Tuesday, 4 June 2013

සිනහ තොටුපල සොයා යනු මැන ලබැදි මියුලැසියේ



ජීවිතේ ගලාගෙන ගිය දවස් ගැන හිතද්දි ජීවිතේ කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා වෙලාවකට මටම හිතා ගන්න අමාරුයි.. මේ ඇවිදන් යන වෙරළ අයිති මුහුද වගේම වෙලාවකට මේ ජීවිතේ ගැඹුරුයි.. මේ මුහුදම ඈතදි වෙලා ගන්න අහස තරම්ම මේ ජීවිතේ විශාලයි.. ඒත් ජීවිතේ තැනක හැම දේම අතර මං වෙලා කියලා දැනෙන්නේ ඇයි කියන්න මමවත් තවම හරියට දන්නේ නැහැ.. සතුටින් පිරුණ හැම මුහුණක් අතරෙම දුකම විතරක් හංගගෙන ඇවිදන් ආව දුර බොහෝම වැඩි වුනත් ඒ බවක් හිතට නොදැනෙන තරම්..

වෙරළේ රටා මැවුව පා සටහන් ඈතින් මැකිලා ගිහින් තිබුනේ හරියටම
සමහර මතකයන් වගේ.. ඒත් තවමත් යාන්තමින් සටහන් වැටුන ජීවිතේ ලස්සනම මතක හිත ලගට ඇවිත් රහසින්ම එබිකම් කරද්දී ඒ මතකයන් ජීවිතෙන් ඈතට ඇදිලා යන්නේ නෑ කියන එක නම් හොදටම විශ්වාසයි.. ඒත් ඇයි? හිත නිතරම අහන එකම දේ ඒක විතරක්ම වුනත් මතකය ලඟම තියෙන උත්තරය පිළිගන්න හිත මේ තරම්ම අකමැති ඇයි කියන්න වෙලාවකට මට තේරුම් ගන්න බැරි තරම්.. එහෙම වෙන්නේ ඇත්තටම හිතේ තැනක ආදරක් ඇය වෙනුවෙන් තියෙන නිසා කියලා හිත පිළිගන්න අකමැතිම නැහැ..
කල්පනාව අතරෙම හුඟක් දුර ඇවිදන් ආවා කියලා දැනුනේ යාන්තමට දැනුන මහන්සිය නිසාම.. සතුටින් පිරුණු මුහුණු අතරින් මිදිලා හුදෙකලා වෙන්න වුවමනා වුන නිසාම කොයි තරම් නම් දුර ඇවිදන් ආවද කියලා දැනෙන මහන්සිය මටම සාක්ෂි දරාවි.. ඒත් ඒ මහන්සියට වැඩිය මතකයක් හිතට වද දෙන බව හැම දෙයක්ම අතරේ මතකයට එන්න තරම් ඇයගේ මතකය මෙච්චරම හිත ලග නතර වෙයි කියලා කොහෙත්ම නොහිතුන තරම්..

පෑල දිග අහසේ

පාට දේඳුණු සේ

රැදී නොරැදී මගේ මතකේ

හිදියි ඔබ රහසේ

ලබැදි මියුලැසියේ..

ආදරේ කියන අකුරු හතර දිගේ සීමාවක් නැති අනන්තය හොයාගෙන යන්න ඔයත් මමත් හුඟාක් උත්සාහ කරන්න ඇති.. ඒත් ඒ අසාර්ථක උත්සාහය ඒ සීමාවක් නැති අනන්තය තරමටම අපිව අපෙන් ඈත් කරලා කියලා වෙලාවකට හිතාගන්නත් බැරි තරම්.. ඒත් ඔයාවත් මමවත් නොදැනිම කාලය හුඟාක් දේවල් වෙනස් කරා.. ඒ බව දැනුනත් අපිට ඒ කිසිම දෙයක් නතර කර ගන්න බැරි වුනේ ඇයි කියලා ඔයාවත් මමවත් කොහෙත්ම දන්නේ නෑ කියලා අපේ හිත් දෙක්ම දන්නවා..

" යන්න එපා සාරංග.. මේ ගෙවෙන මොහොතට මම හුඟක් ආදරයි.. මට මෙහෙම ඉන්න දෙන්න.."

