Wednesday, 6 February 2013

රෑ මනමාලි ( කෙටි කතාව )

කාමරය පුරාම රැදුන විලවුන් සුවඳ ගෙනාවේ හිතට මිහිරක්ද එහෙමත් නැත්නම් හැමදාම දුඟද හමන ජීවිතේ බොරු ආටෝපයක් විතරක්ද කියන්න හරි හැටි තේරුමක් නෑ.. ඒත් මට තේරුම් ගන්න අමාරු ඒ සුවඳට ආදරේ කරන, ඒ සුවද පස්සේ හැමදාම එන මිනිස්සු දුඟදට මුවා වෙලා විඳගන්න මිහිර ලඟ හුගාක් සතුටු වෙන්නේ කොහොමද කියන එක.. පැයකට නැත්නම් පැය භාගෙකට ගතට දැනෙන දාඩිය බිදු ලඟ අවසානයෙත් ඒ සුවඳම තියෙනවනම් කොච්චර හොඳද? මට නැතත් ඔවුන්ට නම් ඒ නොදැනෙන බව දාඩිය බිදු වලට මුවා වෙලා සතුට අතරින් දෙන හාදු වලින්ම දැන් දැන් තේරුම් ගන්න පුළුවන්...



හැමදේම ලෑස්තියි.. කණ්නාඩි මේසේ උඩ තිබුන ඔරලෝසුව අරන් අතේ බඳින්න ගද්දී වෙලාව හවස පහට කිට්ටුයි.. පහමාර වෙද්දී ගෝල්ෆේස් එකට යන ඕන ඔහුව එක් පාරක් හරි මුණ ගැහෙන්න... සමහර බැදීම් වලට නමක් දෙන්න අමාරුයි වගේම සමහර බැඳීම් ඇයි අපි දිගටම රදවගෙන ඉන්නේ කියන එකත් තේරුම් ගන්න හුඟක් අමාරුයි.. අපි කොච්චර නෑ කිව්වත් හිත යටින් ඒ බැදීම් වලට අපි ආස ඇති... ඒ හින්දයි ඒ බැදීම් ලඟ ලැබෙන පුංචිම කාලය හරි අපි සතුටින් ඉන්න උත්සාහ කරන්නේ...



උඹ අද ඉක්මනට යන්නද හදන්නේ ?”



ඔව්.. තව පොඩි ගමනක් තියෙනවා..”



අහ්, අරූවවත් හම්බුවෙන්නද ?”



හ්ම්ම්..”



ඒ උඹ අනිත් උන්ට නොදෙන මොනවද බං ඌට විතරක් දුන්නේ උඹ පස්සේන් ඔච්චරම එන්න ?”



කටවහන් ඉදපන් රොසෑන්.. මං කැමති නෑ උඹලා එයා ගැන කතා කරනවටවත්..”



බෑග් එක අතට අරන් කේන්තියෙන් එළියට බැහැලා ආවට මගේ හිතත් හැමදාම වගේ මගෙන් ඔය ප්‍රශ්ණයම අහනවා.. ඇත්තටම ඇයි එයා මගේ පස්සෙන් මෙහෙමම එන්නේ ? මාස කීපයකට කලින් අහම්බෙන් වගේ වුන හමුවීමෙන් පස්සේ අඩුම ගානේ දවස් දෙක තුනකට සැරයක් වත් හමුවෙන්න හිතෙන තැනට මේ සම්බණ්දය හුඟක් දුර ඇවිත්.. ඒත් ඒක තවත් එක ලිංගික එක් වීමක් නෙමෙයි.. මෙච්චර කාලෙකට කතා බහ කරන්න විතරක්ම මට ලං වුන එකම පිරිමියා ඔහු විතරමයි... ඒ නිසාම වෙන්න ඇති දෙවතාවක් ඇවිත් යන්න ඉඩ නොතියන මගේ ජීවිතේ ඔහු නිතරම එන්න පුරුදු වුනේ..



රොසෑන්ගේ විකාර එක්ක අතේ බදින්න ගත්ත ඔරලෝසුව එහෙමම ආයෙම අමතක වෙලා ඇවිත් කියලා දැනුනේ ටැක්සියෙත් නැගලා හුඟක් දුර ආවට පස්සේ... වෙලාව පහු වෙලාද දන්නේ නෑ කියන සැකේට වෙලාව බලන්න ෆෝන් එක ගද්දී මිස් කෝල් හතරක් එක්කම මැසේජ් එකක්..



මං පරක්කුවට එයා හොයනවා ඇති..”



මට හිතුනේ එහෙම.. වෙලාවකට එයා ගැන පුදුමත් හිතෙනවා.. දවසින් දවස එක එක පිරිමියා එක්ක නිදාගන්න මාව හම්බුවෙන්න කතා කරන්න තරම් ආශාවක් ඒ හිතට කොහොම ආවද කියලා තේරුම් ගන්න අමාරුයි.. ඒත් මගේ සිතුවිලි වැරදියි කියලා තේරුනේ ෆෝන් එකේ මැසේජ් එක චෙක් කරද්දී .. ඒක ජෝසප්ගෙන්..



කොහේ ගියත් කමක් නෑ හවස හත වෙද්දී හිල්ටන් එකේ 134 කාමරේට පලයන්..”



හිතේ තැනක පුංචියට හරි ඉතුරු වෙලා තිබුන සතුට මොහොතින් උදුර ගන්න ඒ කෙටි පණිවිඩේට පුළුවන් වුනා.. සතුට හොරා ගත්ත පණිවිඩේ අමතක කරලා වෙලාව බලද්දී තව ටික වෙලාවක් ඉතුරු වෙලා තිබුනා.. දැනටමත් ගාලු පාරට ඇවිත් නිසා වෙලාවට යන්න පුළුවන් කියලා දැනගෙන ආයෙම ෆෝන් එක ඇතුලට දාලා කලින් හිටපු කල්පනාවටම එන්න හැදුවත් කැඩුන හිත ආයෙම දුවලා ගියේ ඒ අපායටම..



මිස් අපි ගෝල්ෆේස් එකේ..”



