Thursday, 23 May 2013

ඔයාගෙ.. මගේ...



එකම විදිහට ලස්සනට ජනේලය දිගේ ගලා ගෙන එන වැහි බිංදු මවන රටා දිහා නිදහසේ හුඟක් වෙලා බලාගෙන ඉන්න හිත ආස කරන්නේ මටත් නොදැනිම වගේ.. හවස් අදුරත් වැටිගෙන එන්න ලං වෙද්දි පටන් ගත්තු වැස්සට වෙනදා තරම්ම හිත අදනම් අකමැති නැති ගානයි.. ගෙවිලා යන කාලය ගැන දැනීමක්  නැතුවම මම ජනේලෙන් ඈත බලාගෙන හිටියා.. ඔවු ඒ වැස්ස දිහා.. හිත හුඟාක් සතපවපු ඒ ආදර්ණිය වැස්ස දිහා මම හුඟක් ආදරෙන් බලාගෙන හිටියා.. හැන්දෑවම ලස්සන කරපු ඒ ආදරණිය වැහිබින්දු එකින් එක දිහා බලා ඉද්දි හිත ලග දඟ කරන මතකයක් හැම දෙයක්ම අතරින් මතු වෙද්දි ඒ මතකයටම ආපහු දුවලා ගිහින් නතර වෙන්න තරම් ආසාවක් හිතට එන්නේ ඉබේටම වගේ..

" ඒ කොහෙද මේ දුවන්නේ? මට බෑ වැස්සේ තෙමෙන්න.."

" මෙන්න මෙහෙ එනවා කම්මැලියා.. පොඩ්ඩක්  තෙමුනට මුකුත් වෙන්නේ නෑ.."

" ඔයානම් කියයි.. මම එපැයි ගෙදර යන්න.."

" ගෙදර යන්නේ මොකටද මම ඉද්දි.. කෝ එන්න.."

ලස්සනට වැවුන පිහිඹියා ගස් අතරින් වැස්සේ ඇවිදන් යද්දි හිතට දැනෙන්නේ කියා ගන්න බැරි අමුතුතුම හැඟීමක්.. වෙනදටත් වඩා සිසිළසක්.. වැස්ස කොයිතරම් හයියෙන් වැස්සත් පිහිඹියා අතු අතරින් වැහි බින්දු වැටෙන්නෙ හුඟක් හෙමින් නිසා මහ වැස්සක් වුනත් ගොඩාක් තෙමෙන්නේ නැති ගානයි.. ඒ හන්දම මේ ගස් අතරින් වැටුන දුර ඇවිදන් යන්න වැස්ස වෙලාට හිත ආස කරන්නේ පුදුම විදිහට..

" දැන් ඇති බබා අපි යමු.."

" පොඩ්ඩක් ඉන්නකො හදිස්සි නොවී.. වැස්සේ පොඩ්ඩක් තෙමෙන එකේ අමුතු ගතියක් තියෙනවා.."

" අපොයි ඔවු.. ඔයා වගේ පිස්සන්ට තමයි ඉතින්.."

" හැමදාම වාහන වල යන මැඩම්ලට ඒක තේරෙන්නේ නෑ.. ඒ හන්දා අද මාත් එක්ක ටිකක් වැස්සේ ඇවිදලා බලන්න.."

වැහි හීතලෙන් සීතල වෙලා ගිය ඒ සිනිදු අතින් අල්ලන් බලෙන්ම වගේ පාරට වෙලා ඇවිදන් එද්දී මං විදින්න ආස උන ආදරණියම පහස ඔයාටත් දැනුනා කියලා මම දන්නවා.. අතේ ඇඟිලි හොදට හිර වෙන්න තද කර ගෙන මගේ ලගට තව ටිකක් හොදට ඔයා ලං වුනේ ඒ පහසට හොරෙන් පැනලා යන්න බැරුව කියලා මම හොදටම දන්නවා.. ටිකක් වෙලා කතා නොකරම පිහිඹියා ගස් වැවුන සරසවි මාවත් දිගේ හුඟාක් දුර ඇවිදන් ආවේ අනික් හැමෝම අපි දිහා ඕනකමින් බලනවා කියලවත් ගානක් නැතුව..

" අපි ටිකක් නවතිමු.."

" ආහ්.. දැන් මොකද මේ කලින් බෑ කිවුව එක්කෙනා වැස්සෙම නතර වෙමු කියන්නේ?"

" ආසයි.. ඒත් මට දැන්නම් හුඟක් සීතලයි.."

