Monday, 7 January 2013

නිවන් දකින තුරු


හෙමීට හමාගෙන එන සුළගත් එක්ක ටිකින් ටික ඈතට ඇදිලායන බෝ පත් දිහා බලාගෙන ඉන්න හිත ටිකින් ටික ආශා කරන්න ගත්තා.. අහම්බෙන් වගේ දෑස් වලට බෝ පත් නතු වෙද්දි හිත ඒකටම මෙච්චරම තදින් බැදෙයි කියලා මොහොතකටවත් නොහිතුන තරම්.. හරියට භාවනාවක් වගෙයි... ටිකක් වෙලා ඒ දිහාම බලන් ඉද්දි හිත සැනසෙන අපුරුව හිතට දැනෙන සිසිළසින්ම හොදින්ම තේරුම් යනවා...



පන්සලට ආවේ උනන්දුවෙන් නෙමෙයි... එන්න ඕනවට.. අම්මගේ තනිය.. දායක සභාවේ රැස්වීමට මං එන්නේ මොකටද කියන එක ප්‍රශ්ණයක් උනත් තවත් ගමනක් මේ එක්කම යෙදුන හන්දා පන්සල් එන එක මග අරින්න බැරි උනා.. උප්පැන්න සහතිකේට මම බෞද්ධ උනාට පුංචිම කාලේ දහම් පාසල් ආවා ඇරෙන්න ඊට පස්සේ ඒ දේවල් වලට කිසිම ඕන කමක් තිබුනේ නෑ... බල කරලා යවන්න ඕන කියන තරමේ මානසිකත්වයක් තියෙන කෙනෙක් අපේ ගෙදර හිටියෙත් නෑ.. හැමෝගෙම හිත් තිබුනේ වෙන අතක.. ලෝකෙට පේන්න බොරු සෝභනේට ලොකුවට පින් කම් කලා... ඒවායින් හැබෑවටම ලැබුන දෙයක් තියෙනවද කියලා කවුරුවත්ම නොදන්නවා ඇති...



ඈත දහම් පාසල් ගොඩනැගිල්ලේ සද්දේ ටික වැඩියෙන් ඇහෙන්න පටන් අරං .. පින බෙදා ගන්න බැරුව වෙන්න ඇති.. ඒත් හිත ඒදේට නුරුස්සලා හිත කේන්ති අර ගන්නවාට වැඩිය හෙමින් හෙමින් පාවෙන බෝ පත් අතර හිරවෙලා හැම දෙයක්ම මොහොතක් නිස්කලංක උනා වගේ දැනෙද්දි හිතට දැනෙන්නේ අමුතුම සනීපයක්.. දෑස් මොහොතකට අඩවන් කර ගත්තේ හිතට අමුතුම මිහිරක් එක්ක තරමක් සීතලට හමාගෙන ගිය හුළග මොහොතකට විදගන්න..



ජීවිතේ කොච්චර නම් විඩාබරද කියන හැගීම හිතට දැනෙන්නේ මේ වගේ නිකලංක තැනකදි විතරක්ම වෙන්නේ ඇයි කියන්න කවුරුවත්ම නොදන්නවා ඇති... ඒ නිසාම වෙන්න ඕන ගොඩක් දෙනෙක් ඒ සැනසීම් හොයාගෙන මේ බෝ පත් සෙවනට එන්නේ.. එක් මොහොතක වේගයෙන් හමාපු හුළගකට බෝ ගහෙන් හැළුන බෝ පතක් මං ලගටම පාවෙලා ඇවිත් නතර උනේ හිතේ තිබුන කල්පනාවෙන් මොහොතකට මාවත් ඈත් කරගෙනම.. ලා කොල පාට බෝ පතක් හුළගට කොහොම හැලුනද කියලා හිතා ගන්නත් බෑ..