" මාත් ආසයි.. ඒත් මේක නතර වෙලා ඉන්න බැරි බැදීමක් ඉශානි.. අපි කොයිතරම් හමුවීමක් ගැන හිතුවත් හමුවීමක් නැතුව ඉස්සරහට ඇදෙන රේල් පීලි දෙකක් වගේ අපි දෙන්නා.."

ජීවිතේ කොයිතරම් බැරෑරුම් වුනත් සංකීර්ණ උනත් ආදරේ ලගදි ඒ හැම එකක්ම පරාදයි කියලා ඒ ඇස් කියවද්දී තේරුම් ගන්න අමාරු  වුනේ නැහැ.. අමතක කරලා යන්න බැරි තරම්ම හිතට ලං වුන ඒ දෑස් ලගම තව ටිකක් හරි වෙලා ඉන්න ඇත්නම් කියලා හිතෙන වාර ගනන කීයක්ද කියලා හුඟක් වෙලාවට මටම නොතේරෙන ගානයි..

" මේ අපේ අන්තිම හමුවීමද?"

" හ්ම්ම්.."

" ඒ ඇයි?"

" ඇයි කියන්න ඔයා හොදටම දන්නවා.. සමහර විට මටත් වඩා හොදට ඒ ගැන ඔයා දන්නවා.."

ඒ මුහුණේ ඇදුන හිස් බව විස්තර කරන්න අමාරු වුනත් මොහොතකට ඇදුන ඒ හැඟීම් පෙල හිත ඇතුලෙම තැනක කවදාවත්ම අමතක නොවෙන්න රැදුනේ මේ වෙන්වීම හිතට දරා ගන්න අමාරු දෙයක් නිසා වෙන්න ඇති..ඒත් අකමැත්තෙන් වුනත් වෙන් වෙන්න ඕන හමුවක අවසානය ලගට ඇවිත් කියලා දැනෙද්දී හිත හදාගන්න හුඟාක් අමාරුයි..

සිතින් මගෙ සිත දරාගෙන ඔබ

ගෙවා ආ මග ඉතින් නිම වේවි

කදුළු ගන්තෙර නතර වෙමි මමනම්

සිනහ තොටුපල සොයායනු මැන

ලබැදි මියුලැසියේ..

ජීවිතේ ඉතුරු වුනේ කඳුළම විතරක්ද කියලා දැනෙන තරමටම මේ ජීවිතේ තැනක මම නතර වෙලා.. අහම්බෙන් වගේ හමුවුන හිත ලගට වෙලා ටික කාලයක් වුනත් මවපු හීන හුඟක් ලොකුයි කියලා දැනෙන්නේ ඒ හීන වලින් ජීවිතේ ඈත් වුනාම.. ඒත් ඒ හීන වලට මම තාමත් ආසයි.. පිළිගන්න අකමැති වුනත් ඒ හීන වල ජීවිත් වෙන්න තාම මේ හිත මට අඬඟහන බව දුර ඉන්න ඔයාට නොදැනෙනවා ඇති..

" දවසක මේ හැම දෙයක්ම වෙනස් වෙයිද සාරංග?"

" හ්ම්ම්.. මම හිතන්නේ නෑ.."

" බැරිවෙලාවත් එහෙම වුනොත්?"

" එහෙම දේකට ඇත්තටම ඉඩක් නෑ කියලා ඔයා දන්නවා ඉශානි.. ඉතින් ඇයි මෙහෙම දේවල් අහන්නේ?"

" මට ඔයා ලගම ඉන්න ඕන නිසා.."

හුඟාක් ආදරෙන් ඒ වචන ටික කියලා මගේ ලගට තුරුළු වෙද්දී ඇත්තටම ඒ උණුසුම ලගම ඉන්න හිත බලෙන්ම වගේ මාව ඇදලා නොගත්තා කිවුවොත් ඒක බොරුවක්.. ඒත් මම මටම නපුරු වෙලා හිතට ඉඩ නොදුන්නේ මේ ආදරයට වැඩිය මම වග කියන බැදීමක් හිතේ තැනක රැදිලා තියෙන නිසා කියලා ඔයා හොදටම දන්නවා.. ඒත්,

" හැමදෙයකම මුලට යන්න ඇත්නම් කියලා හිතෙනවා.."

