Monday, 29 April 2013

ප්ලාස්ටික් තුවක්කුව



උපන්දිනේ දවස එනකන් හිතේ තිබුනේ පුදුමම බලාපොරොත්තු ගොන්නක්.. කලින් දවසේ රෑ නින්දට යනකන් ගෙවුන පැය ගාන දැනුනේ හරියට මහා ලොකු කාලයක් වගේ.. සැරින් සැරේ ඇහැරිලා ඒ මේ අත පෙරලි පෙරලි අඬ නින්දෙන් ගෙවුන රැය පුරාම හිතේ තිබුනේ එකම එක දෙයක් විතරමයි.. ඒ හෙට හම්බුවෙන තෑගි ගැන.. වෙන අයට වගේ ලොකු පාර්ටියක් ගන්න, නෑදෑයෝ වට කරන් ටික වෙලාවකට හරි ඉන්න වාසනාව නැති උනත් අම්මයි අක්කයි අයියයි එක්ක ගෙවෙන දවසේ කියා ගන්න බැරි අපූරු සතුටක් තිබුනා..

ඒත් අවුරුද්දක් මුලම උපන්දිනේ ලබන එකේ අවාසියක් නොතිබුනාම නෙමෙයි කියලා තේරුම් ගන්න ඒ වයස හුඟාක්ම පොඩි නැහැ කියලා දැනුනා.. ප්‍රශ්ණ කියන දේවල් අම්මගෙයි තාත්තගෙයි ජීවිත වහගත්ත මුල්ම කාලේ අපිට ගෙවෙන හැම දවසක්ම එක වගේ.. ජනේරුවයි උපන්දිනෙයි කියලා වෙන වෙනම වියදම් කරන්න පුළුවන් කමක් තාත්තට රට හිටියා උනත් තිබුනේ නෑ.. ඒ දවස් වල හරි හැටි නොදැනුනත් ජීවිතේ හුඟාක් අමාරුකම් තිබුනා.. එහෙම ඉද්දී උපන්දිනයක් කියන්නේ සමරන්න පුළුවන් දෙයක්ද?

ඒ වුනත් හිතේ බලාපොරොත්තු ගොඩ ගැහෙන්න ඔය කිසිම භාදකයකින් වැඩක් නෑ.. විශේෂයෙන් පොඩි කාලෙදි.. අළුත් අවුරුද්දේ අළුත් පාසල් වාරෙට ඕන දේවල් හදලා ඒ අඩුපාඩු හදලා දෙද්දී හුඟක් වෙලාවට තාත්තගෙන් ලැබෙන්න තියෙන තෑග්ග අඩු වෙලාම යනවා.. ඒ සපුරපු අඩුපාඩුම උපන්දින තෑග්ග කියලා හිතා ගත්ත අවුරුද්දක් දෙකක් ඒ පුංචි කාලේ නොතිබුනාම නෙමෙයි.. මං ආසම කෑමක් හදලා දෙන එක ඇරෙන්න හුඟක් වෙලාවට අම්මට මං වෙනුවෙන් දෙයක් අරන් දෙන්න පුළුවං කමක් තිබුනේ නෑ.. ලොකු වෙද්දි මඟ ඇරුනත් පුංචි කාලේ මඟ නොඇරෙන උපන්දින කේක් එක වත් ඒ දවස් වල නොලැබුනත් හිතේ මහ ලොකු දුකක් තිබුනේ නැතත් පුංච් අඩුවක් නොදැනුනාම නෙමෙයි..

මේ හැම දෙයක්ම අත ඇරෙද්දී පුංචිම බලාපොරොත්තුවක් ඉතුරු වුනේ අයියා ලග.. අපේ වයස් වල පරතරය එක්ක මට දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන කාලේ වෙද්දි අයියා ඉස්කෝලෙන් අයින් වෙලත් ඉවරයි.. වැඩි රස්තියාදුවක් නැතුවම එයාට රස්සාවකුත් හම්බුනා.. ඒක ලොකුද පොඩිද කියන්න තියා රස්සාව කරන තැනවත් හරියට කියන්න දැනන් නොහිටිය මට අයියගේ රස්සාව මහ ලොකු එකක්.. උපන්දිනේට තෑග්ගක් අරන් දෙන්න එයාට අමතක වෙන්නේ නෑ.. මට, අක්කට, අම්මට තාත්තට බැරි වුනත් අයියගෙන් තෑග්ගක් නොලැබී යන්නේ නෑ.. ඉතින් හිතේ ඉතුරු වුනේ පුංචිම පුංචි බලාපොරොත්තුවක්..

