Monday, 17 June 2013

එරිකෝ හන්ටර් - The Flying Man 1


උසාවියෙන් පිටත රැදුන ඝෝෂාව හැමෝටම කරදරයක් වෙමින් පැතිර යමින් තිබුනේය.. ලන්ඩන් පොලීසියේ  පොලිස් භටයන් බොහෝ පිරිසකගෙන් සැදුම් ලත් ආරක්ෂක වළල්ලට පිරිස පාලනය කිරීම මහත් අසීරු කාර්යක් විය.. නීතිය ඉදිරියේ වරදකරුවකු වුවත් ඔහුට එරෙහිව  පිළිගත හැකි සාක්ෂි තිබුනත් බොහෝ දෙනෙකු එම තීන්දුව පිළිගැනීමට අකමැත්තක් දැක්වූයේ ඇයිද යන්න හැමෝටම ගැටළුවක් විය.. නඬු තීන්දුවෙන් පසුව උසාවියෙන් පිටතට ගෙන ඔහුව එළිමහනේ වූ පොලිස් ජීප් රථය වෙතට රැගෙන යාමට ඔවුන්ට මහත් වෙහෙසක් දරන්නට සිදුවූයේ ඔහුට හිතවත් පිරිස් ඔහු වෙනුවෙන් හඬක් නගන්නට වූ නිසාවෙනි..

උසාවියෙන් පිටත සිදුවන හැම දෙයක් දෙසම කොරිඩෝවේ බැම්මට හේත්තු වී බලා උන් එරිකෝ ඔහු වරදකරුවෙකුයැයි මිනිසුන් මෙතරම්ම පිළිගන්නට අකමැති ඇයිදැයි යන්න තනිවම කල්පනා කරන්නට විය.. ඊළගට ඉදිරිපත් කරන්නට තිබුන තමන්ගේ නඬුවට අදාල ලිපි ලේඛණ ගැන උනන්දු වනවාට වඩා එරිකෝගේ සිත තිබුනේ උසාවියෙන් පිටත පරිසරය අතරේය..



ඇයි එරිකෝ?

නෑ සිම්රන්.. බලන්න අර ජීප් එකට අරන් යන කෙනා දිහා.. මනුස්සයා වෙනුවෙන් මෙතනට කී දෙනෙක් නම් ඇවිත් තියෙනවද? ඒත් ඔහු වැරදිකාරයෙක්..

මොකද්ද ඔහු කරලා තියෙන්නේ?

මම එන්න ටිකක් පරක්කු උනායින් මට ඒක දැන ගන්න බැරි උනා සිම්රන්.. එහෙම නොවුනනම් හුඟක් දේවල් දැන ගන්න තිබුනා..

මොකක් හරි සාධාරණ හේතුවක් ඇති එරිකෝ.. අපි දැන් යමු.. ඊළගට තියෙන්නේ අපේ නඬුව..

තම සේවාදායකයාට වඩා එරිකොගේ හිත යොමුවුනේ නොහදුනන ඔහු වෙතටය.. උසාවිය තුලට යාමට වඩා  පිටත සිදුවන දේ දැන ගැන්මට ඔහු තුල වුවමනාවක් තිබුනත් ඔහු වෙනුවෙන් බලා උන් සේවාදායකයා නිසා උසාවියට ඇතුළු වුන එරිකෝ නඬු වාරය නිමා වන තුරු සිටියේ නොඉවසිල්ලෙනි..

….............................

සවස් යාමය පුරාවට පුවත් පත් වාර්ථා අතර සැරිසැරූ එරිකෝ ඔහු ගැන තොරතුරක් සොයන්නට බොහෝ වේලාවක් ගත කලත් එරිකෝගේ හිත සෑහෙන තරම් යමක් සොයාගන්නට නොහැකිවීම ඔහුගේ සිතට කණස්සල්ලක් විය.. පුවත් අතර සැරිසරා වෙහෙස වුන ඔහු තම සුපුරුදු සුවපහසු පුටුවෙහි දිගාවෙමින් කල්පනාවට වැටුනේ උදෑසන වූ සිදුවීම ගැනය.. කොතරම් උත්සාහ කලත් ඉන් මිදීමට ඔහුට නොහැකි විය..

එරිකෝ තාම උදේ වුන දේ ගැනද හිතන්නේ?

සවස සුපුරුදු පරිදිම නිවසට සිම්රන් ඔහු ලගට එන තුරුම එරිකෝ සිටියේ කල්පනාවේය.. එරිකෝගේ නිවස ඇයට හොදින් හුරුපුරුදු නිසාම නිවසට ඇතුළු වී රාජකාරි කාමරයට ආවේ උණුසුම් කෝපි කෝප්පයක්ද සමඟිනි.. තොරතුරු අතර අතරමංව  හිදි එරිකෝට එය වෙනදාටනම් වුවමනාම දෙයක් වුවත් අද ඔහුට එයට එතරම්ම උනන්දුවක් නොවීය..  ගිණි උදුන අසලම වූ ටීපෝව මත කෝපි කෝප්පය තැබු එරිකෝ සිම්රන්ගේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්නට තරම්වත් වුවමනාවක් නොපෙන්නීය..

එරිකෝ, ඇයි මේ?