" ඒ ඇයි?"

" එහෙම වුනානම් හුඟක් දේවල් වෙනස් කරන්න තිබුනා.. ඔයා මගේම වෙන්න තිබුනා.. ඒත් දැන් එහෙම නෑ.."

ඒ වචන ලගදි හිත අසරණ වෙන තරම මම ඇරෙන්න වෙන කාටවත් දැනෙන්නේ නෑ කියලා මම දන්නවා.. කොච්චර මේ බැදීම ලග ඉන්න හිත කිවුවත් ඒ අසරණ කම හැම මොහොතකම වගේ මාව ඔයාගෙන් හුඟක් ඈතට ඇදන් යනවා.. ඒක ඔයාට නොදැනෙනවා ඇති..

කිරි සිනාවක සුවඳ කැටි වුනු

සිහින ගිණිගත් වසන්තය මිහිරියි

කඳූළු ගංතෙර නතරවෙමි මම නම්

කඳුළු තොටුවල අතැර යනු මැන

ලබැදි මියුලැසියේ..

ඈත මුහුද ඉර එක්ක හැංගෙන දිහා බලාගෙන ඉන්න මිනිස්සු මෙච්චරම ආස ඇයි කියලා කියන්න මම දන්නේ නෑ.. ඒත් ටික කාලෙකට කලින් ඒ දිහා බලාගෙන ඉන්න මාත් ආස කලා.. ඒ ජිවිතේට දැනුන අපූරුතම හැඟීමක් නිසා.. ඒත් මුහුද ගිලගත්ත ඒ ඉර වගේම මේ ජිවිතෙත් දවසින් දවස ගිලෙද්දී ඔයාට සමුදෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් මගේ ඔළුවට ආවේ නැහැ.. දැන් හැම දේකටම ප්‍රමාදයි..

" ඔයාට ඕනනම් ආයෙම එන්න.. මම මඟ බලාහෙන ඉන්නවා.."

" බැරි වේවි ඉශානි.. ඔයා සතුටින් ඉන්න.."

"ජීවිතේ ආසම කරන දේකින් වෙන් වුනාම සතුට කියන්නේ හුඟක් දුර ඈත දෙයක් සාරංග.. ඒක ඔයාටත් දැනේවි.."

ඇත්ත.. සතුට කියන්නේ හුඟක් දුර දෙයක්.. ඒ බව දැනෙන්න මේ වෙන්වුන විනාඩි කීපයම ඇති කියලා මේ හිතට දැනෙනවා.. ආපහු හැරෙන්න දෙපා වාරු නැති ගානයි.. දුකක් වුනත් මේ කදුළු තොටුපල ලග හිත හැමදාටම නතර වේවි.. ඒ ගැන මේ හිතට දුකක් නැහැ.. ඒත් ඉක්මනින්ම දවසක ඔය හිතත් සිනහ තොටුපලකට ඇදිලා යාවි.. එතකන් නුඹට,

පෑල දිග අහසේ

පාට දේඳුණු සේ

රැදී නොරැදී මගේ මතකේ

හිදියි ඔබ රහසේ

ලබැදි මියුලැසියේ..



සිතින් මගෙ සිත දරාගෙන ඔබ

ගෙවා ආ මග ඉතින් නිම වේවි

කදුළු ගන්තෙර නතර වෙමි මමනම්

සිනහ තොටුපල සොයායනු මැන

ලබැදි මියුලැසියේ..


පෑල දිග අහසේ...
 

කිරි සිනාවක සුවඳ කැටි වුනු

සිහින ගිණිගත් වසන්තය මිහිරියි

කඳූළු ගංතෙර නතරවෙමි මම නම්

කඳුළු තොටුවල අතැර යනු මැන

ලබැදි මියුලැසියේ..

පෑල දිග අහසේ...


ගායනය : ලක්ෂ්මන් හේවාවිතාරන
පද රචනය : මහේෂ්  රත්සර මද්දුමඅරච්චි 

විශේෂයි : මේ මා බ්ලොග් අවකාශයේ රැදෙන අවසාන වසරයි.. හරියටම තව වසරකින් බ්ලොග්කරණයෙන් සමුගැනීමට තීරණය කලෙමි.. එතෙක් වෙනදා මෙන්ම සුපුරුදු සෙනෙහසින් හමුවෙමු..