කල්පනාව එක පාරම බිදිලා ගිහින් පුංචිම විනාඩි කීපයකට හරි නතර වෙලා හිටිය තැනින් කල්පනාව ඉවර වුන එක ගැන වෙලාවකට ලෝබයි වගේ.. ටැක්සියෙන් බහින්න කලින්ම පොඩ්ඩක් එළිය බැලුවේ හැමදාම පුරුදු ගල් බංකුවේ වාඩිවෙලා ඔහු ඉන්නවද කියලා බලන්න.. පුරුදු විදිහටම ඔහු එතන ඉන්නවා.. මං ඒවියි කියලා බලාපොරොත්තුවෙන් පාර දිහා බලාගෙන එබිකම් කරනවා දැක්කම ඉබේම එන හිනාවත් එක්ක හිතට දැනෙන්නේ අමුතුම හැගීමක්...



කොහොමද මලිත් ?”



නිතරම පාරට එබිකම් කලාට මං එනවා නොදැක ෆෝන් එක අතට ගනිද්දිම වගේ කතා කලාම මලිත් එක පාරම ගැස්සිලා ගියා..



සමාධි, මං මේ ඔයාට කෝල් කරන්න හැදුවා විතරයි..”



මං හිතුවා..”



ඔයාට කොහොමද සමාධි ඉතින් ?”



ආදරණිය විදිහට පටන් ගන්න කතා බහට හිත පුදුමම විදිහට කැමතියි... කවදාවත් නොදැනුන පුදුම ලෙංගතු කමක් ඒ කතා බහ අතරෙම හිතට දැනෙද්දි ආදරයක පුංචි හැගීමක් හිතට හොල්මන් කරන්නේ නැතුවමත් නෙමෙයි.. හැම තිස්සෙම වගේ ඇස් මගෙන් ඈතක හංගගෙන කතා කරන්නේ ඒ ආදරය මට පෙනෙයි කියලා බයෙන්ද කියලත් වෙලාවකට මට හිතෙනවා.. ඒත් හිමිවෙන්නේ නැති දෙයක් ගැන බලාපොරොත්තු තියා ගන්න එක මෝඩකමක් කියලා මේ ජීවිතේ හොදටම තේරුම් අරන් ඉවරයි...



මලිත් අදනම් මට හුඟක් වෙලා ඉන්න බැහැ.. යන්න ඕන..”



ඒ මුණේ තියෙන අහිංසක හිනාව හැමදාම වගේ ඉක්මනට නැති වෙලා යන්නේ වෙන් වෙනවා කියලා දැන ගත්තු ගමන්ම.. වෙන් වීමකටත් වඩා මලිත්ගෙන් පස්සේ මම යන්නේ කොහේද කියන එක දන්න හින්දම ඒ හිත හුඟක් රිදෙනවා වෙන්න ඇති...



සමාධිට බැරිද මේ ජීවිතෙන් ඈත් වෙන්න. ?”



හිත අකමැතිම ප්‍රශ්ණය හැමදාම වගේ ඇහෙද්දි හිත කොච්චර නම් රිදුනත්, කේන්ති ආවත් මලිත් ලඟදි මම හුගක් අසරණ වෙනවා.. ගොඩාක් ලොකු කතාවක් කියා ගන්න ඕන වුනත් වචන හැමදාම මාව වලක්වනවා.. , ඒ අහිංසක හිත තව රිද්දන්න බැරි හන්දා...



ඔයාට ඔය ලැබෙන ගාන මට හැමදාම දෙන්න පුළුවන් කමක් තිබුනනම්..”



ඈත මුහුද දිහා බලාගෙන කියපු ඒ කතාවට හයියෙන් ආව මුහුදු රළක් ගල් පරයක වැදිලා මහා සද්දෙන් බිඳිලා යනවා වගේ, මේ හිත ඇතුලට ඒ වචන ඇවිත් වැදුනේ මම කොච්චර අසරණ කෙනෙක්ද කියන එක මටම ඒත්තු ගන්න ගෙන.. ඒත් මලිත් ඒ දේ කිවුවේ මං ගැන හිතේ තියෙන කැමැත්තට කියන දේ තේරුම් ගන්න පුළුවන් වුනත් මලිත් මගේ ජීවිතේ කර ගන්න බැරිකමම මගේ ජීවිතේ ලොකුම අවාසනාව කියලා මං දන්නවා..



මං ගිහින් එන්නම් මලිත්..”



ආයේ කවද්ද අපි හම්බුවෙන්නේ ?”



ඔයා කැමති ඕනම වෙලාවක..”



මං කැමති හැමවෙලේම දකින්න..”



ඒ වචන මාව ආයේ ආයෙම ඇදලා ලඟට අර ගන්නවා වගේ.. අනිත් හැම පැය භාගෙකම හරි පැයක හරි හමුවක් ගෙවිලා ඉවර වෙන්නේ කොයි වෙලේද කියලා මග බලාගෙන හිටියත් ඒ කාලය එකම තැන නතර වෙලා වගේ.. ඒත් මලිත් ලඟ නතර වෙලා ඉන්න හැම තත්පරයක්ම ගෙවිලා යන්නේ හිතන්නවත් බැරි තරම් ඉක්මනට.. තාමත් මලිත් ගල් බංකුව ලඟ වාඩි වෙලා ඉද්දී මලිත්ගෙන් ඈත ඇවිදන් ඇවිත් පාරට වැටෙද්දී මේ ජීවිතේට හුරු පුරුදු රෑ කරුවල උදා වෙලා තිබුනා...


…............................................



මොකද උඹ තාම නිදි.. ඊයේ රෑ මහන්සිද ?”



නින්ද අහලකටවත් නොඑද්දී ඇස් දෙකන් තද කරන් ඇදට වෙලා හිටියේ ජීවිතේ ගැනම හිත හිත... ඒත් අළුතින් හිතන්න තියෙන දේකට වඩා හැමදාම හිත නතර වෙන ප්‍රශ්ණ වලට දැන් උත්තර හොයලම ඇති වෙලා.. ඒ අතරට බෝඩිමේ ජීවිතේ මං වගේම අනික් අයගේ හැසිරීම් දැන් ඉස්සරට වඩා මහා වදයක් වෙලා...



ඒ උඹ අර කොල්ලත් එක්ක යාළුද ?”