උදේ දැක්ක සිදුවීම මට ලේසියෙන් අමතක කරන්න අමාරුයි සිම්රන්.. ඔහු අපරාධකාරයෙක්.. ඒත් මිනිස්සු ඔහුට කොච්චර කැමතිද? ඔහු වෙනුවෙන් කෑ ගැහුවද? ඇයි? ඔහු වරදක් කලාද නැද්ද? ඔක්කොමටත් වැඩිය ඔහු කවුද? මෙන්න මේ දේවල් හිතට වද දෙනවා සිම්රන්..

ඉතින් එරිකෝ අපිට මේක ගැන හොයන්න විදිහක් නැද්ද?

මම පුවත් පත් වලයි අන්තර්ජාලෙයි හුඟක් දේවල් බැළුවා..

ඒත් හිතට හරියන දෙයක් හොයා ගන්න බැරි උනා.. එහෙම නේද එරිකෝ?

ඔවු සිම්රන්.. සිම්රන් දැන් මගේ හිත හොදට කියවන්න පුරුදු වෙලා වගේ..

එරිකෝ ලේසියෙන් දෙයක් ගැන මෙච්චරම හිතන්නේ නෑ කියලා මම දන්නවා.. නඬුවක් උනත් එරිකෝට හිතන්න හුඟක්ම දේවල් ඉතුරු වෙන්නේ නැහැනේ..

ඇත්ත සිම්රන්.. මට මේ ගැන හොයන්න උනන්දුවක් ආවා..

ඒත් එරිකෝ මේක ඔයාට ආව නඬුවක්වත් රහස් පරීක්ෂණයක්වත් නෙමෙයිනේ.. ඉතින් කොහොමද ඒක කරන්නේ?"

" ඒකම තමයි සිම්රන් මාත් කල්පනා කලේ..  ඒත් එහෙමයි කියලා මට මේක අමතක කරලා ඉන්න අමාරුයි.. සිම්රන්ට පුළුවන්නම් හෙට උදේට එන්න මාත් එක්ක ලන්ඩන් බන්දනාගාරයට යන්න.. මට වුවමනායි ඔහුත් එක්ක මේ ගැන කතා කරන්න.."
" හරි මං එන්නම්.. ඊට පස්සේ?"

" හ්ම්ම්.. දන්නේ නෑ.. හැම දෙයක්ම තීරණේ වෙන්නේ ඒ කතා බහත් එක්ක තමයි.. අපි බලමු.."

" හරි එරිකෝ.. එහෙනම් අපි හෙට උදේ මුණගැහෙමු.."

වෙනදා මෙන් ඈ සමගම නිවසේ දොර අසලට නොආ එරිකෝ හිද සිටි පුරුවෙහිම තව ටිකක් පහසුවට දිගාවෙමින් දෙනෙත් අඬවන් කර ගනිමින් කල්පනාවට වැටුනේ අහම්බෙන් මෙන් සිත ඇදී ගිය ඔහුගේ කතාව කුමක් විය හැකිදැයි සිතමින්ය..

................................

මැදියම ගෙවෙන තුරාවටම තොරතුරු අතර නිදි වැරුව එරිකෝ සුපුරුදු වෙලාවටත් කලියෙන්ම සූදානම්ව නිවසේ ඉදිරිපසට වී මග බලාගෙන හිටියේ සිම්රන් එන තුරුය.. වේලාසනින් සිටම ඔහු ඈ එන තුරු බලා සිටියත් නිතරම අතැති වූ ඔරලෝසුව දෙසත් මග දෙසත් විටින් විට බැලු එරිකෝ සිටියේ ඈ එන තුරු නොසන්සුං කමිනි.. ඈත තියාම ඔහුව දුටු සිම්රන්ට ඔහුගේ  හිත තේරුම් ගන්නට අපහසු නොවිනි..

" එරිකෝ රෑ තිස්සෙම මේ ගැන හිතලා තියෙනවා වගේ.."

" සිමරන් කොහොමද ඒක හරියටම කියන්නේ?"

" ඔයා දිහා බැළුවම ඒක කියන්න පුළුවන් එරිකෝ.. නිදි මරපු බව පේන්නම තියෙද්දී වේලස්සනම ඇවිත් මං එනකන් බලන් ඉද්දී වෙන හේතු තියෙන්න විදිහක් නැහැ නේද?"

" හ්ම්ම්.. සිම්රන් එහෙනම් දැන් කෙනෙක් දිහා බාහිරව බලලා නිගමනයකට එන්න දන්නවා.."

" ඔයා එක්කනේ දැන් වැඩියෙන් ඉන්නේ මම එරිකෝ.. හරි අපි දැන් කොහේද යන්නේ?"

" අපි ලන්ඩන් වල බන්ධනාගාරයට යමු.. අපි එහෙදි මයිකල් වැඩ්මිලර්ව මුණ ගැහිලා කතා කරන්න ඕන.."

" ඒ කවුද එරිකෝ?"

" ඊයේ ඉදන්ම මගේ අවදානය අරගත්තේ මේ මයිකල් තමයි.."

" එහෙනම් එරිකෝට වුවමනා කරන තොරතුරු ටිකක් හම්බුවෙලා.."

" ඔවු සිම්රන්.. මයිකල් කියන්නේ සමාජ සේවකයෙක්.. කාලයක් බර්මින්හැම් වල පාර්ලිමේන්තුවෙත් ඉදලා තියෙනවා.. ඒ නිසාමයි මට තොරතුරු හොයා ගන්න ලේසි වුනෙත්.. මයිකල් ඒ පැත්තේ රදළ පරම්පරාවෙන් එන කෙනෙක්.. තාම අවිවාහකයි.."