හ්ම්ම්.. ඇත්ත.. වැස්ස හුඟක් නෑ කියලා දැනුනත් දෙන්නම හුඟක්ම තෙමිලා දන්නෙම නැතුව.. අතේ ඇඟිලි තව තදේට හුඟක් අල්ල ගන්න අතරේ නොදැනිම වගේ හීතලට පොඩ්ඩක් ඇඟ ගැහෙනවත් එක්ක.. ඇස් වලින් ඒ හැඟීම තවත් හොදට තේරෙනවා.. ඒ ලගම තිබුන අපිට හොදට හුරු පුරුදු ලී අට්ටාල හෙවනට එයාවත් එක්කන් දුවලා ගියේ තවත් මගේ ආසාවට එයාව මේ වැස්සේ තෙමන්න හිත ආස නොවුන නිසා..

" ඔයාට හුඟක් සීතලද?"

" හ්ම්ම්.. ටිකක්.."

ටිකක් කිවුවට දන්නෙම නැතුව හුඟක් තෙමිලා.. කොණ්ඩේ දිගේ ගලාගෙන ආව වතුර බින්දුවක් නළලට වැටිලා ඇහි පිල්ළම් අතරින් කම්මුලට වැටිලා ගලාගෙන ගිය දිහා බලාගෙන හිටියේ හුඟක් ආසාවෙන්.. වතුර බින්දුවේ බරට යාන්තම පියවුන ඇහි පිල්ලම ආයෙම ඇරෙද්දි ඔයාගේ කතා කරන ඇස් වල වචනෙන් නොකිවුව හුඟක් දේවල් ලියවිලා තිබුනා.. වෙනදට කියවන්න උත්සාහ කලත් අද මට ඒ දිහා බලාගෙන ඉන්න විතරයි ඕන උනේ.. මම බලාගෙන හිටියා.. හුගක් වෙලා.. වෙනදට ඇස් මගෙන් හංගගන්න ඔයාටත් අද ඒ බව අමතක වෙලා වගේ මං දිහාම හුඟාක් වෙලා බලාගෙන හිටියා..

" බබා.."

ඔයාට කතා කරන්න ඕන උනත් මම ඒක නැවැත්තුවේ ඔයා යන්න ඕන කියලා මගේ හිත බය වුන නිසා.. මම ආසම මොහොත ඉක්මනටම මගෙන් ඈත් වෙනවට හැමදාම වගේ මම ආසා නෑ..  ඒ ගැන ඔයත් හොදටම දන්න නිසා වෙන්න ඇති කියන්න ගිය දේත් නතර කරන් මං දිහාම බලාගෙන හිටියේ.. වෙලාව ගෙවුනේ විදුලි වේගෙටත් වඩා ඉක්මනට..

" මම ගිහින් එන්නද?"

" හ්ම්ම්.. එපා.. තව ටිකක් ඉන්න.."

කොච්චර යන්න ඕන උනත් ඔයාට ඒකට උනන්දුවක් නෑ කියලා මම දන්නවා.. තව ටිකක් වෙලා හරි ඉන්න බව දන්නවා වුනත් ටිකක් ඉන්න කියලා කියන්නේ ඔයා මං ඉන්න කියනවට ආසයි කියලා දන්න නිසා.. වැහි වතුරෙන් යාන්තමට තෙත් උන කම්මුල් දිගේ අත හෙමීට පහලට අරං ආවේ අකමැත්තෙන් උනත් ඔයාට සමුදෙන්න වෙලාව ලං වුන නිසා.. තව ටිකක් ඔයා මට ලං උනේ ඊලගට වෙන දේ ඔයා හොදටම දන්න නිසා.. තවත් පරක්කු නොකරම ඔට දෙතොල් අතරට මං ලංවුනේ දවසේ අන්තිම වතාවට ඒ මිහිර විදගන්න..

" යන්නම ඕනද?"

" හ්ම්ම්.. ටික කාලෙකින් මේ උණුහුමේම ඉන්න පුළුවන්නේ.."

" දැන් තෙමුනට මොකද කියන්නේ?"

"  මොනා හරි කියන්නම්.. ඔයාගෙන් පුරුදු වෙලා දැන්බොරු කියන්නත් දන්නවනේ.."

" ආහ් ඇත්තද?"

යන්න ලෑස්ති වුන ඔයාට ආයෙම ලගට අරන් තව මොහොතක් දෙකක් තුරුළ් කර ගත්තේ ජීවිත කාලෙටම ලබන්න තියෙන දෙයක් උනත් දැනට මගෙන් ඈත් වෙනවට හිතට දැනුන ලෝබ කම නිසා..

හැන්දෑවෙ
වැස්සා.
මං තෙමුනා
ඔයා බලන් හිටියා
වැහි බිංදු දිහා,
කම්මුලට සීතල දැනුනා
මම හැංගුනා
ඔයාගේ පපුවේ.
ගැස්සුනා මං දෙතොල්වල
උණුසුමට
ඔයාගේ .. මගේ...