අවුරුද්දක් ඇවිත් පළවෙනි දවස ගෙවිලා යද්දි පහුවදා ගැන හිතේ ඉතුරු වෙන පුංචිම පුංචි බලාපොරොත්තුවත් එක්ක දවස පටන් ගත්තේ හුඟාක් සතුටින්.. ඒ එකොලොස්වෙනි නැත්නම් දොලොස්වෙනි උපන්දිනේ.. කවදත් උපන්දිනේ දවසටම ඉස්කෝලේ අළුතින් පටන් ගත්තත් එදා සතියේ අවසානයක් උන නිසාද කොහේද එදා ඉස්කොලේ තිබුනේ නෑ.. ඒ හන්දම ඇහැරෙද්දී දවල් වෙලා.. ගෙදර ටෙලිෆෝන් එකක්වත් නොතිබුන ඒ දවස් වල තාත්තා උපන්දිනේට සුභ පතලා එවලා තිබුන කාඩ් එකයි ලියුමයි හම්බුවුනා සතියකටත් කලින්ම.. උපන්දිනේ දවස වෙද්දි තාත්තා එවපු කාඩ් එක ලැබුනා කියලා ලොකු අකුරින් ලියලා දුන්න පුංචි ලියුම් කෑල්ලත් එක්ක අම්මා එයාගේ ලියුම තැපැල් කරලත් ඉවරයි..

උදේ ඇහැරෙන්න පරක්කු වුන හන්දම උදේම තෑග්ගක් ගන්න අයියා ගෙදර හිටියේ නෑ.. අම්මයි අක්කයි එක්කම ගෙවුන උදේ වරුවේ බලාගෙන හිටියේ අයියා කොයි වෙලේද ගෙදර එන්නේ කිය කිය.. එන්න කියලා නෑදෑයෙක්වත් නොහිටිය අපිට අමුතුවෙන් මහා හුඟක් දේවල් හදන්න කවදාවත්ම ඕන උනේ නෑ.. උදේ දවල් සාමාන්‍ය විදිහට ගෙවිලා යද්දි උපන්දිනේ බවවත් වෙලාවකට මතකයේ තියෙන්නේ නැති තරම්..

කවදත් අම්මා උපන්දිනේ දවසට හොදට හදන බත් ටික කාලා කරන්න දෙය නැතුව ඔහේ එලියට වෙලා බලාගෙන ඉද්දි ඈතින් දැක්කේ අයියා එනවා.. එදා වෙනදට වැඩිය වේලස්සන.. එවෙලේ හිතට ආව සතුට කොයි තරම්ද කියලා තාමත් හොදටම මතකයි.. පාර ගාවට දුවන් ගියෙත් ඒ හන්දම වෙන්න ඇති.. හිතේ පුංචිම හරි තෑග්ගක බලාපොරොත්තුවක් තිබුනේ නෑ කියන්නේ නෑ.. හිත යට ඒ ගැන පොඩි ආසාවක් තිබුනා.. දුඹුරු පාට කොලෙන් ඔතපු ටිකක් ලොකු තෑග්ගක් මගේ අතට දීලා අයියා මගේ කරටත් අත දාගෙන පාරට වඩා ටිකක් පහලින් තිබුන ගෙදර පල්ලම බැහැගෙන එද්දි හිතේ තිබුනේ කියා ගන්න බැරි සතුටක්.. ඒ තෑග්ග මොකද්ද කියලා බලන්න ලොකු ආසාවක්..

ගේ ඇතුලට ආව මම එහෙමම සාලේ බිම දිගාවුනේ අයියා දුන්න තෑග්ගත් එක්ක.. හෙමින් සීරුවට කොලේ ගලවලා බලන්න පුරුද්දක් ඒ කාලේ තිබුනේ නැති හින්දමද කොහේද එහෙන් මෙහෙන් හදිස්සියට බිම තියාගෙනම තෑග්ග ඇරලා බැලුවේ.. ඒ මම කවදාවත්ම බලාපොරොත්තු නොවුන විදිහේ තෑග්ගක්.. ඒකේ තිබුනේ ලොකු  සෙල්ලම් තුවක්කුක්.. ඊට කලින් මගේ ලග ඕන තරම් සෙල්ලම් තුවක්කු තිබුනත් මගේ උසින් භාගයක් විතර උසට තිබ්බ මේ තුවක්කුවට අනිත් හැම එකකටම වැඩිය මං දැකපු ගමන්ම ආසා කරන්න ගත්තා.. 