21 comments:

  1. මේ ගිතය
    මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියුවක්.

    දිනේෂ් සහෝදරයා ඔබ ඒ ගැන
    සදහන් කළානම් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඒක ලිවුවේ කවුද කියන එක හොයාගන්න බැරි උනා.. සංගීතයත් එහෙමයි.. සහෝදරයා ඒක මතක් කලාට හුඟක් ස්තූතියි..

      Delete
  2. ඇයි ‍බ්ලොග් තහනං කරාද?? හැක්

    ReplyDelete
  3. ආලවන්තයා යනවලු නේ? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. uba liyana ewa bokata wadinawa. ela,,(kalakirimakin samuganimakda?)
    Jayawewa.

    ReplyDelete
  5. ඒ මොකෝ අර ..ඔව්ව කලින්ම තීරණය කරන්න එපා ..ඉඩ ඇති විටක යමක් ලියන්න .

    ReplyDelete
  6. හැමදේකම මුලට යන්න තිබුනානම්, ආපහු හැම දෙයක්ම හරියට පටන් ගන්න තිබුනා, ......
    ඒත කියන්න අමාරුයි..... ආපහු වැරදෙන එකෙක් නෑ කියලා පරණ දේවල්ම කරන්න හිතෙයිද දන්නෙත් නෑ,

    ReplyDelete
  7. සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ කියලා කතාවක් තියෙනවනේ. ලස්සණ යි :)

    ReplyDelete
  8. Mage pc eke Sinhala fonts thiyenawa. Samahara blog penawa.. samahara ewa penne na… karume kiyenne me blog eka penneth na.. eka hadanna puluwanda…? Awidda paya blog eka hondata penawa..

    ReplyDelete
  9. ඒ මොකද මල්ලි අවසන් වසර කියන්නේ. විවේක ඇති හැටියට මොනවා හෝ ලියමු. අපි ඔබේ පෝස්ටුවලින් රසයක් වින්දා.

    ReplyDelete
  10. ලස්සන සිංදුවක්.. අද තමා ඇහුවේ හැබැයි..
    හුම්ම්ම්ම්
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  11. මොකද උනේ.. එහෙම අවසන් වෙන්නේ කොමද.. ජයෙන් ජය

    ReplyDelete
  12. මම ආසම ලස්සන සින්දුවක් වගේම අයියාගෙ සිතුවිලි ගැලපිල්ලත් ලස්සනයි..........

    ReplyDelete
  13. ගීතයට ලස්සන අදහසක්නෙ එකතු කරලා තියෙන්නේ......

    ReplyDelete
  14. අද පෝස්ට් එක නම් පට්ට !

    පෝස්ට් එක කියවපු එකෙක්

    ReplyDelete
  15. හ්ම්ම්ම ගොඩක් දේවල මුලට යන්න හිතෙනවා.

    ReplyDelete
  16. කලින් අහල තිබුනේ නැති ගීතයක්.
    //කදුළු ගංතෙර නතර වෙමි මමනම්
    සිනහ තොටුපල සොයායනු මැන ලබැදි මියුලැසියේ..//
    ඒ පද පේළි දෙක හරිම ලස්සනයි...සෑහෙන්න හිතට දැනෙනව.

    මොකද මේ බ්ලොග් ලියන අන්තිම අවුරුද්ද කිව්වෙ????

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. කතාව හින්දා සින්දුව හිතට දැනෙනවා. මහේෂ් රත්සර කියන්නේ සොඳුරු හිතක් තියන මනුස්සයෙක්

    ReplyDelete
  19. මේ ගීය නම් මම අහල තිබුනෙ නෑ. ඒත් ඔබ තැබූ මේ ආදරණිය දැනෙන සටහනත් එක්ක ලක්ෂ්මන්ගේ මේ ගීය ඇතුලත් ඇල්බමය හොයාගෙන අහන්න හිතුණා

    ReplyDelete
  20. ලස්සනට ලියලා තියෙනවා....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්