බෝ පතත් අතේ තියාගෙනම මොහොතක් මම ඇස් පියා ගත්තේ ඇස් වලට මහා බරක් දැනුන නිසා.. කඳුළු.. කොහේ තිබිලා කඩා වැටුනද මටවත් හිතා ගන්න ඉඩක් නොතියම එකින් එක වැටුන කඳුළු බිංදු වල මහ බරක් හිතට දැනුනා.. ඇස් පියා ගත්තට හංගන්න බැරි උන කඳුළු බිංදු ඔහේ ගලාගෙන ගියා.. කොච්චර වෙලාවක් ඒ කඳුළු බිංදු ගලාගෙන ගියාද මට කිසිම හැගීමක් තිබුනේ නෑ...



ඇයි දුව අඬන්නේ?”



හුළගේ හඬ විතරක්ම හොදට අහගෙන හිටිය නිහැඩියාවක බලාපොරොත්තු නැති විදිහට ඇහුන ඒ සෙනෙහබර හඬට බර වෙලා තිබුන දෑස් විවර උනේ ඉබේටම වගේ.. ලා කහ පාට සිවුරත් බොහෝම සාන්ත විදිහට බලාගෙන හිටපු දෑසත් දැක්කම වාඩිවෙලා හිටපු බැම්මෙන් නැගිටුනේ ඉබේටම වගේ...



හාමුදුරුවනේ..”



හාමුදුරුවෝ නෙමෙයි දරුවෝ.. මං දසසිල් මෑණි කෙනෙක්..”



කෙනෙක්ගේ මුහුණේ දැක්ක ලස්සනම, අව්‍යාජම හිනාවක් මං ඒ මුහුණේ දැක්කා... ඒ හිනාවේ හැංගිලා තිබුනේ පිංවන්ත බවක්...



අනේ සමාවෙන්න මෑණියෝ.. කලබලේට මට වැරදුනා..”



කලබලේට ගොඩක් දේවල් වරදිනවා දරුවෝ..”



ඒ පිංවන්ත දෑස් මගේ හිත රහසින්ම කියවලාද කියලා මට හිතුනා.. ඒ හින්දමද කොහෙද හිත එක පාරම ටිකකට ගැස්සුනේ..



ඇයි දරුවෝ ඉතින් මේ අඬන්නේ?”



හිතට දුකක් දැනුනා..”



තමන් ගැනම?”



හ්ම්ම්.."



කෝ එන්න මෙතනින් ඉදගෙනම කතා කරමු..”



වෙනදට කතා කරන්න අකමැතිව දුවන මාතෘකාවක් ගැනම කතා කරන්න අද හිත හා කිවුවේ ඇයි කියන්න මටවත් තේරෙන්නේ නෑ..වෙනදට ඇහුනේ වැදි බණ නිසා එහෙම දුවලා ගිහින් හැංගෙන්න හිතුනා වෙන්න ඇති.. වැරදි කරන මිනිස්සුම , වැරැද්දට ආශා කරන මිනිස්සුම බොරුවට හරි වැරැද්ද ගැන කියද්දි ඒ දේවල් තේරුම් ගන්න තියා අහන් ඉන්නවත් උවමනාවක් නැතිවෙන එක බොහොම සාමාන්‍ය දෙයක්... ඒත් අද , මේ මොහොත ඊට වඩා හාත්පසින්ම වෙනස්..



කියන්නකෝ ඉතින්.”



කොතනින් කොහොම පටන් අරන් ඉවර කරන්නද කියලා මට හිතා ගන්න බෑ.. හැම දෙයකම හිත ගොඩක් පැටලිලා..”



ජීවිතේ කියන්නේ පැටළුමක් , ප්‍රෙහෙලිකාවක්.. බොහොම ලේසියෙන් විසදුම් හොයන්න අමාරුයි... වරදින තැන් බොහොමයි..”



ඇත්ත.. කවදාවත්ම නොහිතන නොපතන දේවල් වලදී ජීවිතේ කොච්චරනම් වෙනස් වෙනවද? මහා ලොකුවට ලෝකෙට පේන සාන්තුවර ජිවිත වලට වඩා අපේ ඇත්ත ජීවිතය ගැන දන්නේ හැමදාම ඇවිත් යන ඒ මුහුණු විතරක්ම වෙන්න ඇති..ඒත් ඒ මුහුණු වලට අපි මවාගෙන ඉන්න සාන්තුවර ජීවිතෙන් වත් ඇත්ත ජීවිතෙන්වත් කිසිම වැඩක් නෑ..ඔවුන්ට වැදගත් මේ සළු අතරින් ඔවුන්ට දකින්න විදින්න ලැබෙන දේ විතරක්මයි..