" හ්ම්ම්.. එතකොට මේ විදිහට හිරේ ඉන්න හේතුව?"

" බර්මින්හැම් වල සිද්ද උන අභිරහස් මරණ කීපයක්.. හුඟක් ඒවා කවුද කරේ කියලවත් හිතා ගන්න හෝඩුවාවක් නැති තරම්.. ඒත් අහම්බෙන් වගේ එක මරණයකට මයිකල්ගේ නම ඈදිලා තියෙනවා.. ඒ චෝදනාව බොරු කියලා ඔප්පු කර ගන්න බැරි උන හන්දයි ඊයේ අපි දැක්ක විදිහට අවසන් නඬු තීන්දුවෙන් දඬුවම් ලැබුනේ.."

" මොනවද ඒ මරණ?"

" ඒ ගැන තොරතුරු දැන් ගන්නනම් අපිට ඉස්සෙල්ලම මයිකල් එක්ක කතා කරන්න වෙනවා.. ඊට පස්සේ තමයි අනික් දේවල් ගැන හිතන්න වෙන්නේ.."

" මේකට උසාවියෙන් අන්තිම නඬු තීන්දුවත් දීලා තියෙන නිසා එරිකෝ කොහොමද මේ ගැන හොයන්න හිතන් ඉන්නේ?"

" ඒක ප්‍රශ්ණයක් නෑ සිම්රන්.. මයිකල් වැරදී කාරයා උනත් නිවැරදී කාරයා උනත් එයාට මෙතනින් ගැලවෙන්න අවස්ථාවක් එනවනම් මම හිතන්නේ නෑ ඔහු මේකට අකමැති වෙයි කියලා.."

" හ්ම්ම් බැරිවෙලාවත් උසාවියේ දුන්න තීන්දුව හරිනම්, ඔහු වැරදි කාරයාම නම්?"

" එහෙම වෙන්නත් ඉඩක් නැත්තෙමත් නෑ.. ඒත් ඊයේ දැක්ක හැම දෙයක්ම එක්කම මට මේ ගැන් හොයන්නේ නැතුව ඉන්න බෑ සිම්රන්.."

කතා බහ අතර තුර ඔවුන් ලන්ඩන් බන්ධනාගාරයට ආ බවවත් ඔවුන්ට නොදැනුනේය.. රථගාලේ වාහනය නතර කල එරිකෝ ආරක්ෂක කුටි අතරින් බන්ධනාගාරය ඇතුලටම විත් බන්ධනගාර නිලධාරීන් හා කතා කර අවසරය ලබා ගන්නට වැඩි වේලාවක් ගත නොවීය.. එරිකෝගේ සමහරක් මිතුරන් පොලිස් නිළදාරින් වීම ඔහුගේ වැඩ කටයුතු වලට බොහෝ වේලාවට පහසුවක් වූවේය.. සාමාන්‍ය සිර මැදිරියක තනිවම රදවා උන් මයිකල් හදිසියේ පැමිණි අමුත්තන් දැක තරමක් පුදුම වූ බවක් පෙනෙන්නට විය..

" මිස්ටර් මයිකල්, මම රහස් පරීක්ෂක එරිකෝ.. මේ මගේ සහායිකාව සිම්රන්.. අපිට ඔබත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?"

" ඔබලාත් එන්නේ මරණ ගැන කතා කරන්නනම් තවත් ඒ ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියලා මට නම් හිතා ගන්න බැහැ.."

" ඇත්ත.. සමහරව්ට ඔබට මේක වදයක් වෙන්න පුළුවන්.. ඒත් අපි කැමතියි ඔබට උදවු කරන්න.. ඔබෙන් මේ ගැන දැන ගන්න කැමතියි අපි.."

" ඒ කියන්නේ මම නිවැරදී කියලා ඔබලා විශ්වාස කරනවා?"

" ඒක හරියටම කියන්න අමාරුයි මිස්ටර් මයිකල්.. ඒත් නීතියට අහු නොවුන මොකක් හරි දෙයක් මෙතන තියෙනවා කියලා මගේ හිතට දැනෙනවා.. ඒකයි ඔබෙන් මේ ගැන දැන ගන්න වුවමනා.."

" ඒත් මට දැන් දඬුවමත් නියම වෙලා තියෙද්දි මේ ගැන ඔබලා එක්ක කිවුවා කියලා ප්‍රයෝජනයක් තියේවිද?"

" මම රහස් පරීක්ෂකයෙක් උනාට වෘතියෙන් නීතීවේදියෙක්.. ඒ නිසා ඔබට සාධාරණයක් වෙන්න තියෙනවනම් එතනදී මට පුළුවන් හැම දේම කරන්න මම පොරොන්දූ වෙනවා.."

