Monday, 11 March 2013

පූජා [නොමියෙන ප්‍රේමයක මතක සැමරුම්]

කහපාට රෝස මල් දිගේ හිත තාමත් හැමතිස්සෙම වගේ හුඟක් දුරට ඇදිලා යන්නේ ඒ ආදරණියම මතක නිසා වෙන්න ඇති.. ජීවිතේ හුඟක් විදපු ඒ පුංචිම පුංචි කාල‍යක මතක ඉක්මනටම අමතක වෙන්නේ නෑ කියලා මම දැනන් හිටියේ ඒ මතකය හිත අස්සෙම ගුලි කර ගත්ත දවසේ.. කවදාවත්ම ඒ මතකය හිතින් ඈත් කරන්න මට උවමනාවක් තිබුනේ නෑ.. අදටත් එහෙමමයි..



මතකයන්ගෙන් ඈත් වෙලා හුඟක් දුර දුවලා ගිහින් හැංගෙන්න හිතට වුවමනා වුනේ නැතුවමත් නෙමෙයි.. ඒත්, ඒ මතකයෙන් හිතින් ඈත් කරන්න මේ ජීවිතේට කොහෙත්ම බෑ.. ආදරයට ආදරය කියලා දුන්න ඒ මතකය ඇස් පියා ගන්න හුගක් වෙලාවට හීනෙන් වගේ ඇවිත් ජීවිතේට ලං වෙලා යන්නේ ඔයා තාමත් මං දිහා බලන් ඉන්න නිසා වෙන්න ඇති.. මම දන්නවා පූජා, ඔයා මං දිහා බලන් ඉන්නවා..



ඔයාගෙන් වෙන් වෙලා යන්න වෙනවා කියලා මතක් වෙද්දී මේ හිත අනික් හැමදේටමත් වැඩිය පෑරෙනවා අසංග.. ඔයාගේ ආදරේ ලග හැමදාම නතර වෙන්න මට වාසනාව නැතුව ඇති.. වෙලාවකට ඒ ගැන මට හරි ලෝබයි අසංග.. අනේ මට හැමදාම ඔයා ලග ඉන්න තිබුනනම්..”



මතක හැම එකක්ම ඔයා ලස්සනට අකුරු කරලා මගේ ලග ඉතිරි කරලා ගියපු දිනපොතේ තාමත් පිටු ඉදලා හිටලා දිග ඇරෙනවා.. කාටවත් නොපෙනුනාට කාටවත් නොදැනුනාට හිත තාමත් ඒ අකුරු අතරේ ඔයාව දකින්න උත්සාහ කරන්නේ ඒ මතකයට හිත තාමත් ආදරේ නිසා වෙන්න ඇති.. ඒත් සමහර වෙලාවට ඇයි මම එහෙම කරන්නේ කියන දේ තේරුම් ගන්න මේ හිතටම පුළුවන් කමක් නෑ..



තාමත් මතකයි ඉස්සර අපි නිතරම ඇවිදගෙන යන්න පුරුදු වුන ඒ පුංචි උද්‍යානය.. හරිම නිස්කලංකව නිදහසේ ආදරේ කරපු ඒ පැයේ දෙකේ ආදරේ කියන්නේ මොනතරම් සුන්දර දෙයක්ද කියලා අපි තේරුම් ගත්තේ ඒ හැම තත්පරේකටම හිත ඇතුලින් හුඟක් ආදරේ කරපු නිසා වෙන්න ඇති..



ඔය තරම් ජීවිතේ හීන ගොඩ ගහන්න එපා අසංග..”



දවසක මේ හැමදෙයක්ම මට හීනයක් වේවි පූජා.. ඒත් එදාට මේ මතක නිසා ඔයා ඒ හීනය ලස්සන කරාවි.. ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන විදිහට..”



ඔයාට ලංවෙලා ආදරේ කරද්දි හුගක් වෙලාවට මගෙන් කියවුනේ ඔය ටික.. හැමදාම ඔයා මගේ දිහා බලන් ඉදලා ඇහුවේ ඒ ඇයි කියලා.. එදා මට ඔයාට හරියට උත්තරයක් දෙන්න පුළුවන් වුනේ නෑ පූජා.. ඒත් හිත යටින් ඔයත් මමත් දැනන් හිටියා දවසක මේ හැම දෙයක්ම හීනයක් වෙලා විතරක් ඉතුරු වෙනවා කියලා.. එදා මටත් වැඩිය හිතින් ඔයා දුක් වුනා.. ඒ මම තනි වෙන හන්දා..