ආයෙම ඔය ළමයා කල්පනාවක..”



හ්ම්ම්.. ජීවිතේ ගැන.. නිවැරදි කර ගන්න ඕන උනත් නිවැරදි කර ගන්න බැරි වැරදි ගැන...”



නිවැරදි කර ගන්න බැරි වැරදි නෑ ළමයෝ.. ඕන කරන්නේ නිවැරදි කර ගන්න වෙලාවක් විතරයි..”



ඒත් මේ සමාජය එක්ක නිවැරදි වෙන්න ඕන උනත් ඒකට වෙලාවක් නොඒවි..”



සමාජය ගැන හිතන්න එපා.. සමාජයමයි අපි වැරදි කාරයොයි නිවැරදිකාරයොයි කරන්නේ.. කාලයක් වැරදියට දකින් දේවල් ටික කාලෙකින් මේ සමාජයේ නිවැරදි කියලා හිතන්න පුරුදු වෙනවා...”



මෑණියන් මං ගැන දන්නේ නෑ.. මං වැරදිකාරියක්..”



හිතේ තිබුන කඳුළු නිමාවක් නැතුව ගලාගෙන යද්දි ලගට අරගෙන මාව ලං කර ගත්ත ඒ උරහිසේ කවදාවත් නොවින්ද සැනසීමක් ගොඩාක් ලොකුවට දැනෙන්න ගත්තා... වෙනදට හුගක් වෙලා ගලාගෙන යන කඳුළු ඒ සැනසීමත් එක්ක ඉක්මනින්ම නැති වෙලා ගියේ කවදාවත්ම නැති විදිහට...



අඬන්න.. කඳුළු ඉවර වෙනකන් අඬන්න.. ඊට පස්සේ හිතට දැනෙන සැනසීම වැඩියි..”



හිත ගොඩක් සැහැල්ලුයි..”



ඔය ළමයා බුදුන් වැන්දද නැත්නම් මෙතන්ටම වෙලා අඬ අඬ හිටියද ?”



නැහැ..”



හරි යමු මාත් එක්ක.. නිදහසේ බුදුන් වදින්න... ගාථා මතක නැත්නම් හිතේ තියෙන ඕනම දෙයක් ඇස් දෙක වහගෙන හිතන්න.. හිත සැහැල්ලු වේවි...



හාමුදුරැවනේ...
භාවනා කරන්න මට බැ
අරණ්‍ය ගතව දිවි ගෙවන්න
හිතන තරම් පහසුත් නෑ

හාමුදුරැවනේ...
මට හැමදාම පන්සිල් ගන්නෙත් නැ
සිල් ගන්නෙත් නැ
පන්සල් යන්නත් එච්චර කැමති නැ

හාමුදුරැවනේ...
මම මහ පවුකාරයෙක් ලු
වැරදි වැඩත් කරනවාලු
ගැලවිමක් ඇත්තෙම නැලු

හාමුදුරැවනේ...
මටත් ආසයි සසරින් එතෙර වෙන්න...

හාමුදුරැවනේ..
මට සමාවෙන්න...





හිත මොහොතකට ගොඩාක් සැනසුනා වගේ හැගීමක් දැනුනා.. මේ වෙනකන්ම කවදාවත් වින්දේ නැති අමුතුම සැනසීමක් හිත ලගට කොහෙන්දෝ ඇවිත් නතර වෙලා වගේ දැනෙනවා.. හිත සතුටින්.. පුංචි වෙලාවකට උනත් හුග කාලෙකට පස්සේ මේ වගේ සතුටක් හිතට දැනුනේ.. හැමදාමත් මේ වගේ සතුටක හිත නතර වෙලා ඉන්න ඇත්නම්..



දුව දැන් කොහේටද යන්නේ?”



හ්ම්ම්.. පරණ තැනටම..”