නැහැ..”



නොරිස්සුම් කමට දුන්න උත්තරේ තිබුනේ ලොකු කේන්තියක්... ඒක මට වගේම රොසෑන්ටත් හරි ඉක්මනට තේරුම් ගියත් වචන ආපහු ඇදලා අර ගන්න බැහැ..



මොකද උඹට ඌ ගැන ඇහුවම ඔච්චර කේන්ති යන්නේ ? මං ඇහුවේ සාමාන්‍ය දෙයක්..”



මට ටිකක් පාඩුවේ ඉන්න දීපං බං..”



මම ආවේ උඹට ජෝසප්ගේ පණිවිඩයක් කියන්න.. උබ එක්ක ඉන්න එන උන්ට දැන් උඹෙන් වෙනද වගේ මුකුත් ලැබෙන්නේ නෑ කියලා වුන් කියලා.. ජෝසප් කිවුවා උඹ ගැන ටිකක් හොයලා බලන්න කියලා.. උඹ කරන දෙයක් පරිස්සමින් කරපං..”



කේන්ති ගත්තා වුනත් පස්සේ රොසෑන් ගැන දුකක් හිතුනේ ඒකි කියපු දේවල් එක්ක.... අපි ඔක්කොම එකම අපායක ජීවත් වෙන උන් කියන එක රොසෑන් මොහොතකට මතක් කරලා දුන්නම හිතට දැනුනේ මහා කලකිරීමක්.. රොසෑන් එක්ක කතා කරන්න හදද්දී ඒකි කාමරෙන් එළියට ගියේ හිත රිද්දවාගෙන වුනත් මටත් රොසෑන්ව නවත්තන්න ඕන වුනේ නෑ..



දවල් වෙනකම්ම ඇදට වෙලා ඔහේ කල්පනා කලත් ප්‍රශ්ණ හැමදාම එකම තැන තියෙනවා ඇරෙන්න ඒවට විසදුම් කොහෙන්වත් හම්බුවෙන්නේ නැත්තේ ජීවිතේ තියෙන කරුමක්කාර කමට කියලා දැන් හොදටම තේරෙනවා.. කල්පනාව අතරම ඉද්දී එක පාරට ෆෝන් එක රින්ග් වෙද්දී හිත ගැස්සුනා.. කෝල් එක මලිත්ගෙන්.. ඒත් මලිත් මේ වෙලාවට.. මං මගේ හිතින්ම අහගෙන ෆෝන් එකට ආන්සර් කලා..



" සමාධි මට හෙට ඔයාව හම්බුවෙන්න ඕන..”



හෙට.. හා මලිත්.. කීයටද ?”



දවසම..”



දවසම ?”



ඔව් සමාධි මට දවසම ඔයා එක්ක ඉන්න ඕන.. ප්ලීස් බෑ කියන්න එපා...”



ඒත් මලිත් ඔයා දන්නවනේ..”



ඔයාට වැඩ වලින් හම්බුවෙන ගාන මම ඔයාට දෙන්නම්.. හෙට දවසම මම ඔයා එක්ක ඉන්න කැමතියි..”



හ්ම්ම්.. හා මලිත්.. කොහාටද එන්න ඕන ?”



පුරුදු තැනටම උදේ දහය වෙද්දී..”



හරි මම එන්නම්..”



මලිත්ගේ හිතේ තිබුන සතුට එයා ෆෝන් එක කට් කරද්දී හොදටම තේරුනා... ඒත් මලිත් දවසම මාත් එක්ක ඉන්න ඕන කියන්නේ ඇයි කියලා මට තේරුම් ගන්න බැහැ.. මලිත් අනිත් අය වගේ නෙමෙයි... එයා වෙනස්.. ඒත් මලිත්ට මගෙන් මොනවා හරි ඕනනම් මම හුගාක් සතුටින් එයා එක්ක ඉන්නවා... සමහර විට මම කැමැත්තෙන් ඉන්න එකම පිරිමියා මලිත් වේවි..



තේරුම් ගන්න අමාරු සිතුවිලි ගොඩක්ම හිතට වද දෙන්න ගත්තත් ඒවා තේරුම් ගන්න පුළුවන් කමක් තිබුනෙම නෑ.. කොච්චර උත්සාහ කලත් හැම දේම එකම තැන නතර වෙලා කියන හැගීම විතරක් මේ හිතට හුඟාක් තදින් දැනුනා..



…............................................


ඊයේ හැන්දෑව ගෙවිලා ගිහින් අද දවස උදා වෙනකන් හිතේ තිබුනේ අමුතුම හැගීමක්.... ඒක එක විදිහක බලාපොරොත්තුවක්.. වෙනදට වැඩිය උදෙන්ම ඇහැරුනේ ඒ හන්දම වෙන්න ඇති... වෙනද වගේම ඇඟට ටිකක් අමාරු දැනුනත් ඒ හැම දේකටම වඩා හිත තිබුනේ මලිත් ලඟ... ඉක්මනින් ලෑස්ති වෙලා උදේ නමය වෙද්දිම ගෙදරින් පිටත් වෙද්දී හොද වෙලාවට කවුරුවත් මාව දැක්කේ නැහැ...



කලබලකාරී හැන්දෑවට වඩා දවාලේ තිබුනේ අමුතුම වෙනසක්... දවල් වෙලාවකමෙතන්ට ආවේ හුඟක් කාලෙකට පස්සේ නිසාද කොහෙද ඒ බව හුඟක් තදින්ම දැනුනා.. පුරුදු තැනම මලිත්ව හෙව්වත් මලිත් පේන්න හිටියේ නෑ.. ඔරලෝසුවේ වෙලාව බලද්දී උදේ දහය වෙන්න තව ටික වෙලාවක් තිබුන හන්දා අපිට හුරු පුරුදු තැන වාඩි වෙලා මම මලිත් එනකම් මඟ බලාගෙන හිටියා.. පළවෙනි වතාවට..