සිම්රන් දෙසත් එරිකෝ දෙසත් මොහොතක් බලා වුන් ඔහුගේ මුහුණේ මොහොතකින් මැවුනේ සියල්ලක්ම අහිමි වුන හිස් බවකි..  ඒ හැගීම කුමක්දැයි යන්න තේරුම් ගැනීමට එරිකෝටත් සිම්රන්ටත් තරමක් අපහසු වුවත් ඔහුම කතාවට ආරම්භයක් ගන්නා තුරු ඔවුන් මදක් නිහඬව බලා සිටියේය.. ඔවුන් අතර රැදි නිහැඬියාව මොහොතක් දෙකක් වුවද ඒ අතර තුර ඔහුගෙන් පිටවුන සුසුම් බොහොම දිගු බව ඔවුන්ට හොදින්ම වැටහුනේය..

" ජීවිතේ කියන දේ තේරුම් ගන්න හරිම අමාරු දෙයක් මිස්‍ටර් එරිකෝ.. ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සාර්ථකත්වයට මම ගියා.. ජීවිතේ තිබුන හීන වලින් තරු අතරටම මම ගියා.. ඒත්, අන්තිමේ මම අද මෙතන නැවතිලා.. හිතන්නවත් බැරි විදිහට.. සාර්‍ථකත්වයත් එක්ක නිතරම හතුරෝ හැදෙනවා.. මේකත් අන්න ඒ වගේ දෙයක්.. ඒත් අවාසනවට මෙතනදි මට ගැලවීමක් නැති වෙලා.."

" හරි මිස්ටර් මයිකල්.. අපි කැමතියි ඔබේ කතාව අහන්න.. හදිස්සියෙම ඔබව මෙතනට එන්න උන හේතුව දැන ගන්න.."

" ඒක හරියටම මීට අවුරුද්දකට කලින් උන සිදුවීමක්.. ඒත් තාම මටනම් ඒක දැනෙන්නේ අද ඊයේ වගේ.. බර්මින්හැම් කියන්නේ ජීවත් වෙන්න පුළුවන් ලස්සනම පරිසරයක්.. වාසනාවට වගේ ඉපදුන දවසේ ඉදන් මට ඒ පරිසරයේ ඉන්න පුළුවන් උනා.. ඒත් කාලයේ වෙනස් වීමත් එක්ක එහේ ජීවිත උනත් වෙනස් වුනා.. සංකීර්ණ වුනා.. මීට අවුරුද්දකට විතර කලින් හදිසියේම අභිරහස් විදිහට ගමේ එක පවුලක් මරණයට පත් වෙනවා.. ඇත්තටම කිවුවොත් ඒක එක දිහට වුන ඝාතන පෙලක්.. එකම පවුලේ අය.. ඒත් පවුලේ බාලයගේ ඉදන් ගෘහමුලිකයා වුන විලියම්ස් වෙනකන් හැම කෙනෙක්වම එක සතියක් ඇතුලත මරලා දානවා.. ඒක පලිගැනීමක් කියලා හොදටම හිතන්න පුළුවන් උනත්  ඒ කවුද කියලා කියන එක ගැන කිසිම හෝඩුවාවක් ඉතුරු වෙන්නේ නෑ.."

" සමාවෙන්න මිස්ටර් මයිකල් ඔබේ කතාව අතර මැදදි භාදා කරන්න වෙනවට.."

" ඔවු අහන්න.."

" මේ විලියම්ස් පවුල කොයි වගේ අයද? ඔවුන් මොනවද කලේ?"

" ඔවුන් දුප්පත් අය.. ඒ පවුලේ හුඟක් අය කලේ අපිට අයිතිව තිබුන වතු වල වැඩ කරපු එක.. කොටින්ම ඔවුන්ගේ නැවතිලා හිටියෙත් අපිට අයිතිය තිබුන පරණ ගෙයක.."

" ගමේ කාටවත් ඔවුන් නිසා ප්‍රශ්ණ ඇති වෙලා තිබුනේ නැද්ද?"

" නැහැ.. එහෙම  කිසිම දෙයක් තිබුනේ නෑ.. ඒත් එක සිද්දියක් ඇරෙන්න.. අන්න ඒ සිද්දිය නිසා තමයි අද මම මෙතන ඉන්නේ.."

"ඒ කිවුවේ?"

"විලියම්ස්ගේ දෙවනි පුතා කාර්ල් විලියම්ස් වැඩ කලේ අපේ ගෙදර.. හුඟක් වෙලාවට මගේ රියැදුරා උනේ ඔහු තමයි.. ඉස්සෙල්ලාම අභිරහස් විදිහට මරණයට පත් වුනේ කාර්ල්ගේ බාල සහෝදරයා.. ඔහු ඒ වෙද්දිත් අධ්‍යාපනය ලබමින් හිටියේ.. ඔවුනට වුවමනා උනා ඔහුව ඔවුන් ඉන්න නිවසේ වත්තෙම මිහිදන් කරන්න.. ඒත් ඒකට මගේ මවගෙන් ඉඩක් ලැබුනේ නෑ.. මොකද ඒක අපිට අයිති දේපලක් නිසා.. ඒ හන්දම මම මැදිහත් වෙලා හැම වියදමක්ම දරලා පොදු සුසාන භුමියේ ඔවුන්ට ඒ සදහා ඕන කරන හැම දෙයක්ම සලසලා දුන්නා.. ඒත් කාර්ල් ඒ ගැන හිටියේ ඒ අතරම්ම සතුටකින් නෙමෙයි.. ඒ හන්දම පහුවදා ඔහු මාත් එක්ක ආරවුලක් ඇති කර ගත්තා මේ ගැන.. එවෙලේ කාර්ල් කතා කරපු දේවල් නිසා මටත් ටිකක් කේන්ති ගිහින් මට ඔහුව ගෙදරින් එලව ගන්න වුනා.. හරියට එදා හවසම කාර්ල් අමානුෂික විදිහට ඝාතනය වෙනවා.. ඊට පස්සේ දවස් වල පවුලේ අනික් අයත්.. කාර්ල්ගෙයි මගෙයි ගැටුම හන්දා සමහරක් අතරේ සැකයක් මං දිහාට ආවා.. ඒ සැකය වැරදී කියලා ඔප්පු කර ගන්න බැරි උන නිසයි අද මම මෙතන ඉන්නේ.."