සාලේ තියන් බලපු තුවක්කුව අරන් මම දිවුවේ මගේ කාමරේට.. මගේ කිවුවට එතකොට මම නිදා ගත්තේ අම්මා එක්ක.. මං ආසම තුවක්කුවක් ලැබුනත් සෙල්ලං කරන්න ඉන්නේ මං විතරයි නේද කියලා මතක් වුනේ කාමරේට ගියාම.. තුවක්කුව ගෙනත් දුන්නට අයියා කීයටවත් මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නෑ කියලා මම දන්නවා.. අක්කත් එහෙමයි.. ඒත් බලාපොරොත්තු නැති විදිහට හම්බුන අළුත් තුවක්කුවෙන් සෙල්ලන් නොකර ඉන්න හිත කොහොමවත්ම ඉඩක් දෙන්නේ නෑ..

දහවල පහුවෙලා හෙමීට ඉරත් බැහැගෙන යන්න පටන් අරන් තියෙද්දි කාමරේ ජනේලෙන් යාන්තම් එළිය පෙනෙද්දී හිත තවත් බිත්ති හතරක් අස්සේ හිර කරන් ඉන්නන් පුළුවන් කමක් තිබුනේ නෑ.. ජනෙල් උළුවස්සත්ත් එළිමහනත් අතරේ  හිතින් මැවුන හුඟාක් දේවල් එහා මෙහා යන්න පටන් ගත්තේ හිත ආස කරන වෙනමම ලෝකයක් මවාගෙන.. ඇද ගාවම තිබුන ජනේලෙට ඇද උඩට නැගලා ලංවෙලා තුවක්කුව ජනෙල් පඩිය උඩින් තියා ගත්තේ අයියා ඉන්න වෙලාවට විතරක් ටීවී එකේ බලන ඒවයේ ඉන්න තුවක්කු අතට ගත්ත මිනිස්සු වගේ.. උඩට ඉස්සිලා තිබුන පුංචි ප්ලාස්ටික් කොටු කෑල්ල ලගින් ඇහැ තියා ගෙන හුඟක් වෙලා බලාගෙන ඉන්න ඇති.. ඒ, ඉලක්කයක් එනකන්..

විනාඩි දෙක තුනක් උනත් දැනෙන්නේ මහා ලොකු කාලයක් වගේ වෙලාවට.. අතේ දෙවනි ඇඟිල්ල වෙඩි තියන්න කොටුව ඇතුලේ තියෙන ඇදවුන ප්ලාස්ටික් කෑල්ල ලග තියාගෙන මහා ලොකු කාලයක් වගේ දැනෙන පුංචි විනාඩි කීපයක්ම ගෙවලා දාන්න ඇති.. හදිස්සියේම ඉලක්කය අතරින් පියාඹලා ආවේ කුරුල්ලෙක්.. තවත් බලාගෙන ඉන්නේ නැතුවම අතේ දෙවනි ඇගිල්ල ප්ලාස්ටික් කෑල්ල අතරේ හුඟක් වෙලා තද කරන් හිටියේ තුවක්කුවෙන් පිට වුන හඬට නැවතිල්ලක් නොදීම.. ජනේලය ඉස්සරහින් පියාඹලා ගිය කුරුල්ලෝ සමනල්ලු කී දෙනෙක්නම් මගේ ඉලක්කය වෙන්න ඇතිද?

කාමරේ ජනේලේ ලගට වෙලා ඉවරයක් නැතුව තුවක්කුව සද්ද කරද්දී ඊට ටිකක් ඉස්සරහින් තිබුන ජෑම් ගස් හෙවනට හිත ඇදිලා ගියේ පුදුම විදිහට.. බිම තිබුන වැළි පොළවයි පොල් ගහේ මුල් නිසා තැනින් තැන උස් උන බිමත් එක්ක ටිකක් උසට හැදුන ජෑම් ගහ යට මට එවෙලේ පෙනුනේ මේ ලෝකේ සෙල්ලම් කරන්න තියෙන හොදම තැන විදිහට.. ජනේලේ ලගින් එහාට වෙලා ඇදෙන් බිමට පැනලා කෙලින්ම දුවගෙන ගියේ ජෑම් ගහ යටට.. වැඩිය උස නැති ජෑම් ගහේ කරුවකට මගේ තුවක්කුව තියා ගත්තම මම තරම් කෙනෙක් තවත් නෑ.. ඒ මේ අතට ඉලක්ක අරගෙන නැවතිල්ලක් නැතුව සද්ද උන මගේ තුවක්කුව හිත හුඟක් කාලෙකින් ලබපු ලොකු සතුටක දුරකට අරං ගියා..