නිමාවක් නැතුව එහෙ මෙහෙ යන මුහුණු අතර මං මලිත්ව හෙව්වා... කෙනෙක් වෙනුවෙන් මං බලාගෙන හිටපු පළවෙනි වතාව නිසාද කොහේද හිත හුගක් නොසන්සුන් වුනේ.. හය වෙන්න තව වෙලා තිබුනත් හිත නිතරම ඇහුවේ ඇයි මලිත් පරක්කු කියලා...



සමාධි, ඔයා අද ඉක්මනට ඇවිත්..”



හිත ගැස්සුන තරමට නොදැනිම වගේ වාඩිවෙලා හිටපු බංකුවෙන් නැගිටිද්දී මලිත් මගේ පිටිපස්සෙන් හිටගෙන හිටියේ මං දිහා වෙනද වගේම ලෙංගතුව බලාගෙන..



ඔයා බය වුනාද ?”



ඔව් ටිකක්..”



යාන්තමින් හිනා වුනේ හරියට වැරැද්දක් කරලා වගේ.. වෙලාවකට ඒ මුණේ හැගීම් තේරුම් ගන්න අමාරුයි.. තේරුම් ගන්න හදන උත්සාහයත් ඒ මොහොත හොරෙන්ම මඟ ඇර ගන්න හේතුවක් වෙන හින්දම ඒ හැමදෙයක්ම රහසෙම විඳ ගන්න දැන් හිත පුරුදු වෙලා..



අපි යමු..”



කොහේද ?”



අද දවසම ඔයා මගේනේ.. යමුකෝ මාත් එක්ක..”



ඒ වචන වලට හිත ටිකක් ගල් ගැහුනා වගේ වුනා.. ලොකු ආධිපත්‍යක් තියාගෙන වගේ කිව්ව ඒ වචන වලට හිත අකමැති වුනේ නෑ.. ඒත් ඒ ආධිපත්‍යට හිත ලං වෙන්න හුඟක් බයයි.. කැමති වුනත් හිත එතන්ට ලං කරන්න හුඟක් බයයි...



යන දිහාවක් වත් නොදැන වාහනේට නැඟලා එද්දී කතා කරපු හුඟක් දේවල් වලට මට දෙන්න උත්තර නොතිබුන තරම්.. මං නිහඬ වෙද්දී එයාම ඒවට උත්තර හොයන හැටි වෙලාවකට පුදුමයි.. කොළඹින් ඈතට කොච්චර දුර ආවද කියලවත් දැනුනේ නැහැ.. ඒත් එක පාරම හිත නැවතුනේ ගොඩක් නිස්කලංක පරිසරයක.. ඇවිත් වැඩි වෙලාවක් යන්න කලින්ම ඒ දේට හිත හුඟක් ආදරේ කරන්න ගත්තා...



මේ කොහේද මලිත්..”



අනාථ නිවාසයක්..”



බලාපොරොත්තු නොවුන විදිහට ඇහුන ඒ වචන වලට මං පුදුම වුනා.. පුදුම වුනාටත් වඩා මගේ හිත දුවලා ගියේ ඇයි මලිත් මේ වගේ තැනකට මාව එක්කන් ආවේ කියන එක හිතන්න...



ඇයි මෙහේ ආවේ කියලද හිතන්නේ ?”



හ්ම්ම්..”



මම පොඩි කාලේ ඉදන් හැදුනේ මෙතන.. මම අනාථයෙක්.. අද වගේ දවසක තමයි මාව කවුරුහරි මෙතන දාලා ගිහින් තිබුනේ... ඒකයි මම ඔයාව එක්කන් ආවේ අද මෙතන්ට..”



ඒ වචන වලට බලාපොරොත්තු නැති විදිහට හිත කඩා වැටෙන්න ගත්තා.. කවමදාකවත් මාත් එක්ක නොකියපු මලිත්ගේ කතාව අහද්දී මාත් මේ වගේම තැනක අසරණ වෙලා හිටිය හැටි ටිකින් ටික මතක් වෙද්දී දන්නෙම නැතුව මේ ඇස් වලට කඳුළු ආවේ නතර කර ගන්න බැරි විදිහට... ඒත් අපේ ජීවිත වල අද තත්වේ කොච්චරනම් වෙනස්ද ?



යමු අද මගේ ගානේ මෙතන ඉන්න හැමෝටම කෑම.. එන්න ඔයත් උදව් වෙන්න..”



හිත පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවුන විදිහට දවස ගෙවෙමින් තියෙද්දී හිත ගොඩ් සතුටු වුනා... අමුතු සැහැල්ලුවක් හිතට දැනෙද්දී හිත නිදහසේ පියාඹනවා වගේ දැනුනත් හිත ආයෙම ඇදලා අරන් නතර කර ගත්තේ මේ හැමදේම මොහොතකින් නැති වෙයි කියන බයට... හැමදාම හැම මොහොතකම ඒ බය හිත ලඟ තිබුනා.. ඒක මේ ජීවිතේ හැටි වෙන්න ඇති...



ඔයා සතුටින්ද ?”



ඔව් මලිත් හුඟාක්..”



එහෙනම් අපි යමු නේද? හවස් වෙන්න කලින් යන්නත් ඕනනේ..”



හ්ම්ම්, දැන් කොහේද යන්නේ ?”



අපිට පුරුදු තැන, පුරුදු වෙලාවම, පුරුදු පරිසරයටම..”



හා..”



ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් කියන එක තේරුම් ගන්න අද හොදම දවසක්.. තවම නිමා නොවුන දවසේ මලිත්ගේ හිතේ තව බලාපොරොත්තු තියෙන බව ඒ දෑස් වලින් හොදටම පේනවා... යද්දීට වඩා ගමන ඉක්මන් බව දැනුනේ එන්න තිබුන අකමැත්ත නිසාම වෙන්න ඕන... යද්දී තරම්ම කතාබහ නොකෙරුනෙත් ඒ මතකය හිත ලඟම තියා ගන්න දෙන්නටම ඕන වුන නිසා වෙන්න ඇති...



සමාධි, මොකද ලොකු කල්පනාවක ?”



අහ්, නෑ මලිත් එහෙම දෙයක් නෑ..”



ඔයා සතුටින් නේද ?”



ඔව් මලිත් හුඟාක්.. අද තරම් සතුටු වුන දවසක් තව නැති තරම්.. හැමදාම මේ සතුට තියෙනවනම්..”



