Monday, 22 April 2013

Room Number 13 ( කෙටි කතාව )

කාමරය පුරා රැඳුන පුස් ගඳ ඉවසා සිටිය නොහැක්කක් විය.. දෑස් ආවරණය කර ඇත්දැයි හිතෙන තරමටම හාත්පස රැදි අඳුර හිතේ ගැස්ම තව තවත් වැඩි කරන්නක් විය.. හිස මුදුනින් විත් නළල අතරින් ගලා වැටුනේ දහඩිය බිදක්ද ලේ බිදක්ද යන්න තේරුම් ගන්නට නොහැකි වුවත් හිස පුපුරා යන තරම් දැනුන වේදනාවත් සමගම රැදුන හිසේ කැක්කුම ගෙවුන හෝරා කීපය අතර බොහෝ දේ සිදුවන්නට ඇති බව මගේ සිතට ඒත්තු ගැන්වීය.. හුළං පොදක්වත් හමා නොඑන කළුවර වටපිටාවේ ටිකින් ටික ඉවසා ගත නොහැකි තරමට නාසයට දැනුන දුඟද කුමක්දැයි සිතා ගන්නට නොහැකි මුත් ඉන් තව තවත් වැඩි වුන හිසේ කැක්කුම ඉවසා ගත නොහැකි තරමටම රිදුම් දෙන්නට විය.. හෝරා කීපයකට පෙර මතකය අවදි කරන්නට උත්සාහ කරමුත් මත් වුන දෑස් අතර රැදි සමාජ ශාලාවේ එලි අතරින් එහාට මතකට ගෙන යන්නට නොහැකි විය..

කාලයේ නිනවුවක් නොමැතිව අදුර අතරම රැදි කාලයේ දෑත් බැදි යදම් වලින් ගැලවෙන්නට දැරූ අසාර්ථක උත්සාහය දෑත හිරි වට්ටමින් නවතා දමද්දි, පා ඇඟිළි වත් සෙලවිය නොහැකි තරමටම ගල් ගැසුන දෙපා යුග දෙපා අහිමි වූවක් මෙන් දැනෙන්නට විය.. මම කොහොමද මෙතනට ආවේ? හිතේ නිතරම දෝංකාර දුන් එකම ප්‍රශ්ණය එයම වෙද්දි පිළිතුරක් නොමැතිව හමා ගිය සිතුවිළි බොහෝ තැන් වල නතර වන්නට විය.. හැම දෙයක්ම සියුම් හඬක් වුව ඇසෙන තරමටම නිස්කලංක මොහොතක හිටිහැටියේම ක්‍රියාත්මක වුන රේඩියෝවක හඩ මේ අඳුර අතර හෝ ඉන් පිටත මා තව දුරටත් තනි නොමැති බැව් හැඟවීය..

“ කවුද ඉන්නේ?”

කීප වරක්ම උත්සාහ කර ඉහල හඬින් ඇමතුවද ඊට පිළිතුරක් නොවිනි.. වෙහෙස සමගම දැනුන පිපාසය, හඬත් හිතේ සවියත් බාල කරද්දී යාන්තමින් පිය වෙන්නට ආ දෑස අපහසුවෙන් අවදිව තබා ගත්තේ සිදුවනා දෙයක කුමක් හෝ දෙයක් දැන ගැනීමට තිබූ වුවමනාව හෙයිනි.. නිදිමතට වැඩිය දෑස් වල වේදනාව දෑස් පියන් මොහොතින් මොහොත අඩවන් කරද්දී ලී කොරිඩෝවක් දිගේ නැගුන පා හඬ මා අසලටම විත් කෙමෙන් නතර විය.. හිත ගැහෙන හඬ ඇහෙන තරමටම රැදුන නිහැඩියාව බිදින්නට මා අසලට ආ කවුරුන්ට වුවත් වුවමනාවක් නොතිබුනද මටද යමක් පවසන්නට තරම් හැකියාවක් නොතිබුනි.. ලී කොරිඩෝව අතරින් සිහින් හඬක්  නංවමින් කවුරුන් හෝ එහා මෙහා යන හඬ ඇසෙද්දී තව දුරටත් මා සිටින්නේ අඳුරේ නොවන බව තේරුම් ගන්නට අපහසු නොවිනි..

“ උඹ සිහියෙන් ඉන්නේ කියලා දන්නවා.. ඒ වගේම දැන් උඹ හිතන්නේ මොකද්ද කියලත් මම දන්නවා..”

නිහැඬියාව බිදිමින් ඇසුන හඬ ආගන්තුක එකක් විය.. එය පිරිමි කටහඬක් වුවද මින් පෙර අසා ඇති බවක් මතකයට නොආවේය.. ලී කොරිඩොවේ සිහින් කෙදිරිය ඔහු මා ලගටම ආ බව හැඟවූවත් ඔහු තව මොහොතක් නිහඬ විය.. හෙමින් උස් පහත් වෙන හුස්ම හඬ ඔහුගේ වගේම මගෙත් හොදින්ම ඇසෙද්දි දෑස් වටා බැද තිබු රෙදි පට ලිහා දැමුවත් එකවරෙම ආලෝකයට විවර කර නොහැකි වූ දෑස් මම තව මොහොතක් වසා ගන්නට තැත් කලෙමි..

“ මේ බලපං මං දිහා..”

මුහුණ හරහා එල්ල වුන පහර වේදනාකාරි විය.. බොහෝ වෙලාවක් දෑස් බැදි රෙදි පටෙහි වූ අඳුරට හුරු වුන දෑස අමාරුවෙන් විවර කරමින් මා සිටිනා වටපිටාව බලන්නට උත්සාහ කලෙමි.. කාමරයෙහි කුමක් හො හුරු පුරුදු බවක් දැනුනත් එය හිතා ගන්නට තරම් මානසිකත්වයක් මා තුල නොවූයේ මා පසු පස සිටින්නේ කවුරුන්දැයි දැන ගැනීමට මා සිත උනන්දු වූ නිසාය..

“ හොදට බලපං.. උඹට මතකද මේ තැන.. මම හිතන්නේ නෑ උඹට අමතක වෙලා ඇති කියලා..”

වේදනා දෙන හිස තදින් අල්ලා ගත් ඔහු කාමරයේ වටපිටාව පෙනෙන්නට වේගයෙන් සොලවද්දි හිසට දැනුන වේදනාව ඉවසා ගත නොහැකි විය..

“ උඹ කවුද?”

වේදනාව අතරින් අමාරුවෙන් මම වචන අමුණන්නට වීමි.. ඒත් ඔහුට ඒ බව නොදැනුනාක් මෙන් හුඟාක් වෙලා හිසේ කෙස් අතරින් අල්ලා ගෙන කාමරය වටා ගෙන ගිය ඔහු හිසට තදින් එල්ල කල පහර තිබුන වේදනාව තවත් වැඩි කරන්නට විය..

“ හරියටම මීට අවුරුද්දකට කලින් උඹයි උඹේ යාළුවොයි එකතු වෙලා කරපු දේ උඹට හොදටම මතක ඇති.. හොදට අහපං.. තාමත් ඒ විලාපය මේ බිත්ති අතර දෝංකාර දෙනවා..”

සියල්ලක්ම මොහොතින් දෑස් අද්දර හෙමින් මැවෙන්නට පටන් ගත්තේ ඒ බේබදු රැයේ හැම තත්පරයක්ම මතකයට නංවමිනි.. හිත ආශාවෙන් මත් කල ඒ හිනාව, ඒ මුහුණ මොහොතකින් සියල්ල මතක් කරන්නට සමත් විය.. මේ එදා රැය ගෙවුන කාමරයම බව මතකයට නැගෙන්නට ගෙවුනේ තත්පර කිහිපයක් පමණකි.. අවසානයේ ඈ වැතිර වුන් තැන සළකුණු කල සුදු පැහැ රේඛා තවමත් ලී පොළව මත මැකි නොගොස් තිබුනි..

මා බැද තබා හුන් පුටුව ඉදිරියටම පුටුවක් ඇදගත් ඔහු මා ඉදිරියේම වාඩි වූ‍යේ වෛරී බැල්මක් මා වෙතට හෙලමිනි.. ඔහුගේ අරමුණු හදුනා ගන්නට එතරම්ම අපහසුවක් නොවිනි..

“ උඹ කවුද?


 …........................................

“ ග්ලෙන්, ජෙනිෆර්ගේ මරණය ගැන අළුතින් යමක් හොයා ගන්න පුළුවන් වුනාද?”

“ නැහැ සර්.. තාමත් හැමදේම පටන් ගත්ත තැනම..”

තම කාර්‍යාලයේ ලිපි ලේඛණ අතර සිරව වුන් ඔහු මදක් ඉන් මිදි පිළිතුරු දුන්නද වඩා යමක් කීමට තරම් උනන්දුවක් ඔහු තුල  නොවිනි..

“ මට තේරෙනවා ග්ලෙන්.. ඔබට මේක තාම දරා ගන්න අමාරුයි.. ඔබ උසස් පොලිස් නිළධාරියෙක්.. අපි තව ටිකක් විධිමත්ව මේ ගැන පරීක්ෂණ කරමු..”

“ හොදමයි සර්..”

“ ජෙනිෆර්ගේ සිරුරත් එක්ක අපිට හම්බුන දේවල් වල ඩී.එන්.ඒ රිපෝට්ස් වල හැටියට අපිට එක සැක කාරයෙක් ඉන්නවා ග්ලෙන්.. ඔහුත් ඒ හෝටලේමයි වැඩ කරන්නේ..”

“ මම ඒ ෆයිල් එක ගැන බැලූවා සර්.. මම ඊයේම ගියා ඔහුව මුණ ගැහෙන්න.. ඒත් ඔහු සතියක් වෙලේ ඉදන් නොදන්වාම සේවයට ඇවිත් නැහැ.. ඔහු නිවසෙත් නැහැ..”

“ එහෙනම් මෙතන අපි නොදන්න යමක් සිද්ද වෙනවා ග්ලෙන්..”

“ මටත් එහෙම හිතෙනවා සර්..”

“ හරි එහෙනම් ඒ ගැන ටිකක් අවදානෙන් ඉන්න..”

රාජකාරි ලිපි අතරට අවදානය යොමන්නට උත්සාහ කල ඔහුට ඇගේ මතකන් ඊට බාධා කරන්නට විය.. ගෙවුන වසර පුරාවට ඈ තනි වුන එකම එක මොහොත ඇයව තමන්ගෙන් මෙතරම්ම දුරක් අරගෙන යාවියි ඔහු මොහොතකටවත් නොසිතුවේය.. ඇය එදා තනි නොවුනානම් යැයි ඔහුට සිතුන වාර ගණන අනන්තය.. ඒ සැදෑව තරම් කුරිරු මොහොතක් ජීවිතේකට තවත් ලං වෙන්න පුළුවන්දැයි ගොඩනැගිලි අතරින් ඈත බලාගෙන ඔහු මොහොතක් කල්පනා කලේය..

“ ජෙනිෆර්ට මොකද වුනේ?”

….........................................

“ උඹලට කොහොමද ජෙනිෆර්ව හම්බුනේ?”

මා ඉදිරියේ වූ පුටුවෙහි යලින්  හිදගනිමින් ඔහු කතාවට මුළ පිරුවේ තම සුපුරුදු රෞද්‍ර පෙනුම මුහුණට මවා ගනිමිනි.. මින් පෙර කොහේදී හෝ මා ඔහු දැක ඇති බවක් සිතුනත් ඔහු ගැන කිසිවක් මතකට නංවා ගැනිමට පුළුවන් කමක් මා සතු නොවීය.. ඔහු අත වූ සැත්කම් පිහියත් දෑතට දමා ගෙන වුන් රබර් අත් වැසුම් යුගලත් හිතට ගෙනාවේ යහපත් නොවුන සිතුවිල්ලකි..

“ මොනවද බලං ඉන්නේ කතා කරපං..”

නිහැඬියාව බිදිමින් ඉහල හඬින් කෑ ගසූ ඔහු දෙස එක එල්ලේ බලන්නට පුළුවන් කමක් මට නොවිනි.. ඒ හඬෙහි ඒ කේන්තියෙහි ඈ කෙරෙහි වූ ලොකු බැදීමක් ඇති බව තේරුම් ගන්න තරම් හැකියාවක් තිබුන අතරම එය කුමක්දැයි පමණක් මට නොහැඟිනි.. ඔහුගේ මුහුණේ කේන්තිය ටිකින් ටික වැඩි වත්ම මම අමාරුවෙන් වුව වචන එකින් එක අමුණන්නට වීමි..

“ මේ හැම දෙයක්ම අහම්බෙන් සිද්ද වුන දේවල්.. එවෙලේ මම නයිට් ක්ලබ් එකෙන් එලියට එන ගමන් හිටියේ.. එතකොටයි ඔය කියන කෙනාව මම දැක්කේ.. ලස්සන නිසාත් ඒ වගේ තැනක තනියම හිටිය නිසත්  මම හිතුවේ ගණිකාවක් කියලා.. මමත් හිටියේ අඩ සිහියෙන්.. ඒ නිසාම මට ඇයව එවෙලේ ලබා ගන්න වුවමනා වුනා.. ඇය මාව මඟහරිද්දියි තේරුණේ ඇය මම හිතපු විදිහේ කෙනෙක් නෙමෙයි කියලා.. ඒත් මට ආසාව පාලනය කර ගන්න බැරි වුනා.. මම ඇයට බලපෑම් කලා.. එවෙලේ ඒ වට පිටාව පාළු එකක් වුන නිසා මට ඒ දේ තවත් පහසු වුනා..”

එක එල්ලේ බලන්නට අපොහොසත් වුන ඔහුගේ දෑස් වල රත් පැහැ අතරම සියුම් කඳුළු බිදුවක්  විදුළි එළියෙන් දිදුලන බව යාන්තමින් පෙනුනත් එදෙස බලන්නට මට නොහැකි විය..

“ මාව මඟ හැරලා යන්න උත්සාහ කලාට ඇය මේ පැත්තට ටිකක් ආගන්තුක බව ඒ හැසිරීමෙන්ම පෙනුන එක මට වාසියක් වුනා.. ඒ හන්දම මම ඇයව ලුහු බැන්ඳා.. කලබලේට ඇය පාරේ ආව යතුරු පැදියක හැප්පුනා.. ඇයගේ ජීවිතේට අනතුරක් නොවුනත් ඒකෙන් ඇය සිහි නැති වුනා.. ඒ යතුරුපැදියේ හිටියේ මම තරමක් දන්න කෙනෙක්.. මම ඔහුගේ උදවු එක්කම ඇයව මේ කාමරයට අරන් ආවා..”

හිදගෙන වුන් පුටුව පසුපසට පෙරලෙන තරම් වේගයෙන් නැගිටුන ඔහු මා ලගට විත් අතැති වූ සැත්කම් පිහිය ගෙල ලගට ලං කරද්දි මීලග මොහොතේ සිදුවන දේ ගැන සිතා ගන්නට මම අසමත් නොවිමි.. ඉබේම දෑස් තද කර ගත්තේ ඒ වේදනාවට මුහුණ දීමේ අදහසින් වුවත් හිත තැති ගත් කිසිවක් සිදු නොවී ඔහු මගෙන් ඈත් වීම හිතට සහනයක් ගෙනෙන්නක් විය.. මා පිටු පසට ආ ඔහු, මා ගැට ගසා තිබු පුටුව ඔහුගේ පැත්තට හැරවූයෙන් මා පසු පසින් වූ දෑ දැක ගන්නට මට හැකි විය..

දිගු මේසයක් මත තබා තිබුන තියුණු සැත්කම් උපකරණ සියලම මසිතෙහි වූ හද හැස්ම මොහොතකින් තව වැඩි කරන්නට සමත් විය..  ඔහුගේ දෑස් වල වූ තියුණු බැල්මත් මුවගෙහි වූ සිනහවත් ඉදිරි මොහොත ගැන මනාවට කියා පෑවේය.. හිදගෙන වුන් පුටුවේ පිටුපසට ගැට ගසා තිබූ දෑත යදම් වලින් මොහොතට ලිහෙද්දී සනීපයකට වඩා වැඩි වේදනාවක් දැනෙන්නට වූයේ යදම් වලට සිරවූ තැන් වලින් නොනවත්වා ගලන්නට ගත් රුධිරය නිසාවෙනි.. නැගිටින්නට උත්සාහ කලද වාරු නැති වෙන තරමටම හිරි වැටුන දෙපා එක් පියවරක්වත් තබාගත නොහැකිව වාරු නැති සිරුර බිම ඇද වැටෙද්දී ලී පොළවෙන් නැගුන පුස් ගද නාසයට හොදින්ම දැනෙන්නට විය..

ලී පොළව මතුපිට වේලි ගිය ලේ පැල්ලමේ සුවද දරාගත නොහැකිව මුවගට ආ වමනය ඒ ලී පොළව මතම මුදා හරිද්දි යටි බඩ දෙසට එල්ල වුන පා පහර දැනෙන නොදැනෙන තරමටම මුළු සිරුරම ඒ වන විටත් හිරි වැටී ගොස් අවසානය.. එක් අතක වූ යදම් යුගලේ අනික් කෙලවරින් උස්සා මේසය මතට තල්ලු කල ඔහු මේ ගෙවුන හොරා කීපයට මා කොතරම් නම් දුර්වලයෙක් වී ඇත්දයි ඔහු මා ඇද දැමු අයුරින්ම මට මෙන්ම් ඔහුටත් හැඟුන බව ඔහු තුලින් දකින්නට හැකි විය..

“ මේ දේවල් උබ කලේ තනියම නෙමෙයි.. කියපං, කවුද උඹත් එක්ක හිටිය අනිත් උන් ?”

….....................................

ලිපි ගොණු අතර නිතරම තනි වී හිදි ඔහුට ඒ රැයේ ඔහු හා හිදි ඉතිරි සිවු දෙනා ගැන එකදු හෝ තොරතුරක් හොයා ගන්නට බොහෝසෙයින් වුවමනා විය.. අතර දමා ගිය එකදු සාක්ෂියක්වත් නොමැතිව ඒ කිසිවක් ගැන සොයා ගැනීම අපහසු කාර්‍යක් බව හොදින්ම දැන සිටි ඔහුට හෝටල් සේවකයා සොයා ගැනීම හැරෙන්නට වෙන මඟක් සිතා ගත නොහැකි විය.. ඒත් හදිසියේම ඔහුට සිදු වූයේ කුමක්ද යන්න ඇගේ මරණය තව තවත් ගැටළු රාශියක් අතර සිර කරන්නක් පමණක්ම විය..

“ ග්ලෙන් අපිට තව සැක කාරයෝ කීප දෙනක් ඉන්න ඕන නේද?”

“ ඔවු සර්, ඒත් අපිට හෝටල් සේවකයා ඇරෙන්න වෙන කාගෙවත් ඩී.එන්.ඒ එකක් හොයා ගන්න බෑ..”

“ ඒත් මරණ පරීක්ෂනේ තියෙන්නේ කිප දෙනෙක් එකතු වෙලා කරපු දෙයක් කියලා නේද?”

“ ඔවු සර්.. අපිට ඒ ගැන දැන ගන්නනම් ඉස්සෙල්ලම හෝටල් සේවකයා හොයා ගන්න වෙනවා.. අපිට ඔහු ගැන විස්තර ලැබෙනවත් එක්කම ඔහුත් එකපාරම අතුරුදහන් වෙන එක මේ ප්‍රශ්ණේ තවත් අභිරහසක් කරනවා.. අපිට මේ හැම දේටම කලින් ඔහුව හොයා ගන්න වෙනවා..”

“ ග්ලෙන්, අනිත් හැම කේස් එකකටම වැඩිය මේක ග්ලෙන්ගේ පෞද්ගලික ජීවිතේට හුඟාක් සම්බන්දයි කියලා ඉක්මන් වෙලා තීරණ ගන්න යන්න එපා.. අපි හිතන කෙනා වැරදි කාරයා නොවෙන්නත් පුළුවන්..”

“ තේරුණා සර්..”

කාටත් වඩා අපරාධකාරයා කවුරුන්දැයි සොයා ගැනීමේ වුවමනාව ඔහුට තදින්ම දැනුනේ ඇගේ නිසළ සිරුර දෙස මුලින්ම බලා හිදි මොහොතේය.. මුහුණ පුරා රැදුන තුවාල පැල්ලමුත් සිරුර පුරාවට රැදුන රුධිරයත් අමතක කරන්නට තරම් පුළුවන් කමක් ඔහු තුල නොවීය.. නිතර හිත ලඟ හොල්මන් කරන ඇගේ රුව අමතක කරන්නට පුළුවන් කමක් ඔහු තුල නොවීය..

......................................

“ කියපං උඹ එක්ක වෙන කවුද හිටියේ?”

නිහැඬියාවට මොහොතක්වත් අකමැති වුන වේගයෙන් මේසය මතට තල්ලු කල මා හට එල්ල කල පහර කීපය නොදැනෙන තරමටම ගත රිදුම් අතර වේදනා දෙන්නට විය.. ඔහුගේ ශක්තියෙන්ම මේසය මත දිගා කරන තුරුම හිදි මට ඊළගට කුමක් සිදුවේදැයි යන්න ගැන කිසිදු අවබෝදයක් නොවීය... මේසයේ කෙලවර යකඩින් සාදා තිබුන ගාන්චු අතර නැවත සිරවුන අත් පා මා ඔහුටම නතුවුන බව පමනක් මට හැගවීය..

“ ඉතිං කියපං උඹ එක්ක එවෙලේ වෙන කවුද හිටියේ?”

“ මට වතුර ටිකක්..”

බොහෝ වේලාවක් පුරා රැදුන අපහසුව අතරින් යාන්තමින් වචන ඇමිණුවේ ඔහුගේ උවමනාව හමුවේ කතා කරන්නටවත් සවියක් වුවමනා වූ නිසාවෙනි.. කිසිදු හැගීමකින් තොරව මා දෙසම බලා හිදි ඔහු කාමරයේ පසෙක වූ අඳුර අතරේ මොහොතකට නොපෙනී යන තුරු බලා හිදි මම දිගු හුස්මක්ද සමඟින් දෑස පියා ගත්තාටත් වඩා දැනුන වෙහෙසටම ඉබේටම දෑස මටත් නොදැනිම පියවුනි.. මුහුණට වැටුන වතුර පොදින් දෑස් යලි විවර වෙන තුරුම කොතරම් වේලාවක් අසිහියෙන් සිටියාද යන්න  මටත් වඩා ඔහු දන්නවා විය යුතුය.. ගෙවුන හෝරා දෙක තුනටම මොහොතකටවත් වෙනස් නොවුන ඔහුගේ රෞද්‍ර පෙනුම හිතේ තදින් ලියවුන පලිගැනිමේ ආශාව හොදින්ම කියා පෑවේය..

යාන්තමින් දෙතොල් තෙමෙන්නට පමණ ලැබුන වතුර පොද ගතේ වෙහෙසටවත් පිපාසයටවත් ප්‍රමාණවත් නොවුනත් ඔහුගේ ඊළග ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නට තරම් සෑහෙන බව ඔහු සිතන්නට ඇත.. යාන්තමින්වත් සෙලවෙන්නට නොහැකි තරමට මේසය මත වූ යදම් වල සිර වුන මා ලගට අසල තිබූ පුටුවක්ද ගෙන මා අසලටම විත් හිද ගත්තේ ඉතිරි හැම දෙයක්ම දැන ගැනීමේ අරමුණිනි..

“ මමයි මගේ යාළුවයි ඇයව මෙහෙට ගෙනෙද්දි එයාට සිහිය තිබුනේ නෑ.. මගේ යාළුවට වඩා මම හිටියේ බීමතින්.. මගේ යාළුවට ඕන වුනා ඇයට ආයෙම සිහිය එනකන් තව ටිකක් බොන්න.. මාත් ඒකට කැමති වුනා.. ඇයත් මමත් කාමරේ තනිකරලා ගිය ඔහු ආයෙම ආවේ තව ඔහුගේ යාළුවෝ තුන් දෙනක් එක්ක.. ඒ එක්කම අපි හැමෝටම ඇති වෙන්න බොන්නත් ගෙනත් තිබුනා.. ටික වෙලාවකින් ඇයට සිහිය එද්දි අපි හැමෝම හිටියේ හොද සිහියෙන් නෙමෙයි.. හැමෝටම ඇයව ඕන වුනා.. ඈය ගැන ආශාවක් ඇති වුනා..”

“ ඇති.. නවත්ත ගනින් ඕක..”

කේන්තියෙන් රත් පැහැ වුන දෑස් තුලට එබෙන්නට තරම් ශක්තියක් මා සිත තුල නොවූයෙන් ඔහුගෙන් වෙනතකට දෑස් ගන්නට උත්සාහ කලත් මුහුණ ඔහු දෙසටම හරවාගෙන දිගු මේසය ලගම තිබූ උපකරණ අතරට දෑත ගෙන ගිය ඔහු කෙලවර තදින් උල් වූ අඩුවක් අතට ගත්තේ ගැහෙමින් තිබු මසිත තවත් වේගවත් කරමිනි.. ඔහුගේ අරමුණ කුමක් වුවත් තවත් වේදනාකාරි හැගීමකට මුහුණ දෙන්නට මම ඔහු දෙසම හොදින්  බලා සිටියෙමි..

මුහුණේ රැදුන තේරුම් ගන්නට නොහැකි සිනහව දකින්නට උත්සාහ නොකල මම වාඩිවී වුන් පුටුවෙන් නැගිටුන ඔහු ගමන් කරන දෙස බලා සිටියේ ඔහුගේ හැසිරීම තේරුම් ගන්නටය.. මා ගැට ගසා වුන් මේසය පහලට ආ ඔහු මා දෙස බලා සිනාසුනේ ගොඳුරක් තමන් නතු කර ගත් ලේ පිපාසිතයෙකු විලසිනි..

“ උඹත් එක්ක හිටපු උන්ගේ නම් කියපං..”

“ මම දන්නේ මාත් එක්ක වාහනේ ආව කෙනාගේ නම විතරයි.. අනික් අය මම දැක්කෙත් එවෙලේ..”

මගේ මුවින් පිටවුනේ සත්‍ය වුවද එය පිළිගන්නට පුළුවන් මානසිකත්වයක් ඔහු තුල වූ බවක් පෙනෙන්නට නොවීය.. විලංඟු වලට සිර වුන දෙපා ලග නැවතුන ඔහු පා ඇඟිලි අතර ඔහු අතැති වූ අඬුව ලං කරත්ම හිත පුරා ඇදී ගිය හිරිවැටුම මීළග මොහොතේ සිදුවන්නට යන දේ ගැන ඉඟියක් ගෙනාවේ මා අතින් වුන වරද සිහියට නංවමිනි..

“ උඹලා කරපු දේට උඹලගේ විදිහටම දඬුවම් ලැබෙන්න ඕන..”

…......................................

උදෑසන තම කාර්‍යාල කාමරය මත තවමත් ඇල්වෙමින් තිබුන කෝපි කෝප්පය දෙස බලා වුන් ග්ලෙන් පසෙකින් වූ ජෙනිෆර්ගේ මරණය ගැන වූ වාර්ථාවේ පිටු ඒ මේ අත පෙරළමින් සිටියේ දිනපතාම වුවමනාවෙන් කියවූ එහි තවත් සොයාගන්නට හෝඩුවාවක් නොවූ බැවිනි.. ලෙයින් නැහැවුන ඇගේ ඇගේ මුහුණ දෙස බලා හිදිත්ම නැඟුන කඳුළ ඔහුට හැමදාකම මෙන්ම සඟවාගන්නට නොහැකි විය..

“ ග්ලෙන්, හෝටල් සේවකයව මරලා දාලා කියලා මේ දැන් පණිවිඬයක් ආවා..”

ඔහුගේ මුහුණෙහි රැදුන බලාපොරොත්තු කඩ වුන හැගීම තේරුම් ගන්නට සමත් කිසිවෙකු ඒ මොහොතේ එතැන නොසිටි තරම්ය.. හැමදෙයක්ම විසදාගන්නට අවසානයේ ඉතිරි වුන එකම බලාපොරොත්තුවත් ගිලිහෙද්දි වාර්ථාවක පිටු අතරට පමණක් හැම දෙයක්ම සීමා කරන්නට වීම ඔහුගේ හිතට පිළිගත නොහැක්කක් විය..

හෝටලය අසළ ජීප් රිය නවතින තුරුම නිමාවක් නැති සිතුවිලි ගොන්නක පැටලී වුන් ඔහුට ඇය ගැන වූ මතකය නිරන්තරයෙන් සිහි වෙන්නට වූයේ ඇයට සාධාරණයක් ඉටු කරන්නට නොහැකී වූවායැයි යන සිතුවිල්ල ඔහුට වද දුන් නිසාවෙන්ය..

“ ග්ලෙන්, මට යමක් කියන්න තියෙනවා.. ඔහුගේ මරණය වෙලා තියෙන්නෙත් ජෙනිෆර්ගේ මරණය සිද්දවුන 13 කාමරේමයි..”

සිතුවිළි වලින් මිදි ඔහුව පියවි ලෝකයට ගේන්නට ඒ වචන ටික සමත් විය..හෝටලේ පියගැට පෙල නගින අතර වාරයේ මාස ගණනකට පෙරාතුව ඇගේ නිසළ සිරුර හමුවූ අයුරු ඔහුට සිහියට නැගෙන්නට විය.. අදුරු වී ගිය කාමරය පුරාවට තවමත් ඇගේ සුවද ඉදහිට හමා ආවේ ඔහුගේ සිත ඈය තදින්ම බැදි තිබුන හෙයිනි..

ගලාගිය රුධිරයෙන් තෙත් වුන මේසය මත තවමත් යදමින් බැද තිබුන ඔහුගේ සිරුර  දෙස එක වරෙම බලන්නට පුළුවන් කමක් නොවීය.. අත් පා වල ඇඟිලි වලින් වෙන් කල නියපොතු වලින් තවමත් රුධිරය ගලා එමින් තිබුනේය.. මුහුණ පුරා වූ තුවාළ කැළැල් වලින් අවසාන මොහොත වන තුරුම ඔහු විදි වේදනාව හොදින්ම කියා පෑවේය.. සෑම සිතුවිල්ලක් අතරේම ඔහුගේ සිතට සියුම් සතුටක් ගලා ආවේ ඇතැම් විට නීතියෙන් ඔහුට ලැබෙන්නට පමා වෙන්නට තිබුන දඬුවම කෙසේ හෝ ඔහුට ලැබී තිබුනායයි හැගීමෙනි..

“ ග්ලෙන්, අපි හිතුවට වැඩිය හැම දෙයක්ම සංකීර්ණයි දැන්නම්.. ජෙනිෆර්ගේ මරණය ගැන හොයන්න තිබුන අන්තිම අවස්ථාවත් නැති උනා..”

“ ඔවු සර්.. ඒත් උන් කරපු වරදට උන්ගේ විදිහටම දඬුවම් ලැබුනා.. අනිත් අයටත් එහෙමම වේවි..”

නිසොල්මන් සෑම දෙයක්ම තනිකර කාමරෙන් එළියට ආ ඔහු දිගු හුස්මක් පිට කලේය.. ඒ, කෙසේ හෝ අවසානයේ ඇයට සාධාරාණයක් ඉටු උනි යැයි ඔහුගේ සිතට දැනෙන්නට වූ නිසාවෙන්ය.. 



  
නිමි..

විශේයි : ටිකක් වෙනස් විදිහේ තේමාවකට ලියන්න හිතුනා.. සමහර විට මේක තේරුම් ගන්න අමාරුයි වගේ හැගීමක් කියවලා එන්නත් ඉඩ තියෙනවා.. වර්ණය මෙච්චර කල් ලියවුන රාමුවෙන් ඉස්සරහට එළියට යාවි.. මේ ඒකේ පළවෙනි පියවර නිසා හොද හෝ නරක අවංකම අදහස අදනම් මම හුඟාක් බලාපොරොත්තු වෙනවා.. පෝස්ට් එට අදාමෙන්ට් විරක් පබ්ලිශ් මි..

50 comments:

  1. නියමයි දිනේෂ් අයියේ..දන්නවනේ මම මේවගේ කතා වලට කොච්චර ආසද කියලා. ග්ලෙන් වටේ සිද්ද වෙන දේ තව පොඩ්ඩක් පැහැදිලි කළා නම් හරි වගේ. එක පාරට කතාව මැදින් ග්ලෙන් එක්ක අනික් පුද්ගලයා මතු වුනාම කියවන කෙනා පොඩ්ඩක් පටලගන්නවා. ජෙනිෆර් ගෙයි ග්ලෙන් ගෙයි සම්බන්ධය තව පොඩ්ඩක් පැහැදිලි කරා නම් හරි කියලා හිතෙනවා බං අයියේ.

    මම තේරුම් ගත්ත විදිහට මට හිතෙන්නේ නීතියට පටහැනිව තමයි කතා නායකයට ග්ලෙන් ඇතුළු පිරිස දඬුවම් දෙන්නේ.

    පටන් ගැන්ම හොඳයි දිනේෂ් අයියේ. සිරාවටම ජය

    ReplyDelete
    Replies
    1. ග්ලෙන් කියන්නේ කතාවේ ප්‍රධානම චරිතය නොවෙන හන්දයි ඔහු ගැන තියෙන කොටස් අඩු උනේ.. කතා නායක අතර වෙන සිද්දි වලට ටිකක් විරාමයක් දෙන්නයි ඕන උනේ ඒ කොටස් වලින්.. ජෙනිෆර් ග්ලෙන්ගේ පෙම්වතිය වුනත් ඒක මගේ අතින් අඩුවෙන් ලිය වුන එක අඩු පාඩුවක් කියලා මාත් පිලිගන්නවා..

      කතානායකයට දඬුවම් ලැබුනා.. ඒක හරි.. ඒත් පැතුමෝ ඒ ග්ලෙන් නෙමෙයි.. ඒක කවුද කියන එක පස්සේ එන එරිකෝ හන්ටර් එකකදි මම කියන්නම්.. එක කතාවකින් තව කතාවකට ආරම්භයක් ගන්න එක වරදක් නෙමෙයි නේ..

      තෑන්ක්ස් මලයා අදහස් ටිකට..

      Delete
    2. අඩේ මම එරිකෝ හන්ටර් කියෙව්වේ නෑ.. මුල ඉඳන්ම කියවන්න වෙයිද ආපහු

      Delete
    3. නෑ නෑ පැතුමෝ.. ඒක මඟ ඇරුනා කියලා අවුලක් නෑ..

      Delete
  2. hodai..hodtama hodai..Suba Patum.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා..

      Delete
  3. කතාව නං ලස්සණ යි, ෙකාෙහාම වුණත් ෙෙවරෙයන් ෙෙවරය සංසිෙන්ෙන් නැහැ ෙන්ද? ග්ෙලන්ට තිබුෙණ් තව ටිකක් ඉවසන්න. ෙජනිෆර් ෙවනුෙවන් ෙවන ෙදයක් කරන්න තිබුණා ඒයත් අපරාධකාරෙයක් ෙනාවී.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කතානායකයට දඬුවම දුන්නේ ග්ලෙන් නෙමෙයි.. ඒ කවුද කොහොමද කියන එක පස්සේ හෙළි කරන්නම්.. මේ වගේ දේකදි කෙනෙක් පළිගන්න පෙළබෙන ඉඩ වැඩී නීතිය එහ්හ යනවට වැඩිය..

      Delete
    2. නුවන්23 April 2013 at 21:13

      තමගේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනාම ඕනම කෙනෙක් ඒ වෙනුවෙන් දෙයක් කරන්න පෙළඹෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

      Delete
    3. ඇත්ත මචං.. කවුරු උනත් කරන්නේ ඒ දේ තමයි.. නිතිය ඉදිරියේ ඒක කොච්චර හරි උනත් වැරදි උනත් ඒ දේ කරනවා..

      Delete
  4. ග්ලෙන්, ජෙනිෆර්ගේ පෙම්වතා බවත්, ඔහු විසින් හෝටලේ සේවකයා මරා දමන බවකුත් තේරෙනවා. අවසානය හිතාගත යුත්තේ අපිමයි. එයත් කතාවේ රසය වැඩි කරන්නක්. කුතුහලය ඇතිකරමින් ලියා තියන හැටි අපූරුයි.

    මේ වගේ රහස්පරීක්ෂක කතා වලට දිනේශ් දක්ෂයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කගේ තියුණු ඇහැට අදනම් වැරදිලා ඔන්න.. ග්ලෙන් නෙමෙයි ඒ.. ඒ රහස් පරීක්ෂක කතාව වෙනම කියන්නම්.. මට ඕන උනේ මේක ටිකක් horror ෆිල්ම් එකක කතාවක් වගේ කරන්න ටිකක් විතර..

      මටත් හිතෙනවා අක්කේ.. මගේම ආදර කතාවක් දැන් තියෙන හන්දා මම දැන් ආදරේ ගැන ලියන්න හිතනවා අඩුයි.. මොකද ලියවෙන්නේ මගේ කතාව නිසා හුඟක් වෙලාවට.. මේ පැත්තට මම ආසයි.. බලමු ඉස්සරහට..

      Delete
    2. නුවන්23 April 2013 at 21:14

      ඒ උනත් මචං ඉදලා හිටලා හරි ආදර කතාවකුත් ලියපං. මොකෝ උඹ ඒවා ලියද්දිත් ගතියක් තියෙනවා.

      Delete
    3. හෙහ් හෙහ්.. බලමු බලමු.. කතා අදහසක් නම් නෑ.. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ හැබැයි..

      Delete
  5. කුතුහලය පිරුණු කතාවක්. කතාව ලියද්දි මේ විදිහෙ වෙනසක් කරපු එකත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක් චම්ස්.. කුතුහලය දිගටම තියා ගන්නයි මට උවමනා උනෙත්..

      Delete
  6. සුභ පැතුම් දිනේශ්..අපූරු කතාවක්..
    එක පාරටම නම් මොකද්ද වෙන්නෙ කියලා තේරුම් ගන්න අමාරු වුනත් දෙවනි සැරේ කියවද්දි තේරුම් ගියා..
    වෙනස් විදිහට ලියන්න හිතනවා කියලා තියන නිසා මීට පස්සේ පරිස්සමෙන් කියවන්නම් දිනේශ්..

    පුළුවන් නම් දෙබස් වැඩි කරන්න..එතකොට කතාව තේරුම් යනවා වැඩියි..ඒ වගේම මේ කතාවෙ නම් දෙබස් හා ජේද අතරේ ශෛලිය වෙනස්..දෙබස් සාමාන්‍ය කතා බහ ළගින් ගියත් ජේද ගොඩක් ගැඹුරු වචන පාවිච්චි වෙලා තියනවා..එතකොට කියවන්න ගන්න ඕන ආයාසය වැඩියි..

    අනිත් අතට මේ කතාවේ අන්තර්ගතය හරිම පොහොසත්..කියවන්ට වටින සිදුවීමක් ගැන ලියලා තියෙන්නේ..කියෙව්වට පස්සේ හිස් බවක් දැනෙන්නෑ..රසයක් මතු වෙන්න ලියලා තියනවා..

    මේ ටික ලිව්වේ කතාව ලියපු හැටි ගැන කියන්න කියපු නිසා ..නැත්නම් නම් ලියැවෙන්නේ කතාව ගැන තමා..,ග්ලෙන් කරපු වැඩේ හරිද වෙනස් විදිහට කරන්න තිබුනද වගේ දේවල්..

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක් හරි වෙන නිර්මාණයක් නම් හරි ටිකක් පරිස්සමින් කියෙවුවට කමක් නෑ රූ අක්කේ.. අනික් දේවල් නම් ඉතින් එහෙම නැහැනේ..

      දෙබස් නම් මේ කතාවේ ටිකක් අඩු උනා.. ඒ, කතා නායකයා එක්ක ඉන්න ඔහුට වද දෙන පුද්ගලයා නිහඬ චරිතයක් කරන්න මට වුවමනා උන නිසා.. මගේ අනික් කතා එක්ක බලද්දී මේකේ තියෙන දෙබස් අඩු නිසා ඒ බව දැනෙනවා ඇති.. කතාව වෙනදට වැඩිය වෙනස් විදිහකට ලියන්න වුවමනාව තිබුනා.. ලියන රටාව වෙනස් නිසා ඡේද වල අක්කා කිවුව අඩුව තියෙන්න ඇති..

      මේ කතාව හිතට ආවේ අහම්බෙන්.. මුලින් ලියන්න ඕන වුනේ කතා නායකයගේ කොටස.. පස්සෙයි ඒකට ග්ලෙන්ගේ කතාව එකතු උනේ..

      ගොඩක් ස්තූතියි රූ අක්කේ.. ඔයා මාත් එක්ක මුලින් ඉදන්ම හිටිය කෙනෙක් නිසා මේ වචන ටික මට හුඟාක් වටිනවා..

      Delete
    2. නුවන්23 April 2013 at 21:16

      කතානායකයා එක්ක ඉන්න කෙනා නිහඬව තියන්න උත්සාහ කලා කියන එක සාර්ථකයි කියලා මම හිතනවා. මොකද අපි බලන හුගක් මේ වගේ චිත්‍රපටි වල වෙන්නේ එහෙම දේවල් තමයි. හැබැයි කලාතුරකින් තමා ඒක වෙනස් වෙන්නේ. ගොඩක් වෙලාවට ඒක කරන කෙනාව දකින්නත් නෑ.

      Delete
    3. හ්ම්ම් ඔවු එක ඇත්ත.. ගොඩක්ම ඒ වගේ ෆිල්ම් නම් මම බලලා නෑ.. ඒත් බලපු ඒවයේ වෙන්නේ ගොඩක් වෙලාවට එහෙම තමයි..

      Delete
  7. මේ ශෛලියත් නියමයි.ඒක හුස්මට කියවන යන්න පුළුවන්.කුතුහලය උපරිමයි අන්තිම මොහොමතට එනකල්.
    ඒ ග්ලෙන්මයි නේද...???

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රමුදියෝ ඒ ග්ලෙන් නෙමෙයි.. ඒක ගැන හරියට නොකියා මේ විදිහට තිබ්බේ ඒ ගැන මට එරිකෝගේ කතාවක් ලියන්න පුළුවන් හන්දා..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයාට මුල ටික දෙද්දි මන් අවසානේ ලියලා තිබුනේ නැහැනේ සුදූ.. හොදම ලියන්නෙක් වෙන එක මගේ හීනය.. බලමුකෝ ඒකත් ඉතින්..

      ප.ලි- ඔයාගේ අංක එක වෙනස් වෙන විදිහේ කතාවක් නම් ලියන්න අමාරුයි වෙයි මට ආයෙම.. සමහර විට " අපේ කතාව " ඒ තැනට එන්න බැරිත් නෑ.. බලමුකෝ.. ඒක ලියන්න තව කල් තියෙනවනේ..

      Delete
  9. නියමයි. වර්ණයෙන් බලාපොරොත්තු උන වෙනසක්. හැබැයි කතාව ටිකක් විතර සමහර තැන් වලදි පැටලෙනවා. ඒත් ඒක හොද අවභෝදෙන් කියවද්දි මග ඇරුනා. වර්ණයේ ලිපි වෙනස් වෙනවනම් අපි මීට පස්සේ හොදට ඒවා කියවන්නත් ඕන ඒ කියන්නේ.

    ග්ලෙන් නෙමෙයි මිණිමරුවා කියලා හිතෙනවා. මට එහෙම හිතුනට ලියපු ඔබ කොයි විදිහට හිතුවද දන්නේ නෑනේ. හැබැයි මේක තව කොටස් කීපෙකට ලියන්න පුළුවන් කතාවක්.

    දිගටම ලියන්න සුභ පතනවා. ජය

    ReplyDelete
    Replies
    1. පැටළුම් සහගත තැන් තියෙන්න පුළුවන්.. ඒකයි මමත් ලිපිය අවසානයේ පොඩි විස්තරයක් දැම්මේ..

      ග්ලෙන් නෙමෙයි මිණිමරුවා කියලා හිතන්න තියෙන සාධකත් මොනවද කියලා කිවුවනම් වටිනවා.. ආ‍යේ මේක දැක්කොත් ලියලා යන්න..

      Delete
  10. මෙවුව කියවල රෑට නිදියන්න ගියහම තමා එක එක එවුව පේන්නේ...
    හැබැයි මං හිතුව අන්තිමට ඔහොම වෙයි කියල..
    ;)
    මරු ඈ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. කොච්චර එකක්ද හීනෙන් පේනවා නම්.

      Delete
    2. අනේ ශෝක්.. පණුවට මේව හීනෙන් පේන්නම ඕන.. නැත්නම් මගේ හිතට හරි නෑ වගේ.

      Delete
    3. manju , ඒකනේ කියන්නේ මේ පණුවට හීනෙන් වෙන බලන්න දේවල් නැතුවද මන්දා..

      Delete
  11. අර උඹ කවුද ? කියලා ඊට පස්සෙ දාලා තියන කඩ ඉරිටික ඒකත් එක්කම තියන නිසා කතාව එතනදි ටිකක් පැටලුන, ඒත් දිගටම කියවගෙන යද්දි ඒක මග හැරුනා..

    හොඳ වෙනසක්....

    මේ ජාතියෙ කතාවක් කියවලම තිබුනෙ නෑ.. අමුතුම ප්‍රවේශයක්..

    ReplyDelete
    Replies
    1. අහ් එතන පොඩි වැරදීමක් වෙලා සෙන්නා අයියේ.. ඒ තිත් පෙල පහලින් එන්න ඕන.. වැරදීමකින් එතන වැටිලා තියෙන්නේ.. මාත් එක හරියට දැක්කේ නැහැ.. සමාවෙන්න ඕන..

      ගොඩක් ස්තූතියි අයියේ.. වෙනස් විදිහේ කතා කිපයක්ම ඔළුවේ තියෙනවා.. හෙමීට ලියමු ඉතින්..

      Delete
    2. නුවන්23 April 2013 at 21:18

      මං එද්දි වැරදීමක් නෑ. ඒ හන්දා ඉතින් මුකුත් නොකියමි.

      Delete
    3. ඒක දැක්ක ගමන්ම හැදුවා..

      Delete
  12. ඔන්න දැන් තමයි කියවන්න වෙලාවක් ආවේ. තවත් මොකද්ද අංකයක් තියන කාමරයක් ගැන පැතුම් ලියලා තියනවා දැක්කා. දැන් ඒකත් බලන්න ඕන :)

    කතාව ගැන කියන්න තියෙන්නේ ඉතින් සුපිරියි කියලා තමයි. අර හෝටල් සේවකයාව මැරුවේ ග්ලෙන් නම් ඒ බව පණිවිඩේ ආවම බලාපොරොත්තු කඩ වෙච්ච ගතියක් පෙන්නුවේ රඟපෑමක් හැටියටද?

    ReplyDelete
    Replies
    1. පැතුමා කාමර අංක නමයක් ගැන ලියලා තිබ්බනේ.. මාත් ඒක දැක්ක ගමන් දුවලා ගිහින් බැළුවේ මේක වගේ එකක්ද කියලා..

      වැරදී වැරදී ලොකු.. ග්ලෙන් නෙමෙයි මිණිමරුවා.. මම එහෙම කිවුවට ඉතින් ඒ කවුද කියන එක කියන්න මම මෙතන සාක්ෂි ඉතුරු කරලත් නැහැනේ.. ඒක් පස්සෙම කියන්නම්..

      Delete
  13. සෑහෙන්න කාලෙකින්......... :D මටනම් ඉතින් මෙකෙ වැරැද්දක්, අඩුවක් පෙනුනෙ නෑ... අයියාට මෙ රහස් පරීක්ෂක කතා ලියන්න හොද ටැලන්ට් එකක් තියෙනවා කියලා මටත් හිතුනා, එරිකෝ හන්ටර් කතාව එහෙම කියෙව්වාමත්.

    මේ කතාවත් ලස්සනයි, ටිකක් සංකීර්ණ ගතියක් මුලින් තේරුනාට පස්සෙ ඒක මඟ හැරුනා. (Y)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ඔවුමයි හිතූව දැක්ක කල්.. විභාගේ ඉවර ඇති මං හිතන්නේ..

      ටැලන්ට් එක ගැනනම් කියන්න දන්නේ නෑ හිතූ.. ඒත් අහම්බෙන් වගේ ආස උන මේ විදිහේ කතා වලට මම මාරම ආසයි.. ලියද්දී උනත් හොද නිදහසක් දැනෙනවා.. ඉතින් ආසාවෙන් ලියනවා..

      Delete
  14. නුවන්23 April 2013 at 21:22

    කොහොමද මේකට අදහසක් දෙන්නේ. මචං අපි උඹ ගැන දන්නවනේ. උඹට ලියන්න හිතෙන මානයන් මාරම වෙනස්. කොමන් සිද්දියක් උනත් උඹ වෙනස් කරලා ලියනවා. ඒක අගය කරන්නම ඕන.

    මේ කතාවනම් උඹ වෙනස්ම පැත්තකට ගෙනාව එකක් කියලා හොදින්ම පේනවා. හැබැයි ටිකක් පැටළුම් තියෙන තැන් නැතුවම නෙමෙයි. ඒත් උඹ කවුද කියන්න දන්න හන්දා ඒක ඕන කමින් කලාද කියලත් හිතෙන්නේ නැතුවම නෙමෙයි. තව කතාවකට ආරම්භයක් ගන්නවයි කියන නිසා ඒක එහෙම වෙන්න බැරිත් නෑ.

    කතාව සුපිරියි. ආයේ කියන්න දෙයක් නෑ. කොහොම උනත් හැමදාම වෙනස් දේවල් අපි කෝමත් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං.. ඒක ඕන කමින් කරපු දෙයක් නෙමෙයි.. ඉබේම උන අවුලක්.. ඒක ඉස්සරහට කතා වලදි මග ඇරේවි..

      Delete
  15. අර කිව්වත් වගේ පොඩි පැටළිලි ගතියක් නැතුවා ම නෙවෙයි. ඒත් සමස්තයක් විදියට සාර්ථකයි!!

    ජය වේවා අයියේ!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලයා..

      Delete
  16. වෙනස ගොඩක් සාර්ථකයි! වෙනත් කතා වලින් නොදැක්ක ලිවීමේ හැකියාවක් මේකෙන් පෙන්නලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිමන් අයියේ.. වෙනසකට අත තියන්න හිතුනා.. අපි බලමු..

      Delete
  17. වෙනසට නම් උඩින් ම කැමතියි... ටිකක් විතර පැටලිලි ගතියක් තිබ්බම තමයි අවධානයෙන් කතාව කියවන්නෙ. මේ වෙනස වෙනස් කරන්නෙපා ඔන්න!!!

    ReplyDelete
    Replies
    1. පළවෙනි සැරේ හන්දා මගෙත් අඩුපාඩු ගොඩක් ඇති.. මේ වෙනස මෙහෙමම තියන් යන්න හිතන් ඉන්නවා.. අපි බලමු අයියේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්