැයැදුරුද සමගිනි..  ඒ වන විටත්ම සවස හත හෝරාව එලැබ තිබුන නිසාම වේගයෙන් නික්මුන වාහන බර්මින්හැම් වෙත දිවෙන මාවත දිගේ නගරයට එමින් තිබුනේය..

" අපි උදේ විලියම්ස්ලගේ ගෙදර ගිය වෙලේ ඒ ලග හිටපු කවුරු හරි අපි ගැන උනන්දුවක් දැක්කුවද?"

එරිකෝ හදිසියේම විමසුවේ වාහනයේ රියැදුරුගෙනි.. ඔහු එලැඹ සිටි කල්පනාවෙන් මිදී එරිකෝ දෙස බැළුවේ එවැන්නක් අසාවියයැයි ඔහුගේ සිතේ කිසිදු අදහසක් නොතිබුන නිසාවෙනි..

" නැහැ සර්.. ඒ අහල පහල අපිව දකින්න වෙන කවුරුවත් ඇත්තෙම නෑ.. විලියම්ස්ලා හිටපු ගේ ඇරුනම තව ගෙයක් තියෙන්නේ වැඩ්මිලර් වතු යාය ඉවර වුනාට පස්සේ.. ඒ කියන්නේ තව කිලෝමීටරයක් විතර ඈතින්.."

" හ්ම්ම්, ඒකත් එහෙමද?"

ඔහුගේ පිළිතුරින් ගැටළුව තුලම තව තවත් සිරවුන එරිකෝ බැරෑරුම් මුහුණකින් උදාවෙමින් තිබූ රාත්‍රිය අතරින් බර්මින්හැම් නගරය දෙස බලාහිදින්නට සැරසෙත්ම  බොහෝමයක් මිනිසුන් අතර නතර වුන වාහනය ඉදිරියේම වූ එරික්ගේ සේයාරුව රැගත් සුවිසල් දැන්වීම් පුවරුව සංදර්ශණ ශාලාවට ඔවුන් පැමිණි බව සනාත කලේය.. ඔවුන්ට කලින් වාහනයෙන් නික්මුන වැඩ්මිලර් පවුලේ අය එලිමහනේ බලා සිටි එරික්හට කුමක් හෝ දෙයක් පැවසූ බව හැඟුනේ හැම කෙනෙක්ම වාගේ එරිකෝ දෙසත් සිම්රන් දෙසත් බලා සිටි අයුරු නිසාවෙනි.. ඒ කිසිවක් ගැන සිතන්නට නොගිය එරිකෝ ආපසු යන්නට සූදානම් වූ රියැදුරු ලගට මොහොතකට ලං වීය..

" මට ඔබේ ජංගම දුරකථන අංකය දෙන්න.. මේ සංදර්ශණය කම්මැලි එකක් වුනොත් මට ඔබට අමතන්න පහසුයි එතකොට.."

" සමාවෙන්න සර්.. අපිට රාජකාරියේ ඉද්දී දුරකථන පාවිච්චි කරන්න බැහැ.. ඇත්තම කිවුවොත් මං ලග දුරකථනයක්වත් නැහැ.. අනික මම හිතන්නේ නෑ සර්ට මේ සංදර්ශණය කම්මැලි එකක් වේවි කියලා.."

" හරි එහෙම වුනොත් මම රථ ගාලට හරි එන්නම්.."

" හොදමයි සර්.."

එරික්ගේ සංදර්ශණයට එමින් සිටි බොහෝමයක් සෙනග අතරින් සංදර්ශණ ශාලාවට එරිකෝ ඇතුළු වූයේ එය ඔහුට වුවමනාවක් නොමැති දෙයක් වූ නිසාවෙන්ය.. ඉදිරි පෙලම වෙන් කර තිබු සුවපහසු ආසන වෙල හිදගත් ඔවුන් කාලය ප්‍රමාද වූ නිසාම නොසන්සුන්ව කෑ ගසමින් හිදි මිනිසුන් අතරම නරඹන්නන් වෙමින් වේදිකාව දෙස බලා හිදි එරිකෝ අසලම හිද ගෙන සිටියේ රිචර්ඩ් වැඩ්මිලර්ය..

" එරික්ට බර්මින්හැම් වල හුඟ දෙනක් කැමතියි වගේ.."

" ඔවු මිස්ටර් එරිකෝ.. එරික් මෙහේ කරන හැම සංදර්ශණයක්ම මේ වගේ තමයි.. බර්මින්හැම් විතටක් නෙමෙයි එරික් කොහේ සංදර්ශණයක් කලත් මේ වගේම මිනිස්සු එනවා ඒ හැම එකකටම.."