සමාධි අපි බඳිමු..”



හැමදේම හරි ඉක්මනට නතර වෙන බව හිතට දැනුනේ පුදුම විදිහට.. ආසාවෙන් මතක ගොඩගහන් ආව හීනය එක පාරම මං හිටි තැනම කඩාගෙන වැටුනේ මගේම අවාසනාවට.. එක පාරම මලිත්ගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබෙයි කියලා මං කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ..



ඔයා මොනවද මලිත් මේ කියවන්නේ ?”



මං එහෙම අහද්දී මලිත් මං දිහා බලපු විදිහෙන්ම එයාගේ හිත රිදුන බව හොඳටම තේරුනත් හිතට එකඟව කතා කරන්න මට පුළුවන් වුණේ නෑ..



මං ඔයාට ආදරෙයි සමාධි..”



ඒත් මලිත් ඔයා මං ගැන දන්නවා..”



හ්ම්ම්..”



ඔයා ඕක අමතක කරන්න.. ඒක ඔයාටම දවසක හොඳක් වෙයි..”



සතුට පොදි බඳින්න හැදුවට සතුටින් ගමන පටන් ගත්තු තැනටම එද්දි හිතේ ඉතුරු වුනේ ලොකු දුකක් විතරයි.. බලාපොරොත්තු නොවුන දුකක්.. සමහර විට මටත් වැඩිය ඒ දුක මලිත්ට දැනෙනවා ඇති..



ඔයා තව ටිකක් වෙලා නවතිනවද ?”



හ්ම්ම්..”



මලිත්ගෙන් ඈතට දුවලා ගිහින් හැංගෙන්න ඕන වුනත් දාලා යන්න බැරි බවක් හිතට දැනුනේ පුදුම විදිහට... ඒ හින්දම තව පුංචිම වෙලාවකට හරි හිතටත් හොරෙන්ම මලිත් ලඟ නතර වුනේ හැගීම් ඔක්කොම හිත යට හංගගෙන..



අද දවසට ගොඩක් ස්තූතියි මලිත්..”



ඔයා සතුටින් නම් ඒ ඇති මට.. හැමදාම වුනත් ඔයාට මේ සතුට ලඟ තියා ගන්න බැරි නැහැ සමාධි..”



වෙනන් පුළුවන් මලිත්.. ඒත් ඔයාට මං සමාධි වුනාට සමාජය ඉස්සරහා මම මිශෙල්.. ඔයාට ඒ මතකෙයෙන් දුවන්න බැරි වෙයි..”



හිතට කොච්චර දුකක් දැනුනත් සොදුරුම මතකයන් ඉතිරි කරපු තැනින් නැගිටලා එන්න ආවේ ආ‍යේ ඒ මතක අද්දරට නොයන්න හිත තදින්ම හදාගෙන.. පුරුදු විදිහටම ආයෙම හැරිලා බලද්දී ඔයා මං දිහාම බලාගෙන.. හෙට ඔයා මෙතන මේ විදිහට බලාගෙන නොඉදිවි මලිත්.. මං හිතනවා..





නිමි..





78 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අහ් මෙයා හොරටනේ ඔට්ටු අල්ලන්නේ... එහෙම බෑ ඒ..

      Delete
  2. අඩෝ... මට ඇඩුනා!

    සිරාවටම කියන්නේ... මටත් ඉස්සර හෙන ආසාවක් තිබුනා ලස්සන හෙනම දුප්පත් කෙල්ලෙක් බැදගන්න. හැබැයි බඩුවක් නෙමෙයි. දැනුත් ඒ ආසාවම තියෙනවා. හැබැයි කලින් තරම්ම දරුණුවට නෑ. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම ඇත්තම කියන්නද රජෝ.. උඹට එහෙම ආසාවක් තිබුනා කියලා මට හිතා ගන්නත් බෑ.. ඒත් උඹ මට බොරු කියන්නේ මොකටද? තාමත් ඒක තියෙනවනම් සෑහෙන වටිනවා..

      Delete
    2. රජෝ ..ඔය වයසෙදි අපේ හැඟීම් හරිම විප්ලවකාරීයි,පරාරථකාමීයි ඒ නිසා ඔවැනි සුන්දර හැඟීම් පහලවෙනව.

      අපිටත් ඕය වයසෙදි ඕහොම හිතුන,ට්‍රයි කලා. ඒත් අපිට ඕන විදියට හැමදේම කරන්න බෑ..හරිම සංකීරණයි...විශේෂයෙන් අධ්‍යාපන මට්ටම වගේ කාරනා බලපානව..දුප්පත් කමත් එක්ක.
      වරදවා හිතන්න එපා ..වැරදියි කියනවා නොවේ..!

      Delete
    3. වීයා, මාත් ඒ කතාවත් එක්ක එකගයි..ඒත් හැම තැනදිම ඔය කාරණා බලපාන්නේ නෑ කියලත් හිතෙනවා වෙලාවකට.. ඉස්සර සමාජේ එක්කනම් ඔය දේ හරි පහසුයි ඇත්ත.. ඒත් අද වෙද්දි නම් ඒ තත්වේ ටිකක් වෙනස්..

      Delete
  3. හ්ම්ම්ම්! ඒත් මිනිස්සුන්ගේ හිත එච්චරම සංවේදීද කියලත් හිතුනා දිනේශ්..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. සමහරවිට නෑ අක්කේ.. මින්ස්සු තේරුම් ගන්න අමාරුයි..

      Delete
  4. ගණිකාවෝද මනුශ්‍යෙයෝය....

    ReplyDelete
    Replies
    1. එකගයි තරුවෝ..

      Delete
  5. හයියෝ.......... කෙල්ලට දාලා තියන නමට ඇරෙන්න අනිත් ඔක්කටම මම කැමති....

    අමනුෂ්‍යයෝ මැද මනුෂ්‍යයොත් ඉන්නවා කියලා හිතෙන්නේ මේවා දකිනකොට තමයි..

    ReplyDelete
    Replies
    1. අහ්, ඇයි උයා නම එක්ක මෙච්චරම වලි..