" සැකයක් විතරක්ම තිබුනා කියලා නීතියෙන් බැහැ මිස්ටර් මයිකල්ව වැරදි කාරයෙක් කරන්න පිළිගන්න පුළුවන් තරමේ වැදගත් සාක්කියක් නැතුව.."

" ඔවු.. කාර්ල්ගේ ඇඟේ තියුණු කැපුම් පාරවල් වලට අමතරව හිසට වෙඩි තැබීමක් වෙලා තියෙනවා.. කාර්ල්ගේ ම්නිය හොයා ගත්ත තැන තිබිලා මිලිමීටර් 45 රිවෝල්වරයක උණ්ඩයක් හම්බුවෙලා තියෙනවා.. ගමේ ඒ විදිහේ රිවෝල්වරයකට බලපත්ත්‍රයක් තියෙන්නේ මට විතරක් නිසා ඔවුන්ගේ ප්‍රධාන සැකය මට ආවේ.."

" එතකොට අනිත් මරණ?"

" ඒ හැම දෙයක්ම වුනේ එකම විදිහට.. දරුණු කැපුම් පහරවල් වලින්.. කාර්ල්ගේ ඇරෙන්න වෙන කිසිම වෙනසක්වත් සාක්ෂියක්වත් ඒ මරණ වලින් හම්බුනේ නෑ.."

" එතකොට මිස්ටර් මයිකල් වරදකාරයා වුනේ පවුලේ හැම මරණයකටමද?"

" නැහැ.. කාර්ල්ගේ මරණයට විතරයි.. ඒත් කාර්ල්ගෙන් පස්සේ වුන අනික් මරණ වලටත් මාව සම්බන්ද කරන්න ඔවුන්ට ඕන උනත් ඒකට පැහැදිළි සාක්ෂියක් තිබුනේ නෑ.."

" ඔවුන් කිවුවේ?"

" විලියම්ස් පවුලේ නෑදෑයන්.."

"ඔවුන් ඉන්නෙත් විලියම්ස්ලා එක්කමද?"

" නැහැ.. මම හිතන්නේ ඔවුන් බර්මින්හැම් වලිනුත් පිට ඉන්නේ.. මේ මරණයන් නිසයි මම ඔවුන් ගැන දැන ගත්තෙත්.. නැත්නම් මම කලින් ඔවුන් ගැන අහලා තිබුනෙවත් නෑ.."

" කාර්ල්ගේ මරණය වෙද්දි ඔබ කොහේද හිට්යේ?"

" මම හිටියේ මගේ නිවසෙමයි.. කාර්ල්ගේ මරණය වෙලා තිබුනේ හවස 6ත් 7ත් අතර.."

" මේ අපරාදේ ඉතුරු ටික දැන ගන්න නම් මට බර්මින්හැම් යන්නම වෙනවා.."

" ඒ කියන්නේ ඔබට මාව නිවැරදි කියලා ඔප්පු කරන්න පුළුවන්ද?"

" අපරාධය ගැන හොයන්න පුළුවන්.. මිස්ටර් මයිකල් නිවැරදිද නැද්ද කියන එක අවසානයේ තීරණය කරමු.."

" ඔබ ඉදිරියෙත් මම වැරදිකාරයා නම් මේ හැම දෙයක්ම වෙනුවෙන් ඔබ කැපකරන කාලේ අපරාදෙනේ.."

" වෙන්න පුළුවන්.. ඒත් මේ දේවල් පස්සේ ගිහින් හොයන එක මගේ ආසාව.."

ඔවුන් කතා කරමින් සිටි තැනට පොලිස් නිළධාරියකු හෙමින් ලං වුනේ කතා කරන්නට තිබූ කාලය නිමා බව හඟවමිනි.. එරිකෝට දැනගන්නට වුවමනා බොහෝමයක් දේවල් තිබුනත් ඔහුට වුවමනා වූයේ බර්මින්හැම් හි සිටම මේ හැමදෙයක් ගැනම තොරතුරු සෙවීමය.. මයිකල්ගෙන් සමුගත් එරිකෝත් සිම්රනුත් බන්ධනාගාරයෙන් පිටව එන තුරුම අන් කිසිවක් ගැන කතා කිරිමට නොපෙලබුනේ එරිකෝගේ සිත මයිකල් පැවසූ කාරණා අතරම රැදී තිබුන නිසාය..