එදා කොච්චර වෙලානම් මම ජෑම් ගහ යට ඉන්න ඇත්ද? ඊට පහුවදා ඉදන් දවස් කීයක් නම් ඒ ජෑම් ගහ යට හෙවෙනේ ගෙවෙන්න ඇත්ද? දූවිල්ලක්වත් වදින්නේ නැති වෙන්න පරිස්සම් කරපු ප්ලාස්ටික් තුවක්කුව තාමත් හිතේ තැනක අහම්බෙන් උනත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් අපූරුම මතකයක් ඉතිරි කරලා ගිහින් කියන එක වෙලාවකට හිතා ගන්නත් බැරි තරම්..


විශේෂයි : හදිසියේ මේ කතාව මතක් උනේ පුංචි සිද්දියක් එක්ක.. මේ ලගදි දවසක් අපි මල් කඩද්දි එයාලගේ අල්ලපු ගෙදර පොඩි එකා අළුතින් හම්බුන බයිසිකලේ හෝන් එක එක දිහටම ගගහා එලියේ සෙල්ලම.. ඇත්තටම ඒ හෝන් එකේ සද්දෙ නම් ටිකක් අහන් ඉද්දී එපා වෙන එකක්.. මං කියන දේවත් හරියට ඇහෙන්නේ නෑ කියලා එයාට ටිකක් කේන්ති ගියා උනාට කොල්ලො අපිට පොඩි කාලේ දෙයක් හම්බුනාම ඔහොම තමයි ඉතින්.. අල්ලපු ගෙදර අළුතින් බයිසිකලේ හම්බුන කොල්ලගෙයි පුංචි කාලේ තුවක්කුව හම්බුන මගෙයි වැඩි වෙනසක් නෑ නේද? පොඩි කාලේ විතරක් නෙමෙයි දැනටත් අපි කාටත් අළුතින් දෙයක් ලැබෙද්දි සතුට වැඩියි.. වෙනසකට තියෙන්නේ පොඩි කාලේ වගේ අපි ඒ සතුටට වැඩියෙන් කෑ ගහලා දඟලලා පෙන්නනේ යන්නේ නැති එක..



54 comments:

  1. හපොයි ඔව්, තෑග්ගක් හම්බුනාම තියන සතුට ඉතින් කියල වැඩක් නැහැනෙ. පොඩි එවුන්ව තේරුම් ගන්න හොඳම විදිහ තමයි අතීතයට ගිහින් අපි හිටිය හැටි අතක් කර ගන්න එක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයියේ.. අපිත් ඒ කාලේ එහමයි.. අන්න ඒ දේ අමතක කරන්න නරකයි.. හැබැයි හුඟක් අයට එහෙම වෙනවා..

      Delete
  2. සාමාන්‍යයෙන් පොඩි අයට තුවක්කු තෑගි දෙනවට මං ආසා නැහැ.ඒත් සමහර දේවල් එක්ක බැදිලා තියෙන මතකයන් කොයි තරම් සුන්දර ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වෙන්න පුළුවන්.. ඒත් කොල්ලන්ට ඉතින් තුවක්කුවක් කිවුවම වෙන දෙයක් තියෙනවද?

      Delete
  3. ඇත්ත... පොඩි කාලේ දෙයක් ලැබුනහම දවස් ගානක් යනකම් ඒක අතින් අත අරින්නේ නෑනේ අපි!

    ReplyDelete
    Replies
    1. දානිවා නාඩියෝ.. අත අරින්නේ නෑ වගේම තමයි තව කෙනෙක්ට ඒක අල්ලන්නවත් දෙන්නේ නෑ.. ඒ තරම්ම ආත්මාර්ථකාමියි.. දැනුත් හැබැයි සමහර දේවලට එහෙම නැත්තෙමත් නැහැනේ..