      අමනුෂ්‍යයෝ අතරේ මනුෂ්‍යයෝ ඕන තරම් ඉන්නවා.. හැබැයි එක පාර හොයා ගන්න අමාරුයි..

      Delete
  6. කඳුළු එන්න තරමට සංවේදීව ලියල තියෙන්නේ. ජීවිතේ හරි පුදුමාකාරයි. හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ තේරුම් ගන්න බෑ ඇලෙක්ස් අයියේ..

      Delete
  7. සංවේදී කතාවක්. ලස්සනට ලියල තියෙනවා. මොන තරම් කඳුළු කතා ඇත්ද එයාලගෙ ජීවිත වල

    ReplyDelete
    Replies
    1. අක්කා ගොඩ කාලෙකින් මේ පැත්තේ.. ඒ පවුල් උනාට සුභ පැතුම් හොදේ..

      Delete
    2. ලංකාවට ආවම මුණගැහෙමු හොදේ..

      Delete
  8. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ, වැඩ වැඩිකම හින්ද ම තමයි, ආපහු මුල ඉඳන් පරණ ඒවා කියවන්න ඕන. මේ කතාව නම් ප්‍රායෝගිකයි මලේ. හැබැයි වැඩිදෙනා නොදකින අඳුරු සමාජ පැතිකඩක්..

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවට එමු අයියේ.. ඒකේ අවුලක් නෑ.. වැඩ වලට එපැයි පළවෙනි තැන දෙන්න..

      නොදකිනවටත් වැඩිය ගනන් ගන්නේ නැති පැතිකඩක් ලහිරු අයියේ..

      Delete
  9. lasanna kathawak... digatama me wage hodata liyanna :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තේ ගොඩ උනාට..

      Delete
  10. හුගක් අය මේ වගේ දේවල් කරන්නෙ වෙන කරන්නම දෙයක් නැති නිසා සමහරු කියන්න පුලුවන් ඒ කථාව වැරදි කියල ඒක නම් ඉතින් දන්නෙ නෑ... ඒත් මට හිතෙනවා ගොඩක් අය මෙහෙම වෙන්න අසරණ කම නිසා කියල...
    ගොඩක් කාලෙකට කලින් මම පත්තරේ කියවපු කථාවක් මේ... එක ත්රීරෝද රථ රියදුරෙක් කියපු, එයා දන්න ගනිකාවක් හිටියලු හැබැයි එහෙම කෙනෙක් කියල හිතන්නවත් බැරිලු සාරි ඇන්දලලු ඉන්නෙත්... ඉතින් දවසක් මේ ගෑනු කෙනා මෙයාගේ රථයට නැග්ගලු කොහෙද යන්න තව ගොඩක් වයස මනුස්සයෙක් එක්ක,,, දැන් මෙයාට ඇහෙනවලු දෙන්න හෙමින් හෙමින් කතාකරනවත්... මෙයා ඉතින් හිතින් හිතුවලු අනේ ඉතින් මුන් වයසක මිනිහෙකුටවත් ඉන්න දෙන්නෙ නෑනේ කියල ඒ අතර මෙයාට අර වයසක මනුස්සය එක්කත් කේන්තියිලු.. හින්ට් එකක් ගහනවමයි කියල ඉද්දි අර ගෑනු කෙනා කියල නවත්තන්න කියල එයා මගින් බැහැල... බැහැලත් ටිකක් කතාකර කර ඉදල ආපහු අර වයසක මනුස්සය ත්රීරෝද රථයට නැග්ගලු... ඉතින් දැන් මග යද්දි අර වයසක මනුස්සය විස්තර කියනවලු.. එයාගෙ ගම ගැන එහෙම, ඒ අතරෙ ඇහුවලු අර ආපු දුවව දන්නවද කියල, ඉතින් මෙයා පල් එකටත් එක්ක කිව්වලු අපොයි ඔව් මොකද අපි නොදන්නෙ කියල.. පස්සෙ අර වයසක අන්කල් කියනවලු... අනේ ඒ දරුව බුදු වෙන්න පෙරුම් පුරනවද කොහෙද, අපිට හිටියෙ එකම පුතාව තමයි ඒ දරුව බැන්දල හිටියේ.. ඒකත් ඒ දුවගේ ගෙදරින් කැමති නැතුව, පුතා නැතිවෙද්දි මෙයා කිසිදෙයක් කරගන්න බැරුව හිටියේ.. අපිත් ගොඩක් අසරන උනා අපිටත් වියදම් කරල බලාගත්තෙ පුතා නිසා...ඉතින් මේ දරුව රස්සාවක් හොයාගෙන මෙහෙ ආවෙ... ලොකු දෙයක් හොද රස්සාවක් කරනවලු.. අනේ අපේ හැමදේම බලාගෙන අපිට බෙහෙත් හෙත් පවා අරන් දෙන්නේ මේ දරුව තමයි කියල... අර ත්රීරෝද රථ රියදුරා දාල තිබුනා ඒ අන්කල් කියපු කතාවට මට ඇඩුන කියල... එයා ගොඩාක් දුක් උනා කියල දාල තිබුනා...
    දන්නෙ නෑ ඉතින් හැමෝම එහෙමද කියල...

    ReplyDelete
    Replies
    1. නදිනි අක්කා කියවපු කතා වගේ ඒවා ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේවල්.. ඒ වගේ අසරණ උන මිනිස්සු එහෙම දේකින් හරි තමන්ගේ ජිවිතේ ගැට ගහගන්න හදන එක එක අතකින් සාධාරණයි.. එහෙම අය ඒ දේ කරන්නේ තව කෙනෙක්ව ජීවත් කරවන්න.. ඒත් සමාජය ඒ අය දිහා බලන විදිහෙන් හැමෝම වැටෙන්නේ එකම ගොඩකට..

      Delete
  11. චරිත දෙකම ගැනම හිතට ආවේ පුදුම දුකක්...

    සමාධි , මලිත්ව බැන්දානම් මොනවා වෙයිද? එයාට ඔය තරම් සල්ලි හොයන්ට තිබුනු උවමනාව මොකක්ද? ඒ දෙන්නා කාටවත් නොකියා ගියානම් මොකක් වෙයිද? ප්‍රශ්ණ ගොඩයි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කට මං බලාපොරොත්තු උන ප්‍රශ්ණ ටිකම ඇවිත්.. ඒක ගැන මම සතුටු වෙනවා අක්කේ.. ඒත් ඔට ටිකට උත්තර දෙන්න මම යන්නේ නෑ.. කතාවෙන් විශේෂයෙන්ම..