නිවසට එන අතර වාරය පුරාවටම රැදුන නිහැඬියාවෙන් එරිකෝ සුපුරුදු පරිදිම තම පරීක්ෂණය අතර සිත නතර කර ඇති බව සිම්රන් කාලයත් සමගම හොදින්ම තේරුම් ගෙන තිබුනි.. එවන් අවස්ථා වල එරිකෝගේ වාහනය පදවන් යන්නට තරම්ම කිට්ටු සමීප සබඳතාවත් ඔවුන් අතර කෙමෙන් ගොඩ නැගී තිබුනේය.. නිවසේ තම රාජකාරී කාමරය වෙත ගිය එරිකෝ පරිඝණකය පන නංවවින් කුමක් හෝ හොයන්නට සැරසෙද්දී ඉන් නික්මුන සිම්රන් ඔවුන්ට සුපුරුදු කෝපි කෝප්පය සාදන්නට පිටවුනේ එරිකෝට වුවමනා කාලය ඔහුට ලබාදෙමිනි..

හෝරාවක් පමණ ගෙවන තුරුම එරිකෝට කිසිම බාදාවක් නොවුන ඇය හිස්ව ගිය කෝපි කෝප්පය වෙනුවට නැවතත් කිහිප වරක්ම කෝපි සෑදුවත් එරිකෝගේ නිහැඬියාව මොහොතකටවත් බිදුනේ නැත.. දැල්වුන සිගරට් බොහෝ ප්‍රමාණයක් නිවී ගොස් අළුබදුන පිරි යන තුරුම පරිඝණකයෙහි සිත යොමාගෙන සිටි එරිකෝට අන් කිසිවක් ගැන අවබෝදයක් නොතිබුන තරම්ය..

" සිම්රන්.."

රාජකාරී කාමරයේ තනිව උන් එරිකෝගේ හඬ ඇසෙත්ම වුවමනාවෙන් ඔහු වෙතට ගියේ වෙනදා මෙන්ම අභිරහස ගැනැරිකෝ සමග කතා කරන්නට ඈට තිබුන ආසාව නිසාවෙනි.. ගිණි උදුන අසල වූ තම සුපුරුදු හාන්සි පුටුවේ වාඩිවී සිටි එරිකෝගේ මුහුණේ පෙර තිබුනාට වඩා සෑහීමකට පත්වූ හැඟීමක් පෙනෙන්නට විය..

" එරිකෝ වැදගත් දෙයක් හොයගෙන වගේ.."

" හ්ම්ම්.. ටිකක් විතර.. ඒත් අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් තරමේ දෙයක්.."

" ඒ මොකද්ද එරිකෝ?"

" මම බර්මින්හැම් වල පලවුන පුවත් පත් බොහෝමයක විලියම්ස් පවුල ගැන ලියවුන හුගාක් දේවල් කියවලා බැළුවා.. අපිට මයිකල් කියපු හැම දෙයක්ම ඇත්ත.. ඒත් එක දෙයක් ඇරෙන්න.."

" ඒ මොකද්ද එරිකෝ?"

" විලියම්ස් පවුලේ මරණයන් පටන් ගැනෙන්නේ කාර්ල්ගේ මරණයත් එක්ක.. හරියටම බැළුවොත් කාර්ල් විලියම් එක්ක ගැටුමක් ඇති කර ගත්ත දවසේ ඉදන්.. ඒත් ප්‍රශ්ණයක් තියෙන්නේ මයිකල් කිවුවේ කාර්ල් ඔහු එක්ක බහින්බස් උනේ පළවෙනි මරණයේ ආදාහනයත් එක්ක කියලා.. එහෙම බල්ද්දී මයිකල් අපිට තැන් කීපයකදිම බොරු කිවුවා වෙනවා.."

" සමහරවිට ඔය පුවත්පත් වාර්ථාවල පොඩි මගහැරිමක් වුනා වෙන්න බැරිද එරිකෝ?"

" අපිට එහෙම හිතන්න බැරිමත් නැහැ හැම පුවත්පතකම ඒ විදිහට නොතිබුනානම්.. ඒත් මෙතන තත්වේ එහෙම නෙමෙයි.."

" හ්ම්ම්.. එහෙමනම් ඇයි මයිකල් ඒ වගේ බොරුවක් කිවුවේ? විශේෂයෙන් ඔහු මේ වගේ දඬුවමක් විදින වෙලාවක.."

" සිම්රන් හරි.. මම හිතුවා වගේම මේ සිද්දිය පිටින් පේනවට වඩා හුඟාක් ගැඹුරු එකක්.. මරණවලට කෙලින්ම වගකියන්න වුවමනා නැති උනත් මට හිතෙනවා මයිකල් මේ මරණ වලට කොතනින් හරි සම්බණ්ඳයි කියලා.."

" එරිකෝ කොහොමද ඒක හරියටම කියන්නේ?"

" තාම හරියට කියන්න බෑ සිම්රන්.. ඒත් මට ඒ දේ එහෙමයි කියලා දැනෙනවා.."

" හ්ම්ම්.. එරිකෝ කොහොමද ඒක ඔප්පු කරලා පෙන්නන්නේ?"

" ඒකට අපිට බර්මින්හැම් වලට යන්නම වෙනවා සිම්රන්.. සිම්රන්ට පුළුවන් නේද හෙට උදේම පිටත්වෙන්න සූදානම් වෙන්න?"

" උදේම?"

" ඇයි සිම්රන් මොකක්හරි ප්‍රශ්ණයක්ද?"

" ඔවු එරිකෝ.. හෙට මාව බලන්න මනමාලයෙක් එනවා.."

" මනමාලයෙක්?"