      Delete
  4. පුංචි කාලේ පොඩි පොඩි දේවල්වලින් හුඟක් සතුටු වෙන මිනිස්සු කාලයත් එක්ක මොන තරම් වෙනස් වෙනව ද? ලස්සණ කතාවක්, දිනේෂ් අයියේ. ඒත් මම නං පොඩි ළමයිට සෙල්ලම් තුවක්කු තෑගි දෙන එක අනුමත කරන්නේ නැහැ. ඒක ඉතින් මගේ පෞද්ගලික අදහස. අනික අතීතයට‍ වෙනස් කරන්න බැහැනේ. මට මැවිලා පේනවා දිනේෂ් අයියා කොට කලිසමකුත් ඇඳගෙන තුවක්කුවක් අරගෙන ගස් උඩ බඩගාන ලස්සණ!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නංගී.. වෙනස් වෙන තරමටම ඒ අතීතය අමතක කරලා දාන්න තරම්ම දුර යනවා.. හුඟක් අය..

      හැමෝගෙම අදහස් එක වගේ නෙමෙයි නේ.. තුවක්කු හොද හෝ නැති වෙන්න පුළුවන්.. ඒත් පොඩි කාලේ ඕක ලැබුනම ඕවා මතකයක් නැහැනේ..

      Delete
  5. ඕක තාමත් තියේද ?
    ඇට බෝල එකක්ද වතුර විදින එකක්ද ?

    ReplyDelete
    Replies
    1. යාස් යාස්.. තාම තියෙනවා.. ඔය දෙකෙන් එකක් වත් නෙමෙයි බං.. වෙඩි තියද්දි සද්දේ ඇහෙන එකක්.. පස්සේ කාලෙනම් මම ඉල්ලලාම ගත්තා බෝල විදින එකක්.. ඒ නම් මීට සෑහෙන කාලෙකට පස්සේ..

      Delete
  6. පොඩි අයට තුවක්කු දෙන එක මාත් අනුමත කරන්නේ නෑ.
    ඒක නෙමේ දිනේශ්ගේ උපන් දිනේ කවද්ද? :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කා හරි නරකයි ඒ.. මම ජනවාරි 2 නේ.. :(

      Delete
  7. පොඩි කාලේ තියන ෆැන්ටසි එක්ක තෑග්ගක් කියන්නේ ලොකු දෙයක්..
    දිනේෂ්ගේ සටහනෙන් ගොඩක් මතක ආයෙත් අවදි වුනා..

    ReplyDelete
    Replies
    1. ඔවු රූ අක්කේ.. විශේෂයෙන් ලැබෙන්න හුඟක් තැන් නැති කෙනෙක්ට ඒක සෑහෙන්න වටිනවා.. මේ මට වගේ..

      Delete
  8. මල්ලි මොකද දැන් උබේ බඩුව බ්ලොග් එක ලියන්නේ නැත්තේ ?
    බ්ලොග් එකත් වහලා දාලා.
    අරකිත් එක්ක ඇරගත්තට පස්සේ ලියන්නේ නෑ කියලා කිව්වද ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ මගේ බඩුව නෙමයි මගේ වයිෆ්.. අන්න ඒක හොදට මතක තියා ගන්න.. බඩු ඉන්න අය මේ වගේ කමෙන්ට් දාලා යන එක ගැන පුදුම වෙන්නේ නෑ..

      එයා ලබන මාසේ ඉදන් වර්ණ එකේ ලියනවා.. ඒක කොහොමත් ගොඩක් අයට ආයෙම ප්‍රශ්ණයක් වෙයි.. කැමති නම් කියවන්න නැත්නම් නිකන් ඉන්න.. කිසි අවුලක් නෑ..

      Delete
  9. සිත්තමීත්ටත් ඔය වගේ අතීතයක් තිබුනා..............හැම අවුරැද්දෙම නැතිවුනත් අවුරුදු ගානකින් උපන්දිනේට හම්බවුන තෑගි තියෙන්නෙ අතේ ඇගිලි 5ටත් අඩුවෙන් ඒත් ඒ පුංචි කාලෙ මැකිල යන්නත් එක්ක අප්පච්චි දැන් අමතක නොකරම බලන් ඉන්නෙ මගෙයි මල්ලිගෙයි උපන් දිනේ එනකම්............

    මේ විදියෙම පුංචි කාලයක් ගෙවුන නිසාදෝ කදුළු පිරුණ ඉබේටම........................

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිත්තමී.. ඒ කාලේ එහෙම උනාට පස්සේ නම් කවදාවත් උපන්දිනේට තෑග්ගක් අමතක උනේ නෑ.. ඒත් අර බලන් හිටිය කාලේ ලස්සනයි..