      Delete
  12. ඔහොම ජීවිත ගෙවන කී දෙනෙකුගෙ හිතේ ආශාවක් ඇද්ද ලස්සන ජීවිතයක් ගෙවන්න... ඒත් සමාධි ඇයි ඒ ජීවිතෙන් මිදෙන්න බය හෝ අකැමැති..? සමහරවිට ජෝසප් මලිත්ට කරදර කරාවිද කියල බයට වෙන්න පුළුවන්... එහෙම නැත්නම් මලිත්ට අනාගතෙයෙදි එයාත් එක්ක පාරෙ බැහැල යනකොට මුහුණ දෙන්න විය හැකි ප්‍රශ්ණ වලට බයේ වෙන්නත් පුළුවන්...

    මට අර කාලෙකට ඉහත ඕනය කියපු කතාවෙ මංජුවත් මතක් උනා නදිනි කියපු කතාව කියවනකොට...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ හැම කෙනෙක්ම ඒ ජීවිතෙන් මිදෙන්න ආසයි.. ඒත් ඒ ඒ අයට එයාලගෙම වෙනම හේතු ඇති ඒකෙන් මිදෙන්න බැරි වෙන.. සමාධිගේ පැත්තෙන් අක්කා හිතුව දේවල් උනත් ගොඩ දුරට වෙන්න පුළුවන් දේවල්..

      Delete
  13. අසරණකම නිසා ඔය රැකියාවට වැටුන ගොඩක් දෙනෙක් නිවරැදි මඟ පෙන්වීමක් උදව්වක් ලැබුනොත් නිවරැදි මාර්ගයට එන්න කැමති අය. ඒත් සමාජයම තමයි ඒ අයට ගොඩ එන්න නොදී තියන්නෙ. දැනෙන්න ලියල තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත.. මිනිස්සු අත දෙන්න අකමැති.. තමන්ගෙම වාසියට..

      Delete
  14. විය නොවිය හැකි සම්භාවිතාව කෙසේ වෙතත් කතාව නං මලයෝ හරිම සංවේදියි.. ඔයාගේ නිර්මාණශීලි හැකියාට සුබ පැතුම් .. ඉතින් ඒ වගේම දැන් යථාර්ථවාදි කතා කලාව පැත්තටත් අත තියන්න බලන්න. එය ඔබට කරන්න හැකියි.. මේ නිපුනතාව එතැනට ගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නලීන් අයියේ.. මේ දේවල් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..

      මං මේ බ්ලොග් එකේ ලියන්න ආසම කෙටි කතා.. මගේ පොඩි අරමුණක් තියෙනවා.. බලමු..

      Delete
  15. කතාව සුපිරිම සුපිරියි! මරු!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  16. ලස්සනම ලස්සනයි අයියේ කතාව.. හරිම දුකක් ආවා සමාදියි, මලිතුයි දෙන්නා ගැනම.. :( කතාවෙ අවසානෙට හුඟාක් කැමතියි....අපිට එක එක පැති වලින් හිතන්න පුලුවන් විදියට කතාව ලියලා... නියමයි!!!!

    ReplyDelete
    Replies
    1. මං හිතන දේට වඩා කියවලා ඔයාලා හිතන දේයි වටින්නේ හිතු.. ඒකනේ මගේ කතා වල අවසනාය නිමාවක් නැති එකක් වෙන්නේ.. මං කැමති නෑ නිශ්චිත අවසානයක් දෙන්න..

      Delete
  17. හුම්ම්ම්... අනේ මංදා..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකෝ අනේ මන්දා??

      Delete
  18. ආදරයත් මුහුද වගෙයි.. රළුයි හරි සැරයි..විටක නිවුනා වගේයි.....පෙම් සිත් බිදිනු එපා.. මේ කෙටි කතාව කියවන කොට මට හිතෙන්නේ එහෙමයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්ත.. පෙම් සිත් දෙකම බිඳුනා.. හැබැයි එකතු වෙන්නත් ඉඩක් තිබුනා..

      Delete
  19. මිශෙල්ට හැමදාම සමාධි විදිහට ඉන්න ලැබෙනවනම්....
    කථාව අවසන් කරල තියෙන විදිහට මාත් ගොඩක් කැමතියි. ලස්සන නිර්මාණයක් දිනේශ්.

    ReplyDelete
    Replies
    1. මිශෙල් සමාධි වෙලාම ඉන්න එක සමහර විට එයාට් හීනයක් වෙන්නත් පුළුවන්.. මේ ගෙවන ජීවිතේ හැටියට..

      Delete
  20. කතාවෙ අවසානය සුභ පැත්තට හිතල මං හිත හඩාගන්නෝ අප්ප.....

    ඇඬුන....:‘(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒත් හැමදේම හැමදාම සුභ නෑ නංගියේ..

      Delete
  21. හ්ම්... එයාට මලිත්ව බැන්දානම් ජීවිතේට මූන දෙන්න බැරි වෙයිද? අනේ මන්දා... සංවේදී කතාවක්... :(

    ReplyDelete
    Replies
    1. සමහරවිට ජීවිතේ දුශ්කර වෙයි.. මලිත් එක්ක දැන් දකින් විදින ජීවිතේට වඩා වෙනස් ජීවිතයක් ලැබුනොත් කාලෙකින්??

      Delete
  22. මට සමාධි ගැනවත් මලිත් ගැනවත් දුකක් නෑ...
    සිරාවටම...
    හැබැයි මොකක් හරි එකක් දැනුනා මේක කියවද්දි..
    මොකක්ද කියලා තේරෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මලිත් කොහොම උනත් පස්සේ දවසක සමාධිට නම් ගත්ත තීරණේ ගැන දුක් වෙන්න වෙයි..

      අපිට අපේ සමහර හැගීම් තේරුම් ගන්න අමාරුයි නේ බං..