එරිකෝගේ හිත මොහොතින් වෙනස් කරන්නට ඒ වදන් පෙල සමත්වූ බව ඔහුගේ මුහුණින් පෙනෙන්නට විය.. එය සඟවන්නට අසාර්ථක උත්සාහයක එරිකෝ යෙද්දෙද්දී සිම්රන්ටත් ඒ ගැන ඔහු හා බොහෝ දේවල් කතා කරන්නට නොවූවෙන් කතාකරමින්ම් වුන් දෙයටම හිත යොමන්නට වුවමනා වුඅත් දෙදෙනාගෙන්ම නිහඬ බව අරෙන්න වෙන කිසිදු වෙනසක් නොදැක්වීය..

"හෙට දවල් කෑම වෙලාවෙන පස්සේ අන එක එරිකෝට ප්‍රශ්ණයක් නෙමෙයි නේද?"

" ප්‍රශ්ණයක් නෑ සිම්රන්.. එහෙනම් මම උදේ ආයෙම වතාවක් මයිකල් මුණගැහෙන්න ගිහින් හවස බර්මින්හැම් යන්න කෝච්චියේ ආසනත් වෙන් කරන් එන්නම්.."

" හරි එරිකෝ.. එහෙනම් මාත් දැන් යන්න වෙලාව හරි.. ගෙදර වැඩත් තියෙනවා.. අම්මටත් උදවු වෙන්න ඕනනේ.."

" යන්න නෙමෙයි සිම්රන්.. ගිහින් එන්න.."

සිම්රන්ගේ මුවගේ නැඟුන සිනහව දෙස එරිකෝ ඇයටත් රහසින් මොහොතක් බලා ඉන්නට ආසා වුනත් ඉක්මනින්ම ඇය ඔහුගෙන් සමුගෙන පිටත් වෙන්නට සූදානම් වුන නිසාම වෙනදා මෙන් ඊට ඉඩක් එරිකෝට නොලැබිනි..

" මම දවල් කෑමෙන් පස්සේ සිම්රන්ව එක්කන් යන්න එන්නම්.. එන්න කලින් මම කෙටි පණිවිඩයක් එවන්නම්.."

" හරි එරිකෝ.. මම ගිහින් එන්නම්.."

එරිකෝගේ නිවසින් පිට වුන ඇය හේමන්තයේ සැදෑව තවත් වර්ණවත් කරමින් මාවත දිගේ ඇවිදන් යන අයුරු දෙස එරිකෝ මදක් බලා සිටියේ ඒ දැකුම ඔහුගේ හිතට හැමදාම එක කල ඔහුට ආගන්තුක වුන හැඟිම නිසාවෙනි..

....................................

උදෑසන සිටම දහවල වන තුරුම කලින් සැලසුම් කර ගත් වැඩ සියල්ලක්ම ඉක්මනින් නිමවූ එරිකෝ සිම්රන්ට යැවූ කෙටි පණිවුඩයට පිළිතුරක් ලැබෙන තුරු හෝරාවක පමණ සිට නොඉවසිලිවන්තව බලාගෙන සිටියේ පෙරදා සැදෑවේ සිම්රන් කියූ දෙයින් එරිකෝගේ සිතට නොසන්සුන් හැඟීමක් ඇති වූ නිසාවෙන්ය.. අතැති වූ ඔරලෝසු මුහුනත කීප වතාවක්ම අතගාමින් එදෙස බලමින් වුන් එරිකෝගේ හිත නතරව තිබුනේ සිම්රන් ලගය.. සවස දෙකට පිටත් වන බර්මින්හැම් බලා යන දුම්රියට කාලය කෙමෙන් කෙමෙන් ලං වුවත් සිම්රන්ගෙන් තවමත් පිළිතුරක් නොමැති වීම එරිකෝව තව තවත් නොසන්සුන් කරන්නට විය..

දුම්රිය ටිකට් පත් දෙකත් ඇදුම් බෑගයත් සමග නිවස ඉදිරියේ බොහෝ වේලාවක් බලාගෙන උන් එරිකෝ බොහෝ වේලා සිටම නිවස ඉදිරියේ නැවතී තිබු කුලි රියෙහි නැඟුන එරිකෝ දුම්රිය නැවතුමට යෑමට පෙර සිම්රන්ගේ නිවසට යාමට තීරණය කලේ ඇයත් සමගම බර්මින්හැම් යාම ඔහුගේ අරමුණ වූ නිසාවෙනි.. කලබලකාරි ලන්ඩනයෙන් මදක් ඈතට වන්නට පිහිටි සිම්රන්ගේ නිවස සොයා ගැනීම එරිකෝට පළමුවරම වුවත් එතරම්ම අපහසුවක් නොවිනි.. නිවස අසල නැවතුන කුලි රියෙන් එරිකෝ නික්මෙන්නටත් පෙරම ඔහු අසලින් ඇසුන හුරුපුරුදු කටහඬ එරිකෝගේ හිතේ තිබුන නොසන්සුං කම මොහොතින් අමතක කරන්නට තරම් සමත් විය..

" එරිකෝ ඔයා?"

කුලි රියෙහි කිසිවකුත් නැතැයි සිතමින් පිටුපස දොර විවර කල සිම්රන් බලාපොරොත්තු නොවූ වෙලාවක එරිකෝව ඇගේ නිවස අසලම දකින්නට ලැබීම පුදුමයක් විය..
               