ඊටත් වඩා කියන්න දේවල් හුගාක් හිත ලග නතර උනත් හැම දෙයක්ම හිර කර ගෙන ඒ දෙපා ලග වැද වැටුනේ ඒ කසාවතටත් ඒ කසාවත දරාගෙන ඉන්න පිංබර හිත ගැනත් ඇති උන ලොකු භක්තිය නිසා...



පරිස්සමින් ගිහින් එන්න දුව... ජීවිතේ තව ගොඩක් දුරයි..”



ඇත්ත.. ජීවිතේ තව ගොඩක් දුරයි.. මේ දුර ගමනේ හමුවෙන නවාතැන් වල ජීවිතේ එක එක විදිහට වෙනස් වේවි.. ඒත් නැවතීමක් නැතුව ගොඩක් දුර යාවි.. අවසානයක් එනකම්ම..




විශේෂයි : කවිය දාරාගේ..






21 comments:

  1. විස්වාස කරන්න දිනේෂ් සිත්තමීට හද පතුලටම දැනුන පෝස්ට් එකක්...සිත්තමී කොහොමත් පන්සලට නැඹුරු කෙනෙක් සිල් ගන්න භාවනා කරන්න පිං කරන්න හරිම කැමතියි.නමුත් කවදාවත්ම නැතුව ඊයේ බෝධිය දිහා බලාගෙන මදාරගෙ කවියෙ අනිත් පැත්ත හිතුවා....

    බුදු හාමුදුරුවනේ....

    නිතර භාවනා කරන
    පුළුවන් හැම පෝයෙම සුදු ඇදගෙන
    සිල් ගන්න
    අහිංසක හැමෝටම පිහිට වෙන
    මේ කෙල්ලටම ඇයි මේ තරම් දුක.....

    බෝපත් සෙලවි සෙලවි මෙහෙම කිව්වා

    සුගතියෙන් දුගතියට යන
    දුගතියෙන් සුගතියට යන
    සුගතියෙන් සුගතියට යන
    දුගතියෙන් දුගතියට යන
    මිනිසුන් අතරේ

    පෙර කල පවට දුක් ලැබුණාට
    මෙලෙස
    ඔබ කරන පින් කවදාම හෝ
    පලදේවි නුඹට....

    ReplyDelete
  2. හ්ම්ම්ම්.... ඔව් මේ ජිවිතේ හරි දිගුයි. ඒ දිගු ජිවිත ගමනේ මේ එක් නවාතැන් පලක් විතරයි....... තව මේ වගේ නවාතැන් පළවල් ගොඩක් ඉස්සරහට හමු වේවි......

    ReplyDelete
  3. හුළඟට නලියන බෝපත් ගොඩක් ප්‍රශ්න වලට විසඳුමක් කියලා මමත් දන්නේ අත්දැකීමෙන්.

    ReplyDelete
  4. අගනාම ලිපියක් මලේ....ජීවිතය ගැන අලුතින් හිතන්න හැකියි මේ පොස්ටුවත් සමඟ

    ReplyDelete
  5. මදාරගේ කවියයි මල්ලිගේ පොර්ස්ට් එකයි.
    ලස්සනයි ලස්සනයි !

    ReplyDelete
  6. “ කලබලේට ගොඩක් දේවල් වරදිනවා දරුවෝ..” ජිවිතයේ විඩාබර වු විට දැනෙන සෑබැ සිතුවිලි කථාව පුරාම ඇත.දේයක් වෙන්න ඕන එහි රසය හෝ තිත්ත දැනේන්න.සතුටේදි රසය අපි එකතු වි බුක්ති වින්දට, දුක් වු විට එහි තිත්ත විඳි වන්න වෙන්නේ තනියම.දුක් වු විට ලොකයේ මිනිස්සු අසරණ වෙන්නේ තනි වෙන්නේ ඒකයි මේතරම්.බුදු දහම පිහිටක් වෙන්නේ ධර්මයේ සාරය දුක නැති විමට හේතු වන නිසාවෙනි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  7. ඇත්ත නිවරැදි කරන්න බැරි වැරදි නෑ කාලයත් උවමනාවත් විතරයි ඕනෙ කරන්නෙ. වටින පණිවිඩයක්!