ඔයා හැමදාම ආස කලේ මාත් එක්ක තනි වෙලා ඉන්න.. ඔයා කැමති වුනේ නිදහසේ මාත් එක්ක කතා කරන්න.. ඇත්ත, ජීවිතේ ඔයාට ලොකු සරදමක් කලා.. ඔයාගෙන් හුගක් දේවල් උදුර ගත්තා.. කවදාවත්ම ඔයාගෙන් ආදරෙයි කියලා අහන්න තරම් වාසනාවක් මට ලැබුනේ නෑ... මම කවදාවත් ඒ ගැන දුක් වුනෙත් නෑ.. තාමත් මතකයි අපි දෙන්න ඉස්සෙල්ලම කැළණි ගිය දවස.. එදා ඔයා හුඟාක් ලස්සනට හිටියා.. ඒත් ඒ ලස්සනට වඩා මිනිස්සු බැළුවේ ඔයාගේ එකම එක අඩුව දිහා.. කතා කරන්න බැරි කෙනෙක් දකින එක අනිත් මිනිස්සුන්ට මේ තරම්ම අරුමයක් කියලා මම තේරුම් ගත්තේ එදා.. එදා ඇත්තටම මට හුඟාක් දුක හිතුනා.. ඒක ඔයාටත් දැනුනා.. එදා ඔයා දුක් වුනේ ඔයා වෙනුවෙන් නෙමෙයි කියන්න ඔයාගේ ඇස් වලින් හොදටම පෙනුනා.. එදායින් පස්සේ ඔයා හැමදාම ආස කලේ මාත් එක්ක තනියම ඉන්න..



හුගාක් ලස්සන දේවල් ජීවිතෙන් හරි ඉක්මනට ඈත් වෙන්නේ ඇයි කියන්න අදටත් මම දන්නේ නෑ.. ගෙවුන කාලෙදි හුගක් දේවල් මේ ජීවිතෙන් ඈත් වුනා.. මං දන්නවා, මං ඔයාගේ ජීවිතේට එන්න කලින් ඔයා හැමදේටම හිනා වෙලා මූණ දෙන්න ලෑස්ති වෙලා හිටියේ කියලා.. අන්තිම මොහොතෙත් මගේ තුරුලේ ඔයා හිනා වුනා පුරුදු විදිහටම.. ඒ පොරොන්දුව නිසා කියලා මම දන්නවා.. ඒත් ඒ හිනාව යට මං වෙනුවෙන් ලොකු දුකක් ඉතුරු වෙලා තිබුනා කියලා මම හොදටම දන්නවා..



ජීවිතේ අවුරුදු 6ක්ම ඒ මතක එක්ක තනි වුනේ ඔයා මගේ ලගම ඉන්න බව හොදටම දැනුන නිසා.. අකුරු අතරේ තනි වෙලා ඔයා එක්ක හුඟාක් කතා කලා.. හිනා වුනා.. මාස හතරක ආදරේ අවුරුදු 6ක්ම හිත පුරාම වින්දා.. ජීවිතේ හුගාක් දේවල් වෙනස් වුනත් තාමත් ඔයා ආසම කරපු කහ රෝස මල් දිගේ හිත ඒ අතීතට දුවනවා.. ඒක නවත්තන්න හරි අමාරුයි.. මේ නොමියෙන මතකය හිත අස්සේ තැනක හිරවෙලා හැමදාමත් තියේවි.. පූජා, ඔයා දැන් හොද තැනක ඇති.. මගේ හිත එහෙම කියනවා..





තඹරු පිපි පරව යන
අතර මැද විරාමයක
නෙලාගෙන දෑතින් ඒ මල
සුවද විදිමි මම හනිකට..

පිපි මල් මිලාන වී යති
කදුළු සලා නටුවට රහසින්
මතකයේ රැදී තියේවි
සුවද විහිදූ මොහොත පමණක්..

කිසිවෙකුත් නොදනී පිපුන බවක්
පුංචි කැකුළු මල් වලට පහලින්
පෙති සැලි පරව යයි කැකුළු
ඉතිරි නොකරම මතකයක්..

මමත් හිදිමි මග බලාගෙන
මගේ සැදෑව උදාවන තුරුම
අවාසනාවට කැකුළක් වී මට
පරව යා යුතුව ඇත..

නොදනිමි සැදෑව තව කොතරම් දිඟුද
නමුදු දනිමි කාලය ලං වෙනා බව
දොස් නගා කිම මම මගේ ජීවිතයටම
සතුටු සිතින් එය පිළිගනු මිස..

..............
/ පූජා නයෝමි සෙනවිරත්න /










26 comments:

  1. හ්ම්ම්ම් ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  2. //
    තඹරු පිපි පරව යන
    අතර මැද විරාමයක
    නෙලාගෙන දෑතින් ඒ මල
    සුවද විදිමි මම හනිකට..

    කතාවටත් වඩා හිතට දැනුනේ කවිය... ලස්සනයි මලේ!

    ReplyDelete
  3. අනේ මේ ඇත්තම කතාවක්ද? හරිම දුක හිතෙනවා... ඒත් ඉතින් හැම දේම අනිත්‍යයිනේ...

    ReplyDelete
  4. ඇත්ත සිදු වීමක් ඇසුරෙන්ද? ගොඩක් දුක් බර තත්වයක්. මොනවා කරන්නද ජීවිතේ හැටි!

    ReplyDelete
  5. දුක හිතුනා...හොද කතාවක් මල්ලො...