" මිස්ටර් රිචර්ඩ් එහෙනම් එරික්ගේ හොදම රසිකයෙක් වගේ.."

" ඔවු මිස්ටර් එරිකෝ.. ඒ නිසාමනේ මම එරික්ව මගේ බෑණා කර ගත්තේ?"

" ඒ කිවුවේ?"

" අවුරුදු තුනකට විතර කලින් මේ වගේම එරික් බර්මින්හැම් වල සංදර්ශණයක් කරන්න ආපු වෙලාවේ මම ආරාධිතයෙක් විදිහට ඒක බලන්න ආවා.. මේ දේවල් ගැන එච්චරම උනන්දුවක් නොතිබුනාට එරික් මාව මේ සංදර්ශණ වලට ආකර්ශණය කරන්න ගන්න තරම් දක්ශයෙක් වුනා.. එතනින් පටන් ගත්ත පෞද්ගලික හැදුනුම් කම තමයි අද මේ විදිහට අවසන් වෙලා තියෙන්නේ.."

" මම හිතුවේ මිස්ටර් වැඩ්මිලර් නිසයි එරික්ට මේ තරම් ජනප්‍රියත්වයක් ඇති වුනේ කියලා.. මොකද ලන්ඩන් වල මම එරික්ගේ නම කවදාවත්ම අහලා නැති නිසා.."

" ඒ මිස්ටර් එරිකෝ මේ දේවල් ගැන උනන්දුවක් නැති නිසා වෙන්න ඇති.. මම හිතන්නේ අද සංදර්ශ්ණය ඉවර වෙද්දී ඔබත් එරික්ගේ හොද රසිකයෙක් වේවි.."

" සමහරවිට.."

එරිකෝගේ උනන්දුවකින් තොරව දෙන පිළිතුරු  ඔහුට නොරිස්සන නිසාම කතාව මඟහරින්නට උත්සාහ කල රිචර්ඩ්ට පහසුවක් වෙමින් ඇරඹුන සංදර්ශණය පසුතලයේ සිටම ආකර්ශණියව ඉදිරිපත් කරන්නට සැබවින්ම එරික් සමත් වී තිබුනේය..

............................

හෝරාවකුත් විනාඬි කිහිපයක් පුරාවටම පැවතමින් තිබුන සංදර්ශණය සියල්ලක්ම නැතත් තරමක් දුරට එරිකෝගේ සිත් ඇද තබා ගන්නට හැකි විය.. බහුතරයක් මැජික් ශිල්පීන්ට වඩා එහා ගිය හැකියාවක් එරික්ට ඇති බව හැගෙන්නට ඔහු ඉදිරිපත් කල හැම අංගයක්ම වාගේ සමත් බව එරිකෝගේ හිතටද යම් තාක් දුරකට දැනෙමින් තිබුනේය.. කාලය ගැනත් උනදුවක් නොතිබුන එරිකෝත් සිම්රනුත් දෙදෙනාම සිටියේ එරික්ගේ සංදර්ශණයට සිත යොමාගෙනය..

" ඔන්න මිස්ටර් එරිකෝ දැන් තමයි මම ආසම එක එන්නේ.. ඒ වගේම සංදර්ශණයේ අවසනය.."

සංදර්ශණය පුරාවටම ඔහුගේ අදහස් එරිකෝ සමග බෙදා ගනිමින් හිදි රිචර්ඩ් එරිකෝට බාදාවක් වුවත් ඔහුට එය නතර කරන්නට පුළුවන් කමක් නොවීය.. වේදිකාවේ නිතරම අවශ්‍ය ලෙස වෙනස් වෙමින් තිබුනු විදුළි ආලෝක සියල්ලක්ම එකවරම දැල්වී වේදිකාවට වුවමනා ආලෝකය හොදින් ලබා දෙන්නට විය.. මුළු වේදිකාවම එරික් හැරෙන්නට සෑම දෙයකින්ම නිදහස් වෙද්දී මුළු ශාලාව පුරාවටම රැදි නිහැඬියාව ඔවුන්ට වුවමනා දේ ලැබෙන තුරු බලා සිටින්නාක් මෙන් විය.. සිදුවන දේ ගැන කුතුහලයකින් යුතුව බලා  සිටි එරිකෝගේ දෑස් මවිතයට පත් කරමින් වේදිකාවේ සිට සෙමින් ඉහලට එසවෙන්නට වුන එරික්ගේ සිරුර නිදහසේ කුරුල්ලෙකු මෙන් වේදිකාවට මදක් ඉහලින් මද දුරක් පාව විත් යලි වේදිකාව මතටම පතිත වන්නට විය..