" සිම්රන්ට මම එවුව මැසේජ් එක ආවා නේද?"

" ඔවු එරිකෝ.. ඒත් මේ වැඩ අස්සේ මට එරිකොට රිප්ලයි කරන්නවත් බැරි උනා.."

" හරි ඒකට කමක් නෑ.. අපි යමු.. කෝච්චියට තව විනාඩි දහයයි තියෙන්නේ.."

කුලී රියට නැගුන සිම්රන් සමගම වේගයෙන් නික්මුන කුලීරිය දුම්රියපලට යන තුරුම ඔවුන් අතර කතා කරනට ඉඩක් ලබා ගන්නට තරම් වත් ඕනෑකමක් නොතිබුනි.. 




 

14 comments:

  1. මෙන්න ආපහු ෂර්ලොක් ඇවිත්. හැමදාම වගේ මට කියන්ට තියෙන්නේ, රහස් පරීක්ෂක කතා වලට දිනේශ් දක්ෂයෙක් බවයි. ඒ වගේම අද සිම්‍රන් බලන්ට මනමාලයෙක් ආව බව කීවාම කතාව වෙනත් පැත්තකටත් යොමු කලානේ.

    අනේ ඒ දෙන්නා වෙන් කරන්ට නම් එපා ඔන්න.:)

    ReplyDelete
  2. ආ රහස් පරීක්ෂක කතාවක් වගේ. නියමයි. හරියට පෙරී මේසන් කතාවක් වගේ. ඒ කිව්වේ එකේ අනුකරණයක් කියලා නෙවේ. මේ විදියේ ආරම්බය ඒ කතාවලට උරුම දෙයක් හින්දා.

    ReplyDelete
  3. මේක කොටස් වශයෙන් යන එකක් ද?? මේක මම බලලම නෑ..

    ReplyDelete
  4. අම්මෝ මාර දිගයි නේ... ගෙදර ගිහින් බලන්නම් මලේ..

    ReplyDelete
  5. මාව නිකං ෂර්ලොක් හෝම්ස් සහ The X Files අතර දෝලනය වෙනවා වගේ. කතාව නං නියම යි! ඒත් ඔය මනමාලය ව නං මට ඇල්ලුවේ නැහැ.

    ReplyDelete
  6. එරිකෝගෙ කතාවක් කාලෙකින්. සෑහෙන සංකීර්ණ ප්‍රශ්නයක් වගේ. බලමුකො ඉතුරු කොටස් ටිකත් කියවල..

    ReplyDelete
  7. මෙන්න අලුත්ම බටහිර කතාව...ත්‍රාසය භිතිය, කුතුහලය මේ සේරම එකට කැටිවුණ අලුත්ම කතාව හොඳ ආරම්භයකින් සටහන්වෙලා.... නියමයි.

    ReplyDelete
  8. ඉවර කරන්න මොකද ඔච්චර හදිසි වර්ණ?සාර්ථකත්වය ලබන්න ලබන්න හතුරෝ නම් වැඩි තමා.

    ReplyDelete
  9. eriko hunteruth sherlok holms wagema dakshai wage

    ReplyDelete
  10. හුස්ම නොගෙන ම කියවලා ඉවර කළා... (y)

    ReplyDelete
  11. ආයෙත් කුතුහලය පිරි හොඳ කතාවක් කියවන්න ලැබෙයි වගෙ.. ඔහොම ලියාගෙන යමු..

    ReplyDelete
  12. පහු වෙලා ආවමත් මරු, කොටස් දෙක තුනක්ම එකපාර කියවන්න පුලුවන් නෙහ් :D

    කලින් වගේම සුපිරියි ! ඊටත් වඩා දැන් හුඟාක් හොදට ලියැවෙනවා වගේ.., කුතුහලය, චිත්ත රූප එහෙම ඇතිවෙන්න ලේසි ව්ඉදියට! (Y)

    මට මේක කියවගෙන යද්දි Elementary TV series එකෙ ශර්ලොක් සහ වොට්සන් මතක් වෙනවා... :D :D

    මොන මනමාලයා ආවත්, බබා කොටලා තියෙන්නෙ සිම්රන්ට .., එරිකෝවලු නේ?? ;)

    ReplyDelete
  13. මේ කතාව අතපහු වෙච්ච එක මාර දුකක්. කොහොම හරි දැන් කියවන්න පටන් ගත්තා. රහස් පරීක්ෂක කතා වලට මගෙත් තියෙන්නේ පුදුම කැමැත්ත.

    ReplyDelete
  14. මේක කියවන්න පටන් ගත්තෙ දැනුයි(උඹේ අනිත් හැම කතාවක්ම වගේ).
    මේ පරිවර්ථනයක්ද උඹේම එකක්ද? උඹේ එකක් නං නියමයි. කොටස් 5ම දැන් කියවන්න බලාපොරොත්තු වෙනවා.

    පොඩි සැකයක් නිසා මයිකල්ට චෝදනා එල්ල වීම සහ හිරේ යාම එච්චර ගැලපෙන්නෙ නෑ. එතන ටිකක් අතාර්කිකයි වගේ.

    අනිවාර්යෙන්ම ලව් කේස් එකකුත් එයි වගේ(උඹෙත් නරක වයසනේ:)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්