      Delete
  23. කෙටියෙන්ම කියන්නම්..හරිම සංවෙදියි..! මං හිතන්නෙ ඔයා බලාපොරොත්තු උනෙත් ඒක.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. සංවේදි කමට වඩා ඒ ජීවිතේට පොඩ්ඩක් එබිලා බලන්නයි උවමනා උනේ.. මාත් එක්කම කියවන කට්ටියත්..

      Delete
  24. මම කියවපු සංවේදීම ආදර කතාව මේක හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  25. කියන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නැ
    හරිම සංවේදි
    දැනුනා හුඟක් හිතට

    ReplyDelete
    Replies
    1. කළුවර හීනය කමන්ට් එකක් දැම්මා කියන්නෙම මේක හුගාක් හිතට ලං වෙලා තියෙනවා කියන එකනේ.. තෑන්ක්ස්..

      Delete
  26. හරිම සංවේදීව ලස්සනට ගලපල මල්ලි.. ඔයාට ජය.

    ReplyDelete
    Replies
    1. ඩොඩක් ස්තූතියි දිනිති අක්කේ..

      Delete
  27. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ මටනම්

    ReplyDelete
    Replies
    1. මොනා හලි කියන්න ලොකූ..

      Delete
  28. පවු අසරණ ජීවිත.. ඔහොම ජීවිත මේ ලෝකෙ ඇත්තටම තියනවා කියලා හිතෙද්දි හිත කීරි ගැහිලා යනවා.. සමාදිට එන්න කැමැත්ත තිබුනත් එන්න බැරි ජෝසප්ගෙ බලපෑම නිසා. ඕක තමා යථාර්තය..

    ලස්සන කතාවක් මලේ උඹ සුපිරියටම ලියලා.. මීට ලඟින් යන කතාවක් දවසක් බීටලුත් ලියලා තිබුනා.. හැබැයි වෙනස් කතා දෙකක්..

    ReplyDelete
    Replies
    1. බලපෑමකට යට වෙලා ඉන්න අයට ඒකෙන් මිදෙන්න හරි අමාරුයි අයියේ.. ඒ ජීවිත දවසින් දවස අසරණ වෙනවා..

      බීටල් අයියා මං ආසම කෙටි කතා කරුවා.. ඒකත් ඉතින් කියන්න ඕනනේ..

      Delete
  29. //....හිරුගේ ලොවේදි අපි වෙන් වෙමු...
    සඳුගේ රැයේදි යලි හමු වෙමු...යලි හමු වෙමු..........//

    හරිම ලස්සනයි අයියේ.....බොක්කටම වැදුණා....

    ReplyDelete
    Replies
    1. සිංදුව නම් නියමෙටම මෙතන්ට ගැලපෙනවා.. තැන්කූ..

      Delete
  30. සෑහෙන දවසකින් කියෙව්ව හොද කතාවක්. එළ!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ඉෂාන්..

      Delete
  31. හොඳට හිතලා හොඳට ගලපලා තියනවා .

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ලොකු අයියේ..

      Delete
  32. මොහොතකට හිත එක තැනක සමවැදුනා.. ගලායාමත් අන්තිමට ඉවර කරපු විදිහත් එක්ක මට කියාගන්න බැරි හැගීමක් ආවා..
    සුපිරියි.. එච්චරයි..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මලයා.. ගොඩක් කාලෙකින් උඹේ හොද විචාරයක් ලැබුනෙත් නෑ.. මං බලන් ඉන්නවා.. :)

      Delete
  33. අවසානය සාර්ථකයි !

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා..

      Delete
  34. පාවුලෝ කොයියෝ ගේ මරියා වගේම ... සමාධි .. ආදරය හොයන තවත් එක ගණිකාවක් ... !!

    ReplyDelete
    Replies
    1. ආදරය හොයාගෙන යන්න කවුරුත් ආසයි.. ගණිකාවක් උනත් ඒකමයි.. හැමෝම මනුශ්‍යයෝනේ..

      Delete
  35. පාවුලෝ කොයියෝ ගේ මරියා වගේම ... සමාධි .. ආදරය හොයන තවත් එක ගණිකාවක් ... :/

    ReplyDelete
  36. ඕක කරගත්තත් අර මා‍ෆියාවෙන් ගැලවෙන්නනම් රටිනුත් පැනලා යන්න වෙනවා. සංකීර්ණ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ටික දවසක් නිදහසේ ඉන්න පුළුවන් වෙයි.. ඊට පස්සේ ආයේම අතීතය පස්සෙන් එලවන්න ගනී..

      Delete
  37. මේ වගේම කතාවක් කලිනුත් මල්ලි ලියලා තියනවද?
    හරිම හුරු පුරුදු ගතියක් දැනුනා..

    ReplyDelete
    Replies
    1. ඔවු රූ අක්කේ.. ඒක දිගට ගිය කතාවක්නේ.. ඒත් ඒකනම් අවසානය දැන් මට බොළඳයි කියලා හිතෙනවා.. ඉස්සරම ලිවුවේ.. කඬුපුල් මල..

      Delete
  38. ෴සාරණ්‍යයා෴19 February 2013 at 13:27

    මෑතකදි ලියවුණ ලියවිලි අතර මං දැක්ක රසයෙන් ඉහළ කෙටිකතාවක්. අත් ඔරලෝසුව ගැන ඔබ ගලපලා තිබුණ තැන ඇත්තටම අගය කල යුතුයි. ඒත්.. රෑ මනමාලිය.... කිව්ව සැනින් අපට රෑපයක් මැවෙනවා. ඔබ මෙයට වෙනත් මාතෘකාවක් යෙදුවොතින්. මේ අරුතම ගැබ්වෙන වෙනත් විදිහකට උදා. වි.11 කතාව.. පොත තුල කතාව දිවෙන්නෙ මෙවැනි පසුබිමක් මත වුවත් පාථකයාට එය කවරය බලා නිගමනය කල නොහැක්කක්. හැම කතාවකටම නෙමෙයි. ඉදහිට හෝ මෙවැන්නකට. ඔබ අදහස්වලින් හා වචන කොයිබාධක තිබුණත් ගලාඑන හැකියාවක් හිමි අයෙක්.
    ජය ඔබට.!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්