    ReplyDelete
  6. ආදරය කරනා
    අයට නොව
    ආදරය නොහඳුනනා
    අයට නම් අරුමෙකි
    ආදරේ ඇයි
    මෙතරම් දුකක්
    උනේ අපි හැමට

    ReplyDelete
  7. ඇත්ත කතාවක් නේද අයියා...‍හරි දුක්බර දෙයක්....

    ReplyDelete
  8. කවියක් නිර්මාණය කරන්ට පුලුවන් උනානම් කියලා හිතෙන්නේ මේ වෙලාවට.:(

    ReplyDelete
  9. හ්ම්ම්... දුක හිතෙන කතාවක්... ඒත් මොනා කරන්නද ජිවිතේ හැටි තමා......

    ReplyDelete
  10. කියන්න කිසිම දෙයක් ඉතිරිවෙලා නැ මේ කතාව කියවනකොට මටත් මගේ කතාව මතක් වුනා එ තරම් සමිප බවක් දැනුනා හිතට හුඟක් මම තනියම කතා කලා..ඇත්තටම අපුරුයි

    ‘ඇස් අඟිස්සට
    සීතලම සිතල
    කඳුලක් ඇවිත්
    හරි අපුරුවට
    දෙනෙත් කෙවෙනි
    බොඳකරලා මටත්
    දුරකට
    නොකියම යන්න ගිහින්‘

    හරිම අපුරුයි අයියේ එතරම්ම ලස්සනයි

    ReplyDelete
  11. ඇත්තටම දුකයි. ලැබීම් නොලැබීම් ජීවිතේට උරුමයිනෙ...ජීවිතේ ඒ යථාර්තයට මූණදෙන්න අපට සිද්ධ වෙනව....

    ReplyDelete
  12. ප්‍රේමයේ දුක්ඛ පාර්ශවීය සත්‍ය නොතිබෙන්නට ප්‍රේමයට වටිනාමක් නැතිවෙනවා..ආර්ථිකමය සම්පතක වුනත් වටිනාකම ඉහල යන්නේ එහි දුර්ලභ බව සහ නශ්‍යවීමේ ශීඝ්‍රතාව අනුවයි..එහෙයින් ආදරය වනාහි “විඳින විටත් වඩා විඳිනට වරම් නැතිකල වටිනා සංකල්පයක්“ අපිට නිර්වචන නැතිවුණත් ප්‍රේමයේ දුක්ඛ පාර්ශවීය කාරණා ප්‍රේමයේ සංතුෂ්ටි පාර්ශවීය කාරණාවලට වඩා වටිනා බවට පත්වෙලා..ලෝකේ අමරණීය වූයේ පරාජයට පත්වූ ප්‍රේමයන් මිස බොහෝ විට ජයගත් ප්‍රේමයන් නොවේ..

    සංවේදී නිර්මාණයක්...අගය කරනවා මිත්‍රයා

    ReplyDelete
  13. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... :( මොන කියන්නද මංදා... කවි ටික හරිම ලස්සනයි. දුකයි..

    ReplyDelete
  14. මට හිතෙන්නෙම මේක සිරා කතාවක් කියලමයි

    ReplyDelete
  15. හරිම දුකයි දිනේෂ් මේක දකිනකොට.... පූජා දැන් හොඳ තැනක ඇති...

    ReplyDelete
  16. කවදාවත් මේ මාතෘකාවේ කතාවලට මුකුත් කියන එක ලේසි උනේම නෑ මට :(

    ReplyDelete
  17. ඒක අතීතය...අමාරුවෙන් උනත් අත අරින්න වෙන අතීතය..දැන් වර්ථමානයේ සුන්දර බව දැනෙන්න හිත හදා ගත්තා නම්...මොකටද මේ මිය ගිය අතීතයක් ගැන සිහි කිරීම්...කතාව ලස්සනයි...සංවේදීයි..

    ReplyDelete
  18. සෝයි කවි පොඩ්ඩ..

    ජය ‍වේවා !

    ReplyDelete
  19. කථාව ගොතපු එකක් හෝ සත්‍ය එකක් හෝ වේවා මෙතරම් ගළපන්න බෑ හැමෝටම.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  20. දුක හිතෙන කතාවක්... ඇත්ත කතාවක්ද? හිතට දැණුනා. කවදහරි මටත් මෙහෙම කියන්න වෙයි සමහරවිට.

    ReplyDelete
  21. දුකයි.....කියන්න ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
  22. ෴සාරණ්‍යයා෴11 March 2013 at 21:58

    මට මගේ නොවන... මගේම ආදරයක් තිබුණා
    අතීතයට වර්තමාණය හරහා ගෙන ගිය කතාවක්...... :)

    ReplyDelete
  23. ලස්සන කවිය...කථාව නම් හරිම දුකයි දිනේශ්..

    ReplyDelete
  24. නියමයි නියමයි !
    එල බොස් ! එල !

    ReplyDelete
  25. මියගිය ආදරයක් වෙනුවෙන් හැමදාම අඬන්නැතුව ජීවිතේ ගලායන්න ඉඩ දුන්නු එක ගැන නම් ගොඩක් සතුටුයි මල්ලි..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්