      Delete
  10. මට ඉස්සර ලැබෙන්නෙම ජීප්.. මාර ආසාවක් බං තියෙන්නෙ ලැබුනු මුල් සතිය...

    ReplyDelete
    Replies
    1. ඒක තමා උඹ වාහන වලට මෙච්චරම ආස එහෙනම්.. වැඩිම උනොත් මාසයක් අපි ඕකෙන් සෙල්ලම් කරන්න ඇති බං.. ඒත් මතකය..

      Delete
  11. දෙයක් ලැබෙනකම් බලාගෙන ඉඳලා ඉඳල අන්තිමට ලැබුනාම තියන සන්තෝසේ කියලා වැඩක් නෑ.. හිතන්නේ නැතුව සර්ප්‍රයිස් එකක් විදිහට ලැබුනාම ඊට හපන්

    ReplyDelete
    Replies
    1. ඔවු පැතුමෝ.. දෙයක් ඉල්ලලා ලැබෙනකන් බලන් ඉදලා ලැබෙද්දී තියෙන සතුටට වඩා බලාපොරොත්තු නැති විදිහට ලැබෙද්දි තියෙන සතුට වැඩියි බං..

      Delete
  12. මට ඔහොම විඳින්න මුලින්ම ලැබුණු තෑග්ග ගේම් ප්ලේයර් එකක්..පුදුම පිස්සුවක් තිබුණේ ඒකත් එක්ක.ඒකේ සද්දේ වැඩිම කරගෙන ගේම් ගහනවා පාඩම් කරන අක්කා මරහඬ තියනවා..කොච්චර සුන්දරද ඒ කාලේ..දිනේෂයා උඹ උඹත් එක්කම මගේ අතීතෙත් අවුස්සනවා බොල..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. උඹ කියන එක හරි බං.. අපරාදේ උඹයි මමයි සහෝදරයෝ නොවුනේ.. අපේ අත්දැකීම් එකමයි බං.. මට ගේම්ප්ලේයර් එක හම්බු උනෙත් බලාපොරොත්තු නැති විදිහට.. සද්දේ පුළුවන් තරම් දාගෙන තමයි මාත් සෙල්ලම් කලේ.. තාම එක පරිස්සම් කරලා තියන් ඉන්නවා.. ගේම් පරණ උනාට ඒක තාම හොදට වැඩත් එක්ක..

      Delete
  13. කොච්චර පොඩි දෙයක් උනත් තෑග්ගක් විදිහට ලැබෙද්දි අපි කොච්චර ආසයිද... පොඩි කාලෙ උපන් දිනේට එහෙම ලැබෙන තෑගි කලබලෙන් බලාගෙන බලාගෙන යන්නෙ හරියට වෙන කවුරු හරි ඒව අරගෙන දුවයි කියල වගේ :)

    //ඒත් අවුරුද්දක් මුලම උපන් දිනේ ලබන එකේ අවාසියක් නොතිබුනාම නෙවෙයි කියල........//

    ඒ වගේමයි අප්‍රේල්වල අලුත් අවුරුදු කිට්ටුව උපන් දිනේ ලබන එකත් සෑහෙන අවාසි සහගත තත්වයක් :(

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකනම් ඇත්ත.. කාටව ආයේ ඒවා අල්ලනවවත් බොරු.. නිකමට හරි වෙන කෙනෙක් ලග තිබ්බොත් ඉතින් ආයේ කියන්න ඕන නැහැනේ..

      අහ් ඒ කියන්නේ චම්ස් අප්‍රේල් මාසේ වගේ..

      Delete
  14. පුංචි ත්‍රස්තවාදියෙක් :D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නැතුව හසිත මලයා.. කවුරුත් ඔහොමනේ..

      Delete
  15. විශේෂ හේතුවක් නැතිවත් නිතර තෑගි ලැබුන නිසාද මන්ද, මට මගේ උපන් දිනේවත්, ලැබෙන තෑගි ගැනවත් ලොකු හැගීම් කවදාවත් ඇති වෙලා නැහැ! හැබැයි මට වැදගත් නැති උනත්, තව කෙනෙකුට තෑග්ගක් කියන්නේ කොච්චර වටිනා දෙයක්ද කියල හදවතටම දැනුනේ අනාත මඩමක ළමයින්ට සෙල්ලම් බඩු තෑගි දුන්න දවසෙයි! ඒ හැගීම නම් කිසිදාක අමතක වෙන්නේ නැහැ!!