    ReplyDelete
  8. හ්ම්.......මේ වෙලාවටම ගැලපෙනවද මන්දා.. ;) පන්සලකට ගියා වගේම දැනුනා...ඒ තරමටම හිත සැහැල්ලුත් උනා. මොකද හිතේ බරක් තියන ඕනි වෙලාවක මාත් දුවන්නේ පන්සලට හින්දා..

    ReplyDelete
  9. බෝ ගහ යට වාඩි වෙලා, ඇස් පියාගෙන හුළඟට බෝ කොළ හෙලවෙන සද්දෙ අහගෙන ඉන්නකොට හිතට දැනෙන්නෙ මහ පුදුමාකාර සැහැල්ලුවක්. එතකොට කාලය ගත වෙනව දැනෙන්නෙ නෑ...

    ReplyDelete
  10. ජීවිතේ හරියට කඩුලු පැනලා දුවනවා වගේ.මඟදි වැටිලා නැවතුනොත් නවතින්නම වෙනවා .වැටි වැටි නැඟිටලා දිව්වොත් ආත්ම තෘප්තියකින් දිනන්න පුළුවන්

    ReplyDelete
  11. මිනිස්සු පන්සල් යන්නෙ ගොඩක් වෙලාවට තමන් අසරණ උන වෙලාවට... තමන් සාර්ථක උනාම ඒව මතක් වෙන්නෙ නෑ

    ReplyDelete
  12. ඕනෙම කෙනෙක්ට තමන් අසරණ වුනාම, කාත් කවුරුවත් නැති වෙලා තනි වෙලා කියලා හිතුනාම ආගමදහම මතක් වෙනවා...

    ඇත්තට අර චමී කියලා තියෙනවා වගේ පන්සලක බෝ ගහක් යට වාඩිවෙලා ඇස් පියාගෙන වරු ගානක් වුනත් ඉන්න පුලුවන්. අත්දැකීමෙන්ම දන්නවා එතකොට හිතට දැනෙන සැහැල්ලුව.

    කවියත් ලස්සනයි, කතාවත් අපූරුයි!!!ජීඉව්තේට වටිනවා..

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. බෝ කොළ එකට ගැටෙද්දී එන සිලි සිලි සද්දේ වෙන කොතැනකින්වත් මම අහලා නැහැ. මමත් ඒ හඬට පුදුම ආසයි.

    ReplyDelete
  15. දිනේශ්ගේ සටහනයි, මදාරගේ කවි පදවැලුයි හිතට ගොඩක් කා වැදුනා. ඔය දෙන්නා හරියට ගීයකුයි, තනුවකුයි වගේ. හොඳට ගැලපෙනවා.:)

    ReplyDelete
  16. //ජීවිතේ තව ගොඩක් දුරයි//
    හ්ම්..ජීවිතේ නම් ගොඩක් දුරයි තමා..

    ReplyDelete
  17. දෙන්නාටම සුබ පැතුම්! සමඟ මේ සටහන. මිනිසත් බවක් ලැබීම හරිම දුර්ලබයි. ඒ ලැබුනු දුර්ලබ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ බොහොම ටික දෙනයි. ඒකත් වයසට ගිහින් ඇවිද කියාගන්නවත් බැරි උනාම තමයි කෙනෙක්ට පිනක් දහමක් කරගන්න මතක් වෙන්නෙ. මේ දේ මෙහෙම ලියන්න පුලුවන් වෙන්නෙ දහමට නැබුරු කෙනෙක්ට විතරමයි. ඒ ගැන හරිම සතුටුයි දිනේශ්.

    ReplyDelete
  18. අද කියෙව්වේ හිත නිවෙන කතාවක්. ඒ කතාව තුළ මොකක්දෝ නිවිච්ච බවක් තියෙනවා.

    ReplyDelete
  19. මේ වගේ පොස්ට් ලියවෙනවා අඩුයි. සරල වගේ පෙනුනට හිතන්න බොහෝ දේ තිබෙනවා මේ තුල.

    ReplyDelete
  20. ලස්සනට වදින්න ලියා තියෙනවා....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්