ශාලාව පුරාවට රැදුන ඝෝශාව අතරේ ඇස් අදහාගත් නොහැකිව වේදිකාව දෙස බලා හිදි එරිකෝ සංදර්ශණයට වඩා විලියම්ස් පවුලේ අභිරහසේ පුරුක් එකින් එක ගලපන්නට විය..

" දැක්කද මිස්ටර් එරිකෝ.. ඔන්න ඔය නිසයි මම මගේ බෑණාට පියාඹන මිනිසා කියන්නේ.."

එරිකොගේ උරහිසට අත දමාගනිමින් සතුටින් උදම් අනන රිචර්ඩ් දෙස මොහොතක් බලා හිදි එරිකෝ හිත යටින් සිදුවූ හැම දෙයක් ගැනම කරුණු එකින් එක ගලපමින් අභිරහසේ සිරවී සිටි තැනින් මදක් හෝ ඉදිරියට යන්නට බොහෝ උත්සාහයක් දැරීය.. කිසිවක් සිතාගත් නොහැකිව එරිකෝ දෙස බලා වුන් සිම්රන් සමග ශාලාවෙන් එලියට පැමිණි එරිකෝ රථ ගාල දෙසට ඇවිදන් ගියේ වැඩ්මිලර් පවුලේ කිසිවකුත් එන තුරු බලා නොයිදමය..

" මේ දැක්ක දේවල් මට විශ්වාස කරන්න අමාරුයි එරිකෝ.."

" මටත් සිම්රන්.. ඒත් අපිට හොද හෝඬුවාවක් ලැබුනා.."

" එරික්ගේ අන්තිම අයිටම් එක නේද?"

" ඔවු සිම්රන්.."

" එරිකෝත් හිතන්නේ අපි අහම්බෙන් දැක්ක අඩි සළකුණුත් මේ වගේ ඒවා කියලද?"

" ඔවු.. ඒත් ඒ ගැන කෙලින්ම එරික්ට චෝදනාව නගන්න කලින් අපිට තව කරුණු ටිකක් හොයන්න වෙනවා සිම්රන්.."

" ඒ මොනවද?"

" අපි ඒ හැම දේකටම කලින් වැඩ්මිලර් පවුලේ අය එන්න ඉස්සෙල්ලා වලවුවට යමු.. අපිට හෝඩුවාවක් කීපයක් තියෙනවා හොයා ගන්න.."

" පවුලේ අය නැතත් අච්චර ගොඩක් සේවකයෝ ඉද්දී කොහොමද එරිකෝ අපි ඒක කරන්නේ? අනික ජොර්ජ්ගෙන් බේරෙන්නේ කොහොමද?"

" මම ඒ හැම දෙයක්ම සිම්රන්ට විස්තර කරන්නම්.. වහනේදි කිසිම දෙයක්  කතා කරන්න එපා.. සංදර්ශණයට අකමැති වුන බවක් පෙන්නගෙන වාහනයට නගින්න.."

" හරි එරිකෝ.."

තවමත් සංදර්ශණය පැවති ශාලාව ඉදිරිපස රැදෙමින් වුන් බොහෝ පිරිසක් අතරේ ඉක්මනින්ම රථ ගාලට පැමිණි එරිකෝත් සිම්රනුත් රැයැදුරු සමග වාහනයට නැගුනේ ඉක්මනින්ම වලවුවට යාමේ අරමුණිනි..

" මම කිවුවේ සර්ට සංදර්ශණය ඉවර වෙනකම්ම බලන්න හිතෙයි කියලා.."

වාහනයට නැගුන එරිකෝගේ කල්පනාවට බාදා කරමින් ප්‍රශ්ණ නැගූ රියැදුරු සමග කෝපයක් නැඟුනත් ඒ බව නොපෙන්නන්නට එරිකෝ උත්සාහ ගත්තේය..

" එච්චරමත් නෑ.. ඒත් නරකමයි කියන්න බෑ.."

රියැදුරුගේ මුහුණේ මතුවුන හැඟීම කුමක්දැයි  හොදින්ම තේරුම් ගන්නට එතරම්ම අපහසු නොවීය.. වෙනත් කිසිවක් ගැන නොව්මසු ඔහු වාහනය පණගන්වමින් රථ ගාලෙන් පිටතට ගෙනා වාහනය මොහොතකට අතර මග නතර කලේය..

" මිස්ටර් වැඩ්මිලර් එනකම් ඉන්න ඕන නේද? තාම ඔහු ශාලාව ඇතුලේ මම හිතන්නේ.."

" බෑ අපි ටිකක් ඉක්මනට යමු.. මට රාජකාරි ඇමතුමක් ගන්න තියෙනවා රෑ නමය වෙන්න කලින්.. ඉක්මනට ආපු එක ගැන හේතු මම රිචර්ඩ්ට කියන්නම්.. අපි දැන් යමු.."