ඔයාගෙන් සමු අරන් ඇවිත් හුඟක් වෙලා ගියත් තාම වැස්ස එහෙමමයි.. මම දන්නවා තාමත් ඔයා මං වගේම ඒ මතකයේ අතරමං වෙලා ඇති කියලා.. වැටෙන වැහි බිංදු අතරෙම මීට වඩා ආදරයක් දවසක විදින්න ලැබේවි.. බොහොම ඉක්මනට.. ඉතින් එතකන්....
 



කතාව, දෙබස් සහ බ්ලොග් රචනය : දිනේෂ් උමගිලිය

කවි අදහස : මහේෂ් උමගිලිය

24 comments:

  1. හ්ම්ම්... හ්ම්ම්... ලස්සනයි.... සුන්දර අතීතයට හිත දිව යනවා අප්පා මේවා කියෙව්වම.....
    අනික මේ වෙලාවේ අපිටත් වහිනවෝ.....

    ReplyDelete
  2. හුඟ කාලෙකට පස්සෙ කතාවක් බැලුව ඕං :)

    ReplyDelete
  3. වැස්සට තෙමෙන්න හොඳ නෑ. අපි ඕව දන්නෙත් නෑ. :)

    ReplyDelete
  4. තනියම වැස්සේ තෙමෙන එක කොහොමත් ආතල් එකේ, කෙල්ලෙක් එක්ක තෙමුනොත් කොහොමට තියේවිද

    ReplyDelete
  5. ගොඩක් ලස්සනයි

    ReplyDelete
  6. ගොඩක් ලස්සනයි

    ReplyDelete
  7. ඉස්කෝලේ යන කාලේ වැස්සට තෙමුණු කෙල්ලන්ව මතක් වුණා මේ වෙලාවේ.

    ReplyDelete
    Replies
    1. අපි නම් ඔව්වා දන්නෙත් නෑ... :P

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. දිනේෂ් අයියට මොනවා වෙලා ද මන්දා මේ දවස් ටිකේ. දාන්නෙ ම මේ වගේ කතානේ. වැස්සත් එක්ක මොකක් හරි ලෙඩක් ද දන්නේ නැතෝ :P බෙහෙත් ටිකක් ගන්න මදාරා දොස්තර නෝනා ළඟටවත් ගියා නං . . .

    ReplyDelete
  10. අයියගේ කවියත් නරකම නැහැනේ.. එල..

    ReplyDelete
  11. ලඟකදි මුකුත් කියවපු මතකයක් නෑ මේකේ...
    ඉඳල ඉඳල කියවපු එකත් මාව වෙනම ලෝකෙකට අරන් ගියා වගේ...

    ReplyDelete
  12. පොද වැස්සේ තෙමෙන්න වගේම වහින වෙලාවට සද්ද නැතිව අහගෙන ඉන්න එකත් හරි අපූරු වැඩක් :)

    ReplyDelete
    Replies
    1. මාත් වැස්සෙ හඬ රස විඳින්නෙක්. පොඩි කාලෙ නම් උදේ පාන්දර වහින එක තරම් තවත් දෙයක් නෑ. ඉස්කොලෙ යන්නෙ නෑතුව ගෙදර ඉන්න පුලුවන් නෙ. :)

      Delete
  13. දැන් කොත්තමල්ලි ටිකක් බීහන්.. :D

    ReplyDelete
  14. මෙයා හැමදාම වැස්සත් සම්බන්ධ කරගෙන මෙහෙම කතා ලියන්නේ මොකද මන්දා..ඉවසපන් මලයෝ :)

    ReplyDelete
  15. කතාවයි කතාවෙ තියන කවියයි දෙකම ලස්සනයි.

    ReplyDelete
  16. හරිම ආදරණීයයි . අපිත් එතන හිටියා වගේ දැනුනා :)

    ReplyDelete
  17. සෝයි...
    සමහන් එකක් එහෙම බිවුව නම් ;)
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  18. මොනවා ලියන්නද මංදා හැමදේම ලියලා නිසා. කැස්සයි හෙම්බිරස්සාවයි ආදරයයි හංගන්න බෑනේ..

    ReplyDelete
  19. හරිම ආදරණීය විදිහට ලියවුනු කථාවක්...කවියත් ලස්සනයි :)

    ReplyDelete
  20. පට්ට ලස්සනයි මචෝ... වැස්සට ආපහු තෙමෙන්න ආස හිතුනා....

    ReplyDelete
  21. වැස්ස කියන්නෙ කොහොමත් ප්‍රේමණීය මතක ගොඩගහන දෙයක්නෙහ්.. ලස්සනයි!

    ReplyDelete
  22. අයිය මලෝ එකතුවත් හරි අපූරුයි........ වැස්ස මමත් ආසම මාතෘකාවක්

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්