    ReplyDelete
    Replies
    1. මට වැඩිය වෙනස් අත්දැකීම් ටිකක් නෙළුම්ට තියෙන්නේ එහෙනම්.. ඒක ඇත්ත, අපි ආසාවෙන් හුඟාක් ලගට බදා ගන්න දේවල් ඇහින් දකින්නවත් ලැබෙන්නේ නැති කොටසක් මේ අපි අතරම ඉන්නවා.. අන්න ඒ අයට දෙයක් කරන එක ඇත්තටම ලොකු දෙයක්..

      Delete
  16. මේ කතාව කියනකොට මට මටත් වුනේ මහා වැස්ස දවසක වැස්සෙන් බේරෙන්න කඩේකට ගිය ගමන් තාත්ත මට අරන් දුන්න ලොකු බෝනික්කව.
    මේ මෑතක් වෙනකල් තිබුන.පස්සේ ගෙදරට ආව පොඩි එකෙක්ට දුන්න ඒක.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අනිවාර්‍යෙන් ඒ බෝනික්කා ඕන කියලා මෙයා අඬන්නම ඇති.. ඒ පාර තමා තාත්තා අරන් දෙන්න ඇත්තේ.. හා නැද්ද මං අහන්නේ?

      මං ලග තාමත් මගේ හුඟක් සෙල්ලම් බඩු නොකැඩි තියෙනවා..

      Delete
  17. එහෙම විශේෂ දවසක තෑග්ගක් ලැබෙනවා කියන්නේ පොඩි කාලේ ඉතින් ඊට වඩා දෙයක් නෑ. මට වෙලා තිබුනේ ටික දවසක් ගියාට පස්සේ ඕවා ගලවලා බලන්න හිතෙන එක. :)

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා.. චන්දන මරුනේ.. ටික දවසක් ගියාම ඉතින් ඒකේ ආසාව අඩුවෙන්නේ නැද්ද?

      Delete
  18. අනේ හදිසියෙන් කියෙව්වේ. එහෙම කියවලා මදි වගේ. ආයෙම එන්න ඕන වෙලාවක.

    ReplyDelete
    Replies
    1. මොකො මේ ලොකූ අද හදිස්සියේ.. හරියෝ.. හෙමීට කියවලා එන්න..

      Delete
    2. කියෙව්වා කියෙව්වා...මුල හරිය දුක හිතෙන විදියට ලියලා නේද? ලොකු අයියලා ඉන්නකොට කොච්චර හොඳද..මට නෑ නේ අප්පා

      Delete
    3. ලියපු හැම දෙයක්ම ඇත්ත ලොකූ.. හැබැයි කෝම උනත් ඒ දවස් වල ජීවිතේ ලස්සනයි සරළයි දැනට වඩා නම්..

      Delete
  19. මට මතක විදිහටනම් අපේ ගෙදර උපන් දින ගනන් ගත්තෙම නැති තරම්.. වැඩිම වුනොත් අම්මා කිරිබත් ටිකක් හදයි, එච්චරයි.. තෑගී දීමේ පුරුද්දක්නම් තිබුනෙම නෑ, ඒක හින්දා තෑගි බලා පොරොත්තු වුනෙත් නෑ.. ඇත්තම කිව්වොත් ඒ කාලෙ ඕවා කරන්න වත්කමක් අපේ දෙමාපියන්ට තිබුන්නෑ..

    පොඩි සිද්දියක් ලස්සන කතාවක් කරලා, ඕකට කියන්නෙ හැකියාව කියලා..

    ReplyDelete
    Replies
    1. අපෙත් කිරිබතනම් කවදාවත් වරදින්නේ නෑ.. කොච්චර අඩුපාඩු කම් තිබුනත් අම්මා ඒක හදනවා.. අපි හැමෝටම තෑගි ලැබුනේ තාත්තා ඉතාලි ඇවිනුත් ටික කාලයක් ගියාට පස්සේ.. ආව ගමන් විසදන්න තව හුඟක් ප්‍රශ්ණ අපේ ඔළුවට වැටුනනේ..

      Delete
    2. අපේ ගෙදරත් උපන්දිනයක් වෙනුවෙන් උත්සවයක් තියලම නැහැ. එහෙම උවමනාවක් කාටවත් දනිලත් නැහැ. කිරි බතනම් ඉතින කොහොමත් මාසෙකට දෙපාරක් විතර හදන එකනේ :p

      උපන් දිනේ කාල බිල වනසන ව වෙනුවට පිනක් දහමක් කර ගත්තනම්....