කිසිවක් ගැන ප්‍රශ්ණ නොකරම වැඩ්මිලර් වලවුවට එන මාවත දිගේ ඔහු වාහනය පදවන්නට විය.. පිටුපස අසුනේ හිදගෙන සිටි සිම්රන් එරිකෝ කී පරිදිම සංදර්ශණය ගැන කිසිවක්ම කතා නොකරන්නට වග බලා ගනිද්දී එරිකෝ අවසන් හෝඩුවාව අභියසට යන මඟක් සිතන්නට විය..






23 comments:

  1. නිගමනයකට එන්ඩ තරම් හෝඩුවාවක් නොමැත. :P

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට බලමු..

      Delete
  2. කතන්දරය හොඳටම හොඳයි. දැන් තමයි අමාරුම සීන්එක. (ඊලඟ කොටස එනකල් ඉන්න එපැයි).හැබැයි නම එච්චරම හොඳ නෑ. එරිකෝ හන්ටර් ට වැඩිය ආකර්ශනීය නමක් දාන්න තිබුන. නැත්තං කුතුහලය එක්කරන නමක් දාන්න තිබුන. නම දැක්ක ඉස්සෙල්ලම දවසෙ කියවන්න ආසාවක් ඇතිවුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඊළග කොටස ඉක්මනටම දානවා.. මේක කතා මාලාවක්නේ රාජ් අයියේ.. පරීක්ශ්ණයෙන් පරීක්ශණයට කතාවේ නම් වෙනස් වෙනවා.. ඒ හන්දා ඒ තරම්ම අවුලක් නැති වෙයි කියලා හිතනවා..

      Delete
  3. බැනේ අප්පා කිසිම අගක් මුලක් හිතා ගන්න

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ඉවසලා බලමු..

      Delete
  4. එරිකෝ, එරික්ගෙ සපත්තුවක් උස්සන්නවත් යනවද දන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. බලමු බලමු..

      Delete
  5. හපොයි! තව කොටසක් තියෙනව ද? මම හිතුවා අදවත් අවසානේ බලා ගන්න පුළුවන් වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි අෆ්ෆා එච්චරටම මේක දැන් එපා වෙලාද තියෙන්නේ?

      Delete
  6. මම ඒත් මේ කල්පනා කර කර හිටියේ flaying man කියන්නේ මොකද කියලා..දැන් බලනකොට ඒක flaying නෙමෙයි flying නේද? එහෙමත් නැත්නම් අපිව අන්දනවද මන්දා මෙයා :0

    ReplyDelete
    Replies
    1. හෆොයි නෑ ලොකු.. ඒකේ මේ අකුරක් වැඩි වෙලානේ.. මාත් මේ උයා කිවුවමයි හරියට දැක්කේ.. ගනන් ගන්න එපා ඒ.. දැන් ඔන්න ඔහේ ඒක තිබුනාදෙන්.. ;)

      Delete
  7. කිය්ව්වා නියමයි

    ReplyDelete
    Replies
    1. සංජීවට දැන් සිංහල හුරුයි වගෙයි..

      Delete
  8. හම්මේ.... අද තමා කොටස් 5ම කියවලා ඉවර කලේ. පහුගිය ටිකේ එන්න බැරි වුනානේ. වෙනදා වගේම කතාව නම් සුපිරි. ඒත් මට නම් තාම මුකුත් හිතා ගන්න අමාරුයි. රිචඩ් කියලත් හිතෙනවා මේ සේරම කරන්නේ. බලමුකෝ බලමුකෝ ඊලග කොටස ආවම.....

    ReplyDelete
    Replies
    1. සමනලී සෑහෙන කාලෙකින් නේන්නම්.. හා හා තව ටිකක් ඉවසලා බලමු මොකද වෙන්නේ කියලා..

      Delete
  9. අනේ මන්දා මේකා අපිව අන්දනවද කොහෙද? මොනවත් හිතාගන්න බැහැ නේ හෝඩුවාවලින්.

    ReplyDelete
    Replies
    1. මොකට අන්දන්නද අක්කේ.. ටිකක් විතර කතාව අමාරු කලා.. එච්චරයි..

      Delete
  10. එරිකෝ හොයන්න යන හෝඩුවාව මොකක්ද කියල කියයි කියල මම හිතුවෙ. දැන් ඉන්න එපැයි ඊලඟ කොටස දානකන් ඒක දැන ගන්න :(

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඊළග කොටසින් කියන්නම්..

      Delete
  11. ඒකත් හරි.. :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්