      Delete
    3. වටිනාම දේ අන්න ඒක තමයි..

      Delete
  20. ළමයින්ද තුවක්කුවක් සෙල්ලම් බඩුවක් හැටියට මම අනුමත කරන්නේ නැහැ. එක සෙල්ලම් බඩුවක් හැටියට දෙන සතුටට වඩා ළමා මනසට වැරදි ආකල්ප ගෙන එන්න පුළුවන්. අහකට එහෙම වැදුනොත් :p

    පොඩි කාලේ නම් ඉතින් තෑග්ගක් කිව්වහම ... :D

    ReplyDelete
    Replies
    1. එකගයි.. දැන් දැනුනා උනාට පොඩි කාලේ ලැබැද්දේ අපි ඕවා ගැන හිතන්නේ නෑනේ..

      Delete
  21. අනේ සොරි මල්ලියෝ...කොල්ලෝ කීදෙනෙක්ගේ කියලා මතක තියාගන්ටද අප්පා....:D:D:D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ පොඩ්ඩි අක්කේ.. ඒ තරමට ඉන්නවද ඈ.. ;)

      Delete
  22. ඕං අද තමා හොයාගෙන ආවේ... මදෑ කොලා.. තෑගි ගේන්න අමතක උනා...

    ReplyDelete
    Replies
    1. තෑගි නම් නැතත් කමක් නෑ.. ආව එකම කොච්චර දෙයක්ද?

      Delete
  23. මටනම් මගේ පුංචි කාලේ ඇස් ඉස්සරහට ආවා වගේ මේක කියවගෙන යද්දී... ඒ කාලෙනම් මන් තෑගී වලට වඩා ආස උනේ අම්මයි තාත්තයි එක්ක ඉන්න මොකද අම්මයි තාත්තයි කරපු රස්සාවල් එක්ක එයාලට මාත් එක්ක ගත කරන්න වෙලාවක් තිබුනේ නෑ ඉතින් මගේ උපන් දිනේ දවසට අම්මයි තාත්තයි එක්ක පන්සල් යන්න තමයි මන් ආසාවෙන් හිටියේ... ඒ මතක නිසාමද කොහෙද මන් තාමත් ආස අපි ඉස්සර හිටපු පළාතේ ගමේ පන්සලට විතරයි ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉදලා හිටලා හරි තෑගිත් ලැබුනා.. යාන්තම් හරි උපන්දිනත් සැමරුවා.. ඒත් මට තාම අම්මයි තාත්තයි එක්ක එකට ඉදලා උපන්දිනයක් සමරන්න බැරි උනා.. ඒ අඩුව නම් කවදා පිරෙයිද මංදා..

      Delete
  24. මට තියෙන අසනීපෙ මම තාම ඕය සමහර සෙල්ලම්බඩු වලට කැමති එකනේ දිනේෂ්. මම තාම ඔය සෙල්ලම් කාර් වලට මාර ආසයි. උඹ කියන්නේ මගේ පොඩි උන් ඉපදෙනකොටත් මගේ තිබ්බ සෙල්ලම් වාහන උන් දෙන්න සෙල්ලම් කරලා කැඩුවනේ. :D

    ReplyDelete
    Replies
    1. මාත් සෙල්ලම් බඩු පරිස්සම් කලා මාරම විදිහට.. තාත්තා ඉස්සෙලම රට ඉදන් ගෙනත් දුන්න දොරවල් එහෙම අරින්න පුළුවන් රතු පාට ෆෙරාරි කාර් එක මං ගාව තාමත් පරිස්සමට තියෙනවා..

      Delete
  25. මටත් පුංචි කාලේ එහෙමට කියලා තෑගි හම්බවෙලා නම් නෑ, ඒත් හම්බ උන එක බෝනික්කෙක් ආසාවෙන් තියාගෙන හිටියා, ඒ බෝනික්ක ඇදල හිටියෙ කුර්තා එකක් එක්ක කලිසමක්, පුංචිගෙ පොඩි කෙල්ල ආපු වෙලාවෙ දුන්න සෙල්ලම් කරන්න අනේ ඒ කෙල්ල මගේ බෝනික්කගෙ කලිසම ගලවගෙන ගිහින්... මක් කරන්නද ඉතින් අවුරුදු 21ක් විතර පරිස්සම් කරපු එකත් ඉවරයි..
    සොරි මලේ එන්න පරක්